අගමැති අමරසූරිය, උසස් පෙල සුදුසුකම් ලත් සිසුන් 130,000 කට විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි කිරීම සාධාරනීකරනය කරයි

2025 අපොස උසස් පෙල විභාගයෙන් සුදුසුකම් ලබන සිසුන්ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගන්නා සංඛ්‍යාවේ වැඩිවීමක්, පෙර වසරට සාපේක්ෂ ව, සිදු නොවන බව අගමැතිනි හරිනි අමරසූරිය මැයි 6 වන දින පාර්ලිමේන්තුවට පැවසී ය. අධ්‍යාපන ඇමතිනිය ද වන අමරසූරිය ඉදිරිපත් කල සංඛ්‍යාලේඛනවලට අනුව, විභාගයට සිසුන් 281,810 ක් පෙනී සිටි අතර 176,538 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුලත්කර ගන්නේ සිසුන් 42,937 ක් පමනි.

අගමැතිනී සහ අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” පිලිබඳ සාකච්ඡාවක දී අදහස් දක්වමින් [Photo: Facebook/Harini Amarasuriya]

මෙම තීරනය සාධාරනීකරනය කිරීමට උත්සාහ කරමින් අමරසූරිය කියා සිටියේ විශ්ව විද්‍යාල පහසුකම් සහ පාඨමාලා ප්‍රමිතීන් වැඩිදියුනු කරන අතරම “ගුනාත්මක අධ්‍යාපනය” පවත්වා ගැනීම සඳහා ඇතුලත් කිරීම් සීමා කිරීම අවශ්‍ය බවයි. යථාර්ථයේ දී, මෙයින් අදහස් කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් 130,000 කට වැඩි පිරිසකට උසස් අධ්‍යාපනයට ප්‍රවේශය අහිමි වන බවයි.

මෙය අහම්බයක් හෝ තාවකාලික පරිපාලන ගැටලුවක් නොවේ. එය අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ ගෙනගිය අධ්‍යාපන කප්පාදුවල ප්‍රතිඵලයක් වන අතර දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝග යටතේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව විසින් තීව්‍ර කර ඇත.

“ගුනාත්මක අධ්‍යාපනය” ආරක්ෂා කිරීම පිලිබඳ අමරසූරියගේ ප්‍රකාශ මුලුමනින්ම වංචනික ය.

උසස් අධ්‍යාපනයේ අර්බුදය නිර්මානය කරන ලද්දේ සිසුන් විසින් නොව, අධ්‍යාපන වියදම් ක්‍රමානුකූල ව කපා හැරීම, දේශන ශාලා සහ නේවාසිකාගාර ඉදිකිරීමට අපොහොසත් වීම සහ ප්‍රමානවත් අධ්‍යයන කාර්ය මන්ඩලයක් හෝ පහසුකම් නොමැති තත්වයට විශ්ව විද්‍යාල ඇද දැමීම ය. ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 කටත් වඩා අඩු මුදලක් වැය කරන අතර රාජ්‍ය අධ්‍යාපනයට අවම ප්‍රතිපාදන වෙන් කරන රටවල් අතර පවතී.

ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ, දල දේශීය නිෂ්පාදිතයෙන් කොටසක් ලෙස උසස් අධ්‍යාපනය සඳහා වන වියදම් තවදුරටත් පහත වැටී ඇත. පෙර වසරවල එය සියයට 0.5–0.6 ක් පමන වූ සොච්චම් මට්ටමක පැවතුනු අතර, දැන් එය සියයට 0.44 දක්වා පහත වැටී ඇත. මෙම අරමුදල්වලින් වැඩි ප්‍රමානයක් වැටුප් හා නඩත්තු වියදම් සඳහා යොදවන අතර, පුලුල් කිරීම හෝ සංවර්ධනය සඳහා ඉතිරි වන්නේ ඉතා සුලු මුදලක් පමනි.

ප්‍රතිවිපාක දරුනු ය. විශ්වවිද්‍යාල දේශන ශාලා, නේවාසිකාගාර සහ අධ්‍යයන කාර්ය මන්ඩලයේ විශාල හිඟයකට මුහුන දී සිටී. පහසුකම් සහ කථිකාචාර්යවරුන් නොමැතිකම හේතුවෙන් බොහෝ පලමු වසරේ පන්ති මාර්ගගත ව පවත්වනු ලැබේ. පසුගිය වසරේ ශිෂ්‍ය විරෝධතාවලින් හෙලි වූයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කථිකාචාර්යවරුන් 12,900 ක් පමන අවශ්‍ය වුව ද, සේවයේ නියුතු වන්නේ 6,548 ක් පමනක් බවයි.

පිරිහෙන කොන්දේසි වලට, ජීවන වියදම් ඉහල යාමට සහ අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහි ව රට පුරා සිසුන් නැවත නැවතත් විරෝධතා දක්වා තිබේ. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් දැනට පීඨ පාඨමාලා දෙකක් අත්හිටුවීමට ගන්නා පියවරයන්ට එරෙහි ව විරෝධතා දක්වමින් සිටිති.

සෑම වසරක ම විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි කරන ලද සිසුන්ගෙන් බහුතරයක් අඩු වැටුප් සහිත සහ සූරාකෑමේ රැකියාවලට තල්ලු කරනු ලැබේ. තවත් සමහරු රැකියා සොයා විදේශගත වෙති. දහස් ගනනක් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුලුවීමට තල්ලු කෙරෙන අතර, බොහෝ කම්කරු පන්තික සහ ග්‍රාමීය පවුල් දැවැන්ත වියදම් පියවා ගැනීම සඳහා නය වෙති; ඉඩම් හෝ දේපල විකුනති.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන සහ දෙමල ධනපති පක්ෂ ඇතුලු විරුද්ධ පක්ෂ මෙම අර්බුදයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නොමැත. මහා ව්‍යාපාරිකයන්ගේ සහ ධනේශ්වර වෙලඳපොලේ ඉල්ලීම් සපුරාලීම සඳහා ජාමූඅ හි කප්පාදු පියවර සහ අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලු දෙනා කැප වී සිටිති.

ආන්ඩුවේ යෝජිත “අධ්‍යාපන ප්‍රතිසංස්කරනවල” ඉලක්කය වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම නොව, අධ්‍යාපන‌ය ශ්‍රම වෙලඳපොල සඳහා දිශාගත කිරීම සහ පුද්ගලීකරනය වේගවත් කිරීමයි. ජාමූඅ හි විධානය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ආරම්භ කරන ලද “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව” මත මෙම ප්‍රතිසංස්කරන ක්‍රියාත්මක වේ.

පටු වෘත්තීය විෂය ධාරාවන් ප්‍රවර්ධනය කරන අතර ම ඉතිහාසය සහ සෞන්දර්යය වැනි විෂයයන් දුර්වල කිරීමේ යෝජනා පිලිබඳව ශාස්ත්‍රඥයින් දැනටමත් කනස්සල්ල පල කර තිබේ. ඒ සමඟම, පාසල් නඩත්තු වියදම් වැඩි වැඩියෙන් දෙමාපියන් මතට මාරු වෙමින් පවතින අතර, කුඩා පාසල් 1,500කට වඩා වැසීමට මුහුන දී ඇති අතර, ගුරුවරුන්ගේ හිඟය 40,000 ඉක්මවා ඇත.

ඓනිදහස් අධ්‍යාපනයට එල්ල වන ප්‍රහාරය කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සමාජ අයිතිවාසිකම් මත එල්ල වන පුලුල් ප්‍රහාරයක කොටසකි. නය ආපසු ගෙවීම්, බැංකු ඇපකර සහ හමුදා වියදම් සඳහා බිලියන ගනනක් වෙන් කර ඇති අතර, විශ්ව විද්‍යාල, පාසල් හෝ ගුරුවරුන් සඳහා “මුදල් නැත” යනුවෙන් සිසුන්ට සහ තරුනයින්ට කියනු ලැබේ.

ආන්ඩුවට ආයාචනා කිරීමෙන් හෝ පවතින ශිෂ්‍ය සංගම් සහ වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තැබීමෙන් සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කල නොහැක. ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් පාලනය කරනු ලබන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) වැනි සංවිධාන, ජවිපෙ/ජාජබ ආන්ඩුව මහජන අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තල්ලු කල හැකි බවට මිත්‍යාවන් පතුරුවමින් ආන්ඩුවට බලපෑම් කිරීම අරමුනු කරගත් විරෝධතාවලට ශිෂ්‍ය විරෝධය සීමා කරයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පහත සඳහන් ඉල්ලීම් වටා සිසුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සේවකයින් බලමුලු ගැන්වීමට සටන් වදී:

  • නව විශ්ව විද්‍යාල, පීඨ, දේශන ශාලා, නේවාසිකාගාර සහ පුස්තකාල ඉදිකිරීමෙන් විශ්ව විද්‍යාල ධාරිතාව වහාම පුලුල් කරනු!
  • සැමට ගුනාත්මක අධ්‍යාපනය සහතික කිරීම සඳහා අවශ්‍ය කථිකාචාර්යවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මන්ඩලය බඳවා ගනු!
  • සුදුසුකම් ලබන සියලු ම සිසුන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගනු!
  • අධ්‍යාපනය පෞද්ගලීකරනයට සහ වානිජකරනයට එරෙහි වෙනු!
  • සියලු ම පෞද්ගලික විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන ජනසතු කර ඒවා කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට යටත් කරනු!
  • සැමට නොමිලේ, උසස් තත්ත්වයේ රාජ්‍ය අධ්‍යාපනයේ සම්පූර්න පිරිවැය රජය විසින් දරන බව සහතික කරනු.
  • රාජ්‍ය නය ආපසු ගෙවීම් නතර කරනු! එම මුදල්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සමාජ සුභසාධනය සඳහා යොදවනු!

සියලු දෙනාටම නොමිලේ, උසස් තත්ත්වයේ මහජන අධ්‍යාපනයක් සහතික කිරීම සඳහා සම්පත් ඕනෑ තරම් තිබේ. නමුත්, ඒවා කුඩා ධනවත් ප්‍රභූ පැලැන්තියක් අත සමුච්ඡය වී ඇති අතර මිලියන ගනන් ජනයා දරිද්‍රතාවයට, විරැකියාවට, සමාජ අනාරක්ෂිතභාවයට සහ අධ්‍යාපනය ඇතුලු මූලික සමාජ අයිතීන් අහිමි කිරීමට මුහුන දෙති.  

මෙම ධනපති අතලොස්සේ අවශ්‍යතාවයන් මත ධාවනය වන ධනපති ක්‍රමය තුල ඉහත ඉල්ලීම් සාක්ෂාත් කල නොහැක. එය කල හැක්කේ, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන, එනම් මහා ව්‍යාපාර, ෆැක්ටරි, වතු සහ බැංකු කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරමින් පුද්ගලික ලාභය වෙනුවට සමාජ අවශ්‍යතා මත සමාජය ප්‍රතිසංවිධානය කරන, කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි. 

එම සටන ප්‍රජාතන්ත්‍රවාදී ව සම්බන්ධීකරනය කිරීම සඳහා සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින්, පාසල්, විශ්වවිද්‍යාල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව, ධනපති පක්ෂ වලින් සහ වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ස්ථාපිත කල යුතු ය. එම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා විශ්වවිද්‍යාල සහ පාසල්වල සසජාතශි ශාඛා ගොඩනඟන ලෙස අපි සිසුන්ගෙන් සහ තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading