[ෙමය India fully complicit in US-Israeli war of aggression on Iran මැයෙන් 2026 මාර්තු 18 පල වූ ලිපියේ පරිවර්තනයයි. ]
ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව සහ සමස්තයක් ලෙස ඉන්දීය පාලක පන්තිය, පෙබරවාරි 28 සිට ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි ප්‍රහාරක මුර බල්ලා වන ඊශ්‍රායල ඉරානයට එරෙහි ව දියත් කල සාපරාධී ආක්‍රමනශීලී යුද්ධයට මුලුමනින්ම හවුල් ය.
ඉරාන දේශපාලන නායකයින් සහ සිවිල් වැසියන් 2,000 ක් පමන ඝාතනය කිරීම, පාසල්, රෝහල්, පිරිපහදු කම්හල් සහ අනෙකුත් පොදු යටිතල පහසුකම් මත බෝම්බ හෙලීම සහ ඉන්දියාව සංවිධානය කල නාවික අභ්‍යාසයකට සහභාගී වීමෙන් ටික කලකට පසු ඉන්දියානු සාගරයේ දී අනාරක්ෂිත අයිරිස් ඩෙනා ගිල්වා දැමීම යනාදී ලෙස එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද අපරාධ මත යුද අපරාධ ගොඩ ගසා ඇති නමුත්, නව දිල්ලිය කිසිදු විරෝධතාවයක්වත් ඉදිරිපත් කර නැත.
නවදිල්ලිය ප්‍රකාශ කර ඇති එක ම “සහයෝගීතාවය”, ඉරානය මත ඔත්තු බැලීමට සහ පහර දීමට යොදා ගන්නා ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන රාජාන්ඩු-ඒකාධිපති ගල්ෆ් රාජ්‍යයන් වලට පමනි.
නව දිල්ලිය හෙලා දැක ඇති එක ම රට වන්නේ, තමන්ව ආරක්ෂා කර ගැනීමට එඩිතර වීම ගැන, ඉරානයයි.
පසුගිය සතියේ එක්සත් ජනපදයට පක්ෂපාතී, යුද්ධයට පක්ෂපාතී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාවට ඉන්දියාව සම අනුග්‍රහය දැක්වීය. ටෙහෙරානය ආක්‍රමනිකයා ලෙස පින්තාරු කිරීමට සහ ඉරාන රාජ්‍යයට සහ එහි මිලියන 93 ක ජනතාවට එරෙහිව සමූලඝාතන යුද්ධයක් බවට පත්ව ඇති දෙයට ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ඉදිරිපත් කල, 2817 යෝජනාව ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මුදා හැර ඇති නීති විරෝධී, ප්‍රකෝප නොකල මහා බෝම්බ හෙලීම සහ එහි නායකයින්ට එරෙහි ව එල්ල කර ඇති “හිස ගසා දැමීමේ” ප්‍රහාර නොසලකා හැරියේ ය. වොෂින්ටනයේ ගල්ෆ් රාජ්‍ය සහචරයින්ට එල්ල කල ටෙහෙරානයේ ප්‍රතිප්‍රහාර මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර උපුටා දක්වමින්, ඉන්දියාවේ අනුග්‍රහය ලත් යෝජනාව, වින්දිත ඉරානයට ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සහ “ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට” තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේය.
අවම වශයෙන් කිවහොත්, ඉන්දියාව තම ඉරාන සගයා ලෙස සැලකූ රට අනුකම්පා විරහිත ව අතහැර දැමීම පුදුමයට කරුනක් නොවේ. ඒ හා සමාන ව, පසුගිය ජුනි මාසයේ දී-වර්තමාන ප්‍රහාරය මෙන්, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ආවරනය යටතේ දියත් කරන ලද-එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කල ප්‍රහාරය හෙලා දැකීම ප්‍රතික්ෂේප කලේ ය.
පසුගිය වසර විසි පහ පුරාවට, භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ආන්ඩු යටතේ නවදිල්ලිය, ඉන්දු-ඇමරිකානු ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ සකස් කල ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සන්ධානයක් ඇති කර ගෙන ඇති අතර එය එහි විදේශ ප්‍රතිපත්තියේ සහ භූ දේශපාලනික මූලෝපායේ මුල් ගල වේ. චීනයට එරෙහි මිලිටරි-මූලෝපායික ප්‍රහාරයේ දී වොෂින්ටනයට ප්‍රති බරක් ලෙස සහ වැඩි වැඩියෙන් ඉදිරි පෙල රාජ්‍යයක් ලෙස සේවය කිරීමෙන්, ඉන්දියානු ධනේශ්වරය තමන්ගේ ම කොල්ලකාරී මහා බල අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට වැඩ කරයි.
මෙම ප්‍රතිගාමී පෙලගැස්මට අනුකූල ව, ඉන්දියාව, විශේෂයෙන් හින්දු බලවතාවීමට තැත් කරන අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ, ඊශ්‍රායලය සමඟ වඩ වඩාත් සමීප ආර්ථික හා මිලිටරි-ආරක්ෂක සබඳතා වර්ධනය කර ගෙන ඇත. ඇත්ත වශයෙන්ම, ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුළු ලෝකයට ම පැහැදිලි ව පෙනෙන පරිදි ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙමින් සිටිය දී, මෝදි ඊශ්‍රායලය සමඟ ඉන්දියාවේ “උපායමාර්ගික හවුල්කාරිත්වය” ශක්තිමත් කිරීමට සහ සියොන්වාදී තන්ත්‍රය සමඟ ඉන්දියානු ආන්ඩුවේ බැඳීම ප්‍රදර්ශනය කිරීමට තෝරා ගත්තේය. පෙබරවාරි 25-26 දිනවල මෝදි ඊශ්රායලයේ සංචාරය කලේ, ඉරානයට මිසයිල සහ බෝම්බ වර්ෂාව පතිත වීමට පැය 48 කටත් අඩු කාලයක දී ය.
කෙසේ වෙතත්, ඉරානයට එරෙහි යුද්ධයට ඉන්දීය ආන්ඩුව සහ ධනේශ්වරයේ හවුල්කාරිත්වය ලේඛනගත කිරීමට යම් වටිනාකමක් තිබේ.
පලමුව, මෝදි ආන්ඩුව තමන්ගේම භූමිකාව සහ ම්ලේච්ඡ ක්‍රියා වසා ගැනීමට උත්සුක වන අතර, ඉන්දියානු පාලක පන්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කනිෂ්ඨ හවුල්කරුවෙකු ලෙස සහභාගී වීමට සූදානම්ව ඇත.
සියවස් දෙකක බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පීඩා විඳි ඉන්දියානු ජනතාව අතර, විශේෂයෙන් කම්කරු පන්තිය අතර, මහජන අධිරාජ්‍ය විරෝධී හැඟීමක් සැඟවී ඇති බව ඔවුහු දනිති.
ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු යුද්ධය දැනටමත් ඉන්දියාවේ වර්ධන වේගය තියුනු ලෙස පහත හෙලා ඇති අතර, මහජන රැකියා විරහිතභාවය සහ දරිද්‍රතාවය සහ කුසගින්න සම්බන්ධයෙන් සමාජ කෝපය වැඩිවෙමින් පවතින තත්වයන් යටතේ, යුද්ධය ඉන්දියානු සහ ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම ගැන ද ඔවුහු බිය වෙති.
ඉන්දියාව පර්සියානු ගල්ෆ් කලාපයෙන් තෙල් සහ ස්වාභාවික ගෑස් ආනයනය මත විශාල වශයෙන් රඳා පවතී. මෝදි ආන්ඩුව කාර්මික සහ වානිජ පරිශීලකයින්ගෙන් එල්පීජී සැපයුම් ආහාර පිසීම සඳහා භාවිතා කරන නිවාස වෙත හරවා යැවීම සඳහා හදිසි බලතල ක්‍රියාත්මක කර ඇත. බොහෝ වානිජ ආයතන, පවුල් සාමාජකයන් විසින් පවත්වාගෙන යන භෝජන ශාලා අතර විවෘත ව තබන වේලාවන් අඩු කිරීමට හෝ අර්ධ වශයෙන් හෝ වසා දැමීමට සිදු වී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය දිගු කාලයක් වසා දැමීම සහ කලාපයේ ආර්ථිකයන් අවුල් වීම ඉන්දියාවේ බලශක්ති පිරිවැය විශාල ලෙස ඉහල යාමට පමනක් නොව ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලට බලපානු ඇත. එය ගල්ෆ් රාජ්‍යයේ ප්‍රධාන ආනයන සහ කෘෂිකාර්මික යෙදවුම් වන යූරියා මිල ද ඉහල නංවන අතර ගල්ෆ්හි සේවය කරන මිලියන සංඛ්‍යාත ඉන්දියානු කම්කරුවන් වාර්ෂික ව එවනු ලබන ඩොලර් බිලියන 50 ක ප්‍රේෂනවල තියුනු පහත වැටීමක් ඇති කිරීමට ඉඩ ඇත.
මහජන කෝපය වෙනතකට හැරවීම සඳහා, ආන්ඩුව, කීකරු ආයතනික මාධ්‍යවල සහාය සහ අනුබලය ඇති ව, ඉන්දියාව සාමය සඳහා කටයුතු කරන සහ රාජ්‍ය ස්වෛරීභාවය ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලධර්ම ආරක්ෂා කරන මධ්‍යස්ථ, තුන්වන පාර්ශවයක්ය යන බොරුව පතුරවමින් සිටී.
අධිරාජ්‍යවාදී සගයෙකු ලෙස ඉන්දියාවේ සාපරාධී භූමිකාව හෙලිදරව් කිරීම, ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෝ සීපීඑම් සහ ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) විසින් නායකත්වය දෙන ඉන්දියාවේ ස්ටැලින්වාදී “වමේ” විනාශකාරී දේශපාලන බලපෑම බිඳ දැමීමේදී ද වැදගත් වේ.
එසේ කිරීම, කම්කරු පන්තිය මත පදනම් වූ අව්‍යාජ යුද විරෝධී ව්‍යාපාරයක් සහ අධිරාජ්‍යවාදයට සහ අර්බුදකාරී ධනේශ්වර ක්‍රමයට තිත තැබීම සඳහා සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් වර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
ස්ටැලින්වාදීන් කියා සිටින්නේ, මෝදි යටතේ නොවේ නම්, විකල්ප දක්ෂිනාංශික, කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ධනේශ්වර ආන්ඩුවක් යටතේ, ඉන්දියානු ධනේශ්වරයට සහ එහි රාජ්‍යයට ලෝක දේශපාලනයේ “ප්‍රගතිශීලී” භූමිකාවක් ඉටු කල හැකි බවයි.
යුද්ධයට ඔවුන්ගේ ක්ෂනික ප්‍රතිචාරය වූයේ, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස එය හෙලා දකින ලෙස මෝදි ආන්ඩුවෙන් ඉල්ලා සිටීමයි. එසේ කලත්,-එක්සත් ජනපදය හා ඊශ්‍රායලය යන දෙකම සමඟ ඉන්දියාවේ මිලිටරි-ආරක්ෂක සබඳතා විශාල වශයෙන් පුළුල් කිරීමේ දී එහි භූමිකාව සැලකිල්ලට ගත් කල්හි-එය හිස් ඉඟියක් මිස අන් කිසිවක් නොවනු ඇත.
ඉන්දියානු ධනේශ්වරයේ දෘෂ්ටි කෝනයෙන් තර්ක කරමින් සීපීඑම් දේශපාලන මන්ඩලයේ වඩාත් වැදගත් ප්‍රකාශයක් පසු ව අනතුරු ඇඟවූයේ, මෝදි ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ඇතිකරගත් සන්ධානය ඉන්දියාව තමන්ගේම “ජාතික අවශ්‍යතා” හඹා යාමට හානි කරන බවයි.
යුද්ධය ආරම්භ වන විට, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව සම්පූර්යනයෙන්ම නිහඬව සිටියේය. එහි එක ම ප්‍රකාශය වූයේ එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය පිලිබඳ කිසිදු සඳහනක් අතහැර දැමූ නරුම වාක්‍ය තුනක ප්‍රකාශයක් පමනි, ඉරානයට එරෙහි ඔවුන්ගේ නිරුවත් ආක්‍රමනය හෙලා දැකීම පසෙකලා, එය සියලු පාර්ශ්වයන්ගෙන් “සංයමයෙන් කටයුතු කරන ලෙස” සහ ගැටුම “උග්‍රවීම වලක්වා ගන්නා ලෙස” ඉල්ලා සිටියේය - ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරය නිෂ්ක්‍රීයව විඳදරාගන්නා ලෙස ටෙහෙරානයෙන් ඉල්ලා සිටියේය.
ඉරානයේ රාජ්‍ය නායකයා වීමට අමතරව ලොව පුරා මිලියන සංඛ්‍යාත ෂියා මුස්ලිම්වරුන් විසින් ගෞරවයට පාත්‍ර වූ අධ්‍යාත්මික නායකයෙකු වූ අයතුල්ලා කමේනි ඝාතනය කල ප්‍රහාරය නවදිල්ලිය කිසි විටෙකත් හෙලා දුටුවේ නැත. මිනාබ්හි ප්‍රාථමික පාසලක පාසල් සිසුවියන් 175 දෙනෙකු සහ ඔවුන්ගේ ගුරුවරුන් ඝාතනය කල ඇමරිකානු ප්‍රහාරය ද කිසි විටෙකත් හෙලා දැක නැත.
කමේනි වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතක අත්සන් කිරීම සඳහා භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවට විදේශ ලේකම් වික්‍රම් මිස්රි නම් නිලධාරියා නවදිල්ලියේ ඉරාන තානාපති කාර්යාලයට යැවීමට දින පහක් ගත විය. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි සමඟ දුරකථනයෙන් කතා කලේ මෙයින් පසුව බැවින්, මෙම අවම සංකේත අභිනය නොමැතිව ඉහල මට්ටමේ සම්බන්ධතාවක් කල නොහැකි බව නවදිල්ලිය අනුමාන කිරීමට හෝ දැනුම් දීමක් කලා වීමට ද ඉඩ තිබේ.
මේ සියල්ල ගල්ෆ් රටවල ඇමරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලට භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරයට කැපී පෙනෙන ලෙස වෙනස් ය. මාර්තු 1 වන ඉරිදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය හෙලා දකිමින් මෝදි ප්‍රකාශයක් නිකුත් කළ අතර, එම දිනයේම පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බව වාර්තා වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාට පෞද්ගලික ව ශෝකය පල කිරීමට කතා කළේ ය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, මගේ සහෝදර ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සමඟ කතා කළා,” මෝදි X හි ලිවී ය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර දැඩි ලෙස හෙලා දකින අතර මෙම ප්‍රහාරවලින් ජීවිත අහිමි වීම ගැන ශෝකය පල කලා. මෙම දුෂ්කර කාලවල දී ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වන ඉන්දියානු ප්‍රජාව රැකබලා ගැනීම ගැන ඔහුට ස්තූතිවන්ත වෙමු. ගැටුම් පහල දැමීම, කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වයට අපි සහාය දෙමු.”
ඒ හා සමාන ව, ලොව පුරා සිටින නාවිකයින් සමඟ ඉන්දියානු හමුදා නාවික අභ්‍යාසයකට සහභාගී වූ බැවින්, නීත්‍යානුකූල ව නොවේ නම් සදාචාරාත්මක ව ඉන්දීය රජයේ ආරක්ෂාව භුක්ති විඳිය යුතු ව තිබූ ඉරාන නාවිකයින් 150 දෙනෙකු ඝාතනය කල අයිරිස් ඩෙනා නෞකාවට ඇමරිකානු ප්‍රහාරක-සබ්මැරීන් ටෝපිඩෝ ප්‍රහාරය නවදිල්ලිය කිසි විටෙකත් හෙලා දැක නැත.
ඉන්දියානු හමුදා සහ ජාතික ආරක්ෂක කවයන් තුල එක්සත් ජනපද ක්‍රියාමාර්ගය ගැන කලකිරීමක් පවතී. ඉන්දියානු සාගරයේ “ආරක්ෂාව” සැපයීමේ දී පෙන්ටගනය, ඉන්දියාව තම විශ්වාසදායක සහකරු බව ප්‍රශංසා කිරීමට පමනක් සීමා වී ඇති අතර ඉන්දීය නාවික හමුදාව සමඟ සාකච්ඡා කිරීමකින් පවා තොරව, ඉන්දියාවේ වෙරලට ඔබ්බෙන් නීතිය අතට ගනිමින් තනිවම ක්‍රියා කිරීමට වොෂින්ටනය තෝරා ගත්තේ ය.
