[මෙය Democrats rescue War Secretary Hegseth a week after election repudiates war මැයෙන් 2024 නොවැම්බර් 12 දා ඉංග්‍රීසි බසින් පල විය.]
අඟහරුවාදා සවස, ට්‍රම්ප් පාලනයටත් ඉරානයට එරෙහි එහි යුද්ධයටත් එරෙහි දැවැන්ත මහජන ප්‍රතික්ෂේපයක් ප්‍රකාශයට පත් කල මධ්‍යවාර මැතිවරනවලින් සතියකට පසු, ඩිමොක්රටික් පක්ෂය යුද ලේකම් පීට් හෙග්සෙත් දෝෂාභියෝගයෙන් බේරා ගත්තේ ය.
ලේඛන අටකින් යුත් දෝෂාභියෝගය පිලිබඳ ව සෘජු ව ඡන්දයක් පැවැත්වීම වෙනුවට, නියෝජිත මන්ත්‍රී මන්ඩලය 211-204 ක ඡන්දයකින් එම යෝජනාව අධිකරන කාරක සභාවට යොමු කිරීමට තීරනය කලේ ය. එමගින්, “ලේම් ඩක්” සැසිවාරයේ (නොවැම්බර් මැතිවරනයෙන් පසු නව කොංග්‍රසය ජනවාරි මාසයේදී බලයට පත්වීමට පෙර පවතින කාලසීමාව) ඉතිරි කාලය තුල යෝජනාව පිලිබඳ කටයුතු අවසන් කෙරුනි. ඡන්දය ප්‍රකාශ කල සියලු ඩිමොක්රටිකයන් මෙම යොමු කිරීමට විරුද්ධ වූ නමුත් ඩිමොක්රටිකයෝ 11 දෙනෙක් ඡන්දය නොදුන්හ. ඔවුන් සියල්ලන් ඡන්දය දුන්නේ නම්, යෝජනාව 215–211 ලෙස පරාජය වී, දෝෂාභියෝගය ම පිලිබඳ ඡන්දයක් පැවැත්වීමට මන්ත්‍රී මන්ඩලයට සිදු වනු ඇත.
හිටපු කතානායිකා නැන්සි පෙලෝසි ඡන්දයට පැය කිහිපයකට පෙර වොෂින්ටනයෙන් පිටත් ව, “ප්‍රවීනයන් වෙනුවෙන් ජීවිත කාලීන සේවය අගය කරමින් දෙන සම්මානය” ලබා ගැනීමට සැන් ෆ්රැන්සිස්කෝ බලා පියාසර කලා ය. තවත් හතර දෙනෙක් වාහන තදබදයට දොස් පැවරූහ. මිෂිගන්හි නියෝජිත හේලි ස්ටීවන්ස් කිසිදු පැහැදිලි කිරීමක් කලේ නැත. ස්ටීවන්ස්, දින නවයකට පෙර තම පක්ෂයේ අපේක්ශක අබ්දුල් එල්-සයෙද්ට එරෙහි ව, ට්‍රම්ප්ගේ සහාය ලැබූ රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස්ට සෙනෙට් සභාවට තේරී පත්වීම සඳහා සහාය පල කලේ, විශේෂයෙන් ම සයෙඩ් ගාසා ජනසංහාරය පිලිබඳ ව කල විවේචන හේතුවෙනි.
අතුරුදහන් වූ ඩිමොක්රටිකයන් 11 දෙනා අවාසනාවන්ත වාහන තදබදයකට හෝ වැදගත් “ජීවිත කාලීන” සම්මානවලට ගොදුරු වූ බව කියන සියලු ප්‍රකාශ අපරූපනයන් වේ. එම ඡන්දය යුක්රේනයට අරමුදල් සැපයීම පිලිබඳ ඡන්දයක් වූයේ නම්, අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් මරන මංචකයෙන් පවා නැගිටුවා ගනු ඇත.
මෙය ධවල මන්දිරය සමඟ සම්බන්ධීකරනය කල දේශපාලන තීරනයක් වූ අතර, මධ්‍යවාර මැතිවරනවලින් පසු පැවති පලමු ප්‍රධාන දේශපාලන පරීක්ෂාව ද විය. “ද්විපාර්ශ්විකත්වය” යන නාමය යටතේ, ඉරානයේ යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට දේශපාලන පරාජයක් ලබා නො දීමට ඩිමොක්රටිකයන් තීරනය කලේ, රුසියාව සහ මිලිටරි අයවැය පිලිබඳව ධවල මන්දිරය සමඟ ඔවුන් සාකච්ඡා පවත්වමින් සිටිය දී ය.
තමන්ට ලැබී තිබුනේ කුමක්දැයි රිපබ්ලිකන්වරු අවබෝධ කරගත්හ. ප්‍රතිඵලයට “ශ්‍රේෂ්ඨ ඇමරිකානු දේශප්‍රේමියෙකු නිදොස් කිරීමක්” ලෙස ට්‍රම්ප් ප්‍රශංසා කලේ, දෝෂාභියෝගය “දරුනු ලෙස අසාර්ථක වූ” බව ප්‍රකාශ කරමිනි. හෙග්සෙත් ද එදින මුල් කාලයේ පැවති මාධ්‍ය හමුවක දී දෝෂාභියෝග උත්සාහය “කඩාකප්පල්කාරී ක්‍රියාවක්” ලෙස හඳුන්වා, එයට සහාය දුන් අය ද්‍රෝහීන් බවට ඉඟි කලේ ය.
ඡන්දය පිටුපස පැවති ගනන් බැලීම පසුදා නිව්ස්වීක් විශ්ලේෂනයකින් පැහැදිලි කෙරුනු අතර, එහි සිරස්තලය වූයේ “අතුරුදහන් වූ ඩිමොක්රටිකයන් 11 දෙනා පීට් හෙග්සෙත් ද, පක්ෂය පක්ෂයෙන් ම ද බේරා ගත්හ” යන්න යි. එහි කතුවරයා වූ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ශේන් ක්රවුචර් තර්ක කලේ, “හෙග්සෙත් පරීක්ෂා කිරීමට ඩිමොක්රටිකයන්ට දෝෂාභියෝගයේ කලබැගෑනිය අවශ්‍ය නැත” යනුවෙනි. මෙහි “කලබැගෑනිය” යන්නෙන් අදහස් වන්නේ, යුද්ධයට එරෙහි ජනතා විරෝධය දිරිගන්වන හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ද්විපාර්ශ්වික මෙහෙයුම් අවුල් කරන ඕනෑ ම දෙයකි.
දෝෂාභියෝගය වටා සිදු කල උපාමාරු තරයේ ම නරුම විය. සුලුතර නායක හකීම් ජෙෆ්රීස්, හෙග්සෙත්ට දෝෂාභියෝගයක් ගෙන ඒමට තමන් “දැඩි ලෙස පක්ෂ” බව ප්‍රකාශ කල නමුත්, පසු ව ඡන්දය අසාර්ථක වන බව පක්ෂය සහතික කලේ ය. මේ අතර, ආන්ඩුවේ ප්‍රධානියා වන අපරාධකාර ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයකට ඩිමොක්රටිකයන් මුලුමනින් ම විරුද්ධ වී ඇත.
ඩිමොක්රටිකයන් විසින් අහෝසි වී යාමට ඉඩ හල යෝජනාව ඉදිරිපත් කලේ, ඔවුන් නො ව, තෝමස් මැසී ය. මැසී ස්වාධීනතාවාදී රිපබ්ලිකන්වරයෙකු වුවත්, ඩිමොක්රටිකයන් නො කියන දේ ඔහු විධිමත් චෝදනා ලෙස ඉදිරිපත් කරන බැවින්, යෝජනාවේ අන්තර්ගතය වැදගත් ය. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිට ම “නීති-විරෝධී” වූ බව එහි චෝදනා කරයි. යුද්ධයේ පලමු දිනයේ උදෑසන, මිනාබ්හි ප්‍රාථමික පාසලකට ප්‍රහාරයක් එල්ල කර, අවම වශයෙන් ලමුන් 120ක් ඝාතනය කල ඇමරිකානු ප්‍රහාරය විස්තර කරන යෝජනාව, හෙග්සෙත් “සිවිල් වැසියන් ඝාතනය කිරීම සිදු කල” බවට ද චෝදනා කරයි.
කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ බෝට්ටුවලට එල්ල කල ප්‍රහාරවල දී අවම වශයෙන් පුද්ගලයන් 243 දෙනෙකු “අධිකරන ක්‍රියාවලියකින් තොර ව ඝාතනය කිරීම” සම්බන්ධයෙන් ද එය හෙග්සෙත්ට චෝදනා කරන අතර, එයට “නාවික අනතුරකින් දිවි ගලවා ගත් අයට එරෙහි දෙවන ප්‍රහාර” ද ඇතුලත් ය. ජනවාරියේ දී, වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝ අත්අඩංගුවට ගැනීම, “ස්වාධීන රටකට එරෙහි යුද ක්‍රියාවක්” ලෙස හඳුන්වන යෝජනාව, එම ක්‍රියාව සිදු කර ඇත්තේ “වෙනිසියුවේලාවේ තෙල් සංචිත මත එ.ජ. පාලනය තහවුරු කිරීමට” බව ද කියයි. පසුගිය වසරේ, සති අටකට අඩු කාලයක් තුල යේමනයට එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 224 දෙනෙකු ඝාතනය කල බවට ඇස්තමේන්තු කර ඇති බවට ද එය චෝදනා කරයි.
ජූනි 3 සහ ජූනි 23 යන දිනවල, කොන්ග්‍රසයේ සභා දෙක ම, යුද බලතල පනත යටතේ යෝජනාවක් සම්මත කර, එමඟින් ඉරානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කරගන්නා ලෙස ජනාධිපතිවරයාට නියම කල බව ද එය සටහන් කරන අතර, 1973 දී එම නීතිය සම්මත කල පසු මෙවැනි පියවරක් ගත් පලමු අවස්ථාව එය යි. ට්‍රම්ප් පරිපාලනය එය නො සලකා හැරි අතර, ඉන්පසු මාස පහකට ආසන්න කාලයක් යන තුරු, කොන්ග්‍රසයේ ම තීරනය බලාත්මක කිරීමට ඩිමොක්රටිකයෝ කිසිවක් නොකලහ.
මේ කිසිදු භාෂාවක් ඩිමොක්රටිකයන්ගේ මැතිවරන ප්රචාරනයට ඇතුලත් නො වී ය. ඔවුන් යුද්ධය ගැන සඳහන් කල තැන්වල දී, ඔවුන් මුලුමනින් ම පාහේ කරුනු ඉදිරිපත් කලේ, එහි පිරිවැය පිලිබඳ ව පමනි.
සත්‍ය වසයෙන් ම, ඩිමොක්රටිකයෝ යුද්ධයේ අරමුනු සඳහා සහාය දෙන අතර, එය ආරම්භයේ සිට ම අරමුදල් සපයන බව සහතික කර ඇත. 2025 ජූනි මාසයේ දී, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීම සම්බන්ධයෙන්, අල් ග්‍රීන් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනා ඉදිරිපත් කල විට, සමස්ත නායකත්වය ඇතුලු ව ඩිමොක්රටිකයන් 128 දෙනෙක් ඒවා පසෙක තැබීමට ඡන්දය දුන්හ. මේ වසරේ ජනවාරියේ දී, සති පහකට පසු ඉරානයට එරෙහි ප්‍රහාරයට මුදල් සැපයූ ඩොලර් බිලියන 839ක මිලිටරි පිරිවැය විසර්ජන පනතට පක්ෂ ව, මන්ත්‍රී මන්ඩලයේ ඩිමොක්රටිකයෝ 149 දෙනෙක් ඡන්දය දුන්හ.
ඔවුන්ගේ ප්‍රධාන කනිපින්දම වී ඇත්තේ, යුද්ධයේ අරමුනු සාක්ෂාත් කර ගැනීමට ට්‍රම්ප් අසමත් වීම හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ තත්වය ඇතුලු ව, ඉරානයේ තත්ත්වය ශක්තිමත් කර ඇති බවයි. ජූලි 21දා, සෙනෙට් විසර්ජන කමිටු විභාගයක දී මිෂිගන්හි සෙනෙට් සභික ගැරී පීටර්ස් හෙග්සෙත්ට මෙසේ කීවේ ය: “ඔබට මූලෝපායක් නැහැ. මේ යුද්ධය නිශ්චිත ව ම ජය ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඔබට නැහැ. මුලින් ම යුද්ධය ජයගන්න!”
එහෙත් පරිපාලනය සමඟ ඇති ගැටුම්වල දී, ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වය වඩාත් උනන්දු කරන කාරනය වන්නේ, යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයයි. මිනාබ්හි සිදුවීම හෝ කැරිබියන් මුහුදේ බෝට්ටුවලට එල්ල කල ප්‍රහාර ගැන නො ව, යුක්රේන හමුදාවට ලබා දෙන ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා සේවාව සීමා කිරීම ගැන සාක්ෂි දීමට හෙග්සෙත් සෙනෙට් සභාව හමුවට කැඳවිය යුතු බව සෙනෙට් සභික ඇඩම් ෂිෆ් පවසා ඇත. ජූලි මස පැවති එම විභාගයේ දී ම, “යුක්රේනයේ යුද්ධය ජයගත හැකි ඓතිහාසික මොහොතක අප සිටින” බැවින් ඉරානයට වියදම් කිරීම ගැන ඉලිනොයි සෙනෙට් සභික ඩික් ඩර්බින් විරෝධය පල කලේ ය.
හිල් පුවත්පත උපුටා දක්වා ඇති සෙනෙට් සභා ආරංචි මාර්ගවලට අනුව, දෙසැම්බර් 11 වැනිදා පෙන්ටගනයට වෙන් කර ඇති අරමුදල්වල වලංගු කාලය අවසන් වීමට නියමිත ය. ධුර කාලය අවසන් වීමට පෙර පැවැත්වෙන අවසන් සැසිවාරයේ දී ආරක්ෂක කටයුතු පිලිබඳ නීති සම්පාදනය සඳහා තම සහයෝගය ලබා දීමේ කොන්දේසියක් ලෙස, හෙග්සෙත් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් සෙනෙට් සභාවේ ඩිමොක්රටික් සභිකයන් ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, ඩිමොක්රටික් පක්ෂය මෙම තර්ජනය ජනවාරි මාසය දක්වා රඳවා තබා ගැනීමට කැමැත්තක් දක්වයි. එවිට සභා දෙකෙහි ම බහුතර බලය ඔවුන් සතු වනු ඇත. යුක්රේනය සම්බන්ධයෙන් සහ මිලිටරි අයවැය පිලිබඳ ව ධවල මන්දිරය සමඟ සිදු කරන දේශපාලන කේවල් කිරීම්වල දී එය භාවිත කිරීමට ඔවුහු අපේක්ෂා කරති.
ඩිමොක්රටික් පක්ෂය වෝල් වීදියේ හා මිලිටරි-ඔත්තු සේවා යන්ත්රනයේ පක්ෂයකි. ට්‍රම්ප් සමඟ ඔවුන්ට මතභේද පවතින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අභිලාෂයන් වඩාත් හොඳින් ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න ගැන මිස, යුද්ධය දියත් කල යුතු ද නැද්ද යන්න ගැන නො වේ.
මෙම දිශානතිය සමඟ වඩාත් සෘජු ව බැඳී ඇති පක්ෂ කන්ඩායම වන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “සීඅයිඒ ඩිමොක්රටිකයන්” ලෙස නම් කර ඇති කන්ඩායම වන, මිලිටරි හා ඔත්තු සේවා අංශවලින් පැමිනි අපේක්ෂකයන් ය. මේ වසරේ ඩිමොක්රටිකයෝ ඔවුන් 67 දෙනෙකු කොන්ග්රස් මැතිවරනයට ඉදිරිපත් කල හ. ඔවුන්ගෙන් 23 දෙනෙක් නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ආසන දිනා ගත්හ. නැවත තේරී පත් වූ මන්ත්‍රීවරුන් 10 දෙනාට අමතර ව, නව සාමාජිකයන් 13 දෙනෙකු එක් වීමෙන් එම කන්ඩායම සිය කොංග්රස් සභික සංඛ්‍යාව දෙගුනයකටත් වඩා වැඩි කර ගත්තේ ය.
ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඩීඑස්ඒ - ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) සහ කොන්ග්‍රසයේ එහි නියෝජිතයෝ මෙයට දේශපාලනික ආවරනය සපයති. මැතිවරනයෙන් ඩිමොක්රටික් පක්ෂය වමට හැරී ඇති බවත්, එය තව දුරටත් වමට තල්ලු කල හැකි බවත් ඔවුන් කරන කේන්ද්‍රීය ප්‍රකාශය ප්රබන්ධයකි.
මැතිවරනයෙන් පසු, නිව් යෝර්ක් ටයිම්ස් කර්තෘ මන්ඩලයේ සිට බර්නි සැන්ඩර්ස් හා සොහ්රාන් මම්දානි දක්වා සියල්ලන්ගේ හඬ වී ඇත්තේ, “ද්විපාර්ශ්විකත්වය” සඳහා වන ඉල්ලීමයි. එයින් අදහස් වන්නේ, ට්‍රම්ප් හා රිපබ්ලිකානුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි: එනම්, යුද්ධය පිලිබඳ එකඟතාවක් ඇති කර ගැනීමත්, වෝල් වීදියේ නියෝග ඉටු කිරීම සඳහා සමාජ වැඩසටහන්වලට හා කම්කරු පන්තියට එක් ව ප්‍රහාර එල්ල කිරීමත් ය. යුද්ධයට හා අසමානතාවට එරෙහි විරෝධය, වෝල් වීදිය හා ඔත්තු සේවා ඒජන්සි විසින් පාලනය කරන පක්ෂයක් පිටුපසට යොමු කිරීම ඩීඑස්ඒහි කාර්යභාරය වෙද්දී, එම පක්ෂය තුල, තමන් සමාජවාදීන් යැයි කියාගන්නා අයට වඩා සීඅයිඒ ඩිමොක්රටිකයන්ට බොහෝ වැඩි බලපෑමක් ඇත.
මධ්‍යවාර මැතිවරනයෙන් යුද්ධයට, සමාජ අසමානතාවට හා ඒකාධිපතිත්වය කරා යන ධාවනයට කම්කරු පන්තියේ ගැඹුරු විරෝධය ප්‍රකාශයට පත් විය. ඡන්දයෙන් ප්‍රකාශ වූ හැඟීම් සමස්ත දේශපාලන ක්‍රමය සමඟ ගැටුමේ මාවතක පවතී. මෙම ගැටුම පන්ති අරගලය තුලින් ප්‍රකාශයට පත් විය යුතු අතර, එය එසේ වනු ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට හා ආඥාදායකත්වයට එරෙහි සටන ගෙන යා හැකි පදනම වන්නේ, ඒ දෙකෙහි ම මූලය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව, ජාත්‍යන්තර පරිමානයෙන්, කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීමයි.
