[මෙය US imperialism’s debacle in Iran යන මැයෙන් 2026 ජූනි 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
පසුගිය ඉරිදා (14) දිනයේ දී, ට්‍රම්ප් පරිපාලනය විසින්, පෙබරවාරි 28 වන දින දියත් කල යුද්ධයේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් ප්‍රකාශයට පත් කෙරුනි. ඉරාන ජාතිකයන් 3,000 කට වැඩි පිරිසක් මරා දමමින්, ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ප්‍රේරනය කල ද, තමන් යුද්ධයට එලැඹුනු අරමුනු සාක්ෂාත් කර ගැනීමට එක්සත් ජනපදය අපොහොසත් වී තිබේ.
ඉරිදා ඩිජිටල් මාධ්‍යයෙන් “අවබෝධතා ගිවිසුමක්” අත්සන් කරන ලද අතර, සිකුරාදා දින (19) ස්විට්සර්ලන්තයේ දී විධිමත් අත්සන් කිරීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත ය. වාර්තා වන පරිදි, දින 60 ක රාමුව, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, එක්සත් ජනපද නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය තුල ද ඇතුලු ව හමුදා මෙහෙයුම් වහා ම අත්හිටුවීම වෙනුවෙන් යොමු වන බව කියැවේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිලිබඳ පසුකාලීන සාකච්ඡා යන දෙක ම සඳහා කැප කෙරේ.
ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිත ය. එහි පෙල නිකුත් කර නොමැත. ඉරානය කැටි කර තිබූ (frozen) ඩොලර් බිලියන 25 ක් පමන වටිනා ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ප්‍රකාශ කර ඇති අතර, එය එක්සත් ජනපදයේ මතභේදයන්ට තුඩු දී තිබේ. ට්‍රම්ප් “ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නොලැබෙනු ඇති” බව නැවත නැවතත් අවධාරනය කර ඇති අතර “සාකච්ඡා සාර්ථක නොවුව හොත්, එක්සත් ජනපදය එදින ම නැවත ඉරානයට පහර දිය හැකි” බවට අනතුරු අඟවා තිබේ. ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදින සිට ලෙබනනයට පහර දීම දිගට ම කරගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙම ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අසීමිත පරාජයක් නියෝජනය කරයි. එය කලු ඇසකින් අවසන් වන පාසල් තක්කඩියෙකුගේ ගුටි කෙලියකි. ඉරාන ආන්ඩුව බලයේ සිටී. එහි න්‍යෂ්ටික වැඩසටහන නොවෙනස් ය. වඩාත් ම සංයුක්ත ප්‍රතිවිපාකය වන්නේ, යුද්ධයට පෙර පැවති තත්වයට ආපසු හැරීමක් වන, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමකි.
යුද්ධය දියත් කරද්දී දෙඩූ පුරසාරම් සහ එහි ප්‍රතිඵලයේ යථාර්ථය අතර දැවැන්ත පරතරයක් පවතී. ට්‍රම්ප් පොරොන්දු වූයේ, ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමක්” සමඟ යුද්ධයේ අවසානයකි. එක්සත් ජනපදය “මෝඩ නීති රීති කිසිවක නොපැටලී, ඉතිහාසයේ වඩාත්ම මාරක... ගුවන් බල ව්‍යාපාරය” දියත් කරමින් සිටින බව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මාර්තු 2 වන දින ප්‍රකාශ කලේ ය. දින කිහිපයකට පසු ඔහු වාර්තාකරුවන්ට “දවස පුරා අහසින් මරනය සහ විනාශය” ගෙන ඒමට පොරොන්දු විය.
වසර පුරා ඉරාන ආන්ඩුව බිඳ දැමීමට උත්සාහ කල සහ පෙබරවාරි මාසයේ දී ඉරාන වැසියන්ගෙන් “ඔබේ ආන්ඩුව භාර ගන්නා ලෙස” ඉල්ලා සිටි, ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නලයට මෙසේ පැවසීය: “මම කිසි විටෙකත් පාලන තන්ත්‍ර වෙනසක් ගැන සිතුවේ නැහැ.”
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිලිබඳ විවරනවලින් මාධ්‍ය පිරී ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නලය එය “ට්‍රම්ප් යුද අරමුනු සාක්ෂාත් කර ගැනීමට අසමත් කල උපායමාර්ගික පසුබැසීමක්” ලෙස හඳුන්වා ඇත. එය, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ආරම්භ වූ අනභියෝගී ඇමරිකානු ආධිපත්‍යයේ කාලපරිච්ඡේදය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ සිදු වූ සක්‍රීය ප්‍රදර්ශනයකි.
ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, “ජනාධිපති ට්‍රම්ප් මෙම යුද්ධය පරාජය විය” යන මාතෘකාව යටතේ, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් කතා කරමින් නිව් යෝර්ක් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද කතුවැකිය තුල අන්තර්ගත වී ඇත. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වන්නේ, යුද්ධය සමූහ ඝාතන සහ මිනීමැරුම් හරහා සිදු වූවක් වීම නොව, එහි අසාර්ථකත්වයයි.
“මෙම යුද්ධය ආරම්භ කරමින් ට්‍රම්ප් මහතා සිදු කලේ බරපතල වරදකි,” කතුවැකිය ප්‍රකාශ කරයි. “ඔහු එය සාහසික ලෙසත්, නීතියට විවෘත ව ම පටහැනි ලෙසත් ක්‍රියාත්මක කලේ ය. එක්සත් ජනපදය—මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථිකමය වශයෙන්—දුර්වල වෙමින් පවතින අතර එලඹෙන වසරවල දී එයට උපායමාර්ගික වියදම් ගෙවීමට සිදුවනු ඇත.” “මධ්‍යස්ථ ව කල්පනා කර බලන කල, ඉරානය මාස හතරක යුද්ධයේ උපායමාර්ගික ජයග්‍රාහකයා ලෙස මතුවන” බවට ටයිම්ස් වැලපේ. ඇමරිකානු හමුදාව “තම දිගු-දුර නිරවද්‍ය මිසයිල සහ අන්තර්ග්‍රාහක (interceptors) බොහොමයක් වැය කර තිබිය දී ත් අවසානයේ පෙන්නුම් කර ඇත්තේ, සුලු විරුද්ධවාදියෙකු පවා මැඬ පැවැත්වීමට එහි නොහැකියාවයි. මෙම ප්‍රතිඵලය, රටේ අනෙකුත් භව්‍ය විරුද්ධවාදීන් වලක්වා ගැනීමේ හැකියාවට හානි කරයි.”
කතුවැකියේ නියෝග ලැයිස්තුව මෙවැනි ප්‍රකාශයකට සිඳේ: “පෙන්ටගනය ද නවීකරනය කර අනාගත යුද්ධ සඳහා සූදානම් කල යුතු ය.”
අනාගත යුද්ධ ගැටුම් යැයි ටයිම්ස් පුවත්පත පවසද්දී, එය පෙන්ටගනය “නවීකරනය කර චීනය සහ රුසියාව සමඟ සූදානම් විය යුතු” නොනවතින අධිරාජ්‍ය ගැටුමේ සැකිල්ලට අවධානය යොමු කරයි. ප්‍රශ්නය වන්නේ මෙම සැකිල්ල පරිපාලනය කරනු ලබන නිපුනතාවය පමනි.
ඩිමොක්‍රටික් පක්ෂයේ කොංග්‍රස් ප්‍රතිචාරය ක්‍රියාත්මක වන්නේ ද එම සැකිල්ල තුල ම ය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි මෙම ගිවිසුම “අත්‍යවශ්‍යයෙන්ම ඉරානයට යටත් වීමක්” ලෙස හැඳින්වී ය. නියෝජිත සෙත් මෝල්ටන් එය හැඳින්වූයේ, “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරානයේ උත්තරීතර නායකයාට ඉදිරිපත් කල යටත් වීමේ ලියවිල්ලක්” ලෙස ය. එක්සත් ජනපදය දැන්, ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වන “JCPOA” යටතේ අපට තිබූ දෙයට වඩා අඩුවෙන් ලබා ගන්නා” බවට සෙනෙට් සභික ජැක් රීඩ් පැමිනිලි කලේ ය. යුද්ධය දියත් කරන විට, ඩිමොක්‍රටික් පක්ෂය එය අනුමත කලේ ය. ඔවුන් දැන් ඒ ගැන පැමිනිලි කරන්නේ, එය ඉරානය විනාශ නොකර අවසන් වූ නිසා ම පමනි.
යුද්ධයට එරෙහි ව දැවැන්ත මහජන විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලනයේ රාමුව තුල එයට කිසිදු ප්‍රකාශනයක් අත්කර ගත නොහැකි විය.
යුද්ධයේ මෙම අදියර අවසන් වීම යනු යුද්ධය අවසාන වීමක් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තමාට හිමි තැන නැවත ලබා ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදී ය. ඉන් පසු ව එන යුද්ධයට මග පාදනු ඇත්තේ, 2026 සටන් විරාම රාමුව යි.
කෙසේ වෙතත්, පරාජයේ වඩාත්ම වැදගත් ප්‍රතිවිපාක වනු ඇත්තේ, එක්සත් ජනපදය තුල ප්‍රතිවිපාකයන් ය.
මෙම යුද්ධය දියත් කරන ලද්දේ, ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් ලෙසට ය. රත්‍රන් යුරෝව අභිබවා ගොස්, ලොව දෙවන විශාලත ම සංචිත වත්කම බවට පත් ව ඇති බවත්, එය ගෝලීය සංචිතවලින් සියයට 27 ක් බවත්, එය වසරකට පෙර සියයට 20 ක් වූ බවත්, යුරෝපීය මහ බැංකුව මෙම මාසයේ වාර්තා කලේ ය. 1946 න් පසු පලමු වරට මාර්තු මාසයේ දී ෆෙඩරල් නය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ඉක්මවා ගොස් තිබුනි. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පහත වැටීම වේගවත් කර ඇති අතර යුද්ධය තුලින් විසඳීමට අදහස් කල ව්‍යුහාත්මක අර්බුදය ගැඹුරු කර ඇත.
යුද්ධය දියත් කරන ලද්දේ උත්සන්න වෙමින් පවතින සමාජ ගැටුම්වල පසුබිමක ය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් නියෝජිතයන් විසින්, 37 හැවිරිදි කිවිඳියක වූ රෙනී නිකොල් ගුඩ් සහ 37 හැවිරිදි සාත්තු සේවකයෙකු වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි ඝාතනය කිරීමෙන් පසු ICE ට එරෙහි මහජන විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් දියත් කරන ලද යුද්ධය, වෙනත් දේ අතර, මෙම නැගී එන විරුද්ධත්වය දේශප්‍රේමී යුද උන්මාදයේ මාර්ගවලට හරවා යැවීමේ උත්සාහයකි.
දැන් සමාජ විරෝධය උත්සන්න වනු ඇති අතර, එය කම්කරු පන්තිය තුල වඩ වඩාත් කේන්ද්‍රගත වනු ඇත. ඇමරිකානු ඇක්සල් හි මෝටර් රථ අමතර කොටස් සේවකයින් මෙම මාසයේ වැඩ වර්ජනය කලහ. දුම්රිය මාර්ග හිමියන්, මස් ඇසුරුම්කරුවන්, ගුරුවරුන් සහ හෙදියන් වැඩ නවත්වා ඇත. ඉරිදා ගනුදෙනුව පිලිබඳ පුවතත් සමඟ වෝල් වීදිය ඉහල ගිය නමුත් ඉන්ධන සහ ආහාර මිල ගනන් පවතින්නේ, යුද්ධයට පෙර මට්ටමට වඩා බෙහෙවින් ඉහලිනි. PCE (පුද්ගලික පරිභෝජන වියදම්) උද්ධමනය සියයට 3.8 දක්වා ලඟා වී ඇති අතර එය 2021 සිට වේගවත් ම ඉහල යාම යි දැන් සමාජ විරෝධය උත්සන්න වනු ඇති අතර, එය කම්කරු පන්තිය තුල වඩ වඩාත් කේන්ද්‍රගත වනු ඇත. ඇමරිකානු ඇක්සල් හි මෝටර් රථ අමතර කොටස් සේවකයින් මෙම මාසයේ වැඩ වර්ජනය කලහ. දුම්රිය කම්කරුවන්, මස් ඇසුරුම්කරුවන්, ගුරුවරුන් සහ හෙදියන් වැඩ නවත්වා ඇත. ඉරිදා ගනුදෙනුව පිලිබඳ පුවතත් සමඟ වෝල් වීදිය ඉහල ගිය නමුත් ඉන්ධන සහ ආහාර මිල ගනන් පවතින්නේ, යුද්ධයට පෙර මට්ටමට වඩා බෙහෙවින් ඉහලිනි. PCE (පුද්ගලික පරිභෝජන වියදම්) උද්ධමනය සියයට 3.8 දක්වා ලඟා වී ඇති අතර එය 2021 සිට වේගවත් ම ඉහල යාම යි. පාරිභෝගික මනෝභාවයන්, මහා අවපාතය හෝ වසංගතය පැවති කාලයට වඩා සෑම විටම අවම මට්ටමක පවතී.
යුද්ධයේ පිරිවැය ඉහල යන මිල ගනන් හරහා කම්කරුවන්ගෙන් උකහා ගෙන ඇති අතර සංගත ලාභ ලබා ඇත. ආර්ථික බලපෑම, ඉදිරි වසර කිහිපය තුල එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව පන්ති ගැටුම්වලට ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදය ම ඊට එරෙහි ව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් නිර්මානය කරයි.
ට්‍රම්ප් පරිපාලනය ගැඹුරු වන සමාජ විරෝධයට එය පෙන්නුම් කර ඇති ක්‍රමවේදයන් සමඟින් ප්‍රතිචාර දක්වන්නු ඇත: ICE වැටලීම්, සමූහ රැඳවුම් යටිතල ව්‍යුහ, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක භටයින් යෙදවීම, දේශපාලන විරුද්ධත්වය අපරාධකරනය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම. ඉරානයේ පරාජයක් මෙම ගමන් පථයේ සැර බාල නොකරනු ඇත. ඒ වෙනුවට, එය තීව්‍ර කරනු ඇත. විදේශයන්හි අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුන දී සිටින ඇමරිකානු පාලක පන්තිය, රට තුල කම්කරු පන්තියට එරෙහිව නව ප්‍රචන්ඩත්වයක් මුදා හරිනු ඇත.
කර්තව්‍යය වන්නේ, විෂය පථයෙන් ජාත්‍යන්තර වන, ක්‍රියාමාර්ගයෙන් සමාජවාදී වන, අරමුනු අතින් දේශපාලනික ව සවිඥානික වන කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.
