තුර්කියේ ජනාධිපති රිසෙප් තයිප් එර්ඩොගන් ආන්ඩුව, මැතිවරනයෙන් තේරී පත්වූ එරට ප්‍රධාන විපක්ෂය වන ජනරජ ජනතා පක්ෂය (සීඑච්පී) අත පය “අධිකරන කුමන්ත්‍රනයකින්” බැඳ දැමීමේ සිදුවීම, ශ්‍රී ලංකාවේ කම්කරුවන් ඇතුලු ව ජාත්‍යන්තර කම්කරු පන්තියට තීරනාත්මක පාඩමක් ගෙනෙන දේශපාලන අත්දැකීමකි.
තුර්කි ජනාධිපතිවරනයට කෙටි කලක් තිබිය දී සීඑච්පීයෙන් තමන්ට එල්ල විය හැකි අභියෝගය පූර්වභංග කිරීමට තුර්කි ජනාධිපති ගෙන ගිය කුමන්ත්‍රනයක ප්‍රතිඵලයක් වශයෙන් මැයි 21 වැනි දා, තුර්කි ප්‍රාදේශීය උසාවියක් සීඑච්පීයේ 2023 සහ 2025 සම්මේලන බල රහිත බව තීන්දු කරමින් තීන්දුවක් ලබා දුන්නේ ය.
මේ අනුව පක්ෂයේ තෝරා පත් කර ගැනුනු නායකයා වන ඔස්ගුර් ඔසෙල් ඇතුලු සමස්ත නායකත්වය ම බල රහිත කෙරුනි. උසාවි නියෝගය පක්ෂයේ නායකයා වශයෙන් කලින් නායකයා වූ කෙමාල් කිලිච්ඩරෝලු පත් කලේ ය. උසාවියත්, තුර්කියේ උත්තර මැතිවරන මන්ඩලයත් පක්ෂ නායකත්වයේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කලේ ය.
මැයි 24 වැනි දා, කැරලි මර්දන පොලිසිය ගම්මරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරමින් සීඑච්පී පක්ෂ මූලස්ථානයට කඩා වැදී, උසාවි නියෝගය විසින් බල රහිත කෙරුනු නායකත්වය බලාත්කාරයෙන් එලියට ඇද දැම්මේ ය.
උක්ත නඩු තීන්දුව තුර්කියේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නකි. තුර්කි නීතියට අනුව දේශපාලන පක්ෂයක සම්මේලනය නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් තීන්දුවක් දීමට හැකියාවක් ඇත්තේ උත්තර මැතිවරන මන්ඩලයට පමනි. ප්‍රාදේශීය උසාවියක් මෙ වැනි නඩු තීන්දුවක් ලබා දීම තුර්කී නීතියක් අධිකරන පද්ධතියේ ධූරාවලියත් උල්ලංඝනය කරන්නකි.
සීඑච්පී 2024 ප්‍රාදේශීය මැතිවරන ජයග්‍රහනය කිරීම පාලක පක්ෂයේ කනස්සල්ලට තුඩු දී ඇත. මීට මත්තෙන් එර්ඩොගන් ආන්ඩුව, 2025 දී ඉස්තාන්බුල් නගරාධිපති සහ සීඑච්පී ජනාධිපති අපේක්ෂක එක්රම් ඉමමොග්ලූ අත්තඩංගුවට ගැනීමට කටයුතු කලේ ය.
සීඑච්පී යනු තුර්කි ජනරජය ස්ථාපිත කල මුස්තාෆා කෙමාල් අටටුර්ක් විසින් ගොඩනැගූ පක්ෂයයි; එය තුර්කියේ පැරනිත ම ධනේශ්වර සංවිධානයයි. 1919 සහ 1922 කාල සීමාව තුල බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයට එරෙහි ව ගෙන ගිය, 1917 රුසියානු විප්ලවයෙන් ආවේශ ගැන්වුනු පීඩිත ජනතාවක් විසින් ගෙන ගිය ජාතික විමුක්ති අරගලයක් අවසානයේ 1923 දී තුර්කි ජනරජය ස්ථාපිත කෙරුනි. එය, පලමු ලෝක යුද්ධයට ඉක්බිති ගෝලීය රැඩිකලීකරනයේ කොටසක් විය.
ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ තහවුරු වුනු කුලුනකට එරෙහි ව එර්ඩොගන් ආන්ඩුවේ කඩා පැනීම පෙන්නුම් කරන්නේ පාලක පන්තිය තව දුරටත් මෘදු විරෝධතා පෑමක් හෝ ඉවසන්නට සූදානම් නැති බවයි.
2021 ජනවාරි 6දා, තම පලමු ධුරකාලය අවසානයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්, බයිඩෙන්ගේ ජනාධිපතිවරන ජයග්‍රහනය අවලංගු කරමින් ජනාධිපති ආඥාදායකයෙකු ලෙස දිගට ම බලයේ රැඳී සිටීමට ෆැසිස්ට් කල්ලි මෙහෙයවමින් කුමන්ත්‍රනයක් සිදු කලේ ය. එම කුමන්ත්‍රන වෑයම ට්‍රම්ප්ගේ ම නුසූදානම නිසා අසාර්ථක වුව ද දැන් දෙ වැනි ධුර කාලය තුල ඔහු ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වන එම වැඩකටයුතු සිදු කර ගෙන යමින් සිටියි.
මේ ආකාරයෙන් එර්ඩොගන් ද තමන් අත ඇති රාජ්‍ය යන්ත්‍රය යොදා ගනිමින් ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමට උත්සහ දරයි. මේ සඳහා අධිරාජ්‍යවාදීන්ගෙන් එර්ඩොගන් දිරි ලබයි. විපක්ෂයට එරෙහි නඩු තීන්දුවට මත්තෙන් එර්ඩොගන් ඇමරිකානු ජනාධිපති සමග දුරකතන සංවාදයක නිරත විය. රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ දී ඔහු බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග සමීප ව වැඩ කරයි.
තුර්කිය මෑතක දී තම ප්‍රථම අන්තර්මහද්වීපික බැලිස්ටික මිසයිලය ප්‍රකාශයට පත් කලේ ය. තුර්කි ජනගහනයෙන් සියයට 90ක් යුද්ධයට විරුද්ධ වුවත් තුර්කි පාලක පන්තිය ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය සමග පෙල ගැසෙමින් මැද පෙරදිග පුලුල් යුද්ධයට සූදානම් වෙමින් සිටියි.
යුරෝපය, ආසියාව සහ මැදපෙරදිග අතර භූමූලෝපායික ව වැදගත් සන්ධිස්ථානයක තුර්කිය පිහිටා ඇත. මේ නිසා නේටෝවේ ගෝලීය මූලෝපායට සහ ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය තුල තුර්කියට කේන්ද්‍රීය භූමිකාවක් ගෙන ඇත.
මේ අනුව ගාසාවේ ජන සංහාරයක නිරත ඊශ්‍රායලයට අඛන්ඩ ව ඛනිජ තෙල් සැපයුම තහවුරු කිරීමට, ඇමරිකානු මිලිටරි කඳවුරු තුර්කිය තුල පවත්වා ගෙන යාමට, යුරෝපයට පැමිනෙන සංක්‍රමනිකයන් වලක්වන දේශසීමා මුරකරුවෙකු ලෙස අධිරාජ්‍යවාදීන්ට ද තුර්කියේ තම දක්ෂිනාංශික සගයා අවශ්‍ය වෙයි. තුර්කියේ දී ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අමු අමුවේ කෙලෙසා දැමෙද්දී වොෂින්ටනයත් යුරෝපීය අධිරාජ්‍යවාදී බලයනුත් නිහඬ ව එය දිරි ගන්වන්නේ ඒ නිසා ය.
මෙම ප්‍රහාරයට බලයෙන් පහ කෙරුනු සීඑච්පී නායක ඔසෙල් ගේ ප්‍රතිචාරය වැදගත් ඉදිරිදර්ශනාත්මක කරුනක් අවධාරනය කරයි. එනම්, අධිරාජ්යවාදයට දහසක් හුය පටවලින් බැඳී ඇති පක්ෂයකට තමන් තර්ජනයට ලක් වූවත් ඒවා ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට නොහැකි බවයි. නඩු තීන්දුවට “විරෝධය” පෑමේ කතා පසෙක තැබූ ඔසෙල් දැන් නඩු තීන්දුව පිලිගනිමින් නව පක්ෂ නායකත්වයට නව පක්ෂ සමුලුවක් කැඳවීමට ආයාචනා කරමින් සිටියි.
සීඑච්පීයට ඇත්තේ, එර්ඩොගන් ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රහාරයන්වල දී අත්වැල් බැඳ ගැනීමේ වාර්තාවකි. එර්ඩොගන් ආන්ඩුව කුර්දි දේශපාලන නායකයන් දඩයම් කරද්දී (ශ්‍රී ලංකාවේ ධනේශ්වර ආන්ඩුව සිංහල දෙමල වාර්ගික භේදකරනයන්ගෙන් කම්කරු පන්තිය බෙදා පාලනය කරන්නාක් මෙන් තුර්කි ධනේශ්වර රාජ්‍යය කුර්දි සුලුතරයට එරෙහි ප්‍රචන්ඩත්වය මත කම්කරු පන්තිය බේද කර ගෙන තම පන්ති පාලනය ගෙන යයි.) එය ආන්ඩුවට සහය දුන්නේ ය. නේටෝවේ අධිරාජ්‍යවාදී යුද සැලසුම්වලට තම සහය ප්‍රකාශ කලේ ය.
එර්ඩොගන් ගේ ආඥාදායක පාලනයකට වඩා ඔවුන් බිය වන්නේ කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයකින් තම පන්ති පාලනයට එල්ල විය හැකි තර්ජනය ගැන ය. එමෙන් ම, වර්ධනය වන භූ දේශපාලන ආතතීන් මැද සටන් කාමී වන කම්කරු පන්තියක තර්ජනයට ද එර්ඩොගන් ආන්ඩුව මුහුන දී සිටියි. ආඥාදායක පාලන සැලසුම්වල සැබෑ ඉලක්කය කම්කරු පන්තියයි.
තුර්කිය තුල වෘත්තීය සමිති නිලධරයට අභියෝග කරමින් කම්කරුවන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින්නේ රාජ්‍ය මර්දනයට අභියෝග කරමිනි. පසුගිය මාසවල පතල් කම්කරුවන්ගේ සහ රෙදිපිලි කම්කරුවන්ගේ අරගල කම්කරු පන්තියේ දැවැන්ත සමාජ ශක්තිය විදහා දැක්වූ අවස්ථාවන් වේ.
2026 අප්‍රේල් 13දා, පතල් කම්කරුවන් සියයකට අධික පිරිසක් ස්වාධීන පතල් කම්කරුවන්ගේ සමිතියේ නායකත්වය යටතේ එස්කිසහිර් නගරයේ සිට අගනුවර වන අන්කාරා වෙත කිලෝමීටර් 190ක පාගමනක් ආරම්භ කලේ, වසර ගනනක නොගෙවූ වැටුප් සහ කොන්ත්‍රාත් අවලංගු කිරීමේ දීමනා ඉල්ලා සිටිමිනි. මෙම ප්‍රහාර ඔවුන් මත එල්ල කෙරුනේ නිල වෘත්තීය සමිතියේ සම්පූර්න අනුකූලතාවෙන් වන අතර මෙම විරෝධතාවය පැන නැග්ගේ සංගතයට පමනක් නොව මෙම වෘත්තීය සමිතියට එරෙහි කැරැල්ලක් ලෙසයි. දින නවයක පා ගමන සහ අන්කාරා නුවර පැවැත් වූ විරෝධතා රුදුරු පොලිස් ප්‍රහාරයන්ට යටත් කෙරුනි; අරගලයේ නායකයන් වූ බස්රන් අක්සු සහ ගොකේ චකීර් සිරගත කෙරුනි.
පතල් කම්කරුවන් තම විරෝධතාව ගෙන ගියේ කම්කරු පන්තියේ සෙසු කොටස්වලට තම අරගලයට සහය ඉල්ලමිනි. සංගත වෘත්තීය සමිතිවලින් ස්වාධීනවත් සෙසු කම්කරු පන්තික කොටස්වල සහය දිනා ගැනීම වෙතත් හැරී ගැනීම නිසා පතල් කම්කරුවන්ගේ අරගලය ඉල්ලීම් දිනා ගනිමින් අවසන් කිරීමට හැකි විය.
නමුත්, පන්ති අරගල මාලාවකට මුහුන දී සිටින තුර්කි පාලක පන්තිය කම්කරු පන්තියට ඉඩ දී පසෙකට වන්නේ නැත. පාලක පන්තියේ සියලු ම කොටස් ආඥාදායක විධි ක්‍රම සම්බන්ධයෙන් එකඟ වන්නේ මේ නිසා ය.
ශ්‍රී ලංකාව තුල දී, අනුර කුමාර දිසානායකගේ ජවිපෙ/ජාජබ ආන්ඩුව, එර්ඩොගන් ආන්ඩුවට සමානව ඉරාන යුද්ධයෙන් ජනිත කර ඇති ආර්ථික අර්බුදය ද මහජනතාව පිට පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු විධාන ක්‍රියාවට දමමින් ආයෝජක ගැති පිලිවෙතක් ගෙන යමින් සිටී. මෙම වැඩපිලිවෙල 17 වැනි යුද සමරුවේ දී දිසානායක විසින් ඉදිරිපත් කලේ “ආර්ථික යුද්ධයක්” යනුවෙනි. දෙමල ජනතාවට එරෙහි ව ගෙන ගිය රුදුරු වාර්ගික යුද්ධය හා සමාන කරමින් ඉදිරිපත් කෙරෙන මෙම ආර්ථික යුද්ධය දිසානායකගේ නව සූත්‍රයක් නොව, යුද්ධය අවසානයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කම්කරු පන්තියට එරෙහි ව ගෙන ගිය පොලිස්-මිලිටරි-මැර බලය කුලු ගන්වා ගත් රාජ්‍ය විධි ක්‍රමයයි.
දිසානායක ආන්ඩුව හදිසි නීතිය සහ අත්‍යවශ්‍ය සේවා නියෝග පවත්වා ගනිමින් නව මර්දන නීති ගෙනෙමින් සිටින්නේ ඔවුන්ගේ සමාජ ප්‍රතිවිප්ලවයේ වැඩපිලිවෙල මර්දනයෙන් මිස අන් අයුරකින් පොදු මහජනතාවට පිලිගැන්විය නොහැකි නිසා ය. දශකයක් තිස්සේ කල් දමමින් පවතින ප්‍රාදේශීය සභා මැතිවරනය තවදුරටත් කල් දැමීමට ජවිපෙ ආන්ඩුව කැසපොට ගැසීම එන්නේද මෙම සන්දර්භය තුලය. තුර්කියේ ජනාධිපති එර්ඩොගන් ද තමන් අත ඇති රාජ්‍ය යන්ත්‍රය යොදා ගනිමින් ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමට උත්සහ දරන්නේ ද මහජන විරෝධය තලා දමමින් ධනපති පන්ති පාලනය තහවුරු කර ගැනීම සඳහා ය.
අධිරාජ්‍යවාදී යුගයේ දී ධනපති පන්තියේ කිසි ම කොටසක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රකින්නේ නැත, එම අයිතීන් රැක ගත හැක්කේ ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තිය ගෙන යන සටනින් පමනිය, යන්න පෙන්වා දෙන ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය වැදගත් වන්නේ මේ පසුබිම තුල ය.
තුර්කියේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනතාව සම්බන්ධයෙන් ගැනුනු තීරනාත්මක පියවරක් වූයේ පසුගිය වසරේ හතර වැනි ජාත්‍යන්තරයේ ශාඛාවක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයක් නොනවතින විප්ලවයේ පාඩම් මත පදනම් වෙමින් තුර්කියේ ස්ථාපිත කිරීමයි. තුර්කියේ සමාජවාදී සමානතා පක්ෂය ජජපයට එරෙහි අධිකරන කුමන්ත්‍රනය හෙලා දකින අතරේ ම, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම සඳහා ධනේශ්වරයේ සියලු ම කන්ඩායම්, ව්‍යාජ වාම සහ වෘත්තීය සමිතිවලට එරෙහි ව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස තුර්කිය තුල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ යෙදී සිටියි. මැදපෙරදිග වාර්ගික ගැටලු සහ යුද්ධ නිමා කල හැකි විසඳුම වන මැදපෙරදිග සමාජවාදී සමූහාන්ඩු සංගමයක ඉදිරිදර්ශනයට තුර්කියේ සසප සටන් වදියි.
තුර්කියේ සිදු වෙමින් පවතින දේශපාලන සිදුවීම් මාලාව එම රටට සීමා වුවක් නොව, මේ දශකය තුල තීව්‍ර ව දැක ගත හැකි වෙමින් පවතින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයන්ගේ බිඳ වැටීමේ ගෝලීය ප්‍රවනතාවේ ම කොටසකි. එය ධනපති ක්‍රමයේ පද්ධතිමය අර්බුදයෙන් ගලා එන්නකි.
