ජනාධිපති දිසානායක 2025 වසර සඳහා ඉදිරිපත් කල අයවැයෙන් අනතුරුව, 2025 මැයි 9 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන “ආපදා නය” සීමාව රුපියල් 400,000 දක්වා ඉහල දැමීමට යෝජනා කල නමුත්, 2026 ජනවාරි මාසයේ දී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය උප දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ගනකාධිකාරීවරුන්ට දැනුම් දී ඇත්තේ, ආපදා නය මුදල යලිත් රුපියල් 250,000 දක්වා පහත දමන බවයි.
උත්සව අත්තිකාරම රුපියල් 10,000 සිට 15,000 දක්වා වැඩි කර ඇති බැවින්, එය “කලමනාකරනය කරගත” හැකිවන පරිදි, මෙම පියවර ගෙන ඇති බව සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත. “ආපදා නය ශේෂයක් පවතින පුද්ගලයන් හට, තව දුරටත් ලබා දිය හැකි නය මුදල ගනනය කිරීමේ දී උපරිම සීමාව රුපියල් 400,000 ලෙස ගෙන පවතින ශේෂය අඩු කිරීමෙන් පසු ව ලැබෙන අගය රුපියල් 250,000ක් හෝ ඊට අඩු අගයක් වේ නම්, එම මුදල ගෙවිය යුතු ය. පවතින නය ශේෂය අඩු කිරීමෙන් පසු ව ලැබෙන අගය රුපියල් 250,000ට වඩා වැඩි නම් එම පුද්ගලයා වෙත ගෙවිය යුත්තේ රුපියල් 250,000ක් පමනි” යි ජනවාරි 23දා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යවන ලද චක්‍රලේඛයෙහි දැක්වේ.
මීට පෙර එම නය මුදල ගෙවනු ලැබුවේ, යම් කම්කරුවෙකුගේ මසක මූලික වැටුප මෙන් දහ ගුනයක් හෝ රුපියල් 250,000 යන දෙකෙන් අඩු අගය මත පදනම් වෙමිනි. සහන පොලී පදනම මත අනෙකුත් රජයේ සේවකයන්ට මෙන් දුම්රිය සේවකයන්ට ද ලබා ගත හැකි හිමිකමක් ලෙස ආපදා නය මුදල පවතී.
ජවිපෙ/ජාජබ ආන්ඩුවේ අයවැයට අනුව, රුපියල් 400,000ක් මුදලක් අපේක්ෂාවෙන් “ආපදා නය” සඳහා අයදුම්පත් ඉදිරිපත් කල දුම්රිය සේවකයෝ, එය ආපසු හැරවීම හේතුවෙන් දැඩි අපහසුතාවකට ලක් ව සිටිති.
රත්මලාන දුම්රිය වැඩපොලේ සේවයේ නියුතු, ආපදා නය ඉල්ලුම් කල කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට සඳහන් කලේ, “රුපියල් 400,000 ලබා ගෙන, කාර්යයන් කිහිපයක් ඉටු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත්, දැන් රුපියල් 400,000 වන ඉහල දැමූ මුදලින් රුපියල් 150,000ක් හෙවත් සියයට 37.5කින් මෙලෙස එක් වරම කප්පාදු කිරීම නිසා, තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුන දී සිටින බව යි. මීට අමතර ව අතිකාල සේවා ද කප්පාදු කර ඇති බව ඔහු පැවසී ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත සිදු කෙරෙන මෙම කප්පාදු සම්බන්ධයෙන් දුම්රිය කම්කරුවන් අතර බලගතු විරෝධයක් ඇවිලීමත් සමග, එතෙක් මෙම ගැටලු පිලිබඳ ව නිහඬ ව සිටි දුම්රිය වෘත්තීය සමිති, එම විරෝධය වාෂ්ප කිරීම සඳහා වහා ම වැඩට බැස ගත්හ. දුම්රිය සාමාන්‍යධිකාරීවරයාගේ පියවර ආන්ඩුවේ තීරනයට එරෙහි ව යාමක් බව පවසමින්, එයට වහා මැදිහත් වන ලෙස ඉල්ලා, දුම්රිය සමිති, ජනාධිපතිට ලිපියක් යවා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේය. එසේ නො වුවහොත් “දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග” ගන්නා බව ද එම ලිපියේ සඳහන් වී ඇත.
“ආන්ඩුව ගන්නා තීන්දු පවා, ‘දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා’ හිතුමතේ වෙනස් කරන” බව ලිපිය පවසයි. සමිති නිලධරය වෙනත් වචනවලින් කියන්නේ, ජනාධිපති ප්‍රමුඛ ආන්ඩුව යහපත් තීරන ගන්නා නමුත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඒවාට හරස් කපන බවයි. මෙය, ආන්ඩුව කොක්කෙන් ගලවා යැවීමේ ප්‍රයත්නයකි. සමිති නිලධරයේ අරමුන වනුයේ, සිය සාමාජිකයන්ගේ කෝපය පුහු විරෝධතා උද්ඝෝෂන වලට සහ ජනාධිපතිට කරන කන්නලවු වලට කොටු කරමින් ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල මුලුමනින් ම ක්‍රියාවට නැගීමේ මාවත පාදා දීමයි.
වෘත්තීය සමිති නායකයන්ගේ මෙම ප්‍රතිගාමී ක්‍රියා කලාපයෙන් තව දුරටත් ඔප්පු වූයේ, කම්කරුවන්ගේ අතිකාල කප්පාදු කරන බවට සඳහන් කරමින්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිකුත් කල චක්‍රලේඛයක් සම්බන්ධ ව ඔවුන් දැක් වූ ප්‍රතිචාරයේ දී ය.
රත්මලාන දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු වැඩපොලේ කම්කරුවන්ට, ඔවුන්ට නියමිත දෛනික රාජකාරීවලින් පසු ව සඳුදා, බදාදා හා සිකුරාදා දිනවල රාත්‍රී සේවා වැඩමුරය ද ඇතුලු ව අතිකාල වැඩ සඳහා අවසර දෙනු ලබයි. ඉරානයට එරෙහි ව ඇමරිකාව හා ඊස්‍රායලය දියත් කර ඇති යුද්ධයෙන් ලංකාව තුල නිර්මානය කෙරී ඇති අර්බුදය නිසා, එය පහ ව යන තෙක්, මෙම අතිකාල සේවා මුරය රාත්‍රී 8 දක්වා පමනක් සීමා කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දී තිබේ.
මෙය, අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අතිකාල සේවා කප්පාදුවට පොට පාදාගැනීමක් බව අවබෝධ කරගත් කම්කරුවන් පිරිසක්, එයට විරෝධය පෑමත් සමග මාර්තු මාසය අවසන් වන තෙක්, “කලින් පරිදි අතිකාල සේවා මුර” ලබා දීමට පාලනාධිකාරය තීන්දු කලේ ය. මෙය 2024 වසරේ බලයට පැමිනි දිසානායක ආන්ඩුව යටතේ, කම්කරුවන්ගේ අතිකාල කප්පාදු කරන දෙවන අස්ථාවයි. පලමුව 2025 අයවැයෙන් පසු, රාජ්‍ය අංශයේ සියලු ම කම්කරුවන්ගේ අතිකාල 11/30කින් කපා දැමීමට ආන්ඩුව පියවර ගත්තේ ය.
මෙලෙස කම්කරුවන් තම පාලනයෙන් ස්වාධීන ව ක්‍රියාත්මක වීම කෙරෙහි භීතියට පත් සමිති නිලධරය අවසාන මොහොතේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට මැදිහත් විය. කෙසේ නමුත්, මාර්තු මාසය අවසානයෙන් පසු, අප්‍රේල් මාසයේ සිට දුම්රිය කම්කරුවන්ගේ අතිකාලවලට කුමක් වේ ද යන්න ගැන කිසිදු කම්කරුවෙකුට පැහැදිලි නැත.
2007-08 වසරවල යෝජනා කරන ලද රුපියල් 250,000 ආපදා නය මුදල, මේ දක්වා ම ඉහල නො දැමීම නිසා කම්කරුවන් අතරින් මතු විය හැකි ප්‍රතිරෝධය හේතුවෙන් දිසානායක ආන්ඩුවට එම මුදල ඉහල දැමීමට බල කෙරුන ද ජාමූඅ හි කප්පාදු හේතුවෙන් මෙලෙස දුම්රිය සේවක නය මුදල සහ අතිකාල කපා දමා ඇත.
විශේෂයෙන් ම, සාමාන්‍ය දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අවශ්‍ය ශ්‍රම බලකායට වඩා ආසන්න වසයෙන් 8,000ක පමන සේවක පුරප්පාඩු පැවතීම හේතුවෙන්, ඉතිරි ව සිටින කම්කරුවන්ට අතිකාල සේවයේ නියුක්ත වීමට සිදු වී තිබේ. අනෙක් අතට දශක තුනක් පමන තිස්සේ, අනුප්‍රාප්තික ආන්ඩු එල්ල කරන ලද ප්‍රහාර නිසා, කම්කරුවන්ගේ මූර්ත වැටුප් කප්පාදු කෙරී තිබීමෙන් යන්තමින් හෝ ජීවිතය ගැට ගසා ගෙන යාමට අතිකාල සේවයේ නිරත වීමට ඔවුන්ට බලකෙරී ඇත. ආන්ඩුව හා දුම්රිය පාලනාධිකාරය අපේක්ෂා කරන්නේ, කම්කරුවන් “කාර්යක්ෂම ව” වැඩ නොකරන බව පවසමින් පුද්ගලීකරනයට පාර කපා ගැනීමටයි.
පසුගිය නොවැම්බරයේ අග භාගයේ ලංකාවට බලපෑ දිත්වා සුලි කුනාටුවෙන් රටෙහි දුම්රිය මාර්ගවලින් බොහොමයක් විනාශ වී යාම නිසා, දැන් ප්‍රධාන දුම්රිය මාර්ගය වන කොලඹ-නුවර-බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ රඹුක්කන දක්වා පමනි. සුලි කුනාටුවට කලින් තිබුනු තත්ත්වයෙන් දුම්රිය මාර්ග යලි ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 300-400 අතර මුදලක් වැය වන බවට ගනන් බලා තිබේ.
නමුත් ජවිපෙ/ජාජබ ආන්ඩුව දැන් උත්සුක වන්නේ, දිත්වා සුලි කුනාටුව මගින් නිර්මානය කල අර්බුදය ගසා කමින්, ජාමූඅ හි නියෝගවලට අනුව දුම්රිය ධාවනය පුද්ගලීකරනය කිරීමටයි. ජාමූඅ හි නියෝග මත වානිජකරනයට හා පුද්ගලීකරනයට නියමිත රාජ්‍ය ව්‍යවසායයන් 430 අතර දුම්රිය සේවය ඉහලින් ම ලැයිස්තුගත වී තිබේ.
ආපදා නය කප්පාදුව හා අතිකාල කප්පාදුව දුම්රිය දෙපාර්තමේන්තුව තුල ක්‍රියාවට දමන්නේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පුද්ගලික පරිපාලන “අත්වැරැද්දක්” හෝ “නිෂ්ක්‍රීය නිවැරදි කිරීමක්” ලෙස නො වේ. එය වනාහි ආර්ථික අර්බුදයේ මුලු බර කම්කරුවන් මත පැටවීම ඉලක්ක කරන ආන්ඩුවේ පිලිවෙත්වලට සමපාත වන පියවරකි.
මෙම තත්ත්වයන්ට එරෙහි ව සටන් කිරීමේ දී, කම්කරුවන්ට වෘත්තීය සමිති කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. ඉතිහාසය පුරා අනෙකුත් අංශවල වෘත්තීය සමිති මෙන් ම දුම්රිය සමිති ද පෙන්නුම් කර ඇත්තේ, ඒවා ආන්ඩු සමග කුමන්ත්‍රනයේ යෙදී ලබා ගන්නා බොරු පොරොන්දුවලට කම්කරුවන් යටත් කර, වැඩ වර්ජන ඇතුලු පංති සටන් යලි යලිත් පාවා දෙන සංවිධාන බවයි. දැන් ආන්ඩුව ම එහි අයවැය යෝජනා ආපසු හරවද්දී, දුම්රිය සමිති නිලධරය, අනෙක් සමිති නිලධරයන් මෙන් ම, ආන්ඩුවේ හා පාලක පන්තියේ තීන්දු කම්කරුවන් මත පටවන කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වෙයි.
මෙයට කම්කරුවන්ගේ ප්‍රතිචාරය විය යුත්තේ, ධනේශ්වර උපකරන බවට පත් ව ඇති වෘත්තීය සමිති වලින් ස්වාධීන ව, සෑම වැඩපොලක, කම්හලක හා නිවහන් ප්‍රදේශයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. කම්කරුවන් විසින් ම ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කරගන්නා මෙම කමිටු, ධනපති ආන්ඩුවල ප්‍රහාරවලට එරෙහිව තමාගේ ම වැඩපිලිවෙලක් මත සටන් වැදිය යුතු ය.
මෙම “රෝල් බැක් කිරීමේ” (දිනාගත් අයිතීන් ආපසු හැරවීමේ) පිලිවෙත ලංකාවට පමනක් සීමා නොවේ. ජාත්‍යන්තර ව, සෞඛ්‍යය, ප්‍රවාහන හා මහජන සේවාවන්වල කම්කරුවන්, එක ම ප්‍රහාරයන්ට මුහුන දෙන අතර, ඒවායේ පොදු අත්දැකීම වන්නේ, ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත ස්වාධීන කම්කරු-පන්තික ක්‍රියාවලට පමනක් ම එම ප්‍රහාරයන් පරාජය කල හැකි බව යි.
කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගිතාව සම්බන්ධීකරනය කිරීම සඳහා, දුම්රිය හා සෞඛ්‍ය කම්කරුවන් ද ගුරුවරුන් හා අනෙකුත් කම්කරු කොටස් ද අතර කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) ගොඩනැගිය යුතු ය.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මග පෙන්වීම යටතේ පිහිටුවා ඇති දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවට (දුකක්‍රික) බැඳී, එය පුලුල් ලෙස වර්ධනය කිරීමේ තීන්දුව කරා සියලු දුම්රිය කම්කරුවන් එලඹිය යුතු ය. වැඩපොල රැස්වීම් පවත්වමින්, ඒවායේ වාර්තා හා කම්කරුවන් ඉදිරිපත් කරන ඉල්ලීම් ප්‍රසිද්ධ කිරීමටත්, තම ඉල්ලීම් පැහැදිලි කරමින්, අවශේෂ කම්කරුවන් අතර මැදිහත් වීමටත් දුම්රිය කම්කරුවන් ක්‍රියා කල යුතු ය.
අනෙකුත් කම්කරුවන් මෙන්ම, දුම්රිය කම්කරුවන් මුහුන දී සිටින්නේ, හුදු වැටුප් හෝ නය පිලිබඳ ප්‍රශ්නයකට නොව, සමාජයේ සම්පත් පාලනය කරන්නේ හා ඒවා ගැන තීන්දු තීරන ගන්නේ කවුරුන් ද යන්න පිලිබඳ ප්‍රශ්නයකටයි. “රෝල් බැක්” පිලිවෙත් හා පුද්ගලීකරන පිලිවෙත් පරාජය කිරීම සඳහා, මූලික කර්මාන්ත, බැංකු හා මහජන සේවාවන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගත යුතු ය. ඒ සඳහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ආ යුතු ය. සසප හා දුකක්‍රික සටන් කරන ක්‍රියාමාර්ගය මෙය යි.
