පේරාදෙනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කැඳවුමක්:

“ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය නතර කරනු” සසජාතශි රැස්වීමට සහභාගි වන්න!

ඉහත මාතෘකාවෙන්, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, අප්‍රේල් 07 දා, පේරාදෙනිය විශ්වවිද්‍යාලය සමීපයේ පිහිටි හිඳගල ඔරියන්ට් අධ්‍යාපන ආයතනයේ දී ප්‍රසිද්ධ රැස්වීමකුත් ගලහ හන්දියේ දී පිකට් උද්ඝෝෂනයකුත් (දවල් 12-1 දක්වා) පවත්වනු ලැබේ. එම රැස්වීමට සහ පිකට් උද්ඝෝෂනයට සහභාගිවන ලෙස පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසු සහෝදර-සහෝදරියන්ගෙන් සහ අචාර්යවරුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

“අපි දැන් ජීවත් වනුයේ, එක්කෝ කම්කරු පන්තිය බලයට පැමින ධනවාදය අවසන් කරන, එසේ නොවුනහොත් ධනවාදය විසින් ලෝකය අවසන් කරන ඓතිහාසික කාල පරිච්ඡේදයක ය, ... අපි විප්ලවවාදී කාල පරිච්ඡේදයක සිටින්නෙමු. එමෙන්ම අපි ප්‍රති-විප්ලවවාදී කාල පරිච්ඡේදයක සිටින්නෙමු. ලෝකය තුල මෙම ප්‍රවනතා දෙකෙන් කුමක් ජයගනු ඇත්ද ? 1932-33 දී ට්‍රොට්ස්කි ඉතා හොඳින් පැවසූ පරිදි, ලඟා වෙමින් පවත්නා ෆැසිස්ට්වාදයේ සෙවනැල්ල හමුවේ, අරගලය විසින් එය තීරනය කරනු ඇත.” (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත්)

සහෝදර සහෝදරියනි, ඉහත උද්ධෘතයෙන් කැටි කර දක්වා තිබෙන්නේ, ඉරානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය විසින් දියත් කර ඇති සාපරාධී යුද්ධයත් සමග ගෝලීය වසයෙන් මනුෂ්‍ය වර්ගයා මුහුන දී තිබෙන සැබෑ තත්වයයි. බුද්ධිමත් පිරිසක් ලෙස, මානව වර්ගයා ලබා ඇති ජයග්‍රහන මත අධ්‍යයන කටයුතුවල යෙදෙන අපි මේ යතාර්ථයට මුහුන දිය යුතු වෙමු.

ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කල පෙබරවාරි 28ට පෙර තිබූ තත්වයට ලෝකයට යලි ගමන් කල නොහැක. දිග හැරෙමින් පවත්නේ ඇමරිකාව අධිරාජ්‍යවාදී බලයක් ලෙස තමන්ගේ නැති වී ගිය ගෝලීය ආධිපත්‍යය යලි අත්පත් කර ගැනීමට දශක ගනනාවක් තිස්සේ සැලසුම් කල මිලිටරි ප්‍ර්හාරයක නව අවධියකි. අර්බුදයේ ප්‍රපාතයක කි⁣ඳෙමින් සිටින ඇමරිකානු ධනවාදය තුල ආධිපත්‍යය දරන මුල්‍ය වංශාධිපතියන්ගේ පාතාලය විසින් ඔවුන් නියෝජනය කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු ෆැසිස්ට් නඩයක්  බලයට දමා ඇත.

යුක්‍රේනයේ යුද්ධය අතරතුර පලස්තීනුවන් ජන සංහාරයකට ලක් කල ඇමරිකාවේ පාලන තන්ත්‍රය, වෙනිසියුලාවේ ජනාධිපති මදුරෝ පැහැර ගෙන එරට නතුකර ගත්තේ ය. අනතුරුව, ඉරානය යටත් කර ගැනීම සඳහා ඊශ්‍රායල දඩ බල්ලා ද මුදාහැර, කුඩා දරුවන් සහ මහලු ජනයා ඇතුලු දහස් ගනන් මරා දමමින්, ජන ජීවිතයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් විනාශ කරමින්, සමූලඝාතන යුද්ධයක් දියත් කර ඇත. ඇමරිකානු පාලකයන්ගේ අවසාන ඉලක්කය චීනය හා රුසියාව යටත් කර ගැනීමයි. මෙම යුද ව්‍යාපාරයේ දී ජාත්‍යන්තර නීති, ප්‍රඥප්ති, ගිවිසුම් හා සම්ප්‍රදායන් මෙන්ම එක්සත් ජනපදය තුල ව්‍යවස්ථාව ද මුලුමනින්ම උල්ලංඝනය කර ඇත.

අවශේෂ අධිරාජ්‍යවාදී බලයන්ට ඇමරිකාව සමග උපායික මතභේද ඇතත්, ඉරානයට එරෙහි යුද්ධයට මූලික ව එකඟ ය. මෙම අධිරාජ්‍යවාදී බලයෝ ද තමන්ගේ අවශ්‍යතා අත්පත් කර ගැනීමට ඇමරිකාව ලෙස ම සුදානම් වෙමින් අන්තර්-අධිරාජ්‍ය බලපොරය උග්‍ර කරමින් සිටිති.

දිග හැරෙන යුද්ධය මතු කර ඇත්තේ, මානව වර්ගයා සමූල ඝාතනයට ලක් කරන න්‍යෂ්ටික තාප යුද්ධයක භයානක අන්තරායයි. පලමු වන හා දෙ වන ලෝක යුද්ධ වලින් අධිරාජ්‍යවාදීන් ඇති කල බිහිසුනු අන්තරායන් අධ්‍යයනය කර හෝ දැන කියා ගෙන තිබෙන අපට, තුන් වන ලෝක යුද්ධයක් දිගහැරීමේ ප්‍රතිවිපාක ගැන අනුමාන කරගත හැකි ය.

දිග හැරෙන යුද්ධයට වියදම සූරාගන්නේ ධනය නිෂ්පාදනය කරන කම්කරුවන්ගෙන් හා අවශේෂ වැඩකරන පීඩිත ජනයාගෙනි. ඇමරිකාවේ කම්කරුවෝ බිලියන ගනනින් තමන්ගෙන් සූරා ගෙන යුද්ධයේ බර තමන් මත පැටවීමට එරෙහි ව අරගල වලට පිවිස ඇත. මාර්තු 28, “රජුන් එපා” යන උද්ඝෝෂනයට ඇමරිකාව තුල කම්කරුවන්, තරුනයන්, සිසුන් හා අවශේෂ ජනයා අසූ ලක්ෂයක් විදී බැස්සාහ. අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල ද අරගල පුපුරා ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා දුගීන් මතට යුද්ධයේ බර පැටවෙන්නේ, ආන්ඩුව දැනටමත් ඉදිරියට ගෙන යමින් පවතින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රුදුරු වැඩපිලිවෙලින් පීඩා විඳින තත්ත්වයක ය. සිසුන් ඇතුලු තරුන ජනයා සහ ආචාර්යවරුන් මුහුන දෙන ප්‍රශ්න අසීමිත ය.

කෙසේ වුව ද, මෙම ප්‍රශ්න වලට පැලැස්තර විසඳුම් නැත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ නායකයෝ, ලංකාවේ ආන්ඩුව නොබැඳි විදේශ පිලිවෙතක් ගෙන යමින් රට තුල තෙල් හා අහාර සංචිත ගොඩනගා ගැනීමෙන් වර්ධනයවන යුද අනතුරෙන් මිදිය හැකිය යන මිත්‍යාව දෙසා බාන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග සිටින අතර, ඉරානයට එරෙහි සාපරාදී යුද්ධය ගැන කට පියා ගෙන ඊට සහයෝගය දෙති.

ඇතැම් ශාස්ත්‍රාලිකයෝ ද “නොබැඳි විදේශ පිලිවෙත”, “සක්‍රිය මධ්‍යස්ථභාවය”, බහු-ධ්‍රැවීය ගෝලීය බල තත්වයක් ඇත්තේ නම් ලෝකය කොතරම් මනරම් වේදැයි සිය දේශන පවත්වති; තීසිස හා ලේඛන ලියති. අනෛතිහාසික සහ වෛෂයික තත්වය නොතකා කෙරෙන මෙම ප්‍රචාර නිදි බේත් පෙවීමකි. ලෝක ධනවාදී පද්ධතිය තුල හා එහි කොටසක් වන ලංකාවේ ධනපති ක්‍රමය තුල හුදකලා වූ විසඳුමක් නැත.

ලංකාවේ ජනතා විමුක්ති පෙරමුනේ හා ජාතික ජනබලවේගයේ ආන්ඩුව තම විදේශ පොලිවෙත මධ්‍යස්ථ හා නොබැඳි එකක් බවට ප්‍රචාරයක් ගෙන යමින් එක්සත් ජනපදයේ ට්‍රම්ප් ආන්ඩුව, ඊශ්‍රායලය හා කලාපයේ බලවතා වන ඉන්දියාව සමග පෙල ගැසී සිටී. එය ඉරානයට එරෙහි යුද්ධය හෙලා දැක්කේ නැත. ලංකාව අසල මුහුදේ අයිආර්අයිඑස් ඩෙනා නෞකාව, සියයකට අධික නාවුකයන් සමග ගිල්වා දැමීමේ මිනීමරු ක්‍රියාවට විරුද්ධත්වය පෑවේ නැත. ගාසා තීරයේ පලස්තීන ජනයා 70,000 පමන ඝාතනය කිරීම හා දස ලක්ෂයක් ජනයා පලවා හැරීමට විරුද්ධ නොවී ය. ලැයිස්තුව දිග වැඩි ය.

ආන්ඩුව මන්තරයක් ජප කරන්නාක් මෙන්, රටක නමක් පවා සඳහන් නොකර දෙපාර්ශ්වය හෝ තුන් පාර්ශ්වය ගැටුම සමථයකට පත්කර ගන්නා ලෙස වඳ බියගුලු ප්‍රකාශ යලියලිත් නිකුත් කරයි. ජනාධිපති දිසානායක පෙල ගැසී සිටින්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදී පාලක පන්තිය සමගයි.

අපි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිදුවූ මේ සිද්ධිය ද ඔබට මතක් කරමු: 2025 ජනවාරි 3 දින, නිසි අවසරයකින් යුතු ව සසජාතශි විශ්ව විද්‍යාලය තුල “ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල” ගැන සුදානම් කල දේශනයක් ජවිපෙ ආන්ඩුව පිටුපසින් සිට කල මැදිහත්වීමකින්, උප කුලපතිවරයා විසින් තහනම් කෙරුනි. සසජාතශි හා සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකට පහර එල්ල කරමින් සිදු වූ එම තහනම හෙලා දකිමින් සිසුන් හා අචාර්යවරුන් දුන් සහාය අපි අගය කරමු.

ඉරානය යටත් කර ගැනීමේ ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට එරෙහි වීමට හා අධිරාජ්‍යවාදී යුද්ධය නතර කිරීමේ අරගලයට එක්වන ලෙස සසජාතශි සිසුන්ගෙන් හා ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටී. අප, අප්‍රේල් 7 වැනි දින පේරාදෙනිය හිඳගල රැස්වීම පවත්වන්නේ මේ අරගලයේ කොටසක් ලෙස ය. අධිරාජ්‍යවාදී බලයන්ට කන්නලවු කිරීමෙන් යුද්ධය නතර කල හැකි නොවේ. අධිරාජ්‍යවාදී යුද්ධය නතර කිරීමට හැකි එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. කම්කරු පන්තිය ලෝක සමාජවාදයේ වැඩපිලිවෙලක් මත එම අරගලයට බලමුලු ගැන්වීමේ අත්‍යවශ්‍ය දේශපාලන කාර්යභාරයක් සිසුන් හා තරුන ජනයාට පැවරේ.

ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල මිලිටරි ප්‍රහාර කොන්දේසි විරහිත ව වහා ම නතර කිරීම, ඇමරිකානු හමුදා මැදපෙරදිගින් වහා ඉවත් කිරීම, සම්බාධක ඉවත් කිරීම සහ ආර්ථික යුද්ධය නතර කිරීම අපගේ ඉල්ලීම් අතර වේ. ජාතික රාජ්‍ය පද්ධතිය මත පදනම් වූ යල්පිනු ධනපති ක්‍රමය පෙරලා දමා සමාජවාදී නිෂ්පාදන ක්‍රමයකින් එය විස්ථාපනය කල යුතු ව ඇත.

ලංකාවේ කම්කරු පන්තිය, ගොවිජනයා ඇතුලු පීඩිතයන් රැලිකර ගනිමින් සහ දකුනු ආසියානු කලාපයේ කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගා ගනිමින්, සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට සටන් කිරීම මෙම ජාත්‍යන්තර අරගලයේ කොටසකි.

අප පවත්වන රැස්වීමට පැමින එහි දී පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන්න.

දිනය : අප්‍රේල් 07 වන අගහරුවාදා

වේලාව : ප.ව. 3.30 සිට 6.00 දක්වා

ස්ථානය : ඔරියන්ට් අධ්‍යාපන ආයතනය, ගලහ පාර, හිඳගල

පිකට් උද්ඝෝෂනය ගලහ හන්දියේ දී දවල් 12 සිට 1 දක්වා.

Loading