[මෙය Trump’s speech on the elections: A ruling class in crisis lurches toward dictatorship යන මැයෙන් 2026 ජූලි 17 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
බ්‍රහස්පතින්දා (16) රාත්‍රියේ ධවල මන්දිරයේ දී, ඩොනල්ඩ් ට්‍රම්ප්, වැඩි ම රූපවාහිනි නරඹන්නන් පිරිසක් සහභාගී වන වෙලාවේ කල කතාව, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තියට කල තියුනු අනතුරු ඇඟවීමකි. එහි අරමුන වූයේ, නොවැම්බර් මධ්‍ය-වාර මැතිවරනයෙන් ආරම්භ වන, එලඹෙන මැතිවරන මර්දනය කිරීම, වංචා කිරීම සහ පෙරලා දැමීම සඳහා කඩතුරාවක් සම්පාදනය කර ගැනීමයි.
උමතු සහ ඇතැම් විට කොහෙත් ම වටහා ගත නොහැකි වූ එම කතාව, දැවැන්ත අර්බුදයක ග්‍රහනයේ සිටින පරිපාලනයක සහ පාලක පන්තියක ප්‍රකාශනයක් විය. ට්‍රම්ප් විකාර සහගත සහ සනාථ කල නොහැකි චෝදනා රාශියක් ඉදිරිපත් කලේ ය—ඒ අනුව, 'විගනනයකින් පවා අනාවරනය කර ගත නොහැකි ආකාරයට' වෙනිසියුලාව සමඟ ඒකාබද්ධ ව ඡන්ද යන්ත්‍ර වංචා කර ඇති බවට 'මුලුමනින් සනාථ කල නොහැකි වූ' බැවින් පුලුස්සා නොදමා ඔබාමා ඉතිරි කර ගොස් තිබූ, ඇමරිකානු ඡන්දදායකයින් මිලියන 220 ක ලිපිගොනු සහිත අපරාධාරෝපන ලියකියවිලි (incriminating documents) සහිත 'ආරක්ෂිත බහාලුම් මලු' චීනය විසින් සොරකම් කර ඇත.
ඔහුගේ පරිපාලනය සැප්තැම්බර් මාසයේ ෂී ජින් පිං සමඟ සමුලුවක් සූදානම් කරමින් සිටියදී පවා, ට්‍රම්ප් චීනය තමා විනාශ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රනයක මූලිකයා බවට හෙලා දුටුවේ ය.
දේශනය ආරම්භ වූයේ ස්වයං-වර්නනා වරුසාවක් සමඟිනි—එක්සත් ජනපදය “ලෝකයේ උනුසුම් ම රට,” වේ; වෙලඳපොලවල් “හැම විට ම ඉහල ම” මට්ටමේ පවතී; දේශසීමා මුද්‍රා තබා ඇත; පසුගිය වසර 125 තුල අපරාධ අවම මට්ටමක පවතී; “අපි වෙනිසියුලාවේ දී ජයග්‍රහනය කලෙමු”; “ඉරානය තුල විශාල ජයග්‍රහන ලබා ඇත්තෙමු.” එන මෙම සමාන්තර විශ්වය ම, යථාර්ථයත්, සිදුවීම්වල ග්‍රහනයත් අහිමි වෙමින් සිටින පාලන තන්ත්‍රයක රෝග ලක්ෂනයකි.
සමස්ත ඉදිරිපත් කිරීම ම මංමුලා සහගත බවක් පෙන්නුම් කලේය. මේ මංමුලා සහගත බවට සාධාරන හේතු පවතී. භූ දේශපාලනික වශයෙන්, ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඉරානයට එරෙහි යුද්ධයේ දී තම එක ඉලක්කයක්වත් සාක්ෂාත් කර ගැනීමට සමත් වී නොමැති අතර, එය දැන් තව තවත් උත්සන්න වෙමින් පවතී—තෙල් මිල සහ උද්ධමනය ඉහල යයි; දැනටමත් තිරසාර නොවන, ජාතික නයට එකතු වෙමින් තිබෙන අධි-තක්සේරුගත මූල්‍ය වෙලඳපොලවල් බිඳවැටීමේ තර්ජනයට ලක් ව ඇත.
ආර්ථික වශයෙන්, පරිපාලනය පෙර නුවූ විරූ සමාජ අසමානතාවයට නායකත්වය දෙයි; ට්‍රම්ප් තම පවුලේ අය සහ තම අභ්‍යන්තර කවය හා එක් ව, සමාජය කොල්ලකෑම පිලිබඳ මේ වන විටත් අලුත් වාර්තා පල වේ: ඔහු කුඩා ආයෝජකයින්ට බිලියන ගනනින් අහිමි කරමින්, එක් වසරක් තුල ක්‍රිප්ටො-මූල්‍ය ව්‍යවසායන් (cryptocurrency ventures) හරහා ඩොලර් බිලියන 1.4 කට වඩා සාක්කුවට දමා ගත්තේ ය.
කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පුලුල් කොටස් දේශපාලනික ව වමට ගමන් කරමින් සිටියි. කතිපයාධිකාරයේ පිලිතුර වන්නේ, කම්කරු පන්තියට එරෙහි ව සහ පලමුවෙන් ම සංක්‍රමනිකයින්ට එරෙහි ව තම ප්‍රචන්ඩත්වය උත්සන්න කිරීමයි.
ට්‍රම්ප් සිය කතාව පැවැත්වුවේ, ආන්ඩුව රට පුරා නගර සහ උප නගරවල සාහසික මර්දනයේ ප්‍රචන්ඩ ක්‍රියා උත්සන්න කරමින් සිටින විට සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ඒජන්සියේ තවත් ඝාතන දෙකකට—ටෙක්සාස්හි ලොරෙන්සෝ සල්ගාඩෝ අරාහෝ සහ මේන් හි ජෝන් සෙබස්තියන් ගුවෙරේරෝ ඝාතනයට—එරෙහි විරෝධතා මධ්‍යයේ ය.
ධවල මන්දිර දේශනය පැවැත් වූ දිනයේ ම, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ධවල මන්දිර උපදේශක ස්ටීවන් මිලර් රාජ්‍ය දෙපාර්තමේන්තු සමුලුවක දී ඊනියා “වාමාංශික ත්‍රස්තවාදයට” එරෙහි ව ගෝලීය ප්‍රහාරයක් ප්‍රවර්ධනය කරමින් ෆැසිස්ට් දේශන පැවැත්වූහ.
කතාවේ සඳහන් ප්‍රකාශයන් විනිවිද පෙනෙන බොරු වන අතර, ඒවා බොරු බව සැවොම දනිති. ට්‍රම්ප් තම පලමු ධුර කාලය තුල පත් කරගත් නිලධාරීන් යටතේ කරන ලද ඒවා ද ඇතුලු ව, පූර්ව බුද්ධි තක්සේරුවලින්, එක්සත් ජනපද මැතිවරන අවදානමට ලක් වූ බවට කිසිදු සාක්ෂියක් හමු වී නොමැත. නමුත් බොරුවල අරමුන ඒත්තු ගැන්වීම නොවේ. එහි අරමුන වන්නේ, මාස හතරකට පෙර ම, පුලුල් ලෙස පුරෝකථනය කරන ලද රිපබ්ලිකන් පරාජයක්, විදේශීය කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සලකා, ඒ සඳහා ක්‍රියා කිරීමට යාන්ත්‍රනයක් සූදානම් කිරීම සඳහා සාධාරනීකරනයක් සපයා දීම යි.
එම යාන්ත්‍රනය දැනටමත් එකලස් කරමින් පවතී. චෝදනා එල්ල වී ඇති වංචාව සැඟවූ බවට චෝදනා ලැබ සිටින නිලධාරීන් හඳුනා ගෙන, සේවයෙන් පහ කර නඩු පවරන ලෙස, බුද්ධි අංශ, එෆ්බීඅයි සහ අධිකරන දෙපාර්තමේන්තුවට නියෝග කරන බව—එනම්, පුද්ගලික ව පක්ෂපාතී නොවන ඕනෑ ම අයෙකු රාජ්‍යයෙන් විරේක කර දමන බව—ට්‍රම්ප් නිවේදනය කලේ ය. සත්‍යය සැඟවීම සඳහා, කුමන්ත්‍රනයකට සම්බන්ධ වූ බවට චෝදනා කරමින්, නිතිපතා වැඩසටහන් වලට බාධා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු ඒවායේ විකාශන බලපත්‍ර අවලංගු කරන බවට ඒබීසීයට (ABC) සහ එන්බීසීයට (NBC) තර්ජනය කලේය.
පුරවැසිභාවය සනාථ කිරීමේ සහ ඡායාරූප හැඳුනුම්පත් අවශ්‍යතා පුලුල් කිරීම සහ තැපැල් ඡන්ද අහෝසි කිරීම ක්‍රියාත්මක කිරීම මගින් පුරවැසිභාවය ලැබූ මිලියන සංඛ්‍යාත පුද්ගලයින්, වැඩිහිටියන්, අඩු ආදායම්ලාභී සහ කම්කරු පන්තියේ ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය අහිමි කරන සේව් ඇමරිකා (SAVE America) පනත සම්මත කරන ලෙස ද ට්‍රම්ප් ඉල්ලා සිටියේ ය. පුරවැසියන් නොවන 278,000 ක් ඡන්දදායක ලැයිස්තුවේ සිටින බවට ගොතන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු, ඔවුන් ඉවත් කරන ලෙස ප්‍රාන්තවලට නියෝග කලේ ය.
වඩා ත් ම වැදගත් දෙය නම්, දේශපාලන සංස්ථාපිතය තුල මෙයට කිසිදු බැරෑරුම් ප්‍රතිචාරයක් නොමැති වීමයි. ඒකාධිපතිත්වයට එරෙහි වගවීමක් ලෙස සියවස් දෙකක් තිස්සේ ආරක්ෂා කරන ලද ව්‍යවස්ථාමය ආකෘතිවල මදය ඉවත්කර ඇත. අර්බුදය කොතරම් දුරට ඉදිරියට ගොස් ඇත් ද යන්න පිලිබඳ මිනුම එයයි.
විපක්ෂය ලෙස සැලකෙන ඩිමොක්‍රටික් පක්ෂය, ස්වයංතෘප්තියේ සහ දුස්සහයේ මිශ්‍රනයක් ඉදිරිපත් කරයි. සෙනෙට් සභාවේ සුලුතර නායක චක් ෂුමර්, ට්‍රම්ප් 'දුර්වල සහ බයාදු පුද්ගලයෙකු' ලෙස හැඳින් වූ අතර ඔහුගේ ඡන්ද පනත 'අත්හැර දමන ලෙස' ඔහුට පැවසී ය. මන්ත්‍රී මන්ඩලයේ සුලුතර නායක හකීම් ජෙෆ්‍රිස් ඔහුව හැඳින්වූයේ 'බෙලහීන' සහ 'සානුකම්ප්‍ය' අයෙකු ලෙසට ය. කැලිෆෝනියා ආන්ඩුකාර ගැවින් නිව්සම් කතාව 'රැවටිල්ලක්' ලෙස ප්‍රතික්ෂේප කල අතර නොවැම්බරය සඳහා සංවිධානය වන ලෙස ඡන්දදායකයින්ට පැවසී ය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම පිටුපස ඇති පන්ති බලවේග සඟවා තබන සූත්‍රයක් වන “අධිකාරීවාදයට එරෙහි ව එක්සත් වන” ලෙස බර්නි සැන්ඩර්ස් “සියලු ඇමරිකානුවන්ගෙන්” ඉල්ලා සිටියේ ය. ට්‍රම්ප් නිර්මානය කල සහ ඔහුගේ පොලිස් රාජ්‍ය ප්‍රතිපත්තිවලට සහාය දෙන සංස්ථා, බැංකු සහ බුද්ධි අංශ සහ හමුදා ආයතන සමඟ ඒකාධිපතිත්වයට එරෙහි ව එක්සත්කමක් තිබිය නොහැක.
ට්‍රම්ප්ට ඉදිරියට යාමේ හැකියාව රඳා පවතින්නේ ඩිමොක්‍රටික් පක්ෂය මත ය. ඩිමොක්‍රටික් පක්ෂයේ හැසිරීම පාලනය කරන කාරනා දෙකක් තිබේ. පලමුවැන්න නම්, ට්‍රම්ප්ට වඩා ඔවුන් බිය වන සහ උසාවි, මාධ්‍ය සහ නොවැම්බර් මැතිවරන වෙත යොමු කරන, පහලින් එන කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ ස්වාධීන ව්‍යාපාරයක් වැලැක්වීමයි. දෙවැන්න, යුද්ධය උත්සන්න කිරීම සඳහා, සියල්ලටත් වඩා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ව එසේ කිරීම සඳහා වඩාත් වැඩි කැපවීමක් වෙනුවෙන් බලපෑම් කිරීමයි.
ඩිමොක්‍රටිකයින්ගේ භූමිකාව ගලා එන්නේ, එම පාලක පන්තියේ ම පක්ෂයක් ලෙස ඔවුන්ගේ ස්වභාවයෙනි. දිග හැරෙමින් පවතින්නේ එක් මිනිසෙකුගේ සාපරාධීභාවය හෝ අධ්‍යාත්මික පරිහානිය නොවේ. ට්‍රම්ප් යනු සමාජීය ධනය මෙතෙක් නොවූ විරූපරිමානයකට ඒකාධිකාරී කර ඇති සහ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාර හරහා පාලනය කල නොහැකි මූල්‍ය කතිපයාධිකාරයක මෙවලමකි.
ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම යනු සමාජ පර්යායක—එනම් අතලොස්සක් බිලියනපතියන් සහ වැඩ කරන ජනතාව අතර බෙදී ඇති සමාජයක—බිඳවැටීමේ දේශපාලන ප්‍රකාශනයයි. මේ පරිමානයෙන් පවතින අසමානතාවය සමඟ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට සහජීවනයෙන් පැවතිය නොහැකි ය. ඒකාධිපතිත්වයට හැරීම යනු, ට්‍රම්ප් සමඟ උපක්‍රම සම්බන්ධයෙන් පමනක් වෙනස් වන ඩිමොක්‍රටිකයින් ඇතුලු සමස්ත පාලක පන්තිය, කතිපයාධිකාරය ආරක්ෂා කිරීම ගැන කාරනයක් නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කතිපයාධිකාරයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නොහැකි ය. පාලක පන්තිය ඒකාධිපතිත්වය කරා ගෙන යන බලවේග—යුද්ධය, අසමානතාවය, එහි නීත්‍යානුකූලභාවයේ බිඳවැටීම—කම්කරුවන් සහ තරුනයින් අරගලයට තල්ලු කරමින් සිටින බව, ICE ට, යුද්ධයට සහ වෘත්තීය සමිති නිලධරයට එරෙහි විරෝධතා මගින් දැනටමත් පෙන්නුම් කෙරේ.
ඒකාධිපතිත්වය කරා වන ධාවනය නැවැත්වීම සඳහා, සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ව සහ ඒකාධිපතිත්වයට, යුද්ධයට සහ මේ දෙක ම උපදවන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව යොමු කරන ලද කම්කරු පන්තියේ ස්වාධීන කාර්මික හා දේශපාලනික බලමුලු ගැන්වීමක් අවශ්‍ය වේ.
