[මෙය Sri Lankan government bans railway workers from using social media යන මැයෙන් 2026 අගෝස්තු 28 දින ඉංග්‍රීසි බසින් පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
අගෝස්තු 26 වන දින, ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය විසින් සියලු ම දුම්රිය සේවකයින්ට අදාල වන පරිදි “රාජකාරි වේලාවන්” තුල සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම තහනම් කරන චක්‍රලේඛයක් නිකුත් කලේ ය. කප්පාදු පියවරවලට සහ ව්‍යාපාර ගැති ප්‍රතිව්‍යුහගත කිරීම්වලට කම්කරු පන්තියේ විරෝධයට එරෙහි ව ආන්ඩුව ගෙන යන තීව්ර මර්දනයේ නව ත ම පියවර මෙයයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ (RSMU) ලේකම් කසුන් චාමර විසින්, දිගු කාලීන ගැටලු, විශේෂයෙන් මෙම වසරේ දුම්රිය එන්ජින්වල බොහෝ තාක්ෂනික දෝෂ පිලිබඳව තම ෆේස්බුක් පිටුවේ අදහස් පල කිරීමෙන් පසු චක්‍රලේඛය නිකුත් විය. චාමරගේ අදහස්වලට දුම්රිය පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ, ඊට “පැහැදිලි කිරීමක්” ඉල්ලා සිටිමිනි.
ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, දුම්රිය සේවකයින් සහ දුම්රිය පද්ධතිය මත යැපෙන වැඩ කරන ජනතාව අතර වර්ධනය වෙමින් පවතින අතෘප්තිය සම්බන්ධයෙන් කනස්සල්ලට පත් ව සිටී.
“දුම්රිය මෙහෙයුම් කටයුතු, අභ්‍යන්තර තීරන, නිල ලේඛන, ආරක්ෂාව සහ ආයතනික වශයෙන් සංවේදී තොරතුරු, රාජකාරි වේලාවන්” තුල, (ෆේස්බුක්, යූ ටියුබ්, ටික්ටොක්, ආදී) සමාජ මාධ්‍ය වේදිකාවල පල කිරීම, මෙම චක්‍රලේඛය මගින් සේවකයින්ට තහනම් කර ඇත. එ වැනි තොරතුරු බෙදා ගැනීම දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය “බරපතල ලෙස අනතුරේ හෙලන” බව එය ප්‍රකාශ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පිලිබඳ නිල තොරතුරු බාහිර පාර්ශවයන්ට හෝ මාධ්‍යයට ලබා දීමට බලය ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට සහ තොරතුරු නිලධාරියාට පමනක් බව චක්‍රලේඛයේ තවදුරටත් සඳහන් වේ. “රාජකාරි වේලාවෙන්” පිටත පවා, සේවකයින්ට සහ වෘත්තීය සමිති නිලධාරීන්ට තම ගැටලු ප්‍රසිද්ධියේ මතු කිරීමට නිදහස තිබේ ද යන්න මෙයින් ප්‍රශ්න කෙරේ.
මෙම නීති උල්ලංඝනය කරන ඕනෑම සේවකයෙකුට, දෙපාර්තමේන්තු උපදෙස් සංග්‍රහයේ 737 සිට 743 දක්වා වගන්ති සහ වෙනත් විවිධ රෙගුලාසි වලට අනුකූල ව “රැකියාව අත්හිටුවීම ඇතුලු ව උපරිම විනය ක්‍රියාමාර්ගවලට” මුහුන දීමට සිදු වන බවට ලේඛනය අනතුරු අඟවයි.
දුම්රිය පද්ධතියේ තත්වය පිලිබඳව පුලුල් කෝපයක් පවතී. පසුගිය වසරේ විනාශකාරී දිට්වා සුලි කුනාටුව, ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරමින්, රටේ ප්‍රධාන දුම්රිය මාර්ගය ලෙස ද සැලකෙන උඩරට දුම්රිය මාර්ගයට බරපතල හානියක් සිදු කලේ ය. දැනට එම මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ, කොලඹ කොටුව සහ රඹුක්කන අතරත්, නානු ඔය සහ බදුල්ල අතරත් පමනි. මහනුවර හරහා ගමන් කරන මාතලේ මාර්ගයේ සේවාව සම්පූර්නයෙන් ම නතර කර තිබේ.
එන්ජින් රියදුරු සංගමයේ (EDU) ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක පවසන පරිදි, ශ්‍රී ලංකාවේ දෛනික දුම්රිය ගමන් වාර ගනන කලින් 410 ක් ව පැවති අතර, වර්තමානයේ එය 184 කට සීමා වී ඇත.
මිලියනයකට වඩා වැඩි දෛනික දුම්රිය මගීන් අතරින් හතරෙන් එකක පමන පිරිසක් කොලඹ-මහනුවර සහ කොලඹ-බදුල්ල මාර්ග භාවිතා කල ද, දුම්රිය මූලාශ්‍රවලට අනුව, ඩොලර් මිලියන 300 කට වඩා වැඩි මුදලක් වැය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති මෙම හානිය, ප්‍රමානවත් අරමුදල් නොමැතිකම හේතුවෙන්, සුලි කුනාටුවෙන් මාස අටකට පසු ව ද අලුත්වැඩියා කර නොමැත.
ජීවන වියදම ඉහල යාමෙන් දැනටමත් බර පැටවී සිටින රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුලු ලක්ෂ සංඛ්‍යාත ජනතාවට, වඩාත් මිල අධික හා දුෂ්කර ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීමට බල කෙරී ඇත.
මේ අතර, ජවිපෙ/ජාජබ ආන්ඩුව, මාර්තු මාසයේ දී, ලංකා විදුලිබල මන්ඩලය (CEB) සමාගම් හයකට කඩා දැමීමෙන් පෙන්නුම් කල පරිදි, රජය සතු ව්‍යවසායන් (SOEs) ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇත. ආන්ඩුව අකුරට ම ක්‍රියාත්මක කරන අයිඑම්එෆ් නියෝග කල කප්පාදු වැඩසටහනේ කොටසක් ලෙස, ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හඳුනාගෙන ඇති 400 කට වැඩි ආයතන අතර ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහලින් ම දුම්රිය දෙපාර්තමේන්තුව පවතී.
දශක ගනනාවක් තිස්සේ අරමුදල් නොමැතිකම හේතුවෙන් දුම්රිය සේවාව පිරිහීම, අවසානයේ පුද්ගලීකරනය සාධාරනීකරනය කිරීම සඳහා හිතාමතා ම සකස් කරන ලද උපාය මාර්ගයක කොටසකි.
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි කම්කරුවන්ගේ අරගල, ආන්ඩුව සමඟ බෙලහීන සාකච්ඡාවලට සහ උසාවිවලට හරවා යැවීමට වෘත්තීය සමිති නිලධරය උත්සාහ කරයි. දුම්රිය සේවකයින් ඇතුලු අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයින් බලමුලු ගැන්වීම ඔවුහු අවහිර කරති.
දුම්රිය සේවකයින්ට එල්ල කරන ප්‍රහාර ඔවුන්ගේ පාලනයෙන් මිදී පුපුරා යන අරගල සඳහා ගිනි පුපුරක් විය හැකි බවට බිය වන RSMU සහ EDU නායකයින් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ද එම පිලිවෙත ම ය. චාමරගේ සහ සේනානායකගේ විවේචනාත්මක ප්‍රකාශ තුල, අයිඑම්එෆ් කප්පාදු න්‍යාය පත්‍රය හෝ ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩසටහන පිලිබඳ එකදු වචනයක් හෝ ඇතුලත් නොවීය. වෘත්තීය සමිති නායකයින් උත්සාහ කරන්නේ, දුම්රිය සේවයේ අර්බුදය දුම්රිය සාමාන්‍යාධිකාරී පත්මප්රියගේ පෞද්ගලික අසාර්ථකත්වයක් ලෙස නිරූපනය කිරීමට ය.
නිලධාරීහු, “ගැටලුව ඉක්මනින් විසඳා ගැනීමට” මැදිහත් වන ලෙසට, ජනාධිපති අනුර කුමාර දිසානායකටත්, ප්‍රවාහන අමාත්‍ය සහ නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයාටත් නිරර්ථක ලෙස ආයාචනා කරති. රැකියා සහ රාජ්‍ය සේවා විනාශ කිරීම සංවිධානය කරන සහ දුම්රිය පුද්ගලීකරන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පත්මප්‍රිය සාමාන්‍යාධිකාරී ලෙස තෝරා පත් කල එම ආන්ඩුව කෙරෙහි ම මිත්‍යාවන් වැපිරීම ඔවුන්ගේ අරමුනයි.
මාර්තු 13 වන දින වෘත්තීය සමිති නිලධාරීන් සමඟ පැවති රැස්වීමක දී, දිසානායක රැකියා සහතික කරන බවට ලංවිම සේවකයින්ට දුන් පොරොන්දු නිකම්ම හිස් ඒවා බව ඔප්පු විය. විදුලි සමාගම් පිහිටුවා මාස පහක් ගත වී ඇතත්, නීත්‍යානුකූල ව වලංගු පත්වීම් ලිපි හෝ දිසානායක පොරොන්දු වූ සාමූහික ගිවිසුම තවමත් සේවකයින්ට ලැබී නොමැත.
දුම්රිය සේවකයින් නිහඬ කිරීමත්, ඔවුන්ගේ රැකියා සහ කොන්දේසි මත ඊලඟ වටයේ ප්‍රහාර එල්ල කිරීමට ආන්ඩුව සූදානම් වන විට මතුවිය හැකි විරුද්ධත්වය මැඬ පැවැත්වීමත් සමාජ මාධ්‍ය තහනමේ අරමුනයි.
සේවා ස්ථාන තත්වයන් හෙලිදරව් කිරීමට, කලමනාකාරීත්වය විසින් සිදුකරන හිරිහැර පිලිබඳ තොරතුරු බෙදා ගැනීමට, විරෝධතා සම්බන්ධීකරනය කිරීමට සහ සේවා ස්ථාන පුරා සහයෝගීතාවය ගොඩනැගීමට සමාජ මාධ්‍ය වේදිකා සේවකයින්ට අත්‍යවශ්‍ය මෙවලම් බවට පත් ව ඇත. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයෙන් පහ කල 2022 ශ්‍රී ලංකාවේ මහජන නැගිටීමත්, බංග්ලාදේශයේ අගමැතිනි ෂික් හසීනාගේ ආන්ඩුව බලයෙන් පහ කල නැගිටීමත් සංවිධානය කිරීමට කම්කරුවෝ සහ තරුනයෝ සමාජ මාධ්‍ය පුලුල් ලෙස භාවිතා කලහ.
කම්කරුවන්ගේ නිදහස් සන්නිවේදනය තම පාලනයට තර්ජනයක් බව, පාලක පන්තිය ඉගෙන ගෙන ඇති පාඩම යි.
දුම්රිය සේවකයින් සඳහා සමාජ මාධ්‍ය තහනම, රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පූර්ව දක්ෂිනාංශික ආන්ඩුවේ ක්‍රියා සිහිපත් කරයි. 2023 දී, ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ (SLIC) කලමනාකාරිත්වය, වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය පරීක්ෂනයක් ආරම්භ කල අතර ඔවුන් “වෘත්තීය සමිති කටයුතු සඳහා සමාගමේ ඊමේල් ලිපින භාවිතා කල” බවට චෝදනා කලේ ය. සියලු ම කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට එරෙහි මෙම ප්‍රහාරයට එරෙහි ව බලමුලු ගැන්වෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියේ ය.
2024 නොවැම්බර් මාසයේ දී බලයට පත් වූ ජවිපෙ/ජාජබ ආන්ඩුව, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින්, පූර්ව පරිපාලනවල ප්‍රහාර අඛන්ඩ ව සහ ගැඹුරු කර ඇත. එහි ක්‍රියාමාර්ගවලට ඇතුලත් වන්නේ:
විදුලි බල, ඉන්ධන, රෝහල් සහ තවත් අංශ 15 ක වැඩ වර්ජන අපරාධකරනය කිරීමට අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත් කිරීම.
2025 අගෝස්තු මාසයේ දී රට පුරා තැපැල් සේවකයින්ගේ වැඩ වර්ජනය බිඳ දැමීම සඳහා කොලඹ මධ්‍යම තැපැල් හුවමාරුව අවහිර කිරීමට හමුදාව සහ පොලිසිය යෙදවීම.
දිට්වා සුලි කුනාටුවෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ආන්ඩුවට එල්ල වන විවේචන මැඬ පැවැත්වීම සඳහා හදිසි නීති බලතල භාවිතා කිරීම, විවේචනය කරන්නන්ට වසර 10 ක සිර දඬුවමක් නියම කිරීමේ තර්ජනය.
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSAT) හඳුන්වා දීම සහ වැඩවර්ජන, විරෝධතා සහ විසම්මුතිය ඇතුලත් වන පරිදි ‘ත්‍රස්තවාදය’ යන්නෙහි අර්ථය පුලුල් කිරීම.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතා ප්රචන්ඩ ලෙස මර්දනය කිරීම සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම.
අනුප්‍රාප්තික ආන්ඩු දුම්රිය අංශයේ වැඩ වර්ජන තහනම් කර, දුම්රිය සේවකයින්ට එරෙහි ව හමුදාව යෙද වූ අතර කාර්මික ක්‍රියාමාර්ග අපරාධයක් ලෙස සැලකීමට අත්‍යවශ්‍ය සේවා නීති භාවිතා කර ඇත. සමාජ මාධ්‍ය තහනම මෙම කම්කරුවන්ගේ අයිතිවාසිකම්වලට එල්ල කරන නව ත ම ප්‍රහාරයයි.
මෙම තහනම අවලංගු කිරීම සඳහා ඵලදායී අරගලයක් දියත් කිරීමට, වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස සසප දුම්රිය සේවකයින්ට කැඳවුම් කර සිටී. මෙම කමිටු, ජවිපෙ/ජාජබ ආන්ඩුවේ පුද්ගලීකරන සහ කප්පාදු පියවරයන්ටත්, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල කරන ප්රහාරවලටත් එරෙහි ව හැකි තරම් පුලුල් අරගලයක් සංවිධානය කිරීමට රාජ්‍ය අංශයේ සහ පුද්ගලික කර්මාන්තවල අනෙකුත් සේවකයින් සමඟ සම්බන්ධ විය යුතු ය.
තමන් මුහුන දී ඇත්තේ සමස්ත ධනේශ්වර ක්‍රමයට ම එරෙහි දේශපාලන අරගලයකට බව කම්කරුවන් හඳුනාගත යුතු ය. සුරක්ෂිතභාවය වැඩි දියුනු කිරීම සහ දැරිය හැකි මුදලකට, නිරන්තර ව සේවාවන් සැපයීම සඳහා දුම්රිය මාර්ග සඳහා කෙරෙන දැවැන්ත ආයෝජන ඇතුලු ව, යහපත් මහජන සේවාවන් සඳහා වන අරගලය, සමාජවාදය මත පදනම් වූ සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන දේශපාලන සටනෙන් වෙන් කල නොහැකි ය.
