බ්‍රසීලයේ ෆ්ලාවියෝ බොල්සොනාරෝ හා අන්ත දක්ෂිනාංශයේ නැගීමට වගකිව යුත්තේ කවුද?

[මෙය Who is responsible for the rise of Flávio Bolsonaro and the far right in Brazil? මැයෙන් 2026 ඔක්තෝබර් 6දා ඉංග්‍රීසි බසින් පල විය.]

ෆ්ලාවියෝ බොල්සොනාරෝ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඕවල් කාර්යාලයේ[ඡායාරූපය: @FlavioBolsonaro] [Photo: @FlavioBolsonaro]

ඉරිදා පැවති බ්‍රසීල මහ මැතිවරනයේ පලමු වටය දේශපාලන භූමිකම්පාවක් ඇති කලේ ය. 2022–23 කුමන්ත්‍රනයට නායකත්වය දීම සම්බන්ධයෙන් වසර 27ක සිර දඬුවමක් විඳිමින් සිටින හිටපු ජනාධිපති හායර් බොල්සොනාරෝගේ පුත්‍රයා හා දේශපාලන උරුමක්කරුවා වන සෙනෙට් සභික ෆ්ලාවියෝ බොල්සොනාරෝ,  වලංගු ඡන්දවලින් සියයට 47ක් ලබා පලමු ස්ථානයට පත් වූ අතර, කම්කරු පක්ෂයේ (පීටී) අපේක්ෂකයා හා වත්මන් ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට හිමි වූයේ සියයට 45.2ක ඡන්ද ප්‍රතිශතයකි.

ලූලා ඉදිරියෙන් සිටින බවට පල වූ අවසාන ජනමත විමසුම් ඛන්ඩනය කරමින්, ෆ්ලාවියෝ ඡන්ද මිලියන 56.1ක් ලබා ගත්තේ, වත්මන් ජනාධිපතිවරයාට වඩා මිලියන 2.25ක් වැඩි ඡන්ද ප්‍රමානයක් වාර්තා කරමින් ඉදිරියෙන් සිටිමිනි. ඔක්තෝබර් 25 දා පැවැත්වෙන දෙවැනි වටයට ඔහු ප්‍රියත ම අපේක්ෂකයා ලෙස තරඟයට පිවිසෙයි.

මෙම ප්‍රතිඵලය ජනාධිපති තරගයට පමනක් සීමා නොවී ය. බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය (පීඑල්) 2022 දී දිනාගත් ආසන 99 ඉක්මවා යමින් ෆෙඩරල් නියෝජිත තනතුරු 121ක් දිනා ගත්තේ, 1988 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු ව තනි පක්ෂයක් දිනාගත් විශාල ත ම නියෝජිත කන්ඩායම ලබා ගනිමිනි. සෙනෙට් සභාවේ තරගයට ඉදිරිපත් වූ ආසන 54න් 19ක් දිනාගත් එම පක්ෂය, මුලු ආසන 81න් 28ක්—සභාවේ තුනෙන් එකකට වැඩි ප්‍රමානයක්—හිමි කරගෙන ඇත. ප්‍රාන්තවල දී, රටේ ආර්ථික මර්මස්ථානය වන දකුනු සහ ගිනිකොනදිග ප්‍රදේශවල බහුතර ආන්ඩුකාර ධුර පලමු වටයේ දී ම දිනා ගනිමින්, දක්ෂිනාංශය සිය බලය තහවුරු කර ගත්තේ ය.

පුලුල් පෙරමුනට එරෙහි තීන්දුවක්

ඉරිදා ප්‍රතිඵල, සියල්ලට ම වඩා, පීටීය හා එයට සහාය දෙන ව්‍යාජ-වාම සංවිධාන ඉදිරිපත් කල දේශපාලන ඉදිරි දර්ශනයට එරෙහි විනාශකාරී තීන්දුවකි: දූෂිත ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය සමඟ සන්ධානයක් ගොඩනැගීමෙන් ෆැසිස්ට්වාදය පරාජය කල හැකි යැයි ඔවුහු කියා සිටිය හ. ෆැසිස්ට්වාදයේ තර්ජනය පරාජය කිරීම වෙනුවට, පීටී විසින් ඉදිරියට දැමුනු “පුලුල් පෙරමුන” එය තව දුරටත් ශක්තිමත් කර තිබේ.

ෆැසිස්ට් අපේක්ෂකයාට වාසි වන අයුරින් තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට, දන්ඩනීය තීරුබදු, සම්බාධක හා බ්‍රසීලියානු අපරාධ කල්ලි “ත්‍රස්තවාදී සංවිධාන” ලෙස නම් කිරීම යොදාගත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විවෘත මැදිහත් වීම මධ්‍යයේ මැතිවරනය පැවැත්විනි. ප්‍රතිඵලයට ප්‍රධාන වශයෙන් වොෂිංටනයේ මැදිහත් වීම වගකිව යුතු බව පීටීහි ව්‍යාජ-වාම ක්ෂමාලාපකයන් නිසැක ව ම කියනු ඇත. එහෙත්, පීටීහි වෛරයට පාත්‍ර අතීත වාර්තාව මතත්, අධිරාජ්‍යවාදය මත රඳා සිටින බ්‍රසීලයේ ජාතික ධනේශ්වරය ආරක්ෂා කරන පක්ෂයක් ලෙස, අධිරාජ්‍යවාදයට එරෙහි ව ස්ථාවර හෝ මූලධර්මාත්මක විරෝධයක් දැක්වීමට එයට තිබූ නොහැකියාව මතත්, වොෂිංටනයේ මූලෝපායේ සාර්ථකත්වය සෑම පියවරක දී ම රඳා පැවතියේ ය.

ෆ්ලාවියෝ බොල්සොනාරෝ කිරීමට අදහස් කරන්නේ කුමක් ද යන්න පිලිබඳ ව, කිසිදු මිථ්‍යාවක් නොතිබිය යුතු ය. ඔහුගේ වැඩපිලිවෙල (ආජන්ටිනාවේ ජනාධිපති) මිලෙයි කරන ආකාරයේ සමාජ කම්පන ප්‍රතිකාරයක් හෙවත් වියදම් කප්පාදු, පුද්ගලීකරනය සහ කම්කරු අයිතීන් විනාශ කිරීම සමග කම්කරු පන්තියට එරෙහි පොලිස් රාජ්‍ය පියවරයන් ඒකාබද්ධ කරයි.

සඳුදා මූල්‍ය ප්‍රාග්ධනය ද සිය තීන්දුව ලබා දුන්නේ ය: ඩොලරයට සාපේක්ෂ ව රියාල් මුදල සියයට 5කින් ඉහල ගියේ ය; ඉබොවෙස්පා කොටස් දර්ශකය සියයට 8කට ආසන්න ව ඉහල ගියේ ය; රාජ්‍ය පාලනය යටතේ ඇති බ්‍රසීල බැංකුවේ කොටස් සියයට 12කින් ඉහල නැගීමක් වාර්තා කලේ ය. ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ වචනවලින් කිවහොත්, ෆ්ලාවියෝ බොල්සොනාරෝ “වියදම් වේගයෙන් කපා හරිනු ඇති” බවටත්, “වෙලඳපොලට හිතකර ප්‍රතිසංස්කරන ඉදිරියට ගෙන යනු ඇති” බවටත්, ආයෝජකයෝ ඔට්ටු තැබූහ.

ට්‍රම්ප් පරිපාලනය විසින්, ලතින් ඇමරිකාව නව-විජිතවාදී ආරක්ෂිතයක් බවටත්, චීනයට එරෙහි යුද්ධයක් සඳහා වූ මෙහෙයුම් භූමියක් බවටත් පරිවර්තනය කිරීමට යොදා ගැනෙන, අන්ත දක්ෂිනාංශික ආන්ඩු සන්ධානය වන වොෂිංටනයේ “ඇමරිකාවන්ගේ පලිහ” තුලට බ්‍රසීලය ඒකාබද්ධ කිරීමට බොල්සොනාරෝ යෝජනා කරයි.

එපමනක් නො ව, ඔහු තම පියාටත් 2023 ජනවාරි 8 දා බ්‍රසීලියා මන්දිරයට එල්ල කල ප්‍රහාරයට සම්බන්ධ වීම නිසා වරදකරුවන් වූ අයටත් සමාව දෙන බවට පොරොන්දු වී තිබෙන අතර, එය කුමන්ත්‍රනය සුජාතකරනය කිරීමක්, එය ඉදිරියට ගෙන යාමට සූදානම් වීමක් වේ. කුමන්ත්‍රනයෙන් වසර හතරක් වත් ගත වීමට පෙර, එහි නායකයාගේ උරුමක්කාරයා ජනාධිපති ධුරයේ එලිපත්ත අසල සිටී. මෙයට වගකිව යුත්තේ කවුද?

මෙම ප්‍රතිඵල තේරුම් ගැනීමට අවශ්‍ය යතුර ලූලා විසින් ම සැපයී ය. අප්‍රේල් 18 දා බාසිලෝනාවේ පැවති “ගෝලීය ප්‍රගතිශීලී බලමුලු ගැන්වීමේ” පලමු රැස්වීමේ දී, ඔහු ගනන් බලන ලද ස්වයං-විවේචනයක් ඉදිරිපත් කලේ ය: “වාමාංශික ආන්ඩු වාමාංශික කථිකාවකින් මැතිවරන ජය ගෙන, කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරනවා. පාලනය ගෙන යාමේ නාමයෙන්, ඒවා මහජන ප්‍රතිපත්ති අත්හරිනවා. අපි ම පද්ධතිය බවට පත් වෙලා තියනවා. අනෙක් පාර්ශවය දැන් තමන් පද්ධතියට විරුද්ධ බව කියා සිටීම පුදුමයක් නොවන්නේ ඒ නිසයි.”

මෙය දේශපාලනික බංකොලොත්භාවය පිලිගැනීමකි. බැංකුකරුවන්, කෘෂි ව්‍යාපාරිකයන් හා සාම්ප්‍රදායික දක්ෂිනාංශික පක්ෂ සමඟ ගොඩනැගූ පුලුල් පෙරමුනක ප්‍රධානියා ලෙස 2022 දී බලයට පත් කම්කරු පක්ෂ ආන්ඩුව, මූල්‍ය වෙලඳපොල නියම කල කප්පාදු පියවර හා පුද්ගලීකරනය ක්‍රියාවට දැමූ අතර ම, මිලිටරි වියදම් ඉතිහාසයේ ඉහල ම මට්ටමට ගෙන ගොස්, කුමන්ත්‍රනයට සහාය දුන් සන්නද්ධ හමුදා නැවත ගෞරවනීය තත්ත්වයට පත් කලේ ය.

සිය ව්‍යාජ-වාම සහ වෘත්තීය සමිති අනුබද්ධ සංවිධාන සමඟ එක් ව, ජනතාව අතර අපකීර්තියට පත් දේශපාලන පද්ධතියකට එරෙහි විරෝධයේ ඒකාධිකාරය අන්ත දක්ෂිනාංශයට පැවරීමට පීටීය ක්‍රියා කලේ ය.

මෙම ප්‍රතිඵලය වඩාත් පැහැදිලි ව ප්‍රකාශයට පත් වූයේ, රටේ ධනවත් ම හා වඩාත් ම කාර්මිකකරනය වූ ප්‍රාන්තය මෙන් ම, කම්කරු පක්ෂය බිහි වූ කම්කරු-පන්ති ව්‍යාපාරයේ ඓතිහාසික මධ්‍යස්ථානය ද වන සාඕ පවුලෝහි දී ය. එහිදී බොල්සොනාරෝගේ හිටපු ඇමතිවරයෙකු වන ආන්ඩුකාර ටාර්සිසියෝ දේ ෆ්‍රෙයිටාස්, ලූලාගේ හිටපු මුදල් අමාත්‍යවරයා හා ඔහුගේ ආන්ඩුවේ ආර්ථික පිලිවෙතේ සහ කප්පාදු වැඩසටහනේ නිර්මාතෘවරයා වන ෆර්නැන්ඩෝ අඩාද්, සියයට 63කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පරාජය කලේ, අඩාද් සියයට 36කට මඳක් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී ය.

පීටීය තම පිලිවෙත තවත් දැඩි කරයි

පීටී මෙයට දක්වා ඇති ප්‍රතිචාරය වන්නේ, තම ප්‍රතිගාමී පිලිවෙත තවත් ගැඹුරු කිරීමෙනි. පීටීයට හිතවාදී බ්‍රසිල් 247 වෙබ් අඩවිය මෙය මැනවින් සාරාංශගත කලේ, “ෆ්ලාවියෝට ඡන්දය දුන්නත් අල්ක්මින්ට කැමති අය දිනාගැනීමටත්, ඡන්දය නොදුන් අය ඡන්දය දීමට පොලඹවා එම ඡන්ද ලබාගැනීමටත් ලූලාට සිදුවනු ඇත” යනුවෙන් ලියමිනි. ලූලාගේ උප ජනාධිපති වන ජෙරල්දෝ අල්ක්මින් බ්‍රසීල දක්ෂිනාංශයේ දිගුකාලීන චරිතයක් මෙන් ම සාඕ පවුලෝහි හිටපු ආන්ඩුකාරවරයෙකි. අල්ක්මින් මුදල් අමාත්‍යවරයා ලෙස පත් කර, ඔහුට වඩා විශාල භූමිකාවක් ලබා දීම ගැන ලූලා සලකා බලමින් සිටින බව ද එම වෙබ් අඩවිය වාර්තා කරයි. දෙවැනි වටයේ තරඟය සඳහා පීටීයේ මූලෝපාය ලෙස පෙනීමට තිබෙන්නේ, අල්ක්මින් තම උද්ඝෝෂනයේ දක්ෂිනාංශික මූනත්තහඩුව බවට පත් කිරීමයි.

ඒ සමඟ ම, පරාජයට පත් වූ දක්ෂිනාංශික ජනාධිපති අපේක්ෂකයන් දෙ දෙනෙකු වන ඔගුස්ටෝ කුරි සහ රොනල්දෝ කායදෝ සමඟ සන්ධාන ගොඩනැගීමට, පීටී ප්‍රයත්න දරමින් සිටී. කුමන්ත්‍රනයට සම්බන්ධ වූවන්ට සමාව දිය යුතු බව දෙ දෙනා ම ප්‍රසිද්ධියේ කියා සිටිය හ. තමන් බලයට පත් වූ පසු කරන පලමු ක්‍රියාව වන්නේ, හායර් බොල්සොනාරෝටත් 2023 ජනවාරි 8 සිදුවීම් සඳහා වරදකරුවන් වූ සියලු දෙනාටත් “පුලුල්, පොදු හා සීමා රහිත සමාවක්” ලබා දීම බවට කායදෝ පොරොන්දු විය. ෆැසිස්ට්වාදයට එරෙහි ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බව කියන පක්ෂය (පීටී-පරිවර්තක) කුමන්ත්‍රනකරුවන් නිදහස් කරන බවට පොරොන්දු වූ දේශපාලනඥයෙකු සමඟ සබඳතා පැවැත්වීම, සමස්ත “ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ” වංචනිකත්වය හෙලිදරව් කරයි.

ෆ්ලාවියෝ බොල්සොනාරෝගේ දක්ෂිනාංශික දේශපාලනයේ දියාරු අනුවාදයක් ලෙස පෙනී සිටීමෙන් ලූලාට ජයගත හැකි යැයි පවතින මතය ප්‍රතිගාමී මෙන් ම දේශපාලනික ව බංකොලොත් වේ. ඉරිදා ප්‍රතිඵලය නිශ්පන්න කල වට්ටෝරුව වන්නේ ද එය ම යි.

මහජනයා දකුනට හැරී නැත

මෙම මූලෝපායට යටින් පවතින්නේ, අන්ත දක්ෂිනාංශයේ නැගීම ම මගින් මහජනයා ම දක්ෂිනාංශයට හැරීමක් ප්‍රකාශයට පත් කරන බවට කරන කියා පෑමයි. පීටීය, ව්‍යාජ-වම හා සංගත මාධ්‍ය යන සියල්ලෝ ම මෙය ඉදිරියට දමති. මෙය අසත්‍යයකි. එමගින් උත්සාහ දැරෙන්නේ, කම්කරු පන්තිය පාවා දීමට කටයුතු කල අය ව්‍යසනයේ වගකීමෙන් මුදවා එම වගකීම කම්කරු පන්තිය මත ම පැටවීමට යි.

බ්‍රසීලියානු කම්කරුවෝ සමාජ ප්‍රහාරවලට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට යටත් වීමේ වැඩපිලිවෙලකට සහයෝගය නො දක්වති. ලූලාගේ ආන්ඩුව, පවුල්වලින් සියයට 80.9ක් නයගැති තත්ත්වයට පත් කලේ, පොලී ප්‍රතිශත සියයට 13.75ක් දක්වා නංවමිනි. සීඑන්එන් විශ්ලේෂකයකුගේ වචනවලින් කිවහොත්, ලූලා “ස්වෛරීභාවය හා දුර්ලභ පාංශු” ගැන කතා කරද්දී, ෆ්ලාවියෝ “සුපිරි වෙලඳසැලක සිටියේ ය.” මිල ගනන් සහ අපරාධ සම්බන්ධයෙන් පැතිර පවතින කෝපය අන්ත දක්ෂිනාංශයට ලැබෙන ඡන්ද බවට හැරවීමට ඔහුට හැකි වූයේ එලෙසිනි.

1998න් පසු ඡන්දය දී මෙන් වැලකී සිටීමේ ප්‍රතිශතය ඉහල ම මට්ටමට ලඟා විය. හිස් හා අවලංගු කල ඡන්ද සමඟින් එය ඡන්දදායකයන්ගෙන් සියයට 24.6ක් හෙවත් ලියාපදිංචි ඡන්ද දායකයන් මිලියන 158.7න් මිලියන 39.1ක් විය. මෙය සමස්ත දේශපාලන පද්ධතියත්, කප්පාදු පියවර හා ප්‍රතිගාමී ජාතිකවාදය දිගට ම පවත්වා ගෙන යාම හැර වෙන කිසිවක් ලබා නොදෙන ආන්ඩුවත්, මහජනයා විසින් යුක්තියුක්ත ලෙස ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශයට පත් කරයි.

මෙහි දී විශේෂයෙන් අර්ථභාරී වන්නේ, පීටී ආන්ඩු යටතේ හැදී වැඩී ඇති තරුන ජනයා ලූලා කෙරෙහි දක්වන විරෝධය යි. ක්වායස්ට් ජනමත විමසුමකට අනුව, වයස අවුරුදු 16ත් 34ත් අතර තරුනයන් අතර ලූලා පිලිබඳ අප්‍රසාදය සියයට 9කින් ඉහල ගොස්, සැප්තැම්බර් මාසයේ දී සියයට 55 දක්වා ලඟා විය.

තව ද බැංකු සේවකයන්, තැපැල් සේවකයන්, ගුරුවරුන් හා ලෝහ කම්කරුවන්ගේ වැඩ වර්ජන රැල්ලක් වර්ධනය වෙමින් පවතින අතරතුර මැතිවරනය පැවැත්වුනු අතර, එම වර්ජන ලූලාගේ ආන්ඩුවත්, ඔහු නැවත තේරී පත්වීම වෙනුවෙන් උද්ඝෝෂනය කල වෘත්තීය සමිති සම්මේලනත් සමග සෘජු ව ම ඝට්ටනය විය. සීයූටී (වෘත්තීය සමිති සම්මේලනය) නායක සර්ජියෝ නොබ්‍රේ, ලූලාට පැහැදිලි ව ම මෙසේ කීවේ ය: “ජනාධිපතිතුමනි, මේ තමයි ඔබේ හමුදාව… ඔබ අපේ ජෙනරාල්වරයා.”

සමස්ත ධනේශ්වර සංස්ථාපිතය දකුනට ගමන් කරන අතර, කම්කරු පන්තිය වමට ගමන් කරමින් සිටියි. නිල දේශපාලන පද්ධතිය තුල ප්‍රකාශනයට පත් නො වන මෙම පරස්පර-විරෝධය අන්ත දක්ෂිනාංශය ගසා කයි. දැන් න්‍යාය පත්‍රය මත ඇත්තේ විවෘත පන්ති යුද්ධයක් වන අතර, එහි සලකුනු මහාද්වීපය පුරා - බොලිවියාවේ සහ ආර්ජන්ටිනාවේ මහා වැඩ වර්ජනවල සිට චිලියේ මහජන විරෝධතා දක්වා- දැකගත හැකි ය.

හුදෙක් වසර හතරක් පමනක් නො ව දශක හතරක්

පීටීහි පරාජය, සාරභූත වසයෙන්, පසුගිය වසර හතරේ ප්‍රතිපත්ති පමනක් නොව පසුගිය දශක හතරේ ප්‍රතිපත්ති ද ප්‍රතික්ෂේප කිරීමකි. 2018 දී හායර් බොල්සොනාරෝ තේරී පත් වූ විට, එය සිදු වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ පිලිතුරු දුන්නේ ය:

එය 1988 ව්‍යවස්ථාව ක‍්‍රියාවට දැමීමත් සමග, 30ස් වසරකට පෙර මෙම මාසයේ ස්ථාපිත කෙරුනු ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පර්යායේ, ආර්ථික අර්බුදය හා උතුරන සමාජ ආතතියේ බලපෑම යටතේ, ඇතිවූ පරිහානියේ ඵලයයි. මිලිටරි ඒකාධිපතිත්වයේ සිට සිවිල් පාලනය දක්වා පරිවර්තන ක‍්‍රියාදාමය “මන්දගාමී, ක‍්‍රමානුකූල හා සුරක්ෂිත” යැයි එහි ආවතේව කාරයෝ තොරොම්බල් කලෝ ය. එය බ‍්‍රසීල මිලිටරියේ ඝාතන හා වධ හිංසා වසන් කෙරුන පොදු සමාවක් ද ඒකාධිපතිත්වයට සහාය දී තිබුනු ධනපතීන්ගේ දේපල හා ලාභ ආරක්ෂා කිරීමක් ද සහතික කලේ ය.

මෙම පරිවර්තනය තුල ප‍්‍රධාන ක‍්‍රියාකලාපයක් ඉටු කරන ලද්දේ කම්කරු පක්ෂය විසිනි. එය 1970 ගනන්වල අවසානයේ ඒකාධිපතිත්වය දෙදරවාලනු ලැබූ බ‍්‍රසීල කම්කරු පන්තියේ විප්ලවවාදී සටන්කාමිත්වය හා වැඩවර්ජන ධනේශ්වර ආන්ඩුවේ ආධිපත්‍ය යටතේ හරවා යැවීමට උදව් කලේ ය.

පීටීය ආරම්භ කිරීමේ දී පැබ්ලෝවාදී සංශෝධනවාදීන් තීරනාත්මක ලෙස සහභාගී වූ බව ද එම ඉදිරි දර්ශන ලිපිය සිහිපත් කලේ ය: ඔවුන් අතර ප්‍රංශ ඕසීඅයි සංවිධානයේ පියරේ ලොම්බෙයාගේ අනුගාමිකයෝ, නහුවෙල් මොරේනෝගේ ආර්ජන්ටිනියානු ප්‍රවනතාව හා අර්නස්ට් මැන්ඩෙල්ගේ එක්සත් ලේකම් මන්ඩලය ද වූ හ:

මෙම පක්ෂයේ හැඩගැස්මට තීරනාත්මක වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන්, එනම් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් කැඩී ගොස් සිටියා වූ ද, එමෙන් ම කම්කරු පන්තියේ විප්ලවවාදී හැකියාව ප‍්‍රතික්ෂේප කලා වූ ද කන්ඩායම්වල දේශපාලන ක‍්‍රියාකාරකම් ය. ඉන් ඇතමෙකු දැවන්ත විප්ලවවාදී සමාජවාදී කම්කරු ව්‍යාපාරයක් වර්ධනය කිරීමට ආදේශ වසයෙන් කැස්ත්‍රෝවාදය හා සුලු ධනේශ්වර ගරිල්ලාවාදය ප‍්‍රචාරය කර තිබුනේ, ලතින් ඇමරිකාව පුරා විනාසකාරී ප‍්‍රතිවිපාක සමගිනි. කම්කරු පක්ෂය ආරම්භ කිරීමේ දී, ඔවුහු වෘත්තීය සමිතිවලට බැඳීම් ඇති ධනේශ්වර ප‍්‍රතිසංස්කරනවාදී පක්ෂයට සමාජවාදය කරා සුවිශේෂ බ‍්‍රසීලියානු මාවතක් සපයා දිය හැකිය යන සංකල්පයට පැද්දී ගියහ.

එම “පාර්ලිමේන්තු මාවත” පීටීය ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රියත ම පක්ෂය බවට පත් වීමටත්, එහි කෝපරේට්වාදී වෘත්තීය සමිති යාන්ත්‍රනයට පන්ති අරගලය මර්දනය කිරීමේ ප්‍රධාන මෙවලම බවට පත් වීමටත් හැකියාව ලබා දුන්නේ ය. අද දින සමාජවාදය හා නිදහස පක්ෂය (පීඑස්ඕඑල්) තුලත්, ඒ අවටත්, මොරෙනෝවාදී සංවිධානවලත් එකතු වී සිටින, එම සංශෝධනවාදී ප්‍රවනතාවල දේශපාලන උරුමක්කාරයෝ, “ෆැසිස්ට්වාදයට එරෙහි සටනේ” නාමයෙන් පසුගිය වසර හතර පුරා කම්කරු පන්තිය පීටීයටත්, එහි පුලුල් පෙරමුනටත් බැඳ තබා ඇත. 2018 සිට 2026 දක්වා මෙම යාන්ත්‍රනය එක ම ප්‍රතිඵලය නිශ්පන්න කර තිබෙන අතර, වඩාත් ගැඹුරු අර්බුදයක් යටතේ වුව ද අද දින එය ම සිදු කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රියාදාමයක්

බ්‍රසීල මැතිවරනය ජාත්‍යන්තර ක්‍රියාදාමයක කොටසකි. යුරෝපය, එක්සත් ජනපදය සහ ලතින් ඇමරිකාව පුරා, නිල “වම” ලෙස හැඳින්වෙන සංවිධානවල බංකොලොත්භාවය හා කුනු වී යාම විසින්, ෆැසිස්ට්වාදී පක්ෂ හා පුද්ගලයන්ට මැතිවරනවලින් නැගී ඒම සඳහා මඟ සකස් කර ඇත. ලතින් ඇමරිකාවේ ලූලාගේ අර්බුදය, සමස්ත “රෝස රැල්ලේ” බිඳ වැටීම සමඟ බැඳී පවතී. මහජන අරගලවල පිටුබලයෙන් බලයට පැමිනි එම ආන්ඩු කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කර, ආර්ජන්ටිනාව සහ චිලී රටේ සිට කොලොම්බියාව, පේරු සහ බොලිවියාව දක්වා අන්ත දක්ෂිනාංශික පාලන තන්ත්‍රයන්ට මාවත සකස් කර දුන්නේ ය. වොෂිංටනයේ රූකඩයක් ලෙස දැන් වෙනිසියුලාව කොල්ලකෑම පරිපාලනය කරන චාවේස්වාදයේ පරාජය ද එක්සත් ජනපද සම්බාධක හා ආක්‍රමන තර්ජනය මධ්‍යයේ, කියුබාවේ ආර්ථිකය කොල්ල කෑමට ඉඩ ලබා දී ඇති කැස්ත්‍රෝවාදයේ පරාජය ද සමග මෙය බැඳී ඇත. ව්‍යාජ- වම දීර්ඝ කාලයක් තිස්සේ, මේ ව්‍යාපාර අධිරාජ්‍යවාදයට එරෙහි සමාජවාදී විකල්ප ලෙස උත්කර්ෂයට නංවා ඇත.

එහෙත් යුරෝපය සහ එක්සත් ජනපදය ඇතුලු මේ සියලු රටවල මහජනයා වමට ගමන් කරමින් සිටින අතර, විප්ලවවාදී පරිමානයන්ගේ ගැටුමක් වර්ධනය වෙමින් පවතී.

හජාජාක ඉදිරි දර්ශනය

සමස්ත ව්‍යාජ-වමට එරෙහි ව, සමාජවාදී සමානතා කන්ඩායම තනි අතින් ආරක්ෂා කර ඇති, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරි දර්ශනය බ්‍රසීලයේ සිදුවීම් මගින් සනාථ කෙරෙයි: ධනේශ්වරයේ කිසිදු පාර්ශ්වයකට තමන් යටත් කිරීමෙන් කම්කරු පන්තියට ෆැසිස්ට්වාදයට, ආඥාදායකත්වයට සහ යුද්ධයට එරෙහි ව සටන් කල නොහැකිය යන්නත්, පීටී පක්ෂය වැරදි ප්‍රතිපත්ති ඇති කම්කරුවන්ගේ පක්ෂයක් නොව, දශක හතරක් තිස්සේ පන්ති අරගලය සීමා කිරීමට සේවය කර ඇති ධනේශ්වර පක්ෂයක්‍ ය යන්නත් එම ඉදිරි දර්ශනයයි.

කම්කරු පක්ෂයේත්, ව්‍යාජ-වම සහයෝගය ‍දෙන පුලුල් පෙරමුනේත් පරාජය, චාවේස්වාදයේ සහ කැස්ත්‍රෝවාදයේ බංකොලොත්භාවය සමඟ එක් ව ගත් කල, තීරනාත්මක දේශපාලන අත්දැකීමකි. එය, බ්‍රසීලයේත් ජාත්‍යන්තර වත් මහජන විඥානයට ගැඹුරින් බලපාමින්, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට පමනක් පිලිතුරු සැපයිය හැකි බැරෑරුම් දේශපාලනික හා ක්‍රියාමාර්ගික ප්‍රශ්න ප්‍රගාඪ ලෙස ජනනය කරයි.

පීටීයෙන්, වෘත්තීය සමිති සම්මේලනවලින් හා ඒවා වටා කරක් ගසන ව්‍යාජ-වමෙන් බිඳීම;  කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය හරහා ජාත්‍යන්තර මට්ටමින් එකිනෙකට සම්බන්ධ වන ක්‍රියාකරී කමිටු ගොඩනැගීම;  අධිරාජ්‍යවාදයටත් ආඥාදායකත්වයටත් එරෙහි ව ඇමරිකානු මහාද්වීප හරහා කම්කරුවන් එක්සත් කිරීම හා සියල්ලට ඉහලින්, හජාජාක බ්‍රසීලියානු ශාඛාව ගොඩනැගීම මේ සඳහා අවශ්‍ය කෙරෙයි.

ඉරිදා ප්‍රතිඵල අසුබවාදයට හේතුවක් නොවේ. එහෙත් අපගේ සුබවාදය රඳා පවතින්නේ, සියල්ල ස්වයංක්‍රීය ව විසඳෙනු ඇතැයි හෝ ෆ්ලාවියෝ බොල්සොනාරෝගේ ආන්ඩුව එහි වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි තරම් දුර්වල වනු ඇතැයි යන මිථ්‍යාව මත නොවේ. එය රඳා පවතින්නේ, කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමේ අවශ්‍යතාව හා එහි විභවය පිලිබඳ අවබෝධය මත ය. ජාත්‍යන්තරවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වන එම මැදිහත්වීමට පමනක් ම, ධනේශ්වර සමාජයේ ප්‍රතිගාමී පරිහානිය නතර කල හැකි වන අතර, ඒ සඳහා අවශ්‍ය වෛෂයික කොන්දේසි වේගයෙන් පරිනත වෙමින් පවතී. එයට සවිඥානික නායකත්වයක් සම්පාදනය කිරීම අපගේ කර්තව්‍යයයි.

Loading