අප්‍රේල් 9 වන දින, ශ්‍රී ලංකාවේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ තවත් කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කලේ ය. 2023 අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට පටන් ගත් කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කොලඹ ආන්ඩුව ගත් පියවර ජාමූඅ කන්ඩායම විසින් දැඩි ලෙස සමාලෝචනය කිරීමෙන් පසුව මෙම ගිවිසුම නිවේදනය කරන ලදී.
මුදල් අමාත්‍යවරයා ද වන ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් සිදු කෙරුනේ, 2023 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ඇපකර නය නිකුත් කිරීමේ දී නියම කෙරුනු කප්පාදු පියවර වලින් ඉතිරිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වීමයි.
කොලඹ පැවති මාධ්‍ය හමුවක දී, ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත කන්ඩායමේ එවන් පැපජෝර්ජියෝ, 2025 දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ලැබීම, බදු ආදායම් ඉහල යාම සහ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7 දක්වා ලඟා වීම උපුටා දක්වමින් ආන්ඩුවේ “ප්‍රශංසනීය කාර්ය සාධනයට” ප්‍රශංසා කලේ ය. ජාමූඅ කන්ඩායම තම සංචාරයේ දී පස්වන සහ හයවන සමාලෝචන අවසන් කල බවත්, ඒ අනුව රටට ඩොලර් මිලියන 700 ක් ලබා ගත හැකි බවත් ඔහු පැවසී ය.
කෙසේ වෙතත්, ජාමූඅ විධායක මන්ඩලයේ අනුමැතිය ඇති ව ඉතිරි වාරික මුදා හැරීමට නම්, “පිරිවැය-ප්‍රතිසාධන විදුලිය සහ ඉන්ධන මිලකරනය යථා තත්ත්වයට පත් කිරීම සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය සහ ප්‍රමානවත් නය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රගතිය තහවුරු කිරීම සඳහා” මූල්‍ය සහතික ලබා දීම් අඛන්ඩ ව සිදුවිය යුතු බව දූත මන්ඩලයේ ප්‍රධානියා කීවේ ය.
මුල්‍ය අරමුදලේ නියෝග ඔහු මෙසේ ප්‍රකාශයට පත්කලේ, ලංකාව අනෙක් රටවල් මෙන් ම “මැද පෙරදිග අර්බුදය” නිසා කම්පනයන්ට මුහුන දී සිටින බව ද පිලිගන්නා අතර ය. ඊනියා මැද පෙරදිග අර්බුදය නම්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්, ඊශ්‍රායල දඩ බල්ලා ද මුදා හරිමින් ඉරානයට එරෙහි ව ගෙන යන නව විජිතවාදී යුද්ධයයි. ආන්ඩුව, දැනටමත් සාපරාධි යුද්ධය නිසා ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදයේ බර මහජනතාව මතට කඩාපත් කරමින් පවතින තත්වයක, එය නොතකා ජාමුඅ ප්‍රහාර නොකඩවා එල්ල කල යුතු බව මේ නියෝග වල තේරුමයි.
විදුලිය සහ ඉන්ධන මිල, වියදමට සරිලන සේ සකස් කිරීමේ යාන්ත්‍රනය “ප්‍රතිස්ථාපනය” සඳහා ජාමූඅ කරන අවධාරනයෙන් අදහස් වන්නේ, ලංකා විදුලිබල මන්ඩලයේ (ලංවිම) සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නයට හිලව් වන මට්ටමට මෙම අංශ දෙකෙහි ම මිල වැඩි කිරීම් දැඩි ව ක්‍රියාත්මක කල යුතු බවයි. මෙම බර පැටවෙන්නේ, 2022 පෙබරවාරි සිට මේ වසරේ අප්‍රේල් 1 දක්වා, රටේ විදුලි ගාස්තුව සියයට 125 කින් පමන වැඩි කිරීමෙන් බරපතල පීඩනයකට ලක්කර සිටින සාමාන්‍ය මහජනයා මතටයි.
පැපජෝර්ජියෝ ප්‍රසිද්ධියේ නොකියුවත්, ජාමූඅ, රජය සතු ව්‍යවසායන් පෞද්ගලීකරනය කිරීම වේගවත් කිරීමට බල කරයි. ආන්ඩුව රජය සතු ව්‍යවසායන් 400 කට වැඩි ගනනක් කලින් ලැයිස්තුගත කල ද, තවමත් ප්‍රතිව්‍යූහගත කර ඇත්තේ කිහිපයක් පමනි. පසුගිය වසර තුන තුල සිදු කරන ලද එක ම ප්‍රධාන ප්‍රතිව්‍යූහගත කිරීම වූයේ සේවකයින් 20,000 කට වැඩි සංඛ්‍යාවක් සිටි ලංවිම, පසුගිය මාසයේ ඈවර කර සමාගම් 6 කට පැවරීමයි. මම සියලු රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීම හෙවත් පුද්ගලීකරනයට හා ලාභ උපයන ආයතන බවට පත් කිරීම ඒවායේ සේවය කරන 500,000 පමන සේවකයන්ගේ වැටුප්, රැකියා සහ සේවා තත්වයන් කප්පාදුවට කෙලින් ම තුඩු දෙයි.
ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා “ශ්‍රම නම්‍යශීලීභාවය” සහ “නව ආයෝජන මාර්ග” නිර්මානය කල යුතු බව ජාමූඅ නිලධාරියා අවධාරනය කලේ ය. ශ්‍රම නම්‍යශීලීභාවය යන්නෙන් ජාමූඅ අදහස් කරන්නේ ආයෝජකයින්ට තම සේවකයින් “සේවයට ගැනීමට සහ සේවයෙන් පහ කිරීමට” භාවිතා කල හැකි නව නීති ගෙන ඒමයි. පැරනි පනත් සහ රෙගුලාසි දුසිම් ගනනක් ඉවත් කර නව කම්කරු පනතක් සඳහා කෙටුම්පතක් සකස් කර ඇතත්, ආන්ඩුව තවමත් පනත ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත්තේ කම්කරුවන්ගේ බරපතල විරෝධයක් පැන නංවන නිසා ය.
දේපල බද්දක් හඳුන්වා දීම ඇතුලු ව බදු පදනම් පුලුල් කිරීමේ අවශ්‍යතාවය ද පැපජෝර්ජියෝ සිහිපත් කලේ ය. මෙම පියවර යටතේ, නිවාස සහ අනෙකුත් දේපල, බදු ජාලය යටතට ගෙන ඒමට අපේක්ෂා කරන අතර එය පහල මධ්‍යම පන්තිය දක්වා සමාජයේ කොටස්වලට බලපානු ඇත.
මෙම ප්‍රහාර නිවේදනය කිරීමෙන් පසු, “විදුලිය, ඉන්ධන සහ අනෙකුත් එදිනෙදා අවශ්‍යතා සඳහා අධික වියදමක් දැරීම නිසා ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කරතාවන්ට මුහුන දෙන බව අපි දනිමු” යැයි ජාමූඅ නියෝජිතයා පැවසූ, නමුත් “අනාගත කම්පන සහ අවදානම්” වලට මුහුන දීම සඳහා මේ ප්‍රතිසංස්කරන අවශ්‍ය බව ජනතාව “තේරුම් ගත යුතු” යැයි අවධාරනය කලේ ය.
මෙම බොරු අකම්පාලවීම් වලට මුවා වී ජාත්‍යන්තර මූල්‍ය ප්‍රග්ධනයේ ඒජන්ත ආයතනය ක්‍රියාත්මක කරමින් සිටින්නේ, පැහැර හරින ලද ලංකාවේ විදේශ නය ආපසු ගෙවීම සහතික කිරීම සහ ආයෝජකයින්ගේ ලාභ වැඩි කිරීමේ වැඩපිලිවෙලකි. 2023 දී ජාමූඅ ඇපකර පැකේජය නිවේදනය කරමින්, හිටපු මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පැවසුවේ මෙම වැඩසටහන ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල “කුරිරු අත්හදා බැලීමක්” බවයි. ජනාධිපති වික්‍රමසිංහ ගේ ආන්ඩුවට පසු දිසානායක ආන්ඩුව මේ කුරිරු ප්‍රහාර වඩාත් උත්සන්න කිරීමට පියවර ගනිමින් සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම නිවේදනය කිරීමට දින දෙකකට පෙර, අප්‍රේල් 7 දා ජනාධිපති දිසානායක පාර්ලිමේන්තුවේ දී, “උත්සව සමය සඳහා” රුපියල් බිලියන 100 ක ඇස් බැන්දුම් “සහන පැකේජයක්” ඉදිරිපත් කලේ ය.
මැයි මාසයේ සිට ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 100 දක්වා ඉන්ධන සහනාධාර ලබා දීමට ආන්ඩුව තීරනය කර ඇති බව ඔහු නිවේදනය කලේ ය. ඒ ගමන් ම, ඔහු පැවසුවේ ඉන්ධන මිල ගනන් හා විදුලි ගාස්තු “පිරිවැය ප්‍රතිසාධන” යාන්ත්‍රනයට අනුව සකස් කරන බවයි. සම්පූර්නයෙන් ම වෙලඳපොල මත පදනම් වූ ඉන්ධන මිලකරනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 600 ට වඩා ඉහල නැංවෙනු ඇති බව ජනාධිපති ඉඟි කලේය. මේ තතු තුල රුපියල් 100 ක ඊනියා සහනාධාරය පිපාසාවට දිය බින්දුවක් කටට දැමීම වැනි ය.
ඔහු, දුප්පතුන් සඳහා වන “අස්වැසුම” සුභසාධන දීමනාව අප්‍රේල් උත්සව මාසය සඳහා පමනක් රුපියල් 2500 සිට 7500 දක්වා වැඩි කිරීමට යෝජනා කලේ ය. පොහොර සහනාධාර රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කිරීමට නියමිත ය. එය වත්මන් කන්නය සඳහා පමනි.
කප්පාදුව දිගට ම කර ගෙන යන අතර ම ආන්ඩුව ප්‍රකාශයට පත්කල මේ ඊනියා “සහන” සමාජ ආතතීන් පාලනය කිරීමට දැරෙන මංමුලා සහගත උත්සාහයකි. කම්කරු පන්තිය තුල වැඩෙමින් පවතින විරෝධය යටපත් කිරීමට වෘත්තීය සමිති නිලධරය තම භූමිකාව වේගවත් කර ඇත. පාලක ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තම වෘත්තීය සමිති නිලධාරීන්ට සේවා ස්ථානවල කිසිදු විරෝධතාවක් හෝ අරගලයක් නොකැඳවන ලෙස හා පැන නගින අරගලවලට සහාය නොදක්වන ලෙස විධාන දී ඇත.
මෙම ද්‍රෝහීකම ඔවුන්ට පමනක් සීමා නොවේ. දුම්රිය, තැපැල්, ලංවිම සහ සෞඛ්‍ය අංශවල කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කිරීමට විවිධ විරෝධතා සංවිධානය කල අනෙකුත් වෘත්තීය සමිති දැන් ආන්ඩුවේ සමිති සමග පෑහෙමින් කම්කරු අරගල මුලුමනින් ම වාගේ නතර කර ඇත.
නිදසුනක් වශයෙන්, ලංවිම වෘත්තීය සමිති නායකයන් ආයතනය ඈවර කිරීමට විරුද්ධත්වය පල කල සේවකයින්ගේ විරෝධතා නැවැත්වීය. වෘත්තීය සමිති නායකයෝ ජනාධිපතිවරයාගෙන් හිතකර විසඳුමක් ලබා ගත හැකි බව පවසමින්, මාර්තු 12 වන දින ඔහු විසින් කැඳවන ලද සාකච්ඡාවකට බඩගෑහ.
ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයෙකු වන ප්‍රියන්ත ප්‍රභාත් මාධ්‍ය වෙත පැවසුවේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී, තමන් සියලු දෙනා ම “මැදපෙරදිග ගැටුමෙන් පැන නගින අභියෝග සහ ඒවාට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය පිලිබඳ ව අවබෝධකරගෙන් සිටින බව” ඔහුට දැනුම් දුන් බවයි. ආන්ඩුවට “බාධා කෙරෙන” ක්‍රියාමාර්ග නොගන්නා බවට ඔවුහු ජනාධිපතිට සහතික වූහ.
මෙයින් අදහස් කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ආන්ඩුවේ ස්ථාවරයට නායකයින් සහයෝගය පල කල බවයි; තවද, යුද්ධයෙන් තීව්‍ර වන බර පැටවීමට එරෙහිව ආන්ඩුවට විරුද්ධ ව යන කම්කරුවන්ගේ ක්‍රියාවන් නතර කිරීමට සහතික වූ බවයි.
පාර්ලිමේන්තු විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඊනියා සහන පැකේජය විවේචනය කරමින් තවත් සහන දෙන ලෙස ඉල්ලා සිටියේ ය. මෙය නරුම මවාපෑමකි. 2022 ආර්ථික බිඳවැටීම සිදු වෙද්දී, එවක ආන්ඩුවට, කුරිරු කප්පාදු ක්‍රියාවට දමන ජාමූඅ වෙත යාමට “මුලින් ම” බල කරමින් කියා සිටියේ සජබ බව ප්‍රේමදස උජාරුවෙන් කියා සිටියි.
රටේ ආර්ථික කැලඹීමට ඇති එක ම විසඳුම ලෙස ප්‍රධාන ජන මාධ්‍ය ද ජාමූඅ වැඩසටහන වර්නනා කරයි. ඩේලි මිරර් තීරු රචකයෙක් අප්‍රේල් 11 වන දින පැවසුවේ, “ජාමූඅ වැඩසටහන නොමැති වුයේ නම් ආර්ථික ප්‍රතිසංස්කරනය සිදු කල නොහැකි වනු ඇත” යනුවෙනි.
ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ඉතිරි කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට ද නිර්දය ලෙස හැරෙනු ඇත. ජාමූඅ-ආන්ඩුව අත්සන් කල නව කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමෙන් අදහස් කරන්නේ එයයි. වික්‍රමසිංහ පාලනය සහ අනෙකුත් සියලු පැරනි පක්ෂ ඒවායේ ප්‍රහාර නිසා මහජන කෝපයට සහ පිලිකුලට ලක් ව තිබූ තත්වයක් තුල, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට බෙන ඒමට ලංකාවේ පාලක පන්තියේ සෑහෙන කොටසක් රැලි වූයේ එහි විසකුරු අතීතය ද සැලකිල්ලට ගනිමිනි. දැනටමත් කටුක ජීවන කොන්දේසි තුල ජීවත් වන මහජනයා මත පැටවීමට නියමිත මෙම සමාජ ප්‍රති-විප්ලවවාදී ප්‍රහාර පරාජය කිරීමට කම්කරුවන් සූදානම් විය යුතු ය.
සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව සංවිධානය වීමෙන් සහ කාර්මික පොලිසිය බවට පත්ව ඇති වෘත්තීය සමිති උපකරනයේ යකඩ සැට්ටය බිඳ දැමීමෙන් ඔවුන්ට එය කල හැකි ය.
කම්කරු පන්තිය සඳහා ඇති එකම ශක්‍ය සංවිධානය වන්නේ, සියලු ආයතන හරහා එකට සම්බන්ධ වන ලෙස, සේවා ස්ථානවල, වතුකරයේ සහ නිවහන් ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමයි. වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනේශ්වර පක්ෂ නියෝජිතයින්ට මෙම කමිටුවලට වැදීමට ඉඩ නොදිය යුතු ය.
විදේශ නය ගෙවීම් අත්හිටුවීම සහ ප්‍රතික්ෂේප කිරීම, සමාජ සේවා ප්‍රතිසංස්කරනයට සහ පුලුල් කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම ආදී පියවර සඳහා සටන් කිරීමේ කාර්ය භාරය මෙම කමිටු විසින් බාර ගත යුතු වේ; මෙම ඉල්ලීම්, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු සහ සංස්ථා අත්පත් කර ගැනීමේ පුලුල් වැඩපිලිවෙලට සම්බන්ධ කිරීම අවශ්‍ය වේ. මන්ද යත්, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සපුරන නිෂ්පාදන ක්‍රමයක් ඇතිකල හැක්කේ, සුලුතරයේ ලාභ ඉපයීමට කැප වූ ධනපති නිෂ්පාදන ක්‍රමය අහෝසි කිරීමෙන් පමනක් ම වන හෙයිනි.
මෙම ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ අරගලයට සමාජවාදී සමානතා පක්ෂය කැප වී සිටියි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට කැප වී ගන්නා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. කම්කරුවන් සහ ගම්බද ජනයා තමන්ගේ ස්වාධීන ක්‍රියාකාරි කමිටු පිහිටුවා එමගින් කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීම, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමේ ලා අත්‍යවශ්‍ය මධ්‍යස්ථානයක් වනු ඇත.
