ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධය විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරද්දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආන්ඩුවට “ආරක්ෂනවාදී” ප්‍රතිපත්ති යෝජනා කරයි

ඉරානයට එරෙහි ව එක්සත් ජනපද-ඊශ්‍රායල් සාපරාධී යුද්ධය මධ්‍යයේ ලංකාව ද ගිලගෙන ඇති ආර්ථික හා සමාජීය අර්බුදය විසඳීමේ හා භූ දේශපාලන ආතතීන්ගෙන් බේරීම නමින් ව්‍යාජ යෝජනා ඉදිරිපත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප)  මේ දිනවල උද්ඝෝෂන මාලාවක් ගෙන යයි. රැස්වීම් වල තේමාව “ඔවුන්ගේ යුද්ධය, අපට විනාශය! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!” යන්නයි. මාර්තු 19 වන දින පැවති මාධ්‍ය හමුවක දී, පෙසප ප්‍රමුඛ නායකයෙකු වන දුමින්ද නාගමුව මෙම යෝජනා ප්‍රකාශයට පත් කලේ ය.  

මාර්තු 19 වන දින පැවති මාධ්‍ය හමුවේ දී, පෙසප නායකයෙකු වන දුමින්ද නාගමුව අදහස් දක්වමින්

පෙසප උද්ඝෝෂනය කරමින් සිටින්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා බව යමෙකු සිතන්නේ නම්, යෝජනා මාලාව දුටු වහා ම ඇය හෝ ඔහු ගේ අපේක්ෂාව  භංග වනු නිසැක ය. පෙසපයේ නාගමුව මාධ්‍යයට පැවසුවේ ආන්ඩුව “ආරක්ෂනවාදී ප්‍රතිපත්ති” ලෙස ඇතැම් පියවර ක්‍රියාත්මක කලහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට යුද ගැටුමෙන් එන කම්පන අවම කර ගැනීමට ක්‍රමයක් සොයා ගත හැකි බවයි.

මීට පෙර, මාර්තු 3 වන දින, පෙසප මධ්‍යම කාරක සභාව ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හෙලා දකිමින් “ගෝලීය ජනතා බලයක්” ගොඩනැගීමට  ආයාචනා කල ප්‍රකාශයක් නිකුත් කලේ ය. ඔවුන්ගේ යෝජනාව වූයේ ප්‍රහාර නතර කරන ලෙස යුද්ධ කරන අධිරාජ්‍යවාදී බලයන්ට ම ආයාචනා කිරීම සඳහා අනෙකුත් රටවල සිය සහචරයන් වන විවිධ ව්‍යාජ-වාම, ස්ටැලින්වාදී සහ රැඩිකල් කන්ඩායම්වල ගෝලීය පෙරමුනක් ගොඩනැගීම යි.

ඉරානයට එරෙහි යුද්ධය හුදකලා මිලිටරි ධාවනයක් නොවේ. ඇමරිකානු මුල්‍ය වංශාධිපතියන්ගේ නියෝජිතයෙකු වන ෆැසිස්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති මැද පෙරදිග බලය තහවුරු කරගෙන චීනය හා රුසියාව ඉලක්ක කරගත් න්‍යාය පත්‍රයක් රුදුරු ලෙස ක්‍රියාවට දමමින් සිටියි. අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් ඉරානයට එරෙහි ප්‍රහාරවලට  සෘජු ව ම සහභාගී වී නොමැති වුව ද, ඔවුහු එරටට එරෙහි ව ඇමරිකාවට  සහාය දක්වති. මෙම බලයන් අතර උපායමාර්ගික වෙනස්කම් පැවතුනත් ඔවුන්ට ද ඇත්තේ වොෂින්ටනයට සමාන අධිරාජ්‍යවාදී අවශ්‍යතා ය.

ඇමරිකාව ඉරානයට එරෙහි ව ගෙන යන නීති විරෝධී යුද්ධයට එරෙහි ව, ශ්‍රී ලංකාවේ කම්කරුවන්, සිසුන්, තරුනයින් සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන් අතර විරෝධයක් වැඩෙමින් පවතී; එය කම්කරුවන් සහ තරුනයින් අතර ගෝලීය වශයෙන් වැඩෙමින් පවතින විරෝධයේ කොටසකි. මාර්තු 28 දා එක්සත් ජනපදයේ මිලියන  සංඛ්‍යාත කම්කරුවන්, තරුනයන් ඇතුලු මහජනයා “රජුන් එපා” යන උද්ඝෝෂනයෙන් ෆැසිස්ට් ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනයට හා ඔහුගේ තිරශ්චීන යුද්ධයට විරෝධය පෑහ.

ලංකාවේ  සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඇතුලු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කරයි. ගෝලීය ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ධාවනය අවසන් කල හැකි එක ම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

ලංකාව තුල යුද්ධයට එරෙහි වීම  ඇතුලු ව වැඩෙන පන්ති අරගලයට සහ විරෝධතාවන්ට ඇබ ගසා පීලි පැන්වීමට පෙසප, අනෙකුත් රැඩිකල් කන්ඩායම් සමඟ වැඩට බැස ගෙන සිටින්නේ මේ තත්වය තුලයි. 

2024 අගභාගයේ දී ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව බලයට පත් වූ පසු ව ව්‍යාජ-වාම පෙසප, වඩා හොඳින් ආන්ඩුව කරන්නේ කෙසේ ද යන්න පිලිබඳව යෝජනා සහ උපදෙස් මාලාවක් කිහිප වතාවක් ම ඉදිරිපත් කර ඇත. ආන්ඩු පක්ෂය ඒවා සම්පූර්නයෙන් ම නොසලකා හැර ඇති නිසා  ඔහුගේ පක්ෂය මාධ්‍ය සහ විරෝධතා මගින් “ජනතාව හරහා” මෙවර ඉදිරිපත් කරන යෝජනා යැවීමට තීරනය කර ඇති බවත් නාගමුව මාධ්‍ය හමුවේ දී කනිපින්දම් කීවේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක අඛන්ඩ ව විදුලිය හා තෙල් සැපයුම ලබා දෙන බවට පොරොන්දු දී ඇති නමුත්, ඒවා ප්‍රමානවත් නොවන බව නාගමුව සඳහන් කලේ ය. ඔහු කියා සිටියේ, යුද්ධය තීව්‍ර වෙමින් පවතින අතර, ආන්ඩුව මෙම තත්ත්වය සඳහා දිගුකාලීන සැලසුම් සකස් කල යුතු බවයි. පෙසප නායකයා සිය දිගු කාලීන යෝජනා ඉදිරිපත් කලේ ය. 

පෙසප හි ආරක්ෂනවාදී යෝජනා 

විදේශ සංචිත ක්ෂය වීම නැවැත්වීම සඳහා වාහන වැනි දෑ හි ආනයන සීමා කිරීම, ආනයන ආදේශන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ ඉන්ධන, වී සහ පොහොර තොග ගබඩා කරගැනීම වැනි පියවර කිහිපයක් ඔහු යෝජනා කලේ ය. අනෙකුත් යෝජනා අතරට පොදු ප්‍රවාහන ගාස්තු අඩු කිරීම, කුඩා ප්‍රවාහන සමාගම්වලට සහනාධාර ලබා දීම සහ පාසල් වසා නොදැමීම හා අවශ්‍ය නම්, සිසුන් නිවෙස් අසල පාසල් වෙත යොමු කිරීම ඇතුලත් විය.

නිසැක ව ම, අන් සෑම රටක් මෙන් ම, ශ්‍රී ලංකාව යුද්ධයේ බරට මුහුන දී සිටී. දැනටමත්, ආන්ඩුව ඉන්ධන මිල සියයට 34 කින් පමන වැඩි කර ඇත.  මහජන උපයෝගිතා කොමිසම අප්‍රේල් 1 වන දින සිට විදුලි ගාස්තු සියයට 4 සිට 25 දක්වා ප්‍රමානවලින් විවිධ කාන්ඩවලට වැඩි කරන බව නිවේදනය කල අතර, ඉන්ධන හිඟය හේතුවෙන් සලාකනය ක්‍රියාත්මක කර ඇත. යුද්ධය පටන් ගත් පෙබරවාරි 28 දින පටන් ගෑස් මිල සියයට 23කින් ඉහල දමා ඇත. මේ මිල ඉහල දැමීම් රට තුල ප්‍රවාහන ගාස්තු හා සියලු භාන්ඩවල මිල ඉහල නංවන දාම බලපෑමක් ඇතිකර තිබේ. ආහාර සුරක්ෂිතතාව අතින් නරක ම ස්ථානයේ පවතින රටවල් අතර දෙවන තැන ලංකාව සිටින බව ජර්මනියේ කීල් පර්යේෂන ආයතනය නිවේදනය කල බව මාර්තු 28 දින මාධ්‍යයන්හි පල විය. 

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිනි ජාමූඅ කන්ඩායමක්, මෙරටට ලබා දී ඇති නයෙහි අවසාන වාරික දෙක නිදහස් කිරීමේ හැකියාව තක්සේරු කිරීම සඳහා ආර්ථිකය සමාලෝචනයක යෙදුනි. එහි ප්‍රතිසාධන වැඩසටහන - වඩාත් නිවැරදිව කිවහොත්, කප්පාදු වැඩසටහන - සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම ගැන නියෝජිත පිරිසේ ප්‍රධානියා ප්‍රශංසා කලේය. දිසානායක ඔහුගේ කැපවීම නැවත අවධාරනය කලේ ය.

සැබෑ තතු එසේ වුව ද, තම යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ආන්ඩුවට බලපෑම් කිරීමෙන් ජනතාවට තම ජීවන සහ සමාජ තත්වයන් ආරක්ෂා කරගත හැකි බවට පෙසප මිත්‍යාවන් වපුරමින් සිටී.

ජවිපෙ/ජාජබ පාලනය, ජාමූඅ කප්පාදු ප්‍රහාර වලින් බැටකන කම්කරුවන් හා පීඩිතයන් මතට යුද ප්‍රහාරයෙන් උග්‍ර කෙරෙන බර ද පටවමින්  සිටියි. ආනයන ආදේශ වැනි ජාතිකවාදී පියවරවලින් සිදුවන්නේ ජීවන කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාර නතර කිරීමක් නොව, වෙනත් පාරකින් එම බර පැටවීමකි. මෙය, ධනපති පන්තිය තමා ගිලී යන අර්බුදය කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමේ තවත් ක්‍රමයකි. ආන්ඩුවට පක්ෂපාති, ආසියානු ප්‍රගති සංසදය (Asia Progress Forum), පෙසප යෝජනා කරන්නාක් මෙන්, සීමා කිරීම් ගනනාවක් යෝජනා කර ලංකාව යුද්ධයක දී බඳු හදිසි තත්වයක පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරනය කර තිබේ.   

ආරක්ෂනවාදී පියවර මගින් කම්කරුවන්ට හා පීඩිතයන්ට බේරී සිටිය හැකි බවට පෙසප පතුරුවන මිත්‍යාවේ තවත් පැත්තක් තිබේ. 1977 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අඛන්ඩ ව පවත්වා ගෙන යාම ගැන එය ජවිපෙ/ජාජබ පරිපාලනය විවේචනය කරන අතර ම, ඊට පෙර පැවති ආර්ථික නියාමන ප්‍රතිපත්ති වෙත නැවත පැමිනීමක් යෝජනා කරයි.

එවැනි ජාතිකවාදී පියවර මතකයට ගෙනෙන්නේ ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුව හා, මහා පාවාදීමක් මගින් එය සමග එක් වූ ලංකා සමසමාජ පක්ෂය සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලද 1970-1977 දෙවන සභාග ආන්ඩුවේ වැඩපිලිවෙලයි. එම ආන්ඩුව, 1973 දී තෙල් නිපදවන රටවල් තෙල් මිල හතර ගුනයකින් වැඩි කල විට එහි ජාතිකවාදී ප්‍රතිපත්ති, මිල ඉහල දැමීම් හා සලාක ක්‍රමය සමඟින්, මහ ජනතාවට එදිනෙදා කෑමට හැකි දේ නියම කරන දැඩි පොලිස් පියවරයන් බවට පත් විය. පෙසප කෙලින් ම ප්‍රකාශ නොකලත්, අර්බුදයට ධනපති ක්‍රමය තුල ජාතිකවාදී විසඳුම් සොයන වැඩපිලිවෙල යන්නේ එම අන්තය කරා ය. 

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අවුලුවා ඇති ප්‍රහාර නිසා උග්‍ර වී ඇති ධනපති අර්බුදයේ බර පැටවීමෙන් හා ජාමූඅ කප්පාදු පියවර වලින් කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවන කොන්දේසි ඇතුලු අනෙකුත් අයිතීන් රැක ගැනීමේ සටන, සමාජවාදී ප්‍රතිපත්ති මත අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව කරන සටන සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත.  

පෙසප ඉදිරිපත් කරන තවත් යෝජනාවක් නම්, නැගී එන අර්බුදකාරී තත්ත්වය භාවිතා කර සහන ලබා ගැනීම සඳහා නය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම් දෙක සමාලෝචනය කිරීම සඳහා ජාමූඅ සමග සාකච්ඡා කිරීමයි.

“අපට ‘Exit IMF’ (ජාමූ අරමුදලෙන් පිටවීමේ) ප්‍රතිපත්තියක් තිබියදීත්, අපි මෙම යෝජනාව ඉදිරිපත් කරනවා” යයි නාගමුව පැවසී ය. මෙම යෝජනාව, හරයෙන් ගත් විට, පෙසප පසුගිය අවුරුදුවල උජාරුවෙන් ලෙල වූ ඊනියා ජාමූ අරමුදලෙන් පිටවීමේ ව්‍යාජ යෝජනාව  ද අත්හැර දැමීමකි. එමගින් කියමින් සිටියේ විදේශ නය හිමියන් සමග කේවල් කර, විලෝපිත නය කපාහැර, තවත් සහන ලබා ගැනීම ට තමන් ට වෙන ම වැඩපිලිවෙලක් ඇති බවයි. ආන්ඩුවට දෙන සහනයක් ලෙස තම Exit IMF වැඩපිලිවෙල හමස් පෙට්ටියේ දමන්ට සුදානම් බව ව්‍යාජ වාම නායකයන් කිහිප වරක් ම කියා ඇත. කෙසේ වෙතත්, පෙසප එම යෝජනාව ද මෙම සංශෝධනය කල යෝජනාව ද යන දෙක ම ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධන හිමියන් සමග කේවල් කිරීමේ අධිරාජ්‍ය ගැති වැඩපිලිවෙලවල් ම ය. 

ඊනියා නොබැඳි පිලිවෙත

භූ-දේශපාලන යුද ආතතීන්ගෙන් බේරීමට පෙසප නායකයා තවත් යෝජනාවක් ඉදිරිපත් කලේ ය. එය වනාහි, සියලු දෙනා සමඟ ආර්ථික ගනුදෙනු සඳහා මග පාදන පරිදි, ආන්ඩුව “ලෝකයේ සියලු ම කඳවුරු සමඟ සබඳතා වර්ධනය කරමින් නොබැඳි ප්‍රතිපත්තියක් … ” අනුගමනය කල යුතු ය යන්නයි.  ඊට රැඩිකල් මුහුනක් දීමට ආන්ඩුව ඇමරිකාව, ඉන්දියාව සහ ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ආරක්ෂක ගිවිසුම් වහා හෙලි කල යුතු බව ඔහු පැවසී ය.

මෙයින් අදහස් කරන්නේ ඇමරිකාව, යුරෝපය හා ජපානය යන අධිරාජ්‍යවාදී බලයන් සහ ඉන්දියාව, රුසියාව සහ චීනය වැනි ධනපති රටවල් ( අනෛතිහාසික ලෙස, පෙසප මෙම රටවල් ද හඳුන් වන්නේ අධිරාජ්‍යවාදී රටවල් ලෙස ය) සබඳතා තහවුරු කර ගැනීමයි. එවිට ශ්‍රී ලංකාවේ පාලක පන්තියට ආර්ථික වාසි ලබා ගැනීමට සහ දිවි ගලවා ගැනීමට ඔවුන් අතර තුලනය විය හැකිය. මොනතරම් ෆැන්ටසියක් ද?

දශක ගනනාවකට පෙර, සීතල යුද්ධ සමයේ දී, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඝානාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල පාලක පන්ති “නොබැඳි පිලිවෙත” අනුගමනය කිරීමක් ප්‍රකාශයට පත්කොට සංවිධානයක් ද ඒ නමින් පිහිටවූයේ ය. ජාතිකවාදී වැඩපිලිවෙලවල් ගෙනගිය මෙම ධනපති රටවල පාලකයෝ, සීතල යුද සමයේ ඇමරිකාව සහ ස්ටැලින්වාදී නිලධරය පාලනය කල සෝවියට් සංගමය සමග කේවල් කලහ. එම කාල පරිච්ඡේදය අවසන් වූයේ ධනේශ්වර ගෝලීයකරනය සහ ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමෙනි. 

එම සංවිධානය ක්‍රමයෙන් දිය වී ගියේ ය. විටින් විට මේ රටවල ධනපතියන්, මධ්‍ය ම පන්තික කන්ඩයම් තවමත්,  තම අධිරාජ්‍ය ගැති පිලිවෙත්වල විලි වසා ගැනීමට “නොබැඳි පිලිවෙතේ” රඟ පිලිබඳව දොඩවති. ජනාධිපති දිසානායක ඉන් එක් පුද්ගලයෙකි; පෙසප නායකයෝ ද මෙම ධනපති උරුමය කර පින්නාගෙන යති. 

ජවිපෙ/ජාජබ ජාමූඅ ප්‍රතිපත්ති මහා ව්‍යාපාරිකයන් සහ විදේශ නය හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරමින්, ඇමරිකා එක්සත් ජනපදය සහ එහි දකුනු ආසියානු මූලෝපායික සහකරු වන ඉන්දියාව සමඟ ආරක්ෂක සබඳතා වර්ධනය කරමින්, සහ රට තුල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරමින් සිටී. 

තමන් මධ්‍යස්ථ බව කියා සිටින ආන්ඩුව, ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් සාපරාධී යුද්ධයට සහාය දෙයි. එය යුද්ධය හෙලා නොදකින සහ ආක්‍රමනිකයන් සහ වින්දිතයින් නම් නොකරන ප්‍රකාශ නිකුත් කලේ ය, ආන්ඩුව කුහක ලෙස ප්‍රහාරයේ යෙදෙන ඇමරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් පමනක් නොව තම ආත්මාරක්ෂාව සඳහා ප්‍රති ප්‍රහාරයක යෙදෙන ඉරානයෙන් ද ආතතීන් උත්සන්න නොකරන ලෙස ඉල්ලා සිටියි. ඉන්දියාව ඇතුලු ඇමරිකානු ගැති පැරනි යටත් විජිත රටවල පාලකයන් සියලු දෙනාගේ ප්‍රකාශ එවන් ය. 

ඊනියා නොබැඳි පිලිවෙතේ සහ මධ්‍යස්ථ භාවයේ පල්ල ගොස් ඇත. ලෝක ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා, එනම්, නිෂ්පාදනය සමාජීයකරනය සහ පුද්ගලික දේපල අයිතිය ද එය පාදක වී තිබෙන ජාතික රාජ්‍ය පද්ධතිය සහ ගෝලීයකරනය වූ ආර්ථිකය අතර ප්‍රතිවිරෝධතා, යලි පුපුරා ඉස්මත්තට පැමින තිබේ.

ඉරානයට එරෙහි යුද්ධය, භූ-දේශපාලනික තත්වය තුල මෙන් ම, ආර්ථික හා සමාජ කොන්දේසි තුල ඇතිකර තිබෙන්නේ අලුත් ම තත්වයකි; පෙර පවතී කොන්දේසි යලි නො එනු ඇත. දුගී බව, සමාජ අසමානතාව තවත් ගැඹුරු කෙරමින් පවතින අතර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දීම ද ඒකාධිපති පාලනයන්ට හැරීම ද රටක් රටක් පාසා වේගවත් වෙමින් තිබේ. දිසානායක ආන්ඩුව යන්නේ ඒ මාවතේ ය.  

ආන්ඩුව “නිවැරදි මාවතට” ගෙන ඒම

අවුරුදු 15කට පෙර ජවිපෙන් කැඩී ගිය බෑයන් කන්ඩායමක් විසින් පිහිටුවන ලද පෙසප, ආන්ඩුව වටේ කැරකෙමින් සිටින සංවිධානයකි. ජවිපෙ/ජාජබ විසින් 2024 අග පැවති ජනාධිපතිවරනය  සහ ජාතික මැතිවරන ජය ගැනීම “ජනතාවගේ අපේක්ෂාවේ ප්‍රකාශනයක්” ලෙස හැඳින් වූ පෙසප නායක කුමාර් ගුනරත්නම්, ජවිපෙ/ජාජබ ආන්ඩුව “ජනතා ආන්ඩුවක්” ලෙස හුවා දක්වමින් එය ප්‍රතිගාමීන්ගෙන් රැක ගත යුතු බව ද කියා සිටියේ ය. ඇත්ත වශයෙන් ම, ඔවුහු, ආන්ඩුව “නිවැරදි මාවතට” ගෙන ඒමට අදහස් කරන බව පවසමින් ඊට මිත්‍රශීලී විවේචන ද එල්ල කරමින් සිටිති.

මෙම ව්‍යාජ වාම සංවිධානයට අනුව, දිසානායක පාලනයේ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අධිරාජ්‍ය ගැති ක්‍රියාමාර්ග, එයට බලපෑම් කිරීමෙන් නිවැරදි කල හැකි ය. මෙය අමු ව්‍යාජයකි. ජවිපෙන් ප්‍රකාශයට පත්වන්නේ, පෙසප විසින් ආරක්ෂා කරනු ලබන, එහි ආරම්භක කම්කරු විරෝධී-වර්ගවාදී දේශපාලනයේ තර්කානුකූල අන්තයකි. අවුරුද්දකුත් මාස අටක් වයසැති ආන්ඩුවේ ක්‍රියා කලාපයෙන් පමනක් ම, අන්ධ පුද්ගලයෙකුට වුව, එහි ප්‍රතිගාමී ස්වභාවය දැක ගැනීමට අපහසු නැත. 

සමාජවාදය හෝ මාක්ස්වාදය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති පෙසප සහ එහි නායකයෝ ඇතැම් විට ධනවාදයේ ප්‍රතිවිරෝධතා ගැන ද සඳහන් කරති. ඒ  මාක්ස්වාදී විශ්ලේෂනයේ අර්ථයෙන් නොව, ජාතික ධනේශ්වර ක්‍රමය තුල විසඳුම් ඇති බව පවසමින් ජනතාව නොමඟ යැවීමට ය.

දෙ වන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ 1940 මැයි මාසයේ දී ලියන ලද අධිරාජ්‍යවාදී යුද්ධය පිලිබඳ හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනයේ ට්‍රොට්ස්කි සඳහන් කල පරිදි: “එක්සත් ජනපද ධනවාදය, 1914 ජර්මනිය යුද්ධයේ මාවතට තල්ලු කල එම ගැටලු වලට ම මුහුන දී සිටියි. ලෝකය බෙදා තිබේ ද? එය නැවත බෙදිය යුතු ම ය. ජර්මනියට එය ‘යුරෝපය ප්‍රතිසංවිධානය කිරීම’ පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය ලෝකය ‘ප්‍රතිසංවිධානය’ කල යුතු ය. ඉතිහාසය විසින්, මානව වර්ගයා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳු පිපිරීම සමග මුහුනට මුහුන අභිමුඛ කොට තිබේ.”

ට්‍රොට්ස්කි මේ වැකි ලියුවේ 1940 දී වුවත්, ඒවා අද දින  බලවත් ව නැගී සිටියි. 

පෙසප යෝජනාවල සාරය නම්, යුද්ධය මගින් මුදා හරින ලද දැවැන්ත ගෝලීය අර්බුදය නොතකා, ලංකාවේ මහජනතාවට දිවයිනේ, ධනේශ්වර ක්‍රමය හා ජාතික සීමාවන් තුල විසඳුම් සොයා ගත හැකි බවයි. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදය විසින් ආධිපත්‍යය දරන ලෝක ආර්ථිකයේ අත්‍යන්ත කොටසක් බව මෙම ව්‍යාජ වම්මු ආවරනය කරති. මෙම ස්ථාවරය පෙසපයේ ග්‍රාම්‍ය ජාතිකවාදී සහ තත්කාර්යවාදී ධනේශ්වර ගැති දේශපාලන පිලිවෙත ප්‍රදර්ශනය කරයි.

කම්කරු පන්තිය ධනපති පන්තියේ සෑම කොටසකින් ම ස්වාධීන ව බලමුලු ගන්වා, ගම්බද ජනතාවට හා පීඩිතයන්ට නායකත්වය, දෙමින් ධනපති පන්ති පාලනය පෙරලා දමා, ජාත්‍යන්තරවාදී පදනමක, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ සටනට ව්‍යාජ වාම සංවිධානය ඉඳුරා ම විරුද්ධ ය. 2022 මහාජන නැගිටීම තුල සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන් එලෙස බලමුලු ගැන්වීම සඳහා සටන් කරන විට ඊට එරෙහි වූ පෙසප කලේ, අපකීර්තියට පත් ව සිටි පාර්ලිමේන්තුවේ පක්ෂවල “අන්තර්වාර ආන්ඩුවක්” බලයට ගෙන ඒමට යෝජනා සකස් කොට ධනපති පක්ෂ සමග සාකච්ඡා කිරීමයි: එවැනි ආන්ඩුවක් සාදන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ලෙස ඊට සහභාගී වීමට ද පෙසප නායකයන් සුදානම ප්‍රකාශ කර තිබුනි.   

2022 අප්‍රේල් 28 බ්‍රහස්පතින්දා කොලඹ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බලකරන වැඩ වර්ජනයක්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

පෙසප ධනපති ගැති වැඩ පිලිවෙල සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් බලවත් ලෙස හෙලිදරවු කර ඇති නමුදු පෙසප නායකයන් විවේචන එකකට හෝ පිලිතුරු දී නැත. ඒ වෙනුවට, පෙසප නායකයන් තම  සාමාජිකයන් අතර බයාදු ලෙස පතුරුවා ඇත්තේ සසප න්‍යාය “ප්‍රායෝගික” නොවන බවයි. අවස්ථාවාදීන් “යතාර්ථය” හා “ප්‍රයෝගික” බව ගැන කරන දෙඩවිලි, ධනේශ්වර ක්‍රමය තුල පවත්නා තත්වයන්ට අනුගත වීම මෙන් ම කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියාකලාපය ප්‍රතික්ෂේප කිරීම ප්‍රකාශයට පත් කරන බව ට්‍රොට්ස්කි වරෙක සඳහන් කලේ ය. 

පෙසප නියෝජනය කරන්නේ, අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන මෙන් ම ධනපති ක්‍රමය තුල, එයට සේවය කරමින් ම තමන්ට පංගුව වෙන්කර ගැනීමට කේවල් කරන ඉහල මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන් ය. ඔවුහු, ධනපති ක්‍රමයට තර්ජනයක් වන, කම්කරු පන්තියේ අරගල බ්ලොක් කිරීමට සහ ඒවා තම අවශ්‍යතා සඳහා කේවලයට පාවිච්ච් කිරීමේ දුෂ්-ක්‍රියාකලාපයක යෙදෙති. 

ධනපති පන්තියේ කොටස් අනෙක් අතට මේ සංවිධානය තම සේවය සඳහා නොපැකිල පාවිච්චි කරති. සියලු ජන මාධ්‍ය පෙසප සංවිධානයට විවෘත ය. එහි නායකයන් ජවිපෙ තුල ප්‍රතිගාමී ක්‍රියාකලාපයට සම්බන්ධ වී ධනපති ක්‍රමය රැකීමට ක්‍රියාකල බව ද ධනපති පන්තිය දනී. එහි වත්මන් භූමිකාව එහි ම දිගුවකි. 

මෙම පක්ෂයේ ධනේශ්වර ගැති ඉදිරිදර්ශනය සහ උද්ඝෝෂන ප්‍රතික්ෂේප කරන ලෙසත්, සසප සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසත් අපි කම්කරුවන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. ඔබ සිටිය යුත්තේ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අරගලය තුලයි.

Loading