ශ්‍රී ලංකාවේ ආන්ඩුව මර්දනකාරී හදිසි නීති පාලනය  තවත් මසකින් දීර්ඝ කරයි

මැයි 7 වන දින, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මර්දනකාරී හදිසි නීතිය අඛන්ඩ ව හය වන මාසයටත් දීර්ඝ කිරීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. එය මුලින් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ පසුගිය වසරේ නොවැම්බර් අග දී ඇති වූ දිත්වා සුලි කුනාටුවත් සමග ය.

එදින ම, පාර්ලිමේන්තුව, රාජ්‍ය අංශයේ ප්‍රධාන අංශ ආවරනය වන පරිදි  “අත්‍යවශ්‍ය මහජන සේවා” රෙගුලාසි ද මසකින් දීර්ඝ කිරීම අනුමත කලේ ය. දිසානායක ආන්ඩුව යටතේ, ප්‍රථම වරට 2025 සැප්තැම්බර් මාසයේ දී අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පනවන ලද්දේ, පුද්ගලීකරන පියවරයන්ට එරෙහි ව ලංකා විදුලිබල මන්ඩල සේවකයින් අතර වැඩෙමින් තිබු සටන්කාමීත්වය මැඬ පැවැත්වීම සඳහා ය. දිත්වා සුලි කුනාටුව රටට කඩා වැදුනු විට, තවත් සේවාවන් කිහිපයක් ද අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට එකතු කරන ලදී.

මෙම මර්දනකාරී නීති පැනවීම සමඟින්, ජනාධිපතිවරයා පුලුල් ඒකාධිපති බලතල වලින් සන්නද්ධවීමේ තම වැඩපිලිවෙල ඉදිරියට ම ගෙන යයි. මහජන ආරක්ෂක ආඥා පනතේ කොටසක් වන හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම, පවතින නීති අභිබවා යාමට ජනාධිපතිවරයාට බලය ලබා දෙයි.

මෙම අසාමාන්‍ය බලතල යටතේ, වැඩ වර්ජන සහ විරෝධතා වලට එරෙහි ව හමුදාව සහ පොලිසිය යෙදවීමට, රැස්වීම් සීමා කිරීමට, සාමාන්‍ය අධිකරන ක්‍රියා පටිපාටි නොමැති ව පුද්ගලයින් රඳවා තබා ගැනීමට, වාරනය ක්‍රියාත්මක කිරීමට සහ වැඩ වර්ජන තහනම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වේ.

අත්‍යවශ්‍ය සේවා පනත යටතේ, රාජ්‍ය සේවාවන්හි සේවකයින්ට කිසිදු ආකාරයක කාර්මික ක්‍රියාමාර්ගයක යෙදීම හෝ එවැනි ක්‍රියාමාර්ග සඳහා උද්ඝෝෂනය කිරීම තහනම් කර ඇති අතර, දේශපාලන පක්ෂ, සිවිල් කන්ඩායම් හෝ මාධ්‍ය ඇතුලු කිසිවෙකුට එවැනි ක්‍රියාමාර්ග සඳහා “පෙලඹ වීමට” නොහැකිය. මේ නීති උල්ලංඝනය කිරීම යටතේ සිර දඬුවම් සහ දඩ මුදල් පැනවිය හැකි ය.

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා හදිසි නීතියේ නවතම දීර්ඝ කිරීම ඉදිරිපත් කරමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කලා ය: “විනාශකාරී දිත්වා සුලි කුනාටුවෙන් පසු ව සහ මැද පෙරදිග ගැටුම සැපයුම් කෙරෙහි ඇති කරන බලපෑම සලකා බලමින්, ආන්ඩුව හදිසි නීතිය තවත් මාසයකට දීර්ඝ කරනු ඇත...”

අඩුම තරමින් කිවහොත්, හදිසි නීති “දේශපාලන මර්දනය සඳහා නොව, ප්‍රතිසංස්කරන සේවා කඩිනම් කිරීම සඳහා” බවට ඇය කරන ප්‍රකාශය මුලුමනින් ම කුහකක ය. මර්දනකාරී හදිසි නීති තවමත් සම්පූර්නයෙන් ක්‍රියාත්මක කර නොමැති වුව ද, එයින් අදහස් වන්නේ ඒවා දේශපාලන මර්දනය සඳහා භාවිතා නොකරන බව නොවේ.

හදිසි බලතල අඛන්ඩ ව දීර්ඝ කිරීම සහ මානුෂීය සහන ලබාදීම් අතර කිසිදු සම්බන්ධයක් නැත. දිත්වා සුලි කුනාටුවෙන් මාස පහකට වැඩි කාලයක් ගත වී ඇතත්, බොහෝ අය තවමත් තාවකාලික කඳවුරුවල හෝ ඥාතීන් සමඟ ජීවත් වෙති. ව්‍යසනයෙන් සිදු වූ හානිය සඳහා බොහෝ දෙනෙකුට වන්දි ලැබී නැත.

සඳුදා සිට, ජනාධිපති දිසානායක පෞද්ගලිකව දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවලට සහභාගී වෙමින් තවමත් ආධාර නොලැබුනු බොහෝ දෙනෙකුට වන්දි බෙදා හරින්නේ කෙසේද හෝ කපා හරින්නේ කෙසේද යන්න රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටී.

මෙම කුරිරු රෙගුලාසි පවත්වා ගෙන යනු ලබන්නේ වේගයෙන් ගැඹුරු වන ආර්ථික අර්බුදය සහ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු න්‍යාය පත්‍රයට එරෙහිව කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් අතර වැඩෙන විරෝධය මධ්‍යයේ ය.

“මැදපෙරදිග ගැටුමෙන් සැපයුම් කෙරෙහි ඇතිවන බලපෑම” හදිසි නීතිය පැනවීම සඳහා ප්‍රධාන හේතුවක් ලෙස අමරසූරිය සඳහන් කරයි. මැදපෙරදිග ගැටුම යනු ඉරානයට එරෙහි එක්සත් ජනපද සාපරාධී යුද්ධය මිස අන් කිසිවක් නොවේ, නමුත් කොලඹ ආන්ඩුව එය එහි සැබෑ නමින් හැඳින්වීමට මැලි වන්නේ එය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය සමඟ පෙලගැසී සිටින බැවිනි.

ජාමූඅ කප්පාදුවලට අමතර ව, යුද්ධයෙන් තීව්‍ර වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් සහ දුප්පතුන් මත පැටවීමට ආන්ඩුව පටන් ගෙන තිබේ. යුද්ධය ආරම්භ වූ දා සිට, ආන්ඩුව ඉන්ධන, ගෑස් සහ විදුලි ගාස්තු පිලිවෙලින් සියයට 40, 31 සහ 32 කින් වැඩි කර තිබේ. පොහොර මිල ද ඉහල ගොස් ඇති අතර ගොවීන් අතර කෝපය ඇවිලෙමින් පවතී. ජීවන වියදම් දර්ශකය මාර්තු මාසයේ සියයට 2.2 සිට අප්‍රේල් මාසයේදී සියයට 5.4 දක්වා පිම්මකින් ඉහල ගියේ ය.

බ්‍රහස්පතින්දා, නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ සභාපතිත්වය දරමින් දිසානායක රැස් ව සිටි පිරිසට පැවසුවේ යුද්ධය ආරම්භ වූ දා සිට ඉන්ධන මිල හය ගුනයකින් ඉහල ගොස් ඇති බවත් ආන්ඩුවට එම බර අඛන්ඩ ව දරාගත නොහැකි බවත්‍ ය. ඉන්ධන, ගෑස් සහ විදුලි මිල තවදුරටත් ඉහල දැමීම ආන්ඩුවේ න්‍යාය පත්‍රයේ  ඇති බව ඔහු එලෙස අඟවා ඇත. 

බලයේ සිටි ආන්ඩුව හෙලමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කෙරුනු 2022 දී මාස හතරක මහජන නැගිටීමකට මුහුන දුන් ලංකාවේ පාලක පන්තිය හා ජවිපෙ/ජාජබ ආන්ඩුව වැඩෙන අර්බුදය නිසා නොසන්සුන් වී සිටී.

ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ ජනාධිපතිවරයාට පුලුල් මර්දනකාරී බලතලවලින් සන්නද්ධ වීමට නරුම ලෙස සහාය දී ඇත. සුලි කුනාටුව රට විපතට පත්කල විට හදිසි තත්වයක් පනවන ලෙස මෙම පක්ෂ ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ.

මැයි 7 වන දින, මන්ත්‍රීවරුන් 42 දෙනෙකුගෙන් යුත් සමගි ජන බලවේගය ඇතුලු විරුද්ධ පක්ෂ හදිසි නීතියට එරෙහි ව ඡන්දය දීමෙන් වැලකී එය සම්මත කිරීමට සහාය වූහ. හදිසි නීති සහ ප්‍රති-ත්‍රස්ත නීති යටතේ දශක ගනනාවක් තිස්සේ මර්දනයට මුහුන දුන් දෙමල ජනතාවගේ කෝපයට බියෙන් දෙමල පක්ෂ මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමනක් මෙම දීර්ඝ කිරීමට එරෙහි ව ඡන්දය දුන්හ. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කථානායකවරයා අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි දීර්ඝ කිරීම ඉදිරිපත් කල විට ඔවුන් සියල්ලෝ ම ඊට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලහ.

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහි කම්කරුවන්ගේ අරගල සීමා කරන, මෙම කුරිරු නීති දෙක පැනවීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති තන්ත්‍රය සම්පූර්නයෙන් ම කට පියාගෙන සිටියි.

දුම්රිය, තැපැල්, ලංවිම සහ සෞඛ්‍ය අංශයේ සේවකයින්ගේ බලකිරීම මධ්‍යයේ, මීට පෙර විරෝධතා සංවිධානය කල වෘත්තීය සමිති සියලු ම කාර්මික ක්‍රියාමාර්ග අත්හිටුවා ඇත.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයෝ අප්‍රේල් මස මුල දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ, කාර්මික ක්‍රියාමාර්ග ආරම්භ නොකරන බවට පොරොන්දු වූහ. වෘත්තීය සමිති නායක ප්‍රියන්ත ප්‍රභාත් මාධ්‍යයට පැවසුවේ සියලු ම වෘත්තීය සමිති “මැදපෙරදිග ගැටුමෙන් පැන නගින අභියෝග සහ ඒවාට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය පිලිබඳ ඔවුන්ගේ අවබෝධය” එහි දී ප්‍රකාශ කල බවයි. ආන්ඩු‌වේ ක්‍රියාමාර්ගවලට “බාධා” නොකරන බව ඔවුහු සහතික වූහ.

දේශපාලන විරුධත්වයන් සහ කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා හදිසි බලතල භාවිතා කිරීම පිලිබඳව කොලඹ ආන්ඩුවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි වසර 26 ක වාර්ගික යුද්ධයේ දී හදිසි නීති රෙගුලාසි මගින් අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, වාරන, මිලිටරි මර්දනය සහ පුලුල් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු කෙරුනි.

පසුගිය මාස 18 ක පාලනය තුල, දිසානායක ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා නීති භාවිතා කරමින් කම්කරුවන්ගේ අරගල මැඬ පැවැත්වීම සඳහා හමුදාව සහ පොලිසිය බලමුලු ගන්වා ඇත. ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයෙන් තීව්‍ර වන ගෝලීය අර්බුදය මධ්‍යයේ, ඒකාධිපති, ආඥාදායක සහ ෆැසිස්ට් පාලනයන් කරා ජාත්‍යන්තර පාලක පන්තීන්ගේ හැරීම අනුයමින් දිසානායක ආන්ඩුව ද පුලුල් බලතලවලින් සන්නද්ධ වෙමින් සිටී.

වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන කිසිදු කන්ඩායමක් පාලක ප්‍රභූව තුල නොමැත. වෘත්තීය සමිති නිලධරය, පන්ති අරගලය ධනේශ්වර පන්තියේ අවශ්‍යතාවලට යටත් කර ඇති අතර ආන්ඩුවේ ඉත්තන් වී සිටිති. 

ජීවන තත්වයන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන වැඩෙන ප්‍රහාරවලින් පෙන්නුම් කරන්නේ, වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනේශ්වර පක්ෂවලින් සම්පූර්නයෙන්ම වෙන් ව, වැඩබිම් සහ අසල්වැසි ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් මූලිකත්වය ගැනීමේ අවශ්‍යතාවයයි.

හදිසි නීති පාලනයට, කප්පාදු වලට සහ යුද්ධයට එරෙහි සටන, සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක්, එනම් මහා ව්‍යාපාරවල සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ලාභ සඳහා නොව ධනේශ්වර පාලනය පෙරලා දමා වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා සඳහා සමාජය ප්‍රතිසංවිධානය කරන ආන්ඩුවක්, සඳහා වන අරගලය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත.   

Loading