මෙහ්රිං පොත් වෙතින් අභිනව ග්‍රන්ථයක්

කලාව සහ විප්ලවයේ ආනුභාව

[මෙය Art and the Influence of Revolution මැයෙන් 2026 අප්‍රේල් 14දා පල කල ලිපියේ පරිවර්තනයයි.]

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පල වූ රචනා සමුච්චයක්, එම වෙබ් අඩවියෙහි කලා සංස්කාරක ඩේවිඩ් වොල්ශ්ගේ සංස්කරනයෙන් යුතුව මුද්‍රනද්වාරයෙන් නිකුත් වීම මෙහ්රිං පොත් ප්‍රකාශකයෝ සතුටින් නිවේදනය කර සිටිත්: Art and the Influence of Revolution (කලාව සහ විප්ලවයේ ආනුභාව). මෙහි සංස්කාරකගේ පූර්විකාව අපි අද ප්‍රකාශයට පත් කරමු. මේ කෘතිය Mehring.com වෙතින් ලබා ගත හැක.

1925 වසරේ මංසලකුනු බවට පත් කලාත්මක මස්තකප්‍රාප්ති මත කේන්ද්‍රගත වන මේ රචනා සමුච්චය, උසස් ගනයේ බුද්ධිමය නිර්මානය සහ විසිවැනි සියවසේ මුල් කාර්තුවේ සමාජ නැගිටීම් අතර පැවති ප්‍රගාඪ සබඳතාව ගවේශනය කරයි. ඩ්‍රයිසර්, ෆිට්ස්ජෙරාල්ඩ්, හෙමිංවේ ආදීන්ගෙන් නියෝජනය වූ අමෙරිකානු සාහිත්‍යයේ සමෘද්ධිය හුදෙකලා ප්‍රපංචයක් නො ව, එක්සත් ජනපදය ගෝලීය බලවතෙකු ලෙස ඉස්මතු වීමට ද, 1917 බොල්ශෙවික් විප්ලවය මගින් යෙදුනු අනල්ප සංස්කෘතික ‘පීඩනයට’ ද දැක්වුනු ප්‍රතිචාරයක් බවට වොල්ශ් තර්ක කරයි. යථාර්ථවාදය කෙරෙහි කැප වීම සහ වෛශයික සත්‍යය හඹා යෑම විසින් යුද්ධය හා විප්ලවය මගින් නිර්වාචිත යුගයක යාත්‍රනයට මේ කලාකරුවන් හට ඉඩ සැලසිනි.

1925 වසරේ ඓතිහාසික ජයග්‍රහනයන්ට ප්‍රතිකූල ව, පශ්චාත් නූතනවාදී අතාර්කිකත්වය සහ බාහිර යථාර්ථයෙන් නරුම ලෙස පසුබැසීම මගින් සංලක්ශිත සමකාලීන බුද්ධිමය ක්ශය වීම පිලිබඳ දරුනු අභිචෝදනාවක් පෙරවදනෙහි ඉදිරිපත් වෙයි. කලාව, සමාජ ජීවිතය කෙරෙහි උපේක්ශාසහගත විය යුතු ය යන මතය බැහැර කරන වොල්ශ්, චිරස්ථායී හා අරුත්බර කලා නිර්මානයක් වාත්තු කල හැක්කේ අපේ යුගයේ මූලික අභියෝග සමඟ පොරබැදීමෙන් පමනකැයි අවධාරනය කරයි.

*****

සංස්කාරකගේ පූර්විකාව

කලාව සහ විප්ලවයේ ආනුභාව යනු ශතවර්ශයකට පෙර, එනම්, 1925 දී ප්‍රකාශිත හෝ නිර්මිත නවකථා, චිත්‍රපට, කාව්‍ය හා සංගීතය විශයෙහි ව්‍යාවෘත ලිපි හා රචනා එකතුවකි. ආරම්භක ලක්ශය, අදාල කලාකෘති කලාමය හා බුද්ධිමය වසයෙන් තත්කාලීන පරිශ්‍රමයන්ට වඩා ඉහල මට්ටටමක පවතින බව හඳුනා ගැනීමක් මෙන් ම සමස්ත මස්තකප්‍රාප්තිය ශක්‍ය වූයේ කවර දෑ මගින් දැයි නිර්නය කිරීමේ වෑයමක් ද විය.

තියොඩෝර් ඩ්‍රයිසර්

1925 වසර අමෙරිකානු සාහිත්‍යයේ උච්චතර ලක්ශයක් හැටියට පවතී: ඩ්‍රයිසර්ගේ An American Tragedy (ඇමරිකානු ශෝකාන්තයක්), ෆිට්ස්ජෙරාල්ඩ්ගේ The Great Gatsby (මහලොකු ගැට්ස්බි), ඩොස් පැසොස්ගේ Manhattan Transfer (මැන්හැටන් දුම්රියපොල), ලුවිස්ගේ Arrowsmith (ඇරෝස්මිත්) සහ හෙමිංවේගේ In Our Time (අපේ කාලයේ දී) නමැති කෙටිකථා සංග්‍රහය ප්‍රකාශයට පත් වූ අතර, අපරොක්ත ලේඛකයාගේ The Sun Also Rises (හිරු ද නැඟේ) සහ ලැංග්ස්ටන් හියුස්ගේ The Weary Blues (විඩාබර මීයැසිය) ඊලඟ වසර තුල ද, අප්ටන් සින්ක්ලෙයාර්ගේ බෙහෙවින් අසමාකාර වුව කුකුස් දනවන Oil! (තෙල්!) 1927 දී ද නිකුත් විය.

අමෙරිකාව ගෝලීය බලවතෙකු ලෙස ඉස්මතු වීම හා ප්‍රථම ලෝක සංග්‍රාමය සඳහා එහි සහභාගිත්වය, බැර කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය, සුවිසල් නාගරික මධ්‍යස්ථානයන්හි වැඩෙන ගෝලීය හා විශ්වීය ස්වභාවයකින් යුතු කම්කරු පන්තික සංකේන්ද්‍රන සහ බුද්ධිමය ජීවිතය තුල ප්‍රාදේශීයවාදයේ පොදු ඛාදනය ප්‍රමුඛ විවිධ සාධක, වර්ධනීය කලාමය සංකීර්නතාවට හා සමෘද්ධියට දායක විය. මෙකී තතු යටතේ, ප්‍රස්තුත කෘති අතරින් කීපයක ම තර්ක කෙරෙන පරිදි, කොමියුනිස්ට් විරෝධයේ සහ ශාස්ත්‍රාලයීය ලිබරල්වාදයේ මිථ්‍යා කථා නොතකා අමෙරිකානු සංස්කෘතිය විශයෙහි 1917 බොල්ශෙවික් නායකත්වයෙන් යුතු විප්ලවයේ ආනුභාව හා ‘පීඩනය’ අනල්ප විය.

මහලොකු ගැට්ස්බි

නූතන යුගයේ දැවැන්ත ම මහජන නැගිටීම හෙවත් ලෝක විප්ලවයේ ප්‍රථම අදියර, සාර්වත්‍රිකව ධනේශ්වර ක්‍රමයේ පැවැත්ම ප්‍රශ්න කරමින් ලෝක ගෝලයේ අහුමුලු නෑර ජන ජීවිතය සොලවා ලූ අයුරින් ම, අමෙරිකානු ජීවිතය ද සොලවා ලී ය. සමාජවාදී ව්‍යාපාරයේ බලපෑම සහ කම්කරු පන්ති චින්තනය හා ක්‍රියාකාරිත්වය ඉහල නංවනු වස් දශක ගනනාවක් මුලුල්ලේ කෙරීගෙන යන ලද, 1917 විප්ලවයෙන් කූටප්‍රාප්ත එහි අරගලය සැලකිල්ලට ගැනුමෙන් තොර ව, විසිවැනි සියවසෙහි සංස්කෘතික ජීවිතයත් එහි දැවැන්ත ම ජයග්‍රහන හා දැවැන්ත ම පසුබෑම් පිලිබඳ වත් අපේ වත්මන් අභියෝග පිලිබඳ වත් බැරෑරුම් අවබෝධයක් ලැබීම අශක්‍ය ය. සැබවින් ම, රුසියානු-සෝවියට් කලාකරුවන්ට – අයිසන්ස්ටයින්ට, ශොස්ටකෝවිච්ට, ගෝර්කිට හා සෙස්සන්ට මත් ඔක්තෝබර් විප්ලවයේ ආනුභාව ඉතා ම සෘජු හා අවියෝජනීය විය.

මීට අමතරව, 1925 අවසන් සතියෙහි සියදිවි හානි කර ගත්, සෝවියට් කවීන්ද්‍ර සර්ගෙයි එසෙනින් අරබයා ලියොන් ට්‍රොට්ස්කි ලියූ අපූර්ව උපහාරය ද, තරමක් අප්‍රකට නමුදු වැදගත් සෝවියට්-ආර්මේනියානු කිවියර යෙගිශේ චැරන්ට්ස් පිලිබඳ ඇගැයුමක් ද අපි ඇතුලත් කලෙමු. මෙහිලා සාකච්ඡාවට ගැනෙන ලේඛකයන් හා සිනමාකරුවන් හට එකිනෙකාට බෙහෙවින් වෙනස් ඉතිහාසමය හා සෞන්දර්යමය ප්‍රවේශ පැවතිය ද, කලා ගුරුකුලයක් ලෙස නොව ජීවන දර්ශනයක් ලෙස යථාර්ථවාදය කෙරෙහි කැප වීමක් ද, ඒ හැටියට පවතින “ත්‍රිමානවලින් සැදි” ලෝකය කෙරෙහි ගැඹුරු හැඟීමක් සහ එහි අත්‍යවශ්‍ය ගුනාංග ප්‍රකට කිරීමේ අධිශ්ඨානයක් ද ඔවුන්ට පොදු විය. “දැන්, සියල්ලට ම වඩා, මට සත්‍යවාදී වීමට අවශ්‍ය යි” යන ස්ටෙන්ඩාල්ගේ ප්‍රකාශය එකුන්විසි සියවස මුලුල්ලේ හා විසිවැනි සියවස මුල දී කලා පරපුරු සඳහා සේවය කල මුරපදයකි. සැබවින් ම, ඩ්‍රයිසර් එය ඉතා සෘජු ව ම ප්‍රතිරාවය කලේ ය: “සාහිත්‍යමය හා සමාජමය සදාචාරයේ ඓක්‍යය හා සාරය ඇතැම් විට වචන තුනකින් පල කල හැක – සත්‍යය ප්‍රකාශ කරනු!” මේ අතර, කතුවරයෙකුගේ ප්‍රධාන අරමුන වසයෙන් ෆිට්ස්ජෙරාල්ඩ් අවධාරනය කලේ, “ඔබට දැක ගැනුමට සැලැස්වීම” යි.

ද්මිත්‍රි ශස්ටොකෝවිච් 1925 දී

දශක කීපයක අතාර්කිකත්වය, පශ්චාත් නූතනවාදය, පොදු නරුමත්වය හා බුද්ධිමය ක්ශය වීම විසින් දුර්විපාක බිහි කෙරී ඇත. කලාව බාහිර යථාර්ථයෙහි පිලිබිඹුවක් නොව, හුදු අන්‍ය පරිකල්පනරූප යයි අපට පවසනු ලැබේ: දේවල් සතුව පෘශ්ඨ විනා ගැඹුරක් හෝ හරයක් නැත. දැනුම සාමාජීයව ගොඩනැඟී ඇති අතර, “සත්‍යය” (සැම විට ම පෙරලි කොමා යටතේ) මුලුමනින් සාපේක්ශ වන බැවින් කලාවට විශයබද්ධ කැඩපතක් ලෙස ක්‍රියා කල නොහැක. යථාර්ථය නිවැරදිව පිලිබිඹු කිරීම වෙනුවට, කලාව හා චින්තනය පොදුවේ අප ගැන තවදුරටත් සපයනුයේ අස්ථායී හා අවිශ්වසනීය, විටෙක මුලුමනින් නොමඟ යැවෙනසුලු කියාපෑම් පමනි. මෙබඳු සාවද්‍ය හා කලකිරවනසුලු අදහස්වල බලපෑමට මුලුමනින් හෝ පාර්ශ්වීයව හසු වූ කලාකෘතිය, විශ්වාසය කඩ වී, අන්තර්නම්න වී, “ඒ හැටියට පවතින ජීවිතය” කෙරෙහි සමාහරනයෙන් අපසරනය වී දුර්වල නිර්මානයක් බවට පත් වීම නොවැලැක්විය හැකි ය.

වර්තමාන ජීවන තතු සලකා බලන කල්හි මෙය සුලුපටු කරුනක් නොවේ. කලාමය ප්‍රයත්න සහ යටගිය හා වත්මන් ගැටලු සැලකිල්ලට ගනිමින් මේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට අප කටයුතු කරන අතරතුර අමෙරිකානු සහ ඊශ්‍රායල බෝම්බ හා මිසයිල වැසි ඉරානයේ නගරවලට ඇද හැලෙමින් තිබේ. ලේ වැකි නීති විරෝධී යුද්ධය ආරම්භ වූයේ, “අවුරුදු 07-12 වයස් කාන්ඩයේ දැරියන්” 150කට වැඩි පිරිසක් ඝාතනය වන පරිදි දකුනු ඉරානයේ මිනාබ්හි පාසලක් කුඩුපට්ටම් කරමිනි. සුන්බුන් යටින් මතු වූ අඩක් වැලලී ගිය ලමා මෘතදේහ පිලිබඳ ව මාධ්‍ය වාර්තාවක් මෙසේ විස්තර කරයි: “එක් වීඩියෝ දසුනක, ලදැරියකගේ සිඳුනු බාහුවක් සක්ක ගල් අතරින් උඩට ඇද ගනී. රුධිරයෙන් හා කොන්ක්‍රීට් දූවිල්ලෙන් වැසී ගිය වෛවර්න පොත් බෑගයෝ නටබුන් මත වාඩි වී සිටිත්. ගිංහැම් කපුකඩින් අන්ඩ දැමූ සාක්කු හා කරපටි සහිත හරිත වස්ත්‍රයකින් සැරසුනු සිසුවියකගේ දේහය අඩක් කලුවන් ශව උරයකින් ආවරනය වී ඇත. පසුබිමින් විලාප හඬ ඇසේ.”[1]

ද බැට්ල්ශිප් පොටෙම්කින් (පොටෙම්කින් නෞකාවේ සටන)

ට්‍රම්ප්ගේ සහ නෙතන්‍යාහුගේ “තෝරා ගැනුමේ යුද්ධය” වන මෙය, නාසීන්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ “පරිපූර්න යුද්ධයකි.” ලෝක සමාජවාදී වෙබ් අඩවිය සාධාරන ව තර්ක කොට ඇති පරිදි, වොශිංටන්හි දහනෝන්මාදීන් හා පරපීඩාකාමීන් ද, ඔවුන්ගේ ටෙල් අවීව් සහචරයන් ද විසින් “මුලු කලාපය ම ගිනිබත් කරමින් ලෝකය විස්මයාවහ මානයන්ගෙන් යුත් ව්‍යසනයකට ඇද දැමීමට තර්ජනය කෙරේ.” එම සමස්ත සැලැස්මේ කොටසක් ලෙස, ජනගහනය සංත්‍රාසයට පත් කර සමාජයක් ලෙස ඉරානය විනාශ කිරීමේ ප්‍රයත්නයෙහි කොටසක් ලෙස, එක්සත් ජනපද සහ ඊශ්‍රායල ම්ලේච්ඡයන් ගොලෙස්ථාන් මාලිගය, තෙවැනි සියවසෙහි ෆලක්-ඔල්-අෆ්ලාක් බලකොටුව හා සෙසු “සංස්කෘතිකමය මානික්‍යයන්” ඇතුලු ඉරානයේ පිහිටි ලෝක උරුමයන්ට සහ ඓතිහාසික ප්‍රමුඛස්ථානවලට බෝම්බ හෙලීමට ද කටයුතු කොට ඇත. ප්‍රථම ලෝක සංග්‍රාමය මධ්‍යයෙහි, අධිරාජ්‍යවාදී ‘සභ්‍යත්වය’ පිලිබඳව රෝසා ලක්සම්බර්ග් විචිත්‍ර අභිචෝදනාවක් ඉදිරිපත් කලා ය:

උල්ලංඝිත, අවමානිත, ලේ වැගිරෙන, ඕජස් වෑහෙන – ධනේශ්වර සමාජය පවතිනුයේ එහි ය... කෑදර මෘගයා, අරාජකත්වයේ මායාකාරීන්ගේ සබත් දිනය සංස්කෘතියට හා මනුශ්‍යත්වයට වසංගතයකි. එනයින්, එය විසින් ම එහි සැබෑ, නග්න ස්වරූපය නිරාවරනය කෙරේ.[2]

කිං විඩෝර්ගේ ද බිග් පැරේඩ් (මහා පෙලපාලිය) චිත්‍රපටයේ එන යුද්ධය

සමාජවාදය නැතහොත් ම්ලේච්ඡත්වය කරා ඇද වැටීම අතර තේරීමකට මනුශ්‍යත්වය මුහුනට මුහුන සම්මුඛ ව සිටී. නිශ්චිත ව ම එවන් මොහොතක අපට ඇසෙනුයේ සිනමාකරුවන් (අනුමානනීය ව පොදුවේ කලාකරුවන්) “දේශපාලනයෙන් ඉවත් විය යුතු බව” තරයේ කියා සිටින ස්වරයන් ය. “මක් නිසා ද යත්, අප දේශපාලනිකව කැප වූ චිත්‍රපට නිර්මානය කරතොත්, එවිට අප දේශපාලන ක්ශේත්‍රයට පිවිසෙන බැවිනි. එහෙත්, අපි දේශපාලනයේ ප්‍රතිතෝලකය වෙමු; එහි ප්‍රතිවාදය වෙමු. අප ඉටු කල යුත්තේ ජනතාවගේ වැඩ මිස දේශපාලනඥයන්ගේ වැඩ නොවේ.” ඒ වූ කලි 2026 බර්ලින් ද්විවාර්ශික චිත්‍රපට උලෙල විවෘත කරමින් ප්‍රවීන ජර්මානු සිනමාකරු විම් වෙන්ඩර්ස් පල කල අපගාමී අදහස යි.

වෙන්ඩර්ස්ගේ මනසෙහි රජැයුවේ, කිලිටි හා දූශ්‍ය ගතානුගතික දේශපාලන ලෝකයෙන් “වඩා පරිශුද්ධ” කලා ධාරාව සුරැකීමේ පරිශ්‍රමයක් විය හැකි ය. එහෙත්, ඇත්ත වසයෙන් ම, ට්‍රම්ප්, නෙතන්‍යාහු, මර්ස්, ස්ටාර්මර්, මැක්‍රොන් සහ වත්මන් ලෝකය පාලනය කරන සෙසු අපරාධකරුවන්ගේ හා සොරදෙටුන්ගේ ‘කලමනාකාරිත්වය’ යටතේ පවතින ගෝලීය සමාජයේ ගමන්පථය සැලකිල්ලට ගත් කල්හි, “දේශපාලනය දේශපාලනඥයන්ට පැවරිය යුතු ය” යන මතය භීතිය දනවයි. නැත! මෙකී පුද්ගලයන් හා ඔවුන්ගේ විශයපථය මග නොහැරිය යුතු ය; කලාකරුවන් අතින් පවා සියලු දෑ නිර්දය නිරාවරනයට හා විවේචනයට භාජන විය යුතු ය. වෙන්ඩර්ස් වර්ගයේ ප්‍රකාශ මගින් ඇඟවෙනුයේ, කලාවේ “ස්වාභාවික නිවහන” වන මනුශ්‍යත්වයේ අභ්‍යන්තර (හෝ අධ්‍යාත්මික) ජීවිතය එහි “බාහිර ජීවිතයෙන්” කපා වෙන් කල හැකි බවකි. එහෙත්, මාක්ස් බොහෝ කලකට පෙර පැහැදිලි කලේ, මනුශ්‍යත්වයේ සාරය “තනි තනි පුද්ගලයා තුල නෛසර්ගිකව පවතින වියුක්තයක් නොවේ. ඇති සැටියෙන්, එය සමාජ සබඳතා සමස්තය යි” යනුවෙනි. එසේ ම, කලාව වනාහි සහස්‍ර ගනනාවක් මුලුල්ලේ පැවති සමාජ භාවිතයෙන් හා අන්තර්ක්‍රියාවන්ගෙන්, එකී ‘ සමස්තය’ මත ආලෝකය විහිදුවනු පිනිස මිනිසුන් වර්ධනය කර ගත් එක්තරා විධියකි.

චැප්ලින්ගේ ද ගෝල්ඩ් රශ්

විවිධාකාර පාලක පන්ති “සෑම නව වදනකින් ම” පෙර නොවූවිරූ ලෙස බියපත් වී සිටින කල්හි, කලාව ‘දේශපාලනයෙන්’ – සැබවින් ම, පවතින අධිරාජ්‍යවාදී තතුවලට එරෙහි වීමෙන් බැහැර විය යුතු බවට වෙන්ඩර්ස් සහ අනෙකුත් අය නිගමනය කිරීම කොතරම් යෝග්‍යතර ද? අර්බුදග්‍රස්ත, වඩ වඩා අපකීර්තියට පත් දේශපාලනික ව බිඳෙනසුලු පද්ධතියට ජනප්‍රිය රසික පිරිවරක් සිටින හෝ ඔවුන් දිනා ගැනුමේ විභවය සහිත, කැරැල්ලක් අවුලුවාලිය හැකි, කවර විරුද්ධවාදී කලාකරුවෙකු වුව ඔරොත්තු නොදේ. ෆියුරර් (ඒකාධිපතියා) බවට හැරීමට ඉඩ ඇති තැනැත්තා විවේචනය කිරීමට එඩිතර වන සෑම ජනප්‍රිය සංගීතඥයෙකුට ම හෝ නලුවෙකුට ම එරෙහිව ධවල මන්දිරය නොසන්සුන්ව හා අපහාසාත්මකව පහර දෙයි. ඊශ්‍රායල ආන්ඩුව, අන් බෙහෝ ක්ශේත්‍රයන්හි දී මෙන් ම මෙහි දී ද, මඟ පෙන්වා ඇත්තේ ගාසා තීරයේ කවීන්, ඡායාරූපශිල්පීන්, දෘශ්‍ය කලාකරුවන්, විද්වතුන්, බුද්ධිමතුන් හා මාධ්‍යවේදීන් සිය ගනනින් ඈවර කිරීමෙනි. එහෙත්, ට්‍රම්ප් පරිපාලනය හා සෙසු පාලන තන්ත්‍ර තමන්ට ම ආවේනික අන්දමින් ප්‍රගතිශීලී සංස්කෘතික ජීවිතයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට තිබේ. “ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් හා ජෝන් එෆ්. කෙනෙඩි අනුස්මරන ප්‍රසාංගික කලා මධ්‍යස්ථානය” බිහි වීම, එහි අවසන් ඉරනම කුමක් වුව, ලාභ පද්ධතියේ අඛන්ඩ පැවැත්මෙන් තර්ජනයට ලක් වී ඇති ප්‍රාඥ නිර්මානයේ වත්මන් උපද්‍රවශීලී තතු සඳහා සදාතනික ස්මාරකයක් වනු ඇත.

මැක්සිම් ගෝර්කි

කලාකරුවන් “දේශපාලනයෙන් ඈත් වී සිටින” තරමට ආන්ඩු ඉතා කැමති ය. එසේ නොහැසිරෙන කල්හි, ඔවුහු වාරනයටත් රාජ්‍ය මර්දනයටත් මුහුන දෙති. නැවතත්, වර්තමාන දේශපාලන හා සමාජ සැකැස්ම නියෝජනය කරන “සංස්කෘතියට හා මනුශ්‍යත්වයට වසංගතය” නොතකා හරිනුයේ කවරාකාරයේ කලාකරුවෙකු ද? එබඳු ආස්ථානයකින් නිකුත් වනුයේ කිනම් වර්ගයේ කලාකෘතියක් ද? සැබවින් ම, අද දවසේ එබඳු වල්පල් තොගයක් දැක ගැනුමට යමෙකු කල යුත්තේ වටපිට බැලීම පමනි: සිල්ලර, ස්වයං-ආකුලිත නැතිනම් ඒ හෝ මේ වෙලෙඳපොල සඳහා සරල ව ගෙතූ දෑ. ට්‍රොට්ස්කි සහ ආන්ද්‍රෙ බ්‍රෙතෝන් විසින් 1938 දී රචිත “ස්වාධීන විප්ලවීය කලාවක් උදෙසා ප්‍රකාශනය” තුල පැවසූ පරිදි, “ශුද්ධ කලාව” අනවරතයෙන් “ප්‍රතිගාමිත්වයේ අතිශය අශුද්ධ අරමුනු උදෙසා සේවය කරයි.” ඔවුන් දෙදෙනා අවධාරනය කලේ “කලාවේ භූමිකාව පිලිබඳ අපේ සංකල්පය කොතරම් උත්කෘශ්ට ද යත්, සමාජයේ ඉරනම කෙරෙහි එය බල නොපෑ යුතු යයි අපි නොකියමු” යනුවෙනි.

ප්‍රශ්නය එය යි. කලාව වනාහි හුදු ස්වයං-ප්‍රකාශනයක් නොවේ. කලාකරු යනු රූපය (ආකෘතිය) නිර්මානය කිරීමේ එක ම හෝ මූලික අභිප්‍රාය සඳහා පවතින “හිස් යන්ත්‍රයක්” නො වන අතර, කලාව තාර්කික විවේචනයෙන් හෝ එහි බලපෑමෙන් ඔබ්බෙහි පවතින බව ද සත්‍ය නොවේ. මන්ද යත්, එය “මනුශ්‍ය ජීවිතයෙහි ඛේදනීය ස්වභාවය” මගින් ජනිත පුද්ගලයාගේ අධ්‍යාත්මික ජීවිතයට ආමන්ත්‍රනය කරන බැවිනි. කලාව දේශපාලනය නොවන අතර කලාකෘතියක් මුලින් ම විනිශ්චය කල යුත්තේ එහි ම නීතියෙනි – කලාවේ නීතියෙනි. එහෙත්, කලාකරුවෝ ඉතා තදබල මානව ගැටලුවලින් තුමූ ම කරදරයෙහි හෙලා නොගනිත් නම්, එවිට, අවංකව ම, ඔවුන් විසින් පවරා ගැනෙන කටයුතුවලට එතරම් වටිනාකමක් නොලැබෙනු ඇත. ඒවා පුද්ගලික මනෝරංජනය සපයන නැතහොත් පාලක පන්තීන් පිනවන හුදු කුරුටුගෑම් නැතහොත් කෙලිබඩු වනු ඇත.

සර්ගෙයි එසෙනින්

කලාව, අන් සියල්ලට ම වඩා, ස්ත්‍රී-පුරුශ ජීවිතවලට එකිනෙකා සමඟ ද, බාහිර ලෝකය සමඟ ද පවතින සබඳතා හැකි සෑම දෘශ්ටිකෝනයකින් ම ගවේශනය කිරීම හා ප්‍රතිනිර්මානය කිරීම කෙරෙහි සැලකිලිමත් වේ. කලාකරු මෙහිලා වෙසරදෙකු වන අතර හේ එය සමඟ සම්මෝහයෙන් පසුවෙයි. කලාකරු සහ පාඨකයා /ප්‍රේක්ශකයා වනාහි, සමාජීය හා ඓතිහාසික තතුවල ඵලයක් වන පොදු චෛතසිකයක් කරනකොටගෙන එකිනෙකා සමඟ සන්නිවේදනයටත් අන්‍යොන්‍ය අවබෝධයටත් හැකියාව ලැබී ඇති ජීවමාන ස්ත්‍රී-පුරුශයන් ය. කලාව වනාහි, සිය ජීවිතය හා පරිසරය සමඟ අවිජටනීයව බැඳී ඇති සමාජ මනුශ්‍යත්වයේ කාර්යයකි; මිනිසුන් ලෝකය තුල සිය දිශානති පාදා ගන්නා ප්‍රධාන විධියක් වන සමාජ සවිඥානකත්වයේ රූපාකාරයකි. අප මුහුනපාන සමාජ භූමිකම්පා කෙරෙහි කලාව උකටලීව සිටිනුයේ කෙසේ ද? “ජනතාව විසින් සූදානම් කෙරෙන, ජනතාව විසින් තැනෙන සිද්ධි ජනතාව මත වැටී ඒ ජනතාව වෙනස් කරයි. කලාව, සෘජුව හෝ වක්‍රව, සිද්ධි තනන හෝ අත්විඳින ජනතාවගේ ජීවිත කෙරෙහි බලපායි. විශිශ්ටතම වේවා සමීපතම වේවා සකල කලාවන්ට මෙය අදාල වේ” (ට්‍රොට්ස්කි).

මාක්ස්වාදීන් 1917 රුසියානු විප්ලවයේ පටන් අවධාරනය කල දෙය නම්, කලාකරුවන් තම කාර්යය කෙලෙස කුලුගැන්වුව ද, යටත්පිරිසෙයින්, යුද්ධයන්ගෙන් හා විප්ලවයන්ගෙන් සමන්විත ස්වකීය යුගයේ ස්වභාවය සමඟ ඔවුන්ට පොදු සම්මුතියකට එලැඹීමට සිදු වූ බව යි. මෙය, මාක්ස්වාදීන් විසින් ඔවුන් වෙත ඉදිරිපත් කෙරුනු ඉල්ලීමක් හෝ “අවසන් නිවේදනයක්” නො වී ය; ඒ වූ කලි, ඉතිහාසයේ සෑම අවස්ථාවක දී ම වැදගත් කලාකරුවන් විසින් නිර්වාචිත දැයින් ස්වකීය කලාකෘතියට ගැඹුරු, චිරස්ථායී හා අරුත්බර ස්වරූපයක් ලබා දෙනු වස් ඔවුන් යුගයේ මූලික අභියෝගයන්ට මුහුන දෙන බව ප්‍රකට වන අව්‍යාජ කියැවීමක් පමනි.

යෙගිශේ චැරන්ට්ස්

ජයග්‍රහනයන්ට වඩා පරාජයන් මගින් ඛේදනීය ලෙස සලකුනු කෙරී ඇති පසුගිය සියවසෙහි හෝ ඊට මඳක් වැඩි කාලයක සැපදුක් විචලන නොතකා – අන් සියල්ලට ම වඩා අපරොක්තය සෝවියට් සංගමයේ පරිහානිය හා ප්‍රතිවිප්ලවීය ස්ටැලින්වාදී නිලධරයේ පැන නැඟීම තුල සමාහෘත ය – අපි මතු දැක්වෙන මතය රඳවා ගනිමු: කලාකරුවන් හා බුද්ධිජීවීන්, වෙසෙසා 1930 ගනන්වල අග පටන්, සමාජවාදය, විප්ලවය හා කම්කරු පන්තිය කෙරෙහි පැවති ආකර්ශනයෙන් පසුබැස ගිය බැවින්, මේ සංකල්පනය බහුලව හා සෘනාත්මකව ‘සනාථ’ වී ඇත. මෙහි විපාකයක් ලෙස බිහි වූ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලය හා විවිධ සංදෘශ්ටිකවාදී, අතාර්කිකවාදී, වඩා නුදුරු පශ්චාත්-නූතනවාදී ධාරා තුල මුල් බැසගත් සර්වාශුහවාදය හා අවමංගත වීම කලාකෘති සඳහා සහෝපකාරී වී නොමැත. මේ සම්බන්ධයෙන් පූර්වොක්ත අවසන් දශකයන්ට පෙන්වීමට තිබෙනුයේ මොනවා ද? ගත්කතුවරුන්, සිතියරුන් හා සිනමාකරුවන් බොහෝ විට එකිනෙකාගෙන් කැපී පෙනෙන ලෙස වෙනස් වූයේ නම්, ඒ ඔවුන් ස්වකීය යුගයේ ස්වභාවයට මුහුන දීමෙන් වැලකී සිටි විචක්ශනශීලී ආකාරයන්ගෙනි.

අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ, ආර්ථික සංක්ශෝභයේ සහ යලි නැඟෙන පන්ති අරගලයේ ප්‍රහාර යටතේ, යථොක්ත කාල පරිච්ඡේදය, දැන්, වඩා පුපුරනසුලු වූත් සාමාජීය හා සංස්කෘතික වසයෙන් ගතික වූත් වකවානුවකට මඟ පාදමින් තිබේ. හරියට ම සියවසකට පෙර ප්‍රකාශිත තවත් කෘතියක් වන සාහිත්‍යය හා විප්ලවය තුල ට්‍රොට්ස්කි තර්ක කලේ, නව කලාව – කැපී පෙනෙන මංසලකුනක් තබන සහ අව්‍යාජ නිර්මානශීලී ප්‍රනාලිය පුලුල් කෙරෙන කලාව “විප්ලවයෙහි ආනුභාව යටතේ” නිර්මානය වනු ඇති බව යි. මතුවට එල්ල වීමට නියමිත දේශපාලන ප්‍රහාර එවක ට්‍රොට්ස්කිට පරිකල්පනය කල නොහැකි තරම් දුශ්කර වුව මෙහිලා සාකච්ඡාවට බඳුන් වන කලාකෘති ඔහුගේ තර්කයෙහි අනුත්පාටනීය නිරවද්‍යතාව සනාථ කරයි: අපේ යුගයේ චිරස්ථායී කලාව උදක් විප්ලවයේ ආනුභාව යටතේ නිර්මානය වනු ඇත.

පරිවර්තනය: දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය.)


[1]

“මිනාබ් පාසල් බෝම්බ ප්‍රහාරය: එක්සත් ජනපදය වගකිවයුතු වූ බවට ඇති සාක්ශි මොනවා ද?”, Guardian (ගාඩියන්), 2026.03.10

[2]

රෝසා ලක්සම්බර්ග්, The Crisis of German Social Democracy or Junius Pamphlet (1915) (ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය හෙවත් ජූනියස් පුස්තිකාව), පරි. 01

Loading