ඉදිරිදර්ශන

සතියක උත්සන්නියකින් පසු, ට්‍රම්ප්, ඉරානයට එරෙහි ගොඩබිම් ආක්‍රමනයකට තර්ජනය කරයි

[මෙය After week of escalation, Trump threatens ground invasion of Iran යන මැයෙන් 2026 ජූනි 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2020 මාර්තු 23 සඳුදා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-හම්රා හි හමුදා මෙහෙයුම්වලට යොදා ගන්නා, නාගරික භූමි පරිශ්‍රයක පිහිටා ඇති එමිරාටි හමුදා කඳවුරක් අසල නැංගුරම් ලා තිබෙන, ඇමරිකානු නෞකාවකට යා කර ඇති ඉවත් කල හැකි තාවකාලික මගී පාලමක් හරහා ගමන් කරන එක්සත් ජනපද නාවික භටයින්.  [AP Photo/Jon Gambrell]

එක්සත් ජනපදය ටෙහෙරානයේ සිට සැතපුම් 40 ක් ඇතුලත ඉලක්කවලට පහර දෙමින්, රාත්‍රී දෙකක් පුරා රටට බෝම්බ හෙලීමෙන් සතියකට පසු, බ්‍රහස්පතින්දා (11) උදෑසන ඉරානය ආක්‍රමනය කර එහි තෙල් අත්පත් කර ගන්නා බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කලේය.

“නුදුරු අනාගතයේ යම් අවස්ථාවක දී, අපි කාර්ග් දූපත සහ අනෙකුත් තෙල් යටිතල පහසුකම් ස්ථාන අත්පත් කර ගන්නා අතර, බොහෝ විට වෙනිසියුලාව සමඟ දැන් කෙරෙන ආකාරයට ම, ඔවුන්ගේ තෙල් හා ගෑස් වෙලඳපොලවල සම්පූර්න පාලනය අත්පත් කර ගන්නෙමු,” ට්‍රම්ප් බ්‍රහස්පතින්දා උදෑසන ටෲත් සෝෂල් (Truth Social) සමාජ මාධ්‍යයෙහි ලිවී ය. එක්සත් ජනපදය ජනවාරි මාසයේ දී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගෙන ගියේ ය.

පස්වරු 1:41 ට ඔහු තම අදහස ආපසු හරවා ගත්තේ ය: “මම, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස, අද සවස ඉරානයට එරෙහි ව සැලසුම් කර තිබූ ප්‍රහාර සහ බෝම්බ හෙලීම් අවලංගු කලෙමි.” ඇති කර ගැනීමට යන ගිවිසුමක්, “එයට සම්බන්ධ සියලු පාර්ශවයන් විසින් අනුමත කර ඇති” බව ඔහු ලිවී ය. ඔහු ඊශ්‍රායලය සහ සෞදි අරාබියේ සිට ඊජිප්තුව දක්වා ආන්ඩු 11 ක් ලැයිස්තුගත කලේ ය. ඉරානය ලැයිස්තුවේ නොතිබුනි.

බ්‍රහස්පතින්දා නිවේදන තුල වෙලඳපල හැසිරවීමේ සැලකිය යුතු අංගයක් ඇති බවට සැකයක් නැත. යුද්ධය උත්සන්න වීමත් සමඟ සතියක් තිස්සේ පහත වැටුනු කොටස් වෙලඳපොල, ට්‍රම්ප් විසින් සටහන තැබීමෙන් පසු ඉහල ගියේ ය. ඉතිහාසයේ විශාලත ම ආරම්භක මහජන නිකුතුව පිරිනමමින් ස්පේස්එක්ස් (SpaceX) සිකුරාදා නැස්ඩැක් හි වෙලඳාම ආරම්භ කරන අතර, එමඟින් දහස් ගනනක් නව කෝටිපතියන් නිර්මානය කිරීමටත්, ට්‍රම්ප්ගේ ප්‍රධාන සගයෙකු වන ඊලොන් මස්ක්ගේ ධනය දැවැන්ත ලෙස පුලුල් කිරීමටත් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන කිසිවක්, මතුපිටින් පමනක් ගත හැකි ඒවා නොවේ. සීඑන්එන් හි ගනන් බැලීම්වලට අනුව, තමා ඉරානය සමඟ ගිවිසුමකට ආසන්න බව මාර්තු මාසයේ සිට ෆැසිස්ට් ජනාධිපතිවරයා අවම වශයෙන් 38 වතාවක්වත් ප්‍රකාශ කර ඇත. ඒ සෑම ප්‍රකාශයක් ම කර ඇත්තේ, අලුත්ම බෝම්බ ප්‍රහාරයකින් හෝ තර්ජනයකින් පසු ව ය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මෙම සතියේ ප්‍රකාශ කල පරිදි, “අපට බෝම්බ ගැන සලකා බැලීමට අවශ්‍ය නම්, අපි එසේ කරමු. අපි එයට ඉතා දක්ෂයින් වෙමු. ඒ සඳහා ලෝකයේ අපට සමාන කිසිවෙකු නැත.”

එනම්, ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක වන්නේ මෙම මාෆියා මූලධර්මය මත ය: ‘අපි ඉල්ලා සිටින ආකාරයට කරනු; නැතහොත්, අපි ඔබ ඝාතනය කරමු.’

ඒ සමඟම, ඇමරිකානු අධිරාජ්‍යවාදයමුහුන දී සිටින්නේ මංමුලා සහගත තත්වයකට ය. දින 100 කට වැඩි කාලයකට පසුවත්, යුද්ධය ගෙන දී ඇත්තේ පරාජයක් පමනි. ඉරාන ආන්ඩුව තවමත් එසේ ම පවතී; වොෂින්ටනය නැවත විවෘත කිරීමට පොරොන්දු වූ හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් වසා දමා ඇති අතර ඉරානය යටත් වී නොමැත. ට්‍රම්ප් කාර්ග් දූපත අල්ලා ගැනීමේ ඔහුගේ තර්ජනය ක්‍රියාත්මක කලහොත්, ගෝලීය ආර්ථිකයට ගනනය කල නොහැකි තරම් ප්‍රතිවිපාක ගෙන දෙමින්, සමස්ත ගල්ෆ් කලාපයේ ම තෙල් නිපදවන යටිතල පහසුකම් ගිනි තබනු ඇති බවට නිසැක ය.

ට්‍රම්ප්, යුද්ධයේ ඊලඟ අදියර සූදානම් කිරීමේ රාමුව බවට පත්වීමට නියමිත “ගනුදෙනුව” අවසන් කිරීම නිවේදනය කල හැකි ය; නැතහොත් ඔහු දැවැන්ත හා සාහසික ලෙස යුද්ධය උත්සන්න කල හැකි ය. මෑතක දී ධවල මන්දිර කාර්ය මන්ඩල රැස්වීමක දී ට්‍රම්ප් ඉරානයේ “ඇතැම්” භූගත මිසයිල කර්මාන්තශාලා විනාශ කිරීම සඳහා අවම-බල න්‍යෂ්ටික අවි භාවිතා කිරීම යෝජනා කල බවත්, න්‍යෂ්ටික ප්‍රහාරයක් “කල හැකි” දැයි විමසූ බවත් මාධ්‍යවේදී සෙමූර් හර්ෂ් බදාදා (10) වාර්තා කලේ ය. න්‍යෂ්ටික අවි පිලිබඳ පුලුල් ලෙස දැනුවත් මූලාශ්‍රයක්, එය “අතිශය බියජනක හා අතිශය බැරෑරුම් මොහොතක්” ලෙස හැඳින් වූ බවත්, ජනාධිපතිවරයා “ඉරානය තුල පරාජය නොවීමට  මංමුලා සහගත” බවත් හර්ෂ් ලිවී ය.

ට්‍රම්ප්ගේ අදහස වූයේ, එවැනි උත්සන්නියක් “අපි ඉතා බැරෑරුම් ලෙස සලකන” බවට ඉරාන නායකත්වයට අනතුරු ඇඟවීම බව හර්ෂ් ලිවී ය. මැද පෙරදිග න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයෙකු එතරම් සැහැල්ලුවෙන් කතා කිරීම ගැන අවම වශයෙන් රැස්වීමේ සිටි එක් සහායකයෙක් කම්පනයට පත් විය.

පාලක පන්තියේ ආධිපත්‍යය දරන කොටස් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින්නේ, යුද්ධය තීව්‍ර කරන ලෙස යි. වෝල් ස්ට්‍රීට් ජර්නලය බදාදා “ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට නව උපාය මාර්ගයක් අවශ්‍ය වේ” යන මැයෙන් කතුවැකියක් ප්‍රකාශයට පත් කරමින්, “ජනාධිපතිවරයා 2006-07 දී ඉරාකයේ දී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට මුහුන දීමට සිදුවූ තෝරා ගැනීමට සමාන තෝරා ගැනීමකට මුහුන දෙන” බව ප්‍රකාශ කල අතර බුෂ්ගේ නැගීම ආදර්ශයක් ලෙස ඔසවා තැබී ය.

සිදුවීම්වල ක්ෂනික ගමන් මග කුමක් වුවත්, යුද්ධය මුල් බැස ඇත්තේ මැද පෙරදිග පාලනය කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිෂ්ඨානය තුල ය. එම ව්‍යාපාරය, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ චීනය සමඟ එහි ගැටුමත්, එක්සත් ජනපද ගෝලීය යුද්ධයේ උත්සන්න වීමත් සමඟ බැඳී ඇත. 2025 ජුනි මාසයේ දී ට්‍රම්ප් ප්‍රකාශයට පත් කල සටන් විරාමය මෙම වසරේ පෙබරවාරි 28 වන දින දක්වා පැවති අතර, උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු වොෂින්ටනය සහ ඊශ්‍රායලය යුද්ධය නැවත ආරම්භ කලේ ය. එලඹෙන ඕනෑ ම නව “ගිවිසුමක්” එම ස්වභාවය ම ගනු ඇත.

යුද්ධයේ සෑම අදියරක් ම පැමින ඇත්තේ, පසුගිය අදියරේ අසාර්ථකත්වයෙන් පසු ව ය. ට්‍රම්ප් වසර ආරම්භ කලේ ඉරාන ආන්ඩුව පෙරලා දැමීමේ රහසිගත මෙහෙයුමකිනි. “අපි විරෝධතාකරුවන්ට තුවක්කු යැවීමු; එය අති මහත් සංඛ්‍යාවකි,” ඔහු අප්‍රේල් මාසයේ දී ෆොක්ස් නිව්ස් වෙත පැවසී ය. එය අසාර්ථක වූ විට, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ නායකයින් ඝාතනය කර ගුවන් යුද්ධය ආරම්භ කලහ. අප්‍රේල් මාසයේ දී එක්සත් ජනපදය ඉරානයේ වරායන් අවහිර කල අතර බ්‍රහස්පතින්දා ට්‍රම්ප් එය ආක්‍රමනය කරන බවට තර්ජනය කලේ ය.

වොෂින්ටනය මාස ගනනාවක් තිස්සේ යම් ආකාරයක ආක්‍රමනයක් සූදානම් කරමින් සිටී. මාධ්‍යවේදී කෙන් ක්ලිපන්ස්ටයින් සඳුදා (08) වාර්තා කලේ, අප්‍රේල් 7 වන දින නියෝගයක් මගින්, “පෙබරවාරි මාසයේ සිට සම්පූර්න කරන ලද' එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ සැලසුම් යටතේ “කාර්ග් දූපත සහ ඉරානය තුල වෙරලබඩ ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා” 82 වන ගුවන් අංශයේ පැරෂුට් භටයින් ඊශ්‍රායලයට යවන ලද බවයි.

ඇමරිකානු පාලක පන්තියේ පරදුවට තැබීම් අතිමහත් ය: එහි ගෝලීය තත්වය, දැවැන්ත ලෙස අධි තක්සේරු කරන ලද කොටස් වෙලඳපොල තක්සේරුව, ලෝක සංචිත මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ භූමිකාව සහ ඩොලර් ට්‍රිලියන 39 ක නය බරින් යුතු ආන්ඩුවක නය ගෙවීමේ හැකියාව (solvency) යන සියල්ල යුද්ධයේ ප්‍රතිඵලය මත රඳා පවතී.

දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් යුද්ධයට විරුද්ධ නැත, කිසිවෙකු එයට එරෙහි ව කිසිදු විරෝධතාවක් කැඳවා නැත.

ට්‍රම්ප්ගේ ආක්‍රමන තර්ජනයට ඩිමොක්‍රටික් පක්ෂයේ පිලිතුර වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය කල්තියා අරමුදල් සැපයීමට ඡන්දය දුන් යුද්ධයක් අවසන් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයට දොස් පැවරීමයි. 2025 දෙසැම්බර් මාසයේ දී ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට පක්ෂ ව මන්ත්‍රී මන්ඩල ඩිමොක්‍රටික් සභිකයින් එකසිය පහලොවක් ඡන්දය දුන් අතර, ජනවාරි මාසයේ දී ඩොලර් බිලියන 839 ක මුදලක් වෙන් කිරීම සඳහා 149 දෙනෙක් ඡන්දය දුන්හ. යුද්ධයේ 100 වන දිනයේ දී, සෙනෙට් සුලුතර නායක චාල්ස් ෂුමර් මෙසේ විමසී ය: “මිල ගනන් ඉහල යන ආකාරය සහ සේවා සාමාජිකයින්ගේ පවුල්වලට රිපබ්ලිකන් සෙනෙට් සභිකයින්ට කොඳු ඇට පෙලක් ලැබෙන තෙක් කොපමන කාලයක් බලා සිටීමට සිදුවේද?”

යුද්ධය මෙහෙයවන පක්ෂයට ඩිමොක්‍රටික් පක්ෂය කරන ආයාචනාවල අරමුන වන්නේ මහජන විරෝධය නිරායුධ කිරීමයි. යුද්ධයට අරමුදල් සැපයීම සඳහා ඩොලර් බිලියන 200 ක අතිරේකය සඳහා කිසිදු මන්ඩලයක් ඡන්ද විමසීමක් පවත්වා නොමැති අතර, ජුනි 4 වන දින ලෙබනනයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීමේ යෝජනාවක් නියෝජිත මන්ත්‍රී මන්ඩලයට පැමිනි විට, බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් රිපබ්ලිකන් පක්ෂය සමඟ එක් වී එය 324 ට 92 ක් ලෙස පරාජය කලහ.

බදාදා රාත්‍රියේ ඇමරිකානු මිසයිල ටෙහෙරානය වටා ඉලක්ක වලට පහර දෙද්දී, නිව්යෝර්ක්හි ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් මැඩිසන් චතුරශ්‍ර උද්‍යානයේ නිව්යෝර්ක් නික්ස් බාස්කට් බෝල් කන්ඩායමේ ජයග්‍රහනය ගැන ප්‍රීතියෙන් පෝස්ටු පල කරමින් සිටියේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය නිහඬ ව සිටින්නේ ඔවුන් ද එම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියට ම සහාය දක්වන බැවිනි. සියල්ලටත් වඩා, ඔවුහු පහලින් මතුවන විරෝධයකට බිය වෙති.

යුද්ධය—ආර්ථික, දේශපාලනික සහ සමාජීය යන—ධනේශ්වර අර්බුදයේ සෑම අංගයක් ම තීව්‍ර කරමින් සිටී. ඉහල යන මිල ගනන්, පහත වැටෙන සැබෑ වැටුප්, සමාජ වැඩසටහන් කප්පාදු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයන් ලෙස එහි ප්‍රතිවිපාක දැනෙමින් තිබේ. මෙය එක්සත් ජනපදය පුරා සහ ජාත්‍යන්තර ව වැඩෙන වැඩ වර්ජන රැල්ලෙන් ප්‍රකාශ වන කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයකට ඉන්ධන සපයයි.

යුද්ධයේ ගතවූ දින 100 පිලිබඳ ජුනි 8 වන දින ප්‍රකාශය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලියූ පරිදි:

අධිරාජ්‍යවාදය යුද්ධය කරා තල්ලු කරන එම ප්‍රතිවිරෝධතා ම කම්කරු පන්තිය අරගලයට ද තල්ලු කරමින් සිටී. පන්ති අරගලයේ වර්ධනය පැන නගින්නේ, යුද්ධය ඇති කරන එම අර්බුදය තුලින් ම ය. මෙම අර්බුදය තුලින්, එය අවසන් කල හැකි එක ම සමාජ බලවේගය ද මතු ව එයි; යුද්ධ සහ සමාජ විප්ලව යනු එක ම ඓතිහාසික ක්‍රියාවලියක පැති දෙකකි.

යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට තිත තැබීමට නම්, ධනේශ්වර ක්‍රමය අහෝසි කල යුතු ය. කම්කරු පන්ති ව්‍යාපාරයේ වර්ධනය මෙම ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ විය යුතු අතර අධිරාජ්‍යවාදයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි ව ස්වාධීන, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයක් ලෙස සංවිධානය විය යුතු ය.

Loading