බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෝ ඉහල වැටුප් ඉල්ලා විරෝධතා අඛන්ඩ ව පවත්වති

[මෙය Bangladesh garment workers continue protests for higher wages මැයෙන්  2026 නොවැම්බර් 17 වැනි දා ඉංග්‍රීසී බසින් පල විය.]

බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ දහස් ගනනක්, කර්මාන්තශාලා වසා දැමීම් සහ ආන්ඩුව විසින් එල්ල කරනු ලබන ප්‍රචන්ඩ ප්‍රහාර නොතකා, ඉහල වැටුප් ඉල්ලා සති දෙකකට වැඩි කාලයක් තිස්සේ සිය විරෝධතා අඛන්ඩ ව පවත්වා ගෙන යමින් සිටිති. 

2026 නොවැම්බර් 4 බදාදා බංග්ලාදේශයේ නාරායන්ගංජ්හි වැටුප් ඉල්ලා විරෝධතා වයේ නිරත ඇඟලුම් කම්කරුවන් පිරිසකට එරෙහි ව පොලිස් නිලධාරීහු සූදානම් වෙති. [AP Photo/Mahmud Hossain Opu]

සඳුදා ගාසිපූර්හි කොනාබාරි ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත කම්කරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය සහ බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක බලකායේ (බීජීබී) සාමාජිකයෝ කඳුලු ගෑස් සහ ශබ්ද බෝම්බ ප්‍රහාර එල්ල කලහ. සති අන්තයේ දී හාම්පුතුන්ගේ සංගම් වාර්තා කලේ, පවතින නොසන්සුන්කාරී තත්ත්වය මධ්‍යයේ සාවර්, අශුලියා සහ ගාසිපූර් ප්‍රදේශවල පිහිටි, කම්කරුවන් 300,000කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති කර්මාන්තශාලා 147කට වැඩි සංඛ්‍යාවකට සිය මෙහෙයුම් පවත්වා ගෙන යාමට නොහැකි වූ බවයි.

නොවැම්බර් 16 දා බීබීසී පුවත් සේවය වාර්තා කලේ, කම්කරුවන් වැඩ නතර කර තම වැඩබිම්වලින් ඉවත් වීමෙන් පසු ගාසිපූර්හි කර්මාන්තශාලා වසා දැමීමට නිලධාරීන් පියවර ගත් බව පොලිස් අධිකාරී මොහොමඩ් අම්ජාඩ් හොසේන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි: “සෙනසුරාදා රාත්‍රියේ කර්මාන්තශාලා වසා දැමූ අතර, ඊලඟ දිනයේ තවත් කර්මාන්තශාලා 16ක් වසා දැමුනි.”

සේවායෝජකයෝ “වැඩ නොකලහොත් වැටුප් නැත” යන විධිවිධානය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන බංග්ලාදේශ කම්කරු පනතේ 13(1) වගන්තියේ පිහිට පැතූහ. මෙ මගින්, “නීති විරෝධී” වැඩවර්ජනයකට ප්‍රතිචාර වශයෙන් කර්මාන්තශාලා වසා දැමීමට සහ වැටුප් ගෙවීම අත්හිටුවීමට සේවායෝජකයෝ අගුලු දැමීමේ (lockout) අවියක් යොදාගෙන සිටිති.

ඔක්තෝබර් 31 දා ආරම්භ වූ ඇඟලුම් කම්කරුවන්ගේ ස්වයංසිද්ධ විරෝධතා, වැටුප් සම්බන්ධයෙන් දිගු කාලයක් පැවති අරගලයක ප්‍රතිඵලයක් ලෙස පැන නැඟුනි. ඊට ආසන්නත ම හේතුව වූයේ, කලින් පොරොන්දු වූ පරිදි ඔක්තෝබර් මාසය වන විට නව ඇඟලුම් කර්මාන්ත සඳහා අවම වැටුප් මන්ඩලයක් (අවැම) පිහිටුවීමට ආන්ඩුව අසමත් වීමයි. මාසික අවම වැටුප වැඩි කරන ලෙස ඉල්ලා කර්මාන්ත කලාප පහක කම්කරුවෝ වීදි බැස විරෝධතාවල නිරත වූහ. ඇඟලුම් කම්කරුවන්ගේ අවම වැටුප අවසන් වරට වැඩි කිරීම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2023 නොවැම්බර් මාසයේ දී ය. එහිදී මාසික අවම වැටුප ටකා 8,000 සිට ටකා 12,500 දක්වා (එක්සත් ජනපද ඩොලර් 240ක්) ඉහල නංවන ලදී.

කම්කරුවන්ගේ කෝපය සමනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක යෙදෙමින්, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ (බීඑන්පී) ආන්ඩුව විරෝධතාවල දෙ වැනි දිනය වූ නොවැම්බර් 1 දා සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත අවම වැටුප් මන්ඩලයක් ප්‍රකාශයට පත් කලේ ය. දෙසැම්බර් මාසයේ සිට නව වැටුප් ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට නොවැම්බර් 4 දා එය එකඟ වූ අතර, නව වැටුප් පරිමානය යටතේ කම්කරුවන්ට පලමු වැටුප ලැබීමට නියමිත ව ඇත්තේ ජනවාරි මාසයේ දී ය. එහෙත්, වැටුප් වැඩිවීමේ ප්‍රමානය කොපමන ද යන්න ආන්ඩුව ප්‍රකාශ නොකරයි.

එම අපැහැදිලි එකඟතාව විරෝධතා නතර කිරීමට අසමත් වූ බැවින්, බංග්ලාදේශ ඇඟලුම් හා කාර්මික කම්කරු සම්මේලනයේ (Bangladesh Garments and Industrial Sramik Federation-BGISF) මහලේකම් බාබුල් අක්ටර්, අවම වැටුප් මන්ඩලයේ දෙවැනි රැස්වීමේ දී ටකා 32,000ක මාසික අවම වැටුපක් යෝජනා කලේ ය. ඩකා ට්‍රිබියුන් පුවත්පතට අනුව, හාම්පුතුන් ඊට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීමට අසමත් වූ අතර, ඒ අනුව මෙම කාරනය නොවැම්බර් 16 දිනට නියමිත ව තිබූ තුන් වැනි රැස්වීම සඳහා කල් තැබිනි. කෙසේ වෙතත්, මන්ඩලයේ එක් සාමාජිකයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් එම රැස්වීම කල් දැමූ බව අවම වැටුප් මන්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කලේ  ය.

ඕනෑ ම වැටුප් වැඩි කිරීමකට හාම්පුතුන් විවෘත ව විරුද්ධ වී ඇති අතර, එ වැනි පියවරක් අපනයන තරගකාරීත්වය දුර්වල කර විදේශීය ගැනුම්කරුවන් වෙනත් රටවල් කරා යොමු කරනු ඇතැයි ඔවුහු ප්‍රකාශ කර සිටිති. නොවැම්බර් 5 දා ද ඩිප්ලොමැට් වාර්තා කලේ, ඉහල වැටුප් හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහල යාමෙන් ගැනුම්කරුවන් වියට්නාමය, ඉන්දියාව හෝ කාම්බෝජය වෙත යොමු වනු ඇතැයි කර්මාන්තශාලා හිමියන් අනතුරු ඇඟවූ බවයි. එක් හාම්පුතෙකු ප්‍රකාශ කලේ  ටකා 30,000ක වැටුප් ඉල්ලීමට “කිසිදු තාර්කික හෝ ගනිතමය පදනමක් නොමැති” බවයි.

ලන්ඩනයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත 2023 නොවැම්බර් 15 දා පල කල වාර්තාවක, බංග්ලාදේශ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ (Bangladesh Garment Manufacturers and Exporters Association - BGMEA) සභාපති ෆාරුක් හසන් උපුටා දක්වමින්, බටහිර සන්නාම බංග්ලාදේශ කර්මාන්තශාලාවලට වැඩි මුදලක් ගෙවන්නේ නැතිනම් වැටුප් ඉහල නැංවීම කල නොහැකි බවට ඔහු තර්ක කලේ ය. “ඔවුන් බංග්ලාදේශයේ සදාචාරාත්මක මූලාශ්‍ර සම්පාදන පිලිවෙතක් අනුගමනය කරන්නේ නැහැ. [මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ] පිරිවැය ඉහල ගොස් තිබෙනවා. නිෂ්පාදන පිරිවැය ඉහල ගොස් තිබෙනවා. ගෑස් පිරිවැය ඉහල ගොස් තිබෙනවා. දැන් වැටුප් ද ඉහල ගොස් තිබෙනවා,” යැයි හසන් පැවසී ය.

එච් ඇන්ඩ් එම්, ඉන්ඩිටෙක්ස් (සාරා සන්නාමයේ මව් සමාගම) සහ වෝල්මාට් ඇතුලු බටහිර සන්නාම, බංග්ලාදේශයේ මිලියන හතරක් වන ඇඟලුම් කම්කරුවන් අතිශය සූරා කෑමට ලක් කිරීමෙන් දැවැන්ත ලාභ උපයා ගනිති. කෙසේ වෙතත්, හසන්ගේ මෙම විලාපය මූලික වශයෙන් ඉලක්ක කර තිබුනේ කර්මාන්තය තුල පවතින අඩු වැටුප් ක්‍රමය සාධාරනීකරනය කිරීමටයි.

කර්මාන්ත දත්තවලට අනුව, බංග්ලාදේශයේ අපනයනවලින් සියයට 85ක් ඇඟලුම් කර්මාන්ත අංශය සතු වන අතර, පසුගිය වසරේ එහි අපනයන වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 38ක් පමන විය. දක්ෂිනාංශික බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ (බීඑන්පී) ආන්ඩුව විසින් මුදා හැර ඇති මර්දනයෙන් පිලිබිඹු වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කප්පාදු පියවර හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුන දී සිටින සමස්ත කම්කරු පන්තිය පුරා මෙම විරෝධතා ව්‍යාප්ත විය හැකි බවට ආන්ඩුව තුල පවතින භීතියයි.

“සාමය හා නීතිය පවත්වා ගෙන යාමට සහ කඩාකප්පල්කාරී ඔත්තුකරුවන් ඇතුලුවීම වැලැක්වීමට” යැයි කියමින්, බීඑන්පී මැර කන්ඩායම් පොලීසියට සහාය දී තිබේ. බලයෙන් පහ කෙරුනු අගමැතිනි ෂෙයික් හසීනාගේ විසුරුවා හරින ලද අවාමි ලීග් පක්ෂයේ ක්‍රියාකාරීන් කම්කරු විරෝධතාවලට රිංගා ඇති බවට බීඑන්පීය මීට පෙර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර චෝදනා කර තිබුනි.

විරෝධතා අතරතුර කම්කරුවන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ගාසිපූර්හි ලේලා ස්ටයිල්ස් ලිමිටඩ් කර්මාන්තශාලාවේ සේවකයෙකු වූ 21 හැවිරිදි ටවුෆික් ෂෙයික්, නොවැම්බර් 2 දා විරෝධතාකරුවන්ට එල්ල කල ප්‍රහාරයක් රූගත කරමින් සිටිය දී, “කර්මාන්තශාලාවක් විසින් කුලියට ගත්” බව කියන මැර කන්ඩායම් විසින් අමානුෂික ලෙස පහර දෙනු ලැබීය. නිව්ඒජ් පුවත්පතට අනුව, සාවර්හි අවුක්පාරා ප්‍රදේශයේ ට්‍රන්ට් ෂූස් ලිමිටඩ්හි කනිෂ්ඨ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ 23 හැවිරිදි මොහොමඩ් සලීම්, පොලිස් ප්‍රහාරවලින් ලැබූ බරපතල තුවාල හේතුවෙන් දින 12ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලැබීමෙන් පසු සඳුදා මිය ගියේ ය.

ඒඑෆ්පී පුවත් සේවය නොවැම්බර් 2 වන විට අවම වශයෙන් අත්අඩංගුවට ගැනීම් 57ක් වාර්තා කල අතර, ඉන් අනතුරු ව ඉන්ඩස්ට්‍රි-ඕල් (IndustriALL) සංවිධානය වෘත්තීය සමිති නායකයන් අවම වශයෙන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීම වාර්තා කලේ ය.

වෘත්තීය සමිති නිලධරය විසින් කම්කරුවන්ට සිය විරෝධතා අවසන් කරන ලෙස නැවත නැවතත් කරන ලද ඉල්ලීම් මගින් රාජ්‍ය මර්දනයට තව දුරටත් පිටුබලය සපයන ලදී. කම්කරුවන්ගේ ප්‍රතිරෝධය තම පාලනයෙන් පිටත වර්ධනය වනු ඇතැයි පාලක ප්‍රභූව මෙන් ම වෘත්තීය සමිති නායකත්වය ද බියට පත් ව සිටිති.

නොවැම්බර් 12 දා වෘත්තීය සමිති සන්ධාන පහක් එක් ව පැවැත්වූ මාධ්‍ය හමුවක දී, ස්ටැලින්වාදී බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය (සීපීබී) විසින් පාලනය කරනු ලබන බංග්ලාදේශ ඇඟලුම් කම්කරු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ (Bangladesh Garment Workers Trade Union Centre) සභාපති මොන්ටු ඝෝෂ්, කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට එරෙහි ව නඩු පැවරීමට සහ අත්අඩංගුවට ගැනීමට කර්මාන්තශාලා හිමියන්ට අවස්ථාවක් ලබා නොදෙන ලෙසයි. ද ඩේලි ස්ටාර් පුවත්පතට අනුව, “සමහර කම්කරුවන් කර්මාන්තශාලා දෙසට ගඩොල් කැටවලින් පහර දෙනවා. අපට එය අවශ්‍ය නැහැ,” යැයි ඔහු පැවසී ය.

විරෝධතාවල නිරත කම්කරුවන්ට පහර දීම සඳහා කුලී මැර කන්ඩායම් යොදවන කම්හල් හිමියන් පිලිබඳ ව ඝෝෂ් කිසිදු සඳහනක් නොකරන අතර, කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් කම්කරුවන්ට ම චෝදනා කරයි. මෙ වැනි ප්‍රකෝපකාරී ක්‍රියාවන් කම්කරුවන්ට එරෙහි ව පොලීසියට දඩයම් මෙහෙයුම් දියත් කිරීමට නිමිත්තක් සපයයි.

මාධ්‍ය හමුවේ දී, මර්දනය සම්බන්ධයෙන් පොලීසිය හෝ බීඑන්පී ආන්ඩුව හෙලා නොදකිමින්, රඳවා ගෙන සිටින කම්කරුවන් නිදහස් කරන ලෙසත්, තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් වෘත්තීය සමිති නායකයෝ ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ. රඳවා ගෙන සිටින කම්කරුවන් සංඛ්‍යාව හෝ අපරාධ නඩු පවරා ඇති කම්කරුවන් සංඛ්‍යාව කොපමනද යන්න සමිති නිලධරය හෙලි කලේ නැත.

ඒ අතරම, කම්කරුවන්ට දඬුවම් කිරීමට ආන්ඩුවට ඇති අයිතිය වෘත්තීය සමිති නායකයෝ පිලිගත්හ. ශාධින් බංග්ලා ඇඟලුම් ශ්‍රමික-කර්මචාරි (Shadhin Bangla Garments Sramik-Karmachari Federation) සම්මේලනයේ සභාපති මීර් අබුල් කලම් අසාද් මෙසේ ප්‍රකාශ කලේ ය: “කර්මාන්තශාලා විනාශ කිරීමේ ක්‍රියාවන්ට කිසිවකු සම්බන්ධ වී ඇති බව හෙලි වුවහොත්, ආන්ඩුව සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු ය.” කම්කරුවන්ගේ සිත් දිනා ගැනීමේ අරමුනින් ඔහු තවදුරටත් මෙසේ පැවසී ය: “කම්කරුවන් කිසිවකු [කර්මාන්තශාලා විනාශ කිරීමට] සම්බන්ධ වී නැති බව අපි විශ්වාස කරමු.” එවැනි නිවට ප්‍රකාශ කම්කරුවන් පොලිස් හිරිහැරවලින් ආරක්ෂා කිරීමට කිසිවක් නොකරන අතර, ඇත්ත වශයෙන් ම කම්කරුවන්ට එරෙහි ව ගොතන ලද චෝදනා නීත්‍යනුකූල කිරීමට උපකාරී වේ.

එම මාධ්‍ය හමුවේ දී ම, වෘත්තීය සමිති නායකයෝ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ තර්ජන ම ප්‍රතිරාවය කරමින්, කාර්යබහුල නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල නිෂ්පාදනය අඛන්ඩ ව පවත්වා ගෙන යාම සහතික කරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියහ. “මෙම කාල සීමාව තුල සිදු වන ඕනෑ ම බාධාවක් කර්මාන්තයට පාඩු සිදු කරනු ඇති අතර, අවසානයේ දී එය කම්කරුවන්ගේ ජීවනෝපායන්ට බලපානු ඇත. කම්කරුවන් ලක්ෂ 40ක අනාගතය මෙම කර්මාන්ත අංශය මත රඳා පවතී,” යැයි අසාද් පැවසී ය.

මෙ වැනි ප්‍රකාශ මගින් වෘත්තීය සමිති නිලධරය මහා ව්‍යාපාරිකයන්ගේ සහ ආන්ඩුවේ අනුබද්ධ සංවිධානයක් ලෙස නිරාවරනය වේ. එහි කාර්යභාරය වන්නේ කම්කරු පන්තිය මත පොලිස්කාර භූමිකාවක් ඉටු කරමින්, ලාභ උකහා ගැනීමේ ක්‍රියාවලියට හානියක් සිදු නොවන බව සහතික කිරීමයි.

තම අරගලය ආරක්ෂා කරමින් පුලුල් කිරීම සඳහා, ඇඟලුම් කම්කරුවන් වෘත්තීය සමිති යාන්ත්‍රනයට එරෙහි ව කැරලි ගසා නව සංවිධාන ගොඩනැගිය යුතු ය. ඒවා ගොඩනැගිය යුත්තේ සෑම කර්මාන්තශාලාවක ම කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා පත් කර ගනු ලබන, වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් සහ ධනපති පක්ෂවලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ලෙස ය. මෙම කමිටු මගින් බංග්ලාදේශයේ සහ වෙනත් රටවල ඇඟලුම් කම්කරුවන්, කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සහ ග්‍රාමීය දුගී ජනතාව සම්බන්ධීකරනය කල යුතු ය. එහි අරමුන විය යුත්තේ බිලියන සංඛ්‍යාත කම්කරුවන් මත පටවනු ලබන රුදුරු සූරා කෑමට එරෙහි පොදු අරගලයක් සංවිධානය කිරීමයි.

මෙම අරගලය මෙහෙයවිය යුත්තේ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මගිනි. එහි අරමුන විය යුත්තේ මහා පරිමාන දරිද්‍රතාවයේ, අසමානතාවයේ සහ ආඥාදායකත්වයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය අහෝසි කිරීම සඳහා ආසියාව පුරා සහ ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කිරීමයි.

Loading