පෙරටුගාමී සමාජවාදී පක්ෂය ව්‍යාජ දූෂන විරෝධී ව්‍යාපාරය උත්සන්න කරයි

වත්මන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව යටතේ සිදු ව ඇති ගල් අඟුරු ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් මාස ගනනක් ගෙන ගිය  උද්ඝෝෂනයකින් පසු, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) එම ගනුදෙනුවට එරෙහි ව අධිකරනයට යන බව නිවේදනය කර ඇත.

අප්‍රේල් 10 වන දින, පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, ශ්‍රී ලංකාවේ සමාගමට ටෙන්ඩර් අක්‍රමිකතා නිසා අත් වූ පාඩු වලින් කොටසක් සිදු වී ඇත්තේ, චෝදනා එල්ල වූ වංචාවෙන් බව සඳහන් කරමින්, එම පාඩු පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි නොකරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමට පක්ෂය වෙනුවෙන් ලිපියක් භාර දුන්නේ ය. මෙම වංචාව සම්බන්ධයෙන් තීන්දුවක් ඉල්ලා පක්ෂය අධිකරනයට යන බව ද ඔහු මාධ්‍යයට පැවසී ය.

පෙසප අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍යයට අදහස් දක්වමින්

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ, නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම හා සම්බන්ධවයි. ටෙන්ඩරය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පිහිටි ට්‍රයිඩන්ට් චම්පාර් සමාගමට ප්‍රදානය කර තිබුනි. චෝදනාව වන්නේ එය බාල ගල් අඟුරු සැපයූ බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුලු රජය ඉහල නිලධාරීන් ගනුදෙනුව ගැන දැන සිටි බවත් ය.

අප්‍රේල් 2 වන දින, විගනකාධිපතිවරිය සමාගමට ප්‍රදානය කරන ලද ටෙන්ඩරයේ අක්‍රමිකතා ගෙනහැර දක්වමින් පාර්ලිමේන්තුවට විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කලා ය. 2025/2026 සඳහා සපයන ලද නැව් තොග නවයක ගල් අඟුරු බාල තත්ත්වයේ පැවති ඒවා බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කිලෝවොට් පැයක විදුලිය ජනනය කිරීම සඳහා අවශ්‍ය ගල් අඟුරු පරිභෝජනය වැඩි වීම හේතුවෙන් රුපියල් මිලියන 2,237.7 ක ඇස්තමේන්තුගත අමතර පිරිවැයක් දැරීමට සිදු වූ බවත් වාර්තාවේ සඳහන් විය.

වත්මන් බලශක්ති ඇමති ජයකොඩි ආන්ඩුවට අයත් ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය ප්‍රසම්පාදන කලමනාකරුවෙකු ලෙස සිටියදී 2016 සිදු වූ දූෂනයක් සම්බන්ධයෙන් වගකිව යුතු බවට ද චෝදනා එල්ල වී සිටින පුද්ගලයෙකි. අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම මාර්තු 7 වන දින, එම අමාත්‍යවරයාට එරෙහි ව මේ සම්බන්ධයෙන් අධිකරනයේ චෝදනා ගොනු කලේ ය. 

ගල් අඟුරු වංචාවක් ගැන සාක්ෂි වැඩි වෙමින් තිබිය දී, අප්‍රේල් 7 වැනි දා පාර්ලිමේන්තුවේ දී කතා කල ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාල ටෙන්ඩර ය පිලිබඳව “ගැටලු” පවතින බව පිලිගත් නමුත් ඔහු  අවධාරනය කලේ එය සැපයුම් කල සමාගමට අදාල ප්‍රශ්නයක් බවයි.

මාස ගනනාවක් තිස්සේ, විරුද්ධ පක්ෂ, මාධ්‍ය සහ පෙසප විසින් අමාත්‍ය ජයකොඩි සහ අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන්ට වංචාව සම්බන්ධයෙන් චෝදනා කරමින්, ඔවුන් නීතිය හමුවට පමුනුවන ලෙස ඉල්ලා සිටියහ. අපකීර්තියට පත් ව සිටින විරුද්ධ පක්ෂ වල මූලික අරමුන, සත්‍යය හෙලිදරවු කිරීම නොව, තමන්ට එරෙහි චෝදනා කරන ආන්ඩුව ම, වංචා හා දුෂන වල ගිලී සිටින බව පෙන්වීම සහ ජවිපෙ/ජාජබ පාලනයට එරෙහි ව නැගෙන මහජන කෝපය ගසා කෑමයි.   

දිසානායක තම ඇමතිවරයාට එරෙහි ව කිසිදු පියවරක් ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි ඕනෑ ම පියවරක් ආන්ඩුවේ දේශපාලන අර්බුදයකට උත්ප්‍රේරකයක් වනු ඇතැයි ඔහු දන්නා හෙයිනි. ඔහුගේ පාලනය දැනටමත් කම්කරුවන් සහ දුප්පතුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන කප්පාදු ප්‍රහාර නිසා මහජන කෝපයට මුහුන දී සිටී.

ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් පෙසප උද්ඝෝෂනය, ලංකාවේ ගැඹුරු ආර්ථික අර්බුදය, මූලික ව ම අනුප්‍රාප්තික ආන්ඩු යටතේ දශක ගනනාවක් තිස්සේ සිදු වූ දූෂන හා වංචාවල ප්‍රතිඵලයක් බවට කෙරෙන පුලුල් ප්‍රචාරයක කොටසකි. දූෂන හා වංචා ගැන බොහෝ චෝදනා සත්‍ය වුව ද, මෙම කන්ඩායම විසින් ප්‍රවර්ධනය කරනු ලබන මිථ්‍යාව වන්නේ දූෂනය තුරන් කලහොත් ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු 2022 මහජන නැගිටීමෙන් පසු ව, පෙසප සහ ජවිපෙ/ජාජබ යන සංවිධාන දෙක ම මෙම ප්‍රචාරය තීව්‍ර කලහ. ප්‍රචාරය යොමු වූයේ 2022 ආර්ථික බිඳවැටීම විසින් ධනපති ක්‍රමයේ බංකොලොත් කම මහජනයාගේ ඇස් පනාපිට හෙලිදරව් වෙමින් පැවතීම ආවරනය කිරීමටයි.

එතැන් සිට, 2024 අග භාගයේ පැවති ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන උද්ඝෝෂන වල දී, පෙසප සහ ජවිපෙ/ජාජබ යන පක්ෂ දෙකෙහි ම දේශපාලන ව්‍යාපාරවල කේන්ද්‍රීය සටන් පාඨය වුයේ දූෂන තුරන් කිරීමයි.  මෙම පක්ෂ කියා සිටියේ “පිරිසිදු” පක්ෂයකට පිරිසුදු ආන්ඩුවක් පිහිටුවා, දූෂන මුලිනුපුටා දමා, ධනපති ආර්ථිකය ශුද්ධ-බුද්ද කොට, සොරකම් කරන ලද ධනය අල්ලා ගෙන ජනතාවට සෙත සැලසීම සඳහා ඒවා හරවා යැවිය හැකි බවයි. 

පෙර පාලන තන්ත්‍රයන් විසින් සිදු කරන ලද දූෂන ඇතුලත් ලිපිගොනු දුසිම් ගනනක් තමන් සතු ව ඇති බව කියා සිටි දිසානායකගේ ව්‍යාපාරයට, පෙසප ප්‍රචාරයෙන්  තල්ලුව දෙනු ලැබුනි. මෙම ව්‍යාපාරයේ අරමුන වූයේ සමාජ හා ආර්ථික අර්බුදයේ සැබෑ මූලාශ්‍රය වන ධනේශ්වර පද්ධතියෙන් ඉවතට හරවා යැවීමයි. ගෝලීය ධනේශ්වර අර්බුදයේ බලපෑම අවතක්සේරු කර හෝ ද්විතීයික ලෙස සලකනු ලැබීය. දූෂනවලට ගැඹුරින් සම්බන්ධ වී සිටි කලින් ආන්ඩුවල නායකයින්ට චෝදනා ප්‍රතික්ෂේප කිරීම් හැර වෙනත් කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය.

මෙම ව්‍යාපාරයට මුවා වූ දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල දිගට ම ගෙන යන බවට මහා පරිමාන ව්‍යාපාරිකයින්ට සහතික දීම් සඟවා ගත්තේ ය. 

පැරනි පක්ෂවලට එරෙහි ව පවතින මහජන කෝපය ගසා කමින් ජවිපෙ/ජාජබ  ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරන දෙකෙහි ම ජයග්‍රහනය තහවුරු කර ගත්තේ ය. බලයේ සිටි පසුගිය මාස 18 තුල, දිසානායක ආන්ඩුව කුරිරු ලෙස කප්පාදු ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, කම්කරු හා ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ද පහර දී තිබේ. කලින් ආන්ඩුවලට වඩා මේ ආන්ඩුවේ වෙනසක් නැති බවත්, ඒවාට ක්‍රියාවට දැමීමට අපහසු වූ ප්‍රහාර එල්ල කිරීමට පාලක පන්තියේ රුදුරු අවියක් ලෙස වත්මන් ආන්ඩුව ක්‍රියාකරන බවත් කම්කරුවන්ගේ ඇස් ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් පවතී.  

මැතිවරන පොරොන්දු ඉටු කිරීමේ නමින්, ආන්ඩුව හිටපු ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහි ව දූෂන චෝදනා මත නීතිමය පියවර ගැනීම අරඹා ඇත. මෙම චෝදනා සත්‍ය වුව ද, ඒවා යොදා ගැනෙන්නේ ආන්ඩුවේ කප්පාදු පියවරයන් කෙරෙහි මහජන කෝපය වෙනතකට හැරවීම සඳහා ය. 

තමන්ට එල්ල වන චෝදනා යටපත් කිරීම සඳහා ආන්ඩුව නරුම උපාමරුවල යෙදෙයි: 2009 දක්වා දිවෙන ගල් අඟුරු ටෙන්ඩර් අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා සේවය කරන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කල බව නිවේදනය විය.  2009 සිට ම සිදු වූ බව කියන ගල් අඟුරු වංචා විමර්ශනය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් මගින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කිරීම තවත් උපාමාරුවකි. මෙ මගින් විරුද්ධ පක්ෂවලට කර ඇති අනතුරු ඇඟවීම නම් “උඹලා අපට පහර දෙන්නේ නම්, අපිත් පහර දෙනවා” යන්නයි.

මෑත මාසවල දී, පෙසප ප්‍රමුඛයන් වන කුමාර් ගුනරත්නම්, පුබුදු ජයගොඩ සහ දුමින්ද නාගමුව අතොරක් නැති මාධ්‍ය සාකච්ඡා, රූපවාහිනී විවාද සහ කතා සංදර්ශන වල දී දූෂන හා වංචා ගැන තර්ක-විතර්ක ඉදිරිපත් කර ඇත. මාධ්‍ය ද කිසිදු ලෝභ කමක් නැති ව පෙසප මේ උද්ඝෝෂනයට තල්ලුව දෙයි. මන්ද යත්, පාලක පන්තියේ ප්‍රමුඛ අවශ්‍යතාව වන්නේ ධනපති ආර්ථික අර්බුදයෙන් කම්කරුවන්ට පීඩිතයන්ට වැදෙන පහර ආවරනය කිරීම හා මහජන කෝපය වෙනතකට හැරවීම සඳහා පෙසප පුච්චානම් කතාකාරයන්ගේ සේවය ලබා ගැනීම ය. 

පෙසප වැනි ව්‍යාජ වාම සංවිධාන විසින් හුවා දැක්වෙන ආකාරයේ පිරිසිදු ධනවාදයක් ලෝකයේ තිබුනේත් නැත; ඇත්තේත් නැත. මාක්ස් හෙලිදරවු කල පරිදි “ධනවාදය උපත ලද්දේ, ලේ සහ ජරාව ඉහින්කනින් නා ගෙන ය” මූල්‍ය ප්‍රාග්ධනය අරක් ගත් අධිරාජ්‍යවාදී යුගයේ “යෝධ පරිමානයෙන් දුෂනය, අල්ලස් සහ වංචාව පැතිරී ගොස් ඇත.” දූෂන හා වංචා අපගමනයක් නොව, ධනවාදී ක්‍රමයේ ලක්ෂනයන් ය. 

අද නැවතත් සිය මූලික ප්‍රතිවිරෝධතා පුපුරා යාම තුල ගිලී ඇති දිරාපත් වන ධනවාදී ක්‍රමය තුල සෑම රටක ම මෙම තත්වය රජ යයි. පෙසප සමඟ එක් ව “පිරිසිදු ධනවාදය” පිලිබඳ න්‍යාය දේශනා කල ජවිපෙ/එන්පීපී, තමන් ද කුනු වන ධනේශ්වර ක්‍රමයේ ම කොටසක් බව හෙලි කර තිබේ.

පෙසප නායකයින් ධනවාදය පිරිසිදු කර, ප්‍රතිසංස්කරන ලබාගත හැකි ක්‍රමයක් ලෙස පරිවර්තනය කරගත හැකි යයි දේශනා කරති. කම්කරුවන් හා දුගීන් කල යුත්තේ බලයේ පවත්නා ආන්ඩුවලට බලපෑම් දමා සහන දිනා  ගැනීම ය. නැතහොත්, උසාවි වලින් සහන පැතීම ය. මෙම ප්‍රචාරයේ සැබෑ කාර්යය ධනවාදයට එරෙහි ව සමාජවාදය සඳහා අරගලයට විරුද්ධ වීමයි. “සමාජවාදය” ගැන විටින් විට පෙසප ප්‍රකාශ දෙන්නේ, අනාගතයේ ලබා ගැනීමට තිබෙන දෙයක් ලෙස ය.

මෙම ප්‍රචාරය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දීම පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම වැලැක්වීමේ පෙසප දේශපාලන මැදිහත්වීම සමග බැඳී ඇත. 

කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමේ අරගලය ගෙන යා යුත්තේ අවශේෂ දුගී-පීඩිත ජනයාගේ සහාය රැලි කර ගනිමින්, කම්කරු පන්තිය අතට බලය අත්පත් කර ගැනීමේ දේශපාලන කර්තව්‍ය සඳහා එය සුදානම් කිරීම සඳහා ය: එනම්, දිසානායක ආන්ඩුවට, සෑම ධනපති පක්ෂකට ම සහ ඒවා නියෝජනය කරන ධනපති ක්‍රමයට එරෙහි ව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාමාර්ගයකට සටන් වැදීමයි; එමගින් සියලු විශාල සමාගම් සහ බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීමටත් සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීමටත් පියවර ගැනීමයි. මේ කර්තව්‍යයන් ඉටු කල හැක්කේ අනිවාර්ය වශයෙන් ම ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයක කොටසක් ලෙසය. සමාජවාදී සමානතා පක්ෂය යෙදී සිටින්නේ මේ  අරගලයේ ය.

Loading