[මෙය The Pentagon takes control of Venezuela’s oil: Imperialist thievery and the bankruptcy of bourgeois nationalism මැයෙන් 2026 අගෝස්තු 31දා ඉංග්‍රීසි බසින් පල විය.]
ජූනි 24 දින, වෙනිසියුලාවට බලපෑ භූ-කම්පනය, පුද්ගලයින් 6,500කට අධික සංඛ්‍යාවක් මරා දමා, තවත් දසදහස් ගනනක් අතුරුදන් කලේ ය. එය, වසර 125ක් තුල එරටට බලපෑ ප්‍රබල ත ම භූ-කම්පනය ලෙස වාර්තා වේ. ඉන් මාස දෙකකට පසු ව, ජනගහනයෙන් බහුතරයක් තවමත් පොදු ස්ථානවල හා පදික මාර්ගවල අටවන ලද කූඩාරම්වල ජීවත් වෙමින් සිටිය දී, එක්සත් ජනපද ආන්ඩුව වෙනිසියුලාවේ තෙල් පාලනයට ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේ ය.
සිකුරාදා සවස (අගෝස්තු 28) ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ උදම් අනමින් ප්‍රකාශ කලේ, “තෙල් බැරල් බිලියන 65කට වැඩි ප්‍රමානයක් ඇති බවට තහවුරු කරන ලද වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බහුතරයක එක්සත් ජනපද පාලනය” වොෂින්ටනය විසින් තහවුරු කරගත් බව යි. මෙය ලෝකයේ විශාල ත ම තෙල් සංචිත හිමි වෙනිසියුලාවේ සංචිතවලින් පහෙන් පංගුවකි. එහෙත්, වොෂින්ටනය සැබවින් ම සමස්ත වෙනිසියුලා තෙල් කර්මාන්තය මත ම පාලනය තහවුරු කරමින් සිටී.
වෙනිසියුලානු ව්‍යාපාරික ඇලෙහාන්ද්‍රෝ බෙටන්කෝර්ට් විසින් මෙහෙයවනු ලබන පෞද්ගලික සමාගමකට තෙල් නිධි 17ක් සංවර්ධනය කිරීම සඳහා සියවසක් පුරා පවතින හිමිකම් ලැබෙනු ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනතුරු ව ලේඛනගත කර ඇත. පෙන්ටගනයේ මූලෝපායික ප්‍රාග්ධන කාර්යාලය සියයට 35ක කොටස් හිමිකර ගනු ඇත්තේ ප්‍රායෝගික ව කිසිදු පිරිවැයකින් තොර ව ය. තව ද නිෂ්පාදනයෙන් සියයට 20ක්, පිරිවැය අගයට මිල දී ගැනීමේ ප්‍රමුඛ අයිතිවාසිකම් ද එයට හිමි වේ.
සාරාංශ වසයෙන්, එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුව, මාස අටකට පෙර ආක්‍රමනය කල රටක තෙල්, හුදු අතරමැදියෙකු හෝ මූල්‍ය සපයන්නෙකු ලෙස නොව, හිමිකරුවෙකු ලෙස කොල්ලකමින් සිටී.
දැනට දිග හැරෙමින් පවතින තුන්වන ලෝක යුද්ධය, යටත් විජිත අත්පත් කරගැනීමේ සහ ලෝකය නැවත බෙදාගැනීමේ යුද්ධයක් බවට මෙතෙක් ඇති පැහැදිලි ම සාක්ෂිය මෙය යි. ඉරානය, රුසියාව සහ චීනයට එරෙහි වොෂින්ටනයේ යුද්ධ තීව්‍ර කිරීම සඳහා මෙම තෙල් කොල්ලකනු ලැබේ.
මෙම පියවර, කැනඩාවට එරෙහි වෙලඳ යුද්ධය, මෙක්සිකෝ බොක්ක හා ඔන්ටාරියෝ විල නැවත නම් කිරීම හා සමස්ත අර්ධගෝලය ම ඇමරිකානු ආධිපත්‍යයට යටත් බව අවධාරනය කරන, ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක මූලෝපායෙන් වෙන් කල නොහැක. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ගෝලීය යුද්ධයක සම්පත් පදනමක් හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට, ඇමරිකානු මහාද්වීපයන් දෙක (කැනඩාව, එක්සත් ජනපදය, මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව සහ කැරිබියානු දූපත් ඇතුලත් උතුරු ඇමරිකාව හා බ්‍රසීලය, ආර්ජන්ටිනාව, වෙනිසියුලාව, චිලීය සහ කොලොම්බියාව ඇතුලත් දකුනු ඇමරිකාව) පරිවර්තනය කරමින් සිටී.
මෙ මගින් කරුනු දෙකක් අනාවරනය කරයි. පලමු වැන්න වන්නේ, ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ පෙර තිබූ මවා පෑම අත්හැර දමා ඇති එක්සත් ජනපද පාලක පන්තියේ මැරකමයි. දෙ වැන්න, විශේෂයෙන් ම දශක දෙකක් පුරා පැබ්ලෝවාදී, ස්ටැලින්වාදී සහ ශාස්ත්‍රාලික ප්‍රවනතා සමාජවාදයට නව මාවතක් ලෙස උත්කර්ෂයට නංවා ඇති චාවේස්වාදී ව්‍යාපාරය ඇතුලු ලතින් ඇමරිකානු ධනේශ්වරයේත්, එහි සුලු-ධනේශ්වර ක්ෂමාලාපකයන්ගේත් දූෂිතභාවය සහ නිවටකමයි. එම ව්‍යාපාරය දැන් වෙනිසියුලාවේ ජාතික සම්පත් පෙන්ටගනයට භාරදීම අධීක්ෂනය කරයි.
කොල්ලකෑමේ කොන්දේසි
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ ජනවාරි 3 දින එක්සත් ජනපද විශේෂ බලකායන් විසින් ජනාධිපති නිකොලස් මදුරෝ පැහැර ගැනීමෙන් පසු ජනාධිපති ධූරයේ ස්ථාපිත කරන ලද ඩෙල්සි රොඩ්‍රිගස් අතර රහසිගත ව, මෙම ගනුදෙනුව සාකච්ඡා කෙරුනි. දුරකථන ඇමතුමක් හරහා එකඟතාවට එලැඹුනි. ඡන්ද විමසීමක් පැවැත්වූයේ නැත. කම්කරු පන්තිය පසෙකින් තැබුව ද වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගම වන පීඩීවීඑස්ඒහි විධායකයන්ටත් මෙම ගනුදෙනුව ගැන දැනගන්නට ලැබුනේ මාධ්‍ය හරහා ය.
මෙම තීරනය, හයිඩ්‍රොකාබන් නිධි ජනරජයට අයත් අන්සතු කල නො හැකි දේපොලක් බවත්, ජාතික භූමිය විදේශීය බලයන්ට පැවරීම හෝ බදු දීම තහනම් බවත් පවසන, 1999 වෙනිසියුලානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
පීඩීවීඑස්ඒහි හිටපු සභාපති හා හියුගෝ චාවේස්ගේ තෙල් ඇමතිවරයා වූ රෆායෙල් රමීරෙස් ගේ ගනනය කිරීම් වලට අනුව, ගනුදෙනුවෙන් බදු ආදායම ලෙස රොඩ්‍රිගස් පොරොන්දු වන ඩොලර් බිලියන 209, සියයට 3.7ක හිමිකාර ගාස්තු අනුපාතයකට සමාන වේ. එය, සියවසකට පෙර එක්සත් ජනපද සහාය ලැබූ හුවාන් විසෙන්ටේ ගෝමස්ගේ ආඥාදායකත්වය යටතේ වෙනිසියුලාව එකතු කල මුදලටත් වඩා අඩු ය. ජනවාරියේ සිට විකුනා ඇති බැරල් මිලියන 222.7ක තෙල්වලින් ලැබූ ඩොලර් බිලියන 15කට අධික මුදල, එක්සත් ජනපද භාන්ඩාගාර ගිනුමක පවතින බව ද ඔහු පෙන්වා දෙයි.
පෙන්ටගනයේ හවුල්කරු වන බෙටන්කෝට්, පීඩීවීඑස්ඒ වෙතින් වංචාකාරී ලෙස ලබාගත් මුදල් විශුද්ධීකරනය කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ සහ ස්විට්සර්ලන්තයේ විමර්ශනයන්ට ලක් ව සිටී. වොෂින්ටන් පෝස්ට් පත්‍රයට අනුව, ට්‍රම්ප්ගේ නිලධාරීන් ඔහුගේ උදර්පන නියෝගය හා සංචාරක සීමා ඉවත් කිරීමට ස්විස් අභිචෝදකයන්ට බලපෑම් කල හ. චාවේස් ආන්ඩුව සමඟ පැවති සම්බන්ධතා හරහා පොහොසත් වූ, “බොලිවාරියානු ධනේශ්වරයේ” සාමාජිකයෙකු වන බෙටන්කෝරට්ට, පෙන්ටගනයේ ඉදිරිපෙල නියෝජිතයා ලෙස ක්‍රියා කිරීම වෙනුවෙන් කරන ගෙවීමක් ලෙස, නෛතික දුෂ්කරතාවන් ඉවත් කර දෙන ලදී.
මෙම ගනුදෙනුවේ කාල ගනනය ක්ෂනික දේශපාලන අරමුනකට සේවය කරයි. එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරනයට මාස දෙකකට පෙර, ඉරාන යුද්ධය දිගට ම ඇදී යමින් උද්ධමනය ඉහල නංවද්දී, ට්‍රම්ප් මෙය ජයග්‍රහනයක් ලෙස අලෙවි කිරීමට උත්සාහ කරයි. එහෙත් මෙයින් ඉන්ධන මිල අඩු නො කෙරෙන බව අවධාරනය කල යුතු ය. වෙනිසියුලාව දිනකට බැරල් මිලියන 1.25ක් නිශ්පාදනය කරයි —එය උතුරු ඩකෝටාවේ නිශ්පාදනය සමඟ සැසඳිය හැකි ප්‍රමානයකි— එහි වරායන්ට ඊට වැඩි ප්‍රමානයක් හැසිරවිය නො හැක.
පෙන්ටගනය විසින් වෙනිසියුලාවේ තෙල් කොල්ලකෑම, එක්සත් ජනපදය “නිදහස් ලෝකයේ” නායකයා බවට කරන කතා සියල්ල අවසන් කල යුතු ය. එක්සත් ජනපදයේ පවතින්නේ, ඕනෑ ම තැනක කොල්ලකෑමට පහසුකම් සපයන මුදල් විශුද්ධි කරුවන් හා මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන් හරහා කටයුතු කිරීම සහ ඒ වෙනුවෙන් කරන ගෙවීමක් ලෙස ඔවුන්ගේ නඩු ඉවත් කිරීම ආදී ක්‍රමවේදයන් භාවිතා කරන කතිපයාධිකාරයකි. රුසියානු, චීන සහ අවශ්‍ය තැන්වල යුරෝපීය ප්‍රාග්ධනය බලයෙන් ඉවත් කිරීම සඳහා කැනඩාවේ සිට ටියෙරා ඩෙල් ෆුවෙගෝ දක්වා සමස්ත අර්ධගෝලයට ම මෙම ආකෘතිය යොදා ගැනේ.
එක්සත් ජනපදය ඇතුලත පවතින ඇඟවුම් ද අන්තරායකාරීත්වයෙන් අඩු නොවේ. සන්නද්ධ හමුදා, ව්‍යවස්ථානුකූල ව සිවිල් අධිකාරියට යටත් වන අතර, කොංග්‍රස් මන්ඩලයේ මුදල් වෙන්කිරීම් මත රඳා පවතී. විදේශයන්හි කොටස් හිමිකම් සහ ආදායම් උපදවන වත්කම් රැස් කර ගන්නා පෙන්ටගනය, තමන්ගේ ම සෘජු ආර්ථික අවශ්‍යතා මෙන් ම, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාමය ව්‍යුහය විසින් පැහැදිලි ව ම වැලැක්වීමට සැලසුම් කර තිබූ යම් ආයතනික ස්වාධීනත්වයක් ද අත්පත් කර ගනී. වොෂින්ටනය තුල ඉතිරි පහදු වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිවල පාලනයට පිටතින්, කොල්ලකාරී යුද්ධවලට මුදල් සපයමින් ඒවා මෙහෙයවනු ලබයි.
මේ සියල්ල හරහා, විගනනයක් හෝ හෙලිදරව් කිරීමක් නොමැති ව, තමන්ට ම කොටසක් තබා ගැනීමට, ට්‍රම්ප් මාෆියා පවුල උත්සාහ කරයි. අවසාන විග්‍රහයේ දී, ඇමරිකානු කම්කරු පන්තියට එරෙහි ආඥාදායකත්වයේ ද්‍රව්‍යමය පදනම වන, සන්නද්ධ බලහත්කාරය, ආයෝජන අධිකාරය හා විදේශ වත්කම්වල සෘජු හිමිකාරිත්වය ඒකාබද්ධ කරන මිලිටරි-මූල්‍ය රාජ්‍ය යාන්ත්‍රනයක් ඉස්මතු වෙමින් පවතී.
කොල්ලකාරීත්වයේ සියවසක කූටප්‍රාප්තිය
ඓතිහාසික සන්දර්භය තුල බහා විමසන විට, එක්සත් ජනපදය වෙනිසියුලානු තෙල් අත්පත් කරගැනීම, සියවස් දෙකකට පෙර ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් පසු, එරටට පනවන ලද වඩාත් ම විවෘත යටත් විජිතවාදී ක්‍රියාව යි. ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සංගතයට තෙල් නිධි භාරදුන් ආඥාදායකත්වයන් පවා, විදේශ රාජ්‍යයකට මෙලෙස විධිමත් හිමිකාරිත්වය ලබා දුන්නේ නැත.
1902 දෙසැම්බරයේ බ්‍රිතාන්‍යය, ජර්මනිය සහ ඉතාලිය තම බැඳුම්කර හිමියන්ට ගෙවිය යුතු නය අය කරගනු වස් යුද නෞකා යැවූ විට, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනිසියුලාව වෙත අවධානය යොමු කලේ ය. ජනාධිපති සිප්‍රියානෝ කස්ත්‍රෝ ගෙවීම ප්‍රතික්ෂේප කල විට, වෙරල තීරය අවහිර කල ඔවුහු, වෙනිසියුලානු තුවක්කු බෝට්ටු ගිල්වා, පුවර්ටෝ කබෙයියෝවට බෝම්බ හෙලා හමුදා භටයන් ගොඩබැස්සූහ. එක්සත් ජනපද ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් අතරමැදියෙකු ලෙස මැදිහත් වූයේ, කිසිදු භූමි ප්‍රදේශයක් අත්පත්කර නො ගන්නා තාක් යුරෝපීය බලවතුන්ට නය අය කරගත හැකි බව ආරම්භයේ දී පවසමිනි.
1904 දී, මොන්‍රෝ මූලධර්මයට එක් කල අනුපූරකයක් හරහා, රූස්වෙල්ට් එක්සත් ජනපද ආධිපත්‍යය නීතිගත කලේ ය: එනම්, යුරෝපීය බලවතුන්ට මැදිහත් වීමට හේතුවක් නොලැබෙන පරිදි, එක්සත් ජනපදය මුලු අර්ධගෝලයේ ම “ජාත්‍යන්තර පොලිස් බලය” අභිබවනය කරනු ඇත.
1908 දී, එක්සත් ජනපද යුද නෞකා මුහුදු තීරයෙන් පිටත සිටිය දී, කස්ත්‍රෝ විදේශගත ව සිටින අතරතුර හුවාන් විසෙන්ටේ ගෝමස් බලය අල්ලා ගත්තේ ය. වොෂින්ටනය වහා ම පිලිගන්නා ලද ගෝමස්, 1935 ඔහුගේ මරනය දක්වා වධහිංසා, දම්වැල්වලින් බැඳ බලහත්කාරයෙන් වැඩ කරවන සිරකරුවන්ගේ කන්ඩායම් හා වෙඩි තැබීමේ කන්ඩායම් හරහා රට පාලනය කල අතර, ඔහු මරකයිබෝ තෙල් නිධි, ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සහ ෂෙල් සමාගම්වලට භාර දුන්නේ ය. වෙනිසියුලාව ලෝකයේ ප්‍රධානම තෙල් අපනයනකරු බවට පත් වෙද්දී, ආඥාදායක පාලකයා එහි ධනවත් ම පුද්ගලයා විය.
මෙම රාමුව ජයගැනීමට දැරූ සෑම ජාතිකවාදී උත්සාහයක් ම අසාර්ථක විය. රටේ නිදහස් ව තේරී පත් වූ ජනාධිපති වූ රොමුලෝ ගය්‍යෙගෝස් 50-50 බදු නීතිය පැන වූ නමුත්, මාස කිහිපයක් ඇතුලත හමුදාව ඔහු බලයෙන් පෙරලා දැම්මේ ය. කුමන්ත්‍රනයෙන් පසු බලය තහවුරු කරගත් මාකෝස් පෙරෙස් හිමෙනෙස්, වසර හයක් වධ කඳවුරු හා රහස් පොලිස් යාන්ත්‍රනයක් පවත්වා ගෙන ගිය අතර, එක්සත් ජනපද ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර්ගෙන් ලීජන් ඔෆ් මෙරිට් සම්මානය -මෙය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට කරන සේවය වෙනුවෙන් ලබා දෙන මිලිටරි සම්මානයකි - ලැබී ය. 1976 දී සිදු කල අර්ධ-ජනසතුකරනයක් තෙල් සමාගම්වලට ඩොලර් බිලියනයක් පමන වන්දි ගෙවූව ද ව්‍යුහාත්මක ව කිසිවක් වෙනස් කලේ නැත: එක ම තෙල් නිධි සූරාකෑම සිදු කලේ, එක ම කලමනාකරුවන් පෙර මෙන් ම ප්‍රධාන වසයෙන් එක ම ගැනුම්කරුට විකුනා දමමිනි.
1980 ගනන්වල තෙල් මිල ගනන් ඇද වැටුනු විට, නය ගෙවීමේ කාලය පැමිනියේ ය. 1988 දී, අයිඑම්එෆ් වෙත ප්‍රතිරෝධය දක්වන පොරොන්දුව හේතුවෙන් තේරී පත් වූ කාර්ලෝස් ඇන්ද්‍රෙස් පෙරෙස්, 1989 පෙබරවාරියේ දී එක රැයකින් ඉන්ධන මිල දෙගුන කල ව්‍යුහාත්මක සංශෝධන මාලාවක් නිවේදනය කලේ ය. එයට ප්‍රතිචාරය වූයේ, කරාකාසෝ නමින් හැඳින්වෙන, ගාස්තු ඉහල යාම නිසා ආරම්භ වී කැරකස් හා තවත් නගර දුසිම් ගනනක් පුරා පැතිරුනු, නාගරික කම්කරු පන්තියේ ස්වයංසිද්ධ නැගිටීමකි. ව්‍යවස්ථාමය ප්‍රතිඥාවන් අත්හිටුවා, හමුදාව කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවලට යැවීමට, පෙරෙස් පියවර ගත්තේ ය.
මෙම අරගලය, වෙනිසියුලානු කම්කරු පන්තිය 20වන සියවසේ ලැබූ තීරනාත්මක අත්දැකීමක් විය. එහෙත්, ස්වාධීන දේශපාලන ප්‍රකාශනයක් නොමැති වූ සමාජ කෝපය, හියුගෝ චාවේස් නායකත්වය දුන් නිලධාර බලකායේ කොටසක් විසින් ඩැහැගනු ලැබී ය. 1992 අසාර්ථක කුමන්ත්‍රනයකින් පසු ව, 1998 දී තේරී පත් වූ ඔහු, ධනේශ්වර රාජ්‍යයේ රාමුව තුලට සමාජ නොසන්සුන්භාවය සාර්ථක ව දිශාගත කලේ ය.
චාවේස්වාදය සැබවින් ම කවරක් වී ද?
දශක දෙකක් පුරා, “21වන සියවසේ සමාජවාදය” ලෙස ඉදිරිපත් කල දෙය, එහි සම්භවයන්ගේ පටන් ම, තෙල් කුලියෙන් අරමුදල් සැපයූ ජාතික ප්‍රතිසංස්කරනවාදයක් තුලට විප්ලවවාදී නැගිටීමක් අපසරනය කර යැවීමක් විය.
මෙක්සිකෝවේ ලාසාරෝ කාර්දෙනාස්ගේ ජනසතුකරන පිලිබඳ ලියොන් ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, මෙම සංසිද්ධියට පැහැදිලි ම විස්තරය සපයයි. අර්ධ-යටත්විජිත රටක ජාතික ධනේශ්වර ආන්ඩුවක්, “විදේශීය සහ දේශීය ප්‍රාග්ධනය අතර දෝලනය වෙමින්”, විදේශීය ප්‍රාග්ධනයේ මෙවලමක් ලෙස හෝ එයට එරෙහි ව සීමිත ඉඩහසරක් ලබාගැනීමට නිර්ධන පන්තිය සමඟ උපාමාරු දමමින් තම පාලනය ගෙන යයි. ධනේශ්වර රාජ්‍යයක් මගින් කෙරෙන ජනසතුකරනය හරහා සමාජවාදයට මාවත දිවේ යයි පැවසීම “පරිපූර්න වංචාවක්” වනු ඇති බව කීමේ දී ට්‍රොට්ස්කි තිරසර විය.
චාවේස් යටතේ, දදේනියේ පෞද්ගලික අංශයේ කොටස, 1998ට වඩා ඉහල අගයක් වූ සියයට 70 දක්වා ලඟා විය. 2008 දී, ශ්‍රමයට එරෙහි ව සේවායෝජකයන්ගේ ජාතික ධනයේ පංගුව වාර්තාගත සියයට 48.8ක් වූයේ සැබෑ වැටුප් පහල යද්දී ය. 2012 දී, වෙනිසියුලාවට ලෝකයේ වඩාත් ම ලාභදායී බැංකු සහ හොඳ ම කාර්යසාධනය සහිත කොටස් වෙලඳපොල තිබුනි. සමාජ සහනාධාර හා සේවා පුලුල් කල මිසියෝනස් වැඩසටහන් සැබෑවට පැවති අතර, දරිද්‍රතාව තාවකාලික ව අඩු කලේ ය. එහෙත්, රටේ එක ම භාන්ඩයක් මතත්, ඒ හරහා අධිරාජ්‍යවාදී මූල්‍ය ප්‍රාග්ධනය මතත්, එහි රඳාපැවැත්ම වෙනස් වූයේ නැත.
තෙල් මිල කඩා වැටුනු විට සහ වෙනිසියුලාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඔබාමා ප්‍රකාශ කල විට, මුලු ව්‍යුහය ම බිඳ වැටුනි. චාවේස්වාදියෝ හා එහි ක්ෂමාලාපකයෝ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට එරෙහි විය හැකි එක ම බලවේගය වන කම්කරු පන්තියේ ස්වාධීන අරගලය ක්‍රමානුකූල ව මර්දනය කල අතර,. ඔවුන්ගේ “අධිරාජ්‍යවාද විරෝධය” හිස් පූච්චානමක් බව හෙලි විය.
2024 දී, රොඩ්‍රිගස් ම, වෙනිසියුලාවේ තෙල්, ගෑස් සහ රන් වොෂින්ටනයේ තම “ස්වාමිවරුන්ට” භාර දීමට එක්සත් ජනපද පිටුබලය ලබන විපක්ෂය උත්සාහ කරන බව පවසමින් එය හෙලා දුටුවා ය. 2025 සැප්තැම්බරයේ දී ඇය නිව් යෝක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, පෙන්ටගනයට වෙනිසියුලානු තෙල් සංචිත අත්පත් කරගැනීමේ මූලෝපායික අරමුන සෑම විට ම පැවති බවයි. පැමිනෙමින් තිබූ දෙය ඇය හොඳින් ම දැන සිටියා ය. දැන් ඇය එය කලමනාකරනය කිරීමට උදව් කරයි.
රොඩ්‍රිගේස් සමඟ මෑතක දී පැවැති සම්මුඛ සාකච්ඡාවකින් අනතුරු ව, TIME සඟරාව මෙම ප්‍රතිඵලය විස්තර කරන්නේ “අනුග්‍රාහක රාජ්‍යයක්” (client state) ලෙස ය. රූබියෝ තෙල් ආදායම් සහ රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂනය කරයි; අපනයන ආදායම් එස්ක්‍රෝ ගිනුමක රඳවා තබා ගන්නා අතර, කැරකස් පාර්ශ්වය කොන්දේසි සපුරාලන විට ඒවා මුදා හරිනු ලැබේ; ඇයගේ ආරක්ෂක අමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් රොඩ්‍රිගේස් රූබියෝගෙන් උපදෙස් ලබා ගනී; තව ද, දුරකථනය සහ WhatsApp හරහා දිනපතා ආසන්න වශයෙන් සම්බන්ධතා පවත්වා ගෙන යනු ලැබේ.
පැහැර ගනු ලැබූ ජනාධිපතිවරයාගේ පුත්‍රයා මෙන් ම, ජාතික සභා නියෝජිතයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා පත්‍රයේ නම් කර ඇති අයෙකු ද වන නිකොලස් මදුරෝ ගුවේරා, තම පියා නිව් යෝක් සිරකුටියක සිටින අතරතුර පවා, ගිවිසුම ඇති කරගැනීමේ දී ඉටුකල භූමිකාවන් වෙනුවෙන් ට්‍රම්ප් සහ රුබියෝට තම නමින් ස්තුතිය පල කරමින් නිල වෙනිසියුලානු ලිපි ශීර්ෂයකින් නිවේදනයක් නිකුත් කිරීම තුල, පරිපූර්න යටත්වීම තවදුරටත් අවධාරනය විය.
තීන්දුව වෙනිසියුලාවෙන් ඔබ්බට විහිදේ. කියුබාවේ කස්ත්‍රෝවාදය, නිකරගුවාවේ සැන්දිනිස්තාවරුන් හා පසුගිය සියවසේ සෑම ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයක් ම ඔප්පු කර ඇත්තේ, අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමට අසමත් බව යි. මෙවැනි පාලන තන්ත්‍ර “සමාජවාදය” ලෙස පින්තාරු කිරීමට දරන සෑම ප්‍රයත්නයක් ම සේවය කලේ, කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කිරීමට පමනි.
යටත්විජිතවාදය වෙත ආපසු යාම
මෙම ක්‍රියාවලීන් වර්ධනය වෙද්දී ම ඒවා විශ්ලේෂනය කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පමනි. පලමු ගල්ෆ් යුද්ධයේ මුව විට, 1990 අගෝස්තු මාසයේ දී, ඩේවිඩ් නෝර්ත් වර්කර්ස් ලීගයේ සම්මේලනයකට පැවසුවේ ලෝකය නව අධිරාජ්‍යවාදී බෙදීමකට ඇතුල් වී ඇති බව යි: පශ්චාත් යුද යුගයේ අවසානයෙහි අර්ථය වන්නේ පශ්චාත්-යටත්විජිත යුගයේ අවසානය බවත්, යම් තරමක නිදහසක් දිනාගත් පැරනි යටත්විජිත නැවත යටත් කරගනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ආසියාව, අප්‍රිකාව, මැද පෙරදිග සහ ලතින් ඇමරිකාව පුරා, ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රවල පලල් ස්ථරයකට උපාමාරු දැමීමට ඉඩහසර ලැබුනේ, ප්‍රධාන වසයෙන් සෝවියට් සංගමයේ පැවැත්ම නිසා ය. මෙම ව්‍යාපාර සඳහා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය දුන් සහයෝගය, කිසිදු මූලධර්මාත්මක අර්ථයකින් අධිරාජ්‍යවාද විරෝධී නො වූයේ, එය සෝවියට් සංගමය මත පීඩනය අඩු කිරීමේ ක්‍රමයක් හා සමාජවාදී විප්ලවය ක්‍රමානුකූල ව මර්දනය කිරීම සමග එකට බැඳුනු ක්‍රමයක් වූ තතු තුල ය. එහෙත් එහි නරුමත්වය කවරක් වුව ද එම සහයෝගයෙන් මේ ආන්ඩුවලට යම් රාජ්‍යතාන්ත්‍රික, මිලිටරිමය හා ආර්ථික පිටුබලයක් ලැබුනි. ඔවුන්ට බල කන්ඩායම් අතර සමතුලිතතාව තබා ගැනීම, සහන උදුරා ගැනීම, කර්මාන්තයක් ජනසතුකරනය කිරීම හා නැගෙනහිරට හැරෙන බවට තර්ජනය කිරීම කල හැකි විය.
1991 දී, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය විසුරුවා හල විට, එම පදනම අතුරුදන් වූයේ, එය සමගින් පැරනි යටත්විජිත රටවලට එරෙහි සෘජු අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය මත පැවති සෑම සීමාවක් ම ඉවත් කරමිනි. ඉන් පසු ව සිදු වූයේ, ඔවුන් ලබාගත් කවර හෝ ස්වාධීනත්වයක් හා ස්වෛරීභාවයක් තිබුනේ නම්, ඒවා ක්‍රමානුකූල ව විනාශ කිරීමයි.
ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, සුඩානය, පලස්තීනය සහ දැන් ඉරානය හා වෙනිසියුලාව දක්වා දිග හැරෙන දශක තුන හමාරක අඛන්ඩ යුද්ධ, 20වන සියවසේ යටත්විජිත විරෝධී ව්‍යාපාර අසීමිත අධිරාජ්‍යවාදී පාලනයට එරෙහි ව ගොඩනැගූ සෑම බාධකයක් ම රටෙන් රටට ඉවත් කිරීමට ඇති දිගුකාලීන ව්‍යාපාරයක් සමන්විත කරයි. අධිරාජ්‍යවාදයෙහි අරමුන වන්නේ, 1917 ඔක්තෝබර් විප්ලවය හා යටත්විජිත විරෝධී නැගී සිටීම් කිසිදා සිදු නො වූ ලෙස ලෝකය නැවත නිර්මානය කිරීමයි.
මෙම ක්‍රියාවලිය වඩාත් ම නග්න ආකාරයෙන් ප්‍රකාශයට පත්වන්නේ වෙනිසියුලාවේ දී ය. පෙන්ටගනය දැන් වෙනිසියුලා බොර තෙල්වල හිමිකාරිත්වය දරයි; චීනය කරන මිල දී ගැනීම් ශූන්‍යයට කපා හැර ඇත්තේ, රුසියානු ඒකාබද්ධ ව්‍යාපාර අවසන් කරමිනි.
මෙම සැලැස්ම අතිශය අස්ථාවර පදනමක් මත රඳා පවතින බවටත්, වෙනිසියුලානුවන් එය පිලි නොගන්නා බවටත් රමීරෙස් අනතුරු අඟවයි. සමාජ කප්පාදුව හා මහජන දරිද්‍රතාව මත රැඳී පවතින මෙම කොල්ලකෑම පටවනු ලැබෙන්නේ, මියගිය 6,500කට වැඩි පිරිසක් භූමදානය කල හා පූර්න විනාශයකට මුහුන දෙන මහජනතාවක් මතයි. තව ද වොෂින්ටනය, තමන් ම ජනිත කරන කෝපය පාලනය කිරීමට භාවිතා කල හැකි සියලු දේශපාලන මෙවලම් අවසන් කර ගෙන ඇත: දක්ෂිනාංශික විපක්ෂය වෛරයට පාත්‍ර වන අතර, චාවේස්වාදීහු විවෘත ව ම කොල්ලකෑම පරිපාලනය කරමින් වොෂින්ටනයේ රූකඩයන් හැර වෙනත් කිසිවක් ලෙස පෙනී සිටි නොහැකි ව සිටිති. ඉතිරි ව ඇත්තේ, බොලිවාරියානු ජාතික ආරක්ෂක බලකාය හා එක්සත් ජනපද නාවික හමුදාව හරහා ක්‍රියාත්මක කරන ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයේ බලය පමනි.
ඉතිහාසයේ පැවති අන් කිසිදු අවස්ථාවකට වඩා විශාල සමාජ බලවේගයක් ලෙස කම්කරු පන්තිය පවතින මොහොතක හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වර්ධනය කල දේශපාලන ඉදිරි දර්ශන සිදුවීම් මගින් සම්පූර්නයෙන් සනාථ කර ඇත. වෙනිසියුලාව, එක්සත් ජනපදය හා ඇමරිකා මහාද්වීප දෙක පුරා කම්කරු පන්තිය, හජාජාකහි ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය මත සවිඥානික ව එක්සත් වීම, නැවත යටත්විජිතකරනයට හා ලෝක යුද්ධයට ඇති එක ම පිලිතුර යි.
