[මෙය Jürgen Habermas (1929–2026): The philosopher who chose the state මැයෙන් 2026 මාර්තු 31දා පල කල මෘත විවරනයේ පරිවර්තනයයි.]
I
පසුගිය මාර්තු 14 දින ස්ටාර්න්බර්ග්හි දී අභාවප්‍රාප්ත වූ සයානූ වියැති යූගන් හබමාස්, අඩ සියවසකට වැඩි කාලයක් මුලුල්ලේ ජර්මානු බුද්ධිමය හා දේශපාලන ජීවිතය තුල අසාමාන්‍ය ආනුභාවයකින් යුතු ස්ථානයක් භජනය කලේ ය. සප්ත දශකයක් පුරා දිවෙන සිය වෘත්තීය ජීවිතය තුල ඔහු දර්ශනය, සමාජ විද්‍යාව, දේශපාලන න්‍යායය සහ නීතිමීමාංසාව යන ක්ශේත්‍රයන්හි ජාත්‍යන්තර අවධානය ආකර්ශනය කර ගත් ග්‍රන්ථ සම්භාරයක් රචනා කල අතර, ඒවා බහුවිධ ශික්ශා ඔස්සේ ශාස්ත්‍රාලයීය විවාද හැඩගැස්වී ය. ඔහුගේ ප්‍රධාන කෘති, සියල්ලට ම වඩා The Structural Transformation of the Public Sphere (මහජන ඛගෝලයේ ව්‍යුහමය විපරිනාමය) (1962) සහ The Theory of Communicative Action (සන්නිවේදන ක්‍රියාවේ න්‍යායය) (1981) නමැති කෘතිද්වය පුලුල්ව හැදෑරුනි, පුලුල්ව සාකච්ඡා කෙරුනි, පුලුල්ව උපුටා දැක්විනි. මොනයම් ආයතනික මිම්මකට අනුව වුව, හබමාස් වූ කලි පශ්චාත්-යුධ සමයෙහි කැපී පෙනුනු ශාස්ත්‍රාලිකයන් අතරින් ප්‍රමුඛයෙකි.
හබමාස්ගේ කෘතීන්හි අන්තර්ගතය වටහා ගැනුමට – ඔහුගේ චින්තනයෙහි සීමා, ශාස්ත්‍රාලයීය දර්ශනයෙන් බොහෝ ඈතට පැතිරී යන විපාක ගෙන දෙන්නේ මන්දැයි අවබෝධ කර ගැනුමට යමෙකු පටන්ගත යුත්තේ, පුද්ගලයාගෙන් නොව ඔහුගේ ජීවිතය හා වෘත්තිය දිගහැරුනු දේශපාලන පරිසරයෙනි. නාසි රැජැයුම බිඳ වැටෙන විට හබමාස් පසලොස් හැවිරිදිව සිටියේ ය. 1945න් මෙපිට බටහිර ජර්මනිය වූ කලි, සිය ෆැසිස්ට් අතීතය විසින් හොල්මන් කෙරුනු, නාසි රැජැයුමට සහභාගි වූත් අනුගත වූත් සාහසික ප්‍රති-කොමියුනිස්ට්වාදයකට දෘශ්ටිවාදීමය වසයෙන් ඇපකැප වූත් මිනිසුන් පිරිසක් විසින් පරිපාලිත, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී ගනන් බැලීමක් බැහැර කෙරුනු මතු නොව නාසි අපරාධ යටගසා නීත්‍යනුකූල ද කෙරුනු සමාජයකි.
ජර්මානු ජාතිකවාදයේ නින්දිත සම්ප්‍රදායයන් මත නොරැඳුනු, දේශපාලන නීත්‍යනුකූලභාවය සඳහා පදනමක් ඉදිරිපත් කල හැකි බුදධිජීවීන් ලදරු ෆෙඩරල් ජනරජයට අවශ්‍ය විය. හබමාස් සැලකිය යුතු කුසලතාවකින් යුතුව මෙකී භූමිකාව සැපිරී ය. ඔහුගේ “ව්‍යවස්ථාපිත දේශප්‍රේමය” (Verfassungspatriotismus) පිලිබඳ සංකල්පය (එනම්, පශ්චාත්-යුදකාලීන මූලික නීතිය තුල මූර්තිමත් වන විශ්වීය මූලධර්මයන්ට විනා ජනවාර්ගික හෝ සංස්කෘතික අස්තිත්වයක් වසයෙන් ජර්මානු ජාතියට පක්ශපාතී නොවීම) බටහිර ජර්මානු බුද්ධිජීවීන්ට ජාතික අතීතය පුනරුත්ථාපනය කිරීම අවශ්‍ය නොවන දේශපාලන කැපවීම සඳහා වාංමාලාවක් සැපයී ය. මෙය නිර්ව්‍යාජ සේවාවක් වූ අතර දශක ගනනාවක් මුලුල්ලේ හබමාස් ජර්මානු ජනරජයෙහි නොනිල රාජ්‍ය දාර්ශනිකයෙකුට තදාසන්න අයෙකු වූයේ මන්දැයි ඉන් පැහැදිලි වෙයි.
එහෙත්, ගැටලුව පවතිනුයේ එහි ම ය. මේ රචනාවේ උපසිරැසිය (“රාජ්‍යය තෝරා ගත් දාර්ශනිකයා”) හුදෙක් ජර්මානු මිලිටරිවාදය උදෙසා හබමාස්ගේ පසුකාලීන වෘත්තීය සහයෝගය – එය එසේ වුව – පිලිබඳ විස්තරයක් නොවේ. එය වඩා ගැඹුරු යමක් වෙත ඇඟිල්ල දිගු කරයි: විනාශකාරී ඵලවිපාක සමඟ ජර්මානු බුද්ධිමය ඉතිහාසය තෙමේ ම පුනර්කරනය වී තිබෙන රටාවක් පෙනී යයි. ජර්මානු චින්තකයින් තම බුද්ධිමය බලය පවතින රාජ්‍යයේ සේවය පිනිස යෙදවීමේ ප්‍රවනතාව – තාර්කිකය යථාව සමඟ අනන්‍ය කිරීම සහ සකල සියලු ප්‍රගතිශීලී වෙනස්කම් සිදු විය යුතු රාමුව ලෙස දෙන ලද දේශපාලන පර්යාය සැලකීම – ජර්මානු බුද්ධි ස්ථරයේ නිර්වචනීය ව්‍යාධි අතරින් එකකි.
හබමාස් ඉඳුරා මෙකී සම්ප්‍රදායයට අයත් වේ. ඔහුගේ දාර්ශනික ව්‍යාපෘතිය, එහි සියලු සාලංකාර තිබියදී, පශ්චාත් යුදකාලීන ජර්මානු රාජ්‍යය මූලෝත්පාටනය කිරීමේ වෑයමකට වඩා මුල සිට ම එයට බුද්ධිමය පදනම් සපයනු පිනිස – එහි නීත්‍යනුකූලභාවය බිම් ගැන්නීමට, එහි ආයතන සුරැකීමට හා එහි ක්‍රියාපටිපාටි ප්‍රකෘතිමත් කරනුව ප්‍රගතිශීලී ශක්තීන් යෙදවීමට දැරූ ප්‍රයත්නයක් විය. මෙකී ව්‍යාපෘතිය හසුරුවන ලද්දේ, ධනේශ්වර සමාජය පිලිබඳ මාක්ස්වාදී විවේචනය තුලින් ජනිත වූ සම්ප්‍රදායයක් වන සවිචාර න්‍යායේ (critical theory) භාශාවෙන් වීම පශ්චාත් යුදකාලීන බුද්ධිමය ඉතිහාසයේ මහා සරදමකි.
II
1929 ජූනි 18 දින ඩුසල්ඩෝර්ෆ්හි උපත ලද හබමාස් කුඩා නගරයක් වන ගමර්ස්බාක්හි ඇතිදැඩි විය. ඔහුගේ පියා මෙන් ම කොලෝන්හි කර්මාන්ත හා වානිජ මන්ඩලයේ විධායක අධ්‍යක්ශවරයා ද වූ අර්නස්ට් හබමාස්, 1933 මැයි මස දී, එනම්, හිට්ලර් ජර්මනියේ චාන්ස්ලර් ධුරයට පත්ව තෙමසකට පසුව නාසි පක්ශයට බැඳුනි. විදලිත තල්ලක් සහිතව ඉපැදුනු කුඩා හබමාස් හිට්ලර්ගේ යෞවනයෝ නමැති සංවිධානයට මුල දී බඳවා නොගැනුනේ නාසි අත්පොත්වල විදලිත තල්ල “පරිහානිගත ගුනාංගයක්” ලෙස වර්ගීකෘත බැවිනි. පසුව, දස හැවිරිදිව සිටියදී, ඔහු එයට ඇතුලත් කර ගැනී යුද්ධයේ අවසන් මාසවල දී හෙවත් වයස අවුරුදු 15 දී වෙහ්‍රමක්ට් වෙත ඇද ගැනුනි.
නාසි පාලන තන්ත්‍රයේ බිඳ වැටීම, හබමාස්ගේ ම විස්තරයට අනුව, ප්‍රකම්පනීය අත්දැකීමක් විය. නියුරම්බර්ග් නඩු විභාග සහ ශ්‍රම කඳවුරු පිලිබඳ වාර්තා චිත්‍රපට මගින් අනාවරනය වූයේ, ඔහු පසුව පැවසූ පරිදි, “ අපට එකවර ම පෙනී ගියේ අප දේශපාලනිකව සාපරාධී පද්ධතියක දිවි ගෙවමින් සිටි බව” යි. තරුන හබමාස්, ස්වකීය පරපුරට අයත් බොහෝ දෙනෙකු මෙන්, ජර්මනියේ ෆැසිස්ට් අතීතයෙන් පාරිශුද්ධ භේදයක් සෙවී ය. 1953 දී, ජාතික සමාජවාදයේ “අභ්‍යන්තර සත්‍යය හා මහිමාව” වර්නනා කෙරෙන ඡේදයක් ඉවත් නොකොට යලි පල කිරීම සම්බන්ධයෙන්, එලිපිට ම මාර්ටින් හෛඩැගර් විවේචනය කරන විට, තම පන්ති පසුබිමින් පැවත එන පුද්ගලයන් කෙරෙන් සාමාන්‍යයෙන් ප්‍රකට නොවන යම් තරමක සදාචාරමය ධෛර්යයක් හේ ප්‍රදර්ශනය කලේ ය.
එහෙත්, තම ජීවිතය වාත්තු කරන ලද ව්‍යසනය උදෙසා හබමාස් විසින් වර්ධිත පැහැදිලි කිරීම කවරේ ද? මෙය තීරනාත්මක වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක් වනුයේ පිලිතුර විසින් ඔහුගේ සමස්ත අපරාපර ජීවිතයේ ගමන්පථය නිර්නය කෙරුනු බැවිනි. ෆැසිස්ට්වාදයේ නැඟීම පිලිබඳව ක්‍රමානුකූල විශ්ලේශනයක් හබමාස් කිසි විටෙක සම්පාදනය කලේ නැත. වෙයිමාර් ජනරජයේ පන්ති ගතිකයන් – ජර්මානු මූල්‍ය ප්‍රාග්ධනයේ භූමිකාව, කම්කරු පන්තියේ දේශපාලනික පක්ශාඝාතය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදීන් යන දෙකොට්ඨාශයේ ම අසමර්ථතා පිලිබඳව හේ කිසි විටෙක බැරෑරුම්ව පිරික්සුවේ නැත. ෆැසිස්ට්වාදය පිලිබඳ ඔහුගේ අවබෝධය අවශ්‍යයෙන් ම ඒ අරබයා ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයට පැවති අවබෝධය ම විය. එනම්, නූතනත්වයේ ම ව්‍යාධිවේද තුල, ප්‍රබුද්ධත්වයේ අපෝහකය තුල සහ මිනිසුන්ගේ ආධිපත්‍යය බවට හැරෙන ස්වභාව ධර්මයේ ආධිපත්‍යය තුල මුල් බැසගත් ප්‍රපංචයකි. සිය පසුකාලීන කෘතියක, වෙසෙසා 1986 ඉතිහාසඥයන්ගේ විවාදයෙහි දී, හබමාස් විසින් නාසි වකවානුව මූලිකව ම සාමූහික ස්මෘතියේ හා දේශපාලන සංස්කෘතියේ කාචය තුලින් දැක ගනු ලැබුවේ, පශ්චාත් යුදකාලීන ජර්මනිය සිය යටගියාවට නෑකම් කිව යුතු ආකාරය පිලිබඳ පැනයක් ලෙස විනා ෆැසිස්ට්වාදය විජයග්‍රහනය කලේ මන්ද සහ එහි පුනරාවර්තනය වලක්වාගත හැකි වනුයේ කෙසේ ද බඳු පැනයක් ලෙස නොවේ.
මෙකී අසමර්ථතාව ඔහුගේ දර්ශනයට අහම්බයක් නොවේ. එය එහි අධස්ථ පදනම විය. හබමාස් ෆැසිස්ට්වාදය පිලිබඳ පන්ති විශ්ලේශනය සමඟ සම්පර්කයට නොගිය බැවින් – නාසි ජයග්‍රහනය වූ කලි කම්කරු ව්‍යාපාරය තුල දේශපාලන නායකත්වයෙහි නිශ්චිත හා විශ්ලේශනීය අසමර්ථතාවන්හි නිපැයුමක් බව අවබෝධ කර නොගත් බැවින් – 1933 ව්‍යසනයෙන් ඔහු උපුටා ගත්තේ මනෝභාවිකව වැටහෙනසුලු වුව න්‍යායිකව විනාශකාරී නිගමනයකි: කම්කරු පන්ති විප්ලවයේ ඉදිරිදර්ශනය ම ගැටලුව වූ බවත්, රැඩිකල් දේශපාලනය ව්‍යසනයට තුඩු දුන් බවත්, එක ම ආරක්ශාකාරී මාවත හැටියට පැවතුනේ ධනේශ්වර ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුව ඇතුලත කටයුතු කිරීම බවත් ය. ඔහුගේ අපරාපර න්‍යායික ව්‍යාපෘතියේ සෑම අංගයක් ම – ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ශෙප කිරීම, දේශපාලන ආර්ථිකයේ සිට සන්නිවේදන න්‍යායය කරා හැරීම, “නව සමාජ ව්‍යාපාර” මගින් පන්ති අරගලය විස්ථාපනය කිරීම, විමුක්තිකාරී දේශපාලනයේ අනභිභවනීය ක්ශිතිජය ලෙස ධනේශ්වර මහජන ඛගෝලය ආරක්ශා කිරීම – ගලා එනුයේ මෙකී ආරම්භක, අපරීක්ශිත පරිශ්‍රයෙනි.
පන්ති අරගල ගතිකයන් තුල සහ කම්කරු පන්ති දේශපාලන නායකත්වයේ සාපරාධී අසමර්ථතා තුල ව්‍යසනය පිහිටුවමින් තථ්‍ය කාලයෙහි – 1930 දශකය මුල දී වර්ධිත ජර්මානු ෆැසිස්ට්වාදයේ නැඟීම පිලිබඳ ට්‍රොට්ස්කිගේ ලේඛන හබමාස් හදාරා තිබිනි නම්, එක ම සිද්ධීන්ගෙන් ඉඳුරා ප්‍රතිවිරුද්ධ නිගමනයක් කරා එලැඹෙන විශ්ලේශනයක් ඔහුට සම්මුඛ වනු ඇත. ෆැසිස්ට්වාදය විජයග්‍රහනය ලද්දේ, විප්ලවවාදී ක්‍රියාවෙහිලා කම්කරු පන්තිය නෛසර්ගිකව අදක්ශ වූ නිසා නොව එවක එහි පැවති නායකත්වයන් – ධනේශ්වර රාජ්‍යය කෙරෙහි විශ්වාසය රැඳවූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්වකීය අති-වාම අතිධාවනකාරිත්වයෙන් කම්කරු ව්‍යාපාරය භේද කරන ස්ටැලින්වාදීන් – එම කාර්යයෙහිලා අසමත් බැව් ව්‍යසනකාරීව සනාථ කල නිසා බවට ට්‍රොට්ස්කි තර්ක කලේ ය. මේ විශ්ලේශනය අරබයා 1933 පාඩම වූයේ, විප්ලවය අත්හැර දැමිය යුතු බව නොව, කම්කරු පන්තියට නව, අවංකව ම විප්ලවවාදී නායකත්වයක් ඇවැසි බව යි. හබමාස් හට කිසි විටෙක මෙකී විශ්ලේශනය අභිමුඛ නොවීම – සමස්ත ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදාය ඔහුගේ කෘතීන්හි මුලුමනින් පාහේ බැහැර වී තිබීම – දැවන්ත දේශපාලන වැදගත්කමක් සහිත නිහඬතාවකි.
III
හබමාස්ගේ දේශපාලන දිශානතිය ඔහුගේ න්‍යායික කෘතීන්ගෙන් වෙන් කල නොහැකි විය. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ (එස්පීඩී) යාවජීව ආධාරකරුවෙකු වුව කිසි විටෙක විධිමත් ලෙස එයට නොබැඳුනි. ඔහු 1983 සිට නිතිපතා එස්පීඩී සංස්කෘතික සම්මන්ත්‍රනවලට සහභාගි වූ අතර මැතිවරනවල දී පක්ශයට එලිපිට ම සහාය දැක්වී ය. එහෙත්, වඩාත් සංවිපාකී දේශපාලන සබඳතා ඔහුට පැවතියේ එස්පීඩී නායකයන් සමඟ නොවේ.
1986 සිට, ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඩයොනිසෝස් නමැති අවන්හලේ දී, හබමාස් හරිත පක්ශයේ නායකයන් සමඟ, හැමට ම වඩා ජොශ්කා ෆිශර් සහ ඩැනියෙල් කෝහ්න්-බෙන්ඩිට් සමඟ නිතිපතා සාකච්ඡා පැවැත්වී ය. මෙකී හමුවීම් මගින් ශාස්ත්‍රාලිකයන්, බුද්ධිජීවීන්, මාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් එකමුතු කෙරුනු අතර, එමගින් 1998 දී බලයට පත් රතු-කොල සන්ධානයේ ප්‍රතිපත්තිමය දිශානතිය සෘජුව ම හැඩගස්වන ලදී. ෆිශර් මේවා විස්තර කලේ, එස්පීඩී-හරිත දේශපාලන තරුවැලට “ශාස්ත්‍රීය මෙන් ම දේශපාලනික ද වසයෙන්” පදනම වැටුනු රැස්වීම් ලෙසිනි. ශ්‍රෝඩර්-ෆිශර් ආන්ඩුව පිහිටුවීම “හදිසි වාසනාවක්” හැටියට සුභ පැතූ හබමාස් විදේශ අමාත්‍යවරයා ලෙස ෆිශර් පත් කිරීම සම්බන්ධයෙන් වෙසෙසා ප්‍රශංසා කලේ ය.
1998 දී, චාන්සලර් පදවි අපේක්ශක ගෙර්හාර්ඩ් ශ්‍රෝඩර් සමඟ පැවති පුලුල් ප්‍රසිද්ධියක් ලද රැස්වීමක දී, “පශ්චාත්-ජාතික තරුවැලක්” පිලිබඳ සිය දැක්මෙහි වැටිසන ඉදිරිපත් කල හබමාස්, අවසානයේ දී, “නව-ලිබරල්වාදය සඳහා විකල්ප” පැවති බව නිවේදනය කරමින්, අභිනව ආන්ඩුව පිටසන් කරනුව පෙනී සිටියේ ය. දේශපාලන න්‍යායාචාර්ය ක්ලවුස් ඕෆේ ඇතුලු ඇතැම් සමීප නිරීක්ශකයෝ දේශපාලනඥයා විසින් හබමාස් හසුරුවනු ලැබ ඇතැයි යන ධාරනාව ඉස්මතු කල හ. හබමාස් අරබයා මෙය සාධාරන වුවත් නැතත් පසුව සිදු වූ දෑ සටහන් කිරීම නිසැකව ම සාධාරන ය: ශ්‍රෝඩර්-ෆිශර් ආන්ඩුව “2010 න්‍යාය පත්‍රය“ හා “හාර්ට්ස් IV“ ප්‍රතිශෝධන ඔස්සේ පශ්චාත් යුධ ඉතිහාසය තුල ජර්මානු සුභසාධක රාජ්‍යයට එරෙහිව ම්ලේච්ඡතම ප්‍රහාරය සිදු කෙරිනි; මූල්‍ය වෙලෙඳපොල නියාමනහරනය කෙරිනි; වඩා සංවිපාකීව, 1999 දී, යුගොස්ලාවියාවට නැටෝ බෝම්බ හෙලීමෙන් ඉක්බිති, 1945න් මෙපිට සිය ප්‍රථම ප්‍රහාරක මිලිටරි ක්‍රියාකාරකම් කරා ජර්මනිය මෙහෙයැවිනි. හබමාස්ගේ මුල්කාලීන පිටසන, ආන්ඩුවේ සැබෑ ප්‍රතිපත්තිවල පරම ප්‍රතිවිරෝධය විනා ඊට අනුරූපී බලගතු පොදු විචාරයක් මගින් පෑහුනේ නැත.
සියලු දෑ තිබිය දී අවුශ්විට්ස් සිහි කැඳවමින්, සර්බියාවට බෝම්බ හෙලීම ෆිශර් විසින් සාධාරනීකරනය කෙරුනු කල්හි – එමගින් මහජන සංක්ශෝභයක් පිපිරුනි – හබමාස් ඔහුගේ බුද්ධිමය ආරක්ශාව වෙනුවෙන් ඉදිරිපත් විය. ඩයි සෙයිට් (කාලය) සඟරාවේ මුල් පිටුවෙහි පල වූ තෙපිටු ලිපියක් මගින්, ඔහු නියුරම්බර්ග් නඩු විභාග සිහි කැඳවමින්, ආක්‍රමනශීලී යුද්ධය සාධාරනීකරනය කලේ ය. සංග්‍රාමය “සාමයට එරෙහි අපරාධයක්” වුව, “මනුශ්‍යත්වයට එරෙහි අපරාධයක්” වලක්වනු පිනිස එය අවශ්‍ය බව හබමාස් තර්ක කලේ ය. ව්‍යාවස්ථාපිත දේශප්‍රේමයේ ඒ ප්‍රකට දාර්ශනිකයා, පශ්චාත්-යුධ ජර්මානු අනන්‍යතාවේ පදනම නාසි අපරාධ පිලිගැනුම යි යන තර්කය මත සිය මහජන වෘත්තිය ගොඩනැංවූ ඒ මිනිසා, හබමාස්, අභිනව යුද්ධ සාධාරනීකරනයෙහිලා ඒ සා සුවිශේශී භූමිකාවක් දැරීම අපට පවසා සිටිනුයේ, දේශපාලන වැඩපිලිවෙලක් වසයෙන් ව්‍යාවස්ථාපිත දේශප්‍රේමයේ සීමා පිලිබඳව වැදගත් දෙයකි.
IV
හෛඩැගර්ගේ නාසිවාදය හෙලිදරව් කල තරුන විචාරකයාගේ සිට, නැටෝ බෝම්බ ව්‍යාපාරයේ ක්ශමාලාපකයා දක්වා, හබමාස් මෙහෙයැවූ දේශපාලන ගමන්පථය වූ කලි දශක ගනනාවකට පෙර අනුගිය දේශපාලන සාධ්‍යයන්හි තාර්කික විස්තාරනයකි. තීරනාත්මක පියවර වූයේ ඔහු මාක්ස්වාදය ප්‍රතික්ශෙප කිරීම යි. එය මාක්ස්වාදී වාංමාලාවෙන් හදිසි බිඳීමක් නොව, ‘ප්‍රතිනිර්මානය’ නමැති ධජය යටතේ දියත් කෙරුනු න්‍යායික ඈවරකරනයේ තිරසාර ක්‍රියාදාමයකි.
ස්වකීය මුල්කාලීන ප්‍රධාන කෘතීන්හි, හබමාස් තමා පිලිගැන්වූයේ මාක්ස්වාදී සම්ප්‍රදාය තුල වැඩ කරන තැනැත්තෙකු ලෙසිනි. සිය බුද්ධිමය සැකැස්ම “අපරදිග මාක්ස්වාදය” – ලුකාක්ස්, කෝර්ශ්, බ්ලෝච්, සාත්‍රේ හා ෆ්‍රෑන්කෆර්ට් ගුරුකුලය – විසින් හැඩගස්වන ලදැයි ඔහු විස්තර කලේ ය. 1979 අගභාගය තරම් මෑත දී පවා, අබිදැකුම්කරුවෙකු අමතා හේ මෙලෙස පැවසී ය: “අද දින මාක්ස්වාදියෙකු ලෙස මා සැලකීම මම අගය කරමි.” එහෙත්, මුල සිට ම, මාක්ස් සමඟ පැවති ඔහුගේ බැඳීම නිර්වචනය කෙරුනේ, මාක්ස්ගේ න්‍යායික රාමුවට මූලික දොස් වැරීමක් අවශ්‍ය බව ඒත්තු ගැනීමෙනි.
සියලු සමාජ සබඳතා, මාක්ස් විසින් සාවද්‍ය ලෙස නිශ්පාදන සබඳතාවලට ඌනනය කෙරී ඇති බවත්, සවිචාර සමාජ න්‍යායය සඳහා පදනමක් වසයෙන්, මාක්ස්ගේ දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනය ප්‍රමානවත් නොවූ බවත්, “අනාගත සමාජවාදී විප්ලවයේ නාමෝද්දිශ්ට පොල්මඃකරු වන කම්කරු පන්තිය, කම්කරු පන්තිය හැටියට විසුරුවා හැර තිබෙන” බවත්, ස්වකීය “Between Philosophy and Science: Marxism as Criticism“ (“දර්ශනය හා විද්‍යාව අතර: විවේචනය ලෙස මාක්ස්වාදය“) (1960) සහ Theory and Practice (න්‍යාය හා භාවිතය) (1963) යන කෘතිද්වය පුරා හබමාස් තර්ක කලේ ය. “දියුනු ධනේශ්වර රටවල ජීවන තතු කොතරම් ඉහල නැංවී ඇති ද යත්, සමාජ විමුක්තිය පිලිබඳ වුවමනා තවදුරටත්, ආර්ථික කොන්දේසි මත සෘජුව රැඳවිය නොහැක” යනුවෙන් හේ පැවසී ය. 1960 ගනන් මුල දී පවා, ධනවාදය පිලිබඳ මාක්ස්ගේ විවේචනය, පශ්චාත්-යුධ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ජර්මානු ක්‍රමය ආරක්ශා කල හැකි සහ සාධාරනීකරනය කල හැකි න්‍යායකින් ප්‍රතිස්ථාපනය කිරීමට, හබමාස් ප්‍රයත්න දැරී ය.
The Theory of Communicative Action (සන්නිවේදන ක්‍රියාවේ න්‍යාය) එලිදැක්වුනු වකවානුව වන විට, මාක්ස්ගේ සැබෑ න්‍යායයෙන් ඉතිරිව තිබුනේ ඉතා ස්වල්පයක් පමනි. ඓතිහාසික භෞතිකවාදය වෙබර්ගෙන් උපුටා ගැනුනු සමාජ සහේතුකරනය පිලිබඳ පරිනාමීය න්‍යායකින් විස්ථාපනය කෙරී තිබුනි. දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනය, පාර්සන්ස් හා ලූහ්මාන් වෙතින් උපුටා ගැනුනු පද්ධති න්‍යායයෙන් විස්ථාපනය කෙරී තිබුනි. කම්කරු පන්තිය “අභිනව සමාජ ව්‍යාපාර” මගින් විස්ථාපනය කෙරී තිබුනි. පන්ති අරගලය “ජීවනලෝක විජිතකරනය” මගින් විස්ථාපනය කෙරී තිබුනි. ඥානය පිලිබඳ භෞතිකවාදී න්‍යායය, තත්කාර්යවාදී කාන්ටියානු සන්නිවේදන තාර්කිකත්වය පිලිබඳ න්‍යායකින් විස්ථාපනය කෙරී තිබුනි. මාක්ස්ගෙන් හබමාස් රඳවා ගත්තේ, මාක්ස්වාදී න්‍යායයේ සෑම ස්ථාවර මූලිකාංගයකින් ම වෙන් වූ සවිචාර අභිප්‍රාය – මානව විමුක්තිය උදෙසා කැපවීම පමනි.
සමාජ න්‍යායයේ කේන්ද්‍රයෙන් පන්ති අරගලය ඉවත් කිරීම මගින්, හබමාස් කම්කරු පන්ති දේශපාලනයට පිටුපා, හරිත පක්ශයෙහි සහ පශ්චාත්-1968 ශාස්ත්‍රාලයීය වමේ දේශපාලන පදනම බවට පත් “අභිනව සමාජ ව්‍යාපාර” – පරිසරවේදය, ස්ත්‍රීවාදය, සාමය – කරා ඇදී යෑමෙහි බුද්ධිමය නීත්‍යනුකූලභාවය සැපයී ය. සුභසාධක රාජ්‍යය සහ සාමූහික කේවලය ඔස්සේ කම්කරු ව්‍යාපාරය “ආයතනිකව සංසිඳී” ඇති බවටත්, අභිනව සමාජ ව්‍යාපාර පසුකාලීන ධනවාදයේ ව්‍යාධිවේදයන්ට වඩා යෝග්‍ය ප්‍රතිරෝධයක් නියෝජනය කරන බවටත්, ඔහු තර්ක කලේ ය.
මූලධර්මීය දෝශය අනුභූතික මෙන් ම න්‍යායික ද විය. ධනවාදයේ ස්ථිරසාර, ව්‍යුහමය විපරිනාමයක් උදෙසා ඓතිහාසික වසයෙන් නිශ්චිත හා තාවකාලික වින්‍යාසයක් – පශ්චාත්-යුධ උත්පාතය, කේන්සියානු සුභසාධක රාජ්‍යයන්, ශීතල යුද්ධ පන්ති සම්මුතිය – හබමාස් වරදවා වටහා ගති. තදනන්තර දශක කීපය මෙකී විශ්ලේශනය කෲර ලෙස නිශේධ කර ඇත: සුභසාධක රාජ්‍යය බිඳී විසිරීම, සමාජ අසමානතාව පිපිරීම, සමූහ කර්කශ ශ්‍රමයේ පුනරාගමනය සහ 2008 මූල්‍ය අර්බුදය මගින් පෙන්නුම් කෙරුනේ, මාක්ස් විශ්ලේශනය කල පන්ති ප්‍රතිවාදීතා හුදෙක් මර්දනය කෙරී සහ කල් තැබී ඇතිවා විනා අහෝසි කෙරී නැති බව යි.
යථොක්ත න්‍යායික ඈවරකරන ව්‍යාපෘතියේ වඩාත් ක්‍රමානුකූල ප්‍රකාශනය වූයේ, සමීප විමසුමකට යෝග්‍ය, ඔහුගේ “Toward a Reconstruction of Historical Materialism“ (“ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රතිනිර්මානයක් කරා“) නමැති රචනාව යි.
V
හබමාස් සරලව ම මාක්ස්වාදය නොතකා හැරියේ යයි පැවසීම සාවද්‍ය වනු ඇත. ඔහුගේ “ඓතිහාසික භෞතිකවාදයේ ප්‍රතිනිර්මානයක් කරා“ (1975) නමැති රචනාව, Communication and the Evolution of Society (සන්නිවේදනය හා සමාජ පරිනාමය) (1979) යන මැයෙන් විස්තාරිතව යලි පල කිරීමෙහි දී, ඔහු එය සමඟ සෘජුව හා දීර්ඝ ලෙස බැඳී ගති. නමුත්, බැඳියාවේ ස්වභාවය මත් ගැඹුරින් අනාවරනය වන අතර, තීරනාත්මක මොහොතක දී ඔහුගේ බුද්ධිමය ඒකාබද්ධතාව පිලිබඳව බැරෑරුම් ප්‍රශ්න මතු කරයි.
ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය ගැන මාක්ස් “සබැඳිව හා මූලධර්මීයව” දෙවරක් පමනක් ප්‍රකාශ කල බව පවසමින් සිය රචනාව අරඹන හබමාස්, ඉක්බිති අපූරු පියවරක් තබමින් මෙසේ නිවේදනය කර සිටී: “1938 දී, ස්ටැලින්, ඓතිහාසික භෞතිකවාදය සංග්‍රහ කලේ, එහි දරුනු ප්‍රතිවිපාක සනාථ කෙරී ඇති ආකාරයකිනි; එතැන් සිට සිදු කෙරුනු ඓතිහාසික-භෞතිකවාදී පර්යේශන මෙකී න්‍යායික රාමුවට බෙහෙවින් බැඳී ගත් අතර, ස්ටැලින්ගේ ප්‍රවාචය ප්‍රතිනිර්මානය කිරීමට අවශ්‍ය ය.” මේ තනි වාක්‍යයෙන්, හබමාස් ස්ටැලින්ගේ 1938 දලදඬු පුස්තිකාව – සෝවියට් නිලධරයේ නිල ඥානෝපදේශය ලෙස පිටපත් මිලියන දෙසියයකින් බෙදාහරින ලද ලේඛනයක් වන Dialectical and Historical Materialism (අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය) – ඓතිහාසික භෞතිකවාදයේ නිශ්චිත රාමුව හැටියට සහ සියලු ආයතික පර්යේශන “බෙහෙවින් බැඳී ගත්” ප්‍රවාචය හැටියට ස්ථාපිත කරයි.
සවිඥානක තීරනයක් ලෙස වටහාගත යුතුව ඇති මෙය, ප්‍රකෝපනයකට අඩු යමක් ද නොවේ. 1975 දී හබමාස් මේ රවනාව ප්‍රකාශයට පත් කරන විට ද මාක්ස්වාදය පිලිබඳ ස්ටැලින්ගේ විකාරරූපී මුසාකරනය තහවුරු කෙරුනු හා විශ්වීයව පිලිගැනුනු කරුනක් විය. සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ශයෙහි විසිවැනි සම්මේලනයෙහි (1956) දී කෘශෙව් විසින් කෲර ප්‍රජාපීඩකයා හෙලාදකිනු ලැබීම, මාක්ස්වාදී න්‍යායාචාර්යවරයෙකු ලෙස ස්ටැලින් පිලිබඳව පැවති නිල මිථ්‍යාව බිඳ දැමූ අතර, අනතුරුව ගත වූ දශකද්වය තුල, ස්ටැලින්වාදී රැජැයුම යටතේ මාක්ස්වාදී චින්තනය ක්‍රමානුකූලව විකෘත කිරීම වාර්තාගත කරමින්, ශාස්ත්‍රීය ලේඛන සමූහයක් බිහි විය. සෝවියට් නිලධරය මත් ඔහුගේ අපරාධවලින් දුරස්ථ වීමට පෙලඹී විසි වසරකට ආසන්න කාලයකට පසුව, ඓතිහාසික භෞතිකවාදය පිලිබඳ කේන්ද්‍රීය න්‍යායික අධිකාරිය ලෙස ස්ටැලින් – ස්ටැලින්! – ඉදිරිපත් කිරීම, මුග්ධභාවයෙන් පැහැදිලි කල නොහැකි ක්‍රියාවකි.
1914-15 අතර රචිත, 1929-30 දී ජර්මානු බසින් ප්‍රකාශිත, 1960 ගනන්වල දී ඉංග්‍රීසියෙන් පල වීමත් සමඟ පුලුල් ජාත්‍යන්තර අවධානයක් දිනා ගත්, හෙගල්ගේ Science of Logic (තර්ක විද්‍යාව) ගැන සිත් කාවදින ටීකා අඩංගු ලෙනින්ගේ Philosophical Notebooks (දාර්ශනික සටහන් පොත්) කෘතිය, අපෝහකය විශයෙහි දාර්ශනික සබැඳියාවක මට්ටමක් පෙන්නුම් කල බවත්, එමගින් ස්ටැලින්ගේ පුස්තිකාව නූගත් වංචාවකැයි හෙලි වූ බවත්, හබමාස් හොඳාකාරව ම දැන සිටියේ ය. ඔක්තෝබර් විප්ලවයේ සම-නායකයා සහ ස්ටැලින්වාදයේ ප්‍රමුඛතම මාක්ස්වාදී එදිරිවාදියා වූ ට්‍රොට්ස්කි විසින්, ජර්මානු ෆැසිස්ට්වාදය පිලිබඳ සිය ලේඛනයන්හි, The Revolution Betrayed (පාවා දුන් විප්ලවය) නමැති සිය කෘතියෙහි සහ සිය විස්තීර්න දාර්ශනික හා දේශපාලනික ලිපි හුවමාරු තුල, මාක්ස්වාදී න්‍යායය හා විශ්ලේශන සමූහයක් වර්ධනය කෙරී ඇති බවත්, ඒවා දේශපාලනික හා බුද්ධිමය වසයෙන් ස්ටැලින් පෙනී සිටි සෑම දෙයක ම ප්‍රතිපක්ශය නියෝජනය කල බවත්, හබමාස් ඒ හා සමානව ම දැන සිටියේ ය.
ලෙනින් හා ට්‍රොට්ස්කි මගහැර ඓතිහාසික භෞතිකවාදයේ නියෝජිත න්‍යායාචාර්යවරයා ලෙස ස්ටැලින් ස්ථාපනය කිරීම, විද්වත් විනිශ්චයක් නොව දේශපාලනික ක්‍රියාවක් විය. එය, බිඳ හෙලීම ස්වයං-ප්‍රත්‍යක්ශව ම සාධාරන සේ පෙනී යන පරිදි මාක්ස්වාදයෙහි ඉතා රලු ප්‍රවාචයක් ගොඩනැඟීම පිනිස වූ හබමාස්ගේ අරමුනට සේවය කලේ ය. විප්ලවවාදී මාක්ස්වාදය කෙරෙහි ඔහුගේ විරෝධය කෙතරම් ගැඹුරු ද යත් එය තමා විසින් ඉක්මවන ලදැයි කියා සිටි සම්ප්‍රදායයෙහි දුර්නියෝජනයක් කරා හෙතෙම මෙහෙයැවී ය.
මෙකී කෛරාටික තර්කාංගය තහවුරු කිරීමෙන් පසු, හබමාස් සැලකිය යුතු තරම් පරිපූර්න ලෙස ඓතිහාසික භෞතිකවාදය බිඳ හෙලනුව පෙරට යයි. ඔහු වැඩ අරඹනුයේ, මාක්ස් විසින් Grundrisse (දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනයේ පදනම්) සහ Capital (ප්‍රාග්ධනය) යන කෘතිද්වයෙහි වර්ධිත ධනේශ්වර සංවර්ධන න්‍යායය, ඓතිහාසික භෞතිකවාදයේ පුලුල් රාමුවට සරිලන හුදු ‘උපන්‍යායක්’ ලෙස බැහැර කිරීමෙනි. මෙය, මාක්ස්ගේ කේන්ද්‍රීය විද්‍යාත්මක මස්තකප්‍රාප්තිය ලෙස බොහෝ මාක්ස්වාදීන් විසින සලකනු ලබන දැයෙහි අපූරු පදාවනතියකි.
ඉක්බිති ඔහු, මාක්ස් විසින් සුනිශ්චිතව, මානව ජීවන මාදිලිය ස්වභාව ධර්මය මත උපකරනමය ක්‍රියාවකට – එනම්, ශ්‍රමයට – සාවද්‍ය ලෙස ඌනනය කෙරුනු බවටත්, සන්නිවේදන අන්තර්ක්‍රියාවේ ස්වායත්ත, සමසමව අති මූලික භූමිකාව නොතකා හල බවටත් තර්ක කරයි. සමාජ නිපැයුම් බෙදාහැරීම සඳහා, “වාගවිද්‍යාමය අවබෝධයේ මට්ටමින් අන්තරාත්මීයව (intersubjectively) සැකසිය හැකි” සහ නිශ්පාදන සංවිධානයෙන් ව්‍යුත්පන්න කල නොහැකි සම්මතයන් අවශ්‍ය බවට හබමාස් අවධාරනය කරයි. “සන්නිවේදන ක්‍රියාවේ” නීති “උපකරනමය ක්‍රියාවේ” නීතිවලින් දුරස්ථ වන අතර, හබමාස්ට අනුව, මෙකී දුරස්ථභාවය මාක්ස් විසින් මාරාන්තික ලෙස නොසලකා හරින ලද්දකි.
රචනාවෙහි න්‍යායික හරය මෙය යි: සන්නිවේදනය නිශ්පාදනයට සමාන සද්භාවී (ontological) තත්වයට ද, කෙලවර වඩා උසස් තත්වයකට ද ඔසොවා තැබීම. මක් නිසා ද යත්, සමාජ පරිනාමයේ ගාමක බලය ලෙස හබමාස් හඳුනා ගනුයේ සන්නිවේදන ව්‍යුහ විනා නිශ්පාදන බලවේග නොවන බැවිනි.
අධෝ-උපරිව්‍යුහ ප්‍රමේයය පිලිබඳව හබමාස්ගේ තර්කය නම්, එය බලපැවැත්වෙනුයේ, උඩත්පිරිසෙයින්, හුදෙක් ඉතිහාසයේ සංක්‍රාන්ති අවස්ථා සඳහා මිස, සමාජ ජීවිතයේ පොදු ව්‍යුහමය මූලධර්මයක් වසයෙන් නොවන බව යි. එම ප්‍රමේයයේ ප්‍රවාචද්වයක් ඔහු ඉදිරිපත් කරයි: එකක් ‘ආර්ථිකවාදී’ වන අතර අනෙක වඩා දුර්වල ය; මේ එකදු ප්‍රවාචයක් හෝ සමාජ සංවර්ධනයේ විශ්වීය නීතියක් ලෙස සුරැකිය නොහැක. නිශ්පාදන බලවේග හා නිශ්පාදන සබඳතා පිලිබඳ අපෝහකය අරබයා ඔහු පවසනුයේ, නිශ්පාදන බලවේගයන්හි වර්ධනය මත නොව, “සදාචාරමය-ප්‍රායෝගික විඥානය” මානයේ “ඉගෙනුම් ක්‍රියාවලි” මත විසඳුම රඳා පවතින බැවින් ප්‍රස්තුත ප්‍රමේයය මගින්, එහි ඉතා ම සූක්ශ්ම සූත්‍රායනයෙහි දී පවා, සමාජයන් සිය අර්බුද විසඳා ගන්නා ආකාරය පැහැදිලි කල නොහැකි බව යි. ද්‍රව්‍යමය නිශ්පාදනය නොව, ප්‍රතිමානික ව්‍යුහයෝ (normative structures) සමාජ පරිනාමයේ ‘වේකුරුවෝ’ (pacemakers) වෙත්.
එමෙන් ම, “සමාජගත සංවර්ධනයේ සාමාන්‍යයන්” ග්‍රහනය කර ගැනුමට ප්‍රමානවත් නැතැයි ඔහු නිවේදනය කර සිටින, නිශ්පාදන මාදිලිවල වර්ධනීය අනුක්‍රමයක් පිලිබඳ මාක්ස්වාදී සංකල්පය, පියාජේ හා කෝල්බර්ග් විසින් දරුවන්ගේ ඥානන හා සදාචාරමය සංවර්ධනයේ අවධි සූත්‍රගත කරමින් හඳුන්වා දෙන ලද සංවර්ධන මනෝවිද්‍යාවෙන් ව්‍යුත්පන්න කෙරුනු, “සමාජ සංවිධානයේ මූලධර්ම” මගින් විස්ථාපනය කිරීමට හබමාස් යෝජනා කරයි. පුද්ගල මනෝවිද්‍යාමය සංවර්ධනයේ මෙකී මොඩලය හෙතෙම සියලු සමාජයන්හි පරිනාමයට උපයෝගී කර ගනුයේ, සමාජ රූපාකාර ඒවා විසින් අත්පත් කර ගැනුනු “සදාචාරමය-ප්‍රායෝගික විඥානයේ” අවධිය අනුව වර්ගීකරනය කල හැකි බවට තර්ක කරමිනි.
මෙහි ප්‍රතිඵලය වනුයේ, “ඓතිහාසික භෞතිකවාදය” යන නාමය රඳවා ගන්නා අතර ම, එය ධනේශ්වර සමාජය පිලිබඳ විප්ලවීය විවේචනයක් බවට පත් කල සෑම මූලිකාංගයක් ම සුන් කල න්‍යායයකි. පන්ති අරගලයේ න්‍යායය “පරිනාමීය ඉගෙනුම් ක්‍රියාවලි” පිලිබඳ න්‍යායක් මගින් විස්ථාපනය කෙරී ඇත. දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනය සංවර්ධන මනෝවිද්‍යාව මගින් විස්ථාපනය කෙරී ඇත. කම්කරු පන්තියේ විප්ලවීය නියෝජ්‍යත්වය “සදාචාරමය-ප්‍රායෝගික විඥානයේ” වියුක්ත ප්‍රගතිය මගින් විස්ථාපනය කෙරී ඇත. වටිනාකම පිලිබඳ ශ්‍රම න්‍යායය, අධෝ-උපරිව්‍යුහ මොඩලය, ජගත් පන්තිය ලෙස කම්කරු පන්තිය පිලිබඳ සංකල්පය යන මේ සියල්ල නිශ්චිතව ම අත්හැර දමා ඇත. මාක්ස්වාදී සම්ප්‍රදායයෙන් හබමාස් ගැඹුරින් ගනුදෙනු කරන එක ම තැනැත්තා වනුයේ, හේ අනුමතපූර්වකව උපුටා දක්වන කෞට්ස්කි ය.
යමෙකු මෙය ප්‍රතිනිර්මානයක් ලෙස හඳුන්වන්නේ ද නැතහොත් ප්‍රතික්ශේපනයක් ලෙස හඳුන්වන්නේ ද යන්න අර්ථවිශයක ප්‍රශ්නයකි. හරය වසයෙන්, ඒ වූ කලි ප්‍රතික්ශේපනයකි. එය පෙරට ගියේ, ඓතිහාසික භෞතිකවාදය යනු, ස්ටැලින් විසින් සංග්‍රහ කෙරුනු දෙයකැයි, රචනාවේ ආරම්භක ඡේදයෙහි ස්ථාපිත සාධ්‍යයෙහි සිට ය.
VI
හබමාස්ගේ මාක්ස්වාදය අත්හැරීම, වඩා පුලුල් දාර්ශනික පසුබැසීමකින් – හෙගල් සිට පෙරලා කාන්ට් දක්වා, වෛශයික විඥානවාදයේ සිට ලෝකෝත්තර ආත්මීයවාදයක රූපාකාරයක් දක්වා, ඉතිහාසය පිලිබඳ අපෝහකමය අවබෝධයක සිට තාර්කිකත්වයෙහි පටිපාටිමය න්‍යායක් දක්වා පසුබැසීමකින් – වෙන් කල නොහැකි විය.
හෙතෙම සිය ගුරුවරුන් වූ හෝර්ක්හයිමර් හා ඇඩෝර්නෝ වෙතින් උරුම කර ගත්තේ, ප්‍රගාඪ ව්‍යාකූලත්වයකට පැමින තිබුනු සවිචාර න්‍යායයේ සම්ප්‍රදායයකි. Dialectic of the Enlightenment (ප්‍රබුද්ධත්වයේ අපෝහකය) (1944) නමැති කෘතියෙහි ඔවුන් දෙපල තර්ක කලේ, පසුකාලීන ධනවාදයෙහි පරිපාලිත ලෝකය තුල සහ ෆැසිස්ට්වාදයේ සංත්‍රාස තුල කූටප්‍රාප්තියට පත් වෙමින්, උපයෝගී තර්කනය නිර්දය ලෙස මිනිසුන්ගේ ආධිපත්‍යයට මඟපෑදූ බව යි. හබමාස් ආවෘත අන්තය හඳුනා ගති: සකල තර්කනය යනු ආධිපත්‍යය නම්, විචාරකයා කථා කරන්නේ කුමන ආස්ථානයකින් ද? ඔහුගේ විසඳුම හෙවත් සන්නිවේදන තාර්කිකත්වය වෙත හැරීම, තථ්‍ය ගැටලුවකට ආමන්ත්‍රනය කලේ ය.
ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ මුල් පරපුර සමඟ පැවති ඔහුගේ සබඳතාව සංකීර්න විය. නාසිවාදයේ අත්දැකීම්වලින් තරයේ ගතානුගතික නිගමනයන්ට එලැඹි, ආයතනය සතු පූර්ව-යුධ මාක්ස්වාදී ලේඛනාගාරය කෙරෙහි තරුන හබමාස් උනන්දු වනු දැක තැති ගත් හෝර්ක්හයිමර් සමඟ ඇති වූ ඝට්ටන, ෆ්‍රෑන්ක්ෆර්ට් වෙනුවට සිය ඇදුරු පදවිය මාර්බර්ග්හි සම්පූර්න කිරීමෙහිලා හබමාස් මෙහෙයැවී ය. ඇඩෝර්නෝ සමඟ පැවති ඔහුගේ සබඳතාව වඩා උනුසුම් වුව, “ඔවුන්ගේ කිලිටිතම, වඩාත් නාස්තිකවාදී ග්‍රන්ථය” ලෙස තමා විසින් හඳුන්වන්ට යෙදුනු “ප්‍රබුද්ධත්වයේ අපෝහකය” කෘතියෙහි අඩංගු න්‍යායික අශුභවාදය, බුද්ධිමය වසයෙන් සනාථ කල නොහැකි යයි සැලකීමට හබමාස් පටන් ගති. කෙසේවෙතත්, දැනමුත්තන් දෙපල සමඟ ඔහු බෙදාහදා ගත් දෙය නම්, සම්භාව්‍ය මාක්ස්වාදයට සහ කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාවට ඔවුන් දැක්වූ ජුගුප්සාව යි.
සන්නිවේදන තාර්කිකත්වය වෙත හැරීමේ පිරිවැය අතිමහත් විය. හෙගල් සිට පෙරලා කාන්ට් දක්වා පසුබැසීමෙන්, හබමාස් නියත වසයෙන් අත්හලේ, හෙගල්ගේ චින්තනයෙහි වඩාත් ඵලදායී යයි මාක්ස් සැලකූ මූලිකාංග යි. එනම්, යථාර්ථයේ තථ්‍ය ප්‍රතිවිරෝධතා ග්‍රහනය කර ගැනුමේ ක්‍රමයක් ලෙස අපෝහකයත්, නිශ්චිත ප්‍රතිඝතිතතා මගින් මෙහෙයවනු ලබන සංවර්ධන ක්‍රියාවලියක් ලෙස ඉතිහාසය අවබෝධ කර ගැනුමත් ය. ඉතිහාසය පිලිබඳ අපෝහකමය අවබෝධය, භෞතික ප්‍රතිවිරෝධතා සහ පන්ති අරගලය සමඟ පවතින කවර සබඳතාවක් වුව, සංවර්ධනීය අවධීන්ගෙන් ඉවත් කරන්නා වූ සමාජ පරිනාමය පිලිබඳ න්‍යායක් මගින් හබමාස් විස්ථාපනය කලේ ය.
Ludwig Feuerbach and the End of Classical German Philosophy (ලුද්විග් ෆොයාබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය) නමැති කෘතියෙහි එංගල්ස් තර්ක කලේ, සියලු දර්ශනයන්හි අති මූලික ප්‍රශ්නය වනුයේ, චින්තනයට පැවැත්ම සමඟ ඇති සම්බන්ධය බවත්, ස්වභාව ධර්මය ප්‍රාථමික ලෙස සලකන භෞතිකවාදීන් සහ ආත්මයේ ප්‍රාථමිකත්වය අභිකථනය කරන විඥානවාදීන් වසයෙන් දාර්ශනිකයන් දෙපිලකට බෙදී සිටින බවත් ය. හබමාස් කිසි විටෙක මෙකී සූත්‍රායනයට බැඳී ගත්තේ නැත; භෞතිකවාදය හා විඥානවාදය අතර භේදය ඔහුගේ න්‍යායික රාමුව තුල කේන්ද්‍රීය ස්ථානයක් භජනය නොකරයි. නමුත්, මාක්ස්වාදී දර්ශනයේ දෘශ්ටිකෝනය අනුව, ඔහු පැහැදිලිව ම විඥානවාදී පක්ශයට වැටේ.
ඔහුගේ Knowledge and Human Interests (ඥානය හා මානව අභිරුචි) (1968) නමැති කෘතියෙහි වර්ධිත ඥානය පිලිබඳ න්‍යායය තුල කාන්ට් අනුයමින් තර්ක කරනුයේ, ඥාත විශයය කිසියම් පූර්ව ඥානන අභිරුචි ඔස්සේ ලද අනුභූතික වස්තූන්ගෙන් සමන්විත වන බව යි. වඩා මූලිකව, ඔහුගේ සමස්ත න්‍යායික ව්‍යාපෘතිය රඳා පවතිනුයේ, ද්‍රව්‍යමය නිශ්පාදනය සහ සමාජ පැවැත්ම අභිබවා භාශාවේ සහ සන්නිවේදනයේ ප්‍රාථමිකත්වය මත ය. “මිනිසුන්ගේ විඥානය විසින් ඔවුන්ගේ පැවැත්ම නිර්නය නොකෙරේ. ඊට ප්‍රතිකූලව, ඔවුන්ගේ සමාජ පැවැත්ම විසින් ඔවුන්ගේ විඥානය නිර්නය කෙරේ” යන අදහස මාක්ස් දැරූ අතර, මෙකී ප්‍රමුඛතාව හබමාස් කනපිට හරවයි. The Theory of Communicative Action (සන්නිවේදන ක්‍රියාව පිලිබඳ න්‍යාය) නමැති කෘතියෙහි මූලික ප්‍රවර්ගය වනුයේ, ශ්‍රමය, නිශ්පාදනය හෝ මනුශ්‍යත්වය සහ ස්වභාව ධර්මය අතර පරිවෘත්තීය හුවමාරුව නොව සන්නිවේදන අන්තර්ක්‍රියාව යි: කථන හුවමාරුව අන්‍යොන්‍ය අවබෝධය කරා දිශානතව ක්‍රියා කරයි. මෙය සෘජු දේශපාලනික ප්‍රතිවිපාක ගෙන දෙන විලෝමයක් විනා අවධාරනය විතැන් වීමක් නොවේ.
VII
අමෙරිකානු තත්කාර්යවාදියෙකු වූ රිචඩ් රෝටි සමඟ දශකත්‍රයක් මුලුල්ලේ පැවති විවාදය මගින්, හබමාස්ගේ දර්ශනයෙහි විඥානවාදී ස්වභාවය තියුනු සහනයකට හෙලන ලදී. මතුපිටින් පෙනී ගියේ, දෙදෙනා පරස්පර බවකි: රෝටි වූ කලි වෛශයික සත්‍යය පිලිබඳ සංකල්පය දුරීභූත කිරීමට අවශ්‍ය වූ, ස්වයං-ප්‍රකාශිත සාපේක්ශවාදියෙකි (relativist); හබමාස් තාර්කික වලංගුතාව පිලිබඳ සංකල්පයක් රඳවා ගැනුමට බලකර සිටි තැනැත්තෙකි. රෝටිගේ අභිවාහ්‍ය විසංවාදය (performative contradiction) -සහේතුක තර්කයේ අධිකාරිය බිඳිනුව සහේතුක තර්ක භාවිතා කිරීම- විවේචනය කල හබමාස්, ස්වකීය ස්ථාවරය විසින් ප්‍රබුද්ධත්වයේ විශ්වීය මානය ආරක්ශා කෙරෙන බව අවධාරනය කලේ ය.
එහෙත්, මාක්ස්වාදී ඥානවිහාගයේ ආස්ථානය අනුව, ඔවුන් දෙදෙනා අතර පැවති සමානතා වෙනස්කම්වලට වඩා වැදගත් වේ. දෙදෙනා ම සත්‍යය පිලිබඳ අනුරූප්‍යතාවාදය – යම් ප්‍රස්තුතයක් වෛශයික හා මනසින් ස්වායත්ත යථාර්ථයක් තුල පවතින ස්වභාවයකට අනුරූප වේ නම්, එය සත්‍ය වේ යන මතය – ප්‍රතික්ශෙප කරති. රෝටි සත්‍යය විස්ථාපනය කරනුයේ පිටපත්කරනය මගිනි; හබමාස්, කතිකාවේ පරමාදර්ශී කොන්දේසි යටතේ, එය බහුමතය මගින් විස්ථාපනය කරයි. දෙදෙනා ම අපෝහක භෞතිකවාදයේ ස්ථාවරය වන ස්වාධීනව පවතින ද්‍රව්‍යමය ලෝකයක් සමඟ මිනිසුන්ට පවතින ප්‍රායෝගික සබැඳියාව තුල සත්‍යය පිහිටුවන්නේ නැත. ෆොයාර්බාහ්ගේ භෞතිකවාදයෙහි අකර්මන්‍යතාව නිවැරදි කරමින්, ඒ මත ගොඩනැඟි මාක්ස්ගේ ස්ථාවරය වූයේ, වෛශයික සත්‍යය මානව චින්තනයට ආරෝපනය කල හැකි ද යන්න න්‍යාය පිලිබඳ ප්‍රශ්නයක් නොව ප්‍රායෝගික ප්‍රශ්නයක් බව යි: “මිනිසා සත්‍යය, එනම්, යථාර්ථය හා බලය, ඔහුගේ චින්තනයේ මෙම පාක්ශිකත්වය (අන්තර්ගතය) ඔප්පු කල යුත්තේ භාවිතයෙහි දී ය.”
“හබමාස් සහ මා අතර පවතින එක ම බැරෑරුම් නැතිනම් ලගන්නාසුලු නොඑකඟතාව වන්නේ, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්හි සාධාරනීකරනය සඳහා ‘කොන්දේසිවිරහිතභාවය’ හා ‘විශ්වීය වලංගුතාව’ බඳු මතිමතීන් ඔබට අවශ්‍ය ද යන්න පිලිබඳව යි” යනුවෙන් රෝටි විසින් ම අත්‍යවශ්‍ය පොදු පදනම හඳුනා ගැනුනි. කලහයට තුඩු දී නොමැති දෑ සැලකිල්ලට ගන්න: දර්ශනයේ අරමුන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්හි සාධාරනීකරනය බවට දෙදෙනා ම එකඟ වෙති. නොඑකඟතාව පවතිනුයේ කාන්ටියානු මෙවලම් කොපමන ප්‍රමානයක් අවශ්‍ය ද යන්න සම්බන්ධයෙනි.
දේශපාලන ඇඟවුම් සුලුපටු නොවේ. වෛශයික සත්‍යය පිලිබඳ සංකල්පය කතිකාවේ පටිපාටි තුල දියකර හැරීම ඔස්සේ, කොතරම් පරමාදර්ශී වුව, ස්වකීය අභිප්‍රායයන් කුමක් වුව, හබමාස්, වර්තමාන ධනේශ්වර බුද්ධිමය ජීවිතය හාත්පස පැතිරෙන රැඩිකල් ආත්මීයවාදයට සහ අතාර්කිකත්වයට දොර විවර කලේ ය. සත්‍යය සමන්විත වනුයේ කතිකාවෙන් මිස චින්තනයට යථාර්ථය සමඟ ඇති අනුරූප්‍යතාවෙන් නොවේ නම්, එවිට, කතිකාවේ දූශනය – මාධ්‍ය හැසිරවීම, දෘශ්ටිවාදීමය සන්තෘප්තිය හා ආර්ථික බලයේ ශුද්ධ බර – ඔස්සේ සත්‍යය කරා අපේ ප්‍රවේශය හුදෙක් විකෘත කිරීමෙන් නොනවතී. එය සත්‍යය මත් දියකර හරී. හබමාස් තම වෘත්තීය ජීවිතය ගත කලේ පද්ධතිමය බලවේග විසින් “ජීවනලෝක විජිතකරනයට” එරෙහිව අනතුරු අඟවමිනි. එහෙත්, ඊට එරෙහිව නැඟී සිටිනුව ඔහුගේ ම න්‍යාය කිසිදු පදනමක් සැපයුවේ නැත. වෛශයික යථාර්ථය තුල සත්‍යය පිහිටුවිය නොහැකි දර්ශනයකට පවතින සමාජ පර්යාය පිලිබඳ බැරෑරුම් විවේචනයක් ගොඩනැංවිය නොහැක. එයට යෝජනා කල හැක්කේ පටිපාටිමය අභිවෘද්ධි පමනි. නියත වසයෙන් ම, ස්වකීය වෘත්තිය පුරා හබමාස් අනුගිය දේශපාලන වැඩපිලිවෙල එය යි.
VIII
1989-1991 සිද්ධි – නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලන තන්ත්‍ර බිඳවැටීම හා සෝවියට් සංගමය විසුරුවා හැරීම – හබමාස්ගේ න්‍යායික ව්‍යාපෘතිය දෝශමුක්ත කරන සෙයක් පෙනෙන්ට තිබුනි. “What Does Socialism Mean Today?” (“සමාජවාදය යන්නෙන් මෙවක අදහස් වනුයේ කුමක් ද?”) (1990) නමැති රචනාවෙහිලා ඔහු නිවේදනය කලේ, විප්ලවීය සමාජවාදය යනු ආවෘත අන්තයක් බවත්, එක ම ශක්‍ය ප්‍රගතිශීලී දේශපාලනය “සර්වජන ඡන්ද බලය හා සුභසාධක රාජ්‍යයක් සහිත ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදයක ස්වරූපයෙන් දුබලතා මෙන් ම සබලතා ද වර්ධිත ධනවාදී සමාජයක රැඩිකල් ප්‍රතිසංස්කරනවාදී ස්වයං-විවේචනය” බවත් ය. “රාජ්‍ය සමාජවාදයේ බංකොලොත්භාවය” සමඟ “මෙය සියල්ල රිංගා යා යුතු ඉදිකටු මල යි” යනුවෙන් හේ ලිවී ය.
තර්කය පදනම් වූයේ දැවැන්ත පාඨ එකලසක් මත ය: සමාජවාදය සමඟ ස්ටැලින්වාදය අනන්‍ය කිරීම සහ අනුශංගිකව ධනවාදය මානව දේශපාලන භව්‍යතාවේ අනභිභවනීය ක්ශිතිජය නියෝජනය කල බවට නිවේදනය කිරීම. ස්ටැලින්වාදී නිලධාරිවාදය යනු සමාජවාදයේ උපලබ්ධිය නොව එහි නිශේධනය බව – මෙකී පරපෝශිත කුලයේ පාලනය සමාජවාදී සංවර්ධනයට පාදීය බාධකයක් වූ බවත්, අනුශංගිකව ඔවුන් සිදු කල ධනවාදයේ පුනස්ථාපනය කම්කරු පන්තියට ව්‍යසනකාරී වග සනාථ වීමට නියමිත බවත්, විශ්ලේශනය කිරීමෙහි හබමාස් කිසි විටෙක නියැලුනේ නැත. පැරනි සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපය තුල ධනේශ්වර පුනස්ථාපනයෙන් පසුව හට ගත් බහුජන විරැකියාව, ආයු අපේක්ශාව පහත වැටීම, කතිපයාධිකාරී විලුම්පනය සහ සමාජ යටිතල පහසුකම් විනාශ කිරීම ගැන ඔහුට කිසිවක් කීමට නොතිබුනි.
1990 පටන් ගත වූ දශකත්‍රය පෙන්නුම් කොට තිබෙනුයේ, සියල්ල රිංගා යා යුතු බවට හබමාස් අවධාරනය කල “ඉදිකටු මල” තීව්‍රතර සූරාකෑමට, නැඟී එන අසමානතාවට, මූල්‍ය අර්බුදයට සහ මිලිටරිවාදයේ පුනරාගමනයට දොරටුවක් වූ බව යි. 1990 දී ඔහු ජයපැන් බිව් සුභසාධක-රාජ්‍ය ධනවාදය, ඒ මොහොතේ සිට ම, ඔහු අනන්‍ය වූ දේශපාලන බලවේග විසින් ම, ක්‍රමානුකූලව බිඳ විසුරුවා හරිනු ලැබීමේ කාල වකවානුවට පිවිසෙමින් තිබුනි.
IX
හබමාස්ගේ දේශපාලන චරිතාපදානයේ අවසන් පරිච්ඡේද වඩාත් හානිකර ය. න්‍යායිකව සූදානම් වනු පිනිස හේ උපකාර කල ආන්ඩුව, එහි බිහි වීම “හදිසි වාසනාවක්” ලෙස හේ ආශිර්වාද කල ආන්ඩුව – එස්පීඩී-හරිත සන්ධානය – 1999 දී, යුගොස්ලාවියාවට නැටෝ බෝම්බ හෙලීමට සහාය දැක්වීමත් සමඟ ජර්මානු මිලිටරිවාදයේ පුනර්ජීවනයට මඟපෑදී ය. නීති විරෝධී බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට සහාය දුන් හබමාස් ඉන්පසුව ද, “මානව හිමිකම් ආරක්ශා කිරීමේ” පදනම මත ජර්මානු මිලිටරි ක්‍රියාවට තිරසරව සහයෝගය ගොනු කලේ ය.
ඉතා මෑත දී, පිලිප් ෆෙල්ශ් විසින් විරචිත හබමාස් චරිතාපදානයෙහි එකරුන චිත්තාකර්ශනීය ලෙස සෘජුව ම සඳහන් කෙරී ඇත: “ශීතල යුද්ධය අවසන් වීමෙන් පසු හමුදා මැදිහත් වීම් සඳහා ජර්මානු සහභාගිත්වය පිලිබඳ ප්‍රශ්නය සලකන කල්හි, 1999 කොසෝවෝ සිද්ධියෙහි දී මතු නොව අන් සියලු සිද්ධීන්හි දී ද හබමාස් අධිකාරී ෆෙඩරල් ආන්ඩුවේ ක්‍රියා පිලිවෙතට සහයෝගය දී තිබේ. මේ අරුතින්, ඔහු රාජ්‍යයෙහි සැබෑ චින්තකයෙකු බව සනාථ වේ.”
රාජ්‍යය උසුලන චින්තකයෙක් (staatstragender Denker )! සන්නිවේදන තර්කනයේ දාර්ශනිකයා, පරමාදර්ශී කථන සන්නිවේශයේ න්‍යායාචාර්යවරයා, ව්‍යවස්ථාපිත දේශප්‍රේමයේ වීරයා, සෑම සංයුක්ත දේශපාලන අර්බුදයක දී ම ජර්මානු ධනේශ්වර රාජ්‍යයේ ප්‍රතිපත්ති – ඒවා සාධාරනීකරනය සඳහා ඔහු පිහිට පැතූ පරමාදර්ශවලින් ඒවා කොතරම් දුරස්ථ වුව – වෙනුවෙන් පෙනී සිටින අද්වකාත්වරයෙකු බව සනාථ කලේ ය.
මෙකී ගමන්පථය හබමාස්ගේ අවසන් වසරවල දී එහි කූටප්‍රාප්තියට පැමිනියේ ය. 2018 දී, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (සීඩීයූ) වත්මන් නායක සහ බ්ලැක්‍රොක් ජර්මනි සමාගමේ හිටපු විධායක සභාපති ෆ්‍රෙඩ්‍රික් මර්ස් (වර්තමාන ජර්මානු චාන්ස්ලර්) සමඟ එක්ව නව යුරෝපා හමුදාවක් තනන්නැයි ඉල්ලා සිටින අභියාචනයකට හෙතෙම අත්සන් තැබී ය. 2022 යුක්‍රේන යුද්ධයේ දී, ඔහු ජර්මානු ආන්ඩුවේ ප්‍රතිපත්තියට සහාය දැක්වී ය. 2025 මාර්තුවෙහි දී, තම අවසන් ලිපිවලින් එකක ඔහු යුරෝපයේ ප්‍රතිසන්නද්ධකරනය කඩිනම් කිරීම වෙනුවෙන් තර්ක කලේ “යුරෝපා සංගමයෙහි සාමාජික රාජ්‍යයන් සිය මිලිටරි බලය තර කර ඒකාබද්ධ කල යුතුව තිබෙනුයේ, එසේ නොකලොත් භූ-දේශපාලනිකව චලනය වන ලෝකයක ඔවුන් තවදුරටත් දේශපාලනිකව ගනන් නොගැනෙනු ඇත” යි නිවේදනය කරමිනි.
ධනේශ්වර රාජ්‍යයෙහි මුක්කුවක් ලෙස, සිය වෘත්තීය ජීවිතය අග භාගයෙහි හබමාස් ආගම වැලඳ ගැනුම වෙසෙසා අවධානයට ලක් වීම යෝග්‍ය වනුයේ, එය ඔහුගේ ලිබරල් ප්‍රසාදිතයන් විසින් ඉතා ම අශෝභන ලීලාවෙන් සමරන්ට යෙදුනු බැවිනි.
2004 ජනවාරියෙහි දී, හබමාස්, වසරකට පසුව සොලොස්වැනි බෙනඩික්ට් පාප් බවට පත්ව බටහිර ක්‍රිස්තියානි ශිශ්ටාචාරය රැක ගනු වස් කුරුස යුද්ධයක් දියත් කිරීමට පෙරට පැමිනි ප්‍රතිගාමී කතෝලික කාදිනල්වරයා වූ ජෝශප් රැට්සිංගර් හමු වූයේ ලිබරල් රාජ්‍යයේ සදාචාරමය පදනම් පිලිබඳ සාකච්ඡාවක් වෙනුවෙනි. හබමාස් ලබා දුන්නේ අපූර්ව සහනයකි: ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය තමාට ම ජනනය කර ගත නොහැකි ආචාරධර්මී සම්පත් මත යැපෙන බවටත් ලෞකික තර්ක බුද්ධිය මගින් විස්ථාපනය කල නොහැකි සදාචාරමය අන්තර්ඥාන ආගම විසින් සංරක්ශනය කෙරෙන බවටත් ඔහු වාද කලේ ය. “දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බයෙන් හා සමරූප්‍යතාවෙන් යුතුව” මිනිසුන් නිර්මානය වී ඇතැයි පැවසෙන ක්‍රිස්තියානි ධර්මය, සමාන මානව වටිනාකම පිලිබඳ ලෞකික මූලධර්මය තුල පරාවර්තිත බවට දෙදෙනා ම එකඟ වූහ. හබමාස් මෙය හැඳින්වූයේ ආගමික සංයුක්තය ලෞකික පදවලින් “සකසුරුවම් වර නැඟීමක්” වසයෙනි.
ඒ වූ කලි, ප්‍රබුද්ධත්ව තාර්කිකත්වය කෙරෙහි කවර බැරෑරුම් කැපවීමක වුව ආස්ථානයෙන්, අසාමාන්‍ය යටත් වීමකි. එනම්, යූගන් හබමාස්ගේ යාවච වැඩය වූ සන්නිවේදන තර්කනයේ සමස්ත ප්‍රාසාදය, එහි ආරක්ශාව තකා ඉදි කල දේශපාලන පර්යාය චිරස්ථායී ලෙස පවත්වා ගැනුමට ප්‍රමානවත් නොවන බවත්, මානව සමානතාවයේ මූලධර්මය සහේතුක තර්කනය මත පමනක් පදනම් කල නොහැකි බැවින්, ඒ සඳහා පාදීය දේවධර්මවාදී ඇපකරයක් අවශ්‍ය බවත් පිලිගැනීමකි.
එහෙත්, ගාර්ඩියන් පත්‍රයෙහි 2026 මාර්තු 18 දින කතුවැකි උපහාරය, යථොක්ත අදහස් හුවමාරුව තුලින් දාර්ශනික බංකොලෙත්භාවය පිලිබඳ පාපොච්චාරනයක් වෙනුවට අනුප්‍රානයෙහි මූලාශ්‍රයක් සොයා ගති.හබමාස් හට “ඉතා නිර්ලෝභී උපහාරයක්” වතිකානුවෙන් ලැබුනු බව අනුමතපූර්වකව සඳහන් කරමින්, කතෝලික දේවධර්මාචාර්යවරයා සමඟ “පොදු භූමියක්” සොයා ගැනුම මගින් “තමා දේශනා කල දෑ ක්‍රියාවට නැඟීම” ගැන ඔහුට ප්‍රශංසා කල ගාර්ඩියන් පත්‍රය, රැට්සිංගර් සංවාදය “දුර්-ලිබරල් (අසංස්කෘතික) අවධි” සඳහා “නැතිව ම බැරි දාර්ශනික වැල්ලේ රේඛාවක්” බව නිවේදනය කලේ ය. සමකාලීන ලිබරල්වාදයේ බුද්ධිමය තතු පිලිබඳව මීට වඩා එලිදරව් කෙරෙන ලියවිල්ලක් යමෙකුට කොහෙත්ම ඉල්ලා සිටිය නොහැක. ගාර්ඩියන් පත්‍රය එහි පාඨක ප්‍රජාවට පාරට්ටු කරන “වැල්ලේ රේඛාව” වනාහි සන්නිවේදන තර්කනයේ දාර්ශනිකයා සහ අනාගත පාප්වරයා අතර පවතින එකඟතාව යි: සිය දෙපයින් නැඟී සිටිය නොහැකි ලෞකික සමානතාවාදයට ක්‍රිස්තියානි දේවධර්මයේ කිහිලිකරුව අවශ්‍ය වෙයි. මෙය, ප්‍රබුද්ධත්ව ව්‍යාපාරය, සිය ශ්‍රේශ්ඨ සමයෙහි දී, මූලෝත්පාටනය උදෙසා සටන් වැදුනු දෘශ්ටිවාදීමය අධිකාරිය පල්ලියට නියත වසයෙන් ප්‍රදානය කෙරෙන තර්කයකි. නැටෝ යුද්ධ, යුරෝපා සංගමයේ කප්පාදු පිලිවෙත් හා යුරෝපයීය ප්‍රතිසන්නද්ධකරනය සඳහා ආධාර කරනු වස් සිය අවසන් දශක කීපය කැප කලා වූ ද, කතෝලික ප්‍රතිගාමිත්වයේ බුද්ධිමය මහසිපි සමඟ සුහද සාමීචීන්හි නිරත වූ ද චින්තකයෙකුගෙන් ලද එබඳු සහනයකින් ලිබරල් ජනමාධ්‍ය සිය ‘පෝශනය’ සපයා ගත යුතු වීම, හබමාස් ගැන නොව ලිබරල්වාදය කිඳී ඇති ආගාධය ගැන අපට බොහෝ දෑ පවසයි.
1986 ඉතිහාසඥයින්ගේ විවාදයෙහි දී, හබමාස් පෙරට දැමූ දේශපාලන නිර්නායකත්‍රය – ව්‍යවස්ථාපිත දේශප්‍රේමය, අපරදිග ලෝකය කරා දිශානතිය හා අවුශ්විට්ස් අපරාධ පිලිගැනීම – දැන් නටබුන් වී ඇත. ජර්මනියේ පශ්චාත්-යුධ ව්‍යවස්ථාව සංශෝධන මගින් අඛන්ඩව යටපත් කෙරී ඇති අතර ඉන් බෙහොමයක් හඳුන්වා දෙන ලද්දේ එස්පීඩී සභාගය විසිනි. හබමාස්ගේ මිතුරා ෆිශර්, ජර්මානු මිලිටරි මෙහෙයුම්හි පුනරාරම්භය සාධාරනීකරනය සඳහා නරුම ලෙස අවුශ්විට්ස්හි පිහිට පැතී ය. අපරදිග ලෝකය කරා දිශානතිය සඳහා හබමාස් කල ඉල්ලීම ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ රැජැයුමේ නැඟීම මගින් අසංගත කෙරී ඇත. මෙකී වර්ධනය, හබමාස් විසින් සිය අවසන් ලේඛන තුල උග්‍ර ලෙස අවතක්සේරු කෙරුනේ, ට්‍රම්ප් ප්‍රපංචය “ඓතිහාසික ෆැසිස්ට්වාදයෙහි සාදෘශ්‍යයක්” නොදරන බව තරයේ පවසමිනි. එම තක්සේරුවෙන් වසරකට පසුව, වෙස්මුහුනු පැලඳි අයිසීඊ (එක්සත් ජනපද ආගමන හා රේගු බැලයීමේ ෆෙඩරල් නියෝජිතායතනය) ඒජන්ත කල්ලි, එක්සත් ජනපදය පුරා නිදැල්ලේ ක්‍රියාත්මක වන අතර, ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව නීති විරෝධී ආක්‍රමනික යුද්ධයක නියැලී සිටී.
X
යූගන් හබමාස්ගේ වෘත්තීය චර්යාව, පශ්චාත්-යුදකාලීන යුරෝපයීය චින්තනයේ සමස්ත ධාරාවක ඉරනම සහ ජර්මානු බුද්ධිජීවීන්ගේ ඉතිහාසයේ පුනරාවර්තන රටාවක් සුවිශදව ආලෝකමත් කරයි. මාක්ස්වාදය සමඟ සම්බන්ධ වීමෙන් වැඩ පටන් ගන්නා චින්තකයා කෙලවර වනුයේ සිය බුද්ධිමය බලයන් ධනේශ්වර රාජ්‍යයේ සේවය උදෙසා යෙදවීමෙනි. ව්‍යවස්ථාපිත දේශප්‍රේමයේ සහ සන්නිවේදන තර්කනයේ වාංමාලාව නැවුම් ය. එහෙත්, එහි දේශපාලන අන්තර්ගතය එසේ නොවේ. සෑම තීරනාත්මක මොහොතක දී ම, බුද්ධිජීවියා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරය අභිබවා රාජ්‍යය තෝරා ගනී.
හබමාස් වංචනිකයෙකු හෝ හුදු ප්‍රචාරකයෙකු නොවී ය. ඔහුගේ න්‍යායික ව්‍යාපෘතිය නියෝජනය කලේ, විසිවැනි සියවසේ ව්‍යසනයන්ගෙන් පසු, ප්‍රතිසංස්කරනවාදී දේශපාලනය සඳහා බුද්ධිමය පදනම් සැපයීමේ තිරසර ප්‍රයත්නයකි. එහෙත්, දේශපාලන ආර්ථිකය පිලිබඳ විවේචනය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය සහ කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව අත්හැර දැමූ හබමාස්, තමන්ගේ ම ස්ථාවරයේ තර්කනය මගින්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාපටිපාටීන්හි විවේචනය සඳහා විකල්ප පදනමක් සෙවීමට පෙලඹුනේ, පරමාදර්ශී කථන සන්නිවේශය තුල ය; ව්‍යවස්ථාපිත දේශප්‍රේමය තුල ය; තාර්කික කතිකාවේ සම්මතයන් තුල ය. අර්බුද පැමිනි කල්හි – යුද්ධය, කප්පාදුව, සිය වෘත්තීය චර්යාව තුල ඇපකැප වෙමින් ආරක්ශා කල ලිබරල් පර්යායෙහි බිඳවැටීම උද්ගත වූ කල්හි, සවිචාර න්‍යායය, සිය උද්භවයේ දී තමන් විරුද්ධ යයි කියා සිටි ප්‍රතිපත්තිවලට ම, එකී න්‍යායෙහි කීර්ති නාමය නයට දෙමින් රාජ්‍යය පිටුපස පෙලගැසෙනු හැර ඔහුට අන් පිලිසරනක් නොවී ය.
අසාර්ථකත්වයේ දේශපාලනික මූලය මේ රචනාව ආරම්භයේ දී ම හඳුනා ගැනුනි: මාක්ස්වාදය සමඟ පැවති න්‍යායික හා දේශපාලනික එදිරිවාදුකමෙහි සංවිපාකයක් ලෙස, 1933 ව්‍යසනයට හේතු වූ කරුනු ග්‍රහනය කර ගැනුමට හබමාස් කිසි විටෙක ප්‍රයත්න දැරුවේ නැත. සෙසු සියල්ල, එනම්, ඓතිහාසික භෞතිකවාදය ප්‍රතික්ශෙප කිරීම, හෙගල් සිට කාන්ට් දක්වා පසුබැසීම, වෛශයික සත්‍යය අනවස්ථිත පටිපාටිය තුල දියකර හැරීම සහ හෛඩැගර්ගේ නාසිවාදය පිලිබඳ තරුන විචාරකයාගේ සිට හිටපු බ්ලැක්‍රොක් සමාගමේ විධායක නිලධාරීන් පසෙක යුරෝපයීය ප්‍රතිසන්නද්ධකරනය වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනාවන්හි වයෝවෘද්ධ අත්සන්කරු දක්වා දීර්ඝ, ම්ලාන දේශපාලනික පරිහානිය පැමිනියේ එය පසුපසිනි.
පරිවර්තනය: දර්ශන මේදිස්
(අක්ශර වින්‍යාසය පරිවර්තකගේ අභිමතය පරිදි ය.)
