[මෙය While Trump and Netanyahu threaten the world at UN, class struggle grows on every continent යන මැයෙන් 2026 සැප්තැම්බර් 25 දින ඉංග්‍රීසි බසින් පල විය.]
යුද්ධය තීව්‍ර කිරීමේ සැලසුම් සකස් කිරීම සඳහා ධනවාදී ජාතික රාජ්‍යයන්හි නියෝජිතයන් මේ සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රැස් ව සිටිය දී, සෑම මහාද්වීපයක ම වර්ධනය වෙමින් පවතින කම්කරු පන්ති ව්‍යාපාරය තුල තවත් බලවේගයක් තම පැවැත්ම තහවුරු කර ගනිමින් සිටියේ ය.
81 වන මහා සභා රැස්වීම මිලිටරිවාදයේත්, ප්‍රතිගාමීත්වයේත් උත්සවයක් විය. ඩොනල්ඩ්, ට්‍රම්ප් ඉරානය “විනාශ කරන” බවට තර්ජනය කලේ ය, වෙනිසියුලාවේ තෙල්— “ජයග්‍රාහකයාට කොල්ලකෑමේ අයිතිය”—සහ ග්‍රීන්ලන්තය මත “නියත පාලනය” ප්‍රකාශ කලේ ය; එමෙන් ම, “කොමියුනිස්ට්වාදය කිසි දා ඇමරිකාවට නොපැමිනෙනු ඇත” යනුවෙන් ප්‍රකාශ කලේ ය. සෙලෙන්ස්කි, න්‍යෂ්ටික සන්නද්ධ රුසියාවට එරෙහි ව යුද්ධය තීව්‍ර කරන බවට බල කර සිටියේ ය. දින දෙකකට පසු, මැද පෙරදිග පුරා ඊශ්‍රායලයේ යුද්ධ සහ ඝාතන සැමරූ නෙතන්යාහු, එයට එරෙහි වූ නියෝජිතයින් “සදාචාරාත්මක බියගුල්ලන්” ලෙස හෙලා දුටු අතර ඉරාන රජය පෙරලා දැමීමට ඉල්ලා සිටියේ ය.
ඒ සමඟ ම—ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය හරහා ජාත්‍යන්තර ව එක්සත් වී සිටින—කම්කරු පන්තිය තම බලය ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. මෙම ව්‍යාපාරය ජාතික සීමාවන් ඉක්මවා එක්සත් වීමට දරන ප්‍රයත්නය වර්ධනය වෙමින් පවතී.
මෙම මස මුල දී, 300 ක් පමන මෙක්සිකානු ට්‍රක් රථ රියදුරෝ මෙක්සිකාලි සහ කැලෙක්සිකෝ අතර වානිජ හරස් මාර්ගය වසා දැමූහ. ට්‍රම්ප් පරිපාලනය, ද්විත්ව පුරවැසි ට්‍රක් රථ රියදුරන් විසින් පවත්වා ගෙන යනු ලබන වීසා 25,000කට වැඩි ප්‍රමානයක්—මෙය, ශ්‍රම බලකායෙන් පහෙන් එකක පමන ප්‍රමානයකි—අවලංගු කිරීමට විරෝධය පල කලහ. මෙම අවහිරය, කොලරාඩෝවේ සැන් ලුයිස් රියෝ සහ ඇරිසෝනාවේ යූමා අතර හරස් මාර්ගය දක්වා ම පැතිර ගියේ ය. මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබුනේ, රියදුරන් 1,000 කට වැඩි පිරිසක් සිටින වට්ස්ඇප් කන්ඩායමක් හරහා ය. දේශ සීමාවේ අනෙක් පැත්තෙන්, ඔක්තෝබර් 1 වන දින වැඩ වර්ජනයක් සඳහා ඇමරිකානු ට්‍රක් රථ රියදුරන් අතර ඇමතුම් සංසරනය වෙමින් පවතී; ඒ ප්‍රධාන වශයෙන් ඩීසල් මිල සම්බන්ධයෙනි. දැන් එය ගැලුමකට ඩොලර් 6.50 ට වඩා වැඩි ය.
උතුරු ඇමරිකාවෙන් පිටත, කැනඩාවේ ඔන්ටාරියෝ හි හැමිල්ටන් හි නැෂනල් ස්ටීල් කාර් සේවකයින්, වැටුප්, ආරක්ෂාව සහ කෑලි වැඩ ක්‍රමයක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කල වැඩ වර්ජනය හත් වන සතියට එලඹෙමින් තිබෙන අතර එය කම්කරුවන් තිදෙනෙකුගේ ජීවිත බිලි ගෙන තිබේ. වැටුප් වැඩි වීමක් නොමැති ව වසර ගනනාවකට පසු, 14,000 ක් සිටින සස්කැච්චුවාන් (කැනඩාවේ ප්‍රාන්තයක්) සෞඛ්‍ය සේවා ඒකකයේ සාමාජිකයින්ගෙන් සියයට 99 ක් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා ඡන්දය දුන්හ.
යුනයිටඩ් එයාර්ලයින්ස් හි සේවය කරන එක්සත් ජනපදයේ නඩත්තු කාර්මිකයෝ, පසුගිය සතියේ, ටීම්ස්ටර්ස් සහාය ලබන කොන්ත්‍රාත්තුවක් සියයට 53.5 කින් ප්‍රතික්ෂේප කලහ; එයට සේවකයින් 9,000 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එය වසර දෙකක් තුල සිදු කල දෙ වන ප්‍රතික්ෂේප කිරීමකි. උද්ධමනයට නොගැලපෙන තරමේ අඩු වැටුප් සම්බන්ධයෙන්, ක්ලීව්ලන්ඩ් වාද්‍ය වෘන්දයේ (Cleveland Orchestra) සංගීතඥයෝ සිකුරාදා, වාද්‍ය වෘන්ද ඉතිහාසයේ දෙ වන වරටත් වැඩ වර්ජනය කලහ. බොස්ටන්හි බ්‍රිගම් සහ කාන්තා රෝහලේ හෙදියන් 2,986 ක් බ්‍රහස්පතින්දා විවෘත වැඩ වර්ජනයක් සඳහා ඡන්දය දුන් අතර ඊට විරුද්ධ ව ඡන්දය පාවිච්චි කර තිබුනේ 215 ක් පමනි.
සැප්තැම්බර් 19 වන දින, ආර්ජන්ටිනාවේ මිලෙයි ආන්ඩුවේ කප්පාදු වැඩසටහනට එරෙහි ව සංවිධාන 350 කට වැඩි ප්‍රමානයක් “කෝපයේ පාගමන” (Marcha de la Bronca) නමින් හැඳින් වූ විරෝධතා පාගමනක් සංවිධානය කල අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) දූත මන්ඩලයක් බුවනෝස් අයර්ස් වෙත පැමිනෙන විට, දස දහස් ගනනක් ප්ලාසා ඩි මායෝ වෙත පැමිනියහ. විරෝධතා ඉල්ලීම් අතර වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩි වීම්, දොට්ට දැමීම් තහනම් කිරීම, කම්කරු ප්‍රතිසංස්කරන අවලංගු කිරීම, විදේශ නය නොගෙවා සිටීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බිඳී වෙන් වීම ඇතුලත් විය. සංවිධායකයෝ, සේවා ස්ථාන, පාසල්, විශ්ව විද්‍යාල සහ රෝහල්වලින්, “පහලින් එන” සම්බන්ධීකරනයක් ඉල්ලා සිටි අතර පා ගමනට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කල CGT සහ CTA කම්කරු සමිතිවලින් මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටියහ.
ඉන්ධන මිල ගනන් සම්බන්ධයෙන්, මේ සතියේ, කෙන්යානු ප්‍රවාහන සේවකයෝ වැඩ වර්ජනය කලහ; දකුනු කොරියාවේ හුන්ඩායි කම්කරුවෝ සම්පූර්න දිනයක වැඩ වර්ජනයක් සූදානම් කලහ; සැප්තැම්බර් 22 වන දින එස්තෝනියානු ගුරුවරු 15,000 ක් වැඩ වර්ජනය කලහ. ඉන්ධන මිලට එරෙහි විරෝධතා සිරියාව පුරා පැතිර ගොස් ඇති අතර, අසාද්ගේ වැටීමෙන් පසු විශාලත ම විරෝධතා ඇමතු වූයේ ඩීසල් මිල සියයට 40 කින් ඉහල යාමෙන් පසු ව ය. ග්වාතමාලාව, පිලිපීනය සහ ප්‍රංශයේ ද එවැනි විරෝධතා සිදු වී ඇත.
යුද්ධය විසින්, සමාජ විරෝධතා සහ පන්ති අරගල උත්සන්න කරන සියලු කොන්දේසි කේන්ද්‍රගත කරනු ලබයි. එය ලෝක ආර්ථිකය පුරා බලශක්ති පිරිවැය ඉහල නංවන අතර, පොලී අනුපාත ඉහල දැමීමටත්, රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ ප්‍රහාර වේගවත් කිරීමටත්, යුදමය නිෂ්පාදන කටයුතු සඳහා කර්මාන්ත ප්‍රතිසංවිධානය කිරීමටත් ඉල්ලා සිටී. ජාතික සීමාවන් තුල රැඳී සිටිමින් කම්කරුවන් මුහුන දෙන තත්ත්වයන්ට විසඳුම් සෙවීම කල නොහැක්කක් බව, එය ඉතා තියුනු ලෙස ඉස්මතු කර පෙන්වයි.
2027 වසර සඳහා යුරෝ බිලියන 152 කට ආසන්න මුදලක් හමුදා සහ යුද්ධය ආශ්‍රිත වියදම් ලෙස වෙන් කිරීමට ජර්මනිය සූදානම් වෙමින් සිටී; මෙය වසරක් තුල සිදුවන සියයට 57 ක වැඩි වීමකි. මෙම පියවර ගැනෙන්නේ, 2018 වසරේ සිට එරට මෝටර් රථ කර්මාන්තයෙන් රැකියා 142,500 ක් අහිමි වී ඇති (ඉන් 42,000 කට අධික සංඛ්‍යාවක් අහිමි වී ඇත්තේ, ජුනි මාසයෙන් අවසන් වූ මාස දොලහක කාලය තුල ය) සහ ආන්ඩුව විසින් පුලුල් සමාජ සුභසාධන කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් පවතින පසුබිමක් තුල ය. එක්සත් ජනපදය තුල, ට්‍රම්ප් විසින් ඩොලර් ට්‍රිලියන 1.5 ක හමුදා අයවැයක් ඉල්ලා සිටින අතර ම, එරට පරිපාලනය, පුද්ගලයින් 760,000 ක් සඳහා වූ, සාධාරන සත්කාර පනත (Affordable Care Act) නම් වන සෞඛ්‍ය රක්ෂන ආවරනය අවලංගු කිරීමටත්, පුද්ගලයින් මිලියන 5 කට අධික සංඛ්‍යාවකට ලබා දෙන ආහාර සහනාධාර (food stamps) අහෝසි කිරීමටත් කටයුතු කරමින් සිටී.
යුද්ධ මෙහෙයවනු ලැබෙන්නේ, වෙලඳපොලවල්, අමුද්‍රව්‍ය සහ සැපයුම් දාමයන් සඳහා වන අරගලයත්, දැරිය නොහැකි ආර්ථික තත්වයන් සහ ඔරොත්තු නොදෙන නය කඳු ජය ගැනීමට, අත්පත් කර ගැනීම් සහ මංකොල්ලකෑම් හරහා දරන උත්සාහයත් විසිනි. විදේශයන්හි මෙම අරගලය ගෙන යන පාලක පන්තීන් ම, රට තුල කම්කරුවන් මත දොට්ට දැමීම්, කප්පාදු සහ සූරා කෑම තීව්‍ර කරයි.
අධිරාජ්‍යවාදී යුද්ධය සහ පන්ති අරගලය යන සමාන්තර ක්‍රියාවලීන් තුල, වෘත්තීය සමිති නිලධරය, යුද්ධයට පක්ෂපාත ස්ථාවරයක් ගනිමින් සිටී. දශක ගනනාවක් පුරා කම්කරු අයිතීන් පාවා දීමෙන් සහ කලමනාකාරීත්වය මෙන් ම ධනපති පක්ෂ සමඟ ඒකාබද්ධ වීමෙන් අනතුරු ව, වෘත්තීය සමිති යාන්ත්‍රනය දැන්, යුද්ධය සඳහා වන ආර්ථික හා දේශපාලන බලමුලු ගැන්වීම් දෙසට සෘජු ව ම ඇදී යමින් ද, ජාතික ධනපති රාජ්‍යය සහ එහි යුද උපායමාර්ග සමඟ ඒකාබද්ධ වීමට උත්සාහ දරමින් ද සිටී.
පසුගිය සතියේ පැවති UAW මිෂිගන් ප්‍රජා ක්‍රියාකාරී වැඩසටහන් සමුලුවේ දී, ෂෝන් ෆේන් සහ DSA සහාය ලත් සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ්, “ඇමරිකානු රැකියා” සහ “ජාතික ආරක්ෂාව” ඉල්ලා සිටිමින්, චීන මෝටර් රථ නිෂ්පාදකයින්ට ඇමරිකානු කම්හල් ගොඩනගා ගැනීමට ඉඩ සැලසීම ගැන පැවසූ දේ සම්බන්ධයෙන්, ට්‍රම්ප්ට දකුනින් පහර දුන්හ. ජර්මනියේ, වසා දැමීමට මුහුන දෙන මෝටර් රථ කම්හල් ආයුධ නිෂ්පාදන කම්හල් බවට පරිවර්තනය කිරීමට ඉගෙ මෙටාල් (ජර්මනියේ ලෝහ කම්කරුවන්ගේ විශාලත ම වෘත්තීය සමිතිය) සහාය දක්වයි; එහි නියෝජ්‍ය සභාපති යූගන් ක’න’ පවසා ඇත්තේ, සංක්‍රාන්තියට “ආරම්භයේ සිට ම” සම්බන්ධ වීම, තම වෘත්තීය සමිතියේ උත්සුකය බවයි.
එක් එක් රටවල ධනපතියන් සහ කම්කරුවන්, “ජාතික” අවශ්‍යතාව මත එකිනෙකා හා බැඳී සිටින බවට නිලධර තන්ත්‍රය විසින් මූලික බොරුවක් ප්‍රවර්ධනය කරයි. නමුත් යථාර්ථයේ දී, නිෂ්පාදන ක්‍රියාවලිය මගින්, කම්කරුවන්, පෙර නොවූ විරූ මට්ටමකට ජාත්‍යන්තර ව ඒකාබද්ධ කර ඇත; එහෙත් ඔවුන් නියෝජනය කරන බව පවසන සංවිධාන දායක වන්නේ, එක් රටක කම්කරුවන්, තවත් රටක සිටින ඔවුන්ගේ ම පන්ති සහෝදර සහෝදරියන් සමග කෙටවීමට පමනි. මෙක්සිකානු කම්කරුවන්ට පවසනුයේ ඇමරිකානු කම්කරුවන් ඔවුන්ගේ තරඟකරුවන් බවයි; ඇමරිකානු කම්කරුවන්ට පවසනුයේ, විදේශීය කම්කරුවන්ට එරෙහි ව පනවන තීරුබදු මත ඔවුන්ගේ රැකියා රඳා පවතින බවයි.
කම්කරු පන්තියේ වාමාංශික ව්‍යාපාරය අවමංගත කිරීමට හිතා මතා ම කටයුතු කරන ව්‍යාජ-වාම සංවිධාන, ජාතිකවාදයත්, ධනේශ්වර රාජ්‍යයත් ආරක්ෂා කරමින්, අන්ත දක්ෂිනාංශය සමඟ වැඩි වැඩියෙන් සන්ධානයකට එමින් සිටියි. බර්නි සෑන්ඩර්ස්, සැප්තැම්බර් 15 වන දින පැවැත් වුනු, කෘතිම බුද්ධිය පිලිබඳ “මානව හිතවාදී සමුලුවේ දී” හිටපු ට්‍රම්ප් උපදේශක ස්ටීව් බැනන් සමඟ එක ම වේදිකාවක පෙනී සිටියේ ය. ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ඉරානය “සමූල ඝාතනය” කරන බවට තර්ජනය කිරීමට පෙර දින, ග්‍රේසි මන්දිරයේ දී, නිව්යෝර්ක් නගරාධිපති මම්දානි, ට්‍රම්ප්ට ආගන්තුක සත්කාර පුද කලේ ය. නෙතන්යාහු කතා කරන අතරතුර නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් පෙලපාලිකරුවන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීමට නායකත්වය දුන් මම්දානි, තමා නෙතන්යාහුට එරෙහි විරෝධතා “දිරිමත්” කල බව ප්‍රතික්ෂේප කලේ ය.
මෙම බලවේග කම්කරු පන්තිය මැඬ පැවැත්වීමට උත්සාහ දරමින් සිටිය ද, දශක ගනනාවක් පුරා පවතින ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය ඔස්සේ පරිවර්තනයට ලක් ව සිටින එම පන්තියේ වෛෂයික බලය පෙර නොවූ විරූ මට්ටමක පවතී.
සැප්තැම්බර් 20 වන දින, එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව සහ නෝර්වේ යන රටවල කම්කරුවන්, මැක් ට්‍රක්රථ කම්කරුවෙකු මෙන් ම යූඒඩබ්ලිව් සභාපති ධූර අපේක්ෂක විල් ලේමන් ද සමග සහභාගී වූ ඔන්ලයින් රැස්වීමේ දී, ජාතික සීමාවන් හරහා එක්සත්කමත්, ස්වාධීන සංවිධානයක අවශ්‍යතාවයත් පිලිබඳ වැඩෙන අවබෝධයේ සවිඥානික ප්‍රකාශනයක් සොයා ගත්තේ ය.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ සම-අනුග්‍රහය යටතේ, “කම්කරුවන්ට බලය සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා” යන මැයෙන් පැවැත්වුනු මෙම රැස්වීමට, දොට්ට දැමීම්, වෙලඳ යුද්ධය, මිලිටරිවාදය සහ ආඥාදායකත්වයට එරෙහි ව ගෝලීය උපාය මාර්ගයක් පිලිබඳ සාකච්ඡා කිරීමට, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ක්‍රියාකාරී කමිටුවල කථිකයෝ එක් රැස් වූහ. සහභාගී වූවන්ට, වැඩ වර්ජනයක නියැලෙමින් සිටි නැෂනල් ස්ටීල් කාර් හි කම්කරුවෙක්, නෝර්වේහි වොක්ස්වැගන් අනුබද්ධිත MAN හි කම්කරුවෙක්, මෙක්සිකෝවේ සිලාඕ හි ජෙනරල් මෝටර්ස් කම්කරුවෙක් සහ එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවෝ සහ තැපැල් සේවකයෝ ඇතුලත් වූහ.
එවැනි රැස්වීමක් යනු, ප්‍රාරම්භක, එහෙත් තවමත් සීමා සහිතකම් ඇති, අතිමහත් වෛෂයික පදනම් පවතින ව්‍යාපාරයක ආදර්ශ-රූපයකි. සමාජවාදී සමානතා පක්ෂයේ නව වන සම්මේලනයට ඉදිරිපත් කල සිය ආරම්භක වාර්තාව තුල ඩේවිඩ් නෝර්ත්, ගෝලීය නිෂ්පාදන ක්‍රියාවලිය මගින් “කම්හල ... මුලුමහත් පෘථිවි තලය පුරා ම විහිදුවා” ඇති බවත්, ඒ අතර ම “දැන් බිලියන 3.5 ක පමන මිනිසුන්ගෙන් සමන්විත වන ගෝලීය ශ්‍රම බලකාය මෙතෙක් ඉතිහාසයේ එක් රැස් වූ විශාල ත ම සමාජ බලවේගය” බවත් සඳහන් කලේ ය.
ඔහු සිය අදහස අවසන් කලේ මෙසේ ය: “නගර කේන්ද්‍ර කර ගනිමින්, මෙතෙක් නිර්මානය වූ වඩා ත් ම ඒකාබද්ධ නිෂ්පාදන යාන්ත්‍රනය මගින්, එකිනෙක හා බැඳී පවතින, එ සේ ම, ලෝක යුද්ධය, ඒකාධිපතිවාදය සහ සමාජ දුක්ඛිතභාවය යන අභියෝගවලට එකවර මුහුන දෙන බිලියන තුන හමාරක සමාජ බලවේගයක්, ඉතිහාසය විසින් එක් රැස් කරනු ලබන්නේ හුදු විරෝධතාවක් සඳහා නොවේ. ඔවුන් රැස් කරනු ලබන්නේ, මෙ තෙක් සිදු වූ වඩාත් ප්‍රගාඪ ත ම සමාජ පරිවර්තනය එනම්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ය.”
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) හරහා මෙම ව්‍යාපාරයට සවිඥානික සහ ස්වාධීන සංවිධානාත්මක ස්වරූපයක් ලබා දීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) අරගල කරයි. විවිධ සේවා ස්ථාන, කර්මාන්ත සහ ජාතික සීමාවන් හරහා කම්කරු ක්‍රියාකාරී කමිටු එකිනෙක සම්බන්ධ කිරීම තුලින්, වෘත්තීය සමිති යාන්ත්‍රනයේ සහ ධනපති පක්ෂවල ග්‍රහනයෙන් කම්කරු පන්තිය මුදා ගෙන, නිලධරයන් අත ඇති බලය කම්කරුවන් වෙත පවරා දීමේ අරමුනින් කක්‍රික-ජාස 2021 දී පිහිටුවන ලදී. මෙම අරගලයේ ඉහල ම ප්‍රකාශනය වන්නේ, ඉහල ම පන්ති විඥානයක් සහිත කම්කරුවන් හජාජාක හි ශාඛා තුලට බඳවා ගෙන මාක්ස්වාදීන් ලෙස පුහුනු කිරීමයි.
