යුද්ධයට එරෙහි ව කම්කරු පංතියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා සටන් කිරීම හේතුවෙන් යුක්‍රේනය තුල සිරගත කර සිටින බොග්ඩාන් සයිරොටියුක් නිදහස්කර ගැනීමේ ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ සාමාජිකයෝ, පසුගිය සතියේ, ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි ප්‍රධාන ප්‍රවේශයන් අසල උද්ඝෝෂනයේ යෙදුනු අතර, එයට ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගෙන් සහ කම්කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබුනි.
27 හැවිරිදි යුක්‍රේන ට්‍රොට්ස්කිවාදියෙකු සහ බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවලෙහි ප්‍රමුඛ සාමාජිකයෙකු වන බොග්ඩාන්, “රාජද්‍රෝහීත්වය” යන චෝදනාව යටතේ අගෝස්තු 10 දින වසර 15ක සිර දඬුවමකට යටත් කරන ලදී. රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයට මෙන් ම යුක්‍රේනය තුල රුසියානු ආක්‍රමනයට ද එරෙහි ව යුක්‍රේන හා රුසියානු කම්කරුවන් අතර එකමුතුව සඳහා කැඳවුම් කිරීම හේතුවෙන්, යුක්‍රේනයේ ආරක්ෂක සේවය විසින් 2024 අප්‍රේල් 25 දින ඔහු අත්අඩංගුවට ගනු ලැබී ය.
බොග්ඩාන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට ලොව පුරා කම්කරුවන්, සිසුන්, විද්වතුන්, කලාකරුවන් සහ අනෙකුත් පිරිස් එයට සහාය පල කර ඇත. බොග්ඩාන් සයිරෝටියුක් නිදහස් කර ගැනීම සඳහා දියත් කර ඇති ඔන්ලයින් පෙත්සමට මේ වන විට 8000 කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති අතර තවත් විශාල පිරිසක් නඩු තීන්දුව අවලංගු කොට බොග්ඩාන් වහා ම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ප්‍රකාශ නිකුත් කර ඇත.
සසප/ සසජාතශි උද්ඝෝෂකයෝ ලෝසවෙඅ හි පල කෙරුනු “යුක්‍රේනයේ ෆැසිස්ට් අධිකරනය යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක්ට වසර 15ක සිර දඬුවමක් පනවයි” යන ලිපියේ සිංහල භාෂා පිටපත් සහ අනෙකුත් සාහිත්‍ය බෙදා හැරියහ. ඔවුන්ගේ මැදිහත් වීමට සැලකිය යුතු සහයෝගයක් ලැබුනු අතර, එහි දී ට්‍රොට්ස්කිවාදී පොත පත ද ශිෂ්‍යයන් සහ තරුනයන් උනන්දුවෙන් මිලට ගන්න ලදී.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ දෙවනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වන සඳුනි, වර්ධනය වෙමින් පවතින ලෝක යුද අන්තරාය පිලිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කලා ය:
“මේ වෙද්දී වර්ධනය වෙමින් පවතින ලෝක යුද්ධය තව දුරටත් ඉදිරියට ගියහොත් මුලු ලෝකය ම විනාශ වෙන්න පුලුවන්. දැනට යුද්ධයට සම්බන්ධ බලවත් රටවල් සතු ව පවතින න්‍යෂ්ටික අවි භාවිත කරමින් එකිනෙකාට පහර දීමට පටන් ගත්තොත්, ක්ෂනික ව ම ලෝකය විනාශ වීමේ අවදානමක් තිබෙනවා. මේ යුද්ධය නතර කල යුතුයි.”
ඇය තවදුරටත් අදහස් දක්වමින්, බොග්ඩාන් සයිරොටියුක් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිලිබඳව සිය අදහස මෙසේ ප්‍රකාශ කලා ය:
“බොග්ඩාන් සයිරොටියුක් විරුද්ධ වී ඇත්තේ සමස්ත ලෝකයට ම බලපාන ලෝක යුද්ධයටයි. ඔහු කතා කර ඇත්තේ තමන් වෙනුවෙන් පමනක් නොව, යුද්ධයට විරුද්ධ සමස්ත ලෝක ජනතාව වෙනුවෙනුයි. ඒ නිසා ඔහු ආරක්ෂා කිරීම අප හැමෝගෙම වගකීමක්.”
සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට බරපතල පහරක් එල්ල වී ඇති බව අවධාරනය කරමින් ඇය මෙසේ ප්‍රකාශ කලා ය:
“අදහස් දැක්වීමක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම ඔහුගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි ව එල්ල කරන ලද යුක්‍රේන ආන්ඩුවේ ප්‍රහාරයක්.”
ඇය අවසාන වශයෙන් පැවසුවේ බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීම සඳහා වන පෙත්සමට අත්සන් තබන බවත්, ඒ වෙනුවෙන් ප්‍රකාශයක් ද ලබා දෙන බවත් ය.
මොරටුව විශ්වවිද්‍යාලයේ මෝස්තර නිර්මාන පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන කසුන් බොග්ඩාන්ට එරෙහි සිර දඬුවම හෙලා දුටු අතර ඔහුගේ නිදහස සඳහා ඔන්ලයින් පෙත්සමට අත්සන් කිරීමට පොරොන්දු විය. ඉරානයට එරෙහි එක්සන් ජනපද-ඊශ්‍රායල යුද්ධය තම ජීවන තත්වයන්ට බලපාන අයුරු විස්තර කරමින් ඔහු මෙසේ පැවසී ය: “තෙල් වල මිල ගනන් වේගයෙන් ඉහල යනවා. මේකත් එක්ක ලෝක යුද්ධය කෙලින් ම සම්බන්ධයිනේ. ආපනශාලා වල කෑම වල මිල පහුගිය ටිකේ වේගෙන් වැඩි උනා. බස් ගාස්තු වැඩි උනා. බෝඩිම් ගාස්තු වැඩි උනා. මේවා එක්ක අතේ තියෙන ගානෙන් ජිවත් වෙන්න අමාරුයි.”
“යුද්ධය එන්න එන්න ම දරුනු වෙනවා. රටවල් න්‍යෂ්ටික අවි වලින් යුද්ධ කරන්න ගත්තොත් ලෝකය ක්ෂනයකින් සම්පුර්නයෙන් ම විනාශ වෙලා යාවි.” ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ ය.
ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී මුන ගැසුනු ඌබර් ත්‍රීරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කරන තරුන කම්කරුවෙක් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ උද්ඝෝෂනයට තම සහයෝගය පල කලේ මෙසේ ය:
“ඔබලා ගෙන යන අරගලය මම අගය කරනවා. බොග්ඩාන් කර ඇත්තේ යුද්ධයට විරුද්ධ වීමයි. එය රාජද්‍රෝහී අපරාධයක් වෙන්නේ කොහොම ද? බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කල යුතුයි.”
ඔහු තම දේශපාලන අත්දැකීම් පිලිබඳව මෙසේ පැවසී ය:
“මම කැලනිය විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා. තරුන කාලයේ දී මම විශ්වාස කලේ ඒ පක්ෂය සමාජවාදය ගොඩනැගීම සඳහා වැඩ කරන පක්ෂයක් කියලයි. ඒත් පසුව මම මාක්ස්වාදයේ මූලික කෘති කියවද්දී තේරුම් ගත්තා, කම්කරු පන්තිය අතර විප්ලවවාදී පක්ෂයක් ගොඩනඟන්නේ නැතුව සමාජවාදය ගොඩනඟන්න බැහැ කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කම්කරු පන්තිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වැඩපිලිවෙල ගැන මට බරපතල ප්‍රශ්න මතු වුනා. ඔබ පැහැදිලි කල ආකාරයට එය සැබැවින් ම ව්‍යාජ-වාම පක්ෂයක්.”
ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන ඉතිහාසය සම්බන්ධයෙන්, සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය විසින් ප්‍රකාශයට පත් කල “ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පංති ස්වභාවය” කෘතිය සොයා ගෙන කියවීමට ඔහු තුල තිබූ උනන්දුව ද ඔහු සඳහන් කලේ ය. ඔහු එම කෘතිය ඇතුලු සමාජවාදී පොත් පත් කිහිපයක් දැඩි උනන්දුවකින් යුතු ව මිල දී ගත්තේ ය.
“අධිරාජ්‍යවාදයට විරුද්ධ ව කෑ ගහපු ජනතා විමුක්ති පෙරමුන දැන් ඇමරිකානු යුද වැඩපිලිවෙලට සහයෝගය දෙනවා.
ඒ නිසා යුද්ධයට සහ අධිරාජ්‍යවාදී ප්‍රහාරවලට එරෙහි ව කම්කරු පන්තිය ජාත්‍යන්තර ව සංවිධානය කිරීමේ අවශ්‍යතාව මම දැන් වඩාත් පැහැදිලි ව දකිනවා” යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ ය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට අත්සන් තැබුවා ය.
“ලොව පුරා විශාල සමාජ හා ආර්ථික බිඳ වැටීමක් සිදු වෙමින් පවතිනවා. ලෝකයේ බොහෝ තැන්වල තරුනයන්ට රැකියා අවස්ථා නොමැති තත්ත්වයක් තිබෙනවා. ඒ අතර ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරත් අපට දකින්න පුලුවන්. මෙම තත්ත්වය අපේ විශ්වවිද්‍යාලය තුලත් තිබෙනවා. විශ්වවිද්‍යාලය තුල පවා අපට සම්පූර්න නිදහසක් නැති තත්ත්වයක් තිබෙනවා. මේ ගැටලු වලට මූලික හේතුව ධනවාදය සහ එහි ගෝලීය අර්බුදය බවට ඔබ කරන පැහැදිලි කිරීම මට නව ආලෝකයක්” යැයි ඇය පැවසුවා ය.
“යුද්ධය ගෝලීය ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් යන අදහසට මම එකඟයි. අද අප මුහුන දෙන බොහෝ සමාජ ගැටලු, මෙම ආර්ථික අර්බුදය සමඟ සම්බන්ධයි.”
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරන ලෙස ඉල්ලා ඇති පෙත්සමට අත්සන් කරමින් ඇය මෙසේ ප්‍රකාශ කලා ය: “මම මෙහි අත්සන් කරන්නේ යුද්ධයට විරුද්ධ ව අදහස් දැක්වීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඔහුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිලිගන්නා නිසයි.”
“ඔබලා යුද්ධයට විරුද්ධ ව උද්ඝෝෂන කරන ආකාරය අවස්ථා ගනනාවක දී මම දැක තිබෙනවා. ඒත් ඒ අවස්ථාවල දී මම එය එතරම් තැකුවෙ නැහැ. නමුත් දැන් මට තේරෙනවා ඔබලා යුද්ධයට විරුද්ධ ව ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින බව. ඒ පිලිබඳව ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට මම කැමතියි,” යැයි ඇය වැඩි දුරටත් පැවසුවා ය.
මොරටුව විශ්වවිද්‍යාලයේ කම්කරුවෙක් බොග්ඩාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට සහාය පල කිරීමට තම කැමැත්ත ප්‍රකාශ කලේය. සයිරොටියුක් යුක්‍රේනයේ සිරගත කොට සිටීමේ අවදානම පිලිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසී ය: “ඔහු යුක්‍රේනයේ සිටීම ම ත් භයානක තත්ත්වයක්. යුක්‍රේන ආන්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා. මේ සමස්ත තත්ත්වය පිටුපස ඇමරිකාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. යුද්ධය පිටුපස තිබෙන්නේ ඇමරිකාව කියන ආකාරයේ මානව අයිතිවාසිකම් පිලිබඳ සැලකිල්ලක් නොවෙයි, බලය සඳහා පවතින අවශ්‍යතාවක්.”
