[මෙය Michigan primary shows continued shift to the left in US යන මැයෙන් 2026 අගෝස්තු 05 ඉංග්‍රීසියෙන් පල කල ඉදිරිදර්ශන ලිපියයි.]
අඟහරුවාදා මිෂිගන් හි පැවති ඩිමොක්රටික් ප්‍රාථමික මැතිවරනයේ ප්‍රතිඵලවලින් තහවුරු වන්නේ, ට්‍රම්ප් පරිපාලනය සහ එහි යුද ප්‍රතිපත්තිවලට එරෙහිවත්, සමාජ සේවා කප්පාදු සහ බිලියනපති කතිපයාධිකාරීත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමට එරෙහිවත් පවතින එක්සත් ජනපදයේ මහජන හැඟීම්වල තියුනු වමට හැරීමක් පෙන්නුම් කරන බවයි.
වැදගත් ම ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපද සෙනෙට් සභාව සඳහා වූ ඩිමොක්රටික් ප්‍රාථමික මැතිවරනයේ දී වෛද්‍ය අබ්දුල් එල්-සයීඩ්ගේ ජයග්රහනයයි. එල්-සයීඩ් අතින්, විශ්‍රාම යන සෙනෙට් සභික ගැරී පීටර්ස් සහ ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් ඇතුලු සමස්ත පක්ෂ සංස්ථාපිතයේ ම සහාය ලැබූ සහ වියදම්වලින් 13-1 ක වාසියක් භුක්ති විඳි වත්මන් කොංග්රස් සභික හේලි ස්ටීවන්ස් පරාජය විය. මෙය එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් මිල අධිකතම ඩිමොක්රටික් සෙනෙට් සභා ප්‍රාථමික මැතිවරනය බවට පත් කල, ස්ටීවන්ස් වෙනුවෙන් වෙන්කර තිබූ ඩොලර් මිලියන 70 කට වඩා වැඩි මුදල් ප්‍රමානයෙන්, ඩොලර් මිලියන 30 කට වඩා ලැබුනේ, ඇමරිකානු ඊශ්‍රායල් මහජන කටයුතු කමිටුවෙන් (AIPAC) සහ එයට අනුබද්ධ සුපර් පීඒසී (super PAC) වෙතිනි.
ප්‍රතිඵලය, පාලක පන්තිය තුල ක්‍රමයෙන් උත්සන්න වන භීතියක් ඇති කලේ ය. සංගත මාධ්‍ය තුල කනස්සලුසහගත අදහස් දැක්වීම් බහුල විය. ට්‍රම්ප් එල්-සයීඩ් “කොමියුනිස්ට්වාදියෙකු” ලෙස හෙලා දුටුවේ ය. බදාදා සවස Xහි ධවල මන්දිර නිල ගිනුම මෙසේ ප්‍රකාශ කලේ ය: “අපේ රටට ඇති ලොකු ම තර්ජනය නම් කොමියුනිස්ට්වාදයයි.”
හිස්ටීරියාව හෙලිදරවුකාරී ය. එල්-සයීඩ් සමාජවාදියෙකු නොවේ. “ධනවාදියෙකු” ලෙස තමන් හඳුන්වා දෙන ඔහු, ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කරයි. පාලක පන්තිය පරිග්‍රහනය කරගෙන ඇති භීතිය, එල්-සයීඩ්ගේ ජයග්‍රහනය පිලිබඳව නොව, එයට යටින් පවතින දෙය—එනම්, කම්කරුවන් සහ තරුනයින් අතර ධනේශ්වර විරෝධී සහ සමාජවාදී හැඟීම් වර්ධනය වීම කෙරෙහි—වූවකි.
ඊජිප්තු මුස්ලිම් සංක්රමනික දෙමව්පියන්ගෙන් පැවත එන්නෙකු වන, ඩෙට්රොයිට්හි මෙට්‍රෝ හි උපත ලද එල්-සයීඩ්, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම්, ජන සංහාරයක් ලෙස නම් කිරීමට තරම් සෘජු විය. AIPAC සහ අනෙකුත් සියොන්වාදයට පක්ෂපාත කන්ඩායම් වලින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු ස්ටීවන්ස්ට නැවත නැවතත් පහර දුන් අතර, මෙම අනපේක්ෂිත මූල්‍ය ලාභය, පරයා යා නොහැකි දේශපාලන බාධකයක් බවට පත් කලේ ය. ඊශ්‍රායල කෘෘරකම්වලට එරෙහි ව සටන්කාමී විරෝධතා පැවති ඈන් ආබර් සහ නැගෙනහිර ලැන්සිං වැනි විද්‍යාල නගරවල මෙන්ම ඩෙට්රොයිට් ප්‍රදේශයේ ඩියර්බෝන් සහ හැම්ට්‍රැම්ක් සහ බටහිර මිෂිගන්හි ග්‍රෑන්ඩ් රැපිඩ්ස් ඇතුලු සැලකිය යුතු අරාබි ඇමරිකානු සහ මුස්ලිම් ජනගහනයක් සිටින ප්‍රදේශවල ඔහු විශාල ජයග්රහන අත්කර ගත්තේ ය.
ඔහු ආර්ථික කාරනා සම්බන්ධයෙන් සෘජු ආයාචනයක් ඉදිරිපත් කරමින්, “සල්ලි බලයෙන් දේශපාලනය මුදවා ගැනීම” සහ “ඔබේ සාක්කුවට මුදල්” සහ “සැමට වෛද්‍ය ප්‍රතිකාර” ඉල්ලා සිටියේ ය. ඔහුට ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සංවිධානයේ සහාය ලැබුනි. සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ඔහු වෙනුවෙන් මැතිවරන ප්රචාරක කටයුතුවල නියැලුනු අතර, කොංග්‍රසයේ ඩීඑස්ඒ සාමාජිකයින් දෙදෙනෙකු වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ රශීඩා තලීබ් ද ඒවාට සහභාගී වූහ.
මෙම උද්ඝෝෂනය සැලකිය යුතු මහජන සහයෝගයක් ලබා ගත් අතර, ස්වේච්ඡා ආධාරකරුවන් 12,000 කට වැඩි පිරිසක්—ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තරුනයෝ වූහ—ඇස්තමේන්තුගත නිවාස 200,000 කට ගමන් කලහ. බදාදා දහවල් වන විට ඡන්ද 1,528,000 කට වඩා ගනන් කර තිබූ අතර, එය 2024 ඩිමොක්රටික් සෙනෙට් සභා ප්‍රාථමික මැතිවරනයේ ප්‍රකාශිත ඡන්ද 934,000 න් සියයට 60 කට වඩා වැඩි වීමකි.
සමාජවාදී හෝ වාමාංශික යැයි හඳුන්වා ගත් තවත් අපේක්ෂකයින් තිදෙනෙක් මිෂිගන්හි අනෙකුත් කාර්යාල සඳහා ප්‍රාථමික තරඟ ජයග්‍රහනය කලහ. රාජ්‍ය නියෝජිතයෙකු සහ ඩීඑස්ඒ සාමාජිකයෙකු වන ඩොනවන් මැකින්නි, ඩෙට්රොයිට් නගරයේ වැඩි කොටසක් ආවරනය කරමින්, දෙ වරක් ම ආසනය දැරූ බහු-කෝටිපති ඖෂධ විධායකයෙකු වන වත්මන් ඩිමොක්රටික් කොංග්රස් සභික ශ්‍රී තනේදාර් පරාජය කලේ ය. තනේදාර්, පහට එකක් ලෙස මැකින්නිට වඩා ප්රචාරක කටයුතු සඳහා වියදම් කර තිබුනි.
ප්‍රාන්ත අගනුවර වන ලැන්සිං සහ මිෂිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය පිහිටා ඇති නැගෙනහිර ලැන්සිං කේන්ද්‍ර කරගත් 7 වන කොන්ග්රස් දිස්ත්‍රික්කයේ, සන්රයිස් ව්‍යාපාරයේ සම-නිර්මාතෘ සහ ඩීඑස්ඒ හි හිටපු සාමාජිකයෙකු වන පරිසරවේදී විල් ලෝරන්ස්, රිපබ්ලිකන් පක්ෂයේ වත්මන් අපේක්ෂක ටොම් බැරට්ට මුහුන දීම සඳහා ඩිමොක්රටික් පක්ෂ නාමයෝජනා දිනා ගත්තේ ය. ලෝරන්ස් හමුදා බුද්ධි අංශවලින් ලබාගත් ප්‍රතිවාදීන් දෙදෙනෙකු වන විශ්‍රාමික නාවික හමුදා විශේෂ කාර්ය බලකා සාමාජික සීල් මැට් මාස්ඩම් සහ යුක්රේනයේ හිටපු තානාපති බ්‍රිජට් බ්‍රින්ක් පරාජය කලේ ය. ඈන් ආබර් නගරයේ, ඩිමොක්රටික් සෝෂලිස්ට් යූසෙෆ් රබි, දිගු කලක් බලයේ සිටි නගරාධිපති ක්‍රිස්ටෝපර් ටේලර් පරාජය කලේ ය.
මෙම ප්‍රතිඵල ප්‍රකාශ කරන්නේ, ගාසා සංහාරය සහ ඩිමොක්රටික් පක්ෂ නායකත්වයේ සහාය ඇති ව ඉරානයේ ට්‍රම්ප්ගේ යුද්ධය කෙරහි පවතින සතුරුකම පමනක් නොවේ. එය සියල්ලටමත් වඩා එක්සත් ජනපදය තුල ගැඹුරු වන සමාජ අර්බුදයට දක්වන ලද ප්රතිචාරයකි. මිෂිගන් යනු, විශේෂයෙන් බිහිසුනු උදාහරනයකි; එහි, තවමත් ප්‍රාන්තයේ වැදගත් ම කර්මාන්තය වන මෝටර් රථ කර්මාන්තයේ රැකියා අඛන්ඩ ව විනාශ වෙමින් පවතී. කම්කරු පන්තියේ ජීවන තත්වයන් අනුව කලක් ප්‍රමුඛයා ව සිටි මිෂිගන්, දැන් සමස්ත ආර්ථික ක්‍රියාකාරිත්වයෙන් 37 වන ස්ථානයේ, දිගු කාලීන විරැකියාභාවයෙන් 40 වන ස්ථානයේ, අධ්‍යාපනයෙන් 29 වන ස්ථානයේ, ආයු අපේක්ෂාවෙන් 31 වන ස්ථානයේ සහ සමස්ත ජීවිත තෘප්තියෙන් 39 වන ස්ථානයේ සිටී. යූඑස් නිවුස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝර්ට් විසින් මෑතක දී කරන ලද සමීක්ෂනයකින්, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ආර්ථිකය, යටිතල පහසුකම් සහ ස්වාභාවික පරිසරය ඇතුලු කාන්ඩ අටක් හරහා, මිනුම් 71 ක් මත පදනම් ව, මිෂිගන්, ප්‍රාන්ත 50 න් 46 වන ස්ථානයේ තබා ඇත.
මෙම දිගුකාලීන පරිහානියට ධනේශ්වර පක්ෂ දෙක ම වගකිව යුතු ය. නමුත් වැටුප් කප්පාදු කොන්ත්‍රාත්තු, කම්හල් වසා දැමීම්, ද්වි-ස්ථර වැටුප්, අර්ධකාලීන ශ්‍රම ව්‍යාප්තිය සහ කොඳු කැඩෙන වැඩ තත්වයන් නිර්මානය කිරීම මගින් යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතිය මෙි සඳහා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. නිලධරයට වාම ආවරනයක් ලබා දීම අරමුනු කරගනිමින් යූඒඩබ්ලිව් විසින් එල්-සයීඩ් අනුමත කිරීම, ලැබූ ඡන්ද ප්‍රමානය මත බලපෑමක් ඇති කර ඇත්තේ යන්තමිනි. දිගු කලක් මෝටර් රථ කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය වී පැවති අයි-75 කොරිඩෝවේ (I-75 corridor) සෑම කවුන්ටියක් ම ම එල්-සයීඩ්ට අහිමි විය: වේන්, ඕක්ලන්ඩ්, මැකොම්බ්, ජෙනසී (ෆ්ලින්ට්), සගිනෝ සහ බේ.
මිෂිගන් ප්‍රාථමික මැතිවරන ප්‍රතිඵල මගින්, ජූනි මාසයේ දී කොලරාඩෝ සහ නිව්යෝර්ක් නගරයේ පැවති ඩිමොක්රටික් කොංග්රස් ප්‍රාථමික මැතිවරනවල බලපෑම යලි සාධනය කලේ ය; එහි දී ඩීඑස්ඒ සහය ලබන අපේක්ෂකයින් සිව්දෙනෙකු නාමයෝජනා දිනා ගත් අතර, ඉන් තිදෙනෙකු විසින්, බලයේ සිටි දිගුකාලීන ඩිමොක්රටිකයෝ පරාජය කරනු ලැබූහ.
එම ඡන්ද විමසීමෙන් පසු ව “පසුගිය සියවසේ ඇමරිකානු දේශපාලනයේ නිල ආඛ්‍යානය පදනම් වී ඇත්තේ සමාජවාදය සඳහා සහයෝගය ස්ථිර ලෙස ම අත්හිටුවන ලද එක ම රට එක්සත් ජනපදය බවට කරන ප්‍රකාශය මත ය. එම ආඛ්‍යානය බිඳ වැටෙමින් තිබේ,” යනුවෙන් ලෝසවෙඅ අදහස් දැක්වීය.
පසුගිය සතියේ, ඇමරිකාවේ සමාජවාදය සඳහා වැඩෙන සහයෝගය සනාථ කරන මත විමසුම් මාලාවක් ප්‍රකාශයට පත් වීමෙන් පසු, අපි මෙසේ ලිවීමු:
මෙය මාක්ස්වාදයේ මූලික මූලධර්මයක් සනාථ කිරීමකි: එනම්, සමාජ ජීවිතය සමාජ විඥානය තීරනය කරයි. සමාජවාදී සමානතා පක්ෂය හරියට ම මෙම වර්ධනය අපේක්ෂා කල එකකි. එහි 2010 වැඩපිලිවලේ සඳහන් වූයේ “වෛෂයික තත්වයන්හි වෙනස”—ඇමරිකානු සහ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය—සමාජවාදය පිලිබඳ “ඇමරිකානු කම්කරුවන්ගේ අදහස් වෙනස් කර ගැනීමට මඟ පෙන්වනු ඇති” බවයි. එවක විද්‍යාත්මක ප්රක්ෂේපනයක් වූ දෙය, දැන් පුලුල් සංසිද්ධියක් බවට පත් ව ඇත.
මූල්‍ය කතිපයාධිකාරීත්වයේ නියෝජිතයින් වන ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වය ම, සමාජවාදී හැඟීම්වල මෙම වර්ධනය විසින් ලාභ පද්ධතියටත්, තම ධනයට හා බලයටත් එල්ල කරන අන්තරාය හොඳින් දනී.
ඩීඑස්ඒ ගැන මැනවින් දන්නා ඩිමොක්රටික් පක්ෂ නායකත්වය ධනවාදයට තර්ජනය කරන්නේ සැන්ඩර්ස් හෝ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කෝටෙස් නොවන බවත්, ඒ කම්කරු පන්තිය සහ නව තරුන පරම්පරාවත් බව දනී. රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා ඩිමොක්රටික් පක්ෂය හිටපු හමුදා-බුද්ධි අංශ ක්‍රියාකාරීන් කොංග්රස් අපේක්ෂකයින් ලෙස ලහි ලහියේ බඳවා ගනිමින් සිටී. 2026 දී ඩිමොක්රටික් පක්ෂයෙන් තරඟ වදින්නේ, ඩීඑස්ඒ සාමාජිකයින් හෝ (ව්‍යාජ ලෙස) සමාජවාදීන් යැයි කියා ගන්නා අයට වඩා බොහෝ සෙයින් වෙනස් අය විසිනි; ඒ අතර, හිටපු සීඅයිඒ නියෝජිතයෝ, විශ්‍රාමික හමුදා නිලධාරීහු සහ හිටපු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිලධාරීහු සිටිති.
ට්‍රම්ප් සහ රිපබ්ලිකන් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, වමට මාරුවීමට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ, මැකාතිවාදී සමාජවාද විරෝධී අවලාද සහ තර්ජන සමඟිනි. ඩෙට්රොයිට් යනු “ලෝකයේ නොවේ නම්, එක්සත් ජනපදයේ වඩාත් ම දූෂිත ඡන්ද කොට්ඨාශ වලින් එකකි... නිසැක ව ම එය තුන්වන ලෝකයයි!” යන අපවාදය ට්‍රම්ප් නැවත නැවතත් අවධාරනය කලේ ය. ජාතික රිපබ්ලිකන් සෙනෙට් සභික කමිටුව එල්-සයීඩ්ට “ඇමරිකාවේ වඩා ත් ම රැඩිකල් සෙනෙට් අපේක්ෂකයා” ලෙස පහර දෙමින් ඩිජිටල් දැන්වීමක් පල කලේ ය; ඔහුගේ සම්පූර්න නම වන අබ්දුල්රහ්මාන් මොහොමඩ් එල්-සයීඩ් යන්න ඉස්ලාම් භීතිකාවට විනිවිද පෙනෙන කැඳවුමක් ලෙස භාවිතා කලේ ය.
“විනිවිදභාවය, ඡන්ද ආරක්ෂාව සහ ෆෙඩරල් නීතියට අනුකූල වීම සහතික කිරීම සඳහා” ඩෙට්රොයිට්, හැම්ට්‍රැම්ක්, ලැන්සිං සහ නැගෙනහිර ලැන්සිං හි ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂනය කිරීම සඳහා ඡන්ද නිරීක්ෂකයින් යවන බවට අධිකරන දෙපාර්තමේන්තුව අඟහරුවාදා (04) නිවේදනය කලේ ය. මෙම නගර හතර දැඩි ලෙස ම ඩිමොක්රටික් පක්ෂයට පක්ෂපාතී ය; සහකාර නීතිපති හර්මීත් ඩිලන් කියා සිටියේ, දෙපාර්තමේන්තුව “ඒකාකාර සහ වෙනස් කොට සැලකීම් නොකරන නිරීක්ෂනයක” නිරත වී සිටින බවයි.
ප්‍රාථමික මැතිවරනයකට කොමියුනිස්ට්-විරෝධී උමතුවෙන් සහ ෆෙඩරල් “ඡන්ද නිරීක්ෂකයින්” යවමින් ප්‍රතිචාර දක්වන ආන්ඩුවක් යනු, 2026 මැතිවරනය අහෝසි කර දැමීමේ පියවර ඇතුලු ව, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ව වඩාත් පුලුල් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන පාලන තන්ත්රයකි.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඡන්ද විමසන මධ්‍යස්ථාන කරා ගෙන ගිය අභිලාෂයන්—ජන සංහාරයට සහ යුද්ධයට, සමාජ අසමානතාවයට, දේශපාලන ජීවිතය මත මුදල් ආඥාදායකත්වයට අවසානය—ඩිමොක්රටික් පක්ෂය හරහා සාක්ෂාත් කරගත නොහැකි ය. එල්-සයීඩ් සහ ඩීඑස්ඒ ක්‍රියා කරන්නේ මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට නොව, එය මැඬ පැවැත්වීමට ය; විරුද්ධත්වය, දැනට එය යොමු කර ඇති, යුද්ධයේ පක්ෂයට ම සහ වෝල් වීදියට ම නැවත යොමු කිරීමට ය.
අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සංවිධානයයි. සමාජවාදී හැඟීම්වල වර්ධනය, යුද්ධයේ, ආඥාදායකත්වයේ සහ සමාජ දුක්ඛිතභාවයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට ම එරෙහි අරගලයේ දී සෑම වර්ගයක ම සහ සෑම ජාතිකත්වයක ම කම්කරුවන් එක්සත් කරන සවිඥානික සමාජවාදී ව්‍යාපාරයක් බවට පත්විය යුතු ය.
