ඉදිරිදර්ශන

ප්‍රංශයේ මහජන විරෝධතා යුරෝපය සිසාරා ප්‍රතිරාවය වෙයි

[මෙය The mass protests in France are reverberating throughout Europe යන මැයෙන් 2026 ඔක්තෝබර් 23 දින ඉංග්‍රීසි බසින් පල විය.]

2026 ඔක්තෝබර් 22 වන දින, පැරිස් නුවර පාසල්වල පවතින දුර්වල අධ්‍යාපනික තත්ත්වයන්ට එරෙහි ව රැස් වූ විරෝධතාකරුවෝ පොලිසියට මුහුන දෙති. [AP Photo/Teresa Suarez]

මීට මාසයකට පෙර, ප්‍රංශයේ උසස් පාසල්වල අවහිර කිරීමේ සහ වැඩ නැවැත්වීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. මෙය ප්‍රංශ ආන්ඩුව ගැඹුරින් ම සොලවා දැමුවා පමනක් නොව, යුරෝපය පුරා ද ව්‍යාප්ත වෙමින් තිබේ. යුරෝපයේ සෑම රටක ම තරුනයින් සහ කම්කරුවන් එක හා සමාන ඉල්ලීම් ඉදිරිපත් කරන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගෙමින් තිබෙන අතර, ඒ සෑම ආන්ඩුවක් ම ඊට ප්‍රතිචාර දක්වන්නේ පොලිස් ප්‍රචන්ඩත්වය සහ මර්දනය තුලිනි.

මහාද්වීපය පුරා විප්ලවීය කැලඹීම් ඇති කල 1848 වසරේ සිදුවීම්වල ප්‍රතිරාවයන් වර්තමාන සිදුවීම් තුල දැකගත හැකි ය. ඇත්ත වශයෙන් ම මෙය හුදු සාදෘශ්‍යයක් මිස, සංයුක්ත සංසන්දනයක් නොවේ. 2026 ලෝකය 1848 ලෝකයට වඩා බෙහෙවින් වෙනස් ය. එහෙත් ප්‍රංශයේ සිට යුරෝපය හරහා ඉන් ඔබ්බට ද පැතිර යන මහජන විරෝධය පෙන්නුම් කරන්නේ, දිග හැරෙමින් පවතින මෙම ව්‍යාපාරයේ හරයෙන් ම ගෝලීය වන ස්වභාවය යි. වඩාත් මූලික ව ගත් කල, මෙහි මතු වෙමින් පවතින සමාජීය හා දේශපාලනික සාරය ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයක් නොව, කම්කරු පන්තිමය සහ සමාජවාදී ස්වභාවයක් ගනී.

පසුගිය මාසයේ මතුපිටට පැමිනියේ, යුරෝපය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට පොදු, එහෙත්, නිල දේශපාලනය විසින් දිගු කලක් තිස්සේ වලලා දමා තිබූ හැඟීම් ය. අධ්‍යාපනය, විශ්‍රාම වැටුප් සහ සමාජ වියදම්වලට යෙදවිය යුතු යුරෝ බිලියන සිය ගනන් හමුදාවට සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධයට යොමු කිරීමට, නිවාස හා බලශක්ති මිල ඉහල නංවන මූල්‍ය සමපේක්ෂනයට, මූල්‍ය වෙලඳපොලවල් විසින් නියම කරන සමාජ කප්පාදුවලට, සහ පොලිස් මර්දනයට සහ නව-ෆැසිස්ට්වාදය ප්‍රවර්ධනය කිරීමට එරෙහි ව ගැඹුරු විරෝධයක් පවතී. ජාත්‍යන්තර ප්‍රශ්න වන මේවාට එරෙහි අරගලය, ජාතික සීමා කපා ගෙන පුලුල් සහයෝගයක් දිනා ඇත.

බදාදා (21), ග්‍රීසිය තුල, ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ රාජ්‍ය අංශයේ සේවකයන්, උප නගර සහ මහනගර 50 කට වැඩි ගනනක පෙලපාලි පැවැත් වූ අතර, ඇතැන්ස් හි පෙලපාලි වලට 20,000 ක ජන සහභාගිත්වයක් පැවතුනි. ඔවුහු අඩු වැටුප්, රාජ්‍ය අධ්‍යාපනයේ පවතින තත්ත්වය සහ දරාගත නොහැකි මට්ටමක පවතින ශිෂ්‍ය නේවාසිකාගාර ගාස්තු සම්බන්ධයෙන් විරෝධය පල කල අතර, ප්‍රංශයේ දැවැන්ත මහජන විරෝධතාවන්හි පෙරමග පෙන්නුම් කලහ. ඇතන්ස්හි එක් බැනරයක “ග්‍රීසියේ සිට ප්‍රංශයට, අධ්‍යාපනයට මුදල් වෙන් කරනු!” යනුවෙන් ලියා තිබුනි; ඇතන්ස්, තෙසලෝනිකි සහ පැට්‍රාස් හි විරෝධතාකරුවන්ගේ කූඩාරම්වල  “ග්‍රීසිය සහ ප්‍රංශය, සෑම තැනක ම කැරලි ගසනු—එක ම ගැටලු, එකම සතුරා” ආදී සටන් පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කෙරුනි. වෘත්තීය සමිති නායකත්වය නොවැම්බර් 25 වන දින තෙක් ජාතික වැඩ වර්ජනයක් යලි කැඳවා නැත.

ඉතාලියේ ශිෂ්‍ය කන්ඩායම්, ප්‍රංශය සමඟ සහයෝගීතාව පල කරමින් දැවැන්ත විරෝධතා සංවිධානය කර තිබුනි. ඉතාලියානු ද්විතීක පාසැල් ශිෂ්‍ය සංගමයක් වන ශිෂ්‍ය ජාලය (Rete degli studenti) විසින් ප්‍රංශයේ වැඩ වර්ජකයින් වෙත නිකුත් කල පනිවිඩයක මෙසේ සඳහන් වේ: “අප ඔබ සමඟයි. අපි ඔවුන්ගේ යුද්ධවලට සහභාගී නොවන්නෙමු. ආයුධ සඳහා නොව, පාසල් සඳහා මුදල් වෙන් කරනු!” ඔක්තෝබර් 16 වන දින, රට පුරා නගරවල සිසුන් පෙලපාලි ගිය අතර, එහි දී ඔවුහු, “තත්වය වෙනස් නොවන්නේ නම්, ප්‍රංශයේ කල දේ ම මෙහි ද සිදුවනු ඇත” යනුවෙන් හඬ නැගූහ. ඉතාලිය, ප්‍රංශය, ග්‍රීසිය, තුර්කිය, මොරොක්කෝව සහ බාස්ක් රටවල වරාය සේවක වෘත්තීය සමිති විසින්, යුද්ධයට සහ වරායන් මිලිටරීකරනය කිරීමට එරෙහි ව ඔක්තෝබර් 30 වන දින ජාත්‍යන්තර විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත. CGIL වෘත්තීය සමිති සම්මේලනය විසින් නොවැම්බර් 20 වන දින රට පුරා ක්‍රියාත්මක වන එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ප්‍රංශයේ පාසල් විරෝධතා, ලීජ් සහ බ්‍රසල්ස් හි අධ්‍යාපන වියදම් ඉහල යාමට එරෙහි ව බෙල්ජියම් සිසුන්ගේ සහයෝගීතා විරෝධතා වහා පැන නැංවීමට තුඩුදුනි. මේවා සිදුවූයේ, බෙල්ජියම් ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති සහ මිලිටරි වියදම් ඉහල නැංවීමට එරෙහි ව දීර්ඝ කාලයක් තිස්සේ රට පුරා පැවති විරෝධතා සහ වැඩවර්ජන මාලාවක් මධ්‍යයේ ය. මෑතක දී ඔක්තෝබර් 9 වන දින, බ්‍රසල්ස් හි ජාතික විරෝධතාවක් ද, ඔක්තෝබර් 12 වන දින රාජ්‍ය අංශයේ වැඩවර්ජනයක් ද පැවැත්විනි.

ප්‍රංශ ශිෂ්‍ය ව්‍යාපාරයට සමගාමී ව ස්පාඤ්ඤයේ නගර 50 කට අධික සංඛ්‍යාවක ලක්ෂ ගනනක ජනතාවගේ සහභාගීත්වයෙන්, නිවාස ප්‍රශ්න පිලිබඳ දැවැන්ත විරෝධතා මතු වූ අතර, එහි දී විරෝධතාකරුවන් ප්‍රංශයේ විරෝධතා සමඟ තම සහයෝගිතාව නැවත නැවතත් ප්‍රකාශ කර සිටියහ. ස්පාඤ්ඤයේ නගර චතුරශ්‍ර අත්පත් කරගෙන සිටින විරෝධතාකරුවන් අතර “අප ප්‍රංශ ජාතිකයන්ගෙන් ඉගෙන ගත යුතු ය” යන අදහස නිතර ප්‍රකාශ වේ. නොවැම්බර් 11 වැනි දා, දිනය පුරා ක්‍රියාත්මක වන ජාතික වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ජර්මනියේ, නගර 130 කට අධික සංඛ්‍යාවක “බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට එරෙහි පාසල් වැඩ වර්ජනය” නම් වන විරෝධතා ව්‍යාපාරයට, “සිවිල් සේවය හෝ යුද්ධය වෙනුවෙන් බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා නොගනු” සහ “යුද්ධය අවශ්‍ය ධනවතුන්ට යි..., තරුනයින්ට අනාගතයක් අවශ්‍යයි...” වැනි සටන් පාඨ අතැති ව, දස දහස් ගනනක් තරුනයින් එක් ව සිටිති. සිසුන් බර්ලිනයේ ෆ්‍රැන්සොසිෂස් උසස් පාසැල අවහිර කල අතර, “ගිනි පුලිඟුව ප්‍රංශයේ සිට ජර්මනියට පනී” යන මැයෙන් යුතු පත්‍රිකා සොයා ගත් බව පොලිසිය පැවසී ය. ඔක්තෝබර් 20 වන දින මියුනිච් හි පාසල් වැඩ වර්ජනයකින් පසු ව, ඔක්තෝබර් අග දී, ජර්මානු නගර කිහිපයක බලහත්කාර හමුදා සේවයට එරෙහි විරෝධතා කැඳවා ඇත.

මෙම රටවලට අමතර ව, පෘතුගාලය, අයර්ලන්තය සහ ඇල්බේනියාව යන රටවල ද වැඩ වර්ජන හෝ තරුන විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී.

යුරෝපය පුරා තරුනයින් සහ කම්කරුවන් විසින් මතු කරනු ලබන ඉල්ලීම්, ධනපති ආන්ඩුවලින් ඉහල සිට ලබා දෙන ප්‍රතිසංස්කරන හරහා හෝ ජාතික මට්ටමින් ක්‍රියා කිරීමෙන් දිනා ගත නොහැක. සහන ලබා දීමේ ලා පාලක පන්තියට කැමැත්තක් හෝ හැකියාවක් නොපවතී. මූල්‍ය කතිපයාධිකාරිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලට කිසි සේත් ම නොගැලපෙන තරම් විශාල ධනස්කන්ධයක් එක්‍ රැස් කරගෙන සිටී.

ප්‍රංශය, ඉතාලිය, බෙල්ජියම සහ ග්‍රීසිය යන රටවල රාජ්‍ය නය ප්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 100 ඉක්මවන අතර ස්පාඤ්ඤයේ ද ඊට ආසන්න මට්ටමක පවතී. නය හිමියන්ගේ බලපෑම්වලට සහ තම නය සම්බන්ධයෙන් සමපේක්ෂනයන්ට ගොදුරු වී සිටින මෙම ආන්ඩුවලට, සමාජ සහන සඳහා අරමුදල් සැපයිය හැක්කේ කතිපයාධිකාරය මත බදු පැනවීමෙන් පමනි. එහෙත් ඔවුහු එසේ කිරීම ප්‍රතික්ෂේප කරති.

ඒ වෙනුවට, ඔවුහු යුද්ධයට සම්පත් පොම්ප කරමින් සිටිති. යුද්ධය තව දුරටත් උත්සන්න වීම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ගමන් කල හැකි බවට මොස්කව් කල අනතුරු ඇඟවීම් නොතකා, පසුගිය මාසය පුරා යුරෝපීය බලවත්තු රුසියාවට එරෙහි යුද්ධය සාහසික ලෙස උත්සන්න කලහ.  නැටෝව කලිනින්ග්‍රෑඩය අවහිර කිරීමට සූදානම් වන අතරතුර මොස්කව්, සේන්ට් පීටර්ස්බර්ග් සහ අනෙකුත් රුසියානු නගරවලට දැවැන්ත ඩ්‍රෝන් ප්‍රහාර සඳහා ඔවුන් යුක්‍රේන තන්ත්‍රය සන්නද්ධ කලහ.

“යුරෝපය නැවත සන්නද්ධ කරමු” (ReArm Europe) සැලැස්ම යටතේ ඔවුන් යුරෝ බිලියන 800 ක් දක්වා අතිරේක මිලිටරි වියදම්වලට සූදානම් වෙමින් සිටින අතර, දැවැන්ත යලි-සන්නද්ධ කිරීමේ වැඩසටහනකට මුදල් සැපයීම සඳහා ජර්මනිය එහි ව්‍යවස්ථාපිත නය සීමා කිරීම මගින් මිලිටරි වියදම් නිදහස් කර ඇත. ඔවුන්ට මෙම පරිමානයෙන් මුදල් රැස් කල හැක්කේ සමාජ වියදම් කපා හැරීම මගින් පමනි.

යුරෝපයේ සෑම ආන්ඩුවක්ම මෙම විරෝධතා ව්‍යාපාරයට එක ම ආකාරයෙන් පිලිතුරු දෙන්නේ එබැවිනි. තමන්ගේ ධනයට අත නොතබන සහ තම යුද අරමුනු අත් නොහරින පාලක පන්තියකට මෙම ප්‍රතිපත්ති පැනවිය හැක්කේ ආඥාදායක පාලන ආකාර හරහා පමනි. එය පොලිස්-රාජ්‍ය පියවරයන් සහ නව-ෆැසිස්ට් බලවේග ප්‍රවර්ධනය කිරීම හරහා මහජන විරෝධයට ප්‍රතිචාර දක්වයි.

මෙය, මෙම ගැටලුවල මූලික හේතුව වන ධනවාදී ක්‍රමයට එරෙහි ව සටන් කිරීමේ කාර්යය කම්කරු පන්තිය හමුවේ මතු කරයි.

ප්‍රංශයේ අර්බුදය පෙන්නුම් කරන්නේ, මැතිවරන දේශපාලනයේ රාමුව තුල හෝ වෘත්තීය සමිති, ධනේශ්වර රාජ්‍යය සමඟ කරන සාකච්ඡා හරහා කම්කරුවන්ට සහ තරුනයින්ට මෙම සටන දියත් කල නොහැකි බවයි. වෘත්තීය සමිති නිලධරය සහ ජීන්-ලූක් මෙලෙන්ෂොන් වැනි “ජනතාවාදී” දේශපාලනඥයන් ආන්ඩුව පසුබසිනු ඇතැයි යන මිත්‍යාව ප්‍රවර්ධනය කරන අතරේ, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අනුකම්පා විරහිත මූලෝපායක් අනුගමනය කරමින් සිටී. ඔහුගේ ආන්ඩුව විරෝධතා ව්‍යාපාරයට පිලිතුරු දී ඇත්තේ, සිසුන් දුසිම් ගනනින් ආබාධිත තත්වයට පත් කරන සමූහ අත්අඩංගුවට ගැනීම් සහ පොලිස් ප්‍රචන්ඩත්වය මගිනි.

ඔක්තෝබර් 17 වන දින, එක්සත් ජනපද-නැටෝ යුද්ධ සහ රුසියාවට සහ ඉරානයට එරෙහි බලශක්ති අවහිර කිරීම් මගින් ඇති කරන ලද ඉන්ධන සහ ජීවන වියදම් ඉහල යාමට විරෝධය පල කරමින් තරුනයින් පිරිසක් “කහ බැනියම්” විරෝධතාකරුවන් සමඟ පෙලපාලි ගියහ. නගර කිහිපයක පැවැත්වුනු විරෝධතා යටපත් කිරීම කැරලි මර්දන පොලිසියට අසීරු වූ අතර, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් “පාලනය ගිලිහී ගිය බව” පිලිගත්තේ ය. එ තැන් සිට, නිලධාරීන් ප්‍රධාන නගර කිහිපයක ඇඳිරි නීතිය පනවා ඇති අතර, ව්‍යාපාරය ආරම්භ වූ දා සිට මේ දක්වා සිදු කල අත්අඩංගුවට ගැනීම් 10,000 ඉක්මවා ඇත.

ඔක්තෝබර් 24 වන දින පැවැත්වෙන විරෝධතාවය සඳහා ආන්ඩුව හමුදාව යොදවයි. සෙන්ටිනෙල් මෙහෙයුමේ සොල්දාදුවන් ආරක්ෂක රාජකාරි භාර ගනු ඇති අතර, GIGN, RAID සහ BRI ප්‍රහාරක ඒකක, සන්නද්ධ වාහන, හෙලිකොප්ටර් සහ ජල ප්‍රහාරක රථ සමඟ, විරෝධතාකරුවන්ට මුහුන දීම සඳහා පොලිසිය සහ භට පිරිස් යොදවනු ඇත. හමුදාවන් වඩාත් සක්‍රීය විය යුතු බව නුනෙස් පවසන අතර කලින් දැනුම් නොදුන් පෙලපාලි තහනම් කිරීම ගැන ඔහු සලකා බලමින් සිටී.

රාජ්‍ය නිලධාරීහු, මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්හිටුවනු ලබන හදිසි තත්වයක් පිලිබඳ ව සාකච්ඡා කරමින් සිටිති. ලබන වසරේ ජනාධිපතිවරනය සඳහා ඡන්ද විමසීම් මෙහෙයවන නව-ෆැසිස්ට් ජාතික රැලිය (RN), 2032 වන විට අයවැයෙන් යුරෝ බිලියන 140 ක කප්පාදුවක් ඉල්ලා සිටින අතර, එහි සභාපති ජෝර්දාන් බාර්ඩෙල්ලා, විරෝධතාකරුවන් “වෘත්තීය කඩාකප්පල්කාරයින්” ලෙස හෙලා දැක තිබේ. දක්ෂිනාංශික රිපබ්ලිකානු (Les Républicains) පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන බෲනෝ රිටේලියෝ, LFI තහනම් කිරීමේ අදහස මතු කර ඇත. LFI හි අපේක්ෂකයා වන මෙලන්ෂොන් 2022 දී මිලියන 8 කට ආසන්න ඡන්ද ප්‍රමානයක් දිනා ගත්තේ ය.

මේ අතර, CGT වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය විසින් තම වැඩ වර්ජන ක්‍රියාමාර්ග, නොවැම්බර් 5 වන දින පැවැත්වෙන එක් දින ජාතික වැඩ වර්ජනයක් දක්වා කල් දමා ඇති අතර එමගින් තරුන පිරිස් සහ “කහ බැනියම්” ව්‍යාපාරය හුදකලා තත්වයකට පත් කර තිබේ. එදිනට කම්කරුවන් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වුවහොත් මැක්‍රොන් පසුබසිනු ඇතැයි CGT මහලේකම් සොෆී බිනේ ප්‍රකාශ කරයි: “කම්කරුවන් වැඩ කිරීම නතර කල විට, රටේ කටයුතු ඇනහිටිනවා, ආර්ථිකය අඩාල වෙනවා. එවිට අපගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට සිදුවේවි.”

මැක්‍රොන් තරුන තරුනියන්ගේ ඉල්ලීම්වලට එකඟ වුවහොත් මෙම විරෝධතා අවසන් විය හැකි බවට මෙලෙන්ෂොන් යෝජනා කරයි: “අපගේ තරුන තරුනියන්ට මෙම සිදුවීම් මාලාවට හොඳ අවසානයක් අවශ්‍ය ව තිබේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතු ය.” 1968 මැයි මාසයේ පැවති ප්‍රංශ මහා වැඩ වර්ජනය අවසන් කිරීම සහ එය පාවා දීම සාධාරනීකරනය කිරීම සඳහා, ධනේශ්වර පාලනය එ ලෙස ම පවත්වා ගෙන යමින් ම, සමාජ සහන වෙනුවෙන්, ධනේශ්වර රාජ්‍යය සහ ස්ටැලින්වාදී ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය අතර සාකච්ඡා කර එකඟතාවකට පැමිනි ආකාරයෙන් ආන්ඩුවට ආදර්ශයක් ලබා ගත හැකි බව ඔහු සමපේක්ෂනය කරයි.

නමුත් මැක්‍රොන් සූදානම් වන්නේ සම්මුතියකට නොව, ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමටයි. බිනේ සහ මෙලෙන්ෂොන්, ජාතිකවාදී මායාවන් ප්‍රවර්ධනය කරන අතර යුද්ධයට එරෙහි අරගලය, ධනපති කතිපයාධිකාරීන් සතු දේපල රාජසන්තක කිරීම හෝ යුරෝපය පුරා පන්ති අරගල පුපුරා යාම පිලිබඳ ව කිසිවක් සඳහන් නොකරති. ඔවුන් ප්‍රංශ කම්කරුවන් සහ තරුනයින්, යුරෝපයේ වෙනත් ප්‍රදේශවල සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන්ගෙන් හුදකලා කරන අතර, පාලක පන්තියේ සැලසුම්වලට එරෙහිව සටන් කිරීමට කිසිදු මාවතක් ඉදිරිපත් කරන්නේ නැත.

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂය (PES) සහ යුරෝපයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (ICFI) අනුබද්ධ පක්ෂ, පාසල්, විශ්වවිද්‍යාල, සේවා ස්ථාන සහ අසල්වැසි ප්‍රදේශ තුල ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කැඳවුම් කරයි.

අරගලයේ නිරත කම්කරුවන් සහ තරුනයින් විසින් තෝරා පත් කරගනු ලබන සහ ඔවුන් විසින් පාලනය කරනු ලබන, එසේ ම වෘත්තීය සමිති නිලධරයෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන වූ මෙම කමිටුවලට, නිලධාරි තන්ත්‍රයන් විසින් පනවන කාලසටහන්වලින් තොර ව, පුලුල් ම ආකාරයෙන් වැඩ වර්ජන ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සටන් කල හැකි ය.

ක්‍රියාකාරී කමිටුවල කේන්ද්‍රීය කර්තව්‍යයක් වන්නේ යුරෝපය පුරා දැන් පැන නගින අරගල එක්සත් කිරීමයි. මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යයට එරෙහි ව, ප්‍රංශ කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ ශක්තිමත් ම සගයන් වන්නේ, යුරෝපය පුරා දැන් අරගලයේ යෙදී සිටින කම්කරුවන් සහ තරුනයින් ය. ඔවුන්ගේ එකවර පුපුරා යාම, යුරෝපීය මහා වැඩ වර්ජනයක අවශ්‍යතාවය මතු කරයි; එය සූදානම් කල හැක්කේ වෘත්තීය සමිති නිලධරයන්ගේ ජාතික රාමුව බිඳ දැමීමෙන් පමනි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා මෙම කමිටු ජාත්‍යන්තර ව සම්බන්ධ කිරීමට හජාජාක සටන් කරයි.

එවැනි කමිටුවලට, අධිරාජ්‍යවාදී යුද්ධය නවත්වන, නව-ෆැසිස්ට්වාදයේ නැගීම නවත්වන සහ ධනේශ්වර කතිපයාධිකාරය අත්පත් කර ගැනීමෙන් නය අර්බුදය විසඳන ව්‍යාපාරයක කේන්ද්‍රස්ථානය බවට පත්විය හැකි ය. කතිපයාධිකාරය ආර්ථිකය සහ රාජ්‍යය පාලනය කරන අතරතුර, යහපත් පාසල්, දැරිය හැකි මිල ගනන් වලට නිවාස, බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීම සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන තරුනයින්ගේ ඉල්ලීම් සපුරාලිය නොහැක. එබැවින්, ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂය (PES) සහ එහි සහෝදර පක්ෂ, කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීමටත්, යුරෝපා සංගමය, යුරෝපා රාජ්‍යයන්ගේ එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් සටන් වදී.

Loading