අයිඑම්එෆ් කප්පාදු සහ සේවක හිඟය, දුම්රිය පීලිපැනීම් දැවැන්ත ලෙස ඉහල යාමට හේතු වෙයි

මෑත මාස කිහිපය තුල ලංකාවේ සිදු වූ දුම්රිය පීලිපැනීම් මාලාව, අනුප්‍රාප්තික ආන්ඩු මගින් ක්‍රියාත්මක කල සහ වර්තමාන ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු පියවර යටතේ තීව්‍ර කෙරෙමින් පවතින, ප්‍රවාහන පිරිවැය කප්පාදුවල ප්‍රතිවිපාකයකි.  

කර්මාන්තශාලා, දුම්රිය මාර්ග හා ඉංජිනේරු අංශ, දුම්රිය ස්ථාන මෙහෙයුම් මෙන් ම දුම්රිය රියැදුරන් හා නියාමකවරුන් ඇතුලු දුම්රිය පද්ධතියේ සෑම අංශයක් ම අලලා ගත් දැවැන්ත සේවක හිඟය, දුම්රිය පීලි පැනීම් අනිවාර්ය බවට පත් කරන අනතුරුදායක කොන්දේසි නිර්මානය කර ඇත.

අප්‍රේල් 24දා, බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් පැවති සාගරිකා දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය අසල දී පීලිපැන ඇති ආකාරය [Photo: facebook.com/ravishan.nilaweera]

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෙහෙයුම්වලට බාධා කරමින්, පසුගිය අප්‍රේල් 24දා, බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් පැවති සාගරිකා දුම්රිය වාද්දූව දුම්රිය ස්ථානය අසල දී පීලිපැන්නේ, මෙම අර්බුදයට මහජන අවධානය යලි යොමු කරමිනි. තමන් මුහන දුන් බියකරු අත්දැකීම් මගින් විස්තර කලේ, සිකුරාදා දිනයක් වූ අප්‍රේල් 24දා මරදානේ සිට බෙලිඅත්ත බලා දුම්රිය ආපසු ගමනේ යෙදෙන විට එම පීලිපැනීම සිදු වූයේ නම්, දැවැන්ත ජීවිත හානියක් සිදුවීමට හැකි ව තිබූ බව මාධ්‍ය වාර්තා කරන අතරතුර ය.

අයිඑම්එෆ් -පිටුබලය ලබන ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන කෝපය මධ්‍යයේ, දුම්රිය පාලනාධිකාරය හා ධනපති මාධ්‍යයන් දුම්රිය සේවාවන් ක්ෂනික ව යලි ආරම්භ කිරීමට යුහුසුලු විය. “වැඩිදුර විමර්ශනවලට යටත් ව” දුම්රිය පරිපාලනය වහා ම දුම්රියේ රියැදුරු, රියැදුරු සහායක, නියාමක හා උප-නියාමකගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේ, දුම්රිය කම්කරුවන් මතට අනතුරෙහි වගකීම මාරු කිරීමේ උත්සාහයක යෙදෙමිනි.

එහෙත්, ඊට පසු දිනය වූ අප්‍රේල් 25දා, එම සාගරිකා දුම්රිය ම සවස් වරුවේ මරදානේ සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබිය දී, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල දී යලි පීලිපැන්නේ ය. ගැටලුව පිටුපස පවතින්නේ කාර්ය මන්ඩලයේ නොතැකීම නොව, දශක ගනනක් තිස්සේ සිදු කර ඇති දැවැන්ත පිරිවැය හා කාර්ය මන්ඩල කප්පාදු විසින් ජනනය කෙරී ඇති නඩත්තු නො තකා හැරීම බව, මෙම දෙවන පීලිපැනීම ප්‍රදර්ශනය කලේ ය.

සතියකින් පසු වැඩ තහනම් කල කම්කරුවන් යලි සේවයේ පිහිටුවන ලදී. මරදානේ කොලඹ අංගනයේ දී හා දෙමටගොඩ මාලිගාවත්ත දුම්රිය අංගනයේ දී තවත් පීලිපැනීම් දෙකක් සිදු වූ නමුත්, කිසිදු විමර්ශනයක් හෝ මෙම අනතුරු වැලැක්වීමේ පියවරයන් සිදු කෙරුනේ නැත.

දෙමටගොඩ හා කැලනිය දුම්රිය ස්ථාන අතර පිහිටි වනවාසල දුම්රිය ස්ථානයේ දී, මැයි 16දා තවත් දුම්රියක් පීලිපැන්නේ ය. එහි දී, එක් දුම්රිය මැදිරියක් දුම්රිය මාර්ග දෙක අතරට පෙරලී ගියේ ය. මාධ්‍ය වාර්තාවන්ට අනුව, එම අනතුර සිදු වූයේ, දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු 25-හැවිරිදි තරුනයෙක්, දුම්රිය මාර්ග සම්බන්ධ කරන යකඩ කොටස් ගැලවීම නිසා ය. එම තරුනයා ද සොරකම් කරන ලද යකඩ කොටස් මිල දී තැනැත්තා ද පොලිස් විසින් අත්අඩංගුවට ගැනුනාහ. 2023 හා 2024 වසරවල දී, ශ්‍රී ලංකා දුම්රිය සේවය පිලිවෙලින් හදිසි අනතුරු 1,187ක් හා 1,235ක් වාර්තා කලේ, එම වසර දෙකේ දී ම පීලිපැනීම් 56 බැගින් සිදු වී ඇතැයි සඳහන් කරමින් ය.

එවන් හොරකම් මගින් ධනවාදය විසින් නිර්මිත සමාජ ව්‍යසනය පිලිබිඹු කෙරෙන අතර ම, මීට පෙර අවස්ථාවල දී ඒ හා සමාන සිද්ධි වලක්වන ලද්දේ, දුම්රිය ආරක්ෂක කාර්ය මන්ඩලය නිරන්තරයෙන් දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම නිසා ය. කාර්ය මන්ඩලයේ දැවැන්ත කප්පාදු මෙම මූලික ආරක්ෂක පියවරයන් පවා ඛාදනය කර ඇත.

සංඛ්‍යා ලේඛන මෙම අර්බුදයේ පරිමානය හෙලිදරව් කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති 2024 පරිපාලන වාර්තාවට අනුව, කිලෝමීටර 1,436ක් වන සමස්ත දුම්රිය ජාලයේ ම ආරක්ෂාවට සිටින්නේ පුද්ගලයන් 396ක් පමනි. දුම්රිය මාර්ග, පාලම් හා ගොඩනැගිලි ආදියේ නඩත්තුව සඳහා වගකියන මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයන් 5,279ක් පමනක් ද දුම්රිය මෙහෙයුම් අධීක්ෂනය කරන ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවේ සේවකයන් 3,134ක් පමනක් ද 2024 දෙසැම්බරය වන විට සේවය කල හ.

දැනට දශකයකට පමන පෙර, කම්කරුවන් 6,000ක් සේවයේ නිරතවූ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ, 2024 අවසානය වන විට සිටියේ කම්කරුවන් 2,230ක් පමනි. සමස්තයක් ලෙස සාමාන්‍ය පරිදි සිදු කරන මෙහෙයුම් සඳහා කම්කරුවන් 21,000කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය වුව ද එම වසරේ සේවයේ සිටියේ 14,661ක් පමනි.

පුද්ගලීකරන ලැයිස්තුවේ ඉහලින් ම තිබෙන ශ්‍රී ලංකා දුම්රිය සේවයට කරන නව බඳවා ගැනීම්, අයිඑම්එෆ් කප්පාදු විධානයන් යටතේ මුලුමනින් ම පාහේ නතර කෙරී ඇත. පෙර පැවති පරිපාලනයන් ගෙන ගිය පිලිවෙත් අඛන්ඩ ව අනුගමනය කරන ජවිපෙ/ජාජබ ආන්ඩුව, දුරදිග යන රාජ්‍ය-අංශ කප්පාදු හා පුද්ගලීකරනය කිරීම් සඳහා වන අයිඑම්එෆ් නියෝග ක්‍රියාවට දමමින් සිටී. පසුගිය දෙසැම්බරයේ දී, ජනාධිපති උපදේශක හා ලංකා වානිජ මන්ඩලයේ සභාපති වන දුමින්ද හුලංගමුව, රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3 සිට 750,000 දක්වා අඩු කිරීම නිවේදනය කලේ ය. දුම්රිය ශ්‍රම බලකාය මෙම ප්‍රහාරයට ඉලක්කයන් අතර සිටී.

ලංකාවේ අර්බුදය ජාත්‍යන්තර සන්තතියක් පිලිබිඹු කරයි. ජර්මනිය තුල, 2022 දී සිදු වූ පුද්ගල ජීවිත පහක් බිලිගත් ගාර්මිශ්-පාර්ටෙන්කිර්චන් දුම්රිය ව්‍යසනය වැලැක්විය හැකි ව තිබූ බවත්, එසේ නොවූයේ, දීර්ඝ-කාලීන ව නිර්මානය වුනු මාර්ග දෝෂවලට ආමන්ත්‍රනය කිරීමට ජර්මානු දුම්රිය සේවය අසමත් වීම, පිරිවැය කප්පාදු සහ පුද්ගලීකරන පියවරයන් හේතුවෙන් බවත්, විශේෂඥ වාර්තාවක් හෙලි කලේ ය. 2023 දී එක්සත් ජනපදයේ නැගෙනහිර පලස්තීනයෙහි නෝෆෝක් ප්‍රදේශයේ දී, විෂ රසායනික ද්‍රව්‍ය මුදාහරිමින් සිදු වූ දුම්රිය පීලිපැනීම, ලාභය වැඩිකර ගනු වස්, අවම කම්කරුවන් සංඛ්‍යාවක් සේවයේ යෙදවීම සහ නඩත්තු අඩු කිරීම හේතුවෙන්  සිදු වූවකි.

ලොව පුරා, දුම්රිය මාර්ග ආරක්ෂාව, ලාභෝත්පාදනයට වඩ වඩාත් යටත් කෙරේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව, පුද්ගලීකරනය සාධාරනීකරනය කරනු වස්, “නිසි පරිදි ක්‍රියා කිරීමට අසමත් වීම” සම්බන්ධයෙන් කම්කරුවන්ට දොස් පවරමින් සිටී. රැකියා හා සේවා කොන්දේසි මත එල්ල කරන ප්‍රහාරයන් සම්බන්ධයෙන් මුලුමනින් නිහඬ ව සිටින 110කට ආසන්න දුම්රිය වෘත්තීය සමිති, පාලනාධිකාරයෙන් “සාධනීය ප්‍රතිචාර” ලැබුනේ යයි කියමින්, කම්කරුවන්ගේ විරෝධය මර්දනය කිරීමට කටයුතු කරයි.

කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන, මෑත වසරවල දී, රියැදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ අනෙකුත් කම්කරුවන්ගේ වැඩ වර්ජන නවතා දැමීමට, දුම්රිය සමිති ක්‍රියා කර ඇත. 2017 දෙසැම්බරයේ දී, ආන්ඩුවෙන් ලැබුනු ව්‍යාජ පොරොන්දුවක් මත, දුම්රිය කම්කරුවන් 5,000කගේ වැඩ වර්ජනයක් අවසන් කිරීමට සමිති නායකයෝ පියවර ගත් හ. අද පවතින කාර්ය මන්ඩල අර්බුදයට ඍජු ව මග පාදමින්, නව බඳවා ගැනීම් සීමා කිරීම ඇතුලු එකඟතාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග වෘත්තීය සමිති එලඹුනේ, අඛන්ඩ වැඩ වර්ජනයක් නතර කිරීමට ද ඔහු සමග කල සාකච්ඡාවල දී එකඟ වෙමිනි. 

2023 සැප්තැම්බරයේ දී, දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පාලනාධිකාරීන්ගෙන් ලැබුනු හෙලදිරව් නො කල පොරොන්දු මත රියැදුරන්ගේ වැඩ වර්ජනයක් පැය 48කින් පසුව අවසන් කලේ, වැඩ වර්ජනය “දුම්රිය ත්‍රස්තවාදය“ ලෙස හෙලා දකිමින්, මිලිටරිය දිගේලි කිරීමට ආන්ඩුව පියවර ගත් තතු තුල ය.

මෙම පාවාදීම් අහඹු ඒවා නො වේ. විරුද්ධත්වය මර්දනය කිරීමට ද ආන්ඩුවේ හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ විධානයන් පැටවීමට ද වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙයි. රාජ්‍ය යාන්ත්‍රනයට විශේෂයෙන් ම ඒකාග්‍ර වී සිටින ජවිපෙ වෘත්තීය සමිති, අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි කම්කරු-පන්තික ප්‍රතිරෝධය වලක්වයි.

දුම්රිය සේවය ක්‍රමානුකූල ව කඩාකප්පල් කිරීම අත්වැරදීම්වල ප්‍රතිඵලයක් නොව, 1990 ගනන් මුල පටන් අනුප්‍රාප්තික ආන්ඩු අනුගමනය කර ඇති දැනුවත් පිලිවෙතකි. පුද්ගලීකරනය දෙසට තබන පියවරක් ලෙස, 2023 ජූලි මාසයේ දී, වික්‍රමසිංහ ආන්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුව කෝපරේට් අධිකාරයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් අනුමත කලේ ය. ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම න්‍යාය පත්‍රය අඛන්ඩ ව ගෙන යන්නේ, වසර ගනනාවක දැනුවත් නො තකා හැරීම්වලින් පසු ව, දුම්රිය පද්ධතිය පුද්ගලික ප්‍රාග්ධනයට විවෘත කිරීමට සූදානම් වෙමිනි. 

වෘත්තීය සමිති හරහා දුම්රිය කම්කරුවන්ට රැකියා, වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කරගත නොහැක. දුම්රිය කම්කරුවන් අනෙකුත් ක්ෂේත්‍රවලට කම්කරු පන්තිය සමග එකමුතු කරන ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම, කම්කරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍ය කරයි.

රාජ්‍ය සේවාවන් විනාශ කිරීම, රැකියා මත ප්‍රහාර එල්ල කිරීම සහ ආරක්ෂාව ඛාදනය කිරීම, ලාභය අරමුනු කරගත් ධනපති ක්‍රමයේ ඍජු ප්‍රතිඵලයකි. පුද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතාව මත නිශ්පාදනය සංවිධානය කරන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට, දුම්රිය හා අවශේෂ කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල සම්මේලනයක් ගොඩනැගීම අවශ්‍ය කරයි.

සමාජවාදී සමානතා පක්ෂයේ මග පෙන්වීම යටතේ පිහිටුවා ඇති, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රිකජාස) සමග අනුබද්ධ දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව (දුකක්‍රික) මෙම ඉදිරි දර්ශනයට සටන් කරයි. දුකක්‍රිකට බැඳී, අයිඑම්එෆ් කප්පාදුවටත්, එය බලාත්මක කරන ධනපති ක්‍රමයටත් විරුද්ධ අරගලය සියතට ගන්නා ලෙස එය දුම්රිය කම්කරුවන්ට කැඳවුම් කරයි.

Loading