ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), ඉරානයට එරෙහිව උත්සන්න කරමින් පවතින අධිරාජ්‍යවාදී යුද්ධය සහ කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන් පිලිබඳව සාකච්ඡා කිරීමට පවත්වනු ලබන ප්‍රසිද්ධ රැස්වීම් මාලාවේ ඉදිරි රැස්වීම් දෙක මාතර දී සහ යාපනයේ දී පවත්වනු ඇත.
මෙම රැස්වීම් මාලාව කම්කරු පන්තිය විප්ලවවාදී නායකත්වය සපයන ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජක) ගෙන යන උද්ඝෝෂනයක කොටසකි.
“එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙනයන සාපරාධී යුද්ධය නතර කරනු!” යන තේමාව යටතේ පෙර රැස්වීම් කොලඹ, පේරාදෙනිය සහ හැටන් යන නගරවල උද්‍යෝගිමත් සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විනි. පේරාදෙනිය සහ හැටන් රැස්වීම්වලට සමගාමීව පිකට් විරෝධතා ද සංවිධානය කරන ලදී.
මාතර රැස්වීම මැයි 24 වන ඉරිදා පස්වරු 3:00 ට මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරයේදී ද, යාපනය රැස්වීම ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 4:00 ට යාපනය කච්චේරිය අසල වයිඑම්සීඒ (YMCA) ශ්‍රවනාගාරයේදී ද පැවැත්වේ.
2026 පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසුව, ලෝකය අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයකට ඇද වැටෙමින් තිබේ. ඊනියා “පූර්ව භංග” මෙහෙයුමක් ලෙස ඉදිරිපත් කරන ලද මෙම යුද්ධය යථාර්ථයේ දී මැද පෙරදිග සහ ඉන් ඔබ්බට මූලෝපායික ආධිපත්‍යය තහවුරු කර ගැනීම අරමුනු කරගත් කොල්ලකාරී අධිරාජ්‍යවාදී ප්‍රහාරයකි. ආරම්භක ප්‍රහාරවලට ජ්‍යෙෂ්ඨ ඉරාන නායකයින් ඝාතනය කිරීම සහ පාසල් සහ රෝහල් ඇතුලු සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම ඇතුලත් විය. “සම්පූර්න ශිෂ්ටාචාරයක්ම එක රැයකින් විනාශ කරන” බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කල තර්ජනය යුද්ධයේ ජන සංහාරක ස්වභාවය හෙලි කලේය.
මෙම යුද්ධය ජනිත කරමින් පවත්නා ව්‍යසනය අතිශය භයානකය. ඉරානය තුල ඉලක්ක 13,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රහාරවලට ලක්ව ඇති බව වාර්තා වන අතර, ලමුන් සිය ගනනක් ඇතුලුව අවම වශයෙන් 3,375 දෙනෙකු මිය ගොස් ඇත. යුද්ධය ගෝලීය සැපයුම් දාමයන් අඩපන කරමින්, ඉන්ධන මිල ඉහල නංවමින් සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට ද තර්ජනය කරමින්, දැනටමත් කප්පාදු වලින් සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති රටවල සමාජ දුෂ්කරතා තවත් උග්‍ර කරමින් සිටී.
මෙම යුද්ධය එක්සත් ජනපදය නායකත්වය යටතේ දශක ගනනාවක් තිස්සේ පැවති මිලිටරිවාදයේ කූටප්‍රාප්තිය බවත් එය ඉරානය පමනක් නොව රුසියාව සහ චීනය ද ඉලක්ක කරගත් අන්තර් සම්බන්ධිත ගෝලීය ගැටුමක කොටසක් බවත් සසප පැහැදිලි කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මිලිටරි ආක්‍රමන මගින් එහි ඓතිහාසික ආර්ථික පරිහානිය ජය ගැනීමට උත්සාහ කරන අතර, මානව වර්ගයා න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක අනතුර දෙසට ඇදගෙන යනු ලැබේ.
ශ්‍රී ලංකාවේ කම්කරුවෝ සහ තරුනයෝ දැනටමත් මෙම යුද්ධයේ බර උසුලමින් සිටිති. ඉන්ධන මිල ඉහල යාම සහ උද්ධමනය හරහා ජනතාවට එහි ප්‍රතිවිපාක දැනෙමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව “මධ්‍යස්ථභාවය” පවත්වා ගන්නා බව කියා සිටියද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග ක්‍රියාත්මක කරන අතරම, එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සබඳතා ගැඹුරු කරමින් සිටී.
යුද්ධයට සහ කප්පාදුවට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීමට උත්සාහ කරන වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ වාම සංවිධාන විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිලිබඳව සසප සහ සසජාතශි කම්කරුවන්ට සහ තරුනයින්ට අනතුරු අඟවයි.
ඒ සමගම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවට එරෙහි අරගලයෙන් වෙන් කල නොහැකි බව සසප අවධාරනය කරයි. ප්‍රධාන බලවතුන් යුද්ධය කරා තල්ලු කරන එම ධනේශ්වර අර්බුදයම, කම්කරුවන්ගේ ජීවන තත්වයන් මත කුරිරු ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩු වලට ද බල කරයි.
යුද්ධය නැවැත්වීමට හැකියාව ඇති එකම සමාජ බලවේගය වන්නේ, සියලු ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සංවිධානය වූ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා සසප සහ සසජාතශි කැඳවුම් කරයි.
මාතර, යාපනය සහ අවට ප්‍රදේශවල කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, බුද්ධිමතුන්ට සහ තරුනයන්ට මෙම රැස්වීම්වලට සහභාගී වී සමාජවාදී අනාගතයක් සඳහා වන අරගලයට එක්වන ලෙස අපි ආරාධනා කරමු.
මාතර රැස්වීම
මැයි 24 ඉරිදා | ප.ව. 3:00
මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරය
යාපනය රැස්වීම
ජූනි 9 අඟහරුවාදා | ප.ව. 4:00
යාපනය කච්චේරිය අසල YMCA ශ්‍රවනාගාරය
