ඉදිරිදර්ශන

ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරනයෙන් පසු: ඊලඟට කුමක් ද?

[මෙය After the US midterms: What next? මැයෙන් 2026 නොවැම්බර් 5දා ඉංග්‍රීසි බසින් පල විය.]

2026 නොවැම්බර් 4 බදාදා වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවක දී, නියෝජිත සුසාන් ඩෙල්බෙනේ (ඩිමොක්‍රටික්—වොෂින්ටන්) සහ නියෝජිත කැතරින් ක්ලාක් (ඩිමොක්‍රටික්—මැසචුසෙට්ස්) සමඟ සිටින, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්රීස් (ඩිමොක්‍රටික්—නිව් යෝර්ක්) [AP Photo/J. Scott Applewhite]

මධ්‍යවාර මැතිවරනයේ දී රිපබ්ලිකන් පක්ෂයට අත් වූ දැවැන්ත පරාජය, දශක ගනනාවක් පුරා එක්සත් ජනපදයත් එහි ද්විපක්ෂ ක්‍රමයත් මත ආධිපත්‍යය දරා ඇති දක්ෂිනාංශික දේශපාලන රාමුවට එරෙහි ව වැඩෙමින් පවතින විරෝධය සටහන් කරයි.

නික්සන් ඉල්ලා අස්වීමෙන් පසු පැවති 1974 මැතිවරනයෙන් පසු ව, බලයේ සිටින ජනාධිපතිවරයාගේ පක්ෂය ප්‍රතික්ෂේප කල තියුනු ම අවස්ථාව මෙය යි. අඟහරුවාදා පැවති ජාතික මට්ටමේ නියෝජිත මන්ත්‍රී මන්ඩල ඡන්දයෙන් සියයට 13ක වැඩි ඡන්දයෙන් ජයගත් ඩිමොක්‍රටිකයෝ, අවම වශයෙන් සෙනෙට් සභා ආසන හතක් වැඩිකර ගත්හ. එයින් හයක් ම ට්‍රම්ප් තුන් වරක් ජයගත් ප්‍රාන්තවලින් විය. 

මෙම වෙනස සෑම කලාපයක් ම සහ ජනගහනයේ සෑම කොටසක් ම හරහා පැතිර ගියේ ය. එය වඩාත් ම පැහැදිලි වූයේ, ට්‍රම්ප් තම ඡන්ද පදනම ලෙස හැඳින්වූ පිරිස් අතර ය: එනම් ග්‍රාමීය ප්‍රාන්ත, තරුනයන් සහ විශ්වවිද්‍යාල උපාධි නොමැති කම්කරුවන් අතර ය. ට්‍රම්ප්, මැතිවරනය තමන් පිලිබඳ ජනමත විචාරනයක් බවට පත් කල අතර, දැවැන්ත ලෙස පරාජය විය.

විශාල ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකෙන් පිටත විකල්පයකට ඉඩ නො දෙන දේශපාලන පද්ධතියේ සීමාවන් තුල, මෙම ඡන්දය ඉරානයට එරෙහි යුද්ධයට, උද්ධමනයට, සමාජ අසමානතාවේ ආන්තික මට්ටම්වලට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහි විරෝධය පිලිබිඹු කරයි. එය පසුගිය වසරේ මිලියන ගනනක් සහභාගි වූ “රජවරුන් එපා” (“No Kings”) පෙලපාලි හා 2026 ආරම්භයේ දී මිනියාපොලිස් සහ වෙනත් නගරවල පුපුරා ගිය සංක්‍රමනික හා රේගු බලාධිකාරයේ (අයිස්) ඝාතනවලට එරෙහි මහජන විරෝධතා අඛන්ඩ ව ඉදිරියට යාමකි.

මෙම ඡන්දය පසුගිය මාස දෙක තුල ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, බෙල්ජියම, ස්පාඤ්ඤය හා ජර්මනිය පුරා පැතිර ගිය තරුනයින්ගේ සහ කම්කරුවන්ගේ දැවැන්ත පෙලපාලිවල ජාත්‍යන්තර ව්‍යාපාරයේ කොටසකි. එපමනක් නො ව, ට්‍රම්ප්ට අත් වූ පරාජය, බ්‍රසීලයේ ෆැසිස්ට්වාදී බොල්සොනාරෝගේ පරාජයෙන් සති දෙකකින් පමනක් වෙන් වෙයි.

ට්‍රම්ප්ගේ නින්දා සහගත පරාජය ගැන කම්කරුවන් සහ තරුනයින් අතර සැබෑ උද්දාමයක් පවතී. මෙම කරුන අමතක නොකරන අතර ම, ට්‍රම්ප් තව දුරටත් ධූරයේ සිටින බව සඳහන් කල යුතු ය. ඔහු තවමත් තම ෆැසිස්ට්වාදී න්‍යාය පත්‍රයට කැපවී සිටී. එපමනක් නොව, මැතිවරන ප්‍රතිඵල ඉරානයට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට හේතුවක් ලෙස ට්‍රම්ප් සලකනු ඇතැයි දැනට මත් අනුමාන කෙරේ.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඩේවිඩ් සැන්ගර් අද මෙසේ ලියයි: “හදිසියේ ම ධූරයේ අවසන් කාලයට ඇතුලු වූ ජනාධිපතිවරු, තමන්ගේ සේනාධිනායක භූමිකාව අඩු වී නැති බව පාර්ශවීය ව පෙන්වීමට, බොහෝ විට තමන් සතු මිලිටරි විකල්ප වෙත යොමු වී ඇත.”

සිදුවීම් ඉක්මනින් ම පැහැදිලි කරනු ඇති පරිදි, මහා ජනස්කන්ධයන් පුබුදුවාලන මනෝගතීන් සහ ඩිමොක්‍රටික් පක්ෂය අතර පියවිය නොහැකි පරතරයක් පවතී.

මැතිවරන රාත්‍රියේ සියලු සැමරුම් කතන්දර තිබුන ද, කොන්ග්‍රසයේ බහුතරය ඩිමොක්‍රටිකයන්ට මාරු වීමෙන් පාලක පන්තියේ ප්‍රතිපත්ති මූලික වශයෙන් වෙනස් නො වනු ඇත. යුද්ධ පුලුල් වීම, සමාජ අසමානතාව ඉහල යාම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාර අඛන්ඩ ව පවතිනු ඇත. කම්කරු පන්තිය වමට ගමන් කරන අතරතුර, මූල්‍ය-සංගත කතිපයාධිකාරය අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ හා පන්ති යුද්ධයේ වැඩපිලිවෙල දිගට ම ගෙන යනු ඇත.

ට්‍රම්ප්ගේ ධුර කාල දෙක පුරා ම, ඩිමොක්‍රටිකයෝ ඔහුට විරුද්ධ වීම වෙනුවට ඔහුට සහාය දුන්හ. ද්විපක්ෂ සහයෝගිතාව, “පොදු එකඟතාව” සහ ජනාධිපතිවරයා සමඟ “වැඩ කිරීමට” සූදානම යන ඔවුන්ගේ ස්ථාවරය කිසිදා වෙනස් වී නැත. ට්‍රම්ප් ඇමරිකානු නගරවලට හමුදා යැවූ විටත්, සංක්‍රමනිකයන් සඳහා රැඳවුම් කඳවුරු ඉදි කල විටත්, ඉරානයට එරෙහි යුද්ධයක් දියත් කල විටත් ඔවුහු එය ම පුනරුච්ඡාරනය කලහ.

මෙම වැඩපිලිවෙලට වාමාංශික ආවරනයක් සපයා ගැනීමට ඩිමොක්‍රටිකයෝ ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඩීඑස්ඒ) සාමාජිකයන් මත රඳා සිටිනු ඇත. අඟහරුවාදා, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩීඑස්ඒ සාමාජික සංඛ්‍යාව දෙකේ සිට අට දක්වා ඉහල ගියේ නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා, මිචිගන්, කොලරාඩෝ සහ කැලිෆෝනියාවෙන් අලුතින් තේරී පත් වූ සාමාජිකයෝ හය දෙනෙක් ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් සහ රෂිඩා ට්ලේබ් සමඟ එක් වෙද්දී ය. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිපත්ති කෙරෙහි ඔවුන්ගේ බලපෑම සැලකිය නොහැකි තරම් වනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රී කන්ඩායමේ “මධ්‍යස්ථවාදීන්ගේ” ආධිපත්‍යය උත්කර්ෂයට නංවමින්, නිව් යෝර්ක් ටයිම්ස් මෙසේ සඳහන් කරයි:

ඔවුන්ගෙන් අලුතින් තේරී පත් වූ බොහෝ සාමාජිකයන්, දුරදිග යන දෘෂ්ටිවාදාත්මක අභිලාෂයන් වෙනුවට සාක්ෂාත් කරගත හැකි ප්‍රතිඵල ලබා ගැනීමට ඩිමොක්‍රටිකයන් කටයුතු කල යුතු බව දැනටමත් පැහැදිලි කර තිබේ. නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්‍රටිකයන්ගේ බහුතරය කෙතරම් විශාලද යන්න සැලකූ විට, සාපේක්ෂ ව කුඩා වාමාංශික මන්ත්‍රී කන්ඩායමට තම ප්‍රමුඛතා ඉටු කරවා ගැනීමට බල කිරීමේ හැකියාව සීමා විය හැකි ය.

ඩීඑස්ඒ කන්ඩායම ඩිමොක්‍රටිකයන්ට ආවරනයක් ලෙස ක්‍රියා කරනු ඇත. එහි සාමාජිකයෝ ඩිමොක්‍රටිකයන් ලෙස තරඟ කල අතර, 2023 සිට පැවති සෑම කොන්ග්‍රසයක දී ම ඔකෑසියෝ-කෝර්ටෙස් සහ ට්ලේබ් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මන්ඩල කථානායක අපේක්ෂකයා ලෙස ඡන්දය දුන් හකීම් ජෙෆ්රීස් නායකත්වය දරන මන්ත්‍රී කන්ඩායමක අසුන් ගනු ඇත.

ඩීඑස්ඒහි වඩාත් ප්‍රසිද්ධ තනතුර දරන්නාගේ වාර්තාව, මෙම මාවත කොතැනට යනවාදැයි පෙන්නුම් කරයි. ෆැසිස්ට්වාදී පරිපාලනයට එරෙහි ව මිලියන ගනනක් ජනතාව පෙලපාලි යද්දී, නිව් යෝර්ක්හි ඩීඑස්ඒ නගරාධිපති සොහ්රාන් මම්දානි ධවල මන්දිරයේ දී ට්‍රම්ප් දෙවරක් හමු වී, දේශපාලන සහයෝගිතාව ප්‍රදර්ශනය කරමින් ඔහු නිව්යෝර්ක් නගරාධිපති නිල නිවස වන ග්‍රේසි මැන්ෂන් වෙත පිලිගත්තේ ය.

ඩිමොක්‍රටික් පක්ෂය වෝල් වීදියේ හා පාලක පන්තියේ පක්ෂයකි. එය අන් සියල්ලට ම වඩා බිය වන්නේ ට්‍රම්ප්  කෙරෙහි පහලින් නැගෙන විරෝධයට ය. එය ට්‍රම්ප්ට අඛන්ඩ ව විරුද්ධ වූයේ, යුක්රේනය මැදි කරගෙන රුසියාවට එරෙහි ව ගෙන යන යුද්ධයට පමනි. එහි දී  එක්සත් ජනපදයේ  මැදිහත්වීම තීව්‍ර කරන ලෙස එය ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ ය.

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වී පැය කිහිපයක් ඇතුලත ඩිමොක්‍රටිකයෝ නැවතත් හුරුපුරුදු කතාවට පැන ගත්තෝ ය. “ඇමරිකානු ජනතාව අන්තවාදයට වඩා ආර්ථිකය තෝරාගෙන තිබෙනවා. ඇමරිකානු ජනතාව වෛරයට වඩා බලාපොරොත්තුව තෝරාගෙන තිබෙනවා” යි, ජනවාරි මාසයේ දී නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ කථානායක වනු ඇති ජෙෆ්රීස් ප්‍රකාශ කලේ ය. “[අනෙක් පාර්ශ්වය සමඟ] ද්විපක්ෂ පොදු එකඟතාවක් සොයා ගැනීමට සූදානම් ව සිටින අපට, ඒ සඳහා කැමැත්ත හා හැකියාව තිබෙනවා” යි ඔහු පැවසී ය.

මිලියන ගනනක් ජනතාව “වෛරයට වඩා බලාපොරොත්තුව” වෙනුවෙන් ඡන්දය දුන්නේ නැත. ඔවුහු යුද්ධයට, සමාජ දුක්ඛිතභාවයට හා ඒකාධිපතිත්වයට එරෙහි ව ඡන්දය දුන්හ. එහෙත් ඒකාධිපතියෙකු වීමට කැමැත්තෙන් සිටින්නා සමඟ පොදු එකඟතාවක් සොයමින් වසර දෙකක් ගත කල ජෙෆ්රීස්, එම සෙවීම අඛන්ඩ ව කරගෙන යන බව ප්‍රකාශ කලේ ය.

බැරැක් ඔබාමා ද එම තානයට ම හඬ එක් කරමින්, “මිනිසුන් බෙදනවා වෙනුවට ඔවුන් එක් කරන දේශපාලනයක්” සඳහා කැඳවුම් කලේ ය. ට්‍රම්ප් 2016 දී පලමු වරට තේරී පත් වූ දිනට පසුදා, තරඟය එක ම කන්ඩායමේ දෙපාර්ශ්වය අතර පැවති “අභ්‍යන්තර පුහුනු තරඟයක්” පමනක් බව රටට සහතික කලේ ඔබාමා ය.

ජනාධිපති ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට වසර දෙකක් තිස්සේ කටයුතු කල පක්ෂයකට “ද්විපක්ෂ පොදු එකඟතාවක්” පිරිනැමීම, වෝල් වීදියට දුන් පොරොන්දුවක් වන අතර, වෝල් වීදිය එයට ක්ෂනික ව ප්‍රතිචාර දැක්වී ය. බදාදා ඩව් ජෝන්ස් කාර්මික මිල දර්ශකය ලකුනු 1,570කින්, එනම් සියයට 3කින් ඉහල ගියේ, 2025 අප්‍රේල් මාසයෙන් පසු එහි හොඳම දිනය හා ට්‍රම්ප් නැවත තේරී පත් වූ පසු දෙවැනි හොඳම දිනය වාර්තා කරමිනි.

එය මැතිවරනය පිලිබඳ මූල්‍ය කතිපයාධිකාරයේ තීන්දුව විය. බැංකුකරුවෝ බොලඳ හෝ හැඟීම්බර නො වෙති. සමාජවාදය පසෙකින් තැබුවත්, ඩිමොක්‍රටිකයන් සමාජ ප්‍රතිසංස්කරන පිලිවෙතක් හෝ ක්‍රියාත්මක නො කරන බව ඔවුහු හොඳින් දනිති. මැතිවරනය තමන්ගේ අවශ්‍යතාවන්ට යම් හෝ තර්ජනයක් බව ඔවුන් විශ්වාස කලේ නම්, ඔවුන් මෙසේ සවුදිය පුරන්නේ නැත.

1992 දී බිල් ක්ලින්ටන් තේරී පත් වූ පසු, අයවැය හිඟය අඩු කිරීමේ ප්‍රතිපත්ති පැනවූ ඩිමොක්‍රටිකයෝ, සුබසාධන වැඩසටහන් අහෝසි කලහ. 2008 දී බැරැක් ඔබාමා තේරී පත් වූ පසු, ඔවුහු බැංකුවලට ඇප තබා, අලුතින් බඳවා ගත් මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් අඩකින් අඩු කරමින්, රිපබ්ලිකන්වරුන් සමඟ “මහා කේවලයක්” ඇති කර ගැනීමට උත්සාහ කරමින් සමාජ ආරක්ෂනය කප්පාදු කිරීමට ඉදිරිපත් වූහ. ට්‍රම්ප්ගේ පලමු ධූර කාලයෙන් පසු ජනාධිපති වූ ජෝ බයිඩන්, රුසියාවට එරෙහි යුද්ධය දියත් කොට, ගාසාවේ ජන සංහාරයට ආයුධ සපයා, ට්‍රම්ප්ගේ නැවත තේරී පත් වීමට මාවත සකස් කලේ ය.

මාධ්‍ය තුල ප්‍රමුඛත්වය දරන අනෙක් කතාව වන්නේ, මෙම මැතිවරනය සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිනීමක් සලකුනු කරන බව යි. “ට්‍රම්ප්ට තම තරඟකරු හමු වී ඇත” යන මාතෘකාව යටතේ ලියූ නිව් යෝර්ක් ටයිම්ස් කර්තෘ මන්ඩලය  “ක්‍රමය පවතිනවා” යි ප්‍රකාශ කලේ ය.

මෙයට නොරැවටිය යුතු ය: ට්‍රම්ප් යනු රෝග ලක්ෂනයක් මිස හේතුව නොවේ. බලය මත තම ග්‍රහනය රඳවා ගෙන සිටින මූල්‍ය කතිපයාධිකාරයේ දේශපාලන නියෝජිතයා වන්නේ ඔහු ය.

ඉදිරි කාලයේ පිලිවෙත් හා රාජ්‍යයේ ප්‍රතිචාරය මත බලවේග දෙකක් ආධිපත්‍යය දරනු ඇත. පලමුවැන්න ආර්ථික අර්බුදයයි; එය නව අදියරකට පිවිසෙන බවට බොහෝ සංඥා පවතී. ජාතික නය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ඇති අතර, යුද්ධය මිල ගනන් හා නය ගැනීමේ පිරිවැය ඉහල නංවද්දී, පාලක පන්තිය එහි බර කම්කරු පන්තිය මත පැටවීමට විධානය කරනු ඇත. ජෙෆ් බෙසොස් සතු වොෂින්ටන් පෝස්ට් පුවත්පත බදාදා සිය න්‍යාය පත්‍රය ඉදිරිපත් කරමින්, “පොදු එකඟතාවක් සොයා ගැනීමට ආයාචනා කරන එක් කාරනයක් තිබේ: එය වනාහි ඉදිරියේ ඇති මූල්‍ය අර්බුදය” යි ප්‍රකාශ කලේ, සමාජ වැඩසටහන් පලල් පරිමානයෙන් කප්පාදු කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරමිනි.

දෙ වැන්න ඇමරිකානු අධිරාජ්‍යවාදය වන අතර, කොන්ග්‍රසයෙහි සංයුතිය වෙනස් වීමෙන් එය සන්සුන් බැටලුවෙකු බවට පත් නොවනු ඇත. මැතිවරනය ඉරානයට එරෙහි යුද්ධය අවසන් කරන බවට බොහෝ කතන්දර පැවතුන ද මැද පෙරදිග විශාල පසුබෑමක් දරා සිටීමට පාලක පන්ති‍යෙහි කිසිදු කන්ඩායමක් සූදානම් නැත. එ පමනක් නො ව, ඉරානයට එරෙහි යුද්ධය චීනය සමඟ ගැටුම තීව්‍ර කිරීමත්, ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රධාන ප්‍රමුඛතාව වන යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයත් ඇතුලත් ගෝලීය යුද්ධයක එක් පෙරමුනකි.

මහජන මනෝගතීන් පවතින්නේ ඩිමොක්‍රටික් පක්ෂයට වඩා බොහෝ වමේ ය. මිලියන ගනනක් ජනතාවට යුද්ධය අවසන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම හා තම ජීවන තත්ත්වයන්හි රැඩිකල් වැඩිදියුනුවක් අවශ්‍ය ය. පාලක පන්තියේ සෑම කන්ඩායමක් මෙන් ම වෘත්තීය සමිති නිලධර යාන්ත්‍රනය, ඡන්දයෙන් ප්‍රකාශයට පත්වන්නා වූ ද එයින් පෙරනිමිති පල කරන්නා වූ ද රැඩිකලීකරනය කෙරෙහි භීතියෙන් සිටියි.

දශක ගනනාවක් තිස්සේ, මහ ව්‍යාපාරිකයේ පක්ෂ දෙක, වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය හා සමාජය පන්ති වලට බෙදී පවතින බවමත් ප්‍රතික්ෂේප කල නිල දේශපාලන සංස්කෘතිය ඇමරිකානු සමාජයේ ගැඹුරු පන්ති බෙදීම් යටපත් කර ඇත්තේ ය. මෙම පන්ති බෙදීම් දැන් පුපුරා මතු වීමට පටන් ගෙන ඇති අතර, පුපුරන සුලු බලයකින් යුතු ව ඒවා වර්ධනය වනු ඇත.

ඡන්දය මගින් ප්‍රකාශය අත්පත් කරගත් විරෝධය මැතිවරන කරලිය තුල පමනක්  රැඳී නොසිටිනු ඇත. එක්සත් ජනපදය පන්ති අරගලය තීව්‍ර වන කාල පරිච්ඡේදයකට පිවිසෙමින් සිටී.

මූලික ගැටලුව වන්නේ, අර්බුදයේ පරිමානය සහ කම්කරු පන්තියට අවශ්‍ය නායකත්වයේ වර්ධනය අතර පරතරයයි. යුද්ධයට, අසමානතාවට හා ඒකාධිපතිත්වයට එරෙහි මහජන ව්‍යාපාරයක් සඳහා වන වෛෂයික තත්ත්වයන් වේගයෙන් පරිනත වෙමින් පවතී. එම ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය දේශපාලන විඥානය දැන් පවතින්නේ හැඩගැසීමට පටන් ගන්නා අවදියේ ය.

තම වුවමනාවන් ඉදිරියට ගෙන යාමට නම්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස වර්ධනය විය යුතු අතර, ජාතික සීමා හරහා කම්කරුවන් සමඟ එක්සත් විය යුතු එය, සමාජවාදී හා විප්ලවවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ විය යුතු ය. සමාජවාදයේ ජයග්‍රහනයත් මානව වර්ගයාගේ අනාගතයත් රඳා පවතින්නා වූ අපගේ යුගයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය වන්නේ, කම්කරු පන්තියෙහි විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමයි. 

Loading