වැඩකරන ජනයාට අත පෙවිය නොහැකි මට්ටමට කොලඹ නගරයේ ඉඩම් සහ නිවාස මිල ඉහල යයි

කොලඹ නගරය තුල නේවාසික ඉඩම් සහ නිවාස මිල අසීමිත ලෙස ඉහල යාම හේතු කොට ගෙන වැඩ කරන ජනතාවට නිවසක් මිල දී ගැනීමට ඇති හැකියාව අහෝසි කෙරි ඇති බව මෑත පල වූ වාර්තා කිහිපයකින් එලිදරව් වී තිබේ.

දැවැන්ත ආයෝජන ලෙස ඉදි ව ඇති කොලඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාස

ජාත්‍යන්තර දේපොල මිල දර්ශකයක් වන නම්බියෝ (NUMBEO) හි නවතම ශ්‍රේනිගත කිරීම් වලට අනුව, නිවසක් මිලදී ගැනීමේ දී ලෝකයේ වඩාත්ම දැරිය නොහැකි මිල සහිත නගරය ලෙස කොලඹ නගරය ශ්‍රේනිගත කර ඇත. මෙම දර්ශකයෙන් පෙන්වනු ලබන්නේ, යම් නගරයක, සම්මත නිවසක මිලෙහි සාමාන්‍යය (average price of a standard house), එම නගරයේ වාර්ෂික ගෘහස්ත ආදායමේ සාමාන්‍යයට (average annual household income) දක්වන අනුපාතය යි. කොලඹ නගරයේ මෙම අනුපාතය 55.1 කි. එනම් සම්මත නිවසක සාමාන්‍ය මිල, ගෘහස්තයක සාමාන්‍ය වාර්ෂික ආදායම මෙන් 55 ගුනයකට වඩා වැඩිය. ඒ අනුව, සාමාන්‍ය පුරවැසියෙකුට නිවසක් මිල දී ගැනීමට අඩ සියවසකට වැඩි කාලයක් වැඩ කිරීමට සිදුවේ; යථාර්තයේ දී දී ඔහුට කිසිසේත් නිවසක් මිල දී ගැනීමට නොහැක.

ඉහත අනුපාතය 3 හෝ ඊට අඩුනම් දැරියහැකි තත්වයක් ලෙස ද, 6 ට වැඩිනම් දැරිය නොහැකි තත්වයක් ලෙස ද සලකනු ලැබේ.

ලංකා ප්‍රොපර්ටි වෙබ් (LankaPropertyWeb) මෑත දී ප්‍රකාශය ට පත් කල “2026 ශ්‍රී ලංකා දේපල වෙලඳාම් වෙලඳපොල ඉදිරි දැක්ම” වාර්තාවට අනුව කොලඹ නගරයේ කම්කරුවෙකුගේ සාමාන්‍ය මාසික ශුද්ධ වැටුප රුපියල් 70,452 වන අතර, නගර මධ්‍යයේ ඇති සුඛෝපභෝගී මහල් නිවාස වර්ග අඩියක විකිනුම් මිල රුපියල් 108,442 කි. මෙහි තේරුම කම්කරුවෙකුගේ සම්පුර්න වාර්ෂික වැටුපෙන් සුඛෝපභෝගී මහල් නිවසකින් වර්ග අඩියක් වත් මිල දී ගත නොහැකි බවයි.

වාර්තාවට අනුව, තනි කාමරයක් සහ නානකාමරයක් සහිත නිවසක සාමාන්‍ය මිල මිලියන 60 කි. කාමර දෙකක් හෝ තුනක් සහිත සුඛෝපභෝගී මහල් නිවසක මිල රුපියල් මිලියන 120 සිට මිලියන 395 ක් තරම් ඉහල මිල පරාසයකි. මධ්‍යම කොලඹ ප්‍රදේශයේ එක නිදන කාමරයක් සඳහා මාසික කුලිය රුපියල් 131,386 පමන වන බව වාර්තාව සඳහන් කරයි. එනම් අතට ලැබෙන සාමාන්‍ය වැටුප මෙන් දෙගුනයකි. කොලඹ නගරයේ ඉඩම්වල මිල ද ඒ හා සමාන ඉහල අගයක් ගන්නා අතර, පර්චසයක වර්තමාන සාමාන්‍ය මිල රුපියල් මිලියන 6 ත් 25 ත් අතර වේ.

මේ අනුව, රජයේ හෝ පුද්ගලික අංශයේ මාසික වැටුපක් ලබන අයෙකුට කොලඹ නගරය තුල නිවසක් මිලට හෝ කුලිය ට ගැනීම කිසිසේත් කල නොහැක්කක් බවට පත් ව ඇත.

කොලඹ නගරය තුල මෙම තත්වය නිර්මානය කිරීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, අනුප්‍රාප්තික ආන්ඩු විසින් පසුගිය දශක කිහිපය තුල නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය, බැංකුවල සහ පෞද්ගලික ආයෝජකයින්ගේ ලාභ තරකිරීමේ සමපේක්ෂන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය කිරීමයි. මිල අධික සහ ඉහල ලාභයක් සහිත සුඛෝපභෝගී මහල් නිවාස, සංචාරක හෝටල්, නිවාඩු නිකේතන වැනි ඉදිකිරීම් සඳහා ආයෝජකයන් විසින් මුදල් පොම්ප කිරීම දැවැන්ත ලෙස ඉහල ගොස් ඇත.

ලංකා ප්‍රොපර්ටි වෙබ් වාර්තාවට අනුව, 2025 වසරේ දේපල අංශයට සෘජු ව ම යොමු කරන ලද විදේශ ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන් 20.5 සිට මිලියන 56.2 දක්වා තුන් ගුනයකින් ඉහල ගොස් තිබේ. ශ්‍රී ලංකාව තුල මේ වන විට ස්ථාපිත වූ නිවාස ඉදිකිරීමේ සහ විකිනීමේ දේශීය සහ විදේශිය සමාගම් සංඛ්‍යාව 100ට අධිකය.

ධනපතියන්, ඉහල ම මධ්‍යම පංතිකයන්, ලංකාවට සාපේක්ෂ ව ඉහල ආදායමක් ලබන විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් එල්ල කර ගනිමින් මෙම සුඛෝපභෝගී නිවාස සහ හෝටල් ඉදි කෙරෙද්දී එම ව්‍යාපෘති වලට අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සඳහා, අනුප්‍රාප්තික ආන්ඩු පසුගිය දසක හතර තුල කොලඹ නගරයේ පැල්පත්වාසීන් දසදහස් ගනනක් බලහත්කාරයන් ඉවත් කර ප්‍රමානවත් තරම් පසහුකම් වලින් තොර මහල් නිවාසවලට ගාල් කලේ ය. පහසුකම් රහිත මෙම මහල් නිවාස හැඳින්වෙන්නේ “සිරස් මුඩුක්කු” (vertical slums) යනුවෙනි.

මීතොටමුල්ල,101 වත්ත-ඇන්ටනි මයිකල් කඩන ලද නිවස ඉදිරිපිට -27 jan 2025

කොලඹ නගරයේ 656,000 ජගහනයෙන් භාගයක් ජීවත් වන්නේ මෙම ඌන සේවා ජනාවාස, මුඩුක්කු හෝ පැල්පත්වල ය. නිවාස රහිත ව වීදිවල ජිවත්වන පුද්ගලයන් සංඛ්‍යාව 1,500-2,000 පමන වේ.

ඇස්තමේන්තුවලට අනුව රට තුල වාර්ෂික ව නිවාස ඒකක 100,000 කට වඩා හිඟයක් නිර්මානය කෙරෙන නමුත් ඊට සරිලන පරිදි නිවාස සම්පාදනය කිරීමක් හෝ නිවාස තනා ගැනීම සඳහා සහනදායි මුල්‍ය පහසුකම් සැපයීමක් රජයෙන් සිදු නොවේ.

නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) යටතේ කොලඹ නගරයේ ඉදිකෙරෙන අඩු ආදායම්ලාභී නිවාස ඒකක සඳහා, නිශ්චිත ව්‍යාපෘතිය, ඉලක්කගත ආදායම් කාන්ඩ සහ ස්ථානය අනුව රුපියල් මිලියන 1 සිට රුපියල් මිලියන 6.5 දක්වා පිරිවැයක් දැරීමට නිවාසලාභීන්ට සිදුවේ. එහෙත් ඒවා කිසිසේත් ම සම්මත පහසුකම් සහිත නිවාස නොවේ.

දශක ගනනාවක් තිස්සේ පැවති වාර්ගික යුද්ධය හේතුවෙන් නිවාස, ජීවනෝපායන් සහ සමාජ යටිතල පහසුකම් විනාශ වූ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල නිවාස අර්බුදය විශේෂයෙන් දරුනු ය. යුද්ධය අතරතුර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් වූ අතර, බොහෝ පවුල් තවමත් ජලය, සනීපාරක්ෂාව සහ විදුලිය සඳහා ප්‍රමානවත් ප්‍රවේශයක් නොමැති තාවකාලික නවාතැන් හෝ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාසවල ජීවත් වෙති. විශාල ඉඩම් ප්‍රදේශ මිලිටරි අත්පත් කර ගැනීම සහ ඉඩම් ප්‍රතිසංස්කරනයේ ප්‍රමාදයන් අර්බුදය තවදුරටත් ගැඹුරු කර ඇත.

වතු කම්කරුවෝ රටේ නරක ම නිවාස කොන්දේසි යටතේ ජීවත් වෙති. බොහෝ පවුල් තවමත් යටත් විජිත යුගයේ ඉදිකරන ලද අධික ලෙස ජනාකීර්න සහ අබලන් වූ “ලයින් කාමර” වලට සීමා වී ඇති අතර, බොහෝ විට නිසි සනීපාරක්ෂාව, වාතාශ්‍රය සහ මූලික පහසුකම් නොමැත. මෙම තත්වයන් දෙමල වතු කම්කරුවන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ජනගහනය මුහුන දෙන සූරාකෑමේ සහ නොසලකා හැරීමේ දිගු ඉතිහාසය පිලිබිඹු කරයි.

අසුවේ දසකයෙන් පසු ව බලයට පත් වූ ධනපති ආන්ඩු මහජනතාව සඳහා නිවාස සැපයීමේ සීමිත ව්‍යාපෘතීන් පවා අතහැර දැමූ අතර, කොලඹ නගර සීමාව තුල සහ ඊට යාබද ව පිහිටි ඉහල වානිජ වටිනාකමක් සහිත ඉඩම් ලාභදායක ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා පුද්ගලික ආයෝජයන්ට පැවරීමේ පිලිවෙත් ඉදිරියට ගෙන ගියේ ය.

දේශීය, විදේශීය ආයෝජකයන්ගේ උත්සුකතාවයන් සන්තර්පනය කිරීමට කැප වී සිටින ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය අන්ඩුව ද මෙම පිලිවෙත් අඛන්ඩ ව ඉදිරියට ගෙනයමින් සිටියි. එ මෙන් ම, එය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයෙන් තීව්‍ර වන ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම තුලින් සමාජ අසමානතාවය, තවදුරටත් ගැඹුරු කෙරෙනු ඇත.

නිවාස අර්බුදය ලංකාවට පමනක් සීමා නොවේ. එය ගෝලීය අර්බුදයකි. ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් මුඩුක්කු ඇතුලු “අවිධිමත් නිවාසවල” ජීවත් වෙති. අහස උසට නැඟෙන කුලිය, නිවාස නොමැතිකම සහ පොදු නිවාස විනාශ කිරීමට එරෙහි ව යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ආසියාව පුරා විරෝධතා පැන නැගී තිබේ.

ජීවත් වීමට සරිලන පහසුකම් සහිත නිවසක් යනු මූලික මානුෂික අවශ්‍යතාවයක් සහ අයිතියකි. එහෙත්, පෞද්ගලික ලාභය මත පදනම් වූ ධනේශ්වර ක්‍රමය තුල නිවාස නීති හෝ මූල්‍ය නියාමනය වෙනස් කිරීමෙන් එය සාක්ෂාත් කරගත නොහැකිය. ඒ සඳහා සමාජ අසමානතාවයට සහ ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහි ව කම්කරු පන්තියේ සමාජීය හා දේශපාලන අරගලයක් අවශ්‍යවේ.

සැමට ශිෂ්ට සම්පන්න ජිවිතයකට අවශ්‍ය නිවාස පහසුකම් සම්පාදනය කිරීමෙහි ලා බිලියන ගනනින් මුදල් යෙදවීම අවශ්‍ය වෙයි. ඒ සඳහා විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සහ බිලියනපතියන් සතු දැවැන්ත ධනය අත්පත් කරගැනීම කල යුතු ය. බැංකු, මහා පරිමාන ඉඩම් සහ ඉදිකිරීම් කර්මාන්තය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කල යුතු ය. එවැනි පියවර ක්‍රියාත්මක කරන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් නිවාස සහ සමාජ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අතිමහත් සම්පත් නිදහස් කෙරෙනු ඇත.

Loading