අන්තර්ජාල සාකච්ඡාව: අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක්

සමාජවාදී සමානතා පක්ෂයේ තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයට (අවිශිබම) අනුබද්ධ කැලනිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය (කැවිශිස) විසින් ප්‍රකාශයට පත් කරන ලද “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” නමැති පොත පිලිබඳව, ජුනි 3, සවස 7ට – Zoom හරහා විශේෂ අන්තර්ජාල සාකච්ඡාවක් පවත්වයි. මේ සාකච්ඡාව සඳහා මෙම සබැඳියෙන් ලියාපදිංචි වන්න.

“තෙල බෙදීම” නමින් සිසුන් අතර ප්‍රචලිත කොට ඇති මෙම පොතේ අන්තර්ගතයම රැගත් ප්‍රකාශන අවිශිබමයට අනුබද්ධ මහා ශිෂ්‍ය සංගම් විසින් විශ්වවිද්‍යාලවලට පැමිනෙන නවක සිසුන්ට වනපොත් කරවමින් තම දෘෂ්ටිවාදයට බලාත්කාරයෙන් නතු කර ගැනීමේ ව්‍යාපාරයක් ගෙන යයි.

ඒ හරහා අවිශිබම, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විප්ලවවාදී කම්කරු පන්තික දේශපාලනයට, එනම් අව්‍යාජ මාක්ස්වාදයට යොමු වීම වලක්වමින් “දූෂිත මහා සමාජයට” එරෙහි “විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කෘතියක්” ගැනත්, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයට එරෙහි ව “ශිෂ්‍ය දේශපාලනය” ගැනත් ප්‍රතිගාමී මත සිසුන් අතර වගාදිගා කරයි.

“ප්‍රතිසංස්කෘතියක ඇරඹුම” හි ප්‍රතිගාමී මත ඛන්ඩනය කරමින්, එය අනන්‍යතා දේශපාලනය, සුලු ධනේශ්වර සංස්කෘතික ප්‍රතිගාමීත්වය සහ අසාර දර්ශනය ප්‍රවර්ධනය කරන ආකාරය හෙලිදරවු කරමින් සසජාතශි, “ප්‍රතිසංස්කෘතියක ඇරඹුම: කැලනිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පොත ප්‍රතිගාමී අනන්‍යතා දේශපාලනය ප්‍රවර්ධනය කරයි” යන මැයෙන් පොතක් එලිදක්වා ඇත.

එම පොත මත පාදක වෙමින් මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ දැඩි ජාත්‍යන්තර හා දේශීය අර්බුදයක් මධ්‍යයේය. ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය මැද පෙරදිග පමනක් නොව, සමස්ත ලෝකයම තුන්වන ලෝක යුද්ධයකට ඇද දමමින් සිටී. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවේ ජනතාවට ද දරුනු ලෙස බලපායි.

විදුලිබල, ඉන්ධන හා අත්‍යවශ්‍ය සේවාවන් වෙලඳපොල ලාභයට යටත් කිරීම, බදු වැඩි කිරීම සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීම මගින්, ජනාධිපති දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජීවන තත්වයන් තවදුරටත් විනාශ කරයි.

සසජාතශි අවධාරනය කරන්නේ, යුද්ධය, කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි සටන ගෙන යා හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම මගින් පමනක් බවයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධ ප්‍රහාරවලට සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ අරගලය, වාර්ගික හෝ අනන්‍යතා දේශපාලනය මත නොව, පන්ති එකමුතුව මත ගොඩනැගිය යුතුය.

මෙම තත්වය යටතේ, අවිශිබම විශ්වවිද්‍යාල තුල ප්‍රවර්ධනය කරන අනන්‍යතා දේශපාලනය, තරුනයන් කම්කරු පංතියෙන් ඉවතට හරවා, සිංහල, දෙමල, මුස්ලිම් වාර්ගිකත්වය, ලිංගිකත්වය, සංස්කෘතිය හෝ පුද්ගල අනන්‍යතා මත පදනම් වූ බෙදීම් මගින්, පන්ති අරගලය දුර්වලකොට පාලක පන්තියට වාසි සලසයි.

මෙම කරුනු විස්තාරනය කෙරෙන මෙම වැදගත් සාකච්ඡාවට සහභාගී වන ලෙස අපි තරුනයන්, ශිෂ්‍යයන්, කම්කරුවන් සහ බුද්ධිමතුන් සියලු දෙනාට ආරාධනා කරමු.

දිනය: ජුනි 3

වේලාව: සවස 7.00

Zoom සාකච්ඡාවට මෙ තැනින් ලියාපදිංචි වන්න.

Loading