ඉදිරිදර්ශන

ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ ඉරානය පරිපීඩනයට පත් කිරීම

ජර්මනියේ බර්ලින් නුවර හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ දී ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් 2026 මාර්තු 24 දින American imperialism and the oppression of Iran යන මැයෙන් පැවැත්වූ කථාව.

2026 පෙබරවාරි 28 දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, යුද්ධ ප්‍රකාශ කිරීමක්වත් නොමැති ව, ඉරානයේ යුද කඳවුරු, රජයේ කාර්යාල සහ රටපුරා නාගරික ප්‍රදේශ මත මහා පරිමාන ප්‍රහාරයක් එල්ල කලේ ය. මුල් ප්‍රහාරයේ දී ම උත්තරීතර නායක අලි ඛමේනි, තවත් රාජ්‍ය නිලධාරීන් සහ සංඛ්‍යාව නොදන්නා සිවිල් වැසියන් පිරිසක් සමග ජීවිතක්ෂයට පත්විය. පාසැල්, රෝහල් සහ සංස්කෘතික උරුමයන් වශයෙන් ප්‍රකාශිත ස්ථාන එක්කෝ හානියට පත් විය, නැත්නම් සපුරා විනාශ විය.

එයින් දින කීපයක් තුල, එක්සත් ජනපදය, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගේ පිහිටි ඉරාන මිසයිල විදින ස්ථාන මත රාත්තල් 5000ක බන්කර බිඳින බෝම්බ හෙලුවේ ය. ඉන්දියානු සාගරයේ දී ඇමරිකානු සබ්මැරීනයක්, නිරායුධ බව පෙන්ටගනය දැන සිටි, යුධ අභ්‍යාසවලින් පසු ආපසු යමින් සිටි, යුද අභ්‍යාස නීතිය අනුව උන්ඩ රැගෙන යාම තහනම් වූ, අයිරිස් ඩේනා නම් ඉරාන ෆ්‍රිගේට් යාත්‍රාවක් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැම්මේ ය. එහි අසූවක කාර්ය මන්ඩලය ජීවිතක්ෂයට පත් විය. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු සබ්මැරීනයක් විසින් ගිල්වන ලද පලමු නැවයි.

2026 මාර්තු හතර වෙනි දා ඇමරිකානු - ඊශ්‍රායල හමුදා ඉරානයේ ටෙහෙරාන් අගනුවර මත කාපට් බෝම්බ (සිතියමක් අනුව භූමියේ එක කෙලවරක සිට අනික් කෙලවර දක්වා ක්‍රමානුකූලව බෝම්බ දැමීම) හෙලුවේ ය. අප මේ දේශනය පවත්වමින් සිටින අවස්ථාව වන විට යුද්ධය සති තුනක් තිස්සේ කෙරීගෙන ගොස් තිබේ. ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් මිය ගිය ඉරානයේ ටෙහෙරාන් නුවර බාලිකා විදුහලක ගැහැනු ලමයින් 160 ක් ඇතුලු ව ඉරාන වැසියන් 1500 ක් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව තිබේ. යුදමය නොවන සිවිල් ගොඩනැගිලි 4000 කට අධික සංඛ්‍යාවකට හානි සිදු කර ඇත. ඉරානය, සිය ආත්මාරක්ෂාව සඳහා ඊශ්‍රායලය, බහරේනය, කුවේට්, කටාර්, සවුදි අරාබිය හා එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල පිහිටි ඉලක්ක මත පහර දෙමින්, ගල්ෆ් කලාපය හරහා මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇත. ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක්ම පසුකර යා යුතු හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුවා හා සමාන තත්වයක පවතී. තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 110 පසුකර ගොස් ඇත. ලෝක බලශක්ති අධිකාරිය, මේ තත්වය, ගෝලීය බලශක්ති ආරක්ෂාවට එල්ල වූ ඉතිහාසයේ උග්‍රතම අභියෝගය ලෙස විස්තර කලේය. මුහුදෙන් එහා සංචාරයේ ගිය විසි දහසක් පමන ජනයා ගල්ෆ් කලාපයේ අතරමං ව සිටිති. ජාත්‍යන්තර නාවුක භාන්ඩ ප්‍රවාහනය නතර වී ඇත.

ජනාධිපති ට්‍රම්ප්, කොන්දේසි විරහිත ව යටත් වන ලෙස ඉරානයට කියා ඇත. ඔහු ඉරානයේ න්‍යෂ්ඨික බල ශක්ති නිෂ්පාදනාගාරවලට හා ජාතික සම්ප්‍රේෂන ජාලයට පහර දෙන බවට තර්ජනය කරයි. තන්ත්‍රය 'වෙනස් කිරීම සිදුවනු' ඇතැයි ඔහු පවසයි.

“සතුරා සම්පූර්නයෙන්ම හා තීරනාත්මක වශයෙන් පරාජය කරන තුරු මිලිටරිය බුරුලක් නොදෙන' බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ප්‍රකාශ කර ඇත.

මේ අතර ඇමරිකානු රහස් ඔත්තු සේවා තමන්ගේ ම තක්සේරුව කරමින්, ඉරානයේ දිගු දුර බැලිස්ටික් මිසයිලවලින් ඇමරිකානු භූමියට  ඇති තර්ජනය පිලිබඳ කතාව පදනම් විරහිත බවද එවන් හැකියාවක් ලබා ගැනීමට ඉරානයට 2035 දක්වා වත්  සංවර්ධන කටයුතුවලට කල් අවශ්‍ය බව ද නිගමනය කර ඇත.

ප්‍රහාරය එල්ල කලේ, ඉරානය න්‍යෂ්ටික සාකච්ඡා වලදී තම සුපෝෂිත යුරේනියම් තොග බින්දුවට අඩු කිරීමට එකඟ වෙමින් සාකච්ඡාවල ප්‍රධාන ඉදිරි පියවරක් තැබුවා යයි ඕමාන ජාතික අතරමැදියන් විසින් ප්‍රකාශයට පත් කල රාත්‍රියේ දී ම ය. යුද්ධය වැලැක්වීම සඳහා “ඓතිහාසික' එකඟත්වයක් “අත ලඟ' යයි ඉරාන විදේශ ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුනි. එක්සත් ජනපදය, සාකච්ඡා මගින් විසඳුම වෙනුවට යුද්ධය තෝරා ගත්තේ ය.

යුද්ධය වඩ වඩා පුලුල් වී මහා වහ්නි ජාලාවක් බවට පත්වීමේ තර්ජනය හුදු කල්පිතයක් නොව, පෘථිවිය මත තිබෙන සෑම ආන්ඩුවක ම ගනන් බැලීම්වලට ඇතුල් වී ඇති ක්‍රියාකාරී විචල්‍යයකි.

අප ඉදිරියේ බලෙන්ම පෙනී සිටින ඓතිහාසික සමාන්තරය වන්නේ 1991 සිදු වූ ගල්ෆ් යුද්ධය හෝ 2003 ඉරාක ආක්‍රමනය නොව 1914 අගෝස්තු මාසයයි. පලමු ලෝක මහා සංග්‍රාමය එදා ආරම්භ වූයේ බෝල්කන් කලාපයේ ප්‍රාදේශීය ගැටුමක් ලෙස වුවද රටවල් අතර ගිවිසුම්වල තර්කන, අධිරාජ්‍ය අතර පසමිතුරුකම්, වැරදි ගනන් බැලීම් ආදිය නිසා එය ඉක්මනින්ම අධිරාජ්‍ය හතරක් වනසා දැමූ හා මිනිස් ජීවිත මිලියන විස්සක් බිලි ගත් ගෝලීය ව්‍යසනයක් බවට ව්‍යප්ත විය.

වර්තමාන අර්බුදය ව්‍යාප්ත ව යාමේ යන්ත්‍රනයන් එදාට වඩා අඩු නැත. යුක්‍රේනයේ හා දකුනු චීන මුහුදේ ඝට්ටනත් චීනය හා රුසියාව සමග එක්සත් ජනපදයේ  තිබෙන පුලුල් සතුරුකමත් සමග ඉරාන යුද්ධයේ තිබෙන අන්තර් සම්බන්ධතාවය නිසා, එක් තනි සිදුවීමක්  — (අයාලේ ගිය මිසයිලයක් නේටෝ සාමාජික රටකට වැදීමක්, ගල්ෆ් කලාපයේ නාවික ගැටුමක් හෝ න්‍යෂ්ටික බලාගාරයකට පහර දීමක් වැනි සිදුවීමක්) කිසිම ආන්ඩුවකට නතර කල නොහැකි ප්‍රතික්‍රියා දාමයක් අවුලුවනු ඇත. කම්කරු පන්තිය හා සමස්ත මනුෂ්‍ය වර්ගයා ම, දෙවන ලෝක  සංග්‍රාමය දොරකඩ දී ට්‍රොට්ස්කි පෙරදුටු තත්වයට මුහුන දී සිටී : “පාලක පන්තිය, ඇස් වසා ගෙන ආර්ථික හා මිලිටරි ව්‍යසනය කරා ලිස්සා යමින් සිටී...'

වර්තමාන යුද්ධය, දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ 1945-46 නියුරෙම්බර්ග් ජාත්‍යන්තර යුද අධිකරනයේ නඩුවල දී නාසි නායකයන්ට විරුද්ධව ඉදිරිපත් කල පලමු හා මූලිකම චෝදනාව වන 'සාමයට එරෙහි අපරාධ' ගනයට වැටෙන යුද්ධයකි. නියුරෙම්බර්ග්හි චූදිතයන් 22 දෙනාගෙන් 13 දෙනෙකු ආක්‍රමනික යුද්ධ සඳහා වැරදිකරුවන් බව ඔප්පු විය. එයින් 11 දෙනෙකු 1946 ඔක්තෝබර් 16 දින එල්ලා මරන ලදී. හිට්ලර්ගේ දෙවෙනියා වූ හර්මන් ගෝරිං, එල්ලා මැරීමට පැය කීපයකට පෙර සයනයිඩ් ගිල දැමීමෙන් එල්ලුම් ගසෙන් ගැලවුනේය.

විනිසුරු රොබට් එච් ජැක්සන් නියුරෙම්බර්ග් හිදී

නියුරෙම්බර්ග් යුද අධිකරනයේ ප්‍රධාන චෝදක ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරනයේ විනිසුරු රොබට් එච්. ජැක්සන් පැමිනිල්ලේ ප්‍රධාන දේශනය ආරම්භ කලේ  ජාත්‍යන්තර නීතිය බලගතු අයට සේම බෙලහීන අයටත් එක සමානය යන නියාමයේ ඉතාම බලධාරී ප්‍රකාශනය බවට පත් වූ වචන වලිනි.

'ඉතිහාසයේ ප්‍රථම සාමයට විරුද්ධ අපරාධ පිලිබඳ නඩු විභාගයේ මුල් නඩු කටයුත්ත ආරම්භ කිරීම වරප්‍රසාදයක් සේම බරපතල වගකීමක්ද වේ' යයි ජැක්සන් ප්‍රකාශ කලේය. 'අපි අද හෙලා දකින්නට හා දඬුවම් කරන්නට බලාපොරොත්තු වන වැරදි, කොතරම් ගනන් බලා කරන ලද ඒවාද, කොතරම් දුෂ්ට ඒවාද කොතරම් විනාශකාරී ඒවාද යත් ඒවා ගනන් නොගෙන සිටියොත් ලෝකයේ ශිෂ්ටාචාරයක් ඉතුරු නොවනු ඇත'

නියුරෙම්බර්ග් හිදී ස්ථාපිත කරනු ලබන නීතිය එක් පිරිසකට විරුද්ධව පමනක් ක්‍රියාත්මක වන්නක් නොවන බව ජැක්සන් අවධාරනය කලේය. 'මෙම නීතිය මුලින්ම ක්‍රියාත්මක වන්නේ ජර්මානු ආක්‍රමනිකයනට එරෙහිව වුවත් එයින් ප්‍රයෝජනයක් වීමට නම් එය වෙනත් ඕනෑම රටකටද — එනම් අද මෙහි සිටින විනිශ්චය කරන්නන්ටත් — අදාල විය යුතුය' යි ජැක්සන් ලිවීය.

එයින් පසු කාලීන යුගයේ සමස්ත ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඉතිහාසයම චෝදනාවට ලක් කරන සෘජුභාවයකින් ඔහු මෙසේ පැවසීය : 'ඕනෑම යුද්ධයකට බැසීමක්, කවර යුද්ධයක් වුවත් සහජයෙන්ම අපරාධකාරීය...'

...අවංකවම ආත්මාරක්ෂක යුද්ධයක් නිසැකවම නීත්‍යානුකූල ය. එහෙත් නෛසර්ගිකවම අපරාධකාරී ක්‍රියා, යුද්ධය නීති විරෝධී එකක්ව තිබියදී ඒවා කරන අය, තමුන් ඒවා කලේ යුද්ධයක නිමග්නව සිටි කාලයකය යන කාරනය මත සාධාරනීකරනය කල නොහැක...'

ජැක්සන් ප්‍රකාශයට පත් කල, නියුරෙම්බර්ග් විනිශ්චය සභාව ක්‍රියාවට නැංවූ, ප්‍රමිතිය අනුව බලන විට ඉරානයට එරෙහි යුද්ධය, — කුපිත කිරීමකින් තොරව ආරම්භ කල, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ අනුමැතියෙන් තොරව ආරම්භ කල, එක්සත් ජනපදයේ කොන්ග්‍රස් මන්ඩලයේ යුද්ධ ප්‍රකාශ කිරීමකින් තොරව ආරම්භ කල, සහ කිසිම රාජ්‍යයක භෞමික අඛන්ඩතාවට විරුද්ධව බලය පාවිච්චි කිරීම තහනම් කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කල — ආක්‍රමනික යුද්ධයකි. ඉරානය එක්සත් ජනපදයට පහර දුන්නේ නැත. එය එක්සත් ජනපදයට පහරදීමේ තර්ජනයක් ද පැවතියේ නැත. එය සිටියේ, සවිස්තරාත්මක සම්මුතියකට අත්සන් තැබීමේ සාකච්ඡා ක්‍රියාවලිය මැදය.

යුරෝපීය අධිරාජ්‍යවාදී බලවත්තු මෙම සාහසික අපරාධයට දුෂ්සහාය දුන්නෝ වෙති. වොෂිංටනය සමග ඔවුන්ගේ මතභේද තිබෙනවා නම් තිබෙන්නේ හුදු උපායික කාරනා ගැන පමනි.

යුරෝපා සංගමය, මාර්තු පලවෙනිදා එක්සත් ජනපද-ඊශ්‍රායල හදිසි ප්‍රහාරය හෙලා නොදුටු, එහෙත් ඉරානයේ ප්‍රතිප්‍රහාර 'ක්ෂමා විරහිත' යයි පැවසූ, ප්‍රකාශයක් නිකුත් කලේය.

යුරෝපීය කවුන්සිලය, 'ඉරානයේ ඉවක් බවක් නැති මිලිටරි ප්‍රහාර දැඩි ලෙස හෙලා දුටු...' සිවිල් ජනතාව ආරක්ෂා කිරීමට' 'උපරිමයෙන් සැලකිලිමත් වීම' ඉල්ලා සිටින ප්‍රකාශයක් නිකුත් කලේය. එම ප්‍රකාශයේ භාෂාව,  ආක්‍රමනිකයා සහ ආක්‍රමනයට ලක්වන්නා යන දෙදෙනාම සදාචාරාත්මකව එකම කූඩයේ ලා සැලකූ, දෙපාර්ශ්වයටම ආමන්ත්‍රනය කල භාෂාවකි.

ජර්මන් චාන්සලර් මර්ස්, 'ඉරානය, ප්‍රධාන ආරක්ෂක තර්ජනයක්' බව පවසමින් දශක ගනනක සාකච්ඡා නිශ්ඵලව ඇතැයි තර්ක කලේය.

ප්‍රංශය, 'ප්‍රංශයේ උවමනාවන් ආරක්ෂා කිරීම සඳහා' තම ගුවන් යානා ගෙනයන නෞකාව යුද කලාපයට එවීය.

මේ යුරෝපීය ආන්ඩුම අවුරුදු හතරක් තිස්සේ රුසියාව විසින් 'කුපිත කිරීමක්' නැතිව සිදුකල යුක්‍රේනයේ යුද්ධය හෙලා දුටහ. ඇත්ත වශයෙන් එය රුසියාව විසින් 'කුපිත කිරීමකින් තොරව' සිදුකල යුද්ධයක් නොවේ : එය නේටෝව විසින් සිදුකල, තම සංවිධානය නිරන්තරව නැගෙනහිර දෙසට ප්‍රසාරනය කර ගැනීම හා රුසියාවට එරෙහි යුද්ධයකදී  ඉදිරිපෙල කඳවුරක් ලෙස යුක්‍රේනය පරිවර්තනය කර ගැනීමේ උත්සාහය තුලින්, කෙලින්ම පැන නැගුනු එකකි. 

අපි මොහොතකට යුරෝපීයයන්ගේ තර්කය පිලිගනිමු : ඔවුහු රුසියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල බව කීහ ; ජාතික ස්වෛරීභාවයේ සහ ජාතික දේශසීමාවල  පූජනීයත්වය දූෂනය කල බව කීහ ; රුසියාවට විරුද්ධව විසල් පරාසයක සම්බාධක පැනවූහ ; යුක්‍රේනයට ඩොලර් බිලියන ගනන්වල යුද අවි ලබා දුන්හ ; 

නමුත් තමුන්ගේ ප්‍රධාන මිත්‍ර රට විසින්, අවිවාදයෙන්ම කුපිත කිරීමක් නැතිව, මිලියන 91 ක ජනතාවක් සිටින රටකට එරෙහිව ආරම්භ කල, දැනටම සිවිල් මරන 1500 කට වඩා සිදුකර ඇති, ලොව ප්‍රධානතම නාවික මාර්ගය වසා දැමූ, න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය මතු කරන යුද්ධයක් සිදුවෙද්දී ඔවුන් ඊට විරුද්ධව එක වචනයක් කියා නැත. ඔවුන්ගේ ඊනියා 'නීති මත පදනම් වූ පටිපාටිය' එහි සැබෑ ස්වරූපයෙන්, එනම් තමන්ට උවමනා විටෙක තමන්ට උවමනා ඕනෑම රටකට විරුද්ධව යුද්ධයට යාමට අධිරාජ්‍යවාදීන්ට තිබෙන අයිතියට යොදා ගත් වෙනත් ආරූඪ නාමයක් බව හෙලිදරව් වී තිබේ. 

වර්තමාන යුද්ධය පිලිබඳව දකුනේ සහ වමේ පාර්ශ්ව දෙකම විසින් කරන ප්‍රසිද්ධ සාකච්ඡා  සියල්ලේම පාහේ ප්‍රධානතම ආඛ්‍යානය වී තිබෙන කාරනයක් ගැන අප අවධානය යොමු කල යුතුය. එනම්, ඉරානයට විරුද්ධ යුද්ධය ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මත ඊශ්‍රයෙල් හා සියොන්වාදී බලපෑම නිසා සිදුවූවක්‍ය යන්නයි. සමහරු එය තනිකරම ඊශ්‍රායල හා සියොන්වාදී බලපෑම නිසා සිදු වූ බව කියති. එකී විග්‍රහයට අනුව ඉරානය සමග ඝට්ටනයකට යාමට එක්සත් ජනපදයට තමන්ගේම ස්වාධීන උනන්දුවක් තිබී නැත.

ඒ අනුව බෙන්ජමින් නෙතන්‍යාහු සහ  ඊශ්‍රායල ලොබිය විසින් ඇමරිකාව මේ යුද්ධයට තල්ලු කර දමා ඇත. එම දුෂ්ඨ බලපෑම් නොවී නම් එක්සත් ජනපදය මැද පෙරදිග තුල ඊට සම්පූර්නයෙන්ම වෙනස් පිලිවෙතක් අනුගමනය කරනු ඇත. 

එම විවරනය වඩාත්ම ආක්‍රමනශීලී ලෙස ඉදිරිපත් කරන්නේ ජාතිකවාදී දක්ෂිනාංශිකයන් විසිනි.

එම කඳවුරේ වඩාත්ම බලපෑම් සහිත හඬ වූ ටකර් කාල්සන්, 2026 මාර්තු 3 වන දින මෙසේ කීය: 'මෙය සිදුවුනේ ඊශ්‍රායලයට, එය සිදුවීම අවශ්‍ය වූ නිසාය. මෙය ඊශ්‍රායලයේ යුද්ධය යි. මෙය එක්සත් ජනපදයේ යුද්ධය නොවේ...' කාල්සන් තවදුරටත් මෙසේ කීය: ' මෙතන තීන්දුව ගත්තේ එක්සත් ජනපදය නොවේ. බෙන්ජමින් නෙතන්‍යාහු ය...'

ආරක්ෂක ලේකම් ගේ හිටපු උපදේශකයකු වූ කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ද එම පීල්ල දිගේම තර්ක කරයි. යුද්ධය පටන් ගැනීමට දින දෙකකට පෙර පැවත් වූ කතාවකදී ඔහු මෙසේ කීය: ' මම හිතන්නේ තමන්ට වෙනත් තෝරා ගැනීමක් නොමැති බව ඔහු පිලි අරගෙනයි  තියෙන්නෙ. ඔහු ධවල මන්දිරයේ වාඩි කෙරෙව්වේ කව්ද යන්නත් ඊශ්‍රයෙල් ලොබියේ  සහ ඊට ආධාර කරන එක්සත් ජනපදයේ සිටින සියොන්වාදී බිලියනපතියන්ගේ අති විශාල බලය හා බලපෑමත් අපි තේරුම් ගත යුතුයි...'

යුද්ධය ආරම්භ වූ පසු දැමූ සමාජ මාධ්‍ය පෝස්ටුවක දී මැක්ග්‍රෙගර් මෙසේ ඇසීය : '...කුමක් සඳහාද ?මේ උමතු යුද්ධය පටන් ගත් ඊශ්‍රායලයට, වඩා පුලුල් කලාපීය යුද්ධයකට ඇමරිකානුවන් ඇද ගෙන යාමට හැකියාව ලබා දෙන්න ද?'

මෙම ආඛ්‍යානයම වෙනස්වන සංකීර්නතා සහිතව වාම-ලිබරල් විරුද්ධ පාර්ශ්ව විසින්ද බොහෝ දුරට පිලිගෙන තිබේ. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයකු වූ ජෙෆ්‍රි සැක්ස්, 'මෙය දුෂ්ට ස්වයං-පෙම්වතුන් (ආත්ම රාගිකයන්) දෙදෙනෙක් විසින් — නෙතන්‍යාහු සහ ට්‍රම්ප් — විසින් ධාවනය කරනු ලබන්නක්' ලෙස විස්තර කලේය. ඔහුට අනුව ඝට්ටනය ප්‍රාථමික වශයෙන්ම 'මහා ඊශ්‍රායලයක්' හා කලාපීය හෙජමනිය සඳහා වූ ඊශ්‍රායල ව්‍යාපෘතියකි. 

'අපි ඊශ්‍රයෙල් ව්‍යාපෘතියක් සඳහා ජීවිත පූජා නොකරමු' යන සටන් පාඨය යොදාගත් මැක්ස් බ්ලූමෙන්තාල් හා ක්‍රිස් හෙජස් වැනි චරිත ද කෝඩ් පින්ක් වැනි සංවිධාන ද ඝට්ටනය මූලික වශයෙන්ම ජාතිකවාදී දක්ෂිනාංශිකයන් විසින් විස්තර කල ආකාරයටම විස්තර කරති.

ඊශ්‍රායල ලොබිය සැබෑ ලෙසම පවතින්නක් බවත් ඇමරිකානු ප්‍රතිපත්ති වලට බලපෑම් කිරීම සඳහා ඔවුන් අතිවිශාල සම්පත් ප්‍රමානයක් වැය කරන බවත් ගැන අපේ වාදයක් නැත. දශක ගනනාවක් තිස්සේ ම ඊශ්‍රායලයට මේ යුද්ධය උවමනා වූ බවත් ඔවුන් ගාසාවේ ජන සංහාරය ප්‍රායෝගිකව සිදු කල බවත් ඔවුන්ගේ ස්වභාවය එන්න එන්නම, නොවරදින ලෙස ෆැසිස්ට්වාදී වන බවත් දැන් මැද පෙරදිග කලාපය වසා ඇවිලෙන ව්‍යසනය පිලිබඳව ඔවුන් අති විශාල වගකීමක් දරන බව ගැනත් වාදයක් නැත. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ඊශ්‍රායල් රාජ්‍යයට විරුද්ධ වීම අතින් වෙනත් කිසිවෙකුටත් දෙවැනි වූයේ නැත. එම විරුද්ධත්වය ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමට හතරවෙනි ජාත්‍යන්තරය විරුද්ධ වූ 1948 වසර දක්වා දිවෙන්නකි. මාක්ස්වාදය, සියොන්වාදයට එරෙහිව කල දෘෂ්ටිමය හා දේශපාලන අරගලය 1880 ගනන් දක්වා දිවේ. සියොන්වාදය වනාහි විනාශකාරී අනාගත ප්‍රතිඵල ගෙන ඒමට හැකියාව තිබෙන ප්‍රතිගාමී මනෝරාජ්‍යයක් ලෙස ට්‍රොට්ස්කිමත් විස්තර කර ඇත. ඔහු අනතුරු ඇඟවූ දෙය අද  සැබවින්ම සිදු වී ඇත.

කෙසේ වෙනත් වර්තමාන යුද්ධය ප්‍රාථමික වශයෙන්ම හෝ තනිකරම හෝ සියොන්වාදී බලපෑම නිසා සිදුවූවක් ලෙස විස්තර කිරීම, ඓතිහාසික විෂ්ලේෂනයක් ලෙස පමනක් නොව දේශපාලන ඉදිරි දර්ශනයක් ලෙසද ප්‍රගාඪ වශයෙන්ම දෝෂ සහිතය. එසේ විස්තර කරන අය, සිතාමතා  කලත් නැතත්, එය ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් සමාව අයැදීමක් පමනක් නොව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග අත්වැල් බැඳ ගැනීමක් පවා බවට පත් වේ. ගැටලුව පවතින්නේ ඊශ්‍රායල බලපෑම් තුල නම් විසඳුම වන්නේ එම බලපෑම ඉවත් කර නිර්ව්‍යාජ 'ඇමරිකානු' අවශ්‍යතා නියෝජනය කරන 'හොඳ' විදේශ ප්‍රතිපත්තියක් ඒ වෙනුවට ස්ථාපිත කිරීමය. එසේ ගත්කල, විදේශ ප්‍රතිපත්තිය, දැනට හොඳින් තිබෙන ශරීරයෙන් විෂ සහිත දේ විරේක කර  සුද්ද කිරීම වැනි සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වේ. එසේම එම ඉදිරි දර්ශනය, හොඳ පලදායි ක්‍රිස්තියානි ධනවාදය සහ පරපුටු ගිනි පොලීකාර යුදෙව්වන් ආධිපත්‍යය දරන මූල්‍ය ප්‍රාග්ධනය අතර මූලික වෙනසක් දකින යුදෙව් විරෝධය සමග ලඟින් සම්බන්ධිතය. කාල්සන් ගේ අර්ථ කථනය දින කීපයක් තුල ඊශ්‍රායලයේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ විවේචනයක සිට ඇමරිකානු රාජ්‍යය යුදෙව්වන් විසින් සියතට ගැනීම පිලිබඳ කුමන්ත්‍රන න්‍යායවල් දක්වා පරිනාමය වීම පුදුමයක් නොවේ.

වර්තමාන යුද්ධය සම්බන්ධයෙන් ගත්කල, ඊශ්‍රායල-කේන්ද්‍රික ආඛ්‍යානය, ගැටුම පිලිබඳ ඓතිහාසික, භූ දේශපාලනික, සමාජ-ආර්ථික කාරනා පිලිබඳ විශ්ලේෂනයක් කිරීම සේම   ගැටුමේ ආරම්භය, හේතු සහ අරමුනුවල පංති විශ්ලේෂනයක්  කිරීම ගැටුමෙන් ගලවා වෙන් කරයි. එය, හරය වශයෙන් අධිරාජ්‍යවාදය, විෂ්ලේෂනාත්මක රාමුවක් හැටියට  සලකන්නේ නැත. ඊශ්‍රායල-කේන්ද්‍රික ආඛ්‍යානය, බ්‍රිතාන්‍ය, ජර්මානු සහ අවසානයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් පර්සියාව-ඉරානය මර්දනකාරී ලෙස දිගු කලක් පාගා තබා ගැනීම නොසලකා හරී.

තෙල් ප්‍රශ්නය — සමස්ත ඝට්ටනයේම ද්‍රව්‍යමය පදනම එයයි — පසෙකට තල්ලු කර දමා ඇත. එය, වර්තමාන යුද්ධය, එක්සත් ජනපදය විසින් 1979 විප්ලවයේ ප්‍රතිඵල ආපසු හැරවීම සඳහා ඉරානයට එරෙහිව ගෙනගිය දිග්ගැස්සුනු අරගලය නොතකා හරී. එම එක්සත් ජනපද අරගලයට පහත සඳහන් දේ අඩංගු විය : ඉතා උග්‍ර මූල්‍ය සම්බාධක, මිලිටරි ප්‍රහාර, ඉරාකය හා ඊශ්‍රායලයත් ගල්ෆ් කලාපයේ වෙනත් රටවලුත් යොදාගෙන කල සතුරුකම් සහ අවසාන වශයෙන් පසුගිය අවුරුදු 35 මුලුල්ලේ එක්සත් ජනපදය හා නේටෝව විසින් මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ සහ මධ්‍යම ආසියාවේ මිතුරු රටවල් වල සහායෙන් ගෙන ගිය යුද්ධ ආදියයි. 

එපමනක් නොව ඊශ්‍රායල-කේන්ද්‍රික ආඛ්‍යානය, මේ යුද්ධය එක්සත් ජනපදය විසින් කරගෙන යන චීනයට හා රුසියාවට විරුද්ධ යුද සූදානමෙන් වෙන් කරයි. ලෝක සමාවාදී වෙබ් අඩවිය අවධාරනය කර ඇති පරිදි, එක්සත් ජනපදයේ අරමුන විසිවන සියවසේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයන්ගෙන් ලබා ගත් ජයග්‍රහනවල ශේෂ වී තිබෙන ඒවා ද අහෝසි කර තම හෙජමොනික පාලනය යටතේ ලෝකය ප්‍රතිසංවිධානය කිරීමයි. මෙම ව්‍යාපෘතියට ධාවකය සපයන්නේ සරල ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති පුද්ගලයාගේ දුෂ්ට චේතනාවන්වත් විසින්වත් ඔහුගේ උමතුව හෝ අපරාධකාරිත්වය විසින්වත් නොව, එක්සත් ජනපදයේ ගෝලීය මූල්‍ය ආධිපත්‍යයේ දිග්ගැස්සුන ගරාවැටීම යුද්ධය මගින් ආපස්සට හැරවීමේ අවශ්‍යතාව විසිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ගෙන ආවේ ඇමරිකානු පාලක පන්තිය විසිනි. ඔහු ජනාධිපති තනතුරට පත් කරන ලද්දේ මහජන නැගිටීමක් තුලින් නොවේ. ඔහු බලයට ගෙන ආවේ  දේශීය හා විදේශීය ප්‍රතිපත්තිය සඳහා පාතාලයේ විධික්‍රම යොදා ගැනීමට සූදානම් පුද්ගලයකු  ධවල මන්දිරයේ වාඩි කරවීමට  සිතාමතා තීරනයක් ගත් මූල්‍ය කතිපයන්ගේ අධිපති කොටස්  විසිනි. 

මූල්‍ය හා දේශපාලන වංශවත් පෙලැන්තියේ විශාල කොටස්, ඉතාම නීච ආකාරයේ අපරාධවල පැටලුනු එප්ස්ටීන් සිද්ධිය, වර්තමාන පාලනය බිහිවූයේ කවරාකාර සමාජ තට්ටු තුලින් ද යන්න ගැන ඉඟියක් දෙයි. ඉරාන යුද්ධය කරගෙන යන්නේ ඇමරිකානු ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ අන්ත කුනුවීමේ ප්‍රකාශනය වන ආන්ඩුවක් විසිනි. පාලක කතිපයාධිකාරයටත්  ධනේශ්වර සූරාකෑමේ සමස්ත ඇටවුමටත් එරෙහි දේශීය කම්කරු පන්තියේ විරෝධය ප්‍රචන්ඩ ලෙස මර්දනය කිරීමේ මාර්ගයක් හැටියට යුද්ධය පාවිච්චි කිරීම ඇමරිකානු ධනවාදයේ ගෝලීය අවශ්‍යතා සමග වෙන්කල නොහැකි ලෙස බැඳී පවතී.

ඉරානයට විරුද්ධ යුද්ධය වර්ධනය වන්නේ සංක්‍රමනික ජන කොටස් මෘග ලෙස මර්දනය කිරීම, ICE බලකායේ ෆැසිස්ට්වාදී මැර හමුදා ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීම ආදිය පසුබිමේ ඇතිව සිදුකලා වූ වෙනිසියුලා ආක්‍රමනය හා කියුබාවේ ගෙල මිරිකීමේ වර්තමාන උත්සාහයන් ආදියට පසුවය. වෙනිසියුලා ආක්‍රමනය හා කියුබාවේ ගෙල මිරිකීමේ වර්තමාන උත්සාහයන් යන  එකක්වත් සියොන්වාදී අවශ්‍යතා සමග සම්බන්ධයක් ඇති ඒවා නොවේ.

යුද්ධයේ තර්කනය හුදෙක් ඊශ්‍රායලය ලොබියේ තර්කනය නොවේ ; එය ඓතිහාසික අර්බුදයේ යුගය තුල සිටින අධිරාජ්‍යවාදයේ තර්කනය යි.

මෙය ඔප්පු කිරීම සඳහා අප ඉරානය සමග ඇමරිකානු සම්බන්ධයේ ඇත්ත ඉතිහාසය විමසා බැලිය යුතුය. එම ඉතිහාසය, නවීන ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමට පෙර කාලය දක්වා දිවෙන, සියොන්වාදී කූටෝපායන් මත නොව තෙල් මත සහ ඇමරිකානු ධනේශ්වරයේ භූ දේශපාලන හා පන්ති අවශ්‍යතා මත පදනම් වූ ඉතිහාසයකි.

එක්සත් ජනපදය ඉරානය සමග වසර පනහක් පමන තිස්සේ යුද්ධ කරන්නේ — ආර්ථික හා රහස් යුද්ධද හා දැන් විවෘත යුද්ධද — කරන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට යමෙක් හැරිය යුත්තේ දෘෂ්ටිවාදය දෙසට නොව භූගෝල විද්‍යාව දෙසටය.

ඉරානය පිහිටා ඇත්තේ ලෝක ආර්ථිකයේ ඉතාම වැදගත් කලාපයන් තුනක් — මධ්‍යම ආසියාව දකුනු ආසියාව සහ පර්සියානු බොක්ක — එකිනෙක හමුවන සන්ධිස්ථානයකය.

ලෝකයේ සනාථ කරන ලද තෙල් නිධි අතර හතරවන විශාලතම තෙල් නිධි සහ ස්වාභාවික වායු නිධි අතර දෙවන විශාලතම ස්වාභාවික වායු නිධි ද ඉරානය සතුය. එපමනක් නොව, ඉරානය, වර්තමාන යුද්ධයට පෙර ලෝක තෙල් සැපයුමෙන් සියයට විස්සක් දිනපතා පසු කර ගිය හෝමුස් සමුද්‍ර සන්ධිය නමැති පටු මුහුදු තීරුව පාලනය කරයි.

වොෂින්ටනයේ කිසිම බැරෑරුම් මූලෝපායඥයෙකු කිසිවිටක මේ කාරනය නොසලකා හැරියේ නැත. ඉරානය පිලිබඳ අරගලය හරයෙන් ගත්කල, කිසිවිටෙක ත්‍රස්තවාදය ගැනවත් න්‍යෂ්ටික අවි ගැනවත් මානව හිමිකම් ගැනවත් ඊශ්‍රායලය ගැනවත් නොවීය. ඒ සියල්ල හුදෙක් ව්‍යාජ හේතු, සාධාරනීකරනය කිරීම්, සහ මෙවලම් පමනක් විය. මූලිකම සාධකය හැමවිටම පර්සියානු බොක්කේ තෙල් සම්පත් පාලනය කරන්නේ කවුද, කවර කොන්දේසි මතද යන්න විය.

එක්සත් ජනපදය වේදිකාවට ඒමට බොහෝ කලකට පෙර අධිරාජ්‍යවාදී බලවතුන් මේ කාරනය ග්‍රහනය කර ගත්හ. බ්‍රිතාන්‍යය 1908 දී, පසුව ඇන්ග්ලෝ ඉරේනියන් ඔයිල් කම්පනි සහ ඊටත් පසුව බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (බීපී) බවට පත් වූ ඇන්ග්ලෝ පර්ෂියන් ඔයිල් කම්පනි මගින්, ඉරාන තෙල් හාරන්නට පටන් ගත්තේය. විසිවන සියවසේ පලමු අර්ධය තුලදී, ඉරානය ප්‍රායෝගික අතින් බ්‍රිතාන්‍ය අර්ධ-යටත් විජිතයක්  විය. එහි තෙල් සම්පත හෑරුවේ විදේශීය සමාගමකි; එහි දේශපාලනය හැඩ ගැස්වූයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයයි;  එහි ස්වෛරීභාවය නාම මාත්‍රික විය. 

ජර්මනියද ඉරානයේ මූලෝපායික වැදගත්කම  තේරුම් ගත්තේය. කයිසර් යටතේ ජර්මන් ප්‍රාග්ධනය, බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනය සමග ඉරානය තුල බලය සඳහා තරඟ කලේය. ඔවුන් දෙපාර්ශවය අතර මෙම සතුරුකම පලමු ලෝක සංග්‍රාමයට දායක වූ ලෝක ව්‍යාප්ත සතුරුකමේ කොටසකි. දෙවන ලෝක සංග්‍රාමය තුලදී නාසීහු ඉරානයේ රීසා ෂා පාලවි සමග සම්බන්ධතා වගා දිගා කර ගත්හ. මෙය, 1941 දී බ්‍රිතාන්‍ය-සෝවියට් ඒකාබද්ධ හමුදා විසින් ඉරානය ආක්‍රමනය කිරීම සාධාරනීකරනය කිරීමට තරම් මිත්‍ර පාර්ශ්වය කලබලයට පත් කලේය. 

දකුනු ප්‍රදේශයේ තෙල් යායවල් බ්‍රිතාන්‍යය අල්ලා ගත්තේය; සෝවියට්වරු උතුරේ තෙල් බිම්වල වාඩි ලා ගත්හ. මහ බලවතුන්ගේ ඕනෑ එපාකම් සමග ඝට්ටනය වන හැමවිටම ඉරානයේ ස්වෛරී භාවය, බොහෝවිට සිදු වූ ආකාරයටම බිල්ලට දෙන ලදී. දෙවන ලෝක සංග්‍රාමයේ දී එක්සත් ජනපදය ප්‍රවේශ වූයේ  මෙම අන්තර්-අධිරාජ්‍යවාදී අරගලයේ රඟමඩලටය.  ඉන්පසු එය කිසිදා එම වේදිකාවෙන් බැස නොගියේය.

මෙය රහසක් නොවේ. එක්සත් ජනපදයේ 2025 ජාතික ආරක්ෂක මූලෝපාය පිලිබඳ ලියවිල්ල අසාමාන්‍ය අවංකභාවයකින් යුතුව මෙසේ කියයි : ' පර්සියානු බොක්කේ බලශක්ති සැපයුම් එලිපිටම සතුරු බලවේග අතට පත් නොවන බවටත් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවතින බවටත් සහතික වීමේ කේන්ද්‍රික බැඳියාවක් ඇමරිකාවට ඇත. ට්‍රම්ප්ගේම ජාතික ආරක්ෂක කාර්ය මන්ඩලය විසින් ලියන ලද එම තනි වාක්‍යය, ඉරානයට විරුද්ධ යුද්ධයකට තමන්ගේම වූ උනන්දුවක් ඇමරිකාවට තිබුනේ නැත යන ප්‍රකාශය සුනු විසුනු කරයි. 

ටෙහෙරාන් සමුලුවේ දී ස්ටැලින් රූස්වෙල්ට් සහ චර්චිල් 

ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඉරානයේ තිබෙන මූලෝපායික වැදගත්කම පිලිගනු ලැබුවේ 1979 දී වත් 2001 දී වත් නොව දෙවන ලෝක යුද්ධය කාලයේදීය. 1943 නොවැම්බරයේ දී  ස්ටැලින්, රූස්වෙල්ට් සහ චර්චිල් ඉරානයේ අගනුවරදී, ටෙහෙරාන් සමුලුව — මහ බලවතුන් තිදෙනාගේ පලමු රැස්වීම — පැවැත්වූහ. සමුලුව පැවැත්වූ ස්ථානය තෝරා ගැනීම ම වැදගත්‍ ය. 1941 අගෝස්තුවේදී බ්‍රිතාන්‍යය හා සෝවියට් සංගමය ඒකාබද්ධව ඉරානය ආක්‍රමනය කොට එහි වාඩිලා ගත් අතර සෝවියට් යුද පෙරමුනට ඇමරිකානු ලෙන්ඩ්-ලීස් ආධාර ද්‍රව්‍ය සපයනු ලැබූ තීරනාත්මක සැපයුම් කොරිඩෝව වූයේ ඉරානයයි. නායකයන් තිදෙනා ටෙහෙරාන් සමුලුවේ දී, ඉරානයේ ස්වාධීනත්වය, ස්වෛරීභාවයට හා භෞමික අඛන්ඩතාවට ගරු කරන  බවට ප්‍රතිඥා දෙමින් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කලෝය. 

සමුලුව ඉරානය පාලනය කරන්නා පෘථිවියේ පොහොසත්ම තෙල් නිධි පාලනය කරනවාය යන යථාර්ථය රූස්වෙල්ට් ට මුන ගැස්සවූ අතර ඊලඟ දශක අට සඳහා ඇමරිකානු මූලෝපාය හැඩගැස්වූයේ එම යථාර්ථයයි.

නිරවි යුද්ධයේ (සීතල යුද්ධයේ) පලමු මහ බලවතුන් අතර ඝට්ටනය සිදුවූයේ බර්ලිනයේදී හෝ කොරියාවේදී නොවේ. ඉරානයේ දීය.

යුද්ධයේදී යටත් කරගත් රටවල්වල වාඩිලා ගැනීමේ ගිවිසුමේ කොන්දේසි අනුව, ගැටුම් අවසන් වී මාස හයක් තුල මිත්‍ර පාර්ශ්වයේ සියලු හමුදා ඉරානයෙන් පිටවිය යුතුව තිබුනි. එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය කාල සටහනේ ප්‍රකාර රටින් ඉවත් විය. 

තම පැරනි මිත්‍ර රට (සෝවියට් රුසියාව) කෙරෙහි 'දැඩි ප්‍රතිපත්තියක්' අනුගමනය කිරීමේ ස්ථාවරයක සිටි ටෲමන් පාලනය, අනාගතයේ හඳුන්වා දෙනු ලබනු ඇති 'සීමාකර තැබීමේ ප්‍රතිපත්තිය' පරීක්ෂාවට ලක් කිරීමේ අවස්ථාවක් ලෙස මේ ඉරාන අර්බුදය සැලකීය. එක්සත් ජනපදය, අලුතෙන් පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය හරහා සහ සෘජු තානාපති මාර්ග හරහා සෝවියට් සංගමයට පීඩනය යෙදුවේය. ඒකාබද්ධ පීඩනය යටතේ සෝවියට් හමුදා 1946 මැයි මාසයේ දී ඉරානයෙන් පිට විය. 

මේ සිදුවීමේ වැදගත්කම අධි-අවධාරනය කල නොහැකිය. එක්සත් ජනපදය, සෝවියට් සංගමය ඉදිරියේ තම මතය තරයේ ප්‍රකාශ කොට ජය ගත් ප්‍රථම අවස්ථාව ඉරාන අර්බුදයයි. 

එක්සත් ජනපදය, පර්සියානු බොක්කේ තෙල් සම්පත්වලට අත තැබීමට බටහිර රටවලට ඇති අයිතිය තමන්ගේ මධ්‍යම මූලෝපායික අවශ්‍යතාවක් ලෙස — ඊලඟ දශක තුන තුලදී එය වඩා විධිමත් හා වඩා ගැඹුරු රටාවක් විය — තහවුරු කර ගත්තේය. 

පසුකාලීනව සිදු වූ සියල්ල පැහැදිලි කරන ඇමරිකානු ඉරාන සබඳතාවල තීරනාත්මක සිදුවීම, 1953 අගෝස්තු 19 වන දින, සීඅයිඒ සංවිධානය සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවය විසින් ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වී සිටි මොසාඩෙග් ගේ ආන්ඩුව පෙරලා දමා ඉරානයේ තනි ආඥාදායක පාලකයා ලෙස ෂා බලයේ පිහිට වූ අවස්ථාවේදී සිදුවිය.

මොසාඩෙග් කල අපරාධය, ඉරානයේ තෙල් කර්මාන්තය ජනසතු කිරීමය. 1908 සිට ඇන්ග්ලෝ පර්සියානු තෙල් සමාගම ඉරාන රජයට ආදායමෙන් ඉතා සුලු කොටසක් පමනක් ගෙවමින් ඉරානයේ තෙල් නිෂ්පාදනය කලේය. මොසාඩෙග් මේ ජාතික සම්පත නැවත පවරා ගත් විට බ්‍රිතාන්‍යය ඉරානයට එරෙහිව සම්බාධක හා වෙලඳ තහනම් පනවා, මොසාඩෙග් බලයෙන් පහ කිරීම සඳහා එක්සත් ජනපදයෙන් ආධාර ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍යයන් විසින් ලබාදුන් අවස්ථාව ද නිරවි යුද්ධයේ භීතීන් ද ඇමරිකානු තෙල් සමාගම් වලට ගල්ෆ් කලාපයට බැසීමට තිබූ උවමනාව ද විසින් අභිප්‍රේරනය ලැබූ අයිසන්හවර් ආන්ඩුව, මොසාඩෙග් ආන්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රනයට සීඅයිඒ සංවිධානයට අවසර ලබා දුන්නේය. 

'ඔපරේෂන් ඒජැක්ස්'  යයි නම් කරන ලද එම ක්‍රියාන්විතයට තියඩෝ රූස්වෙල්ට්ගේත් පසුව චේස් මෑන්හැට්න් බැංකුවේ ඩේවිඩ් රොකෆෙලර් ගේ උපදේශකයකු ලෙස මතු වූ ආචිබෝල්ඩ් රූස්වෙල්ට් ගේත් මුනුපුරා වූ කර්මිට් රූස්වෙල්ට් (ජ්‍යෙෂ්ඨ) විසින් නායකත්වය දෙන ලදී. ක්‍රියාන්විතයේදී ටිහිරන් නුවර 300 පමන පිරිසක් මිය ගියහ. 

මොහමඩ් රීසා පාලවි ඉරානයේ ෂා

කුමන්ත්‍රනයට පසු ෂා තම බලය ඒකාබද්ධ කර ගත්තේය. සීඅයිඒ සහ මොසාඩ් ආධාර ඇතිව සවාක් (SAVAK) නම් ෂා ගේ රහස් පොලිසිය පිහිටුවන ලදී. ගල්ෆ් යුද්ධයේ අන දෙන නිලධාරියා වූ ශ්වාර්ෂ්කෝෆ් ගේ පියා වූ මේජර් ජෙනරාල් නෝමන් ශ්වාර්ෂ්කෝෆ් ෂා ගේ නීතිය ක්‍රියාත්මක කරන හමුදා පුහුනු කිරීම සඳහා සීඅයිඒ සංවිධානය විසින් ඉරානයට යවන ලදී. ඉරාන තෙල් කර්මාන්තය, බ්‍රිටිෂ් පෙට්‍රෝලියම්, ෂෙල් සහ ප්‍රංශ සමාගම් සමග ඇමරිකානු සමාගම් පහක් යටතේ ප්‍රතිසංවිධානය කරන ලදී. ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී පරීක්ෂනය කුඩුපට්ටම් කර දැමීමේ අරමුන ඉෂ්ට විය. දැන් ඇමරිකානු ප්‍රාග්ධනයට ඉරාන තෙල් කර්මාන්තයට සෘජු ප්‍රවේශය ලැබුනි.

ඉරාන ඝට්ටනය සමග එක්සත් ජනපදයේ උනන්දුවක් නැත යන ප්‍රකාශය ඓතිහාසික වාර්තාව විසින් පමනක් නොව වසා දමා තිබී පසුව විවෘත කරන ලද එක්සත් ජනපද ආන්ඩුවේම රහස් මූලෝපායික ලියවිලි වලින් නිෂ්ප්‍රභ වේ. 1950 ගනන්වල සිට දිගටම, ඉරානය ඇමරිකාවට තීරනාත්මකව වැදගත් වන සහ තර්ජනයක් වන ස්ථානයක් හැටියට එම ලියවිලිවලදී  හඳුනාගෙන තිබේ.

1953 කුමන්ත්‍රනය අවසන් වූ අවස්ථාවේ සිටම ලියවිලි ආරම්භ වේ : ජාතික ආරක්ෂක කවුන්සිලයේ අංක NSC 5402/1 දරන පලමු සවිස්තරාත්මක ලියවිල්ල තුල මොසාඩෙග් බලයෙන් පහ කිරීමෙන් පසු ඉරානය තුල ඇමරිකානු මූලික ප්‍රතිපත්ති රාමුව අඩංගු වේ. එය බටහිර ගැති අනුග්‍රාහක රාජ්‍යයක් ලෙස පවත්වා ගත යුතු වේ; එහි හමුදාවට ආධාර කල යුතුය; එහි තෙල් බටහිර වෙලෙඳපොල කරා ගලා ආ යුතුය. 1958 වන විට අයිසන්හවර් ගේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් අනුමත කල අංක NSC 5821/1 දරන ලියවිල්ල කාරනය ඊටම ආවේනික විවෘත භාවයකින් මෙසේ විස්තර කලේය : ' සෝවියට් සංගමය හා පර්සියානු බොක්ක අතර ඉරානයේ මූලෝපායික පිහිටීම සහ එහි විශාල තෙල් සංචිත එක්සත් ජනපදයට කොතරම් තීරනාත්මකව වැදගත් ද යත් අප ඔවුන්ගේ ස්වාධීනත්වය, මිත්‍රත්වය හා භෞමික අඛන්ඩතාව පවත්වා ගත යුතු වේ...' ලියවිල්ල ඉරානයේ (රූකඩ ආන්ඩුවේ) දේශපාලන ස්වාධීනත්වය හා භෞමික අඛන්ඩතාව ආරක්ෂා කිරීමට ඇමරිකානු හමුදා යෙදවීමට බලය දුන්නේය.

1953 සිට 1979 දක්වා ෂා, 'පර්සියානු බොක්කේ සිටින වොෂින්ටනයේ පොලිස්කාරයා' ලෙස සේවය කලේය. එම වචනම 1969 නික්සන් ප්‍රතිපත්තිය අනුව ඇමරිකානු මූලෝපායික ප්‍රතිපත්තිමය ලියවිලි තුල අඩංගු විය. එම ප්‍රතිපත්තිය වූයේ සංවර්ධනය වන ලෝකය තුල ඇමරිකානු පොලිස්කාරයා විය යුත්තේ ඇමරිකානු හමුදා නොව, කලාපීය මිත්‍ර රටවල් වල හමුදාවන්‍ය යන්නය. 

1970 සහ 1978 අතර ෂා, ඩොලර් බිලියන 20 ක ඇමරිකානු ආයුධ ඇනවුම් කලේය. එක් කොන්ග්‍රස් සභිකයකු එය විස්තර කලේ 'යුද්ධයක් නැති කාලයක තනි රටක් විසින් කල ඉතිහාසයේ ලොකුම මිලිටරි බලමුලු ගැන්වීම' හැටියටය. ඉරානය ඇමරිකානු යුද අවි සඳහා ලෝකයේ ලොකුම තනි ගැනුම්කරුවා බවට පත් විය. ගෲමන්, නෝත්‍රොප්, රොක්වෙල් හා බෙල් හෙලිකොප්ටර් සමාගම

ඇතුලු දුසිම් ගනන් ඇමරිකානු යුද කොන්ත්‍රාත් සමාගම් ඉරාන ගනුදෙනුවලින් මිලියන ගනන් ඉපයූහ. 1973 වන විට ඇමරිකානු තාක්ෂනික නිලධාරීන් 3600 ක් ඉරානයේ යුද අවි සම්බන්ධ ව්‍යාපෘතිවල රැකියා කලහ. මේ සංඛ්‍යාව 1980 වනවිට 25000 දක්වා වැඩිවනු ඇතැයි ගනන් බලා තිබුනි.

චේස් මෑන්හැට්න් බැංකුව ඩේවිඩ් රොකෆෙලර් යටතේ ඉරානයේ රජයේ ව්‍යාපෘතිවලට ඩොලර් බිලියන 1.7 ක නය සම්බන්ධීකරනය කලේය. එය අද ඩොලර්වලින් බිලියන 5.8 පමන වේ. චේස් මෑන්හැට්න් බැංකුව ඩොලර් මිලියන 360 ක සෘජු නය ඉරානයට දී තිබුනු අතර ඩොලර් මිලියන 500 ක ඉරාන තැන්පතු ලබාගෙන තිබුනි. එක්සත් ජනපදය හා ෂා තන්ත්‍රය අතර තිබූ මූල්‍යමය යුදමය හා රහස් තොරතුරු පිලිබඳ සම්බන්ධය සාමාන්‍ය අර්ථයෙන් තානාපති සබඳතාවක් නොවීය. එය, ආයුධ වෙලඳාම හා බැංකු කටයුතුවල ලාභ මගින් ලිහිසිකරනය කල, සීඅයිඒ සංවිධානය විසින් පුහුනු කල හමුදා මගින් බලාත්මක කල, නිරවි යුද්ධයෙන් සාධාරනීකරනය කල අධිරාජ්‍යවාදී සූරාකෑමේ සහ පාලනයේ පද්ධතියක් විය.

ෂා ගේ අභ්‍යන්තර මර්දනයේ අවිය වූ සවාක් (SAVAK) නමැති රහස් පොලිසිය කුප්‍රකට  එකක් විය. ලියවිලි තුල සඳහන්ව ඇති අයුරින්,  සැකකරුවන්ට වධ දීමට බලය තිබූ 'බුරුල් දම්වැලකින්' බඳින ලද දඩ බල්ලෙක් වූ එය ෂා බලයේ සිටි අවසාන දශක දෙක තුල සිය ගනන් දේශපාලන සැකකරුවන් ඝාතනය කලේය. දහස් ගනන් සිරගත කරන ලදී. ෂා ගේ බලය රැඳුනේ කිසිම ස්වදේශීය නීත්‍යනුකූල භාවයක් මත නොව 1953 කුමන්ත්‍රනය මත බවත් එක්සත් ජනපදයේ සහයෝගය මත බව ඉරානයේ ජනතාව දැන සිටියේ ය.

ෂා සමග ඇමරිකාවේ සම්බන්ධය  හුදෙකලාව පැවැති දෙයක් නොවීය. එය වඩා පුලුල් බටහිර බලවතුන් ගේ සන්ධානයක කොටසක් විය. එම බලවතුන්, විශේෂයෙන් ජර්මනිය, එහි උනන්දුවෙන් සහභාගි වන සහ එයින් ලාභ ලබන හවුල්කරුවන් විය. ඇඩිනුවර්, එර්හාඩ් හා කිසිංගර් යන චාන්සලර්වරුන්ගේ ආන්ඩු යටතේ ජර්මනිය ෂා ගේ තන්ත්‍රය සමග ලඟ සබඳතා වර්ධනය කර ගත්තේය. ජර්මනිය, ඉරානයේ ප්‍රධාන වෙලඳ ගනුදෙනුකරුවකු සේම ඉරේනියානු යටිතල පහසුකම් දියුනු කිරීමේ ව්‍යාපෘතිවල ආයෝජකයකු විය. ෂා ගේ දේශපාලන හිරකරුවන්ට වධ බන්ධන කිරීම් හා ඝාතන සාක්ෂි සහිතව ඔප්පු කර තිබියදීත් ඒ කිසිත් නොතකා බටහිර ජර්මනිය ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍ර රටක් පිලිගන්නා ආකාරයෙන් ෂා සාදරයෙන් පිලිගත්තේය. ෂා කොමියුනිස්ට් විරෝධීය ; ඔහු ලඟ විකිනීමට තෙල් තිබේ. එය ප්‍රමානවත් ය.

1967 ජුනි 2, ශිෂ්‍යයෝ ජර්මනියේ බටහිර බර්ලිනයේ දී ඉරානයේ ෂාට එරෙහි ව විරෝධතා දක්වති [Photo by Stiftung Haus der Geschichte / CC BY-SA 2.0]

ෂා ගේ ආඥාදායකත්වය සමග ජර්මන් රජයේ සම්බන්ධතාව, 1967 ජුනි දෙවෙනි දින කුර්ට් ජෝර්ජ් කිසිංගර් — ඔහුද හිට්ලර්ගේ නාසි පක්ෂයේ හිටපු සාමාජිකයෙක් විය — චාන්සලර් තනතුර දරන කාලයේ ෂා රජු ජර්මනියට පැමිනි අවස්ථාවේ දී හෙලිදරව් විය.

ඩොයිෂ් ඔපෙරා නාට්‍ය ශාලාවේ මෝසාට් ගේ මැජික් ෆ්ලූට් නම් සංගීත සංදර්ශනයකට ෂා රජු  පැමිනි විට ශිෂ්‍යයෝ සහ පිටුවහලේ සිටි ඉරාන ජාතිකයෝ විරෝධතාවක් සංවිධානය කලහ. එහිදී බර්ලින් පොලිසියේ ආවරනය ඇතිව ෂා ගේ රහස් පොලිස් ඒජන්තයෝ විරෝධතාකරුවන්ට ලී රීප්ප වලින් පහර දුන්හ.

සෙබස්තියන් හැෆ්නර් නම් මාධ්‍යවේදියා 'හිට්ලර්ගේ වධක හිරගෙවල්වල මෘගත්වයට එහා ගිය' මර්දනයක් ලෙස විස්තර කල මර්දනයක් ජර්මන් පොලිසිය විසින් ඉන්පසු දියත් කරන ලදී. කොන්සර්වැටිව් පුවත්පතක් වූ 'Frankfurter Allgemeine Zeitung' විසින්, 'කිසිදු බැරෑරුම් අවශ්‍යතාවක් නොමැතිව ජර්මන් පොලිසිය, ෆැසිස්ට් හෝ අර්ධ ෆැසිස්ට් රටවලින් එන පුවත්පත් වාර්තාවලට සමාන, සැලසුම්කරන ලද මෘගත්වයෙන් ප්‍රතිචාර දැක්වූ බව' ප්‍රකාශ කරන ලදී.

ප්‍රහාරයේදී බෙනෝ ඕනෙසෝග් නමැති ජීවිතයේ පලමු දේශපාලන පෙලපාලියට සහභාගි වූ විසිහය හැවිරිදි විවාහක ශිෂ්‍යයකු — ඔහුගේ බිරිඳ තම පලමු දරුවා බලාපොරොත්තුවෙන් සිටියාය —ගෙවත්තකට කොටු කර ගන්නා ලදී. පොලිස් භටයන් තිදෙනෙක් ඔහු අල්ලාගෙන සිටියදී කාල් හයින්ස් කුරාස් නම් සිවිල් ඇඳුමින් සිටි රහස් පරීක්ෂකයා බෙනෝ ඔනෙසෝග් ගේ හිසේ පිටුපසට වෙඩි තැබුවේය. ඕනෙසෝග් අතේ කිසිම ආයුධයක් තිබුනේ නැත. ඔහු කිසිවෙකුටත් පහර දුන්නේද නැත. රෝහල් වාර්තා මුසාකරනය කරන ලදී. වෙඩි උන්ඩයෙන් ඇති වූ තුවාලය වසා දැමීමට උත්සාහයක් දරන ලදී. කුරාස්ට එරෙහිව නඩු පැවරූ නමුත් ඔහු ඉන් නිදහස් විය. ක්‍රම විරෝධී වන්නේ බටහිර බර්ලිනයේ පොලිස් ප්‍රධානියා ගේ ක්‍රම සහ විධි පමනක් නොවේ. එරික් ඩුවෙන්සින්ග් නාසි හමුදාවේ හිටපු මාන්ඩලික නිලධාරියෙකි.

බෙනෝ ඔනෙසෝග් ඝාතනය, ජර්මන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ 1968 දී සිදු වූ පුලුල් රැඩ්කලීකරනයේ උත්ප්‍රේරක සිද්ධිය විය.

මෙම දේශනයට වැදගත් වන කාරනය වන්නේ ෂා ගේ රහස් පොලිස් මර්දන යන්ත්‍රය ඉරානය තුල පමනක් නොව බටහිර අගනුවරවල වීදි වල පවා බටහිර ආන්ඩුවල ක්‍රියාකාරී අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ බවය. 1953 දී එක්සත් ජනපදය ඉරානයේ ඇට වූ ආඥාදායකත්වය පවත්වා ගත්තේ ඇමරිකානු අවි ආයුධ හා ඇමරිකානු මුදල් මගින් පමනක් නොවේ ; සමස්ත බටහිර අධිරාජ්‍යවාදී සන්ධානයේ ක්‍රියාකාරී සහභාගිත්වය ද මගිනි.

1979 ජනවාරි - පෙබරවාරි වලදී විප්ලවය පැමිනි විට, එය, පශ්චාත් යුද්ධ කාලය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයට විඳීමට සිදුවූ බරපතලම මූලෝපායික පරාජයන්ගෙන් එකක් විය. එය, රූපාකාරයෙන් සැසඳිය නොහැකි වුවද ප්‍රතිඵල අතින් 1949 දී චීනය අහිමි වීම සමග සැසඳිය හැක්කකි. සති කීපයක් තරම් කෙටි කාලයක් තුලදී එක්සත් ජනපදයට කලාපය තුල තමන්ට සිටි ප්‍රබලම මිත්‍රයා, සෝවියට් සංගමයේ දකුනු දේශසීමාවේ පිහිටි ප්‍රධානතම ඔත්තු බැලීමේ වේදිකාව, විශාලතම යුද අවි ගැනුම්කරුවා, පර්සියානු බොක්කේ තමන්ගේ පොලිස්කාරයා සහ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ප්‍රාග්ධනයට ඉරාන තෙල් සම්පත සූරා ගැනීම සඳහා වූ සහභාගිත්ව රාමුව ආදී සියල්ල එක පහරින් අහිමි විය. 1946 සිට ප්‍රවේසමෙන් ගොඩනගන ලද ගල්ෆ් කලාපයේ ඇමරිකානු බලයේ සමස්ත උපරි ව්‍යුහයම කඩා වැටුනි.

ඉරානයේ ටෙහෙරාන් හි කොලෙජ් බ්‍රිජ් නම් ස්ථානයේ දී ෂා ට විරුද්ධව පැවැත් වූ පෙලපාලියක් [Photo by Unknown]

ෂා ට විරුද්ධ විප්ලවයට ධාවකය සපයන ලද්දේ, ෂා ගේ ඒකාධිපතිත්වට එරෙහිව දශක ගනනාවක් තිස්සේ ගොඩ ගැසුනු දුක් ගැනවිලිද, ඔහුගේ සවාක් නමැති රහස් පොලිසිය කෙරෙහි තිබූ ජනතා වෛරයද, රජ පවුලේ බරපතල මූල්‍ය වංචාද, ඉක්මන් නමුදු අසමාන වූ නවීකරනය නිසා ඇති වූ විතැන්වීම් ද, මිලියන ගනන් ජනයා අන්ත දරිද්‍රතාවයේ ගැලී සිටියදී සුලු වරප්‍රසාදිත පිරිසක් අත පමනක් තෙල් සම්පතින් ගලා ආ ධනය රැඳීම ද ආදිය මගිනි. ඉරාන ජන විඥානය තුල එක්සත් ජනපදය සහ ෂා වෙන් කල නොහැකිය. 1953 ෂා ගේ කුමන්ත්‍රනය තවමත් සජීවී මතකයකි. ජනතාව, දිනපතාම ඇමරිකානු හමුදා භටයින් හා සමාගම් නිලධාරීන් දස දහස් ගනන් වීදිවල දී දකිති. විප්ලවය, එහි අභ්‍යන්තර ගතිකයන් මොනවා උනත් ඇමරිකානු ආධිපත්‍යයෙන් විමුක්තිය ලැබීමක් ලෙස දකිනු ලැබීම වැලැක්විය නොහැක්කක් විය.

ඉන් පසුව එලඹි 46 වසරක කාලය තුලම ඇමරිකානුවන්ගේ තිබූ ඉරාන විරෝධී එදිරිවාදුකම ඉරානය විසින් පසුකාලීනව ගන්නා ලද යම් යම් පියවරවල් නිසා ඇතිවූවක් නොව විප්ලවය නිසා සිදුවූ මෙම අහිමි වීම නිසා ඇති වූවකි. එක්සත් ජනපදය කිසිදා ඉරාන විප්ලවයේ ප්‍රතිඵල පිලිගත්තේ නැත. පසුකාලීනව එක්සත් ජනපදය ගත් සෑම ප්‍රතිපත්තිමය පියවරක්ම —ඉරාන ඉරාක යුද්ධයේ දී ඉරාකයට සහයෝගය දීම, ඉරාන නාවික හමුදාව විනාශ කිරීම, ඉරාන මගී ගුවන් යානය බිම හෙලීම, දශක ගනනක සම්බාධක, සොලෙයිමානි ඝාතනය, න්‍යෂ්ටික රසායනාගාර වලට බෝම්බ දැමීම සහ දැන් 2026 දී පූර්න යුද්ධය ආදිය — එක් නිශ්චිත තනි ඉලක්කයක්, එනම්, ඇමරිකානු පාලනය යලි පිහිටුවීම මගින් හෝ  ස්වාධීන රාජ්‍යයක් ලෙස ඉරානයට පැවතීමට නොහැකි කිරීම මගින්, 1979 සිදු වූ මූලෝපායික පරාජය ආපසු හැරවීම සඳහා ගත් පියවරයන්‍ ය.

1980 ගනන්වලදී  විප්ලවයේ උදාව හා සෝවියට් සංගමයේ ඇෆ්ගනිස්තාන ආක්‍රමනය සමග 'කාටර් ප්‍රතිපත්තිය' ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව පර්සියානු බොක්කේ බලය අල්ලා ගැනීමට බාහිර බලවේගයක් යත්න දැරුවොත්, එය එක්සත් ජනපදයේ කේන්ද්‍රීය අවශ්‍යතාවන්ට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකන බවත් එය සන්නද්ධ බලය යොදා පලවා හරින බවත් ප්‍රකාශ කලේය. එම ප්‍රතිපත්තිය කිසිදා අහෝසි කරනු ලැබුවේ නැත. තලිබාන්වරුන්ට විරුද්ධව ඉරානය එක්සත් ජනපදය සමග ක්‍රියාකාරීව සහයෝගී වෙමින් සිටියදී 'ඉරානය දුෂ්ට අක්ෂයේ කොටසක්' යයි  බුෂ් ප්‍රකාශ කලේය. 2006 ජාතික ආරක්ෂාව පිලිබඳ මූලෝපායික ලියවිල්ල ඉරානයට එරෙහිව 'අවශ්‍ය සියලු පියවරයන්' ගන්නා බවට අනතුරු ඇඟවීය. 2017 මූලෝපායික ලියවිල්ල විසින් ඉරානය, උතුරු කොරියාව සමග ',චෞර රාජ්‍ය' ගනයට දමන ලදී. කලින් සඳහන් කල පරිදි, 2025 වසර සඳහා වූ ජාතික ආරක්ෂාව පිලිබඳ මූලෝපායික ලියවිල්ල ඉරානය විවෘතවම සතුරු රාජ්‍යයක් ලෙස නම් කල අතර ෆල්ෆ් කලාපය කේන්ද්‍රීය ඇමරිකානු උනන්දුව ඇති ප්‍රදේශයක් ලෙස නම් කලේය. 2026 දී ප්‍රධාන පක්ෂ දෙකේම ඡන්දයෙන් සම්මත කල ජාතික ආරක්ෂාව පිලිබඳ බලය පැවරීමේ පනත, ඉරානය එක්සත් ජනපදයේ සතුරෙක් ලෙස නම් කලේය. 

2006 වර්ෂයෙන් පසු සෑම මූලෝපායික ලියවිල්ලකම නම සඳහන් රටවල් අතුරෙන් ප්‍රධාන ඒවා පහ අතර ඉරානය සිටියේය. 

එය එක් ජනාධිපති කෙනෙකුගේ හෝ එක් දේශපාලන පක්ෂයක හෝ ඊශ්‍රායල ලොබියේ හෝ කාර්යයක් නොවේ. එය, දශක හතරක් තිස්සේ පවත්වා ගත්, පර්සියානු බොක්කේ බලශක්ති සම්පත් ගැන ඇමරිකානු ධනවාදයේ තිබෙන ද්‍රව්‍යමය ඕනෑඑපාකම් හා මිලිටරි හෙජමනිය තුල මුල් බැසගත් ඇමරිකානු ජාතික ආරක්ෂක තත්වයේ ආයතනික ඒකමතිකත්වය විය. 

ඉරානය කෙරෙහි එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති ධාවනය කරන භූ දේශපාලනික හා ආර්ථික කාරනා ඇමරිකානු ජනතාවගෙන් සඟවා තිබේ. එක්සත් ජනපදයේ මාධ්‍ය තුල ප්‍රධානත්වය ගෙන ඇති අධිරාජ්‍යවාදී ආඛ්‍යානය, කිසිත් වරදක් නොකල අහිංසක ඇමරිකාවට පහර දෙන ක්‍රෑර ආක්‍රමනිකයකු හැටියට ඉරානය පින්තාරු කරනු ලැබේ. එම ආඛ්‍යානය අනුව ඉරාන 'ත්‍රස්තවාදය' පටන් ගන්නේ කිසිත් කුපිත කිරීමක් නැතිව 1979 නොවැම්බරයේදී ටෙහෙරාන් නුවර ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලා ගෙන වාඩිලා ගැනීම සමගය. 

ඇමරිකානුවන් ප්‍රාන ඇපකරුවන් ලෙස ගැනීමට ක්ෂනික හේතුව කුමක්දැයි ප්‍රවේසමෙන් විභාග කිරීම වටින්නේ එය මුලසිටම ඇමරිකානු ප්‍රතිපත්තිය තීන්දු කල පන්ති අවශ්‍යතා මොනවාදැයි හෙලිදරව් කරන බැවිනි. 1979 ජනවාරියේදී ෂා ඉරානයෙන් පලා ගිය අවස්ථාවේදී ජනාධිපති කාටර් ඔහු ඇමරිකාවට වැද්ද ගැනීම ප්‍රතික්ෂේප කලේය. අලුත් ආන්ඩුව සමග සම්බන්ධතා ඇති කර ගැනීමට කාටර්ට අවශ්‍ය විය. ඔහුගේම තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් ෂා වැද්ද ගැනීම, ඉරානය තුල සිටින තානාපති නිලධාරීන් ගේ ජීවිත අවදානමේ හෙලන බවට අනතුරු අඟවා තිබුනි. ප්‍රධාන තානාපති බෲස් ලයින්ජන්, තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ අනතුර ඉහල බව ඉතා පැහැදිලිව අනතුරු අඟවා සිටියේය. එක් ප්‍රධාන රැස්වීමකදී 'තානාපති කාර්යාලය අල්ලා ගත් පසු කුමක් කරන ලෙස මට උපදෙස් දෙන්නේ' දැයි කාටර් උපදේශකයන්ගෙන් ඇසුවේය. ප්‍රතිපලය වීමට ඉඩ ඇති දෙය ගැන ඔහු තේරුම් ගෙන සිටි බව එයින් පෙනේ.

කාටර් ගේ අදහස වෙනස් වූයේ මානුෂික කාරනා නිසා නොව, චේස් මෑන්හැට්න්  බැංකුවේ සභාපති වූ ඩේවිඩ් රොකෆෙලර් විසින් නොනවත්වාම යෙදූ පීඩනය නිසාය. රොකෆෙලර් ගේ කන්ඩායම ව්‍යපෘතිය 'ප්‍රොජෙක්ට් ඊගල්' යයි නම් කලේය. ඔහු, බැංකුවේ උපදේශක මන්ඩලයේ සභාපති වූ හෙන්‍රි කිසිංගර් ගේද අනාගතයේදී බැංකුවේ සභාපති සහ ජනාධිපතිවරුන් අට දෙනෙකු ට උපදේශකයා වනු ඇති ජෝන් ජේ මැක්ලෝයි ගේද බැංකුවේ විධායකයකු සහ හිටපු සීඅයිඒ ඒජන්තයකු වූ ආචිබෝල්ඩ් රූස්වෙල්ට් ගේද (1953 ඉරාන කුමන්ත්‍රනය සංවිධානය කලේ මොහුගේ මස්සිනාය) හිටපු සීඅයිඒ අධ්‍යක්ෂක හා හිටපු ඉරාන තානාපති රිචඩ් හෙල්ම්ස් ගේද  සහාය ලබා ගත්තේය. 1953 දී ෂා බලයේ පිහිට වූ සීඅයිඒ ජාලය සහ ෂා ගේ පාලන සමයේ ඉරානයේ යෙදූ ආයෝජන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වූ බැංකු ජාලය එක මත එකක් පිහිටීම අහම්බයක් නොවේ. එය ජාල දෙකක් නොව එකම ජාලයකි.

රොකෆෙලර් ගේ මූල්‍යමය මැදිහත්වීම සෘජු  මෙන්ම සැලකිය යුතු තරම්ද විය. ඩොලර් බිලියනයකට අධ්ක ඉරාන වත්කම් චේස් මෑන්හැට්න් බැංකුවේ තැන්පත් කර තිබුනි. අලුත් ඉරාන ආන්ඩුව එම වත්කම් ආපසු ඉරානයට බාර දෙන ලෙස ඉල්ලා සිටියේය. එතරම් විශාල මුදල් පිටතට ඇදීමක් දැනටම මූල්‍ය දුෂ්කරතාවලට මුහුන දී සිටින බැංකුවකට ද්‍රවශීලතා අර්බුදයක් නිර්මානය කිරීමට ඉඩ තිබුනි. ඉරාන ඇමරිකානු සම්බන්ධතා සාමාන්‍ය තත්වයට පත්වීම වැලැක්වීමට රොකෆෙලර්ට සෑම හේතුවක්ම තිබුනි.

ෂා ගේ සෞඛ්‍ය තත්වය පිලිබඳවද කාටර් නොමග යවන ලදී. ඔහු මරනාසන්නව සිටින බවද ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර තිබෙන්නේ නිව්‍යෝක් නුවර පමනක් බවද කාටර්ට කියන ලදී. පසුව ෂා පරීක්ෂා කල වෛද්‍යවරයා එම ප්‍රකාශ දෙකම අසත්‍ය බව තහවුරු කලේය. ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ඔහු එවකට රැඳී සිටි මෙක්සිකෝව ඇතුලුව වෙනත් ඕනෑම රටකදී ගත හැකිව තිබුනි. 1979 ඔක්තෝබර් 21 වන දින ෂා එක්සත් ජනපදයට වැද්ද ගැනීමට කාටර් අනුමැතිය දුන්නේය. දින දොලහකට පසුව ඉරානයේ ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලා ගන්නා ලදී.

චේස් බැංකුවේ ක්‍රියා, අර්බුදය තවත් උග්‍ර කලේය. ඉරානයට දී තිබුනු නයක් සඳහා වූ ඩොලර් මිලියන හතරක පොලිය ඉරානය විසින් ගෙවූ විට, එම නය මුදල දීමට දායක වූ අනෙක් බැංකුවලට නොදන්වා, පොලිය බාර ගැනීම ප්‍රතික්ෂේප කොට මුලු නය මුදලම ගෙවීම පැහැර හැරියා යයි ප්‍රකාශ කොට, තමන් අත තිබූ ඉරාන වත්කම් තහනම් කලේය. ඒ බව ධවල මන්දිරයට දැනුම් දුන්නේ නැත. පුද්ගලික බැංකුවක් විසින් තමන්ගේම තනි මතයට සිදුකල ක්‍රියාවක් නිසා නිර්මානය වූ අර්බුදයක් නිරාකරනය කරන්නට, විශේෂ සම්බන්ධීකාරක කමිටුවට ජනාධිපති ගේ හදිසි රැස්වීම් කාමරයට දුවන්නට සිදුවිය. 

ප්‍රාන ඇපකරුවන් පිලිබඳ ප්‍රශ්නය ඉරානයට එරෙහි ඇමරිකානු විරෝධයේ පදනම් හේතුව විය. නමුත් ප්‍රාන ඇපකරුවන් පිලිබඳ ප්‍රශ්නයට ආසන්න හේතුව වූයේ ඇමරිකානු ප්‍රාග්ධනයේ මූල්‍යමය අවශ්‍යතාවක් මත ගන්නා ලද තීන්දුවකි. සුවිශේෂ වශයෙන් කිවහොත්, බලයෙන් පහ කරන ලද ෂා ට අයත් ඩොලර් බිලියන ගනනක වත්කම් ආරක්ෂා කිරීමට චේස් මෑන්හැට්න් බැංකුව සහ එහි සභාපති විසින් ගන්නා ලද තීරනයකි.

විප්ලවය සිදු වී වසරක් තුලදී ඉරාකය විසින් ඉරානය ආක්‍රමනය කරන ලදී. එක්සත් ජනපදය ආක්‍රමනිකයාගේ පැත්ත ගත්තේය. ඉරාකයේ පරාජයක් පර්සියානු බොක්කේ ඇමරිකානු අයිතිවාසිකම්වලට හානිකර බව රීගන් පරිපාලනය තීන්දු කලේය. 1983 නොවැම්බර් මාසයේ ජාතික ආරක්ෂාව පිලිබඳ තීන්දු ආඥාවක් අරමුන ව්‍යක්ත ලෙස දැක්වීය : එනම් ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද බලය ප්‍රක්ෂේපනය කිරීමත් තෙල් සැපයුම සුරක්ෂිත කිරීමත්‍ ය.

1983 දෙසැම්බර් 20 වනදා ජනාධිපති රීගන් තම විශේෂ නියෝජිතයා වශයෙන් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට යැවීය. රම්ස්ෆෙල්ඩ්, සදාම් හුසේන් සමග විනාඩි 90 ක රැස්වීමක් පවත්වා පසුව කැමරා ඉදිරියේ එකිනෙකාට අතට අත දුන්හ. එම ඡායාරූපය ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ සංකේතාත්මක ප්‍රතිබිම්බයක් විය. රම්ස්ෆෙල්ඩ්-සදාම් හමුව සිදුවන අවස්ථාව වන විට, ඉරාකය දිනපතාම පාහේ ඉරාන සොල්දාදුවන්ට එරෙහිව රසායානික අවි පාවිච්චි කරන බව එක්සත් ජනපදය රහසේ දැනුවත්ව සිටියේය. එක්සත් ජනපදය විසින් සපයන ලද යුද බිමේ රහස් තොරතුරු වාර්තා තම ගෑස් ප්‍රහාර වඩා නිවැරදිව එල්ල කිරීමට ඉරාකයට හැකියාව ලබා දුන් බවට සාක්ෂි තිබේ. රම්ස්ෆෙල්ඩ් රසායනික අවි පිලිබඳ ප්‍රශ්නය සදාම් සමග සාකච්ඡා කලේ නැත. මාස එකොලහකට පසු වොෂින්ටනය හා බැග්ඩෑඩ් අතර සම්පූර්න තානාපති සම්බන්ධතා ඇතිකර ගන්නා ලදී.

1984 දී රීගන් පරිපාලනය,  රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් ඉරාකය ඉවත් කොට ඒ වර්ෂයේදීම ඉරානය ඊට ඇතුලත් කලේය. එක්සත් ජනපද සෙනේට් සභාවේ බැංකු කටයුතු පිලිබඳ කමිටුව, රීගන් පරිපාලනය හා ජෝජ් ඩබ්ලිව් බුෂ් පරිපාලනය යන දෙකම රසායනික අවි හා ඇන්ත්‍රැක්ස් හා මහාමාරිය බෝ කරන ජීව විද්‍යාත්මක අවි ඇතුලත් ද්විත්ව භාවිත රසායනිකයන් ඉරාකයට විකිනීම  අනුමත කලේය. සිවිල් කටයුතු සඳහා පාවිච්චි කිරීමේ ව්‍යාජයෙන් සදාම් හුසේන්ට බෙල් හෙලිකොප්ටර විකිනීමටද  ඔවුහු විධිවිධාන යෙදූ අතර සදාම් ඒවා කුර්දි සිවිල් වැසියන්ට විෂ ගෑස් ප්‍රහාර වලට පාවිච්චි කලේය.

සදාම් හුසේන් කුර්දි සිවිල් වැසියන්ට විෂ වායු ප්‍රහාර එල්ල කල විට එක්සත් ජනපද සෙනේටය ඔහුට විරුද්ධ පුලුල් සම්බාධක පැනවූවත් ධවල මන්දිරය ඒවා අහෝසි කලේය. 1990 අගෝස්තු මාසයේ සදාම් හුසේන් කුවේටය ආක්‍රමනය කල දිනය දක්වාම එක්සත් ජනපදය ඔහු විසින් විෂ වායු පාවිච්චි කිරීම සාධාරනීකරනය කලේය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග තමන්ගේ මිත්‍රත්වය තමන් ආරක්ෂා නොකරන බව සදාම් හුසේන් දැනගත යුතුව තිබුනි.  කුවේටයේ ඇමරිකානු තෙල් සමාගම් වලට එරෙහිව ගිය විගස සදාම් හුසේන්ට ඇමරිකානු කෝපයට මුහුන දීමට සිදුවිය. අවසානයේදී ඇමරිකානු කඹයක කෙලවර ඔහුගේ ජීවිතය නිම විය.

1987 දී කුවේටි තෙල් නැව් පර්සියානු බොක්ක හරහා ආරක්ෂිතව කැඳවා ගෙන යාමට එක්සත් ජනපදය 'ඔපරේෂන් අර්නස්ට් විල්' නමැති ක්‍රියාන්විතය දියත් කලේය. එවකට කුවේටය ඉරාකයේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකයෙක් විය. 1988 දී එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයෙන් පසු දියත් කල විශාලතම නාවික ක්‍රියාන්විතය වූ  'ඔපරේෂන් ප්‍රේයිං මැන්ටිස්'  දියත් කරමින් ඉරාන නාවික හමුදාවේ සැලකිය යුතු කොටසක් විනාශ කලේය. ඊට මාස තුනකට පසුව 'යූඑස්එස් වින්සෙන්සස්' නමැති එක්සත් ජනපද නැව ඩුබායි දක්වා සිවිල් මගීන් 290 ක් රැගෙන ගිය අංක 255 දරනසිවිල් ගුවන් යානය වෙඩි තබා බිම හෙලා එහි සිටි සියලුම මගීන් ඝාතනය කලේය. එක්සත් ජනපදය කිසිවිටෙක ඊට සමාව ඉල්ලුවේ නැත. වින්සෙන්සස් හි අනදෙන නිලධාරියාට ලීජන් ඔෆ් මෙරිට් නැමැති පදක්කම පිරිනමන ලදී.

එක්සත් ජනපදය මිලිටරි ප්‍රචන්ඩත්වයට සමාන්තරව 1979 සිට අඛන්ඩවූද සමුච්චිත වූද ආර්ථික නාශක යුද්ධයක් ද (ඉරානයට එරෙහිව) ගෙන ගියේය. 

1995-1996 දී ක්ලින්ටන් පරිපාලනය, විස්තීර්න වෙලඳ බාධක හා ද්විතීයික සම්බාධක පැනවීය. එය සම්බාධකවලට බඳුන් වූ රට සමග ගනුදෙනු කල පිටස්තර පාර්ශ්වවලට දඬුවම් කිරීමට ගත් ප්‍රථම උත්සාහය විය. ඔබාමා පරිපාලනය 2010 -12 දී ඩොලරයේ ලෝක ආධිපත්‍යය පාවිච්චි කරමින්, ඉරාන තෙල් මිලට ගතහොත් පිටස්තර රටවලට ඇමරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශවීම තහනම් කිරීමට පියවර ගැනීම ගැටුම උච්චස්ථානයට ගෙන ගියේය. ඉරාන තෙල් අපනයන දිනකට බැරල් මිලියන 2.2 සිට 860000 දක්වා පහත වැටුනි. 2012 දී ආර්ථිකය සියයට 6.6 කින් සංකෝචනය විය. ඉරාන මුදල් ඒකකය වූ රියාලය වැටුනි. උද්ධමනය සියයට 45 දක්වා වැඩි විය. 

2015 දී අස්සන් කල න්‍යෂ්ටික ගිවිසුම (JCPOA) නිසා කෙටිකාලින සහනයක් ලැබුනි. 2016 දී දල දේශිය නිෂ්පාදනයේ වර්ධනය සියයට 12.5 ක් විය. 2018 දී ඉරානය ගිවිසුම පිලිපැද තිබියදීත් ට්‍රම්ප් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී සම්බාධක සියල්ල යලි පැනවීය. තෙල් අපනයන සියයට 60 කට අධික ප්‍රමානයකින් වැටුනි. ඩොලරයට 37 000 ක් වූ රියාලය ඩොලරයට 120 000 දක්වා පහල වැටුනි. 2012 සිට 2024 දක්වා කාලය තුල ඒකජන ආදායම ඩොලර් 8 000 සිට 5000 දක්වා වැටුනි. 2024 වන විට ඉරාන වැසියන්ගෙන් සියයට 57 ක් දුෂ්පෝෂනයෙන් පෙලුනි. මිලියන හතක් ජනයා සාගින්නට වැටුනි.

ඉරානයට විරුද්ධ සම්බාධක, කොන්ග්‍රසයේ පර්යේෂන සේවා අංශයේ තක්සේරුව අනුව, එක්සත් ජනපදය විසින් රටකට පනවන ලද විස්තීර්නම හා පුලුල් ම ඒවාය. ඉරාන ආර්ථිකයේ සෑම අංශයකටම විරුද්ධව ඒවා එල්ල කර ඇත. එක් සම්බාධක පර්යේෂකයකු නිරීක්ෂනය කල පරිදි : “ආර්ථික සම්බාධක ආඥාදායක ආන්ඩු තවත් ආඥාදායක බවට පත් කරයි' ඉරාන සම්බාධක රටේ මධ්‍යම පන්තිය ඛාදනය කර දැමූ අතර පොලිස් රාජ්‍යය ශක්තිමත් කලේය. වර්තමාන යුද්ධය ආපසු හැරවිය නොහැකි හැරවුම් ලක්ෂයකි.

2026 පෙබරවාරි 28 දිනට පෙර පැවති ලෝකය නැවත ආපසු නොඑනු ඇත. “නීතිය මත පදනම් ක්‍රමයේ' සාපරාධීත්වය මුලු ලොවටම දැක බලාගත හැකිවන සේ නිරුවත් වී ඇත. කිසිදු කුපිත කිරීමක් නැතිවම, ලෝකයේ බලගතුම මිලිටරිය විසින් සමස්ත දේශයක්ම මත කාපට් බෝම්බ හෙලා ඇත. “ජාත්‍යන්තර සමාජය' එක්කෝ නිහඬය, නැත්නම් අනුමැතිය ප්‍රකාශ කරයි.

ඓතිහාසික ගමන් පථය බලන්න : 1937 අප්‍රේල් මාසයේදී නාසි ජර්මනිය ස්පාඤ්ඤයේ බාස්ක් හි ගුවෙර්නිකා නම් නගරය මත බෝම්බ හෙලූ විට අපරාධයේ කම්පාව ලොව පුරා දෝංකාර දුන්නේය. පිකාසෝ එම නගරයේ නමින් ලෝක පූජිත චිත්‍රය ඇන්දේය. 1940 මැයි මාසයේදී හිට්ලර්ගේ ලුෆ්ට්වැෆ් ගුවන් හමුදාව 900 ක් ජනයා ඝාතනය කරමින් රොටර්ඩැම් වරාය නගරය මත බෝම්බ හෙලූ විට එය අසමාන මෘග ක්‍රියාවක් ලෙස හෙලා දකින ලද අතර එය මුලු ලෝකයේම ශිෂ්ට සම්පන්න ජන මතය කම්පනයට පත් කලේය.  අද, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ නගර මත එක දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන් දහසකට වඩා ඝාතනය කර, දහස් ගනනක් ගොඩනැගිලි පොලොවට සමතලා කර, බාලිකා විදුහලක් මත බෝම්බ දමද්දී ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ප්‍රතිචාරය වූයේ ආපසු වෙඩි තැබීමේ වරදට ඉරානය හෙලා දැකීමය.

මෙය තර්ක බුද්ධියට අනුකූලව ක්‍රියා කරන ලෙස ඒත්තු ගැන්වීමෙන් හෝ වඩා හොඳ නායකයන් පත් කර ගැනීමෙන් හෝ යම් ආකාරයකින් වලක්වා ගත හැකි, කිසියම් දුර අනාගත දවසක සිදුවන තුන්වන ලෝක යුද්ධය ගැන අනතුරු ඇඟවීම පිලිබඳ කාරනයක් නොවේ. එහි සීඝ්‍ර තීව්‍ර වීම අපි දකිමු. යුක්‍රේනය, ගාසාව, වෙනිසියුලාව සහ ඉරානය එකිනෙකින් වෙන් වූ ඝට්ටන නොවේ : ඒවා ඇමරිකානු අධිරාජ්‍යවාදය හා එහි මිතුරන් විසින් තමන්ගේ හෙජමොනික පාලනය යටතේ ලෝකය ප්‍රතිසංවිධානය කිරීම  සඳහාත්  විසිවන සියවසේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික විප්ලවයන්ගේ ශේෂව පවතින කොටස් අහෝසි කිරීම සඳහාත් වොෂිංටනයේ සහ වෝල් වීදියේ ආඥාවන්ට එරෙහිව යන ඕනෑම ව්‍යාපාරයක්  බලහත්කාරයෙන් කුඩුපට්ටම් කිරීම සඳහාත් කරන තනි ගෝලීය යුද්ධයක වෙනස් පෙරමුනුය. 

ලෙනින්, ලක්සම්බර්ග්, ලීබ්නෙක්ට් සහ සියල්ලන්ටම වඩා ට්‍රොට්ස්කි ඉතාම හොඳින් වටහා ගනු ඇති ලෝකයක අපි ජීවත් වෙමු. ඔවුන් විශ්ලේෂනය කල ප්‍රතිවිරෝධතාවන්ම ——නිෂ්පාදන බලවේග වල ගෝලීය ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර; නිෂ්පාදනයේ සමාජමය ස්වභාවය හා ධනයේ පුද්ගලික හිමිකාරිත්වය අතර ; එක් එක් අධිරාජ්‍යවාදී රට තමන්ගේ ආධිපත්‍යය සඳහා තරඟ කිරීම හා ඉන් එක් රටකටවත් අනභියෝගී හෙජමනිය තහවුරු කර ගැනීමට නොහැකිවීම ආදී  ප්‍රතිවිරෝධතාවන්  සියවසකටත් එහා දී ඔවුන් විසින් විස්තර කල එකම නිර්දය තර්කනය ඔස්සේ ලෝකය විනාශය කරා කැඳවා ගෙන යයි. 

යුද්ධයට විරුද්ධ අරගලය ජාත්‍යන්තර ප්‍රශ්නයකි. පවතින ධනවාදී ආන්ඩුවලට කොපමන විශාල විරෝධතා යෙදුවත් නිෂ්ඵලය. 2003 වසරේ මහා පෙලපාලි ඉරාක ආක්‍රමනය නතර කලේ නැත. ගාසාවේ ජන සංහාරයට එරෙහි ලෝක ව්‍යාප්ත විරෝධතාවලට එය නැවැත්විය නොහැකි විය. “නීතිය මත පදනම් වූ පටිපාටියට' ආයාචනා කලාට ඉරානයට බෝම්බ හෙලීම නවතින්නේ නැත.

න්‍යෂ්ටික යුද්ධය දෙසට කරන අනවරත ධාවනය ඔවුන් නතර කරන්නේ නැත.

තීරනාත්මක ප්‍රශ්නය — අවසානයේ දී වැදගත් වන එකම ප්‍රශ්නය — ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය වර්ධනය කිරීමයි. මෙය අලුත් ඥානයක් නොවේ. විසිවන සියවසේ ප්‍රථම භාගයේ සිදු වූ විනාශයන්ගෙන් ලියොන් ට්‍රොට්ස්කි එලඹුනු කේන්ද්‍රීය නිගමනය එයයි. හතරවෙනි ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල වන සංක්‍රමනීය ක්‍රියා මාර්ගය තුල 1938 දී ට්‍රොට්ස්කි මෙසේ ලිවීය :

“සමාජවාදය සඳහා අවශ්‍ය ඓතිහාසික කොන්දේසි මුහුකුරා නැතැයි කියන සියලු කතා එක්කෝ අඥාන භාවය නිසා කියන ඒවාය ; නැත්නම් සිතාමතාම කරන වංචනික ප්‍රකාශයන් ය. නිර්ධන පංති විප්ලවය සඳහා අවශ්‍ය වෛෂයික පූර්ව කොන්දේසි මුහුකුරා ගොස් ඇතිවා පමනක් නොව කුනුවෙන්නටද පටන් ගෙන තිබේ. ඊලඟ ඓතිහාසික කාල පරිච්ඡේදය තුල සමාජවාදී විප්ලවයක් සිදු නොවුනොත් සමස්ත මනුෂ්‍ය ශිෂ්ටාචාරයම විනාශයට මුහුන දෙයි. වාරය පැමින ඇත්තේ නිර්ධන පන්තියටය, එනම් එහි විප්ලවවාදී පෙරටු බල ඇනියටය. මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට ඌනනය වී තිබේ...'

දෙවන ලෝක සංග්‍රාමයේ එලිපත්ත මතදී කල එම තක්සේරුව මේ මොහොතේ පවතින අර්බුදය වඩාත් නිරවද්‍යතාවකින් නිර්වචනය කරයි. ට්‍රොට්ස්කි ලියූ පරිදි, ධනවාදය පෙරලා දැමීම සඳහා අවශ්‍ය වෛෂයික කොන්දේසි හුදෙක් මෝරා ඇතිවා පමනක් නොව පැසී කුනුවී යන්නටද පටන්ගෙන ඇත. විකල්ප මතුවී ඇත්තේ ප්‍රතිසංස්කරනය ද විප්ලවය ද වශයෙන් නොවේ ; විප්ලවය ද විනාශය ද වශයෙනි. කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ කාර්යය — එනම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා ගොඩනැගීමේ කාර්යය —හදිසි, අන් සියල්ල අභිබවා යන සහ වැලකිය නොහැකි අපේ යුගයේ දේශපාලන කර්තව්‍යය බවට පත් වී තිබේ.

Loading