ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මාධ්‍ය නිදහස මර්දනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට

[මෙය Sri Lanka: JVP/NPP government prepares to further suppress media freedom යන මැයෙන් 2026 ජූනි 23 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජනතා බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ශ්‍රී ලංකා මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනය (CIMP) නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් ගැසට් කර ඇත. එය මාධ්‍යවේදීන් සහ සියලු ම මාධ්‍ය වෘත්තිකයින් මත, රාජ්‍යය විසින් මෙහෙයවනු ලබන ප්‍රමිතිකරනය, අධීක්ෂනය සහ විනයගත කිරීම පිලිබඳ රාමුවක් පැනවීම මගින් මාධ්‍ය නිදහස සැලකිය යුතු ලෙස ඛාදනය කරනු ඇත.

නීති කෙටුම්පත ජුනි 5 වන දින නිකුත් කරන ලද අතර එය ඉක්මනින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමි කර ගෙන සිටින බැවින්, නීති කෙටුම්පත පහසුවෙන් සම්මත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2026 මාර්තු 20 වැනි දින පාර්ලිමේන්තුව අමතන ජනාධිපති අනුර කුමාර දිසානායක [ඡායාරූප: ෆේස්බුක්/අනුර කුමාර දිසානායක] [Photo: Facebook/Anura Kumara Dissanayake]

මෙම පනත් කෙටුම්පත මගින්, පුහුනු කිරීම්, පර්යේෂන සහ අනෙකුත් සේවාවන් සැපයීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා මාධ්‍ය සංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමක් ඉටු කරන බව ආන්ඩුව පවසයි. පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට එහි “ප්‍රාථමික අරමුන” වන්නේ, “ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තිකයන් සඳහා ඉහල වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වා දීම, ප්‍රවර්ධනය සහ පවත්වාගෙන යාම” බවයි.

ඇත්ත වශයෙන්ම, පනත් කෙටුම්පතේ පෙල පැහැදිලි කරන්නේ, යෝජිත CIMP, මාධ්‍ය මත රාජ්‍යයේ පාලනය ශක්තිමත් කිරීම සහ මාධ්‍යවේදීන් බිය ගැන්වීම අරමුනු කරගත්, සම්පූර්නයෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතනයක් වනු ඇති බවයි.

ජුනි 7 වන දින, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), පනත් කෙටුම්පත වහා ම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී විධිවිධාන සහ මාධ්‍ය නිදහස කෙරෙහි ඒවායේ ඇඟවුම් විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කලේ ය. “මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන ආයතනයක් නිර්මානය කිරීම පිලිබඳ සාකච්ඡා වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති” බව SLWJA පිලිගත් නමුත්, ආන්ඩුවේ යෝජනාව “මාධ්‍ය මර්දනය මුල් කරගත් න්‍යාය පත්‍රයක්” හෙලිදරවු කරන බවට එය අනතුරු ඇඟවී ය.

පලමු ව, ආයතනයේ පාලන අධිකාරිය ස්ථාපිත කරනු ලබන්නේ සෘජු ව ම දේශපාලන විධායකය විසින් බවට පනත් කෙටුම්පත වග බලා ගනියි. 5(4)(අ) වගන්තිය මගින්, අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇති ව නම් කරන ලද සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත අතුරු කවුන්සිලයක් පත් කිරීමට අමාත්‍යවරයාට බලය පවරයි. 5(4)(ආ) වගන්තිය මඟින්, ආන්ඩුව විසින් පත් කරන ලද මෙම ආයතනයට, නිත්‍ය කවුන්සිලය (permanent council) තෝරා පත් කර ගැනීම සඳහා නිර්නායක සකස් කිරීමට පූර්න බලය පවරයි. ආයතනය පාලනය කරන්නේ කවුරුන් ද සහ මාධ්‍යවේදීන් කෙරෙහි අධිකාරිය ක්‍රියාත්මක කරන්නේ කවුරුන් ද යන්න තීරනය කරන නීති රීති අමාත්‍යවරුන් විසින් කෙටුම්පත් කරනු ලැබේ.

දෙවනු ව, පනත් කෙටුම්පත මගින්, මාධ්‍යවේදීන්ට දඬුවම් කල හැකි විනය යාන්ත්‍රනයක් ස්ථාපිත කෙරේ. 12(1)(c) වගන්තිය මගින් විනය කමිටුවක් ස්ථාපිත කරන අතර, 23(1) සහ 23(2) වගන්ති මගින්, චෝදනා එල්ල වන “වෘත්තීය විෂමාචාර” විමර්ශනය කිරීමට එයට බලය පවරයි. පනත් කෙටුම්පතේ “වෘත්තීය විෂමාචාරය” යන පදය නිර්වචනය කර නොමැති අතර එය කවුන්සිලය විසින් සාදන නීති මගින් තීරනය වනු ඇත. මෙම නොපැහැදිලි බව කෙටුම්පත් කිරීමේ දී සිදුවූ අත් වැරැද්දක් නොවේ; එය දේශපාලනය හැසිරවීමේ යාන්ත්‍රනයකි. සමාජ විරෝධයට මුහුන දෙන ආන්ඩුවකට, පාලන තන්ත්‍රය අපහසුතාවයට පත් කරන හෝ එහි ප්‍රතිපත්තිවලට අභියෝග කරන ආකාරයේ වාර්තාකරනයන් විෂමාචාරය ලෙස අර්ථ දැක්විය හැකි ය.

24 වන වගන්තිය මඟින්, කවුන්සිලයට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට, සාමාජිකත්වය වසරක් දක්වා අත්හිටුවීමට හෝ සාමාජිකත්වය සම්පූර්නයෙන් ම අවලංගු කිරීමට ඉඩ සලසයි. මෙයින් අදහස් කෙරෙන්නේ මාධ්‍යවේදියෙකුගේ වෘත්තිය සහ ජීවනෝපාය අහිමි කිරීමට CIMPට ඇති බලය යි. අනතුරු ඇඟවීම්වලට සහ විනය පියවරයන්ට යටත් වන අයට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වනු ඇත.

මාධ්‍යවේදීන්ට බලපත්‍ර ලබා දීමමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පටහැනි සංකල්පයකි. මාධ්‍ය නිදහස යනු ආන්ඩුව විසින් පත් කරන ලද ආයතනයකට සහතික කල හැකි ආකාරයේ එකක් නොවේ. තම වාර්තාකරනය නිල වශයෙන් අනුමත කරන ලද “වෘත්තීයභාවයේ” සම්මතයන්ට ගැලපේද යන්න තීරනය කිරීම සඳහා විනය කමිටුවක් කැඳවනු ඇතැයි යන කිසිදු බියකින් තොරව, විමර්ශනය කිරීමටත්, විවේචනය කිරීමටත්, සත්‍යය හෙලිදරව් කිරීමටත් මාධ්‍යයට හැකි විය යුතු ය.

25(1) වගන්තිය මඟින්, පනත යටතේ රෙගුලාසි සෑදීම සඳහා අමාත්‍යවරයාට සුවිශේෂී බලයක් ලබා දෙයි. මෙමඟින් ස්වාධීනත්වය පිලිබඳ ඕනෑම මවාපෑමක් ඉරා දමන අතර ආයතනයේ මෙහෙයුම් සහ නීතිරීති හැසිරවීමේ බලය මුලුමනින්ම ආන්ඩුව අතට පත් කරයි.

මෙම පනත් කෙටුම්පත 'මාධ්‍ය වෘත්තිකයන්' කෙතරම් පුලුල් ලෙස අර්ථ දක්වනවාද යත්, මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, නිවේදකයින්, ප්‍රකාශකයින්, මාධ්‍ය හිමිකරුවන්, කලමනාකරුවන් සහ වීඩියෝ ශිල්පීන් ඇතුලු මාධ්‍ය කර්මාන්තයේ සේවය කරන සෑම කෙනෙකුම පාහේ එයට ඇතුලත් වේ. මෙම අර්ථ දැක්වීමේ පුලුල් පරාසය, CIMP හි නියාමන ප්‍රවේශය සමස්ත මාධ්‍ය පරිසර පද්ධතිය පුරා විහිදෙන බවට ඇඟවුමකි. කිසිදු මාධ්‍ය වෘත්තික කාන්ඩයක් එහි විනයගතකරනයේ අධිකාරී බලයෙන් පිටත නොසිටිනු ඇත.

මාධ්‍ය ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන්, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ මෙම නව ආයතනය, මාධ්‍ය මත දැඩි රාජ්‍ය පාලනයක් පනවනු ඇත. එය, මාධ්‍යවේදීන්ගේ ගෙල සිර කිරීමට සහ මාධ්‍ය නිදහස මර්දනය කිරීමට දැනටමත් භාවිතා කරන, පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී බලතල මත ගොඩ නැගේ.

දැනට ක්‍රියාත්මක වන හදිසි නීති රෙගුලාසි, මාධ්‍ය ප්‍රකාශන නවතා දැමීමට, මාධ්‍ය වාරනය කිරීමට සහ මාධ්‍ය ආයතන පිටින් වසා දැමීමට භාවිතා කල හැකි ය. පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දිට්වා සුලි කුනාටුව රටට බලපෑ විට, ජනාධිපති දිසානායක හදිසි නීති රෙගුලාසි පැන වූ අතර මෙම කුරිරු නීතිය තව දුරටත් දීර්ඝ කලේ ය.

1973 පුවත්පත් මන්ඩල පනත යටතේ, රාජ්‍ය විනිශ්චය සභාවකට, පුද්ගලික හෝ සංවිධානගත, දේශපාලන ප්‍රකාශනයක් ලෙස හෝ ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යන ඕනෑ ම මාධ්‍යයකට එරෙහි ව කෙරෙන පැමිනිලි විමර්ශනය කල හැකි ය. නිවැරදි කිරීම් සහ සමාව අයැදීම් ඉල්ලා සිටීමට විනිශ්චය සභාවට බලය ඇති අතර සමහර විට අධිකරනය හරහා අපහාස නඩු විභාග කෙරේ.

රිපෝටර්ස් විතවුට් බොඩර්ස් සහ SLWJA වැනි සංවිධාන දිගු කලක් තිස්සේ පුවත්පත් මන්ඩල පනතේ මර්දනකාරී බලතලවලට විරුද්ධ වී ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව (2005–2015) අනෙකුත් කුරිරු මාධ්‍ය රෙගුලාසි සමඟ, ඔන්ලයින් මාධ්‍යයන්ද ඇතුලත් කිරීම සඳහා නීතියේ පරාසය පුලුල් කලේය. කොලඹ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (LTTE) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය උත්සන්න කරන විට, මාධ්‍යවේදීන්ට මිනීමැරුම්, පැහැරගැනීම් සහ බිය ගැන්වීම්වලට මුහුන දීමට සිදු විය.

“ව්‍යාජ ප්‍රවෘත්ති” වලට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන් 2024 දී රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවන ලද අන්තර්ජාල ආරක්ෂන පනත, දේශපාලන විරුද්ධත්වය අපරාධකරනය කිරීම සඳහා ආන්ඩුව විසින් පත් කරන ලද කොමිසමකට පුලුල් වාරන බලතල ලබා දුන්නේ ය. ජවිපෙ/ජාජබ නීතියට විරුද්ධ ව ඡන්දය දුන් අතර, මැතිවරන ව්‍යාපාරයේ දී, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ තම ප්‍රකාශනයේ කොටසක් ලෙස එය අවලංගු කිරීමට පොරොන්දු විය. එහෙත් බලයට පත්වීමෙන් පසු, නීතිය එ ලෙස ම ක්‍රියාත්මක වේ.

ජවිපෙ/ජාජබ ආන්ඩුව මෙම ඒකාධිපති ගමන් පථය තීව්‍ර කරමින් සිටී. ඔවුහු නිදහස් භාෂනය මර්දනය කිරීමට මෙන් ම රටේ හදිසි නීතිය දීර්ඝ කිරීමට භාවිතා කර ඇති කුරිරු ත්‍රස්ත විරෝධී පනත (පීටීඒ) ඇතුලු මර්දනකාරී ත්‍රස්ත විරෝධී නීති රඳවා ගෙන සිටිති.

මාධ්‍යවේදීන් නැවත නැවතත් බිය ගැන්වීම්වලට ලක් වේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පැමිනිල්ලකට අනුව, 2025 නොවැම්බර් මාසයේ දී, අරුන පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමගෙන් ප්‍රශ්න කිරීම සඳහා සීඅයිඩී කන්ඩායමක් එහි කාර්යාලයට ගියේ ය. විදේශ රැකියා සහ රාජ්‍ය රැකියා අයදුම්පත් වැනි පුද්ගලයින්ගේ නිල අරමුනු සඳහා පොලිස් නිෂ්කාශන සහතික සඳහා, දැන් ප්‍රධාන වශයෙන් ජවිපෙ සාමාජිකයින්ගෙන් පිරී තිබෙන, දේශීය සිවිල් ආරක්ෂක කමිටුවල අනුමැතිය අවශ්‍ය වන බව වාර්තා කරමින්, නොවැම්බර් 19 වන දින පුවත්පතේ පල වූ ලිපියකට අමාත්‍යවරයා විරුද්ධ විය.

ඝාතනයට ලක් වූ දෙමල ජනතාවගේ මල සිරුරු සිය ගනනක් වලලනු ලැබූ යාපනයේ චෙම්මනි සමූහ මිනීවල පිලිබඳ වාර්තා කිරීම සම්බන්ධයෙන් දෙමල මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් 2025 අගෝස්තු මාසයේ දී ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය විසින් කැඳවන ලදී.

නව මාධ්‍ය පනත, ඒකාධිපති පාලන ක්‍රම පැටවීම සම්බන්ධයෙන් දිසානායක ආන්ඩුවේ පුලුල් ධාවනයක කොටසකි.

විශේෂයෙන් 1980 දශකයේ අග භාගයේ දී, තම දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රචන්ඩකාරී, ෆැසිස්ට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ජවිපෙට කුප්‍රකට වාර්තාවක් තිබේ. 1965 දී සුලු ධනේශ්වර රැඩිකල්වාදය, මාඕවාදය සහ සිංහල ස්වෝත්තමවාදය මත පදනම් වූ සාරසංග්‍රහවාදී වැඩසටහනක් සමඟ ආරම්භ කරන ලද ජවිපෙ, දෙමල ජනතාවට එරෙහි කොලඹ පාලනයේ වර්ගවාදී යුද්ධයට සහාය දැක්වීය. මෑත වසරවලදී ජවිපෙ දේශපාලන සංස්ථාපිතයට ඒකාබද්ධ විය.

2024 මැතිවරනය ජයග්‍රහනය කල දා සිට, ජවිපෙ/ජාජබ ආන්ඩුව, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ රට තව තවත් සමීප ව පෙලගස්වන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව කෲර කප්පාදු ගෙන ගියේ ය. මාධ්‍ය නිදහසට එල්ල කෙරෙන මෙම ප්‍රහාරය, තම ජීවන තත්වයන්ට එල්ල වන තීව්‍ර ප්‍රහාරවලට එරෙහි ව කම්කරුවන් සහ ග්‍රාමීය දුප්පතුන් අතර වැඩෙන විරෝධය මැඬ පැවැත්වීම සඳහා එහි සූදානමේ කොටසකි. රට “සංවර්ධනය කිරීම සඳහා වන ආර්ථික යුද්ධයට” මාධ්‍ය යටත් විය යුතු බවට ජනාධිපති දිසානායක සහ ඔහුගේ ආන්ඩුවේ සාමාජිකයින් විසින් කරන ප්‍රකාශවල සැබෑ අර්ථය එයයි. 

ජුනි 12 වන දින පාර්ලිමේන්තුවේ දී කතා කරමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, CIMP පනත “ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක්” ලෙස විවේචනය කල අතර, එමඟින් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල හැක්කේ කාටද යන්න තීරනය කිරීමට ආන්ඩුවට ඉඩ සැලසෙන බවට අනතුරු ඇඟවී ය.

ප්‍රේමදාසගේ විවේචනයේ කිසිදු විශ්වසනීයභාවයක් නොමැත. 2020 දී සමගි ජන බලවේගය (සජබ) පිහිටුවීමට පෙර ඔහු වසර ගනනාවක් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රමුඛ චරිතයක් විය. මාධ්‍ය නිදහසට එල්ල කල ප්‍රහාර සහ මාධ්‍යවේදීන් මර්දනය කිරීම ඇතුලු දශක ගනනාවක් තිස්සේ ගෙනගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩු වගකිව යුතු ය.

මාධ්‍ය වෘත්තිකයින්ට හෝ මාධ්‍ය නිදහසට පහර දීමට භාවිතා කල හැකි ඕනෑම නීතියකට සමාජවාදී සමානතා පක්ෂය විරුද්ධ වේ. මාධ්‍ය මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය, විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ධනේශ්වර ක්‍රමයටම එරෙහි දේශපාලන අරගලයේ අංගයකි. කම්කරු පන්තිය දැනගත යුතු, කිව යුතු හෝ ප්‍රකාශයට පත් කල යුතු දේ තීරනය කිරීමට කිසිදු වරලත් ආයතනයකට, කිසිදු අමාත්‍ය නියාමනයකට හෝ කිසිදු විනය කමිටුවකට අවසර දිය නොහැක.

Loading