[මෙය Jaffna fishermen protest against bottom trawling, Tamil nationalists divert anger along communal lines මැයෙන් 2026 අගෝස්තු 20 ඉංග්‍රීසියෙන් පල විය.]
උතුරු පලාතේ ධීවරයෝ ඉන්දියාවේ වානිජ ධීවර යාත්‍රාවන්ට එරෙහි ව මෑත දී විරෝධතාවන්ට එක් වී ඇත. මුහුදු පතුලේ දැල් අදින මෙම යාත්‍රා ඔවුන්ගේ ජීවන තත්ත්වයන්ට බරපතල හානියක් සිදු කරයි.
මහ ධීවර සංගත එක් පැත්තකිනුත් ජනතා විමුක්ති පෙරමුන මෙහෙය වන ජාතික ජනබලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු වැඩපිලිවෙල තවත් පැත්තකිනුත් මේ ධීවරයන් පීඩාවට පත් කරයි.
අගෝස්තු 8 වැනි දා පැවැත් වූ මාධ්‍ය හමුවක දී, උතුරු පලාත් ධීවර ෆෙඩරේෂනය පවසා සිටියේ ඉන්දියානු ට්‍රෝලර් යත්‍රාවල විනිවිදීම උතුරු පලාතේ සිට දැන් දකුනු වෙරල තීරයන්ටත් ව්‍යාප්ත ව ඇති බවත් මේ නීති විරෝධී ධීවර කටයුතු නතර කිරීමට ආන්ඩුව පියවර ගත යුතු බවත් ය. ෆෙඩරේෂනය සහ සෙසු එවැනි ධීවර සංවිධාන දෙමල ධනේශ්වර පක්ෂ සමග එක් ව කටයුතු කරන්නේ ධීවර ජනතාවගේ සාධාරන කෝපය මහ ව්‍යාපාරවලින් වාර්ගික සහ ජාතික බෙදීම්වලට අපසරනය කිරීමටයි.
ජූලි 29 වැනි දා පැවති විරෝධතාවයක දී, ෆයිබර් බෝට්ටු 50කට අධික සංඛ්‍යාවකින් 300කට ආසන්න ධීවරයෝ කුරිකට්ටුවාන් ජැටියට එක් රැස් වූහ. යාපනය නගරයේ සිට කිලෝ මීටර 31 දුරින් පිහිටා ඇති කුරිකට්ටුවාන් දූපතේ ජැටිය නාගදීපයට සහ ඩෙල්ෆ්ට් දූපත මගී ප්‍රවාහන ෆෙරි රැගෙන යන තොටුපලයි. මේ ප්‍රදේශ සිවිල් යුද්ධයෙන් දැඩි ලෙස විනාශයට පත් විය.
මෙය ධීවර ප්‍රජාව මුහුන දුන් ව්‍යසනකාරී පාඩුවලට ප්‍රතිචාර වශයෙන් සංවිධානය කෙරුනු විරෝධතාවලින් එකක් විය. ජූලි 16 සිට 18 වැනි දාට පමනක් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රුපියල් මිලියන 50කට අධික ධීවර දැල්වලට හානි සිදු කර තිබුනි. මෙම ට්‍රෝලර් යාත්‍රා සිදු කරන යාන්ත්‍රික දැල් ඇදීමේ ක්‍රමය නිසා මුහුදු පත්ලට ද දැඩි හානි සිදු වේ. මෙම විනාශයන් මත්ස්‍ය සම්පතේ අඩු වීමට ද බලපා ඇත.
ධීවරයෝ කලු කොඩි දරමින් “අපගේ මුහුදු සීමාවට ඒමෙන් වලකිනු” යනුවෙන් සටන් පාඨ කීහ. තම ජීවනෝපායට සිදුවන හානිය ගැන මෙම ධීවරයෝ ඉදිරිපත් කරන දුක්ගැනවිලි සැබෑ ය. නමුත් සංවිධායකයෝ කටයුතු කර තිබුනේ ඊට වගකිව යුතු ධනපති ක්‍රමයත් මහ ව්‍යාපාරවල අවශ්‍යතා ආරක්ෂා කරන ආන්ඩුවත් වගකීමෙන් මුදවා, එම කෝපය පෝක් සමුද්‍ර සන්ධියෙන් එහා සිටින ධීවරයන් එරෙහි ව එල්ල කිරීමටයි.
ධීවර නියෝජිතයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායකට ආමන්ත්‍රනය කල ලිපියක් මාධ්‍ය ඉදිරියේ කියැවී ය. “යහපත් ඉන්දු-ලංකා සබඳතා වෙනුවෙන් රටේ ජනගහනයෙන් එක් කොටසකගේ ජීවනෝපාය බිලි දිය නොහැකි ය,” යනුවෙන් එම ලිපිය සඳහන් කලේ ය. සංවිධායකයෝ තම ඉල්ලීම් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුලු වීම තහනම් කිරීමට සහ ධීවරයන් තම සම්ප්‍රදායික ධීවර ප්‍රදේශවලට අබාධිත ප්‍රවේශය යන ඉල්ලීම්වලට සීමා කර තිබුනි.
විරෝධතාවට පසු මාධ්‍ය ඇමතූ දෙමල ධනපති දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ පාලක පැලැන්තිය කොක්කෙන් ගලවාලමින් කෝපය ජාතිකවාදී මාවතක අපසරනය කිරීමට උත්සහ කලහ.
සමස්ත ලංකා දෙමල කොංග්‍රසයේත් (ඒසීටීසී) දෙමල ජාතික මහජන පෙරමුනේත් (ටීඑන්පීඑෆ්) නායකයා වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් උතුරේ ධීවරයන් දරිද්‍රතාවයේ පවත්වා ගැනීම ගැන චෝදනා කල ද, ඔහු යෝජනා විසඳුම වූයේ “රටේ සමුද්‍රීය සීමාවන් ආරක්ෂා කිරීමට” නාවික හමුදාව යෙදවිය යුතු බවටයි.
උතුරේ ධීවරයන්ට එරෙහි ව නාවික හමුදාවේ රුදුරු වාර්තාවත්, උතුරු නැගෙනහිරින් හමුදාව යලි කැඳවිය යුතු ය යන දිගුකාලීන ඉල්ලීමත් මේ ඉල්ලීම සමග සමහන් වන්නේ කෙසේ දැයි මෙ විට ලෝක සමාජවාදී වෙබ් අඩවිය පොන්නම්බලම්ගෙන් ප්‍රශ්න කර සිටියේ ය. නාවික හමුදාව තම වගකීම ඉෂ්ඨ කල යුතු යැයි පොන්නම්බලම් එම ප්‍රශ්නය පසෙකට දැමුවේ ය. දශක ගනනාවක් තිස්සේ දෙමල ජනතාව කුරිරු ලෙස මර්දනය කල මිලිටරිය ම ඉන්දීය ධීවරයන්ට එරෙහි ව යොදවන විට එම ජනතාවගේ ආරක්ෂකයන් ලෙස පින්තාරු කර මහජනතාවට ඉදිරිපත් කෙරෙයි.
කයිට්ස් ධීවර ෆෙඩරේෂනයේත් කයිට්ස් ප්‍රාදේශීය සභාවේත් සභාපති ලෙස කටයුතු කරන ඒසීටීසී නායකයෙකු වන අන්නලිංගම් අන්නරාසා ද මාධ්‍ය ඇමතී ය. ඉන්දීය ට්‍රෝලර් ගැටලුව සම්බන්ධයෙන් වසර ගනනාවක් තිස්සේ පැමිනිලි ඉදිරිපත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් කොලඹ ආන්ඩුවවත් නවදිල්ලි හෝ තමිල්නාඩු ආන්ඩුවවත් කිසිදු පියවරක් ගෙන නොමැති බවට ඔහු චෝදනා කලේ ය.
ප්‍රශ්නය මසක් ඇතුලත් නොවිසඳන්නේ නම්, ධීවරයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් එනු ඇති බවට ඔහු ජවිපෙ/ජාජබ ආන්ඩුවට ඊනියා අවසන් නිවේදනයක් නිකුත් කලේ ය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරුවන්ගේ, සෙසු ධීවරයන්ගේ සහ ගොවීන්ගේ සහය ඉල්ලා සිටිනු වෙනුවට ඔහු වාර්ගික කැඳවුමක් සිදු කලේ, ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව තම ධීවර සම්පත් සහ ජීවනෝපාය උදුරා ගද්දී නිහඬ ව සිටිය නොහැකි “අනන්‍ය ජාතික ප්‍රජාවක්” බව සඳහන් කරමිනි.
තවත් ධීවර සමූපකාර සමිතියක නායකයෙකු පවසා සිටියේ තමන්ට “කිසිදු සහනාධාරයක්” අවශ්‍ය නැති බවත්, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පැමිනීම නතර කිරීමෙන් පමනක් තම “ජීවනෝපාය සහ සමුද්‍රීය සම්පත් ආරක්ෂා කර ගත හැකි” බවයි. මෙය ව්‍යාජයකි.
වසර මුල දී, ජල විදුලි බිල් ගාස්තු, සමාජ සහනාධාර කප්පාදු ඇතුලු අයිඑම්එෆ් ප්‍රහාරවලින් ජනිත කෙරුනු කටුක ආර්ථික කොන්දේසි තවත් සංකීර්න කරමින් ඉරානයට එරෙහි ඇමරිකානු ඊශ්‍රායල යුද්ධය හේතූ කොට ගෙන ඉන්ධන මිල ඉහල ගිය විට මෙම ධීවර සමූපකාර ෆෙඩරේෂන කිසිදු විරෝධතාවක් කැඳවූයේ නැත.
උතුරේ ධීවරයෝ දිවයිනේ සෙසු ධීවරයන් මෙන් ම, උග්‍ර වෙන දරිද්‍රතාවට, නයගැති බවට, නිවාස ප්‍රශ්නයට සහ ප්‍රමානවත් පරිදි ජලය සහ විදුලියට ප්‍රවේශයක් නොමැති වීමේ ගැටලුවලින් පීඩා විඳිති.
1983 සිට අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව දියත් කල 26 වසරක වාර්ගික යුද සමයේ දී උතුරේ ධීවර ප්‍රජාව රුදුරු මර්දනයකටත් සීමා කිරීම්වලටත් මුහුන දුන්හ. දැන් එල්ල වන සමාජ ප්‍රහාර මෙම යුද්ධයෙන් ඔවුන් උරුම කර ගත් හානිය තවත් ගැඹුරු කරයි.
ධීවර පවුලක ගෘහනියක වන ආනන්දරාජා පියක්ස්මිනි ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පවසා සිටියා ය. “අපේ මුලු පවුලෙ ම ජීවනෝපාය මේකයි. සඳුදා සිට බදාදා දක්වා අපි නිදි මරා ගෙන දැල් සූදානම් කර ඒවා බෝට්ටුවලට පැටවීමට උදවු කරනවා. බ්‍රහස්පතින්දා මුහුදට යනවා.” ඇය පවසා සිටියේ මෙම දැල් කනකර උකස් කර ලබා ගත් නයෙන් මිල දී ගත් ඒවා බවයි.
ඇය වැඩි දුර මෙසේ පවසා සිටියා ය: “ඔවුන් (ඇගේ සැමියා ඇතුලු ධීවර පිරිස) බ්‍රහස්පතින්දා මුහුදට ගොස් දැල් එලා නැවත් පැමිනියා. පසු දා ම නැවතත් යා නොහැකි නිසා ඔවුන් නැවත් සෙනසුරාදා උදෑසන මාලුන් අසු වූ එම දැල් ගැනීමට ගියා. දුරකතන ඇමතුමක් ගත් ඔහු පවසා සිටියේ එක දැලක්වත් පේන්නට නැති බවයි. මේ වචන අහපු හැටියේ මගේ හදවත හෝස් ගාලා ගියා.”
ඩෙල්ෆ්ට් දූපතේ ධීවරයෙකු පවසා සිටියේ තමුන් මෙම තත්ත්වයන්ට දිගට ම මුහුන දුන් බවත් දැන් තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරෙන බවත් ය. අනලතීවූ, නාගදීපය ආදී ප්‍රදේශවල ධීවරයෝ ද සමාන අත්දැකීම් විස්තර කලහ.
සුලු පරිමාන ධීවර කර්මාන්තයේ ආර්ථික පදනම් කඩා වැටෙමින් පවතියි. 60 වියැති ධීවරයෙකුගේ බිරිඳක වන කුමරේශ්වරන් ශාන්තිනී ලෝක සමාජවාදී වෙබ් අඩවියට පවසා සිටියේ තව දුරටත් සුලුපන්න ධීවර කර්මාන්තයෙන් ආදායමක් උපයා ගත නොහැකි බවයි. “ඉන්ධන මිල අහස උසට නැගලා. කාටවත් මාලු අල්ලන්න යන ගමනකට තනියම වියදම් කරන්න බෑ. මේ නිසා දැන් හතර පස් දෙනෙක් එකට එකතු වෙලා තමයි දැල් වියා ගෙන ඉන්ධන මිල දී ගෙන ෆයිබර් බෝට්ටුවක ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ.” එක් දැලකට සිදු වන අලාභ හානිය ආයෝජනය කල සියලු ම පවුල් මතට පැටවෙන්නේ ඔවුන් තවත් නයට ඇද දමමිනි.
මේ අර්බුදයේ හරි මැද ස්ත්‍රීහු සිටිති. ඔවුහු දැල් වියති; සූදානම් කරති, නය ලබා ගනිති, නය වාරික ගෙවති, නිවසේ ආදායම වියදම තුලනය කිරීමට අරගල කරති. එක් කාන්තාවක ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ පවසා සිටියා ය: “ගොඩක් පවුල්වලට හිතා ගන්න බෑ නය කෝම ගෙවා ගන්නද කියලා. එක නයක් පියවන්න තව නයක් ගන්න වෙලා තියෙනවා. ඊට පස්සේ ඒවයේ පොලී පියවන්න ඕන. මේ විසම චක්‍රය තුල අපේ ජීවිත හිර වෙලා තියෙන්නේ.”
ධීවර කටයුතුවලට වඩාත් උචිත මාස කීපය ද මර උගුලක් බවට පත් ව ඇත. ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වන නොවැම්බර්-දෙසැම්බර් සිට මාර්තු-අප්‍රේල් දක්වා කාලය තුල හොඳ ධීවර අස්වැන්නක් ලබා ගත හැකි වුවත් ඉහල අන්තරායක් ද පවතියි. “එක කුනාටුවක් ඇති දැල් ටික නැති ව යන්න, බෝට්ටුවලට හානි වෙන්න. නයට ගත් සියල්ල එක රැයින් නැති වෙන්න පුලුවන්.”
මේ දුගී ධීවර පවුල් සහ ධීවර සංවිධානවල නිලධාරීන් අතර සමාජීය වශයෙන් ඇත්තේ දැවැන්ත පරතරයකි. පහල මට්ටමේ සමූපකාර ධීවර සමිති දුගී ධීවරයන්ගෙන් සමන්විතවද්දී, ඉහල මට්ටමේ සංවිධාන වන සමූපකාර සමිතිවල ෆෙඩරේෂනවල නිලධාරීන්ට දෙමල ප්‍රභූව සමග දේශපාලන සබඳතා ඇති අතර ඔවුහු ආන්ඩුවේ අත්ගෙඩි වන ධීවර අමාත්‍යාංශය සහ නාවික හමුදාව සමග සමීප ව වැඩ කරති.
2024 ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවල දී ජවිපෙ/ජාජබ නායකයෝ දෙමල ජාතිකවාදී පක්ෂ වගාදිගා කර තිබූ ඉන්දීය විරෝධී මනෝගතීන් ඡන්ද ඩැහැ ගැනීමට ගසා කෑවේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සම්බන්ධයෙන් පියවර ගන්නා බව පවසමිනි. ජවිපෙටමත් ඉන්දීය විරෝධී ස්වෝත්තමවාදයේ දිගු කුප්‍රකට ඉතිහාසයක් පවතී.
උතුරේ ධීවරයන් මුහුන දෙන අර්බුදය එම අර්බුදයට ම මුහුන දෙන තමිල්නාඩුවේ දුගී ධීවරයන්ට එරෙහි ව ඔවුන් පිහිටු වීමෙන් විසඳිය නොහැකි ය. ධීවරයෝ දෙ කොටසේ ම මත්ස්‍ය අස්වැන්න කඩා වැටී ඇත; ඔවුහු දෙ පිරිසම පතුල් දැල් අදින ට්‍රෝලර් යාත්‍රා හේතුවෙන් අලාභ වලට මුහුන දෙති. මහා ව්‍යාපාරික මත්ස්‍ය කර්මාන්තය නව දිල්ලි ආන්ඩුවේ සහ ප්‍රාන්ත ආන්ඩුවේ බැකිම ලබද්දී ඉන්දීය ධීවරයන්ගෙන් සියයට අනූවක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහල ය.
සැබෑ බෙදුම පවතින්නේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා නොවේ. සැබෑ භේදය ඇත්තේ කම්කරු පන්තිය සහ දුගී ධීවරයන් ද අඩංගු කර ගන්නා පීඩිත ජන කොටස් අතරත් ඔවුන් සූරා කන දෙ රටේ ම ධනපති පන්ති අවශ්‍යතා අතරත් ය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් ධීවරයන්ටත් කම්කරුවන්ටත් ජාතික දේශ සීමා ඉක්ම වූත් වාර්ගික බෙදීම් ඉක්මවූත් බලගතු පොදු අරගලක එක්සත් වන්නට කැඳවුම් කර සිටියි. වැඩ කරන ජනතාව බෙදා දුර්වල කිරීමට පමනක් හේතු වන, දෙමල ධනේශ්වර පක්ෂ සහ සමිති නිලධාරීන් පතුරුවන ජාතිකවාදී සහ මිලිටරිවාදී විෂ බැහැර කරන්නැයි අපි ශ්‍රී ලංකාවේ ධීවරයන්ට කැඳවුම් කරමු.
නිලධාරීවාදී ෆෙඩරේෂනවලින් ස්වාධීන ව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගෙන පහත ඉල්ලීම්වල සටන් වදින්නැයි අපි ධීවරයන්ට කැඳවුම් කරමු.
- සහනාධාර වැඩි කර කුඩා පරිමාන ධීවරයන්ට ධීවර ආම්පන්න දැරිය හැකි මිල ගනන්වලට ලබා දෙනු!
- නය කපා හරිනු!
- ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ දුගී ධීවරයන්ට පනවා ඇති සීමා කිරීම් ඉවත් කරනු!
- ධීවරයන්ට නිසි වෙලඳපොල ප්‍රවේශයක් තහවුරු කර අතරමැදියන්ගේ සූරා කෑම නතර කරනු!
මෙම ඉල්ලීම් සඳහා වන අරගලය කොලඹ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට, මිලිටරීකරනයට සහ ධනපති ක්‍රමයට ම එරෙහි අරගලයකින් වෙන් කල නොහැකි ය. කම්කරුවෝ සසප විසින් සටන් වදින සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයට හැරී ගත යුතු වෙති.
