යාපනය විශ්වවිද්‍යාලයේ පැවති නිදහස් දින විරෝධතාවයට ප්‍රතිචාර වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තිස් දෙනෙක් ආන්ඩුවේ දඩයමකට ලක් ව සිටිති.
පෙබරවාරි 4 වන දින, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ජාතික ධජය ඉවත් කර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල කලු කොඩියක් ඔසවා, එම දිනය සැමරීම සම්බන්ධයෙන් තම විරෝධය පල කලහ.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ (ජේයූඑස්‍යූ)නායකයින් විසින්, නොවිසඳුනු දේශපාලන ගැටලු ගෙනහැර පාමින්, නිදහස් දිනය දෙමල ජනතාවගේ නිදහස ප්‍රකාශයට පත් නොකරන බව පෙන්වීම සඳහා, උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල “කලු දින” විරෝධතා සහ පෙලපාලි කැඳවීමෙන් පසුව මෙම විරෝධතාවය සංවිධානය කරන ලදී.
මෙම කැඳවීමට ප්‍රතිචාර වශයෙන්, කිලිනොච්චියේ රැලියක් පවත්වන ලද අතර, එයට දෙමල ධනපති පක්ෂවල සාමාජිකයෝ, අතුරුදහන් වූවන්ගේ ඥාතීහු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, පූජකවරු සහ සමහර සිවිල් සංවිධාන සහභාගී වූහ.
ජාතික ධජය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වහාම පරීක්ෂන මාලාවක් ආරම්භ කලේ ය. යාපනයේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව (සීඅයිඩී) සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු, ගත යුතු ක්‍රියාමාර්ගය පිලිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත වාර්තාවක් යවන ලදී.
සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහි ව පොලිසිය විසින් ගෙන ඇති මෙම පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හෙලා දකින අතර සිසුන්ට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලා සිටී. මෙය ජේයූඑස්‍යූ සහ එහි සිසුන්ගේ භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ලද ප්‍රහාරයකි.
ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ නියෝගයක් නොතිබුනේ නම්, පොලිසිය එවැනි බලහත්කාරී ක්‍රියාමාර්ග නොගනු ඇත. නිදහස් දිනයේ දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල කලු කොඩි එසවීම පිලිබඳ වාර්තා කොලඹ මාධ්‍ය විසින් සිංහල වාර්ගික ස්වරයකින් පල කරන ලදී.
මුලදී, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (යූජීසී) මඟ පෙන්වීම යටතේ විශ්වවිද්‍යාල පරිපාලනය අභ්‍යන්තර පරීක්ෂනයක් පැවැත්වීය. ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විරෝධතාවයට සෘජු ව ම සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු පමන හඳුනා ගත්තේ ය.
කමිටුවේ විමර්ශන අතරතුර, සිසුන් පැවසුවේ දෙමල කතා කරන සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තවමත් රාජ්‍යය විසින් පිලිගෙන ප්‍රදානය කර නොමැති බැවින්, දෙමල කතා කරන ජනතාව පෙබරවාරි 4 කලු දිනයක් ලෙස සලකන බව පෙන්වීමට මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි.
ඉන්පසු, මාර්තු 10 වන දින, යූජීසී ඉල්ලීමකට අනුව, සීඅයිඩී නිලධාරීන් කන්ඩායමක් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා විශ්ව විද්‍යාලයට ගියේ ය.
නිදහස් දිනයේ දී විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල කලු කොඩියක් එසවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් යාපනය විශ්ව විද්‍යාල උපකුලපතිවරයාගෙන් සහ ලේඛකාධිකාරීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ.
ඉන්පසු, මාර්තු 13 වන දින, කොඩි ගැටලුව සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් නායකයින් මාර්තු 16 වන දින ඔවුන්ගේ කාර්යාලයේ පෙනී සිටීමට කටයුතු කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය අපරාධ රහස් පරීක්ෂක කාර්යාංශය විශ්ව විද්‍යාල ලේඛකාධිකාරීවරයාට ලිපියක් නිකුත් කලේ ය.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සංගම් නායක දයාබරන් ලජිදරන්, කලා පීඨ ශිෂ්‍ය සංගම් නායක ජතුර්සන් සහ ඒ. අබිසෙක් යන අය ඔවුන්ගේ ලියාපදිංචි අංක සමඟ එම ලිපියෙන් නම් කරන ලදහ. මාර්තු 17 වන දින ලිපිය සිසුන්ට භාර දුන් විට, ඔවුන් එදින ම පොලිසිය ඉදිරියේ පෙනී සිටියහ. පොලිසිය ඔවුන්ගෙන් පැය පහක් පමන ප්‍රශ්න කර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.
ශිෂ්‍ය නායකයින් පොලිසියට කැඳවූ දිනයේ දී, සෙසු සිසුන් යුද්ධයේ දී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සහාය ඇති ව විශ්ව විද්‍යාලයේ විරෝධතාවක් සංවිධානය කලහ. විරෝධතාව අතරතුර, ඔවුහු “සිසුන් මර්දනය නොකරනු”, “පරීක්ෂන නවත්වනු”, “උතුරු නැගෙනහිර දෙමල නිජබිමයි”, “අපට අපේ ඉඩම් අවශ්‍යයි”, “අපේ ඥාතීන් කොහේද?” සහ “අපේ අයිතිවාසිකම් අපට අවශ්‍යයි” වැනි සටන් පාඨ පුවරු එසවූහ. ජේයූඑස්‍යූ නායකයින් දෙදෙනා පොලිසියෙන් ආපසු පැමිනෙන තෙක් විරෝධතාව දිගට ම පැවතුනි.
කලා පීඨ ශිෂ්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක කනකසූරිය කවිදරන් මාධ්‍ය වෙත මෙසේ පැවසී ය: “මෙතෙක් මේ ආන්ඩුව දෙමල ජනතාවගේ කිසිදු ගැටලුවකට විසඳුමක් ලබා දී නැත. අපි විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතා පවත්වමින් සිටිමු. සිසුන් පෙරමුන ගෙන සිටින අතර, අතුරුදහන් වූවන්ගේ ඥාතීහු හඬ නගති.”
සිවිල් සංවිධාන සහ සියලු ම දේශපාලන පක්ෂවල සහාය ඇති ව විරෝධතා පැවැත් වූ බව ඔහු පැවසී ය. ඔවුන්ගේ ඉල්ලීම් අතර ඉඩම් සහ දේපල ආපසු ලබා දීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වූවන් සඳහා විසඳුමක් සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටිඒ) අවලංගු කිරීම ඇතුලත් විය. “මෙම ඉල්ලීම් ඉටු කරන බවට ආන්ඩුව පොරොන්දු වූ නමුත් තවමත් ඒවා ඉටු කර නැත. කෙසේ වෙතත්, ආන්ඩුව ශ්‍රී ලංකා කොඩිය පහත් කර කලු කොඩියක් එසවීම අපරාධයක් ලෙස සලකනවා,” යැයි ඔහු තවදුරටත් පැවසී ය.
ශිෂ්‍ය නායකයා මෙසේ ද පැවසී ය: “කතා කිරීමේ නිදහස, ලිවීමේ නිදහස, විරෝධතා දැක්වීමේ අයිතිය සහ ශෝක දිනයක් සැමරීමේ අයිතිය ලබා දී ඇති බව කියනවා. කලු කොඩියක් එසවීමට එරෙහි ව පියවර ගැනීමට ශ්‍රී ලංකා නීතියේ කිසියම් විධිවිධානයක් තියෙනවා ද?”
ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට අපහාස කිරීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් නොමැති වුව ද, ජාතික කොඩිය සම්බන්ධ ක්‍රියාවන්හි දී ද, විරෝධතා අතරතුර අනර්ථයක් හෝ බාධා කිරීමක් හෝ නීති විරෝධී රංචුගැසීමක් සිදු කිරීමේ චෝදනා මත, සාමාන්‍ය මහජන සාමය පිලිබඳ නීති සහ දන්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන වලට අනුව දඬුවම් ලැබිය හැකි ය.
ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට සහ අඛන්ඩ ව වෙනස් කොට සැලකීමට අපි විරුද්ධ වෙමු. සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ඉතිහාසයක් ඇත. අපි යුද්ධයට විරුද්ධ වූ අතර උතුරෙන් ශ්‍රී ලංකා හමුදාව ඉවත් කර ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු කුරිරු නීති අවලංගු කිරීම ඉල්ලා සිටියෙමු.
දෙමල සුලුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැක්කේ, ශ්‍රී ලංකාවේ ධනවාදය පෙරලා දැමීමෙන්, වෙනස් කොට සැලකීමේ ඒකීය රාජ්‍යය අහෝසි කිරීමෙන් සහ දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක ආකාරයෙන් කම්කරු හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමෙන් පමනක් බව අපි තරයේ කියා සිටිමු.
මෙම කාර්යය සාක්ෂාත් කරගත හැක්කේ, සිංහල, දෙමල සහ මුස්ලිම් වාර්ගික රේඛා හරහා කම්කරු පන්තිය එකමුතු වෙමින් සහ දුගීන් පෙලගස්වා ගනිමින් සමාජවාදය සඳහා කරන අරගලය හරහා පමනි.
එම මාධ්‍ය හමුවේ දී ම, ශිෂ්‍ය නායකයෙක් මෙසේ පැවසී ය: “විශේෂයෙන්, දෙමල ජනයාට, ශ්‍රී ලංකාවේ සිංහල ජනයාට මෙන් සමාන අයිතිවාසිකම්, සමාන අවස්ථා හෝ සමාන තත්වයක් ලබා දී නොමැත...” මෙය වැරදි මතයකි. යථාර්ථයේ දී, ඊනියා නිදහසේ සිට, කොලඹ ධනේශ්වර පාලන තන්ත්‍රයන් කම්කරු පන්තිය බෙදීමට, 26 වසරක යුද්ධයේ ලේ වැගිරීම් ඇතුලුව වාර්ගික ගැටුම් අවුලුවාලීමට දෙමල විරෝධී සිංහල ස්වෝත්තමවාදය භාවිතා කර ඇත.
දෙමල සහ මුස්ලිම් ජනතාව මෙන් සිංහල කතා කරන කම්කරුවන් සහ දුප්පතුන් ධනේශ්වර පන්තිය යටතේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳින්නේ නැත. ඔවුන් සියල්ලෝම ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත අඛන්ඩ ප්‍රහාරයකට මුහුන දෙති. කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහි ව මෙම ප්‍රහාර මුදා හැරීම සම්බන්ධයෙන් සිංහල සහ දෙමල ධනේශ්වර ප්‍රභූන් දෙපිරිසේ කිසිදු වෙනසක් නැත.
කම්කරු පන්තිය බෙදීමට වර්ගවාදය භාවිතා කරන දෙමල ප්‍රභූවේ දේශපාලන පක්ෂවලට ජේයූඑස්‍යූ නායකයෝ සහාය දක්වති. ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි, දෙමල ප්‍රභූව තම පන්ති වරප්‍රසාද පමනක් අපේක්ෂාවෙන්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඉන්දියානු ධනේශ්වරය සමඟ පෙලගැසී සිටිය දී කොලඹ ප්‍රභූව සමඟ සහයෝගී වෙම්න් හා කේවල් කරමින් සිටියි.
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සහ දෙමල සිසුන්ට වෙනස්කම් කිරීමේ සැලකිලි තිබේ නම්, ඒවා ආන්ඩුව සහ විශ්ව විද්‍යාල බලධාරීන් විසින් සිසුන් වාර්ගික ව බෙදීමට හිතාමතා ගත් පියවරයන් ලෙස වටහා ගත යුතු අතර එය හෙලා දැකිය යුතු ය.
ධනපති ක්‍රමය තුල සිසුන්ට හෝ පුලුල් ජනතාවගේ වෙනත් ඕනෑ ම කොටසකට විසඳුමක් නොමැත. සසජාතශි යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ එහි සමාජවාදී ව්‍යාපාරයට සම්බන්ධ වී ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතිවාසිකම් සඳහා සටන් කරන ලෙසයි. විශ්ව විද්‍යාලය තුල සසජාතශි ශාඛාවක් ගොඩනැගීම සඳහා, අප සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.
සමාජවාදී සමානතා පක්ෂය
337 (200), දෙහිවල පාර, බොරලැස්ගමුව
ටැබ්/ෆැක්ස් 0113096987, whatsApp 0773562327]
