2017 වසරේ කොලොන්නාවේ මීතොටමුල්ලේ පිහිටි කසල කන්ද ගිලාබැසීමෙන් සිදු වූ මහා ඛේදවාචකයෙන් වසර 9 කට පසු ව, එය, එම ප්‍රදේශයේ කසල තැන්පත් කිරීම නිසා සිදු කෙරුනු “මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්” බව ශ්‍රේෂ්ඨාධිකරනය මාර්තු 31දා තීන්දුවක් මගින් ප්‍රකාශයට පත් කලේ ය.
2017 අප්‍රේල් 14 දා මීතොටමුල්ලේ පිහිටි කසල කන්ද ගිලාබැසීමෙන් 32 කට වැඩි ප්‍රමානයක් මරනයට පත් වී, නිවාස 300කට පමන හානි සිදු වූ අතර ඒවායින් නිවාස 146 ක් සම්පූර්නයෙන් ම විනාශ විය. ව්‍යසනය වාසියකට හරවා ගනිමින්, එවක පැවැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, ඒ අවට ප්‍රදේශ කිහිපයක් “අවදානම් කලාප” ලෙස නම් කොට, තවත් පවුල් සිය ගනනක් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කලේ ය. පලාතේ පැවති එක ම පාසැල වූ රාහුල විද්‍යාලය වසා දැමුනු අතර, එයින් පාසල් ලමුන් සිය ගනනකගේ අධ්‍යාපනය කටයුතු කඩාකප්පල් කෙරුනි.
ශ්‍රේෂ්ඨාධිකරනය මෙම තීන්දුව ලබා දුන්නේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන නීතිඥ නුවන් බෝපගේ, ඛේදවාචකය තුලින් ඒ තරම් ම නිරුවත් ආකාරයෙන් ප්‍රකාශයට පත් වූ ආන්ඩුවේ නොතැකීම මගින් කෝපයට පත් ප්‍රදේශවාසීන් පිරිසක් එකතු කර ගනිමින්, එම වසරේ මැයි 31දා ගොනු කරන ලද නඩුවට ප්‍රතිචාර වසයෙනි. නියෝගය නිකුත් කල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විය.
2009 සිට 2017 දක්වා නීතියට පටහැනි ලෙස එම ප්‍රදේශයේ කැලි කසල බැහැර කිරීම තුලින්, කොලඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේ ය. තව ද, අක්කර 2ක භූමි භාගය කැලි කසල බැහැර කිරීම සඳහා මුදා හැරීම මගින් නාගරික සංවර්ධන අධිකාරිය ද මෙම නීති විරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම තුලින් බස්නාහිර පලාත් අපද්‍රව්‍ය කලමනාකරන අධිකාරිය ද මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකිරීමට හවුල් ව ඇති බවත් තීන්දුව සඳහන් කලේ ය.
කෙසේ වෙතත්, සිදු වූ ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට, වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908, 314,020.70 ක් වන්දි වශයෙන් ගෙවා ඇති නිසා මෙම නඩුකරවලට අදාල ව වන්දි ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝග නිකුත් නොකරන බව තීන්දුවෙන් ප්‍රකාශයට පත් කෙරුනි.
ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බව නඩු තීන්දුව පිලිගත් නමුත්, එයට වගකිව යුතු වූ කිසිවෙකුට දඩුවම් නියෝග නොකෙරුනි.
මෙම තීන්දුව මගින් ප්‍රකාශයට පත් වන මූලික කාරනය වන්නේ, මිනිස් ජීවිතවල වටිනාකම නොතකන ධනේශ්වර ක්‍රමයට බලපෑම් දැමීමෙන් මූලික අයිතිවාසිකම් ඇතුලු ප්රජාතන්ත්රවාදී අයිතීන් තහවුරු කල හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරන ව්‍යාජ වාම පෙසප බංකොලොත් දේශපාලනයයි.
නඩු තීන්දුවෙන්, මිනිස් ජීවිත සම්බන්ධයෙන් ධනේශ්වර රාජ්‍යයේ නොතැකීම ප්‍රකාශයට පත්වෙන්නේ ය යන කාරනය වසන් කරමින්, එය මියගිය අයට “උපහාරයක්” ලෙස සඳහන් කල බෝපගේ මාධ්‍යයට කීවේ, අනාගතයේ දී මෙවන් ව්‍යසන වැලක්වීමට මෙය ඉවහල් වනු ඇති බවයි. මෙය ව්‍යාජයකි. අහිමි වූ මිනිස් ජීවිතවලට වන්දි ගෙවන්නේ කවුද? එය හුදෙක් මුදල් වන්දියක් පිලිපැදීම පිලිබඳ කාරනාවක් නොවේ. උසාවි තීන්දු හෝ නෛතික විධිවිධාන කවරක් වුවත්, ඒවා ධනපති ආන්ඩු හා ධනපති ආයෝජකයන් උපාමාරු දැමීමෙන් වලක්වන්නේ නැත.
එම ප්‍රදේශයේ මහජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් හා සඳහන් කල ආකාරයට මේ කියන වන්දි මුදල් ද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මුලුමනින් ලැබී නැත. ප්‍රදේශයේ ජනයා පැවසූ ආකාරයට, ඇත්තට ම සිදු වූයේ මියගිය අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක සොච්චම් වන්දියක් ලබා දුන් එවක පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, නිවාස අහිමි වූ සමහර පවුල්, ප්‍රමිතියෙන් තොර වාසයට නුසුදුසු “අඩු ආදායම් ලාභී තට්ටු නිවාස” වලට තල්ලු කර දැමීම ය. බොහෝ නිවාසවල නීත්‍යානුකූල අයිතිය පවා පදිංචිකරුවන්ට ලැබී නැති ආකාරයත්, මේවායේ විදුලි සෝපාන නිරන්තර අක්‍රීය වෙමින් ද බිත්ති පුපුරා යාමෙන් මර උගුල් බවට පත් ව ඇති ආකාරය ද ලෝසවෙඅ පලකල ලිපි ගනනාක් තුල පෙන්වා දී තිබේ. තවත් සමහර පවුල් වලට යලි නිවසක් සාදා ගැනීමට කිසිසේත් ම ප්‍රමානවත් නොවන වන්දි ලබා දී ප්‍රදේශයෙන් පිටමන් කෙරිනි. ආන්ඩුවේ අරමුන වූයේ, ප්‍රදේශයේ ඉහල වානිජ වටිනාකමක් සහිත ඉඩම් නිදහස්කර දෙස් විදෙස් ආයෝජකයින්ට විකුනා දැමීමයි.
මීතොටමුල්ල ව්‍යසනයෙන් පසු ව, පීඩාවට පත් ජනතාව ආන්ඩු වලින් ප්‍රමානවත් වන්දි ලබාගත හැකි වෙතැයි මුලාවක පටලැවීමට ජනතා විමුක්ති පෙරමුනත් (ජවිපෙ), බෝපගේ ගේ පෙසප වැනි ව්‍යාජ වාම පක්ෂත් මැදිහත් විය. ආන්ඩුවෙන් ලබාදුන් සොච්ච්ම් වන්දියත්, ජීවත්වීමට කිසිසේත්ම නුසුදුසු තට්ටු නිවාසත්, පෙසපය අර්ථ දැක්වූයේ “අරගලයෙන් ලබාගත් ජයග්රහනයක්” ලෙසයි.
නඩු තීන්දුව මගින් සනාථ කෙරී ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂය (සසප) 2017 මැයි 9 දින පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ (කම්කරු පරීක්ෂනය) නිගමනය වූ, මෙම ඛේදවාචකය අනපේක්ෂිත හදිසි අනතුරක් නොව, ධනපති ආන්ඩුව ද වගකිව යුතු, දැනුවත් සාමූහික මිනීමැරුමක් ය යන කාරනය යි.
කම්කරු පරීක්ෂනය මෙම නිගමනය ප්‍රකාශයට පත් කලේ, මීතොටමුල්ල ව්‍යසනයට මුහුනදුන් මහජනයාගෙන් ලබාගත් සාක්ෂි ද අදාල විෂය පිලිබඳ පරිසර විද්‍යාඥයින් ඇතුලු ප්රමානිකයන්ගෙන් සහ අන්තර්ජාලය අතුලු විවිධ මූලාශ්රයන්ගෙන් ලබාගත් දැනුම ද මත පාදක වෙමින් ගෙන ගිය පරීක්ෂනයකින් අනතුරුව යි. කම්කරු පරීක්ෂනය, මෙම පරීක්ෂනයේ වාර්තා හා නිගමන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කල අතර, 2018 අප්‍රේල් 1දා “මීතොටමුල්ල කම්කරු පරීක්ෂනය-වාර්තා හා නිගමන” නමින් පොතක් ලෙස ද ප්‍රකාශයට පත් කලේ ය.
නාගරික කම්කරුවන් හා දුගීන් මුහුන දෙන ප්‍රශ්න ගැන දුසිම් ගනන් ලිපි ලෝසවෙඅ ලියා පලකරමින්, වසර ගනනාවක් පුරා සසප සාමාජිකයෝ ප්‍රදේශයේ මැදිහත් වෙමින් සිටිති.
කම්කරු පරීක්ෂනය මෙසේ පෙන්වා දුන්නේය. “යම් පුද්ගලයෙකු විසින් කරන ලද ක්‍රියාවක් හේතුවෙන් වෙනත් පුද්ගලයෙකු මරනයට පත් වන්නේ නම් හා තම ක්රියාවේ මරනීය බව දැන දැනම පලමු පුද්ගලයා විසින් එය සිදු කරන ලද්දේ නම්, එය මිනීමැරුමක් ලෙස සලකනු ලබයි. ඒ අනුව මීතොටමුල්ල ව්‍යසනය වනාහි, ධනේශ්වර සමාජය සහ එහි පාලකයන් විසින් සිදු කරන ලද “සමාජ අපරාධය” කි; නැතහොත් “සමාජ මිනීමැරීම” කි.
කම්කරු පරීක්ෂනයේ දී තහවුරු කලේ, මෙබඳු සමාජ ව්‍යසන අර්බූදයට පත් ව ඇති ධනේශ්වර ක්‍රමය තුල ජාත්‍යන්තර ප්රපංචයක් බවයි. වසර කීපයක් තුල පිලිපීනය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව වැනි රටවල මෙවැනි ම කසල කඳු බිඳ වැටීමෙන් ජීවිත හානි විශාල ප්‍රමානයක් සිදු වූ බව පරීක්ෂනය පෙන්වා දුන්නේ ය. එමෙන්ම පාරිසරික හා අනෙකුක් අහිතකර බලපෑම් නොතකා ධනේශ්වර ලාභය හඹා යාමේ ප්‍රතිපලයක් ලෙස දියුනු ධනපති රටවල සිදු ව ඇති ව්‍යසන- 2014-17 කාලයේදී එක්සත් ජනපදයයේ ෆ්ලින්ට් නගරයේ පානීය ජලයට ඊයම් මිශ්‍රවීමෙන් දහස් ගනන් ජනයා රෝගීන් වීම සහ ලාභය තකා අඩුවියදම් ආවරන යෙදීමෙන් ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ඇති වූ ගින්නෙන් 2017 වසරේ දී 70කට අධික පිරිසක් මරනයට පත්වීමේ සිදුවීම යනාදිය- උදහරන ලෙස එහි දී ගෙන හැර දැක්වුනි.
ධනපති ලාභ ගැරීම සඳහා කෙරෙන සැලසුමකින් තොර කාර්මික නිෂ්පාදනය, ඉවක් බවක් නැති නාගරිකකරනය හා සම්පත් අපහරනය නිසා ලෝක පරිමාන ව පරිසර අර්බුදයක් වර්ධනය වී ඇති ආකාරයත්, ගෝලීය උනුසුම වැඩි වීම, කසල අර්බුදය හා මහා පරිමාන ජල දූෂනය වැනි විවිධ රූපාකාරයන්ගෙන් මතු වෙන මේ අර්බුදය මගින්, සමස්ත පෘථිවි ජෛව-පද්ධතියේ ම පැවැත්ම තර්ජනයට ලක්කරමින් ඇති ආකාරයත් කම්කරු පරීෂනය පෙන්වා දුන්නේ ය.
කම්කරු පරීක්ෂනය, ලංකාව තුල කසල නිසි පරිදි බැහර කිරීම ඇතුලු කම්කරු අයිතීන් කප්පාදු කිරීම ද පැහැදිලි කලේ ය. 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ලංකාව තුල විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට දැමීමත් සමග ආයෝජකයන්ට පහසුකම් සලසමින්,රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කරමින් ද නිදහස් අධ්‍යාපනය හා රෝහල් සේවය හා අනෙකුත් සුබසාධන සඳහා ප්‍රතිපාදන කපා හැරීම ද ආරම්භ විය. නාගරික කසල එකතු කිරීම, ප්රතිචක්රීකරනය හා බැහැරලීම සඳහා මධ්‍යම ආන්ඩුවෙන් ලබාදුන් මුදල් කපා හැරීම ආරම්භ වූයේ ද මෙහි කොටසක් ලෙසය.
ව්‍යසනය සිදු වූ 2017 වසර වනවිට ද ලංකාව තුල ආර්ථිකය රඳවා තිබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (අයිඑම්එෆ්) ගත් නය මත ය. දල ජාතික නිෂ්පාදිතයෙන් 5.4ක් ලෙස පැවැති අයවැය හිඟය හරි අඩකින් අඩුකරන ලෙස අයිඑම්එෆ් නියෝග කල අතර පොදු සේවා හා සුබසාධන වියදම් කපා හැරීම සිදු වූයේ මේ තතු යටතේ ය.
1980 ගනන්වල සිට මෙහි කසල දැමීම සුලු පරිමාන ව ආරම්භ ව තිබුනි. 2009 වසරේ දී එය සීඝ්රයෙන් වැඩි වී දිනකට කසල ටොන් 700-1200 දක්වා ඉහල ගියේ ය. ඒ, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව තම “කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය” යටතේ ආයෝජකයන් සඳහා බිම් පැවරීමේ කොටසක් ලෙස, කොලඹ බ්ලූමැන්ඩල්හි පිහිටි පැරැනි කසල කන්දට කොලඹ මහනගර සීමාවේ කසල බැහැර කිරීම නතර කොට එම කසල මීතොටමුල්ලට බැහැර කිරීම ආරම්භ කිරීමත් සමගනි. මෙම බැහැර කිරීම සිරිසේන-වික්‍රමසිංහ ඊනියා යහපාලන ආන්ඩුව මගින් ද යහමින් කරගෙන ගියේ ය. මරනීය උගුලක් වූ කසල කන්දට එරෙහි ප්‍රදේශයේ ජනතාව අඛන්ඩ ව ගෙන ගිය අරගල මෙම ආන්ඩු පොලිස් ප්රචන්ඩන්වය ද යොදා ගෙන මර්දන කලේ ය.
කසල කන්ද ගිලාබසින විට එය අක්කර 22 ක් පුරා ව්‍යාප්ත ව අඩි 200 ක් උසට ටොන් මිලියන තුනක් බරට කුනු කසල ගොඩ ගැසී තිබුනි. කන්දෙන් සෞඛ්‍යයට එල්ලවුනු බලපෑම් ලෙස මේ ප්‍රදේශයේ ඩෙංගු වසංගතය, මී උන, ශ්වසන පද්ධතියේ රෝග හා වෙනත් පරිසර දූෂනය නිසා පැතිරෙන රෝග තත්වයන් බහුල විය. මීතොටමුල්ල දරිද්‍රතාවෙන් පෙලෙන කම්කරු හා දුගී ජනගහනයකින් බහුල පලාතක් විය. අධික ජනගහනයකින් යුත් ප්‍රදේශයක හෝ තෙත් භූමියක කසල, බහාලීම ධනපති ආන්ඩුවල අවම පාරිසරික නීති වලට ද පටහැනි ය. 1980 ජාතික පරිසර පනත යටතේ අපද්‍රව්‍ය බැහැර කිරීමද ඇතුලු ඕනෑ ම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වන අවම හා මූලික කොන්දේසියක් වන “පාරිසරික බලපෑම් අධ්‍යනයක්වත්” මෙහි සිදු කර නැත.
කසල කන්ද කඩා වැටීමට බොහෝ කල් තියා එය ඉවත් කරන ලෙස සටන් වැදුනු මහජනයාගේ අරගලයට සමාජවාදී වැඩපිලිවෙලක් සහිත ව මැදිහත් වූ එක ම පක්ෂය වූයේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. පෙසප මෙම අරගලය මුදුනට පැන ගත්තේ, මහජනතාව සසප යෝජනා කල සමාජවාදී වැඩපිලිවෙලින් සංවිධානය වනවාට එරෙහි ව, ධනපති ආන්ඩුවලට හුදු බලපෑම් දැමීම තුලින් ප්රශ්නය විසඳාගත හැකි ය යන මිත්‍යාව වපුරුවා ඔවුන්ගේ අරගලය දියකර දැමීමට යි.
කුනු කන්ද නාය යෑමෙන් පසු ද පෙසප යෝජනා කලේ, ආන්ඩුවට බලපෑම් යෙදීමේ “අරගලයන්” ය. නඩු වලට මහජනයා යොමු කිරීමේදී ද එම පක්ෂය කටයුතු කරනු ලැබූයේ හුදු නඩු මගින් ප්රජාතන්ත්ර අයිතීන් ආරක්ෂා කල හැකි ය යන මායාවේ මහජනතාව කොටු කිරීමට ය.
මෙම විපරීතයන්ට එරෙහි ව, සසප කම්කරු පරීක්ෂනය, ධනේශ්වර සමාජ ක්රමයේ ප්රතිඵලයන් වන මීතොටමුල්ල ව්‍යසනය වැනි සමාජ අපරාධ, ධනපති ආන්ඩුවලට ම බලපෑම් දැමීමෙන් කිසිසේත් ම විසඳිය නොහැකි බව අවධාරනය කලේ ය. අවසානයේ දී ස්වාධීන කම්කරු පරීක්ෂනයේ සමහරක් නිගමන මෙසේ ඉදිරිපත් කෙරිනි:
මීතොටමුල්ල කසල කන්ද නාය යෑමෙන් ඇති කෙරුනු ව්‍යසනය ලාභය මත පාදක වූ ධනේශ්වර ක්රමයේ ප්රතිඵලයකි.
මීතොටමුල්ල කසල කන්ද පවත්වා ගෙන යාමට එරෙහි මහජන අරගල මඩිමින් එය දිගට ම පවත්වා ගෙන ගිය රාජපක්ෂ ආන්ඩුව ද සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ද මෙම සමාජ අපරාධයට වගකිව යුතු ය.
ධනේශ්වර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මහජනතාව සමාජ ව්‍යසනයන්ට පමනක් නොව ලෝක යුද තර්ජනයකට ද මුහුන දී සිටිති.
කොලඹ නාගරික දුගී ජනතාවට සියලු පහසුකම් ඇති නිවාස ලබා ගැනීමටද, මීතොටමුල්ල ව්‍යසනය වැනි අනතුරු වලක්වා ගනිමින් පරිසරය නිසි පරිදි ප්‍රතිස්ථාපනය කල හැක්කේ ද ශ්‍රී ලංකාවේ පමනක් නොව ලෝක පරිමානව ආර්ථිකය විද්‍යාත්මකව සැලසුම් කල හැකි කම්කරු පන්ති පාලනයක් යටතේ පමනි.
