විශ්වවිද්‍යාලවල පරිහානියට එරෙහි ව ආචාර්යවරු උද්ඝෝෂනය කරති

සැප්තැම්බර් 02 දා දිවා විවේකයේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු පැවැත්වූ පිකට් වැට [Photo: Facebook-FUTA-Sri Lanka]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) නියෝග හරහා පනවා ඇති දැඩි බදු, ආචාර්යවරු රට හැර යාම, පුරප්පාඩුවලට බඳවා නොගැනීම නිසා ඇති වී තිබෙන ආචාර්ය හිඟය ඇතුලු ගැටලු රාශියකට විසඳුම් ඉල්ලා, විශ්වවිද්‍යාල ආචාර්යවරු සැප්තැම්බර් මස ආරම්භයේ සිට විරෝධතා උද්ඝෝෂනයක නියැලී සිටිති.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (ෆූටා) කැඳවීමට අනුව, සැප්තැම්බර් 02 වැනි දා දිවා විවේකයේ පිකට් උද්ඝෝෂනයක යෙදුනු ආචාර්යවරු, සැප්තැම්බර් 09 දා එක් දින වැඩවර්ජනයක යෙදී ගත්හ. වර්ජනය හේතුවෙන් දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17 හි සියලු අධ්‍යයන කටයුතු නතර විය. 

ෆූටා තම සාමාජිකත්වයෙන් ඉල්ලා තිබුනේ අධ්‍යයන කටයුතුවලින් බැහැර ව සිටීම වුව ද, විශ්වවිද්‍යාල ගනනාවක ආචාර්යවරු එදින පිකට් උද්ඝෝෂන සහ ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වූහ. “රාජ්‍ය විශ්වවිද්‍යාල සුරකිමු”, “ගුනාත්මක උසස් අධ්‍යාපනයක් සඳහා අත්වැල් බැඳගමු”, “ආචාර්ය හිඟයට වහා විසඳුම් ලබා දෙනු”, “ආන්ඩුව නිදයි සරසවි වැසෙයි”, “නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමු, එමඟින් රට රකිමු”, “පොහොසත් රටක් දුප්පත් සරසවියක්” වැනි පාඨ රැගත් සටන් පුවරු ඔවුහු විශ්වවිද්‍යාල ඉදිරිපිට ප්‍රධාන මාර්ග දෙපස ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂනයේ නිරත වූහ.

ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව තම ඉල්ලීම් කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ තතු තුල, ආචාර්යවරු පසුගිය සතියේ කලු ඇඳුමින් සැරසී විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට සහභාගි වූහ.

ෆූටා හි ප්‍රධාන ඉල්ලීම් වනුයේ, ආචාර්ය-ශිෂ්‍ය අනුපාතය ජාත්‍යන්තර ව පිලිගත් අගයන්ට සමාන වන පරිදි අධ්‍යයන කාර්ය මන්ඩල ඉක්මනින් බඳවා ගැනීම සහ ප්‍රමානවත් පහසුකම් ඇති කිරීමයි. තම ඉල්ලීම් විසඳීම සඳහා යෝජනා මාලාවක් ජනාධිපති කාර්යාලයට භාර දුන් බව ද ෆූටා පවසයි. ෆූටා බලාපොරොත්තු වන්නේ ඉදිරි අයවැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් මත පනවා ඇති බදු සඳහා සහන ලබා ගැනීමයි.

සැප්තැම්බර් 17 දා සවස, බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී, ෆූටා නායකත්වය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති, අගමැති හරිනි අමරසූරිය අතර පැවති සාකච්ඡා අසාර්ථක වූ බව ෆූටා ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මාධ්‍යයට පැවසී ය. “මේ අර්බුදය කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. හැබැයි ආන්ඩුව පැත්තෙන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. … මොකද ඒ උනන්දුව ආන්ඩුවට නැහැ. අනිවාර්යයෙන් ම ඉදිරි ක්‍රියාමාර්ග අපි තීරනය කරනවා” යැයි ඉලංගසිංහ කීවේ ය.

අනුප්‍රාප්තික ආන්ඩු නිදහස් අධ්‍යාපනයට අඛන්ඩ ව එල්ල කල ප්‍රහාර හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුල වැඩී තිබුනු අර්බුදය, ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට නංවා ඇති කප්පාදු හේතුවෙන් වඩාත් උග්‍ර වී ඇත. 2012 වසරේ දී බඳවා ගත් 25,000ක් පමන ශිෂ්‍ය ප්‍රමානය මේ වන විට 45,000 දක්වා දෙගුනයකට ආසන්න ප්‍රමානයකින් ඉහල ගොස් තිබේ. නමුත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත්තේ දෙතුන් සියයකින් පමනි. ශිෂ්‍ය-ආචාර්ය අනුපාතය දැවැන්ත ලෙස ඉහල යාමෙන් අධ්‍යාපනයේ ගුනාත්මකභාවය පිරිහී ඇති බවට ෆූටා චෝදනා කරයි.

ෆූටා තවදුරටත් පෙන්වා දෙන්නේ, විශ්‍රාම යන ආචාර්යවරුන් සඳහා නවක ආචාර්යවරු බඳවා නොගැනීම, ලැබෙන අප්‍රමානවත් වැටුපට අධික බදු පැනවීම් නිසා සුදුසුකම් සහිත ආචාර්යවරුන් රට හැර යාම, සහ වැඩි වන ශිෂ්‍ය ප්‍රමානයට සාපේක්ෂ ව ආචාර්යවරු සංඛ්‍යාව වැඩි නොකිරීම නිසා විශ්වවිද්‍යාල තුල නවක ශිෂ්‍යයන් බඳවා ගැනීමේ අර්බුදයක් ද ඇති වී තිබෙන බවයි.

ෆූටා සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මාධ්‍යයට පැවසුවේ, “2025 වසරේ උසස් පෙලට ඉදිරිපත් වූ ශිෂ්‍ය කන්ඩායම් බඳවා ගැනීමට විදිහක් නැහැ. පලවෙනි වසර ශිෂ්‍ය කන්ඩායම් දෙකක් හෝ තුනක් විශ්වවිද්‍යාලවල සිටින” බවයි. “ගුනාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නේ කෙසේ ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කලේ ය. විශ්වවිද්‍යාලවල සාමාන්‍යයෙන් සිටිය යුතු ශිෂ්‍ය කන්ඩායම් ගනන හතරක් වුව ද, සමහර ස්ථානවල මේ වන විට කන්ඩායම් හයක් සිටින බවත්, 2025 වසරට සිසුන් බඳවා ගත්තොත් තවත් කන්ඩායමක් වැඩි වන බවත් ඔහු පැවසී ය.

ආන්ඩුව ඉදිරියට ගෙන යන බදු ප්‍රතිපත්තිය මගින් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකුගේ වැටුපෙන් සියයට 36ක් පමන බදු ලෙස ආපසු අය කර ගනී. වෙනත් විශ්වවිද්‍යාලයක දේශන සඳහා සහභාගි වන්නේ නම් ගෙවන බාහිර කතිකාචාර්ය දීමනාව පැයකට රුපියල් 1,500ක් වන අතර, ප්‍රවාහන දීමනාව කිලෝමීටරයකට රුපියල් 12කි. මේ ගෙවීම් සඳහා ද බදු අය කෙරෙන බැවින් විශේෂඥතා සහිත ආචාර්යවරුන්ගේ සේවය ලබා ගැනීම සීමා වී ඇත.

රුහුනු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසී ය:

“දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වියදමක් දරන්න සිදු වෙනවා. නිවසක් තනා ගැනීමට සහ වාහනයක් ගැනීමට ගත් සමහර නය විශ්‍රාම යනකම් ගෙවන්න වෙලා. වියදම් සියල්ල පියව ගන්න ඉතුරු වෙච්ච දේවලුත් වියදම් කරන්න සිද්ධ වෙලා.”

තරුන ආචාර්යවරු මුහුන දෙන තත්ත්වය වඩා දරුනු බවත්, විදෙස් අධ්‍යාපනය සඳහා රුපියල් ලක්ෂ 80-100 අතර බැඳුම්කරයක් විශ්වවිද්‍යාලය සමඟ අත්සන් කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කලේ ය. බැඳුම්කරය නිසා විදෙස් අධ්‍යාපනයෙන් පසු ව ලංකාවට පැමිනියත්, ලැබෙන වැටුපෙන් නිවසක් සාදා ගැනීම වැනි අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකියාවක් නොමැති බැවින්, ඔවුන් නැවත විදේශ රටවලට රැකියා සොයා යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ සේවය කල ආචාර්යවරයෙකු සඳහන් කලේ, වැඩි වැටුපකට විදේශ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වූ බවයි. “ලංකාවේ ආදායමට බදු විතරක් නොවෙයි, පර්යේෂන සඳහා ප්‍රතිපාදන ද කපා දමා තිබෙනවා.” තමා එම විදේශ රටෙහි ආචාර්ය උපාධිය හදාරන සමයේ නොතිබූ තරම් අර්බුදයක් දැන් එහි ද පවතින බවත්, කොන්ත්‍රාත් පදනම මත දැවැන්ත වැඩ කන්දරාවක් කිරීමට සිදු වී ඇති බවත් ඔහු සඳහන් කලේ ය.

සැප්තැම්බර් 09 දා එක්දින වැඩවර්ජනයේදී ෆූටා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු පිකට් කරති [Photo: Facebook: FUTA-Sri Lanka]

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් කියා සිටියේ, තම මාසික වැටුපෙන් රුපියල් 94,000ක් “උපයන විට බද්දට” කැපෙන බවයි. වැඩෙන ආචාර්ය හිඟය හා ඌන පහසුකම්වල තත්ත්වය හමුවේ වැඩී ඇති අර්බුදය ඔහු මෙසේ පෙන්වා දුන්නේ ය:

“2024/25 වසරවල උසස් පෙල කරපු ලමයි සිය ගනනක් එලියේ ඉන්නවා. නමුත් අපිට තවම බඳවා ගන්න බැරි වුනා. 2024 ලමයිට මාස කිහිපයක් දැන් ඔන්ලයින් උගන්වනවා. 2021 බඳවා ගත්තු ලමයි උපාධිය අරන් පිට ව යනකන් ඒ ලමයි කායික ව ගෙන්න ගන්න බෑ. අවුරුදු දෙකක ලමයි එකවර අරගෙන ඇති ව තිබෙන ප්‍රමාදය නැති කරන්න බෑ, ගොඩනැගිලි හා ආචාර්යවරුන් ප්‍රමානවත් නැති නිසා. හැම අතින් ම නරක තත්ත්වයක් තියෙන්නේ.”

විශ්වවිද්‍යාල පද්ධතිය තුල උග්‍ර වී ඇති මානව සහ භෞතික සම්පත් හිඟය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙක් ලෝසවෙඅ වෙත මෙසේ විස්තර කලේ ය:

“දර්ශනවාදය හා මනෝවිද්‍යාව යන අංශ දෙකෙහි ම මහාචාර්යවරුන් නෑ. මෙම අංශ දෙකට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් ද හිඟයි. දර්ශනවාදය උගන්වන්න ඉන්නෙ එක් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් පමනයි. ඒ නිසා බාහිර කතිකාචාර්යවරයෙකු ද දර්ශනවාදය උගන්වනවා. ඉගැන්වීම් කටයුතුවලින් වැඩි ප්‍රමානයක් සිදු කරනු ලබන්නේ උපදේශකවරුන් විසින්. ඔවුන් කතිකාචාර්යවරුන් නොවෙයි, පැවරුම් සහ අනෙකුත් අධ්‍යයන කටයුතු සඳහා සහාය වන උපාධිධාරීයෝ.”

තම විශ්වවිද්‍යාලය දේශන ශාලා හිඟයකට ද මුහුන දෙන බව පවසමින් ඔහු කියා සිටියේ, ඇතැම් අවස්ථාවල දර්ශනවාදය සහ මනෝවිද්‍යාව දේශන එක ම වේලාවට යෙදෙන බැවින්, දේශන ශාලාවක් සොයා ගැනීම ඉතා අපහසු වන බවයි. නේවාසිකාගාර පහසුකම් ලබා දෙන්නේ පලමු වසරේ සහ අවසන් වසරේ සිසුන්ට පමනක් වන අතර, ඒවායේ පහසුකම් අවම ය. කාන්තා නේවාසිකාගාරයේ එක් කාමරයක් සිව් දෙනකුට නවාතැන් ගැනීමට සිදු ව ඇත. අනෙකුත් වසරවල සිසුන්ට පෞද්ගලික ව නවාතැන් සොයා ගැනීමට සිදු වේ.

යාපනය විශ්වවිද්‍යාලය මුහුන දෙන මෙම තත්ත්වය, සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය මුහුන දෙන අර්බුදයේ එක් ප්‍රකාශනයක් පමනි.

මෙම දැවැන්ත මානව සහ භෞතික සම්පත් අර්බුදය විසඳීමට බිලියන සංඛ්‍යාත මුදල් වැය කල යුතු වේ. නමුත්, ජවිපෙ/ජාජබ ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පාලක පන්තියේ පිලිවෙත වී ඇත්තේ, ඔවුන් මුහුන දෙන ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු මහජන සේවාවන් රුදුරු ලෙස කප්පාදු කරමින් අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමයි. ජවිපෙ/ජාජබ ආන්ඩුව අයිඑම්එෆ් හි කප්පාදු වැඩපිලිවෙල හරහා ක්‍රියාවට දමමින් සිටින්නේ එම පිලිවෙතයි.

මෙය හුදෙක් ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියේ පිලිවෙතක් පමනක් නොව, ධනපති ක්‍රමය ගෝලීය ව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය හමුවේ ලොව පුරා පාලක පන්තීන්ගේ පිලිවෙතයි. එබැවින්, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය ඇතුලු සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ සටන ධනවාදයට එරෙහි දේශපාලන සටනක් බවට අනිවාර්යයෙන් පත් ව ඇත.

කෙසේ නමුත්, අනෙකුත් වෘත්තීය සමිති මෙන් ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද, අයිඑම්එෆ් හි ප්‍රහාරවලට මුහුන දී සිටින කම්කරු පන්තියේ සියලු කොටස් ඒකාබද්ධ කොට එම දේශපාලන සටන දියත් කිරීමට එකහෙලා විරුද්ධ ය. ඊට ප්‍රතිකූල ව, යෝජනා ඉදිරිපත් කිරීමෙන් සහ බලපෑම් දැමීමෙන් ආන්ඩුව ලවා තම ඉල්ලීම් ලබා ගත හැකි බව එය තම සාමාජිකත්වයට ඒත්තු ගැන්වීමට උත්සාහ දරයි.

ෆූටා ආරම්භයේ සිට ම අයිඑම්එෆ් හි වැඩපිලිවෙලට සහයෝගය දුන්නේ ය. 2022 මහජන නැගිටීම සමයේ ෆූටා නිකුත් කල නිවේදනයක මෙසේ සඳහන් විය: “ශ්‍රී ලංකාව දරුනු බංකොලොත් බවක ගිලී සිටින අතර එය නිසැක ව ම විදෙස් නය ගෙවීමට නොහැකි වීම හරහා පෙන්නුම් කරමින් තිබේ. පසුගිය පාලනයන්හි දුර්වලතා ද මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් කර ගැනීමට සිදුවීම ශෝචනීය තත්ත්වයක් වුව ද, එය මග හැර යා නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.”

එ පමනක් නොව, ජවිපෙ සහ සමගි ජන බලවේගය ඉදිරිපත් කල අන්තර්වාර ආන්ඩු ක්‍රියාවලියට ෆූටා තම සහයෝගය පල කලේ ය. වෘත්තීය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන, ජවිපෙ සහ සජබ යෝජනා කල පාර්ලිමේන්තු මාවතට මහජන නැගිටීම යොමු කොට පාවා දීමේ ප්‍රතිඵලයක් ලෙස බලයට පැමිනි රනිල් වික්‍රමසිංහ අයිඑම්එෆ් හි ඇප නයක් සඳහා ගිවිසුම්ගත විය. ගිවිසුමට අනුව කප්පාදු වැඩපිලිවෙල ආරම්භ කෙරිනි.

මහජන නැගිටීම පාවා දීමෙන් පසු, වික්‍රමසිංහගේ ප්‍රහාර—විශේෂයෙන් ම බදු ප්‍රහාර—උත්සන්න වන විට, ජවිපෙ/ජාජබ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් බදු සහන ඇතුලු තම ඉල්ලීම් ලබා ගත හැකි බව ප්‍රකාශ කරමින්, ෆූටා තම සාමාජිකත්වය නොමඟ යැවීමට කටයුතු කලේ ය.

“මේ රජය පත් වෙන කොට අපි හිතුවේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන, මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින, ඒ ගැටලු හඳුනාගෙන විසඳන ආන්ඩුවක් බවට පත්වෙයි කියලා. හැබැයි වසර දෙකක් ගිහිල්ලා අපිට තේරෙනවා එම ගැටලුවලට විසඳුම් නැති තත්ත්වයක් මේ වන විට ඇති වෙලා තියෙනවා” ෆූටා ලේකම් චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කලේ ය.

අගමැතිනිය සමඟ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු “අනිවාර්යයෙන් ම ඉදිරි ක්‍රියාමාර්ග අපි තීරනය කරනවා” යනුවෙන් ෆූටා ලේකම් පැවසුව ද, එම ක්‍රියාමාර්ග ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමාවෙන් ඔබ්බට නොයනු ඇත.

ආචාර්යවරුන්ට සහ ශිෂ්‍යයන්ට අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන ආන්ඩුවට “බලපෑම් දැමීමෙන්” කිසිදු ඉල්ලීමක් දිනා ගත නොහැක. මෙම මිථ්‍යාව, සාමාජිකත්වයේ වැඩෙන කෝපය විසුරුවා හැරීමට ෆූටා නිලධරයන් අටවන උගුලකි. අධ්‍යාපන අර්බුදය විසඳීමට ඇති එක ම මාර්ගය වන්නේ, කප්පාදුවට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන, දේශපාලන අරගලයක් දියත් කිරීමයි.

ඒ සඳහා, සෑම විශ්වවිද්‍යාලයක ම ආචාර්යවරුන්, ශිෂ්‍යයන් සහ අනධ්‍යයන කාර්ය මන්ඩල එක් කරමින්, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී ව තේරී පත් වන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු ය. මෙම කමිටු, අධ්‍යාපනය සඳහා ප්‍රමානවත් අරමුදල්, සියලු බදු ප්‍රහාර අවලංගු කිරීම, සහ ගුනාත්මක නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම යන ඉල්ලීම් මත, අයිඑම්එෆ් කප්පාදුවට එරෙහි ව සටන් කරන අනෙකුත් සියලු කම්කරු කොටස් සමඟ ඒකාබද්ධ අරගලයක් ගොඩනැගිය යුතු ය.

මෙම අරගලයේ ජයග්‍රහනයට විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු සහ ප්‍රධාන සංගත කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම, සහ අධ්‍යාපනය ඇතුලු මහජන සේවාවන් සඳහා සම්පත් නිදහස් කිරීම අවශ්‍ය වේ. මෙය ලබා ගත හැක්කේ, සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් හරහා පමනි.

මෙම අරගලය ජාත්‍යන්තර ය. ලොව පුරා අධ්‍යාපන සේවකයෝ සහ කම්කරුවෝ එක ම කප්පාදු ප්‍රහාරවලට මුහුන දෙති. එබැවින්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සේවකයන් තම අරගලය ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලය සමඟ සම්බන්ධීකරනය කල යුතු ය. අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ සටන, ධනවාදය පෙරලා දමා ලෝක සමාජවාදය ගොඩනැගීමේ සටනේ අනිවාර්ය අංගයකි.

Loading