මෙම දේශනය Capitalist Crisis, Imperialist War and the World Socialist Revolution මැයෙන් ඩේවිඩ් නෝර්ත් විසින් 2026 නොවැම්බර් 2 වන සඳුදා බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දී පවත්වන ලදී. නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති වේ.
***
2026 මැතිවරනයේ දී ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා හෙට ගනන් කෙරේ. මෙම මැතිවරනය පිලිබඳ ඕනෑ ම බැරෑරුම් විශ්ලේෂනයක ආරම්භක ලක්ෂය විය යුතු ප්රශ්නය නම්: මෙම මැතිවරනය පුරා ම අනෙක් සියලු කාරනා අභිබවා ඉස්මත්තට පැමිනිය යුතු කාරනය කුමක් ද යන්නයි.
මැතිවරනයෙන් පසු ඉරානයට එරෙහි ව “කෙටි, දැඩි යුද ව්‍යාපාරයක්” වනු ඇති අලුත් යුද්ධයකට සූදානම් වන ලෙස වොෂින්ටනය ගල්ෆ් කලාපයේ අරාබි රජයන් කිහිපයකට පැවසූ බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කර ඇත. මධ්‍යම ආඥා මූලස්ථානයේ අනදෙන නිලධාරි අද්මිරාල් බ්‍රැඩ් කූපර් පසුගිය බ්‍රහස්පතින්දා ආරක්ෂක ලේකම් හෙග්සෙත් සහ ජෙනරාල් කේන් සමඟ ජනාධිපතිවරයා හමු වී පෞද්ගලික ව කරුනු වාර්තා කලේ ය. “යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ගුවන් යානා වාහක ප්‍රහාරක කන්ඩායම” සහ “යූඑස්එස් මැකින් අයිලන්ඩ් උභයචර (දිය-ගොඩ දෙකෙහි ම) සූදානම් කන්ඩායම” නොවැම්බර් අග වන විට කලාපයට පැමිනීමට අපේක්ෂා කෙරේ. එ මගින් ගුවන් යානා වාහක සංඛ්‍යාව තුනක් දක්වා ඉහල යා හැකි ය.”
කනෙක්ටිකට්හි සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි, ට්‍රම්ප් පරිපාලනය කිරීමට අදහස් කරන්නේ කුමක් ද යන්න පිලිබඳ ව රහසිගත විස්තරයක් ලබා ගෙන ඇති අතර, ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ “එම සැලැස්ම උන්මන්තක ක්‍රියාවක්. එයින් ඔවුන් අපේක්ෂා කරන අරමුනු සාක්ෂාත් කර ගන්න බැහැ. ඉන් සිදු වනු ඇත්තේ යුද්ධයේ අලුත් වටයක් ඇවිලීම පමනයි” යනුවෙනි. මෙම සැලැස්ම දීර්ඝ හා උත්සන්න වන යුද්ධයක් ඇති කරන බව ඔහු පවසා ඇති අතර, ප්‍රහාර එල්ල කරන ඉලක්ක ලැයිස්තුවට සිවිල් යටිතල පහසුකම් ඇතුලත් බවට තිබෙන වාර්තා සමඟ ඔහු මෙය සම්බන්ධ කර ඇත. තත්වය විස්තර කිරීමට ඔහු “විනාශකාරී උත්සන්න වීම” යන වාක්‍ය ඛන්ඩය භාවිතා කලේ ය.
සාකච්ඡාවට භාජනය වන ඉලක්ක ලැයිස්තු, “පිකැක්ස් කන්ද” නමින් හඳුන්වන භූමියේ ගැඹුරින් පිහිටුවා ඇති ඉදිකිරීම්වල සිට “ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ” අන දෙන නිලධාරීන් ඝාතනය කිරීම දක්වාත්, ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය “කර්මාන්තශාලා, තෙල් පිරිපහදු සහ විදුලි බලාගාර වැනි සිවිල් යටිතල පහසුකම්” ලෙස විස්තර කරන දේ දක්වාත් විහිදේ. මධ්‍යම අන දෙන නිලධාරියාගේ නියෝජ්‍ය අන දෙන නිලධාරියා ලෙස සේවය කල විශ්‍රාමික ඇමරිකානු වයිස් අද්මිරාල්වරයෙක් මෙම ප්රවේශයේ ආකර්ෂනීය භාවය ගැන සම්පූර්න අවංකභාවයෙන් පැහැදිලි කලේ ය: “ඔබ තෙල් පිරිපහදු විනාශ කලොත් .. ඔවුන්ට මෝටර් රථවලට දැමීමට තෙල් නැතිවනු ඇත.” මෙය, “ඇත්තට ම මිලිටරි ඉලක්ක පසුපස හඹා නොයා රට දන ගැස්වීමට හැකි කරවනු ඇත” යනුවෙන් ඔහු පැවසී ය.
ඉරානය මිලියන 90 ක ජනතාවක් සිටින රටකි. සෑම නූතන සමාජයක් මෙන් එහි ද පැවැත්ම රඳා පවතින්නේ විදුලිය මත ය. විදුලිය, පානීය ජලය සපයන අතර මල අපවහන පද්ධතිවල පොම්ප ක්‍රියාත්මක කරයි. එය ආහාර සහ ඖෂධ ශීතකරනය කරයි. එය මහල් නිවාසවල ඉහල මහල් වෙත ජලය පොම්ප කරන අතර රෝහල්වල උපකරන සහ මාතෘ වාට්ටුවල ඉන්කියුබේටර් යන්ත්‍ර (නොමේරූ ලදරුවන් තබන යන්ත්‍ර) ක්‍රියාත්මක කරයි. මිලියන 90 ක ජනතාවක් සිටින රටක විදුලි පද්ධතිය විනාශ කිරීම යනු සංඛ්‍යාව නොදන්නා නමුත් ඉතා විශාල සංඛ්‍යාවක් - සියල්ලටත් වඩා, කුඩා දරුවන්, ඉතා මහලු අය සහ රෝගීන් - ඝාතනය කිරීමයි - එය සිදු කරන්නේ පිපිරීම්වලින් නොව උනසන්නිපාතය, කොලරාව, අතීසාරය සහ දූෂිත ජලයෙන් බෝ වන රෝග මගිනි.
මෙයින් සිදු වන්නේ කුමක්දැයි අපි දනිමු. මන්ද යත්, එක්සත් ජනපදය වසර 35 කට පෙර ඉරාකයට එම දෙය ම කල බැවිනි. 1991 දී “මිඩ්ල් ඊස්ට් වොච්” සඟරාව වාර්තා කලේ “මිත්‍ර පාක්ෂිකයෝ ඉරාකයේ විදුලි පද්ධතිය සම්පූර්නයෙන් ම පාහේ විනාශ කල අතර එයට රටේ ජල විදුලි බලාගාර පහෙන් හතරක් ඇතුලත් විය” යනුවෙනි. ජෙනරාල් ෂ්වාස්කොෆ් ප්‍රකාශ කලේ ඉරාකයේ විදුලි ජනන ධාරිතාවෙන් සියයට 25 ක් “සම්පූර්නයෙන් ම අක්‍රිය කල බවත්” තවත් සියයට 50 ක් පූර්න ධාරිතාවෙන් ක්‍රියා කිරීමට නොහැකි තත්වයට පත් කර ඇති බවත් ය. එහි ප්‍රතිඵලය වූයේ, “ජාතියේ විදුලිය මත යැපෙන පානීය ජල පිරිපහදු සහ මලාපවහන පහසුකම් අඩපන වී, බරපතල සෞඛ්‍ය අනතුරක් ඇති කිරීම වන අතර, රෝහල්වලට “ජෙනරේටර් යන්ත්‍ර මගින් සපයන ලද අක්‍රමවත් විදුලිය සැපයුම පමනක් ඇති ව” හදිසි අවස්ථාවට මුහුන දීමට සිදු වීම ය. සෘජු බෝම්බ හෙලීමෙන් සිදු වූ මරන සංඛ්‍යාව 2,500 සිට 3,000 දක්වා විය හැකි බව වාර්තාව ඇස්තමේන්තු කර ඇති අතර, මෙම සංඛ්‍යාවලට “මන්දපෝෂනය, රෝග සහ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් සිදු වූ සැලකිය යුතු තරම් විශාල මරන සංඛ්‍යාවක් ඇතුලත් නොවේ” යනුවෙන් ද ඔහු පැවසී ය.
මෙම ප්‍රහාරවල ප්‍රතිඵල කල්තියා පුරෝකථනය කර තිබුනි. බෝම්බ ප්‍රහාරය ආරම්භ වී දින පහකට පසු 1991 ජනවාරි 22 දිනැති “ඉරාකයේ පානීය ජල සැපයුමට සිදු වන හානි” නමින් ලේඛනයක් ආරක්ෂක බුද්ධි ඒජන්සිය විසින් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව ඉරාකයට එහි ජලය පිරිසිදු කිරීමේ ක්‍රම විනාශ කිරීම නිසා සහ රෝග පැතිරීමේ ඉඩකඩ තක්සේරු කලේ ය. සිවිල් ජනගහනයකට ජල සැපයුම අහිමි කිරීම නිසා සිදුවන හානි කල් තියා අධ්‍යයනය කර තිබුනි.
1991 දී ඉරාකයේ ජනගහනය මිලියන 18 ක් පමන විය. ඉරානයේ මිලියන 90 ක් ජීවත් වෙති. සූදානම් කරමින් පවතින්නේ ඉරාකයේ සිදුකලාක් මෙන් පස් ගුනයක පරිමානයකින් විශාල වූ එක ම වර්ගයේ මෙහෙයුමක් වන අතර, එය කරන්නේ දැනටමත් මාස අටක බෝම්බ හෙලීම් සහ නාවික අවහිර කිරීම් විඳ දරාගත් ජනගහනයකට එරෙහි ව ය. එය සිවිල් ජනගහනයක ජීවන තත්වයන් හිතා මතා ම විනාශ කිරීමක් වන අතර, එය, ඉදිරියට තෝරා ගැනීමට තිබෙන විකල්ප ක්‍රියා මාර්ගවලින් එකක් හැටියට ඇමරිකානු පුවත්පත්වල සාකච්ඡා කෙරෙමින් පවතී. 1948 දී සම්මත කල ලෝක ජන සංහාර සම්මුතිය “ජන සංහාරයක්” ලෙස අර්ථ දක්වන්නේ, ජනතාවකගේ භෞතික විනාශය අරමුනු කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්වයන් මත හිතා මතා ම ප්‍රහාර එල්ල කිරීමයි. ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක් ව එම පරිමානයේ ම ජන සංහාරක යුද්ධයක් සූදානම් කරමින් සිටී.
ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීම පිලිබඳ ප්රශ්නය මතු කර තිබේ. ඔක්තෝබර් 15 වන දින ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ පැවසී ය: “මම න්‍යෂ්ටික අවි භාවිතා නොකරමි. අපට එසේ කිරීමට අවශ්‍ය නැත. අපි ලෝකයේ ශ්‍රේෂ්ඨ ත ම න්‍යෂ්ටික බලවතා වෙමු.” නමුත් අප්‍රේල් මාසයේ දී, ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ දී, “අද රාත්‍රියේ මුලු ශිෂ්ටාචාරයක් ම මිය යනු ඇති බවත්, එයට නැවත කිසිදා නැගී සිටීමට නොහැකි වනු ඇති බවත්” ඔහු නිවේදනය කල අතර, “විදුලි බලාගාර වනසන දිනය සහ පාලම් වනසන දිනය, යන සියල්ල එකට එකතු කර” තනි බෝම්බ හෙලීමක් සිදු කරන බවට ඔහු පොරොන්දු විය. සැප්තැම්බර් මාසයේ දී, එක්සත් ජාතීන්ගේ මහා මන්ඩල සැසිවාරයේ වේදිකාවේ සිට, ඔහු ප්‍රකාශ කලේ ඉරානය “විනාශ” කල හැකි බවයි. සමූල ඝාතන තර්ජනය ඔහු විසින් නැවත නැවතත් ප්‍රසිද්ධියේ කර ඇත.
සිවිල් ජනතාවට එරෙහි ව න්‍යෂ්ටික අවි භාවිතා කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය පමනි. න්‍යෂ්ටික බෝම්බ දැමීමට නියෝගය ලබා දුන්නේ ඩිමොක්රටික් ජනාධිපතිවරයෙකු විසින් වන අතර, එම අවිය දෙවරක් ම භාවිතා කරන ලදී; එනම් හිරෝෂිමා සහ නාගසාකි යන ජපාන නගර වලට එරෙහි ව ය. මිසූරි හි ඉන්ඩිපෙන්ඩන්ස් නම් ප්‍රදේශයෙන් පැමිනි හිටපු රෙදි වෙලෙන්දකු වූ හැරී ටෲමන් ජනාධිපති පැවසුවේ එම නියෝගය ලබා දීමට තමා රාත්‍රියේ නින්ද නැති කර නොගත් බවයි (එනම් මොහොතකදු සිතීමට පසුබට නොවූ බවයි). ටෲමන්ගේ ක්‍රියාව ගැන නැවත කල්පනා කල දෙ වන ලෝක යුද්ධයට සහභාගි වූ ඉතිහාසඥයකු වන ගේබ්‍රියෙල් ජැක්සන් 1999 දී මෙසේ ලිවී ය:
“1945 අගෝස්තු මාසයේ විශේෂිත තත්ත්වයන් තුල, පරමානු බෝම්බය භාවිතයෙන් පෙන්නුම් කලේ මනෝවිද්‍යාත්මක ව ඉතා සාමාන්‍ය සහ ප්රජාතන්ත්රවාදී ලෙස තේරී පත් වූ ප්‍රධාන විධායක නිලධාරියෙකුට ද, නාසි ඒකාධිපතියා භාවිතා කරන ආකාරයට ම එම අවිය භාවිත කල හැකි බවයි. මේ ආකාරයෙන්, විවිධ ආන්ඩු වර්ගවල හැසිරීමේ සදාචාරාත්මක වෙනස්කම් ගැන සැලකිලිමත් වන ඕනෑ ම කෙනෙකුට, එක්සත් ජනපදය විසින් ෆැසිස්ට්වාදය සහ ප්රජාතන්ත්රවාදය අතර වෙනස බොඳ කරන ලදී.”
ඉරානයට එරෙහි ව එ වැනි ආයුධ භාවිතා කිරීම සමූහ ඝාතනයක් වනු ඇත - ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්, බොහෝ විට මිලියන ගනනක්, එක් සවසක දී මරා දමනු ලබන අතර, දිවි ගැලවුනු අය පිලිස්සුම්, විකිරන රෝග සහ තවමත් ඉපදී නොමැති දරුවන්ට සම්ප්‍රේෂනය වන ජානමය හානිවලින් පීඩා විඳවමින් ඉතිරි වෙති. එය භෞතික යථාර්ථය පමනි.
මෙහි දෙවන ප්රතිවිපාකයක් ද තිබේ. එය, අද මෙම කාමරයේ සිටින අප සෑම කෙනෙකුට ම අදාල වේ. ජන සංහාරයට වගකිව යුතු වන්නා වූ රටේ පුරවැසියන් ලෙස, ඔබට ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට සිදුවනු ඇත. හිරෝෂිමා සහ නාගසාකි වලින් වසර අසූවකට පසුවත්, එහි සිදු වූ දේ සාධාරනීකරනය කිරීමට දරන උත්සාහයන් තවමත් ඇමරිකානු දේශපාලන හා බුද්ධිමය ජීවිතය විකෘති කරයි; එය අවශ්‍ය වූ දෙයක් ය යන මුසාව සෑම පරම්පරාවකට ම නැවත නැවත පැවසිය යුතු ය, මන්ද සත්‍යය දරාගත නොහැකි බැවිනි. දැන් සලකා බලමින් පවතින ක්‍රියාව කලින් අපරාධයටත් වඩා මහා පරිමාන එකක් වන අතර එය කිසි දා අමතක නොකරනු ඇති ලෝකයක ඇස් පනාපිට ම සිදු කිරීමට යන අතර එයින් යථා තත්ත්වයට පත්වීමක් කිසි දා සිදු නොවනු ඇත. එය රටක් හැටියට එක්සත් ජනපදයේ සදාචාරාත්මක බිඳී විසිර යාම සනිටුහන් කරනු ඇත. ඔබ ඔබෙන් ම අසා ගත යුතු ප්රශ්නය නම්, එය සිදුවීම වැලැක්වීමට අප කුමක් කල යුතු ද යන්නයි.
මා දැන් විස්තර කල සියලු දේ ප්‍රසිද්ධ කාරනා ය. ඒවා වෝල් ස්ට්‍රීට් ජර්නලයේ, ෆිනෑන්ෂල් ටයිම්ස් හි සහ ඇක්සියෝස් හි ද වාර්තා කර ඇත. ජනාධිපතිවරයා රූපවාහිනියට පවසා ඇත්තේ “එය අවසන් කල යුතු ද” යන්න තීරනය කරමින් සිටින බවයි. එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ සැලැස්ම උන්මත්තක ක්‍රියාවක් බවයි.
හෙට ඡන්දයෙන් පසු දා ම, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මරා දැමිය හැකි යුද්ධයක් නැවත ආරම්භ කිරීම ජන මාධ්‍ය තුල සැලසුම් කර ඇත.
මේ අතිශය වැදගත් කාරනය ගැන මැතිවරන ප්රචාරක ව්‍යාපාරයේ සඳහනක් වත් නැත. මෙම මැතිවරනය පිලිබඳ වඩාත් ම විශ්මය ජනක කරුන එයයි. පක්ෂ දෙකෙහි ම ඒ පිලිබඳ ව බරපතල විවාදයක් සිදු වී නොමැත. එය මැතිවරනයේ කේන්ද්‍රීය ප්රශ්නය බවට පත් කර නොමැත. මැතිවරනය යුද්ධය පිලිබඳ ජනමත විචාරනයක් බවට පත් කරන ලෙස කිසිදු සැලකිය යුතු දේශපාලකයෙක් ඉල්ලා නැත.
මෙය 1968 සිද්ධීන් සමඟ සසඳන්න. එම වසරේ දී, වියට්නාම් යුද්ධය ඇමරිකානු දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය කාරනය විය. එම යුද්ධයට එරෙහි වීම නිසා මාර්තු 31 වන දින ධුර කාලය නිම වීමට පෙර ඩිමොක්රටික් ජනාධිපතිවරයෙකු තරඟයෙන් ඉවත් කරන ලදී. අපේක්ෂකයින් දෙදෙනෙකු වන ඉයුජින් මැකාති සහ රොබට් කෙනඩි, යුද්ධයේ විරුද්ධවාදීන් ලෙස පැහැදිලි ව ම ඩිමොක්රටික් නාමයෝජනා සඳහා තරඟ කලහ. මාටින් ලූතර් කිං සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ කේන්ද්‍රයේ සිටිමින් යුද විරෝධය සංවිධානය කලේ ය. 1968 අප්‍රේල් මාසයේදී කිං ඝාතනය කරන ලදී; ජුනි මාසයේ දී රොබට් කෙනඩි ඝාතනය කරන ලදී. අගෝස්තු මාසයේ දී චිකාගෝ හි පැවති පක්ෂ සමුලුව වටලන ලද අතර, නියෝජිතයින් ශාලාව තුල සාමය ඉල්ලන පුවරුවක් පිලිබඳ ව විවාද කරමින් සිටිය දී, පොලිසිය පිටත වීදිවල විරෝධතාකරුවන්ට පහර දුන්නේ ය.
අද එ වැනි කිසිවක් නැත. හමුදා සහ බුද්ධි අංශවලින් අපේක්ෂකයින් 67 දෙනෙකු ඉදිරිපත් කරන ඩිමොක්රටික් පක්ෂය, යුද්ධයට විරුද්ධ වී නැති අතර අනාගතයේ දී එයට විරුද්ධ වන්නේ ද නැත. නිව්යෝර්ක් නගරාධිපති ධුරයත් කොංග්‍රසයේ ආසනත් හිමි, මේ රටේ රැඩිකලීකරනය වූ තරුනයින් වෙනුවෙන් පෙනී සිටින බව කියන සංවිධානයක් වන ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදීන්) (DSA) සංවිධානය ද මෙම කාරනය මැතිවරනයේ මාතෘකාව බවට පත් කර නැත. යුද්ධය ආරම්භ වී මාස හතරකට පසු මේ වසරේ ජූලි මාසයේ දී නිකුත් කරන ලද ඔවුන්ගේ ජාතික වැඩසටහනේ ඉරානයට එරෙහි යුද්ධය ගැන කිසිවක් ම සඳහන් නොවේ. එහි න්‍යෂ්ටික අවි ගැන සඳහන් නොවේ. එහි අධිරාජ්‍යවාදය ගැන සඳහන් නොවේ.
නමුත් මෙම යථාර්ථය නොතකා හැරීම තිබිය දී ත්, එක්සත් ජනපදය, සිවිල් යුද්ධය සමයේ පැවැති අර්බුදය පවා ඉක්මවා යන අර්බුදයකට ඇද වැටෙමින් පවතින බවට පුලුල් හැඟීමක් ජනයා අතර පවතී. මෙම පොදු හැඟීම දේශපාලනික ව ප්‍රකාශයට පත් නොවිය හැකි නමුත්, එය ඇමරිකානු සහ ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය තුල පදනම් වී ඇත.
I. ආර්ථික අර්බුදය
ඇමරිකානු කතිපයාධිකාරය පිටුපස හොල්මන් කරන බියකරු මූල්‍ය සිහිනය නම්, ඇමරිකානු ආර්ථික වර්ධනයේ සමස්ත ව්‍යුහය ම, දැනටමත් බිඳ වැටීමට පටන් ගෙන ඇති, ඊනියා “කෘතිම බුද්ධිය” තුල මුදල් ආයෝජනය කිරීමේ සමපේක්ෂන උන්මාදය මත රඳා පැවතීම ය.
එක් කාර්තුවක් ( මාස 3 ක්) තුල පමනක්, ඇමසන් සමාගමෙහි ප්‍රාග්ධන වියදම් ඩොලර් බිලියන 75 ඉක්මවා ගිය අතර එය ඊට කලින් මුලු අවුරුද්දේ ම ප්‍රාග්ධන වියදම් වලට වඩා දෙගුනයකටත් වැඩි ය. පසුගිය වසර තුල එහි මෙහෙයුම් මුදල් ප්‍රවාහය ඩොලර් බිලියන 168.3 ක් වූ අතර දැන් එය සියයට 29 කින් ඉහල ගොස් ඇත -මෙය පියවීමට ඇති නිදහස් මුදල් ප්‍රවාහය ඩොලර් බිලියන 42.4 ක් පමනක් විය. මෙටා සමාගම (ෆේස්බුක් ජාලය) ප්‍රසිද්ධ සමාගමක් හැටියට කොටස් වෙලෙඳ පොලට පිවිසි 2012 වර්ෂයෙන් පසු පලමු වරට නිදහස් මුදල් ප්රවාහයේ සෘන අගයක් වාර්තා කලේ ය. 2025 දී ඩොලර් බිලියන 72 ක ප්‍රාග්ධන වියදමක් කල මෙටා සමාගම මෙම වසර සඳහා ඩොලර් බිලියන 135 සිට ඩොලර් බිලියන 145 දක්වා වියදම් කරයි.
මෙම වියදම් එදිනෙදා ඉපැයීම් වලින් මූල්‍යකරනය කල නොහැක. මෙම ප්‍රාග්ධන වියදම් වලින් වැඩි කොටසක් කිසි දා ආපසු අය කර ගත නොහැකි වනු ඇත. වෙලඳපොලේ ක්රියාකාරකයන් මෙය තේරුම් ගැනීමට පටන් ගෙන තිබේ. තමන්ගේ ගිනුම්වල ඩොලර් බිලියන 9 ක පමන නිදහස් මුදල් ප්‍රවාහ හිඟයක් තිබෙන බව හෙලි කිරීමෙන් පසු ඇල්ෆබට් සමාගමේ (ගූගල් හිමිකාර සමාගමේ) වෙලඳපොල වටිනාකම ඩොලර් බිලියන 482 කින් පහල වැටුනු අතර එය දැනට වාර්තා වී ඇති දෙවන විශාල ත ම පහල වැටීමයි. සිකුරාදා නැස්ඩැක් කොටස් මිල දර්ශකය සියයට 2.86 කින් පහත වැටුනි; ඉන්ටෙල් සමාගමේ කොටස් අගය සියයට 28.6 කින් පහත වැටුනි; චිප් නිෂ්පාදන සමාගම්වල (අර්ධ සන්නායක) දර්ශකය සියයට 7.2 කින් පහත වැටුනු අතර, එය මාසික ව සියයට 15 කට වඩා වැඩි පහල වැටීමකි.
මෙය සිදුවන්නේ කොටස් වටිනාකම්වල කිසි දා නොවූ විරූ වෙනස් වීම් මධ්‍යයේ ය. තාක්ෂන සමාගම්වල කොටස් දැන් “S&P 500” දර්ශකයේ සියයට 39.3 කට ම වග කියයි. විශාල ත ම සමාගම් 15 ක කොටස්, දර්ශකයේ මුලු වෙලඳපොල වටිනාකමෙන් වාර්තාගත සියයට 46.7 ක් නියෝජනය කරයි; ඩොට්-කොම් බුබුලේ උච්ච ත ම අවස්ථාවේ දී, එම අගය සියයට 27.2 ක් විය. විශාල ත ම සමාගම් පහේ ඒකාබද්ධ ප්රාග්ධනීකරනය පහලම සමාගම් 434 හි ප්රාග්ධනීකරනයට සමාන වේ. සියලු සමාගම් වල සමස්ත වෙලඳපොල ප්රාග්ධනීකරනය, රටේ දල දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ගත් විට, පසු ගිය සැප්තැම්බර් අග දී සියයට 243 ක් වූ අතර එය 2000 මාර්තු මාසයේ දී තිබුනේ සියයට 175 ක මට්ටමේ ය.
වර්ෂ 2000 දී, තම කොටස්වල මිල මෙන් 10 ගුනයකට වඩා වැඩි ආදායම් මට්ටමක් පැවතුනේ, (S&P දර්ශකයට ඇතුලත්) සමාගම්වලින් සියයට 15 ක් තුල පමනකි; අද වන විට එය සමාගම්වලින් සියයට 40 ක් තුල ම පවතී. ආන්තික නය (එනම්, කොටස් වෙලෙඳ පොලේ ආයෝජනය කිරීම සඳහා පුද්ගලයන් සහ සමාගම් බැංකු වලින් ලබා ගන්නා කෙටි කාලීන නය) ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.5 කි. ජාතික නය ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවා ගොස් ඇති අතර, වසර 10 ක භාන්ඩාගාර බිල්පත් වල ප්‍රතිලාභය (yield) සියයට 4.9 කට ආසන්න වන අතර, ෆෙඩරල් සංචිත බැංකුව පොලී අනුපාත තව දුරටත් වැඩි කිරීම පිලිබඳ ව සාකච්ඡා කරමින් සිටී.
මේ අතර, ඇමරිකානුවන්ගෙන් ධනවත් ම සියයට 1 න් දහයෙන් පංගුවක් දැන් මුලු ගෘහස්ථ ධනයෙන් සියයට 15 ක් වාර්තාගත ලෙස හිමිකර ගනී. සමස්ත ඇමරිකානු ජනගහනයෙන් පහල අර්ධය යන්තම් සියයට 2 ක් හිමිකර ගනී. ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ම පාරිභෝගික මූල්‍ය සමීක්ෂනයෙන් පෙන්නුම් කරන්නේ 2022 සහ 2025 අතර ආදායම් ව්‍යාප්තියේ ඉහල ම සියයට 10 ක පවුල්වල සැබෑ මධ්‍යන්‍ය ධනය සියයට 31 කින් ඉහල ගිය බව සහ පහල සියයට 20 ක පවුල්වල සැබෑ මධ්‍යන්‍ය ධනය සියයට 6 කින් පහත වැටී ඇති බවයි.
කිසිදු මැතිවරන අපේක්ෂකයෙකු සාකච්ඡා කර නොමැති ආර්ථික යථාර්ථය මෙයයි. ජනවාරි මාසයේ දී කොංග්‍රසය පාලනය කරන්නේ කුමන පක්ෂයක් වුව ද, මූල්‍ය කතිපයාධිකාරයට ඇප දීම පක්ෂ දෙක ම කරනු ඇති අතර, එය කම්කරු පන්තියේ සමාජ තත්වයන් කප්පාදු කර දැමීමෙන් ගෙවනු ලැබේ.
II. කෘතිම බුද්ධිය: සූදානම් වෙමින් පවතින සමාජ ව්‍යසනය
ඒඅයි බුබුල පුපුරා යාම ඩොලර් ට්‍රිලියන ගනනක කඩදාසි වටිනාකම් සහ මිලියන සංඛ්‍යාත ජනතාවගේ ඉතිරි කිරීම් විනාශ කරනු ඇත. නමුත් මෙය හුදු මූල්‍යමය සංසිද්ධියක් ලෙස පමනක් සැලකීම බරපතල දෝෂයක් වනු ඇත. වඩාත් මූලික ප්‍රශ්න වන්නේ, මෙම තාක්ෂනය කුමක් ද, එයින් අද කරනු ලබන්නේ කුමක් ද සහ එය තිබෙන්නේ කාගේ අතේ ද යන්නයි.
මේ විෂය වටා විශාල අභිරහසක් ගොඩ නගා ඇත. පලමු ව, “කෘතිම බුද්ධිය” යන යෙදුම, එම තාක්ෂනයේ ස්වභාවය සහ එය විසින් නිපදවන දේ ව්‍යාජ ලෙස අර්ථ දක්වයි. එය ප්ලාස්ටික් මල්, කෘතිම ආභරන, වයසක මුහුනු තරුන කිරීම, සිනමාව හෝ රූපවාහිනිය හෝ චිත්‍රපටි සඳහා කල්තියා පටිගත කරන ලද සිනහව ආදිය මෙන් හෝ බර්නි සෑන්ඩර්ස්, ඔකාසියෝ-කෝර්ටෙස් සහ සොහ්රාන් මම්දානිගේ ව්‍යාජ සමාජවාදය මෙන් “කෘතිම” දෙයක් නොවේ.
ඒඅයි තාක්ෂනය වනාහී මානව බුද්ධිමය ශ්‍රමයේ විද්‍යාත්මක ප්රතිනිෂ්පාදනය (reproduction) සහ ආවර්ධනයයි. (augmentation) එය ගොඩනැගී ඇත්තේ මනුෂ්‍ය වර්ගයා සතු සමුච්චිත දැනුමෙනි - සෑම පොතක් ම, පාඨයක් ම, සෑම රූපයක් ම, සෑම විද්‍යාත්මක පත්‍රිකාවක් ම, පරම්පරා ගනනාවක සාමූහික ශ්‍රමය මගින් නිපදවන ලද සෑම පරිගනක කේත පේලියක් ම ඒ තුල අඩංගු වේ. AI මගින් විසඳන ලද ගනිතමය ගැටලු සහ AI යෙදීමෙන් නිර්මානය කරන ලද ඖෂධ කිසිවක් කෘතිම නොවේ.
මාක්ස්, ගෘන්ඩ්රීසයේ දී, සාමාන්‍ය බුද්ධිය (general intellect) ලෙස හැඳින් වූ දෙය අනාගතයේදී මතුවීම අපේක්ෂා කලේ ය: එනම්, නිෂ්පාදන උපකරන ලෙස පෙනී සිටින සමස්ත සමාජයේ සමුච්චිත විද්‍යාත්මක හා තාක්ෂනික දැනුමයි. දැන් එකලස් කර තිබෙන්නේ එයයි. එසේ ම එය, සංගත කීපයක් විසින් තම පෞද්ගලික දේපලක් ලෙස අයිති කර ගෙන තිබේ.
මානව නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීමේ ඉතිහාසය තුල, වඩාත් ම වැදගත් වර්ධනයන් අතර AI තිබේ. 1926 දී ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේ ධනවාදය යටතේ පරිපීඩනයේ මාධ්‍යයක් වන තාක්ෂනය, සමාජවාදය යටතේ මානව වර්ගයා දැඩි වෙහෙස මහන්සියෙන් නිදහස් කිරීමේ මාධ්‍යයක් බවට පත්වන බවයි. AI විසින් මතු කරන ලද ප්රශ්නය එය පැවතිය යුතු ද නැද්ද යන්න නොවේ. එහි සොයා ගැනීම සහ සංවර්ධනය මගින් ම එයට පිලිතුරු ලබා දී ඇත. ප්රශ්නය වන්නේ එය අයිති කාට ද, එය කුමක් සඳහා භාවිතා කරන්නේ ද යන්න තීරනය කරන්නේ කවුද සහ එහි ප්‍රතිවිපාක දරන්නේ කවුද යන්නයි.
මෙම වසරේ මුල් මාස පහ තුල එක්සත් ජනපදයේ රැකියා කප්පාදු 400,000 කට ආසන්න ප්‍රමානයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, සේවා යෝජකයින් විසින් ඊට ප්‍රධාන හේතුව ලෙස AI උපුටා දක්වා ඇත. දශක ගනනාවක විද්‍යාත්මක ප්‍රගතිය, කීප වසරකට සම්පීඩනය කල හැකි මේ තාක්ෂනය, ඒ වෙනුවට යොදා ගෙන ඇත්තේ රැකියා නැති භංග කිරීමට, ඉතිරි වී සිටින අයගේ සූරා කෑම තීව්ර කිරීමට සහ ඔවුන් වැඩ කරන අතරතුර නිරීක්ෂනය කිරීමටයි.
මෙම තාක්ෂනය තවත් කුමක් සඳහා භාවිතා කරන්නේ ද යන්නත් අප අමතක නොකල යුතු ය. ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ පලමු පැය 24 තුල ඉලක්ක 1,000 කට පමන පහර දීමට පැලන්තිර් සමාගමේ Maven නමැති AI පද්ධතිය භාවිතා කර ඇති බව වාර්තා වේ. රෝග සුව කිරීම වේගවත් කල හැකි බව එහි ප්‍රවර්ධකයින් පවසන එම තාක්ෂනය ම මේ මොහොතේ මිලියන 90 කට වඩා වැඩි ජනතාවක් සිටින රටක් විනාශ කිරීම සඳහා ඉලක්ක ලැයිස්තු සකස් කිරීම සඳහා පාවිච්චි කරමින් සිටී. බටහිර ලෝකයේ ප්රාග්ධනය උරා ගනිමින් සිටින දත්ත මධ්‍යස්ථාන (data centres) වානිජ්‍යයේ මෙන් ම යුද්ධයේ ද යටිතල පහසුකම වේ.
මෙම අර්බුදයට ප්රතිසංස්කරනවාදී විසඳුමක් නොමැත. AI මත බද්දක් පැනවීම මගින්, නිෂ්පාදනය කරන්නේ කුමක් ද සහ රැකියාවලින් දොට්ට දමනු ලබන්නේ කවුරුන්ද යන්න තීරනය කරන්නේ කවුද යන්න වෙනස් නොකරයි. සෙනෙට් සභික සෑන්ඩර්ස් රජය යටතේ “ඒඅයි සඳහා ස්වෛරී ධන සම්පත් අරමුදලක්” බිහි කිරීමට යෝජනා කරයි, ඒ යටතේ රජය පුද්ගලික, ලාභය මත පදනම් වූ සහ තාක්ෂනයේ අනසක යටතේ පවතින සංස්ථාවල කොටස් මිලට ගනු ඇත; කම්කරුවන්ට කිසිවක් අයිති නැති අතර ඔවුන්ට කිසිවක් තීරනය කිරීමට ද නොලැබේ. එසේ ම යෝජනා කර තිබෙන සැමට ම සහතික කල මූලික ආදායමක් ලබා දීම ද විසඳුමක් නොව සදාකාලික සමූහ විරැකියාව කලමනාකරනය කිරීමකි, රැකියා අහිමි කල රාජ්‍යය විසින් ඔවුන්ට යැපුම් දීමනාවක් ගෙවීමකි - මෙම සෑම යෝජනා ක්‍රමයක් ම අහෝසි කල යුතු වන්නා වූ දෙය ස්ථිර ලෙස පවතින්නා වූ දෙය ලෙස පිලිගනී.
මෙම තාක්ෂනයේ හිමිකරුවා කවුද, එය මෙහෙය වන්නේ කවුද යන ප්‍රශ්න නීති සම්පාදනය, නියාමනය හෝ බදුකරනය මගින් විසඳිය නොහැක. එය දේශපාලන බලය දරන්නේ කුමන පන්තිය ද යන්න පිලිබඳ ප්රශ්නයකි. තාක්ෂන ඒකාධිකාරයන් ජනසතු කිරීම - ඒවා මහජන උපයෝගිතා බවට පරිවර්තනය කිරීම, වැඩි වූ ඵලදායිතාවයේ ප්‍රතිලාභය වැටුප් අහිමි වීමකින් තොර ව කෙටි වැඩ සතියක් බවට පරිවර්තනය කිරීම, සහ මෙම දැවැන්ත නිෂ්පාදන බලවේග ප්රජාතන්ත්රවාදී ව සැලසුම් කරන ලද ලෝක ආර්ථිකයකට යටත් කිරීම - ආදිය එම ඒකාධිකාරයන් විසින් අරමුදල් සපයන ලද කොංග්රසයකට හෝ මිලිටරි සහ බුද්ධි අංශ ඔවුන්ගේ විශාල ත ම ගනුදෙනුකරුවන් වන ධනේශ්වර රාජ්‍යයක් ලවා නීතිගත කරවා ගත නොහැක. එය සිදු කල හැක්කේ පාලක පන්තියේ ප්‍රතිරෝධය බිඳ දමා, රාජ්‍ය බලය ලබා ගන්නා කම්කරු පන්තියට පමනි. සංයුක්ත ව ප්‍රකාශ කලොත්, AI විසින් මතු කරන ලද ගැටලුව සමාජවාදී විප්ලවයේ ගැටලුවයි.
දත්ත මධ්‍යස්ථාන වනාහී යුද්ධයේ යටිතල පහසුකම් වේ. එක ම අර්බුදය මේ දෙක ම ඇති කරයි. සැබෑ වටිනාකමක් නිෂ්පාදනය කිරීමට තව දුරටත් ලාභදායී මාර්ගයක් සොයා ගත නොහැකි ප්රාග්ධනය, සමපේක්ෂනයට ඇද දමනු ලබන අතර, ආර්ථික ක්‍රම මගින් තම ආර්ථික පරිහානිය ජය ගත නොහැකි පාලක පන්තියක් මිලිටරි බලය දෙසට හැරේ. ඉරානයට එරෙහි යුද්ධය එම ක්‍රියාවලියේ එක් පෙරමුනකි. එය එක ම එක නොවේ.
එම යුද්ධය, වඩා භයානක අවධියකට පිවිසෙමින් තිබෙන රුසියාවට එරෙහි නේටෝ-යුක්රේන යුද්ධය උත්සන්න කිරීමට සමාන්තර ව ඉදිරියට යයි. මෙම ගැටුම තාප න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩ අති මහත් ය. සැප්තැම්බර් 30 වන දින රුසියාව අනතුරු ඇඟවූයේ නේටෝව කලිනින්ග්‍රෑඩ් දූපත (?) වටකර හුදකලා කිරීමට පියවර ගත හොත්, “න්‍යෂ්ටික අවි ඇතුලු ව තමන් සතු ව ඇති සියලු බලය සහ සමස්ත අවි ගබඩාව ම” භාවිතා කරන බවයි. ඔක්තෝබර් 18 වන දින යුක්රේනය ඩ්‍රෝන යානා දහසකට වඩා යොදා ගෙන රුසියාවට පහර දුන්නේ ය. යුරෝපීය බලවතුන් 1930 ගනන්වල සිට නොදුටු පරිමානයකින් නැවත සන්නද්ධ වෙමින් සිටින අතර, යුද්ධය තීව්ර කිරීම සඳහා පීඩනය වොෂිංටනයෙන් මෙන් ම බර්ලිනය, ලන්ඩන් සහ පැරිසියෙන් ද පැමිනේ. මේවා වෙන් ව පවතින ගැටුම් නොවේ. ඒවා තනි ක්‍රියාවලියක පෙරමුනු ය. වේ: අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝකය ප්රචන්ඩ ලෙස නැවත බෙදා ගැනීම එහි අරමුනයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, විවිධ ස්ථානවලින් මතු වී මහා ගිනි ජාලාවක් ලෙස ඒකාබද්ධ වන ලෝක යුද්ධයක් (මෙටාස්ටැසයිස් වන) ලෙස සංලක්ෂිත කලේ මෙයයි.
III. කම්කරු පන්තියේ සහ තරුනයින්ගේ ව්‍යාපාරය
නමුත් මෙම උත්සන්න වන අර්බුදයේ ක්‍රියාවලියේ තවත් පෙරමුනක් තිබේ. පසුගිය සති හත තුල යුරෝපය පුරා තරුනයින්ගේ සහ කම්කරුවන්ගේ ව්‍යාපාරයක් පුපුරා ගොස් ඇති අතර, එය දැන් නව අවධියකට පිවිසෙමින් තිබේ.
ප්‍රංශයේ 1968න් පසු ඇති වූ බරපතල ම සමාජ නැගිටීමට සති හතකට ආසන්න කාලයක් ගත වී ඇත. එය සැප්තැම්බර් 17 වන දින පැරිසියේ ගිනිකොනදිග, කම්කරු ජනාවාස තිබෙන ප්‍රදේශවල හා ක්රෙටෙයිල් හි ලයිසී සෙන්ට්-එක්ස්පූරි හි දී ආරම්භ වූ අතර එහි දී, ගුරු ඇබෑර්තු පුරවන ලෙස ඉල්ලමින් ශිෂ්‍යයෝ පාසල අවහිර කලහ. සති දෙකක් ඇතුලත, පාසැල් දහසකට වැඩි සංඛ්‍යාවකට එය පැතිර ගිය අතර පාසල් 200 කට වැඩි ගනනක් අවහිර කරන ලදී. ඔක්තෝබර් 17 වන දින වන විට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ගනන් හිලව් වලට අනුව පෙලපාලිවලට 550,000 ක් පමන සහභාගි වී ඇති අතර, ඔවුන්ගෙන් 110,000 ක් පැරිසියේ පෙලපාලි අතර වූහ; සංවිධායකයින්ගේ ගනන් කිරීම අනුව එම සංඛ්‍යාව 800,000 ක් විය. ඔක්තෝබර් 24 වන දින, ආන්ඩුව වෘත්තීය සමිති විසින් සංවිධානය කල පෙලපාලි හැර අනෙකුත් සියලු ම පා ගමන් තහනම් කර, පොදු ගොඩනැගිලිවල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා-පොලිස් (ෂෙන්ඩාම්) භටයින් 70,000 ක් යෙදවීමෙන් පසු ව ද, වීදිවල පෙලපාලිකරුවන් 410,000 ක් සිටි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ය.
පොලිස් මර්දනය දශක ගනනාවකින් ප්‍රංශයේ නොදුටු පරිමානයකින් සිදු වෙමින් පවතී. පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ලෙන්ස් හි 15 හැවිරිදි දරුවෙකුට පොලිස් අත්බෝම්බයකට හසුවීමෙන් අතක් අහිමි විය; ටුවර්ස් හි 16 හැවිරිදි දරුවෙකුට එක් ඇසක් අහිමි විය. පැරිස්, මාර්සෙයි සහ ලියොන් යන ප්‍රදේශවල රාත්‍රී ඇඳිරි නීතිය පනවා ඇත. මැක්රොන්, “අති-වාමාංශිකයින්ගේ” “රාජද්‍රෝහී ක්‍රියාවන්” හෙලා දැක ඇති අතර, “ජනරජය බිඳ දැමීමට ඔවුන්” උත්සාහ කරන බවට ද චෝදනා කරයි. “නීති විරෝධී” පෙලපාලි තහනම් කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය, මහාද්වීපික ක්‍රියාවලියක වඩාත් ම දියුනු ප්රකාශනයයි. ඉතාලියේ, ඔක්තෝබර් 16 වන දින පැවැත්වූ “මෙලෝනි එපා!” ශිෂ්‍ය පෙලපාලිවලට පසු ව මිලාන්, ටියුරින් සහ බොලොඤ්ඤා හි කැරලි ඇති විය; මෙලෝනි ආන්ඩුව මිලාන් නගරයට හමුදා යොදවා ඇති අතර, “මහජන විරෝධතාවල දී සංවිධානාත්මක ප්රචන්ඩත්වය” සඳහා වසර දෙකේ සිට පහ දක්වා සිර දඬුවම් නියම කර ඇත. වයස අවුරුදු 14 සිට 18 දක්වා වයස් කාන්ඩයේ අය විරෝධතාවලට සහභාගි වීම ‘අපරාධකාරී හැකියාවක්’ ලෙස උපකල්පනය කරන බවත් එය එසේ නොවේ යයි ඔප්පු කිරීම තමන් සතු බවත්, නිර්දෝෂීභාවය ඔප්පු නොකලොත් ඔවුන්ගේ දෙමාපියන්ට දඩ ගසන බවත් ප්‍රකාශ කර ඇත.
ස්පාඤ්ඤයේ, මැඩ්රිඩ් නුවර 87 හැවිරිදි කුලී නිවැසියෙකු නිවසෙන් දොට්ට දැමීමෙන් පසු ව මිය යාම, නිවාස ප්රශ්නය මත උද්ඝෝෂන ව්‍යාපාරය පුපුරා යාමේ ආරම්භක හේතුව විය; නිවාස ප්රශ්නය සම්බන්ධයෙන් මහා වැඩ වර්ජනයක් නොවැම්බර් 11 වන දිනට යොදා ඇත. ග්‍රීසියේ, සිසුහු මුලින් ම ඔක්තෝබර් 13 වන දින සින්ටැග්මා චතුරශ්‍රයේ කඳවුරු බැඳ ගත්හ.
පෘතුගාලයේ, පොලිසිය ලිස්බන් සහ පෝර්ටෝ හි නිවාස කඳවුරු ඉවත් කලේ ය. බෙල්ජියමේ, වෘත්තීය සමිති නොවැම්බර් 23 වන දින ජාතික විරෝධතාවක් කැඳවා ඇත. අයර්ලන්තයේ, ඔක්තෝබර් 14 වන දින රාජ්‍ය සේවකයෝ ලක්ෂ ගනනක් වැඩ වර්ජනය කලහ. ඔස්ට්‍රියාවේ, වියානා නුවර ඔක්තෝබර් 22 වන දින විශ්ව විද්‍යාල සඳහා යුරෝ බිලියන 2 ක අරමුදල් හිඟයට එරෙහි ව 50,000 ක් පමන පෙලපාලි ගියහ. සර්බියාවේ, බෙල්ග්‍රේඩ් නුවර,
ඔක්තෝබර් 22 වන දින, එ නම් ශිෂ්‍යයන් ඉදිරිපත් කල ලැයිස්තුවේ (Student List පක්ෂය) ජනාධිපති අපේක්ෂකයා අතින් ජනාධිපති වුචික් පරාජය වූ මැතිවරනයට දින තුනකට පෙර, ශිෂ්‍යයෝ 150,000 ක් පෙලපාලි ගියහ.
මෙම ව්‍යාපාරය දැන් ජර්මනියට පැමින ඇත. “ජෙන් සී රීජෙල්ට්” - දල වශයෙන් “සී පරපුරේ රීති” - යනුවෙන් නම් කල තරුන ව්‍යාපාරය විසින් කැඳවන ලද විරෝධතා, සංවිධායකයින්ගේ ගනන් බැලීම් අනුව, බර්ලින්, ෆ්රැන්ක්ෆර්ට්, කොලෝන්, හැම්බර්ග්, මියුනිච් සහ අනෙකුත් නගරවල තරුනයින් 120,000 ක් පමන ජීවන වියදම ඉහල යාමට සහ පාසල්වල තත්ත්වයට එරෙහි ව වීදිවලට කැඳවන ලදී. ආන්ඩුව විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර මගින් පිලිතුරු දුන්නේ ය. මෙය සිදු වන්නේ ජර්මනියේ වයස අවුරුදු 18 කට වැඩි සෑම අයෙකුට ම හමුදා සේවය අනිවාර්ය කරන නව හමුදා සේවා නීතියට අනුව එවූ ප්‍රශ්නාවලියට එරෙහි ව මෙම වසර මුල දී පාසල් වැඩවර්ජනවලට පසු ව ය.
නමුත්, වැදගත්කමින් වැඩි ම වර්ධනයක් මීට දින තුනකට පෙර සිදු වූ අතර, එය ව්‍යාපාරයේ ස්වභාවයේ වෙනසක් සනිටුහන් කරයි. ඔක්තෝබර් 30 වන සිකුරාදා, “වරාය කම්කරුවන් යුද්ධය සඳහා වැඩ නොකරති” යන සටන් පාඨය යටතේ, මහාද්වීප පහක රටවල් 22 ක සහ කලාප 113 ක වරායවල් 113 ක නැව් තටාක සහ වරාය කම්කරුවෝ වැඩ වර්ජනය කර, පිකට් කර, පෙලපාලි දැක්වූහ. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය කියා සිටියේ ආයුධ, පතොරම්, හමුදා උපකරන හෝ හමුදා ප්‍රවාහනය සඳහා වරායන් භාවිතා නොකල යුතු බවයි.
ඉතාලියේ වෘත්තීය සමිති සම්මේලනය වන USB විසින්, ජීවන වියදම ඉහල යාම, අඩු වැටුප් සහ යුද ආර්ථිකයට එරෙහි ව කැඳවන ලද පැය 24 ක මහා වැඩ වර්ජනයට ඉතාලි වරාය කම්කරුවන් ද එකතු වූහ. ඔක්තෝබර් 27 වන දින ප්‍රවාහන අමාත්‍ය සැල්විනි, සියලු සාන්තුවරයන්ගේ නිවාඩුව උපුටා දක්වමින් වැඩවර්ජන කල් දැමීමට නියෝග කල අතර, වැඩ වර්ජනය කලොත් එක් අයෙකුට දිනකට යුරෝ 500 සිට යුරෝ 1,000 දක්වා දඩ ගසන බවට ද තර්ජනය කලේ ය. වෘත්තීය සමිතිය සැල්විනි ගේ නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කර වර්ජනය ක්‍රියාත්මක කලේ ය.
මෙම කම්කරුවන් යුද්ධයට ද්‍රව්‍ය සපයන ධමනි අල්ලාගෙන සිටිති. එක් දිනක් ඔවුන් ඒවා සම්පූර්නයෙන් ම වසා දැමූහ. යුද යන්ත්‍රය නැවැත්වීමට ජාත්‍යන්තර කම්කරු පන්තියේ හැකියාව, මහාද්වීප පහක, එක ම දිනක, කිසිදා හමු නොවූ කම්කරුවන් විසින් ප්‍රායෝගික ව පෙන්නුම් කරන ලදී.
වරාය කම්කරුවන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය කම්කරු බලයේ විභව ශක්තිය හෙලි කරයි. නමුත් දේශපාලන නායකත්වය සහ වැඩපිලිවෙල පිලිබඳ ගැටලුව තවමත් විසඳී නොමැත. යුද්ධය දියත් කරන සහ කප්පාදු පනවන ආන්ඩුවලට කැපවී සිටින නායකත්වයන් ඇති සංවිධාන හරහා කම්කරුවෝ යුද්ධයට හා කප්පාදුවලට එරෙහි අරගලයට පිවිසෙමින් සිටිති.
පුලුල් මහජන විරෝධයේ නැගීම කෙරෙහි නිල ප්‍රතිචාරය සෑම තැනක ම එක හා සමාන ය. මැක්රොන් “අති-වාමාංශිකයන්ට” දොස් පවරයි. ට්‍රම්ප් සංක්රමනිකයන්ට දොස් පවරයි. මෙලෝනි “මැරයන්ට” දොස් පවරයි; මර්ස්ගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වමට සහ සංක්රමනිකයින්ට දොස් පවරයි. ඔවුන්ගෙන් එක් අයෙකුවත් සඳහන් නොකරන කාරනය නම්, යුරෝපීය ආන්ඩු සියල්ල එක වර ම තම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් දක්වා මිලිටරි වියදම් ඉහල නංවමින්, ඔවුන්ගේ නය සඳහා වාර්තාගත පොලී ගෙවමින්, පාසල්වලට, විශ්‍රාම වැටුප්වලට, සෞඛ්‍ය සේවා සහ නිවාස සැපයීමට වැය කරමින් සිටි මුදල් කපා හරිමින් සිටින බව ය; එසේ ම උද්ධමනය ඇති කරන බලශක්ති කම්පනය ඔවුන් සහාය දක්වන, ඉරානයට එරෙහි යුද්ධයේ සෘජු ප්‍රතිඵලයක් බව ය. එක වර - රටවල් දුසිමක, එක ම දුක්ගැනවිලි මත, එක ම පියවරයන්ට එරෙහි ව ඇති වූ මෙම විරෝධතාවලට කිසි ම ජාතික දේශපාලනයේ මට්ටමින් කල හැකි පැහැදිලි කිරීමක් නැත. මෙම පිපිරීම අවබෝධ කර ගත හැක්කේ ලෝක පරිමානයෙන් ක්‍රියාත්මක වන වෛෂයික ආර්ථික බලවේගවල ප්රකාශනයක් ලෙස පමනි.
IV. වෛෂයික පදනම්
ජාත්‍යන්තර මහජන විරෝධතා පුපුරා යාම යටින් පවතින්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ම, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ තනි පද්ධතියක් බවට පරිවර්තනය වීමයි. ලෝක ආර්ථිකයේ භූගෝල විද්‍යාව පිලිබඳ සම්මත ශාස්ත්රාලීය පැහැදිලි කිරීම වන්නේ ගෝලීය විතැන්වීම (Global Shift) නම් කෘතියේ නිර්මාතෘ පීටර් ඩිකන් පෙන්වා දී ඇති පරිදි, අද මතු වී ඇත්තේ අන්තර්ජාතික සංගත විසින් සම්බන්ධීකරනය කරන නිෂ්පාදන දාම ජාලයක් බවත්, ලෝක වෙලඳාමේ විශාල හා වැඩි වන කොටසක්, තනි ක්‍රියාවලියක අදියරයන් අතර චලනය වන සංරචක සහ අතරමැදි භාන්ඩ වලින් සමන්විත බවත් ය.
තනි තනි ව නිමි භාන්ඩ නිෂ්පාදනය කල ජාතික ආර්ථිකයන් අතර වෙලඳාම, නිෂ්පාදන සංවිධානය ම දේශ සීමා
අභිබවා සිදු කිරීම මගින් විස්ථාපනය කර ඇත. මිෂිගන්හි දී එකලස් කරන ලද වාහනයක, නෙදර්ලන්තයේ ලිතෝග්‍රැෆි යන්ත්‍ර යොදා ගෙන තායිවානයේ දී නිෂ්පාදනය කරන ලද අර්ධ සන්නායක ද, මෙක්සිකෝවේ සියුඩාඩ් ජුවාරෙස් සමාගමේ නිපදවූ වයර් හනසු ද, චීනයේ පිරිපහදු කල දුර්ලභ පාංශුද, බැංගලෝරයේ දී ලියූ මෘදුකාංග කේත ද බ්‍රසීලියානු සහ ඕස්ට්‍රේලියානු ලෝපස් වලින් නිපදවූ වානේ ද අඩංගු වේ. භාන්ඩයක ‘නිෂ්පාදිත රට’ යන ලේබලය අද ප්‍රබන්ධයක් බවට පත් ව ඇත. ගුවැන්ඩොං, ස්ටුට්ගාර්ට්, සාඕ පවුලෝ සහ ඩෙට්රොයිට් හි කම්කරුවෝ එක ම නිෂ්පාදන ක්‍රියාවලියක විවිධ ස්ථානවල වැඩ කරති.
මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වී ඇත්තේ මානව ඉතිහාසයේ විශාලත ම කම්කරු පන්තිය නිර්මානය වීමයි. 1980 පටන් ගෝලීය ශ්‍රම බලකාය දල වශයෙන් දෙගුන වී ඇති අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව එය බිලියන 3.7 ක් පමන වී ඇත. චීනය, ඉන්දියාව, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් මිලියන සිය ගනනක් උදුරා ගෙන ගෝලීය නිෂ්පාදනයේ පරිපථවලට ඇද ගන්නා ලදී; ඉතිහාසයේ පලමු වතාවට මානව වර්ගයාගෙන් බහුතරයක් නාගරික ප්‍රදේශවල ජීවත් වෙති. එම ක්‍රියාවලිය විසින් ම, පරම්පරාවකට පෙර කම්කරු පන්තියෙන් පිටත පවතින වෘත්තීන් ලෙස සලකනු ලැබූ වෘත්තීන් - එනම්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විශ්ව විද්‍යාල ගුරුවරුන්, සහ පරිගනක ක්‍රමලේඛකයින් - ආදීන් අද නිර්ධන පංතිකරනය කර ඇත.
පසුගිය දශක හතර තුල කම්කරු පන්තියේ මේ දැවැන්ත වර්ධනය, එතරම් කාලයක් තිස්සේ මාක්ස්වාදී විරෝධී සමාජ හා දේශපාලන න්‍යායේ අත්‍යවශ්‍ය ප්‍රකාශයක් වූ දෙය, එනම්, ධනේශ්වර සමාජයේ තීරනාත්මක විප්ලවවාදී බලවේගය ලෙස, ලාභ පද්ධතියේ “මිනීවල හාරන්නා” ලෙස නිර්ධන පන්තිය හඳුනා ගැනීම, දේශපාලන උපාය මාර්ගයේ දෘෂ්ටි කෝනයෙන් වැරදි සහගත සහ අදාල නොවන දෙයක් ය යන අදහස තීරනාත්මක ලෙස බිඳ හෙලයි.
V. ප්‍රති-මාක්ස්වාදී න්‍යාය තුල කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කිරීම
නිර්ධන පංති විප්ලවය පිලිබඳ මාක්ස්වාදී න්‍යාය ප්‍රතික්ෂේප කල හිටපු සමාජවාදීන් අතර වඩාත් කැපී පෙනෙන තැනැත්තා වූයේ ප්‍රංශ බුද්ධිමතෙකු වන ඇන්ඩ්‍රේ ගෝර්ස් ය. ඔහුගේ “Adieux au prolétariat” 1980 දී ප්‍රකාශයට පත් කරන ලද අතර වසර දෙකකට පසු ව එම පොත ට්‍රොට්ස්කිවාදී-විරෝධී ප්ලූටෝ ප්‍රෙස් විසින් “කම්කරු පන්තියෙන් සමුගැනීම” නමින් ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කරන ලදී. “ධනවාදී සංවර්ධනය විසින් නිෂ්පාදන මාධ්‍යයන් සමස්තයක් වශයෙන් තම අනසකට ගැනීමට හැකියාවක් නොමැති වූ ද තම ක්ෂනික අවශ්‍යතා සමාජවාදී තාර්කිකත්වයට අනුකූල නොවන්නා වූ ද කම්කරු පන්තියක් බිහි කර ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය.
ඉන්පසු සහ අර්නස්ටෝ ලැක්ලාව් සහ ෂන්තාල් මූෆ්, සුලු ධනේශ්වර මාක්ස්වාදී විරෝධී සංවිධාන රැසකට සමාජවාදී නොවන “වාම ජනතාවාදයක්” සඳහා න්‍යායික රාමුවක් සැපයූ අතර, ඔවුන්ගේ ප්‍රසිද්ධ ම ගෝලයන් අතර පොදෙමොස් (ස්පාඤ්ඤය) සහ සිරිසා (ග්‍රීසිය) ඇතුලත් විය. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන කෘතිය වන “හෙජමනිය සහ සමාජවාදී මූලෝපාය”, 1950 ගනන්වල දී ට්‍රොට්ස්කිවාදයෙන් බිඳී ගිය පැබ්ලෝවාදී ව්‍යාපාරයේ ප්‍රකාශන ආයතනය වන වර්සෝ විසින් 1985 දී ප්‍රකාශයට පත් කරන ලදි. ඔවුන් පොතේ හැඳින්වීම තුල දී ම ප්‍රකාශ කලේ “අර්බුදයට ගොස් තිබෙන්නේ, එක් වර්ගයක සමාජයකින් තවත් වර්ගයක සමාජයකට සංක්‍රමනය වීමේ ආරම්භක මොහොත ලෙස විප්ලවය තුල කම්කරු පන්තියේ සද්භාවික (ontological) කේන්ද්‍රීයත්වය පිලිබඳ අදහසයි ...” ඔවුන් කොතරම් දුර ගොස් ඇත්ද යන්න පිලිබඳ ව කිසිදු සැකයක් ඉතිරි කලේ නැත: “මේ අවස්ථාවේ දී අපි පැහැදිලි ව ම ප්‍රකාශ කල යුතුයි, අපි දැන් පශ්චාත්-මාක්ස්වාදී භූමියක පිහිටා සිටින බව. මාක්ස්වාදය විසින් විස්තාරනය කරන ලද ආත්මීයත්වය සහ පන්ති පිලිබඳ සංකල්පය හෝ ධනේශ්වර සංවර්ධනයේ ඓතිහාසික ගමන් මග පිලිබඳ එහි දැක්ම තවදුරටත් වලංගු නොවේ...”
කම්කරු පන්තිය කෙරෙහි ඇති පිලිකුල හෙලි කරන මේ නරුම ප්‍රකාශය තුල, DSA විසින් “පන්ති ඌනනවාදය” ලෙස හඳුන්වන දෙය - එනම්, සමාජවාදයේ ඉදිරිදර්ශනය සහ ක්‍රියාමාර්ගය තුල කම්කරු පන්තියේ කේන්ද්‍රීයත්වය - හෙලා දැකීමේ න්‍යායික මූලයන් පවතී. මෙම පොත මාක්ස් විරෝධී විසකුරු දෙඩවිලි සහ අතාර්කික මෝඩකමේ නිධානයක් වන අතර, එය කියවන විට, “නෙට්වර්ක්” නම් චිත්‍රපටයේ සිටින තමා මාක්ස්වාදයෙන් හොඳට ම වෙහෙසට පත් ව සිටින බවත් එය තව දුරටත් දැරිය නොහැකි බවත් කෑ ගසා කියන ඉච්ඡාභංගයට පත් උමතු දේශකයා සිහියට නැගේ.
නමුත් එහි සුවිශේෂී වැදගත්කමක් ඇති එක් වාක්‍යයක් ඇත: එය DSA හි දේශපාලනය සංලක්ෂිත වන්නා වූ බුද්ධිමය වශයෙන් බංකොලොත් ප්‍රයෝජ්‍යතාවාදයට යතුර සපයයි. ලැක්ලාව් සහ මූෆ් මෙසේ ලිවීය: “‘මූලාරම්භයන්’ වෙත ආපසු යාමට ඇති ඕනෑම පෙලඹවීමක් වලක්වා ගනිමු.” මෙයින් ඔවුන් අදහස් කලේ: “ඉතිහාසය ගැන අමතක කරමු; දාර්ශනික විඥානවාදයට, මනෝරාජිකවාදයට, සුලු ධනේශ්වර රැඩිකල්වාදයට සහ අරාජකවාදයට, ධනේශ්වර ප්රජාතන්ත්රවාදයේ විතන්ඩවාදයට හා නිද්රාකාරකයන්ට එරෙහි ව කල න්‍යායික හා දේශපාලනික අරගල ගැන අමතක කර දමමු” යන්නයි.
මාක්ස්වාදය මතු වූයේ එකී න්‍යායික හා දේශපාලන අරගල තුලිනි. ප්රතිසංස්කරනවාදයට සහ අවස්ථාවාදයට එරෙහි මාක්ස්වාදී විවේචනය උකහා ගැනීමට අවශ්‍යතාවක් නැත. රාජ්‍යය වනාහි පන්ති පාලනයේ අත්‍යවශ්‍ය මෙවලම වන සන්නද්ධ මිනිසුන්ගේ බලකායක් ය යන න්‍යාය නොසලකා හැරිය හැකි ය.
VI. ඇමරිකානු ප්රජාතන්ත්රවාදී සමාජවාදීන්ගේ (DSA) දේශපාලනය
2026 ජූලි මාසයේ දී DSA විසින් එහි සංශෝධිත ජාතික වැඩසටහන නිකුත් කරන ලද්දේ “කම්කරුවන්ට තවත් ලැබිය යුතු ය” යන මාතෘකාව යටතේ ය. ඔවුන්ගේ සමස්ත දේශපාලනය ම මාතෘකාවෙන් කියවේ. එය විශේෂයෙන් කිසිවෙකු නම් කිරීමක් නොමැති ව නිකුත් කරන ලද ආමන්ත්රනය කරන ලද ආයාචනයකි. කම්කරුවන්ට ඔවුන් නිෂ්පාදනය කරන දෙයින් දැනට වඩා වැඩි කොටසක් ලැබිය යුතු ය යන්න එම ආයාචනයයි. 1865 දී, ඕවන්වාදී ජෝන් වෙස්ටන්ට පිලිතුරු දෙමින්, මාක්ස් පලමු ජාත්‍යන්තරයේ මහා මන්ඩලයට පැවසුවේ කම්කරු පන්තිය “සාධාරන දිනක් තුල කල වැඩ සඳහා සාධාරන දවසක වැටුපක්” යන ගතානුගතික සටන් පාඨය අත හැර දමා “වැටුප් ක්‍රමය අහෝසි කිරීම” යන විප්ලවීය සටන් පාඨය තම බැනරයේ ලියා ගත යුතු බවයි. සැමුවෙල් ගොම්පර්ස් එම ගතානුගතික මූලධර්මය මත ඇමරිකානු කම්කරු සම්මේලනය ගොඩනඟා ගත්තේ ය. සියවස් එක හමාරකට පසු, DSA එය තමන්ගේ ක්රියාමාර්ගික සටන් පාඨය ලෙස යොදා ගෙන ඇත.
“කම්කරුවන්ට තවත් ලැබිය යුතු ය” යන්න ශ්‍රම-වැටුප් සම්බන්ධතාවයේ අඛන්ඩ පැවැත්ම පූර්ව නිගමනය කරන අතර එය වැඩ කරන ආකාරය පමනක් වැඩිදියුනු කරන ලෙස ඉල්ලා සිටී. “සූරා කෑම” යන වචනයත්, ලාභය යනු කම්කරු පන්තියේ නොගෙවූ ශ්‍රමය යන කාරනයත් සහ එයින් එන නිගමනය වන - වැටුප් වහල්භාවය අහෝසි කිරීමත් - එහි නොමැත. සමාජවාදය, සාධාරන ලෙස ලැබිය යුත්තන්ට ලැබිය යුතු දෙයක් ඉල්ලා සිටින මානුෂීය ආයාචනයක් බවට පරිවර්තනය කර ඇත.
ක්‍රියාමාර්ගය ආරම්භ වන්නේ ආරාධනයකිනි: ‘ධනවාදය නොමැති අනාගතයක රැකියාවෙන් දිනක් නිවාඩු ගැනීම සිතින් මවා ගන්න.’ මෙය ලේඛනයේ ක්රමවේදයයි. එය ධනවාදය විශ්ලේෂනය නොකරයි; එය පාඨකයාගෙන් ඉල්ලා සිටින්නේ ධනවාදය නොමැති වීම සිතින් මවා ගන්නා ලෙසයි. ඇමරිකානු සහ ලෝක ධනවාදයේ අර්බුදය පිලිබඳ, ඇමරිකානු ආධිපත්‍යයේ පරිහානිය පිලිබඳ, මූල්‍ය ප්රාග්ධනය සහ ක්‍රමය රැඳී පවතින නය කන්ද පිලිබඳ, ලෝකයේ වෙලඳපොලවල් සහ සම්පත් බලහත්කාරයෙන් නැවත බෙදා ගැනීමේ තල්ලුව පිලිබඳ කිසිදු විස්තරයක් නොමැත. ක්‍රමයක් ලෙස අධිරාජ්‍යවාදය පැහැදිලි කර නොමැත; එම වචනය කිසි සේත් ම නොපෙනේ. කෙටුම්පත් කමිටුව සිය කටයුතු ආරම්භ කිරීමට සති කිහිපයකට පෙර දියත් කරන ලද ඉරානයට එරෙහි යුද්ධය ගැන කිසිදු වගන්තියක් නොමැත. න්‍යෂ්ටික යුද්ධයේ අන්තරාය ගැන සඳහන් නොකරන, 2026 දී ලියන ලද සමාජවාදී වැඩපිලිවෙලක්, සමකාලීන ලෝකයේ අර්බුදයට පිලිතුරක් ලෙස බැරෑරුම් ලෙස සැලකිය නොහැක.
ඔවුන්ගේ ලියවිල්ලේ සම්පූර්න රාමුව ම ජාතික රාමුවකි. ඉල්ලීම් ඇමරිකානු රාජ්‍යයට යොමු කෙරේ; ඒවාට වන්දි ගෙවන සම්පත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සම්පත් ය; එක ම නිෂ්පාදන දාමයක සිටින ඇමරිකානු කම්කරුවන්ගේ ශ්‍රමය සමඟ බැඳී ඇති චීනයේ, මෙක්සිකෝවේ, ඉන්දියාවේ සහ වියට්නාමයේ කම්කරුවන් කොතැනකවත් නැත. ජාත්‍යන්තරවාදය පිලිබඳ තනි වාක්‍ය ඛන්ඩය මෙසේ කියයි: “ලොව පුරා සිටින ජනතාව එක්සත් ජනපද මැදිහත්වීමකින් තොර ව තම ජීවිත ගත කිරීමට සුදුසුයි.” යුද්ධය අවසන් කිරීමට හැකියාව ඇති එක ම බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන විෂයයක් ලෙස නොසැලකේ.
“ඩිමොක්රටික් පක්ෂය වාහනය පදවන ගමන් නින්දට ගොස් සිටින” බවට DSA ලියවිල්ල පැමිනිලි කරයි. ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධ සංවිධානය කල, 2008 මූල්‍ය අර්බුදයේ දී බැංකුවලට ඇප දී බේරා ගත්, යුක්රේනයේ යුද්ධය සහ ගාසා තීරය විනාශ කිරීම සඳහා හමුදා සන්නද්ධ කල සහ 2022 දී දුම්රිය සේවකයින් 115,000 ක් කල වැඩ වර්ජනයක් නීති විරෝධී කිරීමට ඡන්දය දුන් කොංග්රස් සාමාජිකයින් - DSA සාමාජිකයෝ ද ඔවුන් අතර සිටිති - නිදා ගෙන නැත. ඔවුන් අවදියෙන් සිටින අතර තමන්ගේ කාර්යය ඉටු කරති. එම වාක්‍ය ඛන්ඩය ඇතුල් කර ඇත්තේ ඩිමොක්රටික් පක්ෂය ඇතුලේ තමන් රැඳී සිටීම සාධාරනීකරනය කිරීම සඳහා ය. DSA හි තේරී පත් වූ නිලධාරීහු ඩිමොක්රටික් පක්ෂයේ අසුන් ගනිති. නිව් යෝර්ක්හි අලුතින් තේරී පත් වූ නගරාධිපතිවරයා ඕවල් කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු විය. 2028 ජනාධිපතිවරනයේ ප්‍රාථමික තරඟවලට DSA-සහය ලබන ඩිමොක්රටික් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සඳහා ගවේෂන කමිටුවක් පිහිටුවීමට ඡන්දය දුන්හ.
VII. ඩිමොක්රැටික් සමාජවාදීන් ගේ (DSA හි) පන්ති ස්ථාවරය
යුද්ධය, එ තුල ඩිමොක්රටික් පක්ෂයේ භූමිකාව හෝ බලය පිලිබඳ ප්රශ්නය පිලිබඳ කිසිදු සැලැස්මක් නොමැති වැඩපිලිවෙලක් කතුවරුන් විසින් කෙටුම්පත් කර ඇත; එහි කතුවරුන්ගෙන් එක් අයෙකු පැහැදිලි කර ඇත්තේ එය “තනි ක්රියාමාර්ගික වැඩපිලිවෙලකට වඩා විවිධ දේශපාලන කටයුතු සමඟ ඒකාබද්ධ ව එන පත්‍රිකාවක්” වූ නිසා එය තුලට කරුනු කාරනා ඇතුල් කිරීමේ දී වැඩි වෙහෙසක් නොගත් බවයි. මේවා ඩිමොක්රටික් පක්ෂයේ වම ලෙස ක්‍රියා කරන, විප්ලවවාදී සමාජවාදයට සතුරු, පලපුරුදු දේශපාලන ක්‍රියාධරයන්ගේ තීරන වේ. වැඩපිලිවෙලේ අරමුන වන්නේ තරුනයින්ගේ සහ කම්කරුවන්ගේ ධනේශ්වර විරෝධී හැඟීම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පක්ෂය තුල ම රඳවා තබා ගන්නා වචන මාලාවක් සැපයීම සහ සමාජවාදී වැඩපිලිවෙලක් විසින් කල යුතු වන්නා වූ එක ම දෙය වැලැක්වීමයි. එනම් කම්කරු පන්තියට එය මුහුන දෙන අර්බුදය පිලිබඳ ව සහ එම අර්බුදය විසින් අවශ්‍ය කරවන අරගලය පිලිබඳ සත්‍යය පැවසීමයි.
වඩා ත් ම කැපී පෙනෙන දෙය නම් DSA කල්ලිය සමාජවාදය ලෙස ඉදිරිපත් කරන දේ සහ දේශපාලන යථාර්ථය අතර තිබෙන දැවැන්ත පරතරයයි. ලෝකයේ අතිශයින් ම කුරිරු පාලක පන්තියක් - පසුගිය දශක තුන තුල මිලියන ගනනක් මරා දැමූ යුද්ධ සිදු කර ඇති, මේ මොහොතේ මිලියන 90 කට වඩා වැඩි ජනතාවක් සිටින ජාතියක විදුලිබල පද්ධතිය සහ ජල සැපයුම විනාශ කිරීමට සූදානම් වන සහ එක්සත් ජනපදය තුල සාමකාමී විරෝධතාවලට ප්රචන්ඩත්වයෙන් ප්‍රතිචාර දක්වන පාලක පන්තියක් විසින් පාලනය කරනු ලබන්නා වූ රටක තිබෙන DSA නම් දේශපාලන ප්රවනතාවය, ධනවාදය අවසන් කිරීමට අවශ්‍ය වන අරගලයේ ගැඹුර සහ ප්‍රමානය පිලිබඳ සුලු ඉඟියක්වත් ලබා දෙන්නේ නැත. ඔවුහු, අධිරාජ්‍යවාදී මිලිටරිවාදය සහ ෆැසිස්ට් ම්ලේච්ඡත්වය ප්රතිසංස්කරනවාදී කොහු මිටකින් වලක්වාලීමට යෝජනා කරති.
මේ කිසිවක් මාක්ස්වාදය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. මාක්ස් බොහෝ කලකට පෙර, “විප්ලවවාදී පන්ති අරගලයක අවශ්‍යතාව, බාල උපක්‍රමවලින් හෝ හැඟීම්බර වාචාල දෙසුම් මගින් විස්ථාපනය කිරීමට කැමති” මධ්‍යම පාන්තික ව්‍යාජ රැඩිකල්වාදයට අවඥාවෙන් පහර දුන්නේ ය. මෙම දේශපාලනික වශයෙන් හිස් කැඳ හැලියට ප්‍රතිවිරුද්ධ ව, ඔහු ප්‍රකාශ කලේ විප්ලවවාදී සමාජවාදය යනු “විප්ලවයේ නොනවතින ස්වභාවය ප්‍රකාශයට පත් කිරීම බවත්, පන්ති සමාජය අහෝසි කිරීමට, එය පදනම් වී ඇති සියලු ම නිෂ්පාදන සබඳතා අහෝසි කිරීමට, මෙම නිෂ්පාදන සබඳතාවලට අනුරූප වන සියලු ම සමාජ සම්බන්ධතා අහෝසි කිරීමට, මෙම සමාජ සම්බන්ධතාවලින් පැන නැග තිබෙන සියලු අදහස් විප්ලවීයකරනයට ලක් කිරීමට අවශ්‍ය වන්නා වූ සංක්‍රාන්ති ලක්ෂය නිර්ධන පන්තියේ පන්ති ආඥාදායකත්වය පිහිටුවීම බවය.” [ප්‍රංශයේ පන්ති අරගල, එකතු කල කෘති, වෙලුම 10, පිටු 126–27]
DSA හි ප්‍රතිපත්ති මෙහෙයවන නිශ්චිත සමාජ ඉදිරිදර්ශනයක් ඇති අතර, එය 1850 දී, ප්රජාතන්ත්රවාදී මධ්‍යම පන්තිය විසින් කම්කරු පන්තිය පාවා දීමෙන් පසු මාක්ස් සහ එංගල්ස් විසින් හඳුනා ගන්නා ලදී:
“ප්රජාතන්ත්රවාදී සුලු ධනේශ්වරය, විප්ලවවාදී නිර්ධන පංතිය වෙනුවෙන් සමස්ත සමාජය ම පරිවර්තනය කිරීමට කැමති නොවී, පවතින සමාජය නිර්ධනීන්ට හැකි තරම් ඉවසිය හැකි සහ සුවපහසු කරවන සමාජ තත්වයක් ඇති කිරීමට උත්සාහ කරයි. [කොමියුනිස්ට් ලීගය ඉදිරියේ පැවැත් වූ කථාව, 1850 මාර්තු]
වර්තමාන තත්වයන්ට මෙම විශ්ලේෂනය අදාල කර ගත්තොත්: මාක්ස් විසින් විස්තර කල සුලු ධනේශ්වර ප්රජාතන්ත්රවාදීන්ගේ දේශපාලන අනුගාමික පරම්පරාව වන DSA, ඔවුන්ගේ අතෘප්තිමත් ඉහල මධ්‍යම පන්තික ඡන්ද දායකයන් සඳහා සමාජයේ ඉහල ම සියයට 10 තුල ධනය වඩාත් හිතකර ලෙස බෙදා හැරීමක් ලබා ගැනීමට වඩා වැඩි යමක් අපේක්ෂා නොකරයි. අනන්‍යතා දේශපාලනයටත් සමානාත්මතාවයට වඩා “සමාජ සාධාරනත්වය” සඳහා වන ඉල්ලීමටත් ඉන්ධන සපයන සමාජ අභිලාෂය මෙයයි. 2011 දී විරෝධතා දැක් වූ මධ්‍යම පාන්තික වාචාලයින්, “වෝල් වීදිය ජනසතු කරනු” වෙනුවට “වෝල් වීදියේ වාඩි ලා ගනු” යන සටන් පාඨය යොදා ගත්තේ එ නිසා ය.
VIII. නිගමනය
හෙට දින ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, අවසාන විග්රහයේ දී ප්‍රතිපත්ති තීන්දු කරනු ඇත්තේ, ධනේශ්වර ආර්ථිකයේ අර්බුදයත්, සමස්ත මානව වර්ගයාගේ ශ්‍රම කොන්දේසි පරිවර්තනය කරන තාක්ෂනයත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය යුද්ධයට තල්ලු වීමත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිචාරයත් යන ඒවා මගිනි.
සමාජවාදය සඳහා සටන පදනම් විය යුත්තේ ගෝලීය ධනවාදයේ ප්රතිවිරෝධතා සහ පන්ති අරගලයේ වර්ධනය කෙරෙහි ඒවායේ ඇඟවුම් පිලිබඳ විද්‍යාත්මක ව පදනම් වූ තක්සේරුවක් මත ය. ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනයත් යුද්ධයේ මෙටා-ස්ටාසික ව්‍යාප්තියත් යටින් පවතින්නේ ලෝක ධනවාදයේ අර්බුදයයි. එම අර්බුදය ම කම්කරු පන්තිය ජාත්‍යන්තර පරිමානයෙන් අරගලයට තල්ලු කරමින් සිටින අතර, එම අරගලයේ ගෝලීය අන්තර් සම්බන්ධිතභාවය හඳුනා ගැනීම කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් පවතී; සිකුරාදා වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරිත්වය එයට සාක්ෂියකි. නමුත් මෙම අන්තර් සම්බන්ධිතභාවය පිලිබඳ සාමාන්‍ය දැනුවත්භාවය ප්‍රමානවත් නොවේ. තීරනාත්මක ප්රශ්නය වන්නේ, වෛෂයික තත්වයට අනුරූප වන වැඩපිලිවෙලක් හැටියට පන්ති විඥානය ප්රකාශනය ලබා ගනීද යන්නයි.
මෙය, අරගලයට නොබැස පිලිතුරු දිය හැකි ප්‍රශ්නයක් නොවේ. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඇමරිකානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය පන්ති අරගලයට මැදිහත් වේ. ජාතික දේශසීමා හරහා කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සහ ඩිමොක්රටික් පක්ෂයෙන් සහ පාලක පන්තියේ සියලු ම දේශපාලන ඒජන්තයන්ගෙන් කම්කරු පන්තියේ සම්පූර්න දේශපාලන ස්වාධීනත්වය සඳහා අපි සටන් කරමු.
ඒ සඳහා අපි කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) හරහා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන්ගේ අරගල සම්බන්ධීකරනය කිරීම සඳහා, වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීන ව කමිටු සංවිධානය කරන ලෙස ඉල්ලා සිටිමු. අපි යුද්ධයට එරෙහි සටන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනක් ලෙස දියත් කරමු. අපගේ ඉලක්කය වන්නේ ලෝක ආර්ථිකය, සමාජවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවයක් වන කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත්පත් කර ගැනීමයි. සමාජවාදයට ජාතික මාවතක් සඳහා වන සියලු යෝජනා ප්රතිගාමී වංචාවන් ලෙස අපි හෙලා දකිමු. එ වැනි මාවත් කිසිවක් ලොව නොපවතී.
සමාජවාදී සමානතා පක්ෂය යනු ඉතිහාසයේ පක්ෂයකි. එහි ක්‍රියාමාර්ගය ප්රයෝජ්යතාවාදී උප්පරවැට්ටි වලින් සාදා ගත් එකක් නොවේ. එය ජයග්රහන සහ පරාජයන් යන දෙකෙහි ම, මුලු සියවසක් පුරා විප්ලවවාදී අරගලවල දැවැන්ත අත්දැකීම් මත පදනම් වේ. බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම පදනම් වූ සහ 1917 ඔක්තෝබර් මාසයේ දී රුසියානු කම්කරු පන්තිය ජයග්‍රහනය කරා ගෙන ගිය, අවස්ථාවාදයට එරෙහි ව ලෙනින් විසින් කරන ලද අරගලය මත සහ කම්කරු පන්තියට බලය අත්පත් කර ගැනීම සාක්ෂාත් කරගත හැක්කේ සහ සුරක්ෂිත කල හැක්කේ ලෝක සමාජවාදී විප්ලවයේ මුලෝපායෙන් පමනක් බව තහවුරු කල ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලවයේ න්‍යාය මත අපි අපගේ ක්‍රියාමාර්ගය පදනම් කරමු.
අවසාන වශයෙන්, සසප සහ එහි ජාත්‍යන්තර සහෝදරවරුන්ගේ කාර්යය අභිප්‍රේරනය ලබන්නේ සමාජවාදයේ ජයග්‍රහනය සහ මානව වර්ගයාගේ අනාගතය රඳා පවතින අපගේ යුගයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම යන විශ්වාසයෙනි. එම අර්බුදය විසඳිය හැක්කේ සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරය, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීම හරහා පමනි. අද රාත්‍රියේ මෙහි සිටින සිසුන්ට මම ආයාචනා කරන්නේ සමාජ සමානාත්මතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය ගොඩනඟන්න එකතු වන ලෙසයි.
