සම්පත් හිඟය, බදු බර ඇතුලු දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩවර්ජනය කරති

[මෙය Thousands of Sri Lankan university teachers strike over pay and conditions මැයෙන් ඉංග්‍රීසියෙන් පල විය.]

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල වැඩී ඇති ගැඹුරු අර්බුදයට විසඳුම් ඉල්ලා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ඔක්තෝබර් 30 සිකුරාදා වැඩවර්ජනයක නිරත වූහ. අධ්‍යයන කාර්ය මන්ඩල හිඟය, දරා ගත නොහැකි වැඩ බර, ප්‍රමානවත් භෞතික හා මානව සම්පත් නොමැතිකම, වැටුප් විෂමතා, දීමනා කප්පාදු කිරීම සහ තම සොච්චම් ආදායම් මත පටවා ඇති දැවැන්ත බදු බර ඇතුලු දැවෙන ප්‍රශ්න වහා විසඳන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. 

2026 ඔක්තෝබර් 30 වැනි දින කොලඹ දී විරෝධතාවයේ යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ෆූටා) විසින් කැඳවන ලද මෙම වැඩවර්ජනයට රාජ්‍ය විශ්වවිද්‍යාල 17 හි ආචාර්යවරුන් සියලු දෙනා ම පාහේ සහභාගි වූ අතර, එදින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙහි අධ්‍යයන වැඩකටයුතු මුලුමනින් ම ඇන හිටියේ ය. 

වැඩවර්ජනයට සමගාමී ව, ආචාර්යවරුන් 2,000කට ආසන්න පිරිසක්, “අධ්‍යාපනයට දල ජාතික නිශ්පාදනයෙන් සියයට 6ක්!”, “නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරනු!”, “රාජ්‍ය විශ්වවිද්‍යාල රැක ගනු!” සහ “පොහොසත් රටක්—දුප්පත් අධ්‍යාපනයක්!” යන සටන් පාඨ සහිත පුවරු රැගෙන, කොලඹ සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූජිසී) දක්වා පා ගමනක නිරත වූහ.

මෙම වැඩවර්ජනය සහ උක්ත ඉල්ලීම් මත සැප්තැම්බර් 9 දා පැවැත්වූ වර්ජනය, තම අයිතීන් උදෙසා සටන් කිරීමට ආචාර්යවරුන් තුල පවතින දැඩි අධිෂ්ඨානය පිලිබඳ ප්‍රබල ප්‍රකාශනයක් විය. කෙටි දැනුම් දීමකට ප්‍රතිචාර දක්වමින්, යාපනය සහ නැගෙනහිර වැනි ඉතා දුරබැහැර විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පවා කොලඹ පාගමනට එක් ව සිටියහ. 

විශ්වවිද්‍යාල පද්ධතිය වෙලා ගෙන ඇති අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එ‌ෆ්) නියමයන්ට අනුව අනුප්‍රාප්තික ආන්ඩුවලින් නිදහස් රාජ්‍ය අධ්‍යාපනයට එල්ල කල අඛන්ඩ කප්පාදු ප්‍රහාරවල ප්‍රතිඵලයකි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව යටතේ මෙම කප්පාදුව තව දුරටත් තීව්‍ර වෙමින් පවතී.

විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2012 වසරේ 25,000ක් පමන වූ අතර, අද වන විට එය 45,000ක් දක්වා, එනම් දෙ ගුනයකට ආසන්න ප්‍රමානයකින් ඉහල ගොස් ඇත. 

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අනුව, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය අධ්‍යයන කාර්ය මන්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 12,000ක් වුව ද, දැනට සේවයේ නිරත ව සිටින්නේ 5,200ක් පමනි; එනම් අවශ්‍ය ප්‍රමානයෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවකි. මෙය සිසුන් සහ ගුරුවරුන් අතර අනුපාතය දැඩි ලෙස පිරිහීමටත්, ඒ හා සමගාමී ව අධ්‍යාපනයේ ගුනාත්මකභාවය පහත වැටීමටත් හේතු වී ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විශාල පිරිසක් සේවයෙන් ඉවත් ව යාමට සෘජු ව ම බලපා ඇත්තේ රජයේ ප්‍රතිපත්ති ය. ශ්‍රී ලංකාවේ පවතින බදු ක්‍රමය යටතේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් බහුතරයකට තම ආදායමෙන් සියයට 36ක් දක්වා ප්‍රමානයක් බදු ලෙස ගෙවීමට සිදු ව තිබේ. ඒ අතර ම, අධ්‍යයන පර්යේෂන සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන ද දැඩි ලෙස කප්පාදු කර ඇති අතර, එ මගින් බරපතල අධ්‍යයන පර්යේෂන සිදු කිරීමට විශ්වවිද්‍යාල සතු හැකියාව අහිමි වී ඇත.

සිසු නේවාසිකාගාර, විද්‍යාගාර සහ දේශන ශාලා වල පවතින දැඩි හිඟය මෙන් ම ප්‍රමානවත් නොවන පුස්තකාල පහසුකම් ද විශ්වවිද්‍යාල පද්ධතිය තව දුරටත් අර්බුදයට ලක් කර ඇත. මෙම තත්ත්වයන් හමුවේ, සිසුන්ට සහ කාර්ය මන්ඩලයට සිදු ව ඇත්තේ, ‘නොමිලේ රාජ්‍ය අධ්‍යාපනය ලබා දෙන’ බවට කෙරෙන ප්‍රකාශයන් හාස්‍යයට ලක් කරන ආකාරයේ පරිසරයක් තුල කටයුතු කිරීමටයි.

පා ගමනට පැමිනි ඇතැම් ආචාර්යවරු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් තමන් මුහුන දෙන ගැටලු පිලිබඳව කරුනු පැහැදිලි කලහ.

කොලඹ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ලක්මාල් පෙරේරා, තම විශ්වවිද්‍යාලය මුහුන දෙන ගැටලු මෙසේ විස්තර කලේ ය:

“පෙර පැවති ආන්ඩු මෙන් ම වර්තමාන ආන්ඩුව ද අනුගමනය කරන දැඩි කප්පාදු ප්‍රතිපත්ති හේතුවෙන්, නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම දැඩි ලෙස සීමා වී තිබෙනවා. මේ වසර මුල වන විට අපගේ අධ්‍යයන කාර්ය මන්ඩලයට නව සාමාජිකයින් 20 දෙනෙකු බඳවා ගැනීමට අවශ්‍ය ව තිබුනත්, බඳවා ගැනීමට හැකි වූයේ ති දෙනෙකු හෝ හතර දෙනෙකු පමනයි. එබැවින් අප මත පැටවී ඇති වැඩ බර දරා ගත නොහැකි මට්ටමක පවතිනවා. විශ්වවිද්‍යාලවල සිදු වෙමින් පවතින්නේ අයිඑම්එෆ් කප්පාදුවේ කොටසක්.”

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් පැවසුවේ තම වෘත්තීය සමිතිය විසින් කැඳවන ලද සියලු ම විරෝධතාවලට තමන් සහභාගී වූ බවයි. අධ්‍යයන ශ්‍රම බලකායේ බරපතල හිඟයන්, විශේෂයෙන් ස්ථිර, සුදුසුකම් ලත් කාර්ය මන්ඩලයේ දැඩි හිඟය, බොහෝ දෙපාර්තමේන්තු තාවකාලික කථිකාචාර්යවරුන් මත යැපීමට හේතු වී ඇති බව කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

ආචාර්යවරුන් තම සටන්කාමීත්වය ඉහලින් ම පෙන්නුම් කල නමුත් එය පමනක් ප්‍රමානවත් නොවන බව මෙම වැඩවර්ජනය යලිත් වරක් පෙන්නුම් කලේ ය. තම ඉල්ලීම් දිනා ගැනීමට නම්, තමන්ට එරෙහි ප්‍රහාරයේ මූලය කුමක්දැයි වටහා ගනිමින් එය ඉවත් කිරීම සඳහා මූලෝපායක් වර්ධනය කරගත යුතු ය.

එහෙත්, පාගමන අවසානයේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පැවැත් වූ සම්මන්ත්‍රනයේ කථිකයෝ අර්බුදය ඉදිරිපත් කලේ ආන්ඩුවේ “උනන්දුවක් නොමැතිකමේ” හෝ “ගැටලු තේරුම් ගැනීමට අසමත් වීමේ” ප්‍රතිඵලයක් ලෙසයි. 

FUTA ලේකම් චාරුදත්ත ඉලංගසිංහ (දකුනේ සිට තෙ වැනියා) සෙසු වෘත්තීය සමිති නායකයන් සමගින් ශ්‍රී ලංකාවේ අයිඑම්එෆ් දූත පිරිසේ ප්‍රධානී පීටර් බෘවර් මුන ගැසෙයි [Photo: Facebook/FUTA]

යූජීසී ඉදිරිපිට පැවැත්වූ කෙටි විරෝධතාවේ දී, ෆූටා ලේකම් චාරුදත්ත ඉලංගසිංහ, ආන්ඩුව වගකීමෙන් නිදහස් කිරීමට උත්සාහ කරමින්, සියලු දෝෂාරෝපන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මත පැටවී ය. ඔහු මෙසේ පැවසී ය: “ (යූජීසී යට) සභාපතිවරයෙක් ඉන්නවා, උප සභාපතිවරයෙක් ඉන්නවා, නමුත් ඔවුන් සත පහකට වටින්නේ නැහැ. අපට මේ වගේ කොමිසමක් අවශ්‍ය නැහැ.”

මෙය හිතාමතා සිදු කරන විකෘති කිරීමකි. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ආන්ඩුව ප්‍රතික්ෂේප කරන්නේ එයට උනන්දුවක් හෝ අවබෝධයක් නොමැති නිසා නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්), ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක ඇප නය ලබා දීමේ දී පැනවූ කප්පාදු වැඩපිලිවෙල හේතුවෙනි. විශ්වවිද්‍යාලවල භෞතික හා මානව සම්පත් පුලුල් කිරීමට අවශ්‍ය රුපියල් බිලියන ගනනක මුදල් වෙන් කිරීම හෝ ආචාර්යවරුන්ගේ ආදායම් මත පනවා ඇති බදු අඩු කිරීම මෙම වැඩපිලිවෙල මගින් වලකා ඇත.

අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙල පරාජය කල හැක්කේ, එම කප්පාදු ක්‍රියාත්මක කරන ජවිපෙ/ජාජබ ආන්ඩුවටත්, සමස්ත ධනපති ක්‍රමයටත් එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකිනි. නමුත් ෆූටා ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය එවන් දේශපාලන සටනකට සපුරා එරෙහි ය. ඔවුහු, ආන්ඩු වලට එරෙහි වඳ විරෝධතාවන්ට තම සාමාජිකයන් නැවත නැවතත් යොමු කරමින් ඔවුන් ආන්ඩුවල ප්‍රහාරයන්ට යටත් කරති. 

2026 ඔක්තෝබර් 30 වැනි දා කොලඹ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පාගමන

ආචාර්යවරුන්ගේ ම අරගලවල අත්දැකීම් මෙය සනාථ කරයි. 2012 දී FUTA සියයට 20ක වැටුප් වැඩි වීමක් සහ අධ්‍යාපන වියදම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් දක්වා ඉහල නැංවීමක් ඉල්ලා දින 100ක වැඩවර්ජනයක් මෙහෙය වී ය. එය දශක තුනක් තුල දිවයිනේ පැවති දීර්ඝ ත ම වැඩවර්ජනවලින් එකකි.

එවකට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවූ පරිදි, කිසිදු ඉල්ලීමක් දිනා නොගෙන, ආන්ඩුවේ හිස් පොරොන්දු මත ගුරුවරුන් නැවත සේවයට යවමින් වෘත්තීය සමිති නායකත්වය එම වැඩවර්ජනය පාවා දුන්නේ ය. 

අද ද එම ක්‍රියාවලිය ම සිදු වෙමින් පවතී. ෆූටා නායකත්වය, ආචාර්යවරුන්ගේ සටන්කාමීත්වය, කිසිදු සහනයක් ලබා දීමට අසමත් ආන්ඩුවකට “පීඩනය යෙදීමේ” ක්‍රියාමාර්ගවලට කොටු කරයි. එසේ කරන්නේ හරියට ම කෝපය විසුරුවා හැරීමටත්, එය දේශපාලන ව්‍යාපාරයක් බවට වර්ධනය වීම වැලැක්වීමටත්‍ ය. 

ඔක්තෝබර් 30 දා පාගමන අතරතුර මාධ්‍ය අමතමින් ඉලංගසිංහ මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙම ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම්, අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින මෙ රට සියලු පාර්ශ්වයන් සමඟ එක් ව අපගේ ක්‍රියාමාර්ග තව දුරටත් දැඩි කිරීමට අපි කටයුතු කරන්නෙමු.” එම ක්‍රියාමාර්ග මොනවාද යන්න පිලිබඳ ව ඔහු වැඩි දුර විස්තරයක් ලබා දුන්නේ නැත.

පසුගිය ආන්ඩු සමඟ මෙන් ම, වත්මන් ආන්ඩුව සමඟ ද පසුගිය වසර දෙකක කාලය තුල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය) විසින් සාකච්ඡා වට ගනනාවක් පවත්වා ඇති බව පිලිගත් ඉලංගසිංහ, එහෙත් “ඒ සියල්ල නිෂ්ඵල වූ බව” සඳහන් කලේ ය. 

මෙම සාකච්ඡාවල ඇති නිෂ්ඵලභාවය, ෆූටා හි වැඩපිලිවෙලේ බංකොලොත්භාවය හෙලිදරව් කරයි.

සමාජවාදී සමානතා පක්ෂය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ෆූටා හි බංකොලොත්, ධනපති ගැති වැඩපිලිවෙලින් ඉවත් වී, අනුප්‍රාප්තික ආන්ඩු විසින් ක්‍රමානුකූල ව වලපල්ලට යවා ඇති නිදහස් මහජන අධ්‍යාපනය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාම සඳහා වන වැඩපිලිවෙලකට යොමු වන ලෙසයි. නිදහස් අධ්‍යාපනය ධනවාදයේ රාමුව තුල ආරක්ෂා කල නොහැකි ය යන යථාර්ථයට ඔවුන් මුහුන දිය යුතු ය.

වෘත්තීය සමිති නිලධාරීන්ගේ අතින් අරගලය තම අතට ගැනීම සඳහා, ආචාර්යවරුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගන්නා ලද සහ ෆූටා නිලධරයෙන් ස්වාධීන වූ, තමන්ගේ ම ක්‍රියාකාරී ක්‍රියාකාරී කමිටු සෑම විශ්ව විද්‍යාලයක ම ස්ථාපිත කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම කමිටු සිසුන්ගේ සහ අනධ්‍යයන සේවකයින්ගේ නියෝජිතයින්ට තම දොරටු විවෘත කල යුතු ය.

අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරගලය කම්කරු පන්තියේ පුලුල් අරගලයෙන් වෙන් කල නොහැක. ලාභ පද්ධතිය අහෝසි කොට බහුතරයකගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමෙන් සහ විදේශ නය ආපසු ගෙවීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පමනක් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවා සංවර්ධනය සඳහා අවශ්‍ය සම්පත් නිදහස් කල හැකි ය.

මෙම අරගලය භාර ගෙන, සමාජවාදී සමානතා පක්ෂය විසින් නොවැම්බර් 10 වන දා සවස 4 ට කොලඹ මහජන පුස්තකාල ශාලාවේ පවත්වනු ලබන මහජන රැස්වීමට සහභාගී වන ලෙස අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading