ඉදිරිදර්ශන

2026 මැයි දිනය

ධනේශ්වර් අර්බුදය, යුද්ධය සහ ජාත්‍යන්තර පන්ති අරගලය

මෙය, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කෙරුනු 2026 ජාත්‍යන්තර මැයි රැලිය ආරම්භ කරමින් ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් කල කතාවයි.

***

සහෝදරවරුනි, කම්කරුවනි, තරුනයනි, මිතුරනි, සෑම මහාද්වීපයක් ම නියෝජනය කරමින් අදදින මෙහි රැස්ව සිටින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවනි: අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයට සහ ධනවාදී ප්‍රතිගාමීත්වයට එරෙහි සටන්වල පෙරමුනේ සිටින සියලු දෙනා සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් අපි මෙම මැයි දින රැලිය ආරම්භ කරමු.

ඉරානයට එරෙහිව අනෙකුත් සියලුම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇතිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් දියත් කරනු ලබන අධිරාජ්‍යවාදී ආක්‍රමනශීලී යුද්ධය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නාමයෙන් අපි හෙලා දකිමු. මෙම යුද්ධය සම්බන්ධයෙන් කම්කරු පන්තියේ ස්ථාවරය පිලිබඳව කිසිදු දෙගිඩියාවකට ඉඩක් නැත. 2026 පෙබරවාරි 28 වන දින දියත් කරන ලද ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව තම රට ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට ඇති අයිතිය අපි කොන්දේසි විරහිත ව තහවුරු කරමු. මෙය ජාත්‍යන්තර නීතියේ සෑම මූලධර්මයක්ම උල්ලංඝනය කරන යුද්ධයකි. එය සාමයට එරෙහි අපරාධයක් වන අතර, 1945-46 දී නාසි නායකයින්ට එරෙහි නියුරම්බර්ග් නඩු විභාගයේ දී ඉහල ම ජාත්‍යන්තර අපරාධය ලෙස අර්ථ දක්වා ඇත.

1945 නොවැම්බරයේ, ජර්මනියේ නියුරම්බර්ග් හි දී, යුද අපරාධකරුවන්ට එරෙහිව පැවැත්වූ ජාත්‍යන්තර නඩු විභාගයේ දී විත්ති කූඩුවේ සිටින විත්තිකරුවෝ [Photo: Raymond D’Addario]

අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ, මුලු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ මිය යනු ඇති බවත්, එය නැවත කිසිදා ආපසු ගෙන ආ නොහැකි බවත් ය. මෙම වචන සඳහටම අපකීර්තිමත්ව පවතිනු ඇත. මෙම බිහිසුනු තර්ජනය, එක්සත් ජනපදය සහ එහි ඊශ්‍රායල සියොන්වාදී දඩ බල්ලන් විසින් ගෙන යන මෙම යුද්ධයේ කෲරත්වයේ දේශපාලනික වශයෙන් වඩාත්ම අශෝභන ප්‍රකාශනය විය.

යුද්ධය ආරම්භයේ සිට ඉරානයේ ඉලක්ක 13,000 කට වඩා ප්‍රහාර එල්ල කෙරී තිබේ. අවම වශයෙන් ඉරාන ජාතිකයින් 3375 දෙනෙකෙු මිය ගොස් ඇති අතර, ඉන් 376 දෙනෙක් ලමුන් වෙති. තුවාල ලැබූ සංඛ්‍යාව 26000 ඉක්මවයි.

ඉරාන නගරවලට බෝම්බ හෙලීම, එහි විද්‍යාඥයින් සහ දේශපාලන නායකයින් සහ ඔවුන්ගේ පවුල් ඝාතනය කිරීම, දරුවන් ඝාතනය කිරීම, ඉරානයේ යටිතල පහසුකම් විනාශ කිරීම සහ සමස්ත කලාපයක්ම යුද්ධයකට ඇද දැමීම යනු සමූහ ඝාතනයක් හරහා තම ආධිපත්‍යය තහවුරුකර ගැනීමට උත්සාහ කරන අධිරාජ්‍යවාදී බලවතුන් හිතාමතා කරන ක්‍රියාවන් ය.

ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහ ලෙබනනයේ ජනතාවට එරෙහිව අඛන්ඩව සිදුවන ජන සංහාරක ප්‍රහාරය අපි ඒ ආකාරයෙන්ම හෙලා දකිමු. එක්සත් ජනපදයේ සහ යුරෝපීය බලවතුන්ගේ පූර්න පිටුබලය සහ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරනු ලබන අපරාධ - දස දහස් ගනනක් පලස්තීන දරුවන් ඝාතනය කිරීම, රෝහල්, පාසල්, ජල පද්ධති සහ නිවාස හිතාමතාම විනාශ කිරීම සහ යුද්ධයේ අවියක් ලෙස කුසගින්න භාවිතා කිරීම - ජනවාර්ගික-ජාතිකවාදී සියොන්වාදී ව්‍යාපෘතියේ ඓතිහාසික වශයෙන් ප්‍රතිගාමී ස්වභාවය අවිවාදිත ලෙස තහවුරු කරයි.

2025 ජනවාරි 24 වැනි දා සිකුරාදා ගාසා තීරයේ රෆා පෙදෙසට ඊශ්‍රායලය ගුවනින් සහ ගොඩබිමින් එල්ල කල ප්‍රහාරවලින් සිදු වූ විනාශය පෙන්නුම් කරන, ඩ්‍රෝනයකින් ලබා ගත් ගුවන් ඡායාරූපයක්  [AP Photo/Jehad Alshrafi]

ලතින් ඇමරිකාවේ වෙරලට ඔබ්බෙන් වූ මුහුදේදී ඝාතනය කරන ලද නම් නොකල වින්දිතයින්ගේ මතකයට අපි අද ගෞරව කරමු. තම කුඩා බෝට්ටුවල ගමන් කල ධීවරයින් සහ කම්කරුවන් ඇතුලු 180 කට අධික පිරිසක් එක්සත් ජනපදය විසින් පුපුරුවා හරින ලදී. කැරීබියානු සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපවල දී මෙම මිසයිල ප්‍රහාර එල්ල කෙරුනි. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පූර්වභංග ප්‍රහාර ලෙස පෙන්ටගනය නරුම ලෙස මෙම ප්‍රහාර හඳුන්වයි. අධිරාජ්‍යවාදී මාධ්‍ය තුල වින්දිතයින්ගේ නම් නොමැත. ඔවුන්ගේ පවුල්වලින් කිසිදු සමාව ගැනීමක්, වන්දි මුදලක් හෝ ඔවුන් ජීවත් වූ බවට කිසිදු පිලිගැනීමක් ලැබී නැත. නමුත් ඔවුන්, ලතින් ඇමරිකාවේ ජනතාවට එරෙහි ත්‍රස්ත කිරීමේ ව්‍යාපාරයක් තුල පෘථිවියේ බලවත්ම හමුදාව විසින් ඝාතනය කරන ලද, තම පවුල් පෝෂනය කිරීමට වෙහෙසෙමින් සිටි කම්කරුවෝ වූහ.

කියුබාව අවහිර කිරීම, ඉන්ධන කප්පාදුව සහ සම්බාධක මගින් සමස්ත ජනගහනයක ම හිතාමතා ගෙල සිර කිරීම අපි හෙලා දකිමු. සියවසෙන් තුනෙන් දෙකකට පසුව පවා, ඇමරිකා එක්සත් ජනපදය පාලක පන්තිය කිසි විටෙකත් කියුබානු විප්ලවය හා සමථයකට පැමින නැත. 1959 සිට 1960 දක්වා කාලය තුල, කැස්ත්‍රෝ පාලනය එක්සත් ජනපදයේ ආයතනික වත්කම් ඩොලර් බිලියන 1.8 ක් පමන අත්පත් කර ගත්තේය. එම පහරින්ම, විප්ලවය බැටිස්ටාගේ ආඥාදායකත්වය යටතේ සමෘද්ධිමත් වූ මැර අධිරාජ්‍යය බිඳ දැමීය.

කැසිනෝ ශාලා වසා දමන ලදී; හෝටල් ජනසතු කරන ලදී; මැරයෝ සිරගත කරන ලදහ, නැති නම් නෙරපා හරින ලදහ; ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 100 ක මාෆියා ආයෝජන එක රැයකින් අතුගා දමන ලදී. නරකම දෙය නම්, ධනවත් ඇමරිකානු සංචාරකයින්ට, හමුදා නිලධාරීන්ට, කොන්ග්‍රස් සභිකයින්ට ආයතනික විධායකයින්ට සහ ඇමරිකානුවන්ට සේවය කල ගනිකා නිවාස වසා දැමීමට විප්ලවවාදී පාලනයට එඩිතරකමක් තිබීමයි. අධිරාජ්‍යවාදී වරප්‍රසාද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, මෙම අපහාසයට කියුබානු ජනතාවට ඇමරිකානු අධිරාජ්‍යවාදය කිසි විටෙකත් සමාව දී නැත.

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාම, ජනවාරි 3 වන දින එල්ල කල බෝම්බ ප්‍රහාරයකින් කැරකස් අල්ලා ගෙන සීඅයිඒ ට සහ චෙව්‍රොන් හා ෂෙල් සංගත කොල්ලකරුවන්ට භාර දීම, අධිරාජ්‍යවාදී කොල්ලකෑමේ නිරුවත් ක්‍රියාවක් ලෙස අපි හෙලා දකිමු. මෙම අපරාධ මගින් ලෝකයේ දැන් පවතින අවනීතිය මූර්තිමත් කරයි. අධිරාජ්‍යවාදී බලය ඉතා භක්තිමත් ලෙස කතා කරන ඊනියා නීති මත පදනම් වූ ජාත්‍යන්තර පිලිවෙල දැවැන්ත වංචාවක් බව හෙලිදරව් වී ඇත. ක්‍රියාත්මක වන එකම නීතිය බලහත්කාර නීතියයි, එය තම අවශ්‍යතාවන්ට බාධාවන කිසිදු සීමාවක්, ව්‍යවස්ථාවක්, අධිකරනයක් හෝ මිනිස් ජීවිතයක් නොතකන, ධනේශ්වර කතිපයාධිකාරීත්වයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

සූරාකෑමට එරෙහි වීම, යුද්ධයට විරුද්ධ වීම හෝ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, අසාදු ලේඛනගත කර, සේවයෙන් පහ කර, පිටුවහල් කර, බොරු චෝදනා එල්ල කර සිරගත කර ඇති සියලුම කම්කරුවන්ට, පන්ති යුද පීඩාවන්ට ගොදුරු වූවන්ට මෙම මැයි දිනයේදී අපි අපගේ සහයෝගීතාවය පල කරමු.

නේටෝ සංවිධානය විසින් දියත් කරන ලද යුද්ධයට නිර්භීතව විරුද්ධ වීම සහ රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුකම ආරක්ෂා කිරීම සඳහා සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් වසර දෙකකට වැඩි කාලයක් සිරගත කර ඇති, බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවලුන් සංවිධානයේ තරුන යුක්‍රේන ට්‍රොට්ස්කිවාදී නායක අපගේ සහෝදරයා වන බොග්ඩාන් සයිරෝටියුක්ට අපගේ සුබ පැතුම් එක් කරමු. බොග්ඩාන් රුසියානු ආක්‍රමනයේ ආධාරකරුවෙකු බවට යුක්‍රේන රාජ්‍යයේ අභිචෝදකයන්ගේ ප්‍රකාශයේ ව්‍යාජභාවය ඔහුගේ නීතිමය ආරක්ෂාව මගින් පුලුල් ලෙස හෙලිදරව් කර ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කර ඇති බොග්ඩාන්ගේ ප්‍රකාශ, ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔහු සෙලෙන්ස්කිගේ අධිරාජ්‍ය ගැති රූකඩ ආන්ඩුවට මෙන්ම ධනවාදී පුටින් තන්ත්‍රයටද සම්මුති විරහිත විරුද්ධවාදියෙකි. බොග්ඩන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු.

2023 අප්‍රේල් මාසයේ, ජෝන් රීඩ්ගේ ලොව හෙල්ලූ දස දවස කෘතියේ පැරනි සෝවියට් සංස්කරනයක ලියොන් ට්‍රොට්ස්කිගේ රූපයක් පෙන්වන බොග්ඩාන් සයිරෝටියුක්

තුර්කියේ සිරගත කර සිටින කම්කරු පන්තියේ නායකයින්ට අපගේ සහයෝගීතාවය පල කරමු. සංගත, රාජ්‍ය සහ වෘත්තීය සමිති නිලධරයේ කුමන්ත්‍රනය පිලිබඳව කම්කරුවන්ට සත්‍යය පැවසීමේ ඊනියා අපරාධය සම්බන්ධයෙන් මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන දැන් සිරගත කිරීමට සහ දේශපාලන තහනමකට මුහුන දී සිටින එක්සත් රෙදිපිලි රෙදි විවීම සහ සම් කම්කරු සංගමයේ සභාපති මෙහ්මෙට් ටර්ක්මන් වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ස්වාධීන පතල් කම්කරු සංගමයේ නිර්භීත නායක සහ උමුත් සෙන්ගේ සංවිධායක සම්බන්ධීකාරක බසාරන් අක්සුට අපගේ සුබ පැතුම් එක් කරමු. ඔහු එස්කිසෙහිර් සිට අන්කාරා දක්වා ඩොරුක් පතල් කම්කරුවන්ගේ ඓතිහාසික පාගමනට නායකත්වය දුන් අතර මෑත කාලය තුල නැවත නැවතත් අත්අඩංගුවට ගනු ලැබීය. පතල් කම්කරුවන්ගේ ඉල්ලීම් දිනා ඇති බවට වූ පුවත අපි ඉතා සතුටින් පිලිගනිමු.

නමුත් අරගල දිගටම පවතී. පතල් සමාගම්වල කොල්ලකෑමට එරෙහිව වනාන්තර සහ ගම්වැසියන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට සටන් වදින තරුන කාන්තා නායිකාව වන එස්‍රා ඉෂික් සහ එර්ඩෝගන් පාලනය විසින් රඳවාගෙන සිටින සියලුම පන්ති යුද සිරකරුවන් නිදහස් කරන ලෙස අපි කියා සිටිමු. මෙම අත්අඩංගුවට ගැනීම්, නැවත මතුවෙමින් පවතින ස්වාධීන කම්කරු ව්‍යාපාරයකට එරෙහිව තුර්කි පාලක පන්තිය විසින් හිතාමතා දියත් කරන ලද ප්‍රහාරයක කොටසකි. ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට තුර්කිය වඩ වඩාත් සමීප වෙමින් පවතිද්දී, ප්‍රහාරය තීව්‍ර වී ඇත.

එක්සත් ජනපදය තුල, සංක්‍රමනිකයින්ට හිංසා පීඩා කිරීම නතර වී නැත. අප කතා කරන මේ මොහොතේ ට්‍රම්ප් පරිපාලනය විසින් සාමූහික දඬුවම් ව්‍යාපාරයකට ලක් කරනු ලබන හයාම් එල්-ගමාල් සහ ඇගේ දරුවන් පස් දෙනා සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරමු. බොහෝ අධිකරන නියෝග විවෘතව නොසලකා හරිමින්, ට්‍රම්ප් පරිපාලනය ඔවුන් පිටුවහල් කිරීමේ උත්සාහයන් දිගටම කරගෙන යයි. කිසිදු අපරාධයක් සිදු කර නොමැති මෙම පවුලට හිංසා පීඩා කිරීම, එක්සත් ජනපදයේ සියලුම වැඩ කරන ජනතාවට, පුරවැසියන්ට සහ පුරවැසියන් නොවන අයට එරෙහිව දැන් සූදානම් වෙමින් පවතින පොලිස් රාජ්‍ය ක්‍රමවේදයන්ට, කිසිදු ව්‍යවස්ථාමය ආරක්ෂාවක්, අධිකරන නියෝගයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බාධාවක් වීමට ඉඩ නොදෙන බවට සමස්ත කම්කරු පන්තියටම අනතුරු ඇඟවීමකි.

එබැවින්, අයිසීඊ දැලට හසු වී, දැන් එක්සත් ජනපදය පුරා ඉදිකර ඇති ගාල් කඳවුරු ජාලය තුල රඳවා සිටින සෑම සංක්‍රමනික කම්කරුවෙකුම, සෑම ශිෂ්‍යයෙකුම, සෑම පිරිමියෙකුම, කාන්තාවකම සහ දරුවෙකුම වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි කියා සිටිමු. අපි මෙසේ කියා සිටිමු: නෝර්ත් ලේක් වසා දමනු, ඩිලී ෆෝක්ස්ටෝන්, ඔටේ, මේසා, ක්‍රෝම්, ඇලිගේටර් ඇල්කැට්‍රාස් වසා දමනු, සහ චෝදනාවකින් තොරව, නඩු විභාගයකින් තොරව සහ බලාපොරොත්තුවකින් තොරව මිනිසුන් රඳවා තබා ඇති සෑම රැඳවුම් මධ්‍යස්ථානයක්ම වසා දමනු. රඳවාගෙන සිටින අය නිදහස් කර ගැනීමේ සටන සමස්ත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සටනයි.

අවසාන වශයෙන්, මිනියාපොලිස් හි අයිසීඊ සහ දේශසීමා පාලන නියෝජිතයන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලද රෙනී නිකොල් ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රෙට්ටිගේ පවුල්වලට අද අපි අපගේ ශෝකය අලුත් කරමු. ඔවුන්ගේ මරන අමතක නොවනු ඇත. ඔවුන් නිකරුනේ මිය නොයනු ඇත.

රෙනේ නිකොල් ගුඩ් සහ ඇලෙක්ස් ප්‍රිටි

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි විරෝධය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දෘඩතරව ආරක්ෂා කිරීම සහ සියලු ආකාරයේ පන්ති පීඩනයට එරෙහි සටන අපගේ මැයි දින සැමරුමට ජීවය සපයයි. අද දින රැලිය අප විවෘත කරන්නේ මේ ආකාරයෙන්.

කෙසේ වෙතත්, මැයි දින සැමරුම ජාත්‍යන්තර සහයෝගීතාවයේ ප්‍රකාශයන්ට පමනක් සීමා නොවිය යුතුය. කම්කරු පන්තියේ මූලෝපාය සකස් කරනු ලබන්නේ වර්තමාන ලෝක තත්ත්වය පිලිබඳ වෛෂයික විශ්ලේෂනයක පදනම මත බැවින්, එවැනි විශ්ලේෂනයක් සඳහා ද මෙය අවස්ථාවක් විය යුතු ය. මෙම මැයි දිනය ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බුදයේ තීරනාත්මක අවධියක් මධ්‍යයේ පැවැත්වෙන බැවින්, මෙම කර්තව්‍යය අද දින විශාලතම හදිසිභාවයට පත්ව ඇත.

ඉරානයට එරෙහි යුද්ධය සහ වසර 35ක කූඨ ප්‍රාප්තිය

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ආරම්භ වූ සුවිශේෂී 35 වසරක ඉතිහාසයේ කූටප්‍රාප්තිය ඉරානයට එරෙහි යුද්ධය සනිටුහන් කරයි.

ඉරානයට එරෙහි යුද්ධය, හුදකලා සිදුවීමක් ලෙස හෝ, නිශ්චිත ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිපත්තියක් ලෙස හෝ, හුදෙක් ඊශ්‍රායල ලොබියේ නිෂ්පාදනයක් ලෙස හෝ තේරුම් ගත නොහැක. ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල තන්ත්‍රය සහ එක්සත් ජනපදයේ එහි ලොබිකරුවන් දශක ගනනාවක් තිස්සේ ඉරානයට එරෙහිව යුද්ධයක් සඳහා උද්ඝෝෂන කරමින් සිටිති. නමුත් දැන්, යුදෙව් විරෝධී හා ජාතිකවාදී “ඇමරිකාව පලමුව” දක්ෂිනාංශිකය සහ මධ්‍යම පන්තික ව්‍යාජ වාම කොටස් යන දෙපිරිස තුල සංසරනය වන ආඛ්‍යානය - ඇමරිකානු ඊශ්‍රායල මහජන කටයුතු කමිටුව (ඒඅයිපීඒසී), නෙතන්‍යාහු සහ ඊශ්‍රායල රාජ්‍යය විසින්, ඇමරිකාව අකැමැති විදේශ ප්‍රතිපත්තියක් මත පටවා ඇති යුද්ධයකි - සම්පූර්නයෙන්ම අසත්‍ය වන අතර එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට ක්ෂමාලාපයක් ලෙස සේවය කරයි. එයින් ගම්‍ය වන්නේ ඊශ්‍රායලය නොතිබුනේ නම්, එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය කරුනාවෙන් පිරී ඉතිරී යනු ඇති බවයි.

මෙම විකාර ආඛ්‍යානය, ලෝකයේ ප්‍රධාන ප්‍රති-විප්ලවවාදී බලවේගය වන ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයෙන් යුද විරෝධී ව්‍යාපාරය ඉවතට හරවා, ඒ සමඟ සම්මුතියකට එලඹීමට යොමු කරයි. ඉන් ඇඟවෙනුයේ සියොන්වාදීන්ගේ බලපෑම ඉවත් කිරීමට වඩා වැඩි දෙයක් අවශ්‍ය නොවන බවයි.

මෙම දේශපාලන සුරංගනා කතාව ඓතිහාසික වාර්තාවේ අවම පරීක්ෂාවකදී පවා බිඳ වැටේ. පලමුව, එක්සත් ජනපදය. මිනීමැරුම් ප්‍රචන්ඩත්වය භාවිතා කරන්නේ කෙසේද සහ කවදාද යන්න පිලිබඳව පාලක පන්තියට කිසිවෙකුගෙන් උපදෙස් අවශ්‍ය නොවේ, පෙලඹවීම පවා අවශ්‍ය නොවේ. එය 20 වන සියවසේ මුල් දශකයේ පිලිපීන ජන සංහාරය, 1910 ගනන්වල මෙක්සිකානු විප්ලවය මර්දනය කිරීමට ගත් කුරිරු උත්සාහයන්, මධ්‍යම හා දකුනු ඇමරිකාව නැවත නැවතත් ආක්‍රමනය කිරීම, ජපානයට පරමානු බෝම්බ දෙකක් හෙලීම, 1950 සහ 1953 අතර කොරියානුවන් මිලියන තුනක් ඝාතනය කිරීම සහ 1961 සහ 1973 අතර වියට්නාම ජාතිකයන් එවැනි ම සංඛ්‍යාවක් දක්වා දිවෙන ලේ වැකි වාර්තාවක් සහිත, මහා පරිමාන ප්‍රචන්ඩත්වය සංවිධානය කිරීමේ ලෝකයේ අසමසම විශේෂඥයා වේ. අනතුරුව, පසුගිය අවුරුදු 30 තුල මැද පෙරදිග සිදු වූ සියලුම යුද්ධ පවතී.

“යුද්ධයේ භීෂනය” යනුවෙන් නම් කර ඇති මෙම ඡායාරූපය දකුනු වියට්නාම් ගුවන් හමුදා යානයක් දකුනු වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් කන්ඩායමක් මතට නේපාම් බෝම්බයක් හෙලීමෙන් පසු වේදනාවෙන් කෑ ගසමින් දිවි බේරා ගැනීමට දිව යන ෆන් තී කිම් ෆුක් ඇතුලු දරුවන් පිරිසක් පෙන්නුම් කරයි. [Photo: 1972 World Press Photo of the Year, Nick Ut]

ඓතිහාසික වාර්තාවට අනුව, ඊශ්‍රායලයම එක්සත් ජනපදයේ නිර්මානයක් වන අතර, එය වසර 78 ක් තිස්සේ එයට ආයුධ සහ අරමුදල් සපයා ඇත. එය මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරීකෘත මුරපොලක් ලෙස ක්‍රියාත්මක වී ඇත.

එපමනක් නොව, 1953 සීඅයිඒ සංවිධානය මෙහෙයවූ කුමන්ත්‍රනයෙන් බලයට පත් කරන ලද ෂාගේ රූකඩ තන්ත්‍රය පෙරලා දැමූ 1979 විප්ලවයට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසි විටෙකත් එකඟ වී නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන විරුද්ධවාදීන් අතර ඉරානය නම් කර ඇත, 2006 සිට සෑම ජාතික ආරක්ෂක මූලෝපායික ප්‍රකාශයක් ම. ක්ලින්ටන්, බුෂ්, ඔබාමා, ට්‍රම්ප් (පලමු ධුර කාලය) සහ බයිඩන් පරිපාලනයන් යටතේ සහ දැන් දෙවන ට්‍රම්ප් පරිපාලනය යටතේ ඉරානය, රහසිගත මෙහෙයුම්වල, පාලන තන්ත්‍ර සම්බාධකවල , ඝාතනවල සහ මිලිටරි තර්ජනවල ඉලක්කය වී ඇත. ඉරානයට එරෙහි යුද්ධය, දශක තුනකට වැඩි කාලයක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදය අනුගමනය කල ද්විපාර්ශ්වික ප්‍රතිපත්තියේ කූටප්‍රාප්තියයි.

නමුත් වඩාත්ම මූලික අර්ථයෙන් ගත් කල, අධිරාජ්‍යවාදී යුද්ධය යනු ආත්මීය තීරන, නපුරු බලපෑම් සහ නරක ප්‍රතිපත්තිවල නිෂ්පාදනයක් පමනක් නොවේ. ඒ වෙනුවට, එය ධනේශ්වර ක්‍රමයේම අත්‍යවශ්‍ය වෛෂයික ප්‍රතිවිරෝධතා දෙකෙහි ප්‍රතිඵලය සහ ප්‍රකාශනයයි; පලමුව, නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය සහ නිෂ්පාදනයේ සමාජ ස්වභාවය අතර ප්‍රතිවිරෝධතාව, සහ දෙවනුව, ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ දේශපාලන බලය සහ ප්‍රාග්ධන සමුච්චයනය අඛන්ඩව සංවිධානය වී ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධතාව. පසුගිය දශක පහ තුල නිෂ්පාදනයේ ගෝලීයකරනය සෑම මහාද්වීපයකම කම්කරුවන්ගේ ශ්‍රමය, සැපයුම් දාම, මූල්‍ය ප්‍රවාහ සහ පෙර නොවූ විරූ ඝනත්වයකින් යුත් තොරතුරු ජාල මගින් එකට බැඳී ඇති තනි ග්‍රහලෝක ක්‍රියාවලියකට ඒකාබද්ධ කර ඇත.

පසුගිය වසර 35 තුල ආර්ථික හා දේශපාලන සංවර්ධනයේ සමස්ත ගමන් මග, ගෝලීය අර්බුදයේ ගතිකත්වය පිලිබඳ මෙම මාක්ස්වාදී විශ්ලේෂනය සනාථ කර තිබේ.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ඇමරිකානු පාලක පන්තිය විසින් ධනවාදයේ ඓතිහාසික ජයග්‍රහනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සමාජවාදයේ ඊනියා අසාර්ථකත්වය, 1917 සමාජවාදී ඔක්තෝබර් විප්ලවයට පෙර තිබූ ධනේශ්වර ලෝකය යථා තත්ත්වයට පත් කිරීමට මග පෑදූ බව එය කියා සිටියේය. විප්ලවයෙන් පසුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීමෙන්, අධිරාජ්‍යවාදයට එරෙහිව පීඩිත ජනතාවගේ දැවැන්ත ගෝලීය ව්‍යාපාරයෙන් සහ 1945 දී නාසි ජර්මනියේ පරාජයෙන් සහ 1949 දී චීන විප්ලවයේ ජයග්‍රහනයෙන් පසුව අත්පත් කරගත් සමාජ දියුනුවෙන් පසුව සිදු වූ සියල්ල ආපසු හැරවීමට නියමිතව තිබුනි.

1945 මැයි 2 වැනි රතු සොල්දාදුවෝ බර්ලිනයේ රෙයික්ස්ටැග් ජර්මානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සෝවියට් ධජය ඔසවමින්

කෙසේ වෙතත්, මෙම බියකරු ඉදිරිදර්ශනය පදනම් වූයේ සෝවියට් සංගමය විසුරුවා හැරීමට හේතු සහ එහි ගෝලීය වැදගත්කම පිලිබඳ ව්‍යාජ තක්සේරුවක් මත ය. සෝවියට් සංගමය තුල අසාර්ථක වූයේ සමාජවාදය නොව, ඔක්තෝබර් විප්ලවයට අනුප්‍රානයක් වූ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කිරීමක් වූ සමාජවාදී විරෝධී ජාතිකවාදයේ ස්ටැලින්වාදී තන්ත්‍රයයි. සෝවියට් සංගමය තුල සමාජවාදය ගොඩනැගීම ගෝලීය ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයෙන් වෙන් කල “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී වැඩපිලිවෙල ආර්ථික වශයෙන් සහ දේශපාලනික වශයෙන් බංකොලොත් බව ඔප්පු වී තිබුනි.

ස්ටැලින්වාදීන් ඔක්තෝබර් විප්ලවය පාවාදීම පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය මත පදනම් වූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සෝවියට් නිලධරයේ ජාතිකවාදී ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක පැහැදිලිවම පුරෝකථනය කලේය. සෝවියට් සංගමය විසුරුවා හැරීමට වසර හතරකට පෙර 1987 දී එය මෙසේ ප්‍රකාශ කරන ලදී.

තාක්ෂනයේ ඌනතාවය සහ කර්මාන්ත හා කෘෂිකර්මාන්තය අතර අඛන්ඩ ප්‍රතිවිරෝධතා විසඳිය හැක්කේ ලෝක වෙලඳපොලට ප්‍රවේශ වීමෙන් පමනි. සෝවියට් සංගමය එම වෙලඳපොලට ඒකාබද්ධ කිරීම සඳහා ඇත්තේ මාර්ග දෙකක් පමනි, ගොර්බචෙව් ධනවාදී ප්‍රතිෂ්ඨාපනය කරා මෙහෙයවන මාර්ගය සහ ලෝක සමාජවාදී විප්ලවයේ මාර්ගය.

ගොර්බචෙව් පලමු මාර්ගය තෝරා ගත්තේය. 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම එම පාවාදීමේ අවසානය විය. ඔක්තෝබර් විප්ලවයේ මිනීවල හාරන්නන් ලෙස ආරම්භ වූ ස්ටැලින්වාදී නිලධරය, අද පුටින් විසින් නායකත්වය දෙන නව රුසියානු කතිපයාධිකාරයේ වඩාත්ම දූෂිත හා කෑදර කන්ඩායම ලෙස අවසන් විය. 

ඇමරිකානු අධිරාජ්‍යවාදයට, එම යටින් පවතින ප්‍රතිවිරෝධය වෙනස් ප්‍රතිචාරයක් ඇති කලේය. නමුත් ස්ටැලින්වාදී බිඳවැටීම තරම් නිදහස් තේරීමක් පිලිබඳ කාරනයක් නොවීය. ආපසු හැරවිය නොහැකි ලෙස ආර්ථික ආධිපත්‍යය ඛාදනය වීම, ජපන් හා ජර්මානු කාර්මික තරඟකරුවන්ගේ නැගීම, බලගතු ආර්ථික හා කාර්මික බලවේගයක් ලෙස චීනය ඉස්මතු වීම, දේශීය නිෂ්පාදනය හිස් කිරීම, වෙලඳ හා අයවැය හිඟයන්හි වැඩිවන බරට මුහුන දෙමින්, ඇමරිකානු ධනවාදයට ආර්ථික මාර්ග හරහා තම ස්ථානය නැවත ලබා ගත නොහැකි විය. තවමත් අතිමහත් බහුතරයක් ඇති එකම මෙවලම හමුදා බලයයි.

ඊලඟ දශක තුනක මිලිටරිවාදය ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්‍රේනය සහ අනෙකුත් රටවල් සුනුවිසුනු කල අතර, මිලියන ගනනකගේ ජීවිත බිලිගනිමින්, සමස්ත සමාජයන් විනාශ කරමින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම සරනාගත අර්බුදය නිර්මානය කලේය. මෙම යුද්ධ පරාජයන්ගෙන් අවසන් වූ අතර එක්සත් ජනපදය අධිරාජ්‍යවාදය පෙර සිටි තැනට ආපසු හැරවීමට අසමත් විය.

මෙම 2003 මාර්තු 21 ගොනු ඡායාරූපයෙහි පෙන්නුම් කෙරෙන්නේ, එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා විසින් ඉරාකයේ බැග්ඩෑඩ් වෙත දැඩි ලෙස බෝම්බ හෙලීමේදී රජයේ ගොඩනැගිල්ලක් ගිනි ගන්නා අයුරු ය. [ඒපී ඡායාරූප/ජෙරොම් ඩිලේ] [AP Photo/Jerome Delay]

ඇමරිකානු බෝම්බ සහ මිසයිල ලොව පුරා විනාශයක් සිදු කල නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි මෙහෙයුම් සමඟ ඉදිරියට යාම ඇමරිකානු සහ ලෝක ධනවාදයේ අර්බුදයේ වර්ධනයේ මූලය විය. අධිරාජ්‍යවාදයේ ඉමහත් කලබගෑනිය සමඟ ගැඹුරු මූල්‍ය අර්බුද මාලාවක්, 1994 මෙක්සිකානු පෙසෝ අර්බුදය, 1997 ආසියානු අර්බුදය, රුසියානු නය පැහැර හැරීම සහ 1998 දිගුකාලීන ප්‍රාග්ධන කලමනාකරන බිඳවැටීම, 2000 ඩොට්-කොම් බිඳවැටීම, 2008 ගෝලීය මූල්‍ය අර්බුදය, 2011-12 යුරෝපීය ස්වෛරී නය අර්බුදය, 2020 වසංගත කම්පනය සහ 2022 සිට ඩොලර් පද්ධති අර්බුදයක් මෝරන සලකුනු ඇති වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් ගෝලීය අර්බුදයේ වඩාත්ම දෘශ්‍යමාන හා අශුභ ප්‍රකාශනය වන්නේ ජාතික නයෙහි විශ්මයජනක වර්ධනයයි. 2001 දී එය දල වශයෙන් ඩොලර් ට්‍රිලියන 5.8 ක් විය. දැන් එය ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වෙමින් පවතී. අධිරාජ්‍යවාදයේ ඊටත් වඩා ඓතිහාසිකව සහ ආර්ථික වශයෙන් වැදගත් ප්‍රකාශනයක් වන්නේ රන් මිලයි. ලෝක සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ තත්ත්වය ස්ථාපිත කල 1944 බ්‍රෙට්න්වුඩ්ස් සමුලුවේදී, රන් අවුන්සයක වටිනාකම ඩොලර් 35 ක් ලෙස නියම කරන ලදී.

නික්සන් පරිපාලනය බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය ප්‍රතික්ෂේප කරන තෙක් එම මිල පැවතුනි. මෙය පසුගිය වසර පුරා පුපුරන සුලු ස්වභාවයක් ගත් රත්‍රන් මිලෙහි අඛන්ඩ වැඩිවීමක් ඇති කලේය. රන් අවුන්සයක මිල දැන් ඩොලර් 4500 ක් පමන වේ. වෙනත් වචන වලින් කිවහොත්, වටිනාකම් මිනුමක් ලෙස වසර දහස් ගනනක් තිස්සේ ක්‍රියාත්මක වූ රත්‍රන් වලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අඩ සියවසකට වැඩි කාලයක් තුල සියයට 99 කට වඩා පහත වැටී ඇත.

1991 සිට 2026 දක්වා වසර 35 ක් තේරුම් ගත යුතු රාමුව මෙයයි. ඒවා තනි ඓතිහාසික ක්‍රියාවලියක් වන අතර, ඇමරිකානු ධනවාදයට ආර්ථික ක්‍රම මගින් ජයගත නොහැකි වූ ප්‍රතිවිරෝධතාවක් මිලිටරි ප්‍රචන්ඩත්වය යෙදීමෙන් ජය ගැනීමට දරන උත්සාහයයි. යුද්ධ යනු, 20 වන සියවසේ ලෝක යුද්ධ දෙක ඇති කල ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ඇති නොවිසඳුනු ප්‍රතිවිරෝධතාවයෙන්ම ධාවනය වන අඛන්ඩ ගමන් පථයක සංරචක කොටස් වේ.

විදේශ යුද්ධය සහ රට තුල ආඥාදායකත්වය

නමුත් ඉරානයට එරෙහි යුද්ධය දිගු හමුදා මෙහෙයුම් මාලාවක තවත් කථාංගයක් පමනක් නොවේ. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මෙම ගැටුමට පැහැදිලි ගෝලීය ස්වභාවයක් ලබා දෙයි, විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දියත් කරන ලද ගෝලීය යුද්ධයකි. අප්‍රේල් 13 වන දින සිට එක්සත් ජනපද නාවික හමුදාව පර්සියානු ගල්ෆ් කලාපයේ ඉරාන වරායන් අවහිර කර ඇත. මෙම යුද්ධය ආරම්භ කිරීමට කිසිදු සම්බන්ධයක් නොතිබූ බිලියන සංඛ්‍යාත ජනතාවක් දැන් එහි ප්‍රතිවිපාක අත්විඳිමින් සිටිති.

හෝමුස් සමුද්‍ර සන්ධියේ සිතියම [Photo by Goran_tek-en / CC BY-SA 4.0]

සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සුරක්ෂිතතාවයට වඩාත්ම බරපතල බලපෑම එල්ල වේ. මෙම අවහිර කිරීම හේතුවෙන් ගාසා තීරයේ සහ සුඩානයේ දැනටමත් පවතින සාගත ගැඹුරු වන අතර, ඉදිරි මාස 12 සිට 18 දක්වා කාලය තුල බොහෝ රටවල ලමුන් සහ වැඩිහිටියන් අතර සංකේන්ද්‍රනය වී ඇති ආහාර අනාරක්ෂිතභාවයේ සහ අතිරික්ත මරන අනුපාතයේ හදිසි හෝ ව්‍යසනකාරී මට්ටම් කරා අතිරේක රටවල් ගමන් කරනු ඇත.

මෙම ප්‍රතිවිපාක වොෂින්ටනයේ සහ ජෙරුසලමේ ගත් තීරනවල සෘජු ප්‍රතිඵලයකි. මෙම තීරන සඳහා කුසගින්නෙන් හා ජීවිතවලින් වන්දි ගෙවනු ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ ගොවීන්, දකුනු ආසියාවේ පවුල් සහ මුල් ගැටුමට කිසිදු සම්බන්ධයක් නොතිබූ රටවල දරුවන් ය.

ඉරානයට එරෙහි යුද්ධය, විදේශයන්හි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුනු පමනක් නොව, එය රට තුල ක්‍රියාත්මක කරන තන්ත්‍රයේ සමාජීය හා දේශපාලනික යථාර්ථය ද හෙලිදරව් කර තිබේ. ට්‍රම්ප් යනු ඇමරිකානු ධනවාදයේ බිඳවැටීම සහ එහි පාලක පන්තියේ කුනුවීම තුල මුල් බැසගත්, ආර්ථික, සමාජීය සහ දේශපාලනික දිග්ගැස්සුනු ක්‍රියාවලියක නිෂ්පාදනය, පුද්ගලාරෝපනය සහ කූටප්‍රාප්තියයි.

එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යුහය එහි සමාජ පදනමට, එනම්, දැවැන්ත ධනය පාලනය කරන සහ සියලු නීතිමය, ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක සීමාවන් තම අවශ්‍යතාවලට දරාගත නොහැකි බාධක ලෙස සලකන කුඩා කතිපයාධිකාරියක් විසින් සමාජය ආධිපත්‍යය දරන තත්ත්වයට පෙලගැස්වීමට ගෙන එනු ලැබේ. ට්‍රම්ප්ගේ නැගීම මෙම යථාර්ථයේ ප්‍රකාශනයයි.

ඉරානයට එරෙහි යුද්ධයට මුදල් සපයනු ලබන්නේ කම්කරු පන්තියේ සමාජ අයිතිවාසිකම්වලට එරෙහි පෙරමුනු ප්‍රහාරයක් මගිනි. ට්‍රම්ප්ගේ 2027 මූල්‍ය වර්ෂයේ අයවැය මඟින් ආරක්ෂාව සඳහා දල වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5 ක් ඉල්ලා සිටින අතර එය නූතන ඇමරිකානු ඉතිහාසයේ ඉහලම මිලිටරි වියදම් මට්ටම වන අතර ඉරානයට එරෙහි යුද්ධයට පමනක් නොව චීනයට සහ රුසියාවට එරෙහි ගෝලීය යුද්ධයට ද දැවැන්ත සූදානමක් අවශ්‍ය වේ.

මෙය වඩාත් සෘජු අර්ථයෙන් ලෝක යුද්ධය සඳහා වූ අයවැයකි. සහ මෙය ගෙවන්නේ කෙසේද? ට්‍රම්ප්ම කෲර ලෙස අවංකව පිලිතුරු දී ඇත. ඔහු ප්‍රකාශ කලේ, අපි යුද්ධ කරමින් සිටින නිසා, සමාජ වැඩසටහන් කැප කල යුතු බවයි. ඔහු තරයේ කියා සිටියේ, අපට දිවා සුරැකුම්, මෙඩිකේඩ්, මෙඩිකෙයාර් බලා ගැනීමට නොහැකි බවයි. අපි එක දෙයක් ගැන සැලකිලිමත් විය යුතුයි, පසුගිය ශතවර්ෂය පුරා කම්කරු පන්තිය විසින් දිනා ගන්නා ලද වෛද්‍ය සේවා, වෛද්‍ය ප්‍රතිකාර, සමාජ ආරක්ෂනය, අධ්‍යාපනය, නිවාස සහ සෑම අවම සමාජ ආරක්ෂාවක්ම මිලිටරිවාදයට, කතිපයාධිකාරයට සහ රාජ්‍යයේ මර්දනකාරී උපකරනයට අරමුදල් සැපයීම සඳහා කොල්ලකෑමට නියමිත ය.

එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින්නේ හුදෙක් ජාතික දේශපාලන අර්බුදයක් නොවේ. එය ලෝක ඓතිහාසික වැදගත්කමක් දරන කම්පනයකි. ලෝක ධනවාදයේ හිටපු ස්ථායීකාරකය වූ ඇමරිකා එක්සත් ජනපදය, ගෝලීය අස්ථාවරත්වයේ විශාලතම ප්‍රභවය බවට පත්ව ඇත. එක්සත් ජනපදයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතීන් බිඳවැටීම, දේශපාලනය තුල විවෘත මැරවාදයට හැරීම, සියලු සමාජ ජීවිතය කතිපයාධිකාරයේ අවශ්‍යතාවලට යටත් කිරීම සහ මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා ලෝකය නැවත බෙදීමේ ධාවනය, සමස්ත ධනේශ්වර පර්යායේම අර්බුදය එහි වඩාත්ම සංකේන්ද්‍රිත හා පුපුරන සුලු ස්වරූපයෙන් ප්‍රකාශ කරයි.

2025 දෙසැම්බර් 2 වැනි දා, ධවල මන්දිරයේ දී කැබිනට් රැස්වීමක් අතරතුර කතා කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. වමේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ දකුනේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් බලා සිටිති. [AP Photo/Julia Demaree Nikhinson]

සෑම ප්‍රධාන ධනේශ්වර රටකම මෙම ක්‍රියාවලීන්ම දක්නට ලැබේ. ධනවාදයේ අර්බුදය ජාත්‍යන්තර ය, ඒ වගේම ඒකාධිපතිත්වය හා යුද්ධය දෙසට හැරීම ද එසේමය. යුරෝපීය පාලක පන්තිය වේගයෙන් හා නිර්ලජ්ජිතව තම කුහක සාමවාදී වාක්‍ය ඛන්ඩය අතහැර දමමින්, අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ දිගු සම්ප්‍රදායන් පුනර්ජීවනය කරමින්, කම්කරු පන්තිය සහ තරුනයින් පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේදී ඔවුන්ගේ සීයා සහ මී මුත්තා කලාක් මෙන් සටන් කර මිය යාමට සූදානම් විය යුතු බව ප්‍රකාශ කරමින් සිටී. මෙය හුදු වාචාල කතාවක් නොවේ. යුරෝපීය නේටෝ බලවතුන් දැනටමත් රුසියාවට එරෙහිව තථ්‍ය යුද්ධයක නිරතව සිටිති. යුක්‍රේනය නේටෝවේ නැගෙනහිර යුරෝපීය ඊශ්‍රායලයට සමාන රාජ්‍යයක් බවට පරිවර්තනය වී තිබේ.

පසුගිය සියවසේ ඓතිහාසික අත්දැකීම් විශ්ලේෂනය කිරීමේදී, ජාත්‍යන්තර කමිටුව අවධාරනය කර ඇත්තේ 1914 දී පලමු ලෝක යුද්ධය ඇති කල එම ප්‍රතිවිරෝධතාම 1917 දී රුසියාවේ සමාජවාදී විප්ලවයට හේතු වූ බවයි. අදත් ක්‍රියාත්මක වන්නේ එම ඓතිහාසික ගතිකයමයි. අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ පිපිරීමට යටින් පවතින ධනවාදයේ ගෝලීය අර්බුදය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයේ පිපිරීමට ද සූදානම් සකස් කරයි.

සමාජවාදී විප්ලවයේ දශකයේ දෙ වැනි භාගය

2020 දශකය ආරම්භයේදී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක අලුත් වීමක් අපේක්ෂා කලේය. අපි දැන් දශකයේ මැද භාගය පසු කර ඇත්තෙමු. ගෝලීය අර්බුදයේ වෛෂයික වර්ධනය මෙම ඉදිරිදර්ශනය සනාථ කරන බව ජාත්‍යන්තර කමිටුව ඒත්තු ගෙන තිබේ.

දශකයේ මුල් වසර පහ තුල, දේශපාලන ප්‍රතිගාමීත්වය දෙසට පාලක ප්‍රභූන්ගේ තීව්‍ර වන ධාවනය ආධිපත්‍යය දැරීය. මෙය අහඹු සිදුවීම් මාලාවක් හෝ හුදකලා වාචාලයන්ගේ ක්‍රියාවක් නොවේ, නමුත් ධනවාදයේ ගැඹුරු වන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් විසඳීමට අපොහොසත් වූ ගෝලීය කතිපයාධිකාරයක ක්‍රමානුකූල ප්‍රතිචාරයකි. ආන්ඩු මිලියන සංඛ්‍යාත ජීවිත ආයතනික ලාභයේ ඉල්ලීම්වලට යටත් කල කෝවිඩ්-19 වසංගතය, කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා සහ පාලක ස්වල්ප දෙනාගේ මූල්‍ය අවශ්‍යතා අතර ඇති අශමනීය විරුද්ධත්වය හෙලිදරව් කලේය.

2020 අප්‍රේල් 9 කෝවිඩ් 19 වසංගතය අතරතුර නිව්‍යෝර්ක් හි බ්‍රොන්ක්ස්හි හාර්ට් දූපතේ සමූහ මීනි වලක මලසිරුරු වල දමමින් [AP Photo/John Minchillo]

යුක්‍රේනයේ යුද්ධය පුපුරා යාම, ගාසා තීරයේ ජන සංහාරය, ඉරානයට බෝම්බ හෙලීම, වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ පැහැර ගැනීම සහ මෙක්සිකෝව, ග්‍රීන්ලන්තය, පැනමාව සහ කියුබාවට එරෙහි තර්ජන මගින් එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය ප්‍රචන්ඩ ලෙස නැවත බෙදා ගැනීම හරහා අර්බුදයට ප්‍රතිචාර දක්වයි.

අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල, මෙම විදේශ යුද්ධයන්ට යොමු වීමේ තල්ලුව, රට තුල ඒකාධිපති පාලනයක් දෙසට හැරීම, ට්‍රම්ප්ගේ පුනරාගමනය සහ එක්සත් ජනපදයේ ජනාධිපති ඒකාධිපතිත්වයක් විවෘතව ගොඩනැගීම, ආර්ජන්ටිනාවේ මිලෙයි, ඉතාලියේ මෙලෝනි සහ යුරෝපය පුරා අන්ත දක්ෂිනාංශික ආන්ඩු නැගීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමානුකූලව විසුරුවා හැරීම, පොලිසිය හමුදාකරනය කිරීම, සංක්‍රමනිකයින්ට හිංසා කිරීම සහ විරුද්ධ මත අපරාධකරනය කිරීම යන ඒවායින් වෙන් කල නොහැකි ය. මේ අතර, ගෝලීය බිලියනපතියන්ගේ ධනය 2025 දී ඩොලර් ට්‍රිලියන 18.3 දක්වා ඉහල ගිය අතර, මහා පරිමාන දොට්ට දැමීම්, AI මගින් මෙහෙයවනු ලබන රැකියා විනාශ කිරීම, උද්ධමනය සහ සමාජ වැඩසටහන් විසුරුවා හැරීම බිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට පහර දීම තීව්‍ර කරයි.

දශකයේ මුල් භාගය ධනේශ්වර ප්‍රතිගාමීත්වයේ සහ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ පුපුරා යාමක් අත්විඳ ඇති බව අවිවාදිතය. ලෝක යුද්ධය අනාගත තර්ජනයක් නොව, වර්තමානයේ දිග හැරෙන යථාර්ථයකි, නමුත් යුද්ධය හා මර්දනය තුල ප්‍රකාශ වන ධනේශ්වර ක්‍රමයේ එම ප්‍රතිවිරෝධතාම ගෝලීය පන්ති අරගලයේ පිපිරීමට ද හේතු වී තිබේ.

දශකයේ දෙවන භාගය ජාත්‍යන්තර පරිමානයෙන් සමාජ අරගලයේ ප්‍රතිවිරෝධී ප්‍රවනතාවයේ පුපුරා යාම මගින් වඩ වඩාත් සංලක්ෂිත වෙමින් පවතී. 1845 දී මාක්ස් මෙසේ ලිවීය: “ඓතිහාසික ක්‍රියාවෙහි පරිපූර්නත්වයත් සමඟ, එය ක්‍රියාත්මක වන ස්කන්ධයේ ප්‍රමානය වැඩි වනු ඇත.” මෙම අවබෝධයේ ආරම්භක තහවුරු කිරීමක් ලෙස, වැඩ කරන ජනතාව විශාල පිරිසක් සමාජ හා දේශපාලන අරගලයට ඇද ගැනෙමින් සිටිති.

2026 පලමු කාර්තුව තුල පමනක් යුරෝපීය රටවල් අටක වැඩ වර්ජන 458ක් පවත්වා ඇති අතර, ජාතික හෝ කලාපීය මට්ටමින් මහා වැඩ වර්ජන පහක් ද ඊට ඇතුලත් ය. මෙය 2025 සන්සන්දනාත්මක කාල පරිච්ඡේදවලට වඩා වේගවත් වීමක් නියෝජනය කරයි. 2026 පලමු කාර්තුව දැනටමත් මාර්තු 12 වන දින බෙල්ජියමේ සහ මාර්තු 9 වන දින ඉතාලියේ ජාතික මහා වැඩවර්ජන ඇති කර තිබේ. ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියාවේ සහ බාස්ක් රටේ කලාපීය මහා වැඩවර්ජන, මාර්තු 8 සහ 17 යන දිනවල. උතුරු සයිප්‍රසයේ මහා වැඩ වර්ජනයක් සහ පෙබරවාරි මාසයේදී ආර්ජන්ටිනාවේ ජාතික මහා වැඩ වර්ජනයක් පැවැත්විනි. 2025 වසර ඉක්මවා යන තනි කාර්තුවක මහා වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල ඝනත්වය දැනටමත් සැලකිය යුතු වේගයකි. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයින් මිලියන 1.7ක් පමන වැඩ වර්ජනයක නිරත වූහ.

වෛෂයික දර්ශක අනුව -  වැඩ වර්ජන ගනන, බලමුලු ගැන්වීම්වල ප්‍රමානය, භූගෝලීය ව්‍යාප්තිය, ක්ෂේත හරහා ව්‍යාප්තිය, කාලසීමාව, වැඩ වර්ජන අනුමත කිරීමට කම්කරුවන් ඡන්දය දෙන ප්‍රතිශතයන් සහ රාජ්‍ය ආරක්ෂක අංශ සමඟ ගැටුම් වාර ගනන - 2026 මුල් මාස 2025 මට්ටම්වලින් ඔබ්බට පන්ති ගැටුමේ පැහැදිලි සහ මැනිය හැකි උත්සන්න වීමක් නියෝජනය කරයි.

මාර්තු 28 වන දින “නෝ කිංග්ස්” (රජුන් එපා) බලමුලු ගැන්වීමේ දී මිලියන අටක් ඇතුලුව, එක්සත් ජනපදය තුල මිලියන ගනනක් ආකර්ෂනය කර ගත් මහා අයිසීඊ විරෝධී පෙලපාලි පැවතුනි. කැලිෆෝනියා විශ්ව විද්‍යාල සේවකයින් 42000 ක් සහ කයිසර් සෞඛ්‍ය සේවකයින් 31000 ක් වැඩවර්ජන පවත්වා තිබේ.

2026 මාර්තු 28 වැනි දා නිව් යෝර්ක් සිටිහි “නෝ කිංග්ස්” රැලිය

මෙම අරගල, කතිපයාධිකාරය ෆැසිස්ට්වාදය හා යුද්ධය කරා තල්ලු කරන එම අර්බුදය විසින්ම පනවන ලද කොන්දේසි වලට එරෙහිව අරගලයට එන ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක වෛෂයික ප්‍රකාශනයකි. මෙම අරගල සෑම මහාද්වීපයකම සහ ආර්ථිකයේ සෑම ප්‍රධාන අංශයකම දිග හැරෙමින් පවතින අතර, සේවා යෝජකයින් සහ ආන්ඩු සමඟ පමනක් නොව, වැඩ වර්ජන විරෝධී ආයතනික පොලිස් බලකායක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයන් සමඟ ද සෘජු ගැටුමකට මුහුන දෙමින් සිටියි.

වර්තමාන කාලපරිච්ඡේදයේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රවනතා දෙකෙන් කුමන ප්‍රවනතාව ජය ගනු ඇත්ද යන්නයි. පාලක පන්තිය තම පද්ධතියේ ගැඹුරු වන අර්බුදයට ෆැසිස්ට්වාදය සහ යුද්ධය, සමාජය මිලිටරිකරනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීම, සංක්‍රමනිකයින්ට සහ දේශපාලන විරුද්ධවාදීන්ට පහර දීම සහ න්‍යෂ්ටික ව්‍යසනයක තර්ජනය ඇති කරන ගැටුම් සූදානම් කිරීම මගින් පිලිතුරු දී ඇත. කම්කරු පන්තිය ප්‍රතිචාර දක්වන්නේ ව්‍යසනය කරා යන මෙම ගමන් පථය නැවැත්වීමට සමත් එකම බලවේගය වන තමන්ගේම සාමූහික සමාජ බලය බලමුලු ගැන්වීමෙනි. ප්‍රතිඵලය කලින් තීරනය කර නැත, එය තීරනය වන්නේ දැන් සිදුවෙමින් පවතින අරගල සහ මෙම අරගල අතරතුර කම්කරු පන්තිය වර්ධනය කරන දේශපාලන විඥානය, සංවිධානය සහ නායකත්වය මගිනි.

නිශ්චිතවම කිව හැක්කේ සාපේක්ෂ සමාජ සමතුලිතතාවයේ කාල පරිච්ඡේදය අවසන් වී ඇති බවයි. දශකයේ ආරම්භයේ දී හඳුනාගත් වෛෂයික කොන්දේසි, පශ්චාත් යුධ ධනේශ්වර ක්‍රමයේ බිඳවැටීම, පැරනි පාලන ක්‍රම දිගටම කරගෙන යාමේ නොහැකියාව, විප්ලවීය පරිවර්තනයක හෝ ම්ලේච්ඡත්වයට බැසීමේ අවශ්‍යතාවය, තහවුරු වී ඇතිවා පමනක් නොව, තීව්‍ර වී ඇත. 2026 වසරේ මුල් මාස කිහිපය, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ගෝලීය බලවේගයක් ලෙස මතුවී ඇති අවස්ථාව සනිටුහන් කරයි. යුද්ධය හෝ සාමය, ඒකාධිපතිත්වය හෝ ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය හෝ ම්ලේච්ඡත්වය යන යුගයේ මූලික ප්‍රශ්න සෘජුවම ඓතිහාසික න්‍යාය පත්‍රයට ඇතුලත් කරන පරිමානයකින් කතිපයාධිකාරීත්වයේ ප්‍රහාරයට එරෙහිව සටන් කරයි.

හතර වැනි ජාත්‍යන්තරය ගොඩනගනු!

මධ්‍යම පාන්තික ව්‍යාජ වාමාංශිකයින්ගේ අධෛර්යමත් නරුමයන් සහ සංශයවාදීන් මෙම ඉදිරිදර්ශනය ෆැන්ටසියක් ලෙස බැහැර කරනු ඇත. පාලක පන්තිය ඉදිරියේ බිම වැඳ වැටෙන ඔවුහු ධනවාදයේ අපරාජිතභාවය සහ ස්ථිරභාවය දැඩි ලෙස විශ්වාස කරති. කම්කරු පන්තිය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය බිය හා අවඥාව මිශ්‍ර එකකි.

එහෙත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවනු ලබන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විප්ලවවාදී ඉදිරිදර්ශනය, ගෝලීය පරිමානයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික හා සමාජ ක්‍රියාවලීන් පිලිබඳ වඩාත්ම යථාර්ථවාදී තක්සේරුව මත පදනම් වේ.

පවත්නා පර්යායේ ප්‍රතිවිරෝධතා ඇති කල නිෂ්පාදනයේ ගෝලීයකරනයම, වෛෂයික, ව්‍යුහාත්මක කරුනක් ලෙස මානව ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර කම්කරු පන්තිය නිපදවා ඇත. මේ ප්‍රමානය සංයුක්ත ව ග්‍රහනය කර ගත යුතුය. 1980 සිට ලෝකයේ නිෂ්පාදන බලවේගවල වර්ධනය කම්කරු පන්තියේ ප්‍රමානය බිලියන දෙකකට වඩා වැඩි කර තිබේ. මානව ඉතිහාසයේ පලමු වතාවට, ලෝක ජනගහනයෙන් බහුතරයක් නගරවල ජීවත් වන අතර, එම අගය සෑම සතියකම මිලියන ගනනින් ඉහල යයි.

නගර 500කට අධික සංඛ්‍යාවක දැන් ජනගහනය මිලියනය ඉක්මවන අතර එය දල වශයෙන් මානව වර්ගයාගෙන් හතරෙන් එකක් පමන වේ. අවම වශයෙන් ඒවායින් 31 ක් මිලියන 10 කට වඩා වැඩි ජනගහනයක් සිටින මෙගා නගර වේ. තවද ලෝක වෙලඳාමෙන් සියයට  90 ක් පමන මෙම මධ්‍යස්ථාන දුසිම් කිහිපයක් හරහා ගලා යයි. ඉදිරි දශක කිහිපය තුල අප්‍රිකානු කම්කරුවන් බිලියනයක් පමන ගෝලීය ශ්‍රම බලකායට ඇතුලත් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඉන්දියාව, චීනය, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව වැනි පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවලින් ගෝලීයකරනය වූ නිෂ්පාදන පරිපථවලට සංක්‍රමනය වූ බිලියන සංඛ්‍යාත කම්කරුවන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සංලක්ෂනය කර ඇති පරිදි, “එක ජීවිත කාලයක් තුල සියවස් ගනනාවක් ඉදිරියට පැන” ඇත.

2020 දී මිලියන 17.5ක ජනගහනයක් සිටි ෂෙන්සෙන් නාගරික ජනගහනය අතින්,  ෂැංහායි සහ බීජිං, චීනයේ තෙ වැනියට ඉදිරියෙන් ම සිටින නගරයයි.  [Photo by Dinkun Chen / CC BY 4.0]

වෛෂයික සමාජ හා ආර්ථික ක්‍රියාවලීන් විප්ලවවාදී අරගල ජනනය කරමින් සිටී. ජීවන තත්වයන්හි දෛනික පිරිහීම, සමාජ අසමානතාවයේ විශ්මයජනක පරිමානය, පාලක පන්තියේ කුරිරු දූෂන සහ අපරාධ, ජනතාවගේ කෝපය හා වෛරය අවුස්සමින් තිබේ. නමුත් මෙම කෝපය ධනවාදයට එරෙහි දේශපාලනිකව සවිඥානික හා ජාත්‍යන්තරව ඒකාබද්ධ අරගලයක් බවට වර්ධනය කල යුතුය.

තවද මෙය මෙම ඓතිහාසික යුගයේ කේන්ද්‍රීය ගැටලුව, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම, ඉදිරියට ගෙන එයි. ධනේශ්වර පාලනයේ පැරනි හා ප්‍රතිගාමී උපකරනවල ග්‍රහනය, පවතින ධනේශ්වර පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන්, ධනේශ්වර ජාතික සංවිධාන, අසංඛ්‍ය සුලු ධනේශ්වර කන්ඩායම් බිඳ දැමිය යුතුය. පාලක පන්තියේ සියලු ආයතනවලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කල යුතුය.

මේ සඳහා ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම අවශ්‍ය වේ. එහි වැඩපිලිවෙල තුල සංකේන්ද්‍රනය වී ඇත්තේ සියවසක අරගලයක් පුරා පැතිර ගිය විප්ලවවාදී අත්දැකීම් රාශියකි.

ජාත්‍යන්තර කමිටුවේ ශාඛා තවමත් මහජන පක්ෂ බවට පත්ව නොමැති බව අපි පිලිගනිමු. නමුත් මෙය වරදක් නොවේ. එය පැරනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ස්ටැලින්වාදී කම්කරු සහ වෘත්තීය සමිති නිලධරයන්ට පන්ති අරගලය මර්දනය කිරීමට හැකි වූ දිගු දේශපාලන ප්‍රතිගාමිත්වයේ ප්‍රකාශනයකි.

නමුත් ට්‍රොට්ස්කි ප්‍රකාශ කල පරිදි: ඉතිහාසයේ නීති නිලධාරිවාදී උපකරනවලට වඩා බලවත් ය. ධනේශ්වර අර්බුදයේ තීව්‍රතාවය ජනතාව රැඩිකල්කරනය කරමින් සිටී. මෙය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දැවැන්ත වර්ධනයකට කොන්දේසි නිර්මානය කරනු ඇත.

1940 මැයි මාසයේදී, ස්ටැලින්වාදී ඒජන්තයා විසින් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට මාස තුනකට පෙර ලියන ලද හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනයේ, ලෝක සමාජවාදී විප්ලවයේ අසමසම මූලෝපායිකයා මෙසේ පැහැදිලි කලේය: 

'ඉතිහාසය තුල, යුද්ධය විප්ලවයේ මාතෘ බවට පත් වී ඇත්තේ ඉඳහිට නොවේ, මන්ද එය අභාවයට ගිය පාලන තන්ත්‍රයන් ඒවායේ අත්තිවාරමටම සොලවන, පාලක පන්තිය දුර්වල කරන සහ පීඩිත ජනතාව අතර විප්ලවවාදී කෝපයේ වර්ධනය වේගවත් කරන බැවිනි.'

1940 දී ලියොන් ට්‍රොට්ස්කි

එවැනි තත්වයක් මතුවෙමින් තිබේ. ඇමරිකානු පාලක පන්තිය ධවල මන්දිරයේ මැරයෙකු පත් කර එහි කටයුතු කලමනාකරනය කිරීම පාතාලයට භාර දී තිබීමම එහි ඓතිහාසික බංකොලොත්භාවය පිලිබඳ ප්‍රතික්ෂේප කල නොහැකි සාක්ෂියකි.

විශාලතම බාධක හමුවේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජක) වර්තමාන අර්බුදය සඳහා කම්කරු පන්තියේ දියුනු කොටස් සූදානම් කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කර ඇත. අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිර්මානය කර ඇති අතර, එය පසුගිය වසර 28 පුරා දේශපාලන විශ්ලේෂනයේ සහ මූලෝපායික දිශානතියේ අසමසම මෙවලමක් ලෙස සේවය කර ඇත. එය මාක්ස්වාදයේ උරුමය සහ සමාජවාදය සඳහා අරගලයේ ඓතිහාසික අඛන්ඩතාව ආරක්ෂා කිරීම සඳහා නොනවතින අරගලයක් දියත් කර ඇත.

ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ පක්ෂ, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ වර්ධනය හරහා අධිරාජ්‍යගැති සහ සංගතවාදී වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහි සටනට නායකත්වය දී ඇත. එහි අරමුන පවතින වෘත්තීය සමිති නිලධරයන්ට බලපෑම් කිරීම නොව, ඒවාට එරෙහිව සාමාන්‍ය කම්කරුවන්ගේ කැරැල්ලක් සංවිධානය කිරීම සහ කර්මාන්තශාලා, සාප්පු සංකීර්න සහ සේවා ස්ථාන කමිටුවලට බලය ලබා ගැනීමයි.

ජාත්‍යන්තර කමිටුව විසින් මෙහෙයවනු ලබන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, තරුන පරම්පරාව මාක්ස්වාදීන් ලෙස අධ්‍යාපනගත කරනුයේ, විරෝධතා දේශපාලනයේ අධෛර්යමත් ප්‍රතිපත්තිවලට විප්ලවීය විකල්පයක් සපයමින් සහ ඔවුන්ගේ ශක්තීන් කම්කරු පන්තියේ අරගල දෙසට යොමු කරමිනි.

හජාජක, 2025 දෙසැම්බරයේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල දියත් කරන ලද සෝෂලිසම් AI සංවර්ධනය කර ඇත. පාලක පන්තිය තමන් පොහොසත්වීම, කම්කරුවන් දුප්පත් කිරීම සහ සූරාකෑම තීව්‍ර කිරීම සඳහා AI භාවිතා කරද්දී, ජාත්‍යන්තර කමිටුව  සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට සහ වේගවත් කිරීමට තාක්ෂනයේ දැවැන්ත විභවය උපයෝගී කර ගනිමින් සිටී.

ජාත්‍යන්තර කමිටුවේ කාර්යයේ සියලු විවිධ අංග යොමු වී ඇත්තේ ධනේශ්වර ම්ලේච්ඡත්වය පරාජය කර මානව වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කරන සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ ඉලක්කයට ය. මෙම පක්ෂය ගොඩනඟනු ලබන්නේ මෙම යුගයේ අත්දැකීම් වලින් අවශ්‍ය නිගමන උකහා ගන්නා සහ එහි සාමාජිකත්වයන් තුල තම ස්ථානය ගන්නා කම්කරුවන්, තරුනයින් සහ සමාජවාදී බුද්ධිමතුන් විසිනි. අයිසීඊ සමඟ සටන් කරන කම්කරුවන්ට, පිකට් වැටවල වැඩ වර්ජකයන්ට, විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි ජන සංහාරයට විරුද්ධ වන සිසුන්ට, සෑම මහාද්වීපයකම වීදිවල සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට, දැන් මතු වන ප්‍රශ්නය වන්නේ සටන් කල යුතුද යන්න නොව, සටන් කරන්නේ කෙසේද සහ කුමන ධජය යටතේද යන්නයි.

මේ ප්‍රශ්නවලට අපේ පිලිතුර මෙයයි. ඉදිරි මාවත වන්නේ බලය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඥානික හා සංවිධානාත්මක අරගලයයි. එම ධජය හතරවන ජාත්‍යන්තරයේ ධජයයි. අප ඉල්ලා සිටින්නේ, සෑම රටකම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනඟන ලෙසයි. සමාජවාදය සඳහා සටන භාර ගන්න. ලෝක සමාජවාදී විප්ලවය කරා ඉදිරියට!.

Loading