කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන සුමිත් චාමින්ද, තම යූ ටියුබ් වැඩසටහන වන “පර්යාලෝකය” හරහා ඉරානයට එරෙහි එක්සත් ජනපද සාපරාධී යුද්ධයට අදාල වර්ධනයන් පිලිබඳව මෑතක දී අදහස් දැක්වීය. අප්‍රේල් 10 වන දින ඔහු සාකච්ඡා කලේ “මැද පෙරදිග සටන් විරාමය ඉරානයට මූලෝපායික ජයග්‍රහනයක්ද?” යන්න ය.
පෙබරවාරි 28 වන දින ආක්රමනය ආරම්භ වී දින 40 කට පසු, වොෂින්ටනය සහ ටෙහෙරානය අස්ථාවර සටන් විරාම ගිවිසුමකට එලඹීමෙන් ක්ෂනික ඉක්බිත්තේ මෙම සාකච්ඡාව පැවැත්විනි.
චාමින්ද සහ සාකච්ඡාව මෙහෙය වූ විදර්ශන කන්නන්ගර, සටන් විරාම ගිවිසුම මගින් පෙන්නුම් කර ඇති තත්වය, “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ තම අධිරාජ්‍ය ගැති ඉදිරිදර්ශනය ඉටුකර කර ගැනීමට මතු වෙමින් පවතින කදිම අවස්ථාවන් ලෙස උද්යෝගයෙන් කතා කලහ.
චාමින්ද වසර ගනනාවක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සහාය දුන් අතර පසුව එයින් බිඳී ගිය කන්ඩායමක් විසින් සංවිධානය කෙරුනු පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වෙත යොමු විය. ෂන්ටාල් මූෆ්, අර්නෙස්ටෝ ලක්ලාව් සහ ස්ලාවෝයි ශිෂෙක් වැනි පශ්චාත් නූතනවාදී න්‍යායවාදීන්ගේ ප්‍රති-මාක්ස්වාදී “වාම ජනතාවාදය” ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාවේ ස්ථරවලට ඔහු අයත් වේ.
2024 අගභාගයේ දී ජවිපෙ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) බලයට පත් වූ දා සිට, චාමින්ද දිගට ම තර්ක කර ඇත්තේ ජවිපෙ නැගීම මෙම “වාම ජනතාවාදී” දිශානතියේ ශක්‍යතාව තහවුරු කරන්නක් බවටයි. චාමින්දගේ සහාය ඇති ව කන්නන්ගර, ජවිපෙ නායකත්වයෙන් යුත් ආන්ඩුවට එල්ල වන විවේචනවලට මුහුන දීමට “ජනතා බලය” නම් වූ වේදිකාවක් ගොඩනගමින්, විටින් විට “වැරදි නිවැරදි කරගැනීමට” උපදෙස් දෙමින් ආන්ඩුවේ ක්‍රියාවන් සෑම විට ම යුක්ති සහගත කර තිබේ.
කෙසේ වෙතත්, භාවිතයේ දී ජවිපෙ/ජාජබ ආන්ඩුව ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා සමඟ පෙලගැසී ඇත. එය, එක්සත් ජනපදය මෙහෙය වන ඉරානයට එරෙහි යුද්ධයේ සහායකයෙකි. දිසානායක ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියෝග නිර්දය ලෙස ක්‍රියාත්මක කරමින් සිටින අතර එමඟින් තමන් මහා ව්‍යාපාරිකයන්ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනයේ ආන්ඩුවක් ලෙස ස්ථාපිත වෙමින් සිටී.
මෙම යථාර්ථයන් හිතන මතන කම්කරුවන්ට, තරුනයින්ට සහ බුද්ධිමතුන්ට රහසක් නොවන අතර ඔවුන් අතර ආන්ඩුවට එරෙහි ව කෝපය වැඩෙමින් තිබේ. එහෙත් චාමින්ද සහ කන්නන්ගර කල්ලිය, “වාම ජනතාවාදී” දිශානතියක් ලෙස ආන්ඩුව ගුනාංගීකරනය කරමින් එහි ප්රතිගාමී වැඩපිලිවෙල සාධාරනීකරනය කරයි.
පැවැත් වූ සියලු ම “පාර්යාලෝකය” වැඩසටහන් තුල පෙන්නුම් කරන ඔවුන්ගේ ධනේශ්වර ගැති ලෝක දැක්මෙන් මෙම ස්ථාවරයන් ගලා එයි. වඩාත් හෙලිදරව් වන පරිදි, මිනිත්තු 40 කට වැඩි කාලයක් පැවති අප්‍රේල් 10 වන දින ඔවුන්ගේ සාකච්ඡාවේ දී චාමින්ද හෝ කන්නන්ගර “අධිරාජ්‍යවාදය” හෝ “ධනවාදය” යන වචන භාවිතා නොකලහ.
බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට දිගු කලක් යටත් කෙරී පැවති සහ දැන් වොෂින්ටනයේ නව යටත් විජිත ධාවනයට මුහුන දී සිටින පීඩිත රටක් වන ඉරානයට එරෙහි ව එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන කලාපීය සගයා වන ඊශ්‍රායලය සිදු කරන සාපරාධී ආක්රමනය ඔවුන් හෙලා දුටුවේ නැත.
මිනාබ්හි ප්‍රාථමික බාලිකා පාසලක 150 කට වැඩි ලමුන් සංඛ්‍යාවක් සහ එහි කාර්ය මන්ඩලය ඇතුලු දහස් ගනනක් ඉරාන ජාතිකයන් ද එරට රාජ්‍ය නායකයින් ද ඝාතනය කිරීම හෝ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු කනස්සල්ලක් පල කලේ නැත.
ඒ වෙනුවට, කන්නන්ගරගේ සහාය ඇති ව චාමින්ද තර්ක කලේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දේශපාලන ක්ෂමාලාපකයින් ලෙසයි. සටන් විරාම ගිවිසුමට ඉරානයට සහන ඇතුලත් බව වාර්තා වන බැවින්, එය වොෂින්ටනයට පසුබෑමක් වන බව ඔවුහු කීහ. ඉරානයේ ප්‍රහාර කලාපීය යටිතල පහසුකම්වලට බලපෑ බවට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ප්‍රකාශ කිරීම, යුරෝපීය රටවල් සහ බ්‍රිතාන්‍යය ට්‍රම්ප්ට සම්පූර්න සහායක් නොදැක්වීම, රිපබ්ලිකන් පක්ෂයේ කොටස්වල විවේචන සහ එක්සත් ජනපදයේ “රජුන් එපා” විරෝධතා වැනි විවිධ පාර්ෂවවලින් එල්ල වූ “පීඩනය” හේතුවෙන් සටන් විරාමය ඇති වූ බව ඔවුහු කියා සිටියහ.
ඉරාන යුද්ධය එක්සත් ජනපදයට පසුබැස්මක් ඇති කල බව සත්‍යයකි - නමුත් ඒ මොවුන් ඉදිරිපත් කරන අර්ථයෙන් නොවේ. මිනිසුන් මරා දමා යටිතල පහසුකම් විනාශ කල හැකි නමුත් ඉරානය දේශපාලනික ව පරාජය කිරීමට නොහැකි වූ අතර යුද්ධය දිගට ම කර ගෙන යාම ඇමරිකානු අධිරාජ්‍යවාදයට ම හානි කරන පාලනය කල නොහැකි මිලිටරි, ආර්ථික සහ භූ දේශපාලනික අර්බුදයක් අවුලුවාලීමේ තර්ජනය මතු වෙමින් පැවති තතු තුල එක්සත් ජනපදයට සටන් විරාමයකට යාමට බල කෙරුනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ පරිදි, “සටන් විරාමය” මගින් යුද්ධයේ අනතුර අවසන් වී ඇති බවක් අදහස් නොවේ. එය, සටන් විරාමය පෙන්වා දුන්නේ, පුලුල් අර්බුදයක් තුල ඇතිකර ගත් අස්ථිර සහ උපායශීලී සහ නැවත වරක් පුපුරා යා හැකි විරාමයක් ලෙසයි.
කෙසේ වෙතත්, චාමින්ද සටන් විරාමය ඉදිරිපත් කරන්නේ “බල කේන්ද්‍ර” ගනනාවක් දැන් ලෝක දේශපාලනය හැඩගස්වමින් ඇති බවට වන සාක්ෂියක් ලෙසයි. රුසියාව හා චීනය ද එම රටවල් සහ බ්‍රසීලය, ඉරානය සහ ඉන්දියාව ඇතුලු බ්‍රික්ස් සංවිධානය, යුරෝපීය බලවතුන් ද, නිසැක ව ම, ලතින් ඇමරිකානු කලාපය සහ මැද පෙරදිග තමන්ගේ ම බලපෑම් ක්ෂේත්රයක් සකස් කරගන්නා එක්සත් ජනපදය ද සහිත ව ලෝකය බහු ධ්‍රැවීයතාව කරා ගමන් කරන බවට සාක්ෂි ලෙස ඔහු පෙන්වා දෙයි.
මින් ප්‍රකාශයට පත් කරන්නේ, රාජ්‍යයන් අතර ගැටුම් තිබියදීත්, ගෝලීය ධනවාදයට ප්‍රතිවාදී බල කේන්ද්‍ර හරහා නව සමතුලිතතාවයක් සහ ස්ථාවරත්වයක් අත්කර ගත හැකි බවයි. මෙම සංකල්පය තුල, මානව වර්ගයාට ප්‍රතිසම්පාදිත භූ දේශපාලනික සමතුලිතතාවයක් යටතේ සාමකාමී ව ඉදිරියට යා හැකි ය. “පර්යාලෝකය” විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන ඉදිරිදර්ශනය එයයි: ලෝක යුද්ධයේ අන්තරායන් නැත, ඇත්තේ, බහු ධ්‍රැවීය සමතුලිතතාවය දෙසට මාරුවීමක් පමනි.
චාමින්ද, තම තර්කය ශක්තිමත් කිරීම සඳහා, “බටහිර ශිෂ්ටාචාරය” බිඳ වැටෙන බව සහ නව පෙරදිග ශිෂ්ටාචාරයක් ඒ තැන ගන්නා බව නව තත්ත්වයන් මගින් ඔප්පු වෙතැයි පවසන ප්රතිගාමී සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කියාපෑම් ගැන සඳහන් කරයි. මෙම තර්කයෙන් ඈත්වන ඔහු, එය ගොරහැඬි සූත්රගත කිරීමක් ලෙස ප්‍රකාශ කරමින් මෙසේ තර්ක කලේ ය: “ගෝලීය ආධිපත්‍යය අර්බුදයකට පිවිසෙමින් තිබේ. ඒ වෙනුවට, වෙනත් බල කේන්ද්‍ර මතුවෙමින් තිබේ.”
පුනරුදය සහ ප්රජාතන්ත්රවාදී සම්ප්‍රදායන් ඇතුලු බටහිර ශිෂ්ටාචාරය, චීනය සහ රුසියාව නියෝජනය කරන කතිපයාධිකාරී පාලනයට වඩා ඓතිහාසික වශයෙන් වැදගත් බව ඔහු පැවසී ය.
“ගෝලීය ප්රජාතන්ත්රවාදය සඳහා අපි පොදුවේ කැමතියි බහු බල කේන්ද්‍රයකට ... ගෝලීය දේශපාලනය තුල බල කේන්ද්‍ර කිහිපයක් ක්‍රියාත්මක වීම වැදගත්” යැයි පවසමින් කන්නංගර ඊට එකඟ විය. “බටහිර ශිෂ්ටාචාරය”, පුනරුද, හා ප්රජාතන්ත්රවාදයේ සම්ප්‍රදායන් මුලුමනින් ම උනා දමා ප්රතිගාමීත්වයට මාරු වී බොහෝ කල් පසු වී ඇත. ඊනියා පෙරදිග ශිෂ්ටාචාරය ද කතිපයාධිකාරි පාලනයන්ගෙන් සමන්විත ය.
චාමින්ද ගේ හා කන්නංගර ගේ තර්ක බොහෝ දේ හෙලි කරයි. සියල්ලටත් වඩා, ඒවා මගින් ප්‍රකාශ කෙරෙන්නේ, මූලික සමාජ ගැටුම්වලින් තොර - භූ දේශපාලනික ආතතීන් සමනය කල හැකි, ධනවාදය ස්ථාවර කල හැකි සහ ඔවුන්ට සාපේක්ෂ ව සාමකාමී සහ සුවපහසු ජීවිත ගත කල හැකි - ලෝකයක් සඳහා මධ්‍යම පන්තියේ වරප්රසාදිත ස්ථරවල අපේක්ෂාවන් ය.
මෙය මනෝරාජික දෘෂ්ටියකි. ලෝක දේශපාලනය මෙහෙයවන සැබෑ ප්රතිවිරෝධතා සමඟ එයට කිසිදු සම්බන්ධයක් නැත. යුද්ධය ඇති වන්නේ නායකයින් සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන නිසා හෝ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රමානවත් නොවන නිසා හෝ නොවේ. එය පැන නගින්නේ ධනවාදයේ ම අර්බුදයෙනි.
දෙවනුව, චාමින්දගේ දේශපාලන රාමුව තුල, ලෝකය දිස් වන්නේ, බලවත් හා දුර්වල ජාතීන්ගේ භූ තලයක් ලෙස ය. බලවත් රටවල්, දුර්වල රටවල් තම ආධිපත්‍යයට යටත් කර ගැනීමට උත්සාහ කරයි. වෙලඳපොල, අමුද්‍රව්‍ය, ශ්‍රම සම්පත්, භූ මූලෝපායික භූමි සහ ලාභ ආදී මෙම ගැටුම්වල ආර්ථික පදනම් පිලිබඳ කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නොමැත. ජාතීන් ධනේශ්වර නිෂ්පාදන ක්රමයේ මුල් බැසගත් නිශ්චිත පන්ති අවශ්‍යතා නියෝජනය කරන රාජ්‍යයන් ලෙස නොව, ඉතිහාසයට ඉහලින් පාවෙන වියුක්ත දේශපාලන ක්‍රියාකාරීන් ලෙස පෙන්නුම් කරයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කලේ, සාමකාමී “බහු ධ්‍රැවීය ලෝකයක්” පිලිබඳ න්‍යාය, පලමු ලෝක යුද්ධයට පෙර ජර්මානු ප්රතිසංස්කරනවාදියෙකු වූ කාල් කෞට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද “අති-අධිරාජ්‍යවාදය” පිලිබඳ න්‍යායට සමාන බවයි.
යුද්ධයෙන් වැලකී සිටීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් අවසානයේ සාමකාමී ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි කෞට්ස්කි තර්ක කලේ ය. ලෙනින් මෙම ඉදිරිදර්ශනය මුලුමනින් ම ප්‍රතික්ෂේප කරමින්, ධනවාදයේ ප්රතිවිරෝධතා අනිවාර්යයෙන් ම ප්‍රධාන බලවතුන් ගැටුමකට තල්ලු කරන බව අවධාරනය කලේ ය. නෝර්ත් මෙසේ පැහැදිලි කලේ ය:
“ධනපති සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර ගෝලීය සම්පත් සාමකාමී ව බෙදා ගැනීම සහ බෙදා හැරීම කල නොහැකි ය. ගෝලීය ආර්ථිකය සහ ධනේශ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්රතිවිරෝධතාව යුද්ධයට මඟ පාදයි.”
ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය: “‘ඒක ධ්රැව’ ලෝකය ‘බහු ධ්රැව’ ලෝකයකින් ප්‍රතිස්ථාපනය කිරීමේ මනෝරාජික උත්සාහය, එහි ම තර්කනය අනුව, තුන්වන ලෝක යුද්ධයකට සහ ග්‍රහලෝකයේ විනාශයට තුඩු දෙනු ඇත.” (2023 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියේ දී)
තරඟකාරී බල කේන්ද්‍ර විසින් නියාමනය කරනු ලබන සාමකාමී ධනවාදයක් පිලිබඳ ව්‍යාජ වාම සහ ශාස්ත්රාලික මනෝරාජ්‍යයන්ට පටහැනි ව, ජාත්‍යන්තර ව කම්කරුවන් සහ තරුනයින් වැඩි වැඩියෙන් හඳුනා ගනිමින් සිටින්නේ සමස්ත ධනවාදය ම සමාජ සමානතාවය, ප්රජාතන්ත්රවාදය සහ ලෝක සාමය සමඟ නො පෑහෙන බවයි.
ඔවුන්ගේ තර්ක මගින් පශ්චාත්-නූතනවාදී සහ ව්‍යාජ-වාම දේශපාලනයට යටින් පවතින මූලික විධික්රමය සහ ධනවාදයේ ක්ෂමාලාපකයින් ලෙස එහි පන්ති ක්‍රියාකාරිත්වය හෙලි කරයි. එහි ශ්‍රී ලාංකික ප්‍රභේදය, පාලක ජවිපෙ/ජාජබ ආන්ඩුව කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරවල ආධාරකරුවන් ලෙස ඉස්මතුවීම පුදුමයක් නොවේ.
මානව සමාජයේ ඓතිහාසික සංවර්ධනය නිර්නය වන්නේ බුද්ධිමතුන්ගේ සහ මධ්‍යම පාන්තික විචාරකයින්ගේ කැමැත්ත, හිතලු හෝ සදාචාරාත්මක අභිලාෂයන් අනුව නොවේ. ඓතිහාසික භෞතිකවාදය හරහා කාල් මාක්ස් තහවුරු කල පරිදි, සමාජ සංවර්ධනය ඉදිරියට යන්නේ නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ඒවායින් පැන නගින පන්ති සබඳතා තුල මුල් බැසගත් වෛෂයික ප්රතිවිරෝධතා තුලිනි.
චාමින්දගේ ලෝකය ඉදිරිපත් කෙරී ඇත්තේ, පන්ති විරහිත, සූරා කෑමෙන් තොර සහ සමාජ ප්රතිවිරෝධයන්ගෙන් තොර සමාජයන් පවත්නා ලෙසයි. ඔහුගේ ලෝකයේ ධනපති පන්තිය, කම්කරු පන්තිය සහ මධ්‍යම පන්තිය වැනි යෙදුම් සම්පූර්නයෙන්ම නොපවතී. මෙතෙක් ඉතිහාසය මෙම සංවර්ධනය මෙහෙයවන බලවේග නොමැති ව එක් අවධියක සිට තවත් අවධියකට ගලාවිත් තිබේ.
ඒ අනුව, පන්ති වෙනුවට, සමාජය සමන්විත ව තිබෙන්නේ “ජනතාව”, “පුරවැසියන්” හෝ “ප්රජාතන්ත්රවාදී බලවේග” වැනි අනියත කන්ඩායම්වලිනි. ධනවාදයේ ප්රතිවිරෝධතා සහ පන්ති අතර ගැටුම හරහා සමාජ අර්බුදය පැහැදිලි කිරීමට එරෙහි ව, එය දේශපාලනය ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ අනන්‍යතාවය සහ මැතිවරන සන්ධාන ආදී වශයෙන් ධනේශ්වර ක්‍රමය තුල ම වන කතිකාවක් ලෙසයි.
යුද්ධය, අර්බුද සහ සමාජ කැලඹීම් මතුවන්නේ මිනිසුන් ඒවාට “කැමති” නිසා නොව, ධනවාදය විසින් ම ගෝලීය ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර විසඳිය නොහැකි ප්රතිවිරෝධතා ජනනය කරන බැවිනි.
ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ෂේප කිරීම වනාහි, කම්කරු පන්තියේ තීරනාත්මක විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරන සහ සමාජ අරගලය ධනේශ්වර පර්යායේ තරඟකාරී කන්ඩායම්වලට යටත් කරන, පශ්චාත් නූතනවාදය සහ අනන්‍යතා දේශපාලනය මගින් බලපෑමට ලක් වූ ව්‍යාජ-වාම ප්රවනතාවන්ගේ ලක්ෂනයකි.
ධනවාදයට ප්රජාතන්ත්රවාදී බහුධ්‍රැවීය පර්යායක් බවට සාමකාමී ව පරිනාමය විය හැකි ය යන මිථ්‍යාව, චාමින්ද සහ කන්නන්ගර ප්‍රවර්ධනය කරන්නේ ඇයි?
ඓතිහාසික පරීක්ෂනයකින් මෙම ඉදිරිදර්ශනයේ ප්රතිගාමී සහ මනෝරාජික ස්වභාවය හෙලිදරව් වේ. කෙටියෙන් කිවහොත්, කාල් මාක්ස් පැවසූ පරිදි, ඔවුන් “ප්රාග්ධනය, සදාකාලික හා ස්වාභාවික (ඓතිහාසික නොවන) නිෂ්පාදන විධියක් ලෙස සලකයි...” (ගෘන්ඩ්‍රිස්, පිටුව 460, පෙන්ගුයින්)
ධනවාදයේ මූලික ප්රතිවිරෝධතාව පවතින්නේ එය ඒකාග්ර ගෝලීය ආර්ථිකයක් නිර්මානය කර ඇති අතර ම, එය වෙලඳපොල, සම්පත්, මූලෝපායික භූමි ප්‍රදේශය සහ භූ දේශපාලනික ආධිපත්‍ය සඳහා තරඟ කරන ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස බෙදී පැවතීමයි.
එක්සත් ජනපදය සහ ප්‍රධාන යුරෝපීය බලවතුන් හුදු “බල කේන්ද්‍ර” නොවේ. ඒවා අධිරාජ්‍යවාදී රාජ්‍යයන් ය. විසිවන සියවසේ දී යටත් විජිත, අමුද්‍රව්‍ය, වෙලඳ මාර්ග සහ ගෝලීය ආධිපත්‍යය හඹා යාමේ දී, අධිරාජ්‍යවාදී පද්ධතිය මානව වර්ගයා ලෝක යුද්ධ දෙකකට ඇද දැමී ය.
දෙවන ලෝක යුද්ධය යුරෝපය නටබුන් බවට පත් කලේය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පාලනය පෙර නොවූ විරූ පරිමානයකින් ම්ලේච්ඡත්වය මුදා හැරියේ ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය හිරෝෂිමා සහ නාගසාකි මත පරමානු බෝම්බ හෙලීමෙන්, ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් ක්ෂනික ව මරා දැමීමත් සමඟ යුද්ධය අවසන් විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත කරන ලද සියලු දේශපාලන හා ආර්ථික සම්මුතීන් අද බිඳ වැටෙමින් පවතී. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, එක්සත් ජනපදය ලොව පුරා අඛන්ඩ මිලිටරි මෙහෙයුම්වල නිරත වී ඇත.
වත්මන් දශකය තුල පමනක්, යුක්රේනයේ රුසියාවට එරෙහි නේටෝ යුද්ධය, පලස්තීනයට එරෙහි ජන සංහාරක යුද්ධය සහ ඉරානය සමඟ පුලුල් වන ගැටුම පෙන්නුම් කරන්නේ විසිවන සියවසේ ලෝක යුද්ධ ඇති කල ප්රතිවිරෝධතා ඊටත් වඩා පුපුරන සුලු අවධියකට ලඟා වී ඇති බවයි.
පලමු ලෝක යුද්ධය බෝල්කන් කලාපයේ කලාපීය ගැටුමක් ලෙස ආරම්භ වී අධිරාජ්‍යයන් අතර ගෝලීය යුද්ධයක් දක්වා වේගයෙන් වර්ධනය වූවා සේ ම, අද භූ දේශපාලනික ගැටුම් වඩ වඩාත් අන්තර් සම්බන්ධිත වේ.
තෙල්, දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය, මුහුදු මාර්ග සහ මූලෝපායික යටිතල පහසුකම් සඳහා ප්‍රධාන බලවතුන් අතර තරඟය නාටකාකාර ලෙස තීව්ර වී ඇත. ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව පුරා විහිදෙන චීනයේ තීරයක් සහ මාවතක් අරම්භකත්වය ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සලකනු ලබන්නේ තම ගෝලීය ආධිපත්‍යයට සෘජු අභියෝගයක් ලෙස ය.
ඉරානය සමඟ ගැටුම හුදකලා සිද්ධියක් ලෙස තේරුම් ගත නොහැක. එය බලශක්ති සැපයුම් සහ මූලෝපායික වෙලඳ මාර්ග කඩාකප්පල් කිරීමෙන් චීනය දුර්වල කිරීම අරමුනු කරගත් පුලුල් එක්සත් ජනපද මූලෝපායක කොටසකි.
ගෝලීය යුද්ධයේ අනතුර වියුක්තයක් නොවේ. එය ලෝක ධනවාදයේ ම වෛෂයික ප්රතිවිරෝධතා තුලින් මතු වෙමින් පවතී.
එහෙත් ඔවුන්ගේ සාකච්ඡාව අතරතුර චාමින්ද සහ කන්නන්ගර මෙම අනතුරු ප්‍රතික්ෂේප කලහ. “ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන” බවට අප්‍රේල් 7 දා ට්‍රම්ප් එල්ල කල තර්ජනය ගැන සඳහන් කරමින්, මෙය න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇඟවුම් කල හැකි බවට ඇති උත්සුකයන් චාමින්ද ප්‍රතික්ෂේප කලේ ය: “සමහර අය පවසන්නේ මෙය න්‍යෂ්ටික ප්‍රහාරයක් ඇඟවුම් කරන බවයි. නමුත් එය කල නොහැකි වන්නේ චීනය, රුසියාව, උතුරු කොරියාව, ඉන්දියාව සහ පකිස්ථානය යන අනෙකුත් න්‍යෂ්ටික බලවතුන් සිටින බැවිනි.”
එවැනි සිත් සනසා ගැනීමක් ඉතිහාසයේ පාඩම් ප්‍රතික්ෂේප කරයි. විසිවන සියවසේ සෑම ප්‍රධාන යුද්ධයක් ම දේශපාලන නායකයින් මුලින් “විය හැකි” යැයි සැලකූ සීමාව ඉක්මවා ගියේ ය.
මෙම දේශපාලනය කම්කරුවන් සහ තරුනයින් ධනේශ්වර පර්යායට බැඳ තැබීමේ සහ ඔවුන්ගේ අරගල ධනේශ්වරයට, ධනේශ්වර රාජ්‍යයට සහ ඉහල මධ්‍යම පන්තික ස්ථරවලට යටත් කිරීමේ යාන්ත්රනයක් ලෙස ක්‍රියා කර ඇත.
දිග හැරෙන ගෝලීය වහ්නි ජාලයක කොටසක් වන ඉරානයට එරෙහි එක්සත් ජනපද සාපරාධී යුද්ධය නතර කිරීම සඳහා සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීමේ ප්රශ්නය හදිසි භාවයෙන් යුක්ත ව මතු වී තිබේ. විවිධ ධනේශ්වර ගැති මධ්‍යම පන්තික කන්ඩායම් දේශපාලනික ව හෙලිදරව් කිරීම මෙම අරගලයේ අත්‍යාවශ්‍ය අංගයකි.
චාමින්ද වැනි ශාස්ත්රාලිකයෝ දිනපතා තම දේශන, නිබන්ධන, ලිපි සහ පොත්පත් මගින් ව්‍යාජ හා ප්රතිගාමී න්‍යායන් නිෂ්පාදනය කරති; ඒවා සිසුන්ට උගන්වති; සමාජයට පොම්ප කරති. අධිරාජ්‍යවාදය සහ ඊට ගැති ජාතික ධනපති පන්තීන් කම්කරුවන් සහ තරුනයින් නිරායුධ කිරීම සඳහා එවැනි න්‍යායන් යොදා ගනිති.
කම්කරුවන්, තරුනයින් සහ ප්රගතිශීලී බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මාක්ස්වාදයට හැරෙන ලෙසයි. මාක්ස්වාදයේ අඛන්ඩතාවය සංලක්ෂිත වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නායකත්වය දෙන එහි සමාජවාදී සමානතා පක්ෂ සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය මගිනි.
