මහජනතාවගේ ජිවන තත්වයන්ට දැවැන්ත පහරක් එල්ල කරමින් ආන්ඩුව සියයට 18 කින් විදුලි බිල වැඩි කරයි

වැඩකරන ජනතාව මත ඉමහත් බරක් පටවමින් දිසානායක ආන්ඩුව, සඳුදා, සියයට 18 කින් විදුලි ගාස්තු ඉහල දැමී ය. මෙය ඉරානයට එරෙහි ව එක්සත් ජනපද- ඊශ්‍රායල යුද්ධය පෙබරවාරි 28 ආරම්භ වීමෙන් පසු ව සිදු කල දෙවන විදුලි ගාස්තු වැඩි කිරීමයි.

මීට පෙර, අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි සියයට 8 සිට සියයට 14.4 දක්වා විදුලි ගාස්තු ඉහල දැමූ අතර නව ගාස්තු සංශෝධනය සිදු කෙරුනේ, විදුලිබල උත්පාදනයට සම්බන්ධ ඉන්ධන පිරිවැය ඉහල යාම හේතුවෙන් තවදුරටත් විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සීමා සහිත ජාතික විදුලිබල පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, අප්‍රේල් 27 වෙනිදා, මහජන උපයෝගිතා කොමිසමෙන් කල ඉල්ලීමකට අනුව ය. මෙම සමාගම, 2026 මාර්තු මාසයේ දී (ලංකා විදුලි බල මන්ඩලය) ප්‍රතිව්‍යූහගත කිරීමේ දී පිහිටුවනු ලැබූ නව සමාගම් 6 න් එකකි.

සැප්තැම්බර් මාසයේ, මෙම වසරේ තුන් වන කාර්තුව සඳහා විදුලි ගාස්තු යලිත් ඉහල දැමීමට නියමිත ය. නව ගාස්තු ක්‍රමය මගින්, ඒකක 180ට අඩුවෙන් භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ට බලපෑමක් නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව, ඒකක 180-210 සඳහා රුපියල් 1,760 කින්, ඒකක 210-240 සඳහා රු. 2,660කින් සහ ඒකක 270-300 සඳහා රු. 3,110 කින් විදුලි පරිභෝජන ගාස්තුව වැඩි වේ. මෙම ගාස්තු ඉහල දැමීම සිදුවන්නේ 2022 පෙබරවාරි සිට මෙම වසරේ අප්‍රේල් 1 දක්වා රටේ විදුලි ගාස්තුව සියයට 125 කින් පමන වැඩි කර තිබිය දී ය.

විදුලි ගාස්තු වැඩිවීම විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 7.29කට පමනක් බලපාන බව බලශක්ති අමාත්‍ය අනුර කරුනාතිලක පවසා ඇත. එහෙත්, ආන්ඩුවේ සුත්‍රය ට අනුව එය එසේ වුව ද රාජ්‍ය සේවාවන්, ව්‍යාපාර, කර්මාන්ත කෙරෙහි ඇතිකරන බලපෑම හේතුවෙන් භාන්ඩ සහ සේවා ගාස්තු ඉහල යාමෙන් සමස්ත ආර්ථිකය සහ ජන ජිවිතය කෙරෙහි පුලුල් බලපෑමක් ඇති කරනු ඇත.

විදුලි ගාස්තු වැඩි කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියමයන් යටතේ ක්‍රියාවට දමන කප්පාදු වැඩපිලිවෙලේ සහ ඉරානයට එරෙහි යුද්ධයේ බලපෑම යටතේ ගැඹුරු වන ආන්ඩුවේ ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත ජනයා මත පැටවීමේ කොටසකි.

විදුලි බිල වැඩි කිරීමට සමගාමී ව ආන්ඩුව ඉන්ධන සහ පිසින ගෑස් මිල ද වැඩි කලේ ය. පසුගිය දෙමස තුල ඉන්ධන මිල සියයට 35කින් පමන ඉහල දැමුනි. ලිට්රෝ සහ ලාෆ් පිසින ගෑස් මිල මාර්තු සහ අප්‍රේල් මාසවල දී පිලිවෙලින් සියයට 8.1 කින් සහ 23 කින් වැඩි කල අතර ලාෆ් ගෑස් මිල මැයි මාසයේ යලිත් සියයට 9.6 කින් වැඩි කෙරුනි.

ජල සැපයුම් ගාස්තු ජූනි මාසයේ 30 වෙනි දා සිට වැඩි කිරිමට නියමිත බව ජල සම්පාදන ඇමති සුසිල් රනසිංහ සඳහන් කර ඇත. යුද්ධය හේතුවෙන් ලෝක වෙලඳ පොලේ සමස්ත පොහොර මිල සියට 31 කින් ඉහල ගොස් ඇති අතර යුරියා මිල සියයට 60 කින් වැඩි වී ඇත. රට තුල බරපතල පොහොර හිඟයක් පවතින අතර ආන්ඩුව පොහොර බෙදා හැරීම සීමා කර තිබේ. වී, එලවලු ඇතුලු සියලු භෝග නිෂ්පාදනය විශාල ලෙස පහත වැටෙනු ඇති බවට කෘෂි විශේෂඥයෝ අනතුරු අඟවති.

පොහොර මිල ඉහල යාම සහ පොහොර හිඟය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ගම්බද දුගී ගොවින් බරපතල ව්‍යසනයකට මුහුන දී සිටින අතර රට තුල ආහාර මිල ඉහල යාමේ සහ හිඟයක් ඇති වීමේ තර්ජනය ඉස්මතු කර ඇත.

ආන්ඩුව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම ද ඒ සමග තීව්‍ර කර ඇත. 2023 මාර්තු මාසයේ දී ජාමූඅ විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3ක ඇප නයක් ලබා දීමට එකඟවීමේ දී නියම කෙරුනු කප්පාදු පියවර වලින් ක්‍රියාවට දැමීමට ඉතිරි ව ඇති ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වූ තවත් කාර්ය මන්ඩල මට්ටමේ ගිවිසුමක් මුදල් ඇමතිවරයා ද වන ජනාධිපති දිසානායක ජාමූඅ සමග අප්‍රේල් 9 වෙනි දා අත්සන් කලේ ය.

ඇප නය මුදලේ පස්වන සහ හයවන වාරික ලෙස ඩොලර් මිලියන 700ක් ලබා දීමට ජාමුඅ එකඟ වී ඇතත්, ආන්ඩුව ජාමූඅ විසින් යෝජිත ප්‍රතිසංස්කරන සහතික වශයෙන් ක්‍රියාවට දමන තුරු එය ජුනි මාසය දක්වා කල් දමා ඇත. “පිරිවැය-ප්‍රතිසාධන විදුලිය සහ ඉන්ධන මිලකරනය යථා තත්ත්වයට පත් කිරීම” ප්‍රධාන කොන්දේසියකි.

“පිරිවැය-ප්‍රතිසාධන විදුලිය සහ ඉන්ධන මිලකරනය යථා තත්ත්වයට පත් කිරීම” යනු විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල, පිරිවැයට සරිලන මට්ටමට වැඩි කිරීමයි. ලංකා විදුලි බල මන්ඩලය කොටස්වලට කඩා සමාගම් 6 කට පවරා ඇති අතර සේවකයෝ රැකියා අනාරක්ෂිතභාවයට මුහුන දී සිටිති.

නිල දත්ත වලට අනුව, විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල ඉහල දැමීම කොලඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය මාර්තු මාසයේ දී සියයට 2.2 සිට අප්‍රේල් මාසයේදී සියයට 5.4 දක්වා ඉහල නැගුනි. ආහාර නොවන උද්ධමනය සියයට 2.9 සිට සියයට 6.8 දක්වා ඉහල ගියේ ය.

ජනවාරි මාසයේ රුපියල් 16,730ක් ව පැවති දරිද්‍රතා රේඛාව පෙබරවාරි මාසයේ රු:16,571 දක්වා පහත වැටුන නමුත් මාර්තු මාසයේ දී එය රු:16,690 විය. දරිද්‍රතා රේඛාව යනු එක් පුද්ගලයකුට සිය ආහාර සහ ආහාර නොවන මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මාසික වියදමයි. උද්ධමනයේ සහ දරිද්‍රතා රේඛාවේ ඉහල යාම මහජනතාවගේ ජිවන තත්වයන් තියුනු ලෙස ඛාදනය වෙමින් පවතින බව ඇඟවුම් කරයි.

ජාමූඅ කප්පාදු යටතේ ප්‍රතිව්‍යුහකරනය සහ පුද්ගලිකරනය කෙරෙන රාජ්‍ය අංශයේ ආයතන 400කට වැඩි සංඛ්‍යාවක කම්කරුවන් 500,000ක් දොට්ට වැටීමට නියමිත අතර යුද්ධය විසින් තීව්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටෙන ඇඟලුම්, සංචාරක, ගොඩනැගීම් ආදී කර්මාන්තවල දස දහස් ගනනක් කම්කරුවන්ගේ රැකියා අහිමිවීමේ තර්ජනය මතු කෙරී ඇත.

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය( ජවිපෙ/ජාජබ) ආන්ඩුව කෙරෙහි කම්කරුවන්, ගම්බද සහ නාගරික දුගීන් අතර බරපතල කෝපයක් වර්ධනය වෙමින් ඇත. කම්කරුවන් සහ දුගීන් අතර ඇවිලෙන මෙම විරුද්ධත්වය, 2022 මහජන නැගිටීම අභිබවා යා හැකි සමාජ පිපිරිමක් සිදුවනු ඇතැයි ආන්ඩුව ගනන් බලයි.

ආන්ඩුව 2025 දෙසැම්බර් මස මුලදී දිට්වා සුලි කුනාටුවෙන් පසු පනවන ලද කුරිරු හදිසි නීති රෙගුලාසි දීර්ඝ කිරීම සඳහා මැයි 7 ආන්ඩුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම, වැඩ වර්ජන ඇතුළු පන්ති ක්‍රියාවන් සාපරාධිකරනය කිරීමේ අත්‍යවශ්‍ය සේවා නීති ක්‍රියාත්මක කිරීම, සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමේ නමින් නව මර්දන අනපනත් ගෙන ඒමට සුදානම් වන්නේ එම තතු තුලය.

ජවිපෙ/ජාජබ ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන වෛරය ගසාකෑම සඳහා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන ඇතුළු විපක්ෂයේ ධනපති පක්ෂ ආන්ඩුව ගැන ඇල්මැරුන විවේචන ඉදිරිපත් කරන නමුත් යුද්ධයේ බර සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල වැඩකරන ජනතාව මත පැටවීම සහ රාජ්‍ය මර්දනය උත්සන්න කිරීම කෙරෙහි මෙම පක්ෂවල මොන ම විරුද්ධත්වයක් හෝ නැත.

ධනේශ්වර පක්ෂ සමඟ පෙලගැසී සිටින වෘත්තීය සමිති, යුද්ධය විසින් නිර්මිත අර්බුදය මධ්‍යයේ කම්කරුවන්ට එරෙහි ව උත්සන්න වන ප්‍රහාර සම්බන්ධයෙන් මුලුමනින් ම නිහඬව සිටිති. සමිති නායකයෝ යුද්ධයට පෙරාතුව පැන නැගුන, සෞඛ්‍ය, විදුලිබල, තැපැල්, දුම්රිය හා අධ්‍යාපන අංශවල වෘත්තීය අරගල හැකි තරම් සිමා කිරීමට අරගල මැඬ පැවැත්වීමට සහ ඒකාබද්ධ කම්කරු පන්ති ව්‍යාපාරයක මතුවීම වැලැක්වීමට කටයුතු කලහ.

රැකියා සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා වන කම්කරුවන්ගේ අරගල, යුද්ධයට සහ එය උත්පාදනය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනකි. වෘත්තීය සමිතිවල ජාතිකවාදී සීමාවන් තුල හා එහි නායකත්වයන් හරහා මෙම අරගලය ජයගත නොහැකි ය. එම අරගලය සංවිධානය කිරීමේ සහ වර්ධනය කිරීමේ වගකීම කම්කරු පන්තිය තමන් අතට ගත යුතු ය. ඒ සඳහා වෘත්තීය සමිතිවලින් බිඳී නව සංවිධාන ව්‍යුහයක්, එනම් ස්වකිය ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන කම්කරු නියෝජිතයන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටු සෑම වැඩපලක ම, සේවා ස්ථානයක ම සහ වතුකරය තුල පිහිටුවා ගත යුතු ය.

විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම මුළුමනින් ම අත්හිටුවීම, කම්කරුවන් සහ ගම්බද දුගීන් ඇතුලු පිඩිත ජනයා සඳහා අවශ්‍ය සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ කාර්ය භාරයට මෙම කමිටු උරදිය යුතු ය.

මෙම අරගලය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, ධනපති කර්මාන්ත සහ වතු, කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම, ධනපතියන් අත සමුච්චිත ව පවතින දැවැන්ත ධනස්කන්ධය අත්පත් කර ගැනීම සහ ඒවා පුලුල් මහජනතාවගේ පොදු ආර්ථික සහ සමාජ අවශ්‍යතා සඳහා යෙදවීම සහ සුලුතරයේ ලාභ ඉපයීමට කැප වූ ධනපති නිෂ්පාදන ක්‍රමය අහෝසි කර බහුතතර මහජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාව දැමීමට කැප වන්නා වූ කම්කරුවන්ගේ හා ගොවීයන්ගේ ආන්ඩුවක් සඳහා සටන සමග ඒකාබද්ධ කල යුතු ය.

Loading