ජවිපෙ වෘත්තීය සමිති නායකයන් මැර බලයෙන් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම හෙලාදකිනු!

ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන  සමස්ත ලංකා  සුව සේවක සංගමයේ (සලසුසේස) නායකයන් මැර බලය යොදා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය (ඒසෞසේස) විසින් මැයි 20 වෙනි දා දහවල් කෑම පැයේ  පැවැත්වීමට නියමිත ව තිබු රෝහල් සහායකයන් ගේ විරෝධතා උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව (සෞසේක්‍රික) තරයේ හෙලා දකියි. 

ඒසෞසේස විසින් මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ වැටුප් රහිත ව සතියකට වැඩ කරන පැය 8 සඳහා ද ගෙවීම,  රෝහල් සහායක  සේවක පුරප්පාඩු පිරවීම, අතිකාල රේට්ටුව වැඩි කිරීම සහ ප්‍රවාහන දීමනාවක්  ගෙවීම යන ඉල්ලීම් පාදක කරගෙන ය. මහනුවර ජාතික රෝහල, දකුනු කොලඹ කලුබෝවිල, උතුරු කොලඹ රාගම සහ  ගම්පොල  ශික්ෂන රෝහල, මාතර  දිස්ත්‍රික් රෝහල, දෙහිඅත්තකන්ඩිය, කෑගල්ල සහ කොලඹ මුල්ලේරියාවේ මුලික රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනි. මෙම වෘත්තීය සමිතිය පිහිටුවා ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසිනි.  

මහනුවර ජාතික රෝහලේ පැවැත්වීමට නියමිත තිබූ උද්ඝෝෂනය වැලක්විමට සලසුසේස නායකයෙකු වන සුමිත් නැමැත්තෙකු විසින් තර්ජන එල්ල කරමින් මැදිහත් වූ බව වාර්තාවේ. උද්ඝෝෂනය දැනුම් දීමට රෝහල් පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් මැයි 19 වෙනිදා රාත්‍රියේ ඉරා විනාශ කර තිබූ බවත් උද්ඝෝෂනයේ ප්‍රචාරක පත්‍රිකා කියවමින් සිටි සේවකයන් ගෙන්  ඒවා බෙදුවේ කවුදැයි විමසා අවසර නැති ව රෝහල තුල පත්‍රිකා බෙදිය නොහැකි බව පවසමින් ඔවුන්ට තර්ජනය කල බවත් ඒසෞසේස සාමාජිකයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසිය.

උද්ඝෝෂනය පැවති සෙසු රෝහල්වල ද සලසුසේස නායකයන් පොලිසිය සමග එක් ව රෝහල් ගේට්ටු අවහිර කරමින් උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කල බව උද්ඝෝෂනයේ “ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව දැනුවත් කිරීම” මැයෙන් ඒසෞසේස ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද භික්ෂුව මැයි 21 වෙනිදා නිකුත් කල වීඩියෝ පනිවුඩයක සඳහන් කර ඇත. 

එහෙත්  ජවිපෙ සමිති නිලධාරින් ගේ මෙම නින්දිත මැර ක්‍රියාව හෙලා දකිනු වෙනුවට සුගතානන්ද භික්ෂුව “කීර්තිමත් ඉතිහාසයක් ඇති” ජවිපෙ  වෘත්තීය සමිති “ගේට්ටු මුර කිරීමේ සෙකියුරිටි වැඩේ කරන පහත් තත්වයට වැටීම” ගැන කනගාටුව පල කලේ ය. ඔහුගේ මෙම ප්‍රකාශය ජවිපෙ වෘත්තිය සමිති නිලධරයේ මැර ක්‍රියාවෙන් කම්කරුවන්ට එල්ල වී ඇති තර්ජනය වසන් කිරීමකි. 

ආන්ඩු බලය ගැනීමට පෙර ම, ජවිපෙ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායකයා හා වත්මන් ඇමතියෙකු වන කේ. ඩී. ලාල්කාන්ත වර්ජන ඇතුලු කාර්මික ක්‍රියා තම මැතිවරන උද්ඝෝෂවලට බාධාවක් බැවින් ඒවා නතර කල යුතු බවට සිය පක්ෂය යටතේ ඇති සමිතිවල නායකයන්ට නියම කල අතර ඔවුහු එය අකුරට ක්‍රියාත්මක කලහ. එපමනක් නොව, මෙම අරගල තහනම ජවිපෙ  බලයට ඒමෙන් පසු ව දිගට ම ක්‍රියාත්මක වනවා පමනක් නොව ආන්ඩුව රාජ්‍ය අංශ 15 ක සියලු ම කාර්මික ක්‍රියා නීතිවිරෝධී කිරීමට අත්‍යවශ්‍ය සේවා නියෝග පනවා එය දිගට ම දීර්ඝ කරමින් සිටි.

2025 ඔක්තෝබර් මාසයේ විදුලිබල මන්ඩල කම්කරුවන්ගේ අරගල මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට එරෙහි ව කඩාපැන්නේ එම අරගල ආන්ඩුවේ “ප්‍රගතිශීලි ගමනට” එරෙහි ප්‍රතිගාමී ක්‍රියා ලෙස හඳුන්වමිනි. මේ අවුරුද්දේ මාර්තු මාසයේ, වෛද්‍ය විරෝධතා එල්ල කර මහනුවර පැවති රැස්වීමක දී එලෙස ම කඩා පැනීමක් කරමින්  ඔහු සඳහන් කලේ, වීදිවල උද්ඝෝෂනය කලත් ඉල්ලීම් නොදෙන බවයි. ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ආන්ඩුව සිය වෘත්තීය සමිතිවල නිලධර කල්ලි කම්කරුවන්ගේ අරගල මැඬීමට පොලිසියක් ලෙස යොදා ගන්නා අතර ම, රුදුරු මර්දන නීති ද නිල පොලිසිය සහ මිලිටරිය ද යොදා ගනිමින් සිටියි.

සෞඛ්‍ය සේවක කන්ඩායමක අරගලකට එරෙහි ව ජවිපෙ මැර  ක්‍රියා තර්ජන කිසිදු ලෙසකින් අඩු තක්සේරු නොකරන ලෙස අපි කම්කරු පන්තියෙන් ඉල්ලමු. මෙම කඩා පැනීම කම්කරු අරගල නීතියෙන් හා පොලිස්-මිලිටරි කඩා පැනීම් වලින් පමනක් නොව මැර බලය ද යොදා මර්දනය කරන බවට කර ඇති අනතුරු ඇඟවීමකි.

පෙසප හා එහි සමිතිවල නිලධරයන් ජවිපෙ/ජාජබ ආන්ඩුව හඳුන්වන්නේ “ප්‍රගතිශීලි” හා මහජන ආන්ඩුවක් ලෙසයි. එනිසා කම්කරුවන්ට එරෙහි මෙවන් ක්‍රියා අතීතය අමතක වීමේ ක්‍රියාවක් ලෙස සුදු හුනු ගෑම පුදුමයක් නොවේ. 

අතීතය මතක් කරදීමෙන් ජවිපෙ නායකයන්ට සිල් සමාදම් කරවිය හැකියයි පෙසප ව්‍යාජ වම්මුන් කීව ද එවැනි “කීර්තිමත්” අතීතයක් ජවිපෙ ට නැත, එමෙන් ම සිල් ගැනීම ද සිදු නොවනු ඇත.  

පෙසප නායකයන් ජවිපෙ තුල සිටි කාලයටත් පෙර සිට ම ජවිපෙට ඇත්තේ කම්කරු අරගල වලට විරුද්ධ වීමේ හා ඒවාට පහර දීමේ ඉතිහාසයකි. පෙසප නායකයන් ජවිපෙ තුල උද්‍යෝගිමත් සාමාජිකයන් ව සිටි කාලය ගත්ත ද ජවිපෙ වර්ගවාදී යුද්ධයේ කසකරුවන් ලෙස කම්කරු අරගල යුද්ධයට එරෙහි ක්‍රියා ලෙස ලෙස හංවඩු ගසා මර්දනය කිරීමට සම්බන්ධ විය. 1987-1990 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි ව වර්ගවාදී උද්ඝෝෂනයක් දියත් කල  ජවිපෙ, ඊට විරුද්ධ වූ  කම්කරුවන් සහ කම්කරු පන්ති පක්ෂ හා සංවිධානවල ක්‍රියාකාරීන් ඝාතනය කිරීමට තම වෙඩික්කරුවන් මෙහෙය වූවා පමනක් නොව, තම ෆැසිස්ට් කැරලිවලට සම්බන්ධ කිරීමට තුවක්කු මානා කම්කරුවන් හා දුගීන් තල්ලු කල අවස්ථා ද ඒමට ය. ජවිපෙ හා පෙසප නායකයෝ ඒවා වීර ක්‍රියා ලෙස උත්කර්ෂයට නංවමින් අවුරුදු පතා උත්සව පවත්වති.

ජවිපෙ සමිති නායකයන් ගේ මැර තර්ජනය හා උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමේ උත්සාහයය තිබිය දී උද්ඝෝෂනය පැවති අනෙකුත් රෝහල්වල දී  රෝහල් සහායකයෝ  සිය ගනනක් ඊට සහභාගී වූහ. සතියකට දින හයක් වැඩ කලයුතු නමුත් වැටුප් ගෙවන්නේ දින 5 ට බැවින් සතියකට පැය 8 ක් වැටුප් රහිත ව වැඩ කිරීමට  සිදු වී ඇති බවත්, පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් පවත්නා සේවක හිඟය නිසා දෙතුන් දෙනෙකුගේ වැඩ තනි සේවකයෙකුට කිරීමට සිදු වී ඇති බවත්, රෝහල් සහායකයෝ කියති. 2019 වසරේ සිට පුරප්පාඩු නොපිරවීම නිසා ඔවුන් ට  ස්ථාන මාරු ලබා ගැනීමට නොහැකිව ඇත.

ආන්ඩුව අතිකාල ගෙවීම් කප්පාදු කිරීම නිසා සේවා කාලය සහ  මුලික වැටුප අනුව කනිෂ්ඨ සෞඛ්‍ය සේවකයෙකු සඳහා අතිකාල ගෙවීම පැයකට රුපියල් 166 සහ 208 ක් පමනි. අතිකාල ගෙවීම රේට්ටුව ඉහල දැමීම එක් ඉල්ලීමකි. එමෙන් ම,  සෞඛ්‍ය සේවකයන් ඇතුලු රජයේ සේවකයන්ට වසර තුනක් සඳහා ලොකු වැටුප් වැඩිකිරීමක් කල බවට ආන්ඩුව සහ එහි වෘත්තීය සමිති හෙන්චයියන් පම්පෝරි ගසන නමුත් එය මුසාවකි. කලින් පැවති රුපියල් 12,500ක  දීමනා මුලික වැටුපට එකතු කිරීමට අමතරව කනිෂ්ඨ සේවකයන්ගෙන් සියයට 70ට  පමන වැටුප් වැඩි වී ඇත්තේ 2025 වසරට රුපියල් 975ක් සහ  2026 සහ 2027 සඳහා රුපියල්  1137කි. 

රෝහල් සහායකයන්ගේ  විරෝධතා පෙන්නුම් කරන්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව විසින්, ජාමූඅ කප්පාදු  සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ බර පැටවීම හරහා නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම සහ ජිවන තත්වයන්ට එල්ල කෙරී ඇති ප්‍රහාර හමුවේ සෞඛ්‍ය සේවකයන් අතර මෙන් ම, සමස්තයක් ලෙස කම්කරු පන්තිය තුල වර්ධනය වන විරුද්ධත්වයයි. 

එහෙත්, ආන්ඩුව සෞඛ්‍ය සේවක ඉල්ලීම් ඉවත දමා එහි සමිති ඔවුන්ට එරෙහි ව පොලිස් සේවයේ යෙදවීම ගැන පෙසප සමිති නිලධරය කන්කෙඳිරි ගාන්නේ ආන්ඩුවට බලපෑම් දැමීමෙන් සිය ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාවක ඔවුන් කොටු කිරීමයි. පෙසප ආන්ඩුවේ අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම ගැන කට පියා ගෙන සිටියි.

ආන්ඩුව මෙම මර්දනයන් උසිගන්වා ඇත්තේ ජාමුඅ නියෝග හා ඉරානයට එරෙහි ඇමරිකාවේ සාපරාධී යුද්ධයෙන් උත්සන්න කර තිබෙන අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ ප්‍රහාරයක කොටසක් ලෙසයි. මොන ම ආකාරයකින් හෝ කම්කරු අරගල වර්ධනය වීම ධනපති පන්ති පාලනයට තර්ජනයක් ලෙස ආන්ඩුව ගනන් බලයි. 

කම්කරුවන්ට තමන්ගේ දැවෙන ඉල්ලීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් සංවිධානය කල හැක්කේ ඒ සඳහා කැප වූ තමන්ගේ ම සංවිධාන ලෙස සෑම වැඩපොලක ම හා ආයතනයක ම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමෙන් හා සමාජවාදී වැඩපිලිවෙලකට සටන් කිරීමෙනි. ආන්ඩුව ජීවන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඬලීමට එල්ල කරන ප්‍රහාර  පෙන්නුම් කරන්නේ  ඊට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමට පියවර ගැනීමේ හදිසි භාවයයි. 

Loading