සූම් රැස්වීම: බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු! තුන්වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු!

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ශිෂ්‍ය සහ තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, යුක්‍රේනයේ සිරගත කර සිටින 27 හැවිරිදි ට්‍රොට්ස්කිවාදී සමාජවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසක් ලෙස, ඔක්තෝබර් 13 වැනි අඟහරුවාදා සවස 7.00ට සූම් රැස්වීමක් පවත්වනු ඇත. එම රැස්වීමට මෙම සබැඳියෙන් ලියාපදිංචිවන්න.

රුසියාවට එරෙහි ව නේටෝ බලවතුන් යුක්‍රේනයේ ගෙන යන යුද්ධයට, නිර්ධන පංතික ජාත්‍යන්තරවාදී ආස්ථානයකින් විරුද්ධ වීම නිසා යුක්‍රේනයේ ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි ආන්ඩුව සයිරොටියුක් අත්අඩංගුවට ගෙන, වසර 15ක සිර දඬුවමකට යටත් කර ඇත. ඔහු යුක්‍රේනයේ ක්‍රියාත්මක ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (Young Guard of Bolshevik-Leninists) සංවිධානයේ ආරම්භකයෙක් සහ ප්‍රධාන නායකයෙක් විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් සමඟ සයිරොටියුක් කල සන්නිවේදන සහ ඔහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියූ ලිපි — යුක්‍රේනයේ සහ රුසියාවේ කතිපයාධිකාරීන්ට විරෝධය පල කරමින්, යුද්ධයට විප්ලවවාදී විසඳුමක් ඉල්ලා සිටි ලිපි — ඔහුට එරෙහි “සාක්ෂි” ලෙස යොදාගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මාස කිහිපයක් තුල, යුක්‍රේනය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද තහනම් කරන ලදී.

යුක්‍රේනයේ ප්‍රමුඛ අපරාධ විද්‍යාඥයෙකු වන යූරි ඉර්කින් පවා, සයිරොටියුක්ට එරෙහි ව එල්ල කොට ඇති “රාජ්‍ය ද්‍රෝහීත්වය” යන චෝදනාව පදනම් විරහිත බව සිය භාෂා විමර්ශන වාර්තාවෙන් තහවුරු කර ඇත. රුසියානු ඒජන්තයෙකු බවට එල්ල කල චෝදනාව ඔප්පු කිරීමට රාජ්‍ය අභිචෝදකයන්ට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. එසේ තිබිය දී ත්, අගෝස්තු 10 වැනි දින අධිකරනය විසින් වසර 15ක සිර දඬුවමක් නියම කර, ඔහුගේ දේපල රාජසන්තක කිරීමටත්, ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශන විනාශ කිරීමටත් නියෝග කරන ලදී.

යුක්රේන යුද්ධය ආරම්භ වී වසර හතරකට ආසන්න වන විට, ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇති අතර, එය පිලිකාවක් ශරීරය පුරා පැතිරෙන ආකාරයෙන් වර්ධනය වෙමින් පවතී. යුක්‍රේනයේ යුද්ධය, නේටෝව සහ එහි ගැති මාධ්‍ය හුවා දක්වන ආකාරයට “ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්” වෙනුවෙන් ගෙන යන යුද්ධයක් නොවේ. එය ලෝකය යලි බෙදා ගැනීමේ අධිරාජ්‍යවාදී යුද්ධයකි.

එහි අවසාන අරමුනු වන්නේ: රුසියාව බෝල්කනීකරනය කිරීම (කැබලි වලට කැඩීම) සහ එහි ස්වාභාවික සම්පත් මත අධිරාජ්‍යවාදී ග්‍රහනය ස්ථාපිත කිරීමත්, චීනයට එරෙහි අධිරාජ්‍යවාදී වැටලීමකට භූ-මූලෝපායික වාසි තහවුරු කර ගැනීමත්‍ ය. ඇමරිකානු අධිරාජ්‍යවාදය මෙම යුද්ධයේ ප්‍රධාන ආක්‍රමනිකයා වන අතර, නේටෝ ප්‍රසාරනය යුද්ධය මෙහෙයවන ප්‍රධාන ගාමකයයි.

ලෝකය යලි බෙදා ගන්නා මෙම අධිරාජ්‍යවාදී යුද්ධයේ දී, රුසියාවේ හෝ නේටෝවේ පැත්ත ගැනීම නොව, සමස්ත ලෝක කම්කරු පංතිය තම තමන්ගේ ධනපති පාලක පංතීන්ට එරෙහි අරගලයකින් ඒකාබද්ධ කොට, ධනපති ක්‍රමය පෙරලා දැමීම අධිරාජ්‍යවාදී යුද්ධයට ඇති එක ම විසඳුමයි. කම්කරු පංතියට මෙම අන්තර්-රාජ්‍ය ගැටුමේ කිසිදු පැත්තක් නැත. යුක්‍රේනයේ, රුසියාවේ සහ ඇමරිකාවේ කම්කරුවන්ගේ සැබෑ සතුරා ඔවුන්ගේ ම පාලක පංතියයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) දේශපාලන නායකත්වය යටතේ බොග්ඩාන් සයිරොටියුක් සටන් වැදුනේ හරියට ම මෙම ඉදිරිදර්ශනය වෙනුවෙනි. ඔහු සිරගත කරනු ලැබුවේ ද ඒ නිසා ම ය.

සයිරොටියුක් ඇතුලු බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ සහෝදරවරු, යුක්‍රේනය, රුසියාව ඇතුලු පැරනි සෝවියට් රාජ්‍යයන් තුල, අව්‍යාජ මාක්ස්වාදය, එනම් ට්‍රොට්ස්කිවාදය පුනර්ජීවනය කිරීමේ අරගලයක නිරත වූහ.

සයිරොටියුක් සහ ඔහුගේ සහෝදරවරුන් සටන් වදින්නේ, මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ අරගලයේ අඛන්ඩතාවය රැගෙන යන, හතරවන ජාත්‍යන්තරය විසින් නියෝජනය කරන අව්‍යාජ විප්ලවීය මාක්ස්වාදය වෙනුවෙනි.

සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමත් සමඟ ම, ජාත්‍යන්තර කමිටුව ඔහු සිරභාරයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර ආරක්ෂක ව්‍යාපාරයක් ආරම්භ කලේ ය. අගෝස්තු 10 වැනි දින නඩු තීන්දුවත් සමඟ මෙම ව්‍යාපාරය තව දුරටත් තීව්‍ර කරන ලදී.

ඔහුගේ නිදහස වෙනුවෙන් https://freebogdan.wsws.org/ යන වෙබ් අඩවිය දියත් කර ඇති අතර, ඒ සඳහා වන ඔන්ලයින් පෙත්සමට මේ වන විට ලොව පුරා 8,000කට ආසන්න පිරිසක් අත්සන් තබා ඇත. යුක්‍රේන අධිකරනය ලබා දුන් ප්‍රජාතන්ත්‍ර විරෝධී නඩු තීන්දුව ආපසු හැරවිය යුතු බව පවසමින්, ලොව පුරා කම්කරුවන්, ශිෂ්‍යයන්, ඉතිහාසඥයන් සහ කලාකරුවන් විරෝධතා ලිපි යවා ඇත. 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සිය හතර වැනි ජාතික සම්මේලනයේ දී බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයාගේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට විශේෂ යෝජනාවක් සම්මත කර ඇත. බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, තුර්කියේ සහ ලොව නොයෙක් රටවල සමාජවාදී සමානතා පක්ෂ/කන්ඩායම් සහ සසජාතශි සංවිධාන සයිරොටියුක්ගේ නිදහස වෙනුවෙන් ප්‍රසිද්ධ රැස්වීම් පවත්වා ඇත. මෙම සූම් රැස්වීම එම ජාත්‍යන්තර ව්‍යාපාරයේ අදියරකි.

බොග්ඩාන් සයිරොටියුක්ගේ නිදහස සඳහා වන ආරක්ෂක ව්‍යාපාරයට සහය පල කිරීමටත්, තුන් වැනි ලෝක යුද්ධයට එරෙහි ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමටත්, මෙම සූම් රැස්වීමට සහභාගී වන ලෙස අපි සියලු කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading