සමාජවාදී සමානතා පක්ෂය ප්‍රවීන ට්‍රොට්ස්කිවාදී ගීතානන්ද ජයසේකරට උපහාර දක්වයි

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) දිගුකාලීන සාමාජිකයෙකු වූ ගීතානන්ද බාලසූරිය ජයසේකර සහෝදරයාගේ අවමංගල්‍යය ජූලි 1දා කොලඹ දී පැවැත්විනි. පක්ෂ සහෝදරවරුන් අතර “ගීතා” ලෙස ආදරනීය ලෙස හැඳින්වුනු ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පෙලුනු උන රෝගයකින් උත්සන්න වූ හෘදයාබාධයක් හේතුවෙන් වයස අවුරුදු 70 දී ජුනි 29දා අභාවපාත්‍රවූයේ, තම හැත්තෑ එක් වන උපන් දිනයට මාස දෙකකටත් අඩු කාලයක් තිබිය දී ය.

වෛද්‍ය රෙගුලාසි අනුව ඔහුගේ මරනයෙන් පසු දින ආදාහනය සිදු කිරීමට නියම කර තිබූ බැවින්, බොහෝ සහෝදරවරුන්ට සහ ආධාරකරුවන්ට ඔහුගේ අවසන් කටයුතු වලට සහභාගී වී ගෞරව දැක්වීමට පැවතියේ සීමිත කාලයකි. ජූලි 1දා පෙරවරු 10 සිට බොරැල්ලේ නීලා අවමංගල්‍ය ශාලාවේ ඔහුගේ දේහය තැන්පත් කර තිබුනි. දහවල්, සසප සාමාජිකයෝ, ආධාරකරුවෝ, ඥාතීන් සහ මිතුරෝ බොරැල්ලේ සුසාන භූමියේ ආදාහනාගාරය දක්වා දේහය පෙරදැරි කරගත් අවමංගල්‍ය පෙරහැරකට එක් වුහ.

අවමංගල්‍ය පෙරහැර

ආදාහනයට පෙරාතු ව අවමංගල්‍ය රැස්වීමක් පැවැත්විනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ශ්‍රී ලංකාවේ ජාතික කර්තෘ කේ. රත්නායක එහි ප්‍රධානත්වය දැරුවේ ය. රැස් ව සිටි පිරිස ඇමතූ රත්නායක, ගීතා තම ජීවිතයේ වැඩි කාලයක් පුරා බරපතල හෘද ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු විඳ දරා ගෙන සිටි බවත් ප්‍රධාන හෘද සැත්කම්වලට භාජනය වූ බවත් පැවසුවේ ය. මෙම දුෂ්කරතා මධ්‍යයේ වුව ද, පක්ෂයට බැඳුනු තැන පටන්, එහි කටයුතුවලට සහභාගී වීමට, නව සාමාජිකයින් බඳවා ගැනීමට සහ විප්ලවවාදී ව්‍යාපාරය ශක්තිමත් කිරීමට පැවති අධිශ්ඨානය නිසා අසනීප වූ සෑම අවස්ථාවක ම ඔහුට ඉක්මනින් සුවපත් වීමට අවශ්‍ය විය.

ගීතානන්ද ජයසේකර සහෝදරයාගේ අවමංගල්‍යය සභාවේ කතා කරන ලෝසවෙඅ ජාතික කර්තෘ කේ. රත්නායක

1996 දී විකොස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) බවට පරිවර්තනය කිරීමේදී ගීතා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන ඉදිරිදර්ශන සම්පූර්නයෙන්ම උකහා ගෙන ආරක්ෂා කල බව රත්නායක පැහැදිලි කලේ ය. 1998 දී ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) දියත් කිරීම ගැන උද්‍යෝගිමත්වූ ඔහු පසු ව ලෝසවෙඅ හි සිංහල භාෂා අංශය උඩුගත කිරීම (posting) සහ පවත්වාගෙන යාමේ වගකීම භාර ගත්තේය. එය ඔහු දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉටු කල කාර්යයකි. ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දේශපාලන විශ්ලේෂන සහ ඓතිහාසික පාඩම් ලංකාව පුරා කම්කරුවන්ට සහ තරුනයින්ට ලඟා වීම සහතික කිරීම ඔහුට අවශ්‍ය විය.

“ඔහු අතිශයින් ම සංස්කෘතික ගෞරවනීය සහෝදරයෙක්,” රත්නායක පැවසීය. “පක්ෂ සාමාජිකයින් සමඟ උනුසුම් සුහද සබඳතා පවත්වා ගෙන ගිය, පක්ෂයේ මූලධර්ම දැඩි ලෙස ආරක්ෂා කල ගීතා විප්ලවවාදීන්ගේ තරුන පරම්පරාවන්ට ආදර්ශයක්.”

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ව සිටියදී ගීතා ගැන මුලින් ම දැන ගත් ආකාරය සිහිපත් කලේ ය. පක්ෂය සිංහල මාධ්‍යයෙන් පලකල   කම්කරු මාවත පුවත්පතේ පල වූ ලිපියක, කොටහේනේ දී කම්කරුවන් අතර සමාජවාදී සාහිත්‍යය බෙදා හරිමින් උද්ඝෝෂනයක දී සිටිය දී එක්සත් ජාතික පක්ෂයේ මැරයන් විසින් ගීතා ඇතුලු අනෙකුත් සහෝදරවරුන්ට පහරදීමක් විස්තර කර තිබුනි.   

ගීතානන්ද ජයසේකර සහෝදරයාගේ අවමංගල්‍යය සභාවේ කතා කරන සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර

වර්ගවාදී ආතතීන් සහ දේශපාලන අර්බුදය උත්සන්න වෙමින් පැවති 1983 දී ගීතා විප්ලවවාදී ව්‍යාපාරයට එක් වූ බව ජයසේකර පැහැදිලි කලේ ය. පාලක පන්තිය දෙමල විරෝධී ස්වෝත්තමවාදය අවුස්සමින් රට සිවිල් යුද්ධයක් කරා තල්ලු කරමින් සිටියේ ය. තර්ජන, බිය ගැන්වීම් සහ ශාරීරික ප්‍රහාර නොතකා, ගීතා සහ ඔහුගේ සගයන් විකොස සහ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම සඳහා කම්කරුවන් අතර වෙහෙස නොබලා සටන් කලහ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල සංස්කරනයේ දේශපාලනික හා භාෂාමය ගුනාත්මකභාවය පවත්වා ගැනීම සඳහා ගීතාගේ කාර්යභාරයට, සසප ප්‍රධාන ලේකම්වරයා විශේෂ ගෞරවයක් පල කලේ ය.

සිංහල සහ ඉංග්‍රීසි යන දෙක ම පිලිබඳ සැලකිය යුතු දැනුමක් අත්කර ගෙන සිටි ගීතා, පරිවර්තන ප්‍රවේශමෙන් සමාලෝචනය කල අතර, නිවැරදි කිරීම අවශ්‍ය වන අපැහැදිලිතා හෝ සදොස් තැන් බොහෝ විට හරියට ම හඳුනා ගත්තේ ය. ඔහුගේ දිගු දේශපාලන අත්දැකීම් සහ ට්‍රොට්ස්කිවාදය පිලිබඳ ගැඹුරු අවබෝධය නිසා ඔහුට වැඩි න්‍යායික නිරවද්‍යතාවයක් අවශ්‍ය වන සූත්‍රගත කිරීම් හඳුනා ගැනීමට හැකි විය. පක්ෂය විසින් නිෂ්පාදනය කරන ලද සෑම ප්‍රධාන ප්‍රකාශනයකට ම පාහේ ගීතා සෝදුපත් කියවීමේ කටයුතු සිදු කල බව ජයසේකර ද සඳහන් කලේ ය. ඔහුගේ අවසාන දායකත්වයන් අතරට, අභාවප්‍රාප්ත සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පරිවර්තනය කරන ලද ලියොන් ට්‍රොට්ස්කිගේ Whither France? හි ප්‍රංශය කොයිබට ද? නම් වූ සිංහල පරිවර්තනයේ සෝදුපත් කියවීම ද ඇතුලත් විය.

තම ප්‍රකාශය අවසන් කරමින් ජයසේකර පැවසුවේ, ගීතා වසර ගනනාවක් තිස්සේ සංකීර්න හෘද රෝගයකින් පෙලුන ද, ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ අරගලයට ඔහුගේ කැපවීම ඔහුගේ ජීවිතයේ ගාමක බලවේගය බවට පරිවර්තනය කල බවයි.

දෙමල භාෂාවෙන් කතා කරමින් සසප මධ්‍යම කාරක සභාවේ එම්. දේවරාජා අවධාරනය කලේ, ගීතා ජාතිවාදයට සහ සියලු ආකාරයේ සුලු ධනේශ්වර දේශපාලනයට එරෙහි පක්ෂයේ න්‍යායික හා දේශපාලනික අරගලයන් තුල දේශපාලනික ව හැඩ ගැන්වුනු පුද්ගලයෙකු වූ බවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය පවත්වාගෙන යාම සඳහා ගීතාගේ අසාමාන්‍ය කැපවීම ඔහු සිහිපත් කල අතර, දවසේ සියලු ම අදාල වැඩ කටයුතු සහතික කිරීමෙන් පසු පක්ෂ කාර්යාලයෙන් නික්ම ගිය අවසාන සහෝදරයා ඔහු බව සඳහන් කලේ ය.

එම්. දේවරාජා

සසප (ඕස්ට්‍රේලියාව) ජාතික ලේකම් ෂෙරිල් ක්‍රිස්ප් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ පීටර් සිමන්ඩ්ස් විසින් එවන ලද ශෝක පනිවිඩ රැස්වීමට කියවන ලදී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ පක්ෂය කෙරෙහි ගීතාගේ පැවැති කැපවීම, පැබ්ලෝවාදී සංශෝධනවාදයට සහ ස්ටැලින්වාදයට එරෙහි ව ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන ලද ඓතිහාසික අරගලය පිලිබඳ ගැඹුරු අවබෝධය තුල මුල් බැස තිබූ බව සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් අවධාරනය කලා ය.

විලානි පීරිස්

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අඛන්ඩතාව ආරක්ෂා කිරීම සහ එහි මූලධර්ම නොසැලෙන ලෙස ආරක්ෂා කිරීම සඳහා ඔහු දැක් වූ සැලකිල්ල ඇය සිහිපත් කලා ය. ගීතාගේ පුලුල් සංස්කෘතික දැනුම ගැන පීරිස් විස්තර කලා ය. ජාත්‍යන්තර ගීතයේ සිංහල අනුවාදයේ පලමු පටිගත කිරීමට කීර්තිමත් කලාකරුවන් සහ සංගීතඥයන් සමඟ ගීතා සහභාගී වූයේ ය. ගනිත ගුරුවරයෙකු ලෙස ඔහුට සැලකිය යුතු හැකියාවන් තිබුන ද, ඔහු සම්පූර්නයෙන්ම විප්ලවවාදී දේශපාලන කටයුතු සඳහා කැපවීමට තෝරා ගත්තේ ය.

සමාජ සමානතාවය සඳහා වූ ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජාතික කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු, ගීතාගේ සංගීතය, භාෂාව සහ සංස්කෘතිය පිලිබඳ පුලුල් දැනුම ගැන කතා කලේ ය. ගීතා ඓතිහාසික භෞතිකවාදයේ දෘෂ්ටි කෝනයෙන් කලාත්මක සංවර්ධනයට ප්‍රවේශ වූ බවත්, සංස්කෘතිය ජාතිකවාදයට යටත් කිරීමට දරන සියලු උත්සාහයන්ට විරුද්ධ වූ බවත් ඔහු පැහැදිලි කලේ ය. ගීතා විසින් තරුන සහෝදරවරුන්ට සංගීතය සහ භාෂාව යන දෙක ම පිලිබඳ අවබෝධය ගැඹුරු කිරීමට උපකාර කල සාකච්ඡා රාශියක් ප්‍රනාන්දු සිහිපත් කලේ ය.

කපිල ප්‍රනාන්දු

ගීතාගේ ඥාතීන් වෙනුවෙන්, ඔහුගේ බෑනනුවන් වන රජීව් ජෝර්ජ් උපහාරය සංවිධානය කිරීම සඳහා සසපට ස්තූති කලේ ය. මනමේ සහ සිංහබාහු ඇතුලු ශ්‍රී ලාංකික නාට්‍ය කලාවේ වැදගත් කෘති තමාට ‘ගීතා මමා’ විසින් හඳුන්වා දුන් ආකාරය සහ ඒවායේ වැදගත්කම ඉවසිලිවන්ත ව පැහැදිලි කල ආකාරය ඔහු සිහිපත් කලේ ය. ගනිත ගුරුවරයෙකු ලෙස ගීතාගේ දිරිගැන්වීම සහ මග පෙන්වීම පිලිබඳව ජෝර්ජ් උනුසුම් ලෙස කතා කල අතර, එය තම අධ්‍යාපනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කල බව සඳහන් කලේ ය.

ගීතානන්ද ජයසේකරගේ ජීවිතය, ට්‍රොට්ස්කිවාදයේ සහ ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම සඳහා දශක හතරකට වැඩි කාලයක් කැප වූ අරගලයක් විය. 1983 දී විකොසට සම්බන්ධ වූ ඔහු, තම අවසන් දින දක්වා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන උරුමයට ස්ථිර ව කැප වී සිටියේ ය. ඔහුගේ මරනය සසපට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට සැලකිය යුතු පාඩුවකි. ඒ සමඟ ම, සමාජවාදය සඳහා අරගලයට පිවිසෙන නව පරම්පරාවේ කම්කරුවන් සහ තරුනයින් සඳහා ඔහුගේ ජීවිතය ආදර්ශයක් ලෙස පවතී.

ගීතාගේ අභාවය ගැන ශෝකය පල කරමින් එවූ තවත් ශෝක පනිවුඩ අපි ඉදිරියේ දී මෙහි පල කරන්නෙමු.

Loading