ඉදිරිදර්ශන

යුද්ධයට එරෙහි මහජන විරෝධය නොතකා ට්‍රම්ප් ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් සූදානම් කරයි

[මෙය Trump prepares new onslaught on Iran in defiance of mass opposition to war මැයෙන් 2026 ඔක්තෝබර් 25 දින ඉංග්‍රීසි බසින් පල විය.]

2023 දෙසැම්බර් 14දා හෝමුට්ස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන ගුවන් යානා රැගෙන යන යූඑස්එස් ඩ්වයිට් ඩී. අයිසන්හවර් නෞකාව හා වේගවත් ප්‍රහාරවලට සහයෝගය යූඑස්එන්එස් සප්ලයි නෞකාව. (ඡායාරූපය: දෙවන පන්තියේ නාවික නිලධාරී කීත් නොවැක්) [Photo: Navy Petty Officer 2nd Class Keith Nowak]

ට්‍රම්ප් සහ නෙතන්යාහු පරිපාලනය ඉරානයට එරෙහි ව දැවැන්ත නව ප්‍රහාරයක් සූදානම් කිරීමේ අවසන් අදියරේ සිටින අතර මෑත පැවැත්වීමට නියමිත මැතිවරනවල දී මොවුන් දෙ දෙනාට ම දැඩි මැතිවරන පසුබෑමකට මුහුන දීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉරානයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබේදැයි සෙනසුරාදා (24) දිනයේ දී ෆ්ලොරිඩාවේ මාධ්‍යවේදීන්ගේ පැනයකට පිලිතුරු දෙමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ඒ ගැන සිතා බලමින් සිටින බවත්, සමහර විට ඒ හෙට විය හැකි බවත්” කියා සිටියේ ය. “ඔවුන්ට කිසියම් එකඟතාවයකට පැමිනීමට නොහැකි වුව හොත් මට එය මුලුමනින් විනාශ කර දැමීමට සිදුවනු ඇත,” ඔහු තව දුරටත් පැවසී ය. ඉරිදා (25) ඔහු ෆොක්ස් නිවුස් වෙත කියා සිටියේ, “අද දින ප්‍රහාරයක් සිදු නොවනු ඇති” බවයි. නමුත් ඔහු තම තෝරා ගැනීම සූත්‍රගත කලේ මෙසේ ය: “මම ඔවුන් සමඟ එකඟතාවයකට පැමිනෙනවා ද, නැතහොත් ඔවුන් අවසන් කර දමනවා ද?”

මෙම ප්‍රකාශ නිකුත් වන්නේ, නොවැම්බර් 3 පැවැත්වෙන මධ්‍ය-වාර මැතිවරනයට සතියකටත්, ඔක්තෝබර් 27 වන දින පැවැත්වෙන ඊශ්‍රායලයේ ජාතික මැතිවරනයට දින තුනකටත් පෙර ය. ඇමරිකානු මැතිවරනය, ඉරාන යුද්ධය කෙරෙහි අතිමහත් මහජන විරෝධයක් පෙන්නුම් කරනු ඇතැයි ද, එහි දී ට්‍රම්ප්ගේ පක්ෂයට විශාල පරාජයක් අත්වනු ඇතැයි ද පුරෝකථනය කෙරේ. ඔක්තෝබර් 8 වන දින ප්‍රකාශයට පත් කරන ලද පිව් පර්යේෂන මධ්‍යස්ථානයේ සමීක්ෂනයකින් හෙලි වූයේ, ඇමරිකානුවන්ගෙන් සියයට 65 ක්, ට්‍රම්ප් යුද්ධය හසුරුවන ආකාරය අනුමත නොකරන බවයි.

ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් සඳහා වන මිලිටරි සූදානම බොහෝ ඉදිරියට ගොස් ඇත. යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ගුවන්‍ යානා ප්‍රහාරක නෞකා කන්ඩායම සැප්තැම්බර් අවසානයේ සැන් ඩියාගෝ වෙතින් පිටත් වූ අතර දිනකට පසු ව මැරීන් භටයින් 2,000 කට වැඩි පිරිසක් රැගත් උභයචර (දිය-ගොඩ දෙකෙහි ම ගමන් කල හැකි) නෞකා කන්ඩායමක් පිටත් විය; නොවැම්බර් අවසානය වන විට ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනක් සහ උභයචර ගොඩබෑමේ නෞකා කන්ඩායම් දෙකක් ඉරානය අසල ස්ථානගත කරනු ඇත.

මෙම නව යෙදවීම්වලට භටයින් 9,000 සිට 10,000 දක්වා සංඛ්‍යාවක් ඇතුලත් වන අතර ඒ, යුද්ධයට පෙර මැද පෙරදිග ඒ වන විටත් ස්ථානගත කර සිටි භටයින් 40,000 සිට 50,000 දක්වා වූ සංඛ්‍යාවට අමතර ව ය. ඔක්තෝබර් 21 වන දින, හදිසි අවස්ථාවල දී සේවය සඳහා නොවන කාර්ය මන්ඩලයට (Non-Emergency Staff) සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සෞදි අරාබියෙන් පිට ව යන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කලේ ය. එ සේ ම, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය සහ ජෝර්දානය යන රටවල පිහිටි තානාපති කාර්යාලවල කාර්ය මන්ඩල සේවක සංඛ්‍යාව අඩු කර ඇති බව සීඑන්එන් පුවත් සේවය සිකුරාදා (23) වාර්තා කලේ ය.

පරිපාලනය එහි උත්සන්නිය සාධාරනීකරනය කිරීම සඳහා විනිවිද පෙනෙන ප්‍රචාරක ප්‍රබන්ධයක් සූදානම් කරමින් සිටී. ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලේටන් විසින් සිකුරාදා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වෙත යවන ලද සංදේශයක් තුල, ඇක්සියෝස් මුලින් ම වාර්තා කල පරිදි, “එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහි ව ඉරාන ජාතිකයන් විසින් දියත් කරන ලද මාරක කුමන්ත්‍රන උත්සාහයන් දියුනු අදියරකට පැමින ඇති” බව සහතික කලේ ය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය සෙනසුරාදා ලේඛක නාම හයක් යටතේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, එක්සත් ජනපද නිලධාරීන් “ඉරාන ජාතිකයන් විසින් මැද පෙරදිග සිටින එක්සත් ජනපද තානාපතිවරුන් සහ එක්සත් ජනපද භූමියේ ඇමරිකානු නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කල හැකි” බවට අනතුරු අඟවන බුද්ධි තොරතුරු කෙරෙහි අවධානය යොමු කර ඇති බව වාර්තා කලේ ය. බුද්ධි තොරතුරු “ඉතා රහසිගත ඒවා බැවින් විනිශ්චයකට එලඹීම අතිශය දුෂ්කර” බව පුවත්පත පිලිගත්තේ ය. “සුවිශේෂී කුමන්ත්‍රන පිලිබඳ සාක්ෂි සාකච්ඡා කිරීමෙන් ඔවුන්ට එය තහවුරු කල නොහැකි බව දැන සිටි බැවින්” සමහර නිලධාරීන් මෙම සංදේශය නිකුත් කිරීම ව්‍යාකූලත්වයට පත්කල බව එහි වැඩි දුරටත් සඳහන් විය. වෙනත් වචන වලින් කිවහොත්, එය කිසිසේත් සනාථ නොකල යුද ප්‍රචාරක කෘතියකි.

කිසිදු උත්ප්‍රාසාත්මක ස්වභාවයකින් තොර ව, ටයිම්ස් පුවත්පත තව දුරටත් සඳහන් කලේ, “හමුදාමය ක්‍රියාමාර්ගයක් සාධාරනීකරනය කිරීම සඳහා තෝරාගත් බුද්ධි තොරතුරු යොදාගන්නා කූට උපායක් සම්බන්ධයෙන්, ඉරාකය තවත් එක් අවවාදාත්මක කතාන්දරයක් සපයන” බවයි. ඇත්ත වශයෙන් ම, ඉරානයට එරෙහි ව එල්ල කෙරෙන අපවාදාත්මක චෝදනා දෙස බලන විට, 2003 වසරේ ඉරාකය ආක්‍රමනය කිරීමට පෙර, ආන්ඩුව සහ මාධ්‍ය එක් ව දියත් කල ප්‍රචාරක ව්‍යාපාරයේ දී ද, එයට මනා ව ගැලපෙන ආකාරයට ම, ටයිම්ස් පුවත්පත ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ ය.

මිනීමරු ඉතිහාස ඇත්තේ ද, පදනම් විරහිත චෝදනා එල්ල කරන මෙම ආන්ඩුවලට ම ය. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කර පලමු පැය කිහිපය තුල දී ම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙයිනි ඝාතනය කලේ ය.

ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන්නේ කුමක් සඳහා ද? “සියලු බෝම්බවල මාතෘ” (GBU-43/B Massive Ordnance Air Blast හෙවත් MOAB ලෙස නම් කර ඇති මෙම බෝම්බය, එක්සත් ජනපද හමුදා අවි ගබඩාවේ ඇති, න්‍යෂ්ටික නොවන, GPS තාක්ෂනයෙන් මඟ පෙන්වනු ලබන විශාල ත ම සාම්ප්‍රදායික බෝම්බයයි - පරිවර්තක) ලෙස හැඳින්වෙන GBU-43 වර්ගයේ බෝම්බය ඉරානය මත හෙලීම ද ඇතුලත් වන නව ප්‍රහාරක සැලසුම් එක්සත් ජනපද හමුදාව විසින් සකස් කර ඇති බව CNN පුවත් සේවය ඔක්තෝබර් 15 වන දින වාර්තා කලේ ය.

ට්‍රම්ප් සැලසුම් කරමින් සිටින්නේ, ටෙහෙරානය මතට “සියලු බෝම්බවල මව” හෙලීමට ද? ට්‍රම්ප් න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති ද? ඔහු ගොඩබිම් හමුදා යොදවනු ඇති ද? එක්සත් ජනපදයේ දිගු-දුර මිසයිල සහ සතුරු මිසයිල අතරමග දී විනාශ කරන ප්‍රති-මිසයිල තොග බොහෝ සෙයින් ක්ෂය වී යන පරිදි සිදු කෙරෙන පූර්න පරිමානයේ ගුවන් ප්‍රහාරයකින් පසු ව, ට්‍රම්ප් [ඉරානය] “අතුගා දැමීමට” බලාපොරොත්තු වන්නේ කෙසේ ද?

ට්‍රම්ප් තමා කල තර්ජන, ක්‍රියාවට නංවනු ඇත්දැයි කිසිවෙකුටත් කිව නොහැකි මුත්, ඒවා මගින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු සිටින මංමුලාසහගත බවයි. මාස අටක් පුරා පැවති යුද්ධය හෝ අවහිර කිරීම් මගින් ඉරාන ආන්ඩුව පෙරලා දැමීම, ඉරාන හමුදාව පරාජය කිරීම හෝ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර ගැනීම යන ට්‍රම්ප්ගේ අරමුනු කිසිවක් ඉටු කර ගැනීමට ඔහුට හැකි වී නැත. එහෙත්, යුද්ධය හේතුවෙන් තව දුරටත් උග්‍ර වෙමින් පවතින අර්බුදය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වඩාත් අවදානම් සහගත පියවරයන් වෙත තල්ලු කරමින් තිබේ.

ට්‍රම්ප්ගේ සාපරාධී යුද අරමුනු සාක්ෂාත් කර ගැනීමට ඉඩ සලසා දීමෙහි ලා ඩිමොක්‍රටික් පක්ෂය තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

ඩිමොක්‍රටික් පක්ෂය යුද්ධය පිලිබඳ ව යම් තාක් දුරට හෝ කතා කරන්නේ නම්, ඔවුන් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ ඉන්ධන මිල ගනන් මත එය ඇති කරන බලපෑම ගැන මිස, ඇත්ත වශයෙන් ම සිදුවන දේ හෝ එහි පවතින සාපරාධී ස්වභාවය පිලිබඳ ව නොවේ.  ඩිමොක්‍රටික් පක්ෂයේ සැබෑ කනස්සල්ලට හේතු වී ඇත්තේ, රුසියාවට එරෙහි යුද්ධයේ දී මෙන් ම ඉරානයට එරෙහි යුද්ධයේ දී ද, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමට ට්‍රම්ප් අසමත් ව තිබීමයි.

ඉරිදා CBS නාලිකාවේ “ෆේස් ද නේෂන්” වැඩසටහනට එක්වෙමින්, තමන් “නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් තීරනාත්මක මැතිවරන සටන් ප්‍රධානියා” ලෙස හඳුන්වා ගත් කොලරාඩෝ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් නියෝජිත ජේසන් ක්‍රෝ, “ඉරානය තවමත් පවතින්නේ අනතුරක් ලෙස බව” බව ප්‍රකාශ කලේ ය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් “අදක්ෂයෙකු බවත්, ඔහු අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයින් ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය පියවර නොගන්නා” බවත් ක්‍රෝ වැඩි දුරටත් පැවසී ය.

ඔක්තෝබර් 11 වන දින රුසියාව සහ යුක්‍රේනය අතර බොහෝ දුරට අර්ථ විරහිත “බලශක්ති සටන් විරාමයක්” ට්‍රම්ප් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, සෙනෙට් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී නායක චක් ෂුමර් ඔක්තෝබර් 17 වන දින තම X (ට්විටර්) ගිනුමෙහි මෙසේ ලිවී ය: “මැද පෙරදිග තුල ඉරානයට ඇමරිකානු හමුදා ඉලක්ක කර ගැනීමට උදව් කල ඒකාධිපතියෙකුට ට්‍රම්ප් ආධාර, අනුබල දෙයි.”

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සන්නද්ධ සේවා, විදේශ කටයුතු සහ බුද්ධි කටයුතු පිලිබඳ කමිටුවල ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයින් වන ඇඩම් ස්මිත්, ග්‍රෙගරි මීක්ස් සහ ජිම් හයිම්ස්, යුක්‍රේනයට “ආරක්ෂක, ආර්ථික සහ බුද්ධිමය සහාය” ලබා දීමට ට්‍රම්ප්ට “බල කෙරෙන” ආකාරයේ නීති සම්පාදනයක් ඉදිරියට ගෙන ඒමට ඔක්තෝබර් 20 වන දින පොරොන්දු වූහ.

ට්‍රම්ප්ගේ ප්‍රහාරය දියත් කිරීමට, කොංග්‍රසයේ ඊලඟ රැස්වීමට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ කැමත්ත ලැබෙනු ඇති බවට විශ්වාස කල හැකි ය. ඩිමොක්‍රටික් පක්ෂය යුද්ධයට සහයෝගය දක්වද්දී එහි ඡන්ද පදනම යුද්ධයට දැඩි ලෙස විරුද්ධ වෙයි. මැතිවරනයට පෙර හෝ ඉන් ක්ෂනික ඉක්බිත්තේ ට්‍රම්ප් විසින් නියෝග කරනු ලබන ප්‍රහාරයක්, මැද පෙරදිග ආධිපත්‍යය දැරීම සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම වැනි පොදු අරමුනු සහිත යුද්ධයක් සම්බන්ධයෙන් වන දේශපාලන වගකීමෙන් ඩිමොක්‍රටිකයන් නිදහස් කරයි.

සීඑන්එන් විසින් ඩිමොක්‍රටිකයන්ගේ “සමීපතමයා” ලෙස ඉරිදා දිනයේ දී හඳුන්වා දුන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා, සෙනසුරාදා ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ් වෙනුවෙන් ඩෙට්‍රොයිට් හි පැවති රැලියකට සහභාගී ව තිබීමෙන් ඉස්මතු වී පෙනෙන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයේ යුද-ගැති ස්වභාවය යි.

“මාස හතකට පසු ව, දැන් යුද්ධයේ තත්වය කොහොමද?” යනුවෙන් ඩෙට්‍රොයිට් නුවර දී ඔබාමා ප්‍රශ්න කලේ ය. “අප සතු ව තිබූ මිසයිල තොග ඉතා ම අවදානම් සහගත මට්ටමකට පහත වැටී තිබෙනවා. තව ද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් දැන් ඉරානයට නිෂේධ බලය හිමි වී තිබෙනවා. ... ඒ අනුව, යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ තත්වයට වඩා ශක්තිමත් මූලෝපායික ස්ථානයකයි ඔවුන් දැන් සිටින්නේ.”

ඇමරිකානු ඉතිහාසය තුල, එම ජාතිය යුද වැදී සිටිය දී සම්පූර්න පාලන වාර දෙකක් හෙබ වූ එක ම ජනාධිපතිවරයා ඔබාමා වූ අතර, ඔහුගේ පාලනය, අවම වශයෙන් රටවල් හතක හමුදා මෙහෙයුම් සිදු කලේ ය. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නමැති කඩතුරාවට මුවා වී නීති විරෝධී ලෙස මරා දැමීම සඳහා “ඝාතන ලැයිස්තුවට” එකතු කරන ලද සෑම නමක් ම ඔබාමා පුද්ගලික ව අනුමත කර තිබේ; ඔබාමාගේ වාර දෙක තුල විමර්ශන මාධ්‍ය කාර්යාංශය, පකිස්ථානය, සෝමාලියාව සහ යේමනය යන රටවල එක්සත් ජනපද ප්‍රහාර 563 ක් එල්ල කර ඇති අතර, ඒවායින් බොහොමයක් සිදු කර ඇත්තේ ඩ්‍රෝන යානා මගිනි. එය ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ සිදු කල ප්‍රහාර සංඛ්‍යාව මෙන් දස ගුනයකි.

“ප්‍රගතිශීලී” සෙනෙට් සභා අපේක්ෂක එල්-සයීඩ්, ඔබාමා හඳුන්වා දීමේ දී, තමන්, හිටපු ජනාධිපතිවරයා සමඟ පූර්න ලෙස අනුබද්ධ වෙමින්, “අපි සිට ගෙන සිටින්නේ දැවැන්තයන්ගේ උරහිස් මත” යැයි ප්‍රකාශ කලේ ය.

2012 නොවැම්බරයේ දී එල්-සයීඩ්, “යුද්ධය දිගට ම පවත්වා ගෙන ගිය බවටත්, අපගේ සිවිල් නිදහස උල්ලංඝනය කල බවටත්, තමාට පෙර සිටි වෙනත් ඕනෑ ම ජනාධිපතිවරයෙකුට වඩා වැඩි පිරිසක් රටින් පිටුවහල් කල බවටත්” ඔබාමාට චෝදනා කලේ ය. ඔක්තෝබර් 11 වන දින එන්බීසී නාලිකාවේ “මීට් ද ප්‍රෙස්” වැඩසටහනේ දී මෙම විවේචනය පිලිබඳ ව ඔහුගෙන් යලි විමසූ විට, එල්-සයීඩ් මෙසේ පැවසීය: “එම අදහස් දැක්වීමේ ලිපි ලියූ පුද්ගලයා එවකට තරුනයෙකු වූ මා ය—ඒ කාලයේ මම තරුනයෙකු ව සිටියෙමි.”

ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, යුද්ධයට එරෙහි මහජන විරෝධය ජයගත යුතු ගැටලුවකි. ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ විවිධ කොටස් වෙනුවෙන් කතා කරන ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂය යන දෙපාර්ෂවය ම, මැද පෙරදිග සිට නැගෙනහිර යුරෝපය සහ ආසියාව දක්වා ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා අනුගමනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

අධිරාජ්‍යවාදී යුද්ධය ගෝලීය වශයෙන් පුපුරා යාමෙන් නිර්මානය වූ සමාජ හා ආර්ථික අර්බුදය, කම්කරුවන් සහ තරුනයින් අතර පුලුල් විරෝධයක් අවුලමින් තිබේ. සෙනසුරාදා දිනයේ දී ප්‍රංශය පුරා පුද්ගලයින් 410,000 ක් පෙලපාලිවලට සහභාගී වූහ.

ඔක්තෝබර් 23 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය විසින් නිකුත් කරන ලද, “තරුනයින්ගේ සහ කම්කරුවන්ගේ ගෝලීය නැගිටීම සහ පාලක පන්තියේ යුද උන්මාදය” මැයෙන් වූ ප්‍රකාශය තුල, මහජන විරෝධතා සහ යුද්ධ උත්සන්න වීම “ලෝක ධනවාදයේ එක ම අර්බුදයක” ප්‍රතිඵල ලෙස හඳුනා ගන්නා ලදී. උද්ධමනය, සමාජ සුබසාධන වැඩසටහන්වලට එල්ල කෙරෙන ප්‍රහාර සහ ඩොලර් බිලියන ගනනක මුදලක් යුද්ධය වෙනුවෙන් යෙදවීම යන තත්වයන්, පැරිසියේ මෙන් ම එක්සත් ජනපදයේ ද වර්තමාන ජීවන යථාර්ථයයි.

මැතිවරනවල දී ප්‍රකාශයට පත් වූ විරෝධය තවමත් සංවිධානාත්මක ස්වරූපයක් ගෙන නොමැත. යුද්ධයට එරෙහි අරගලය, කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ විය යුතු ය. මෙහි දී, වැටුප් සහ රැකියා සඳහා වන අරගලය, යුද්ධයට එරෙහි අරගලයත්, එම යුද්ධය බිහි කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලයත් සමඟ සම්බන්ධ කල යුතු ව ඇත.

Loading