Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

බ්‍රිතාන්‍ය එස්එල්එල්හි දේශපාලන පරිහානිය

19-1 විකොස ඉතිහාසයේ වැදගත්කම පිලිබඳව බාලසූරිය හා හීලි අතර ඇතිවූ නො එකඟතාවය පුලුල් ජාත්‍යන්තර ක‍්‍රියාවලියක් සංකේතවත් කලේය. එක්සත් ජනපදයේ වර්කර්ස් ලීගය, 1971 සැප්තැම්බරයේ පිහිටුවූ ජර්මනියේ බුන්ඩ් සෝෂලිසට් ආබයිටර්, 1972 නොවැම්බරයේ දී පිහිටුවූ ඕස්ට්‍රේලියාවේ සෝෂලිස්ට් ලේබර් ලීගය යන ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා, පිහිටුවන ලද්දේ 1953 හා 1961-63 භේදයන්ගේ පාඩම්වල පදනම මතය. කෙසේ වෙතත් ඒ සමග ම එස්එල්එල්, 1950 ගනන්වල හා 1960 ගනන්වල මුල් භාගයේ එය සටන් වැදුනු මූලධර්ම කෙරෙන් ඉවතට හැරෙමින් මධ්‍යම පන්තික රැඩිකල්වාදයට අනුගත වෙමින් සිටියේය.

19-2 1966 ජාත්‍යන්තර කමිටුවේ තුන්වන සමුලුවෙන් ඉක්බිත්තේ, එවකට බ්‍රිතාන්‍ය එස්එල්එල් වෙත සහාය පල කොට තිබූ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රන්ස ශාඛාව වූ ඔ’ගනයිසේෂන් කොමියුනිස්ට් ඉන්ටර්නැෂනල් හෙවත් ඕසීඅයි, හතරවන ජාත්‍යන්තරය “යලි ගොඩනැගීමේ” අවශ්‍යතාවය යලි වතාවක් මතුකරන්නට පටන් ගත්තේය. පැහැදිලිව පෙනෙන්නට තිබුනු පරිදි ඕසීඅයි, පැබ්ලෝවාදයට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ අතිමූලික වැදගත්කම ප‍්‍රතික්ෂේප කල මාධ්‍යමික සංවිධාන වෙත අනුගතවීමක් මෙම වැකිය පිටුපස තිබුනි. එස්එල්එල් ඕසීඅයි යට විරුද්ධවූ නමුත් එයට ද එම පන්ති පීඩනයන්ට ම මුහුන දීමට සිදු විය. “හතරවන ජාත්‍යන්තරයේ ගැටලූ” යන 1966 සිය ලිපිය තුල ජෙරී හීලි තර්ක කලේ, එස්එල්එල්හි ප‍්‍රධාන කර්තව්‍යය වන්නේ බ්‍රිතාන්‍ය තුල ශක්තිමත් දේශපාලන පක්ෂයක් ගොඩ නැගීම බවයි, එය ලෝකය පුරා අනෙකුත් රටවල විප්ලවවාදීන්ට ද එසේ කිරීම සඳහා “ආවේශයක්” සපයනු ඇති බවයි. මෙම ජාතිකවාදී සංකල්පය, හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමේ මූලික පදනම වූ ජාත්‍යන්තරවාදයෙන්, එනම්, ජාතික ශාඛා ගොඩනැගිය හැක්කේ සියලු ආකාරයේ ජාතික අවස්ථාවාදයන්ට එරෙහිව ලෝක පක්ෂය ගෙන යන ජාත්‍යන්තර අරගලයේ කොටසක් වශයෙන් පමනකි යන ආස්ථානයෙන් සැලකිය යුතු පසු බැසීමක් සලකුනු කලේය.

19-3 එස්එල්එල් පැබ්ලෝවාදයට එරෙහි අරගලයෙන් ඉවතට හැරීම, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය ආරක්ෂා කිරීමට එහි කැපවීම දුබල කිරීමට තුඩු දුන්නේය. ඩේවිඩ් නෝර්ත් පසුව ලිවූ පරිදි: “1960 ගනන්වල අපර භාගයෙහි වියට්නාමය, චීනය හා පසුගාමී රටවල විප්ලවීය ව්‍යාපාර පිලිබඳ බන්ඩාගේ ලියවිලි සාමාන්‍යයෙන් නොනවතින විප්ලවය පිලිබඳ න්‍යායෙහි ප‍්‍රධාන මත දෙකක් ප‍්‍රතික්ෂේප කලේය: 1. පසුගාමී රටවල ප‍්‍රජාතන්ත්‍රික විප්ලවය සපුරාලිය හැකි වනුයේ කම්කරු පන්ති ආඥාදායකත්වය මගින් පමනි, 2. ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් ධනේශ්වර ක‍්‍රමය ලෝක පරිමානව පෙරලා දමනු ලැබීමෙන් තොරව සමාජවාදී සමාජයක් තහවුරු කිරීමක් ගැන සිතීමට නුපුලුවන. බන්ඩාගේ ලියවිලි, විජිත ධනේශ්වරය උදෙසා ක්ෂමාලාපයක හා ස්ටැලින්වාදී අවධි දෙකේ විප්ලවය පිලිබඳ න්‍යාය පිලිගැනීමක ස්වභාවය ගත්තේය.”[47]

19-4 1967 ජනාවාරියේ නිව්ස්ලෙටර්හි ලියමින් බන්ඩා, මා ඕගේ ඊනියා ශ්‍රේෂ්ඨ නිර්ධන පන්තික සංස්කෘතික විප්ලවය අවිවේචනාත්මකව උත්කර්ෂයට නැංවීය. ඔහු මෙසේ පැවසීය: “මා ඕ නායකත්වය රතු භටයින්ගේ සහයෝගය ඇතිව ‘සමානාත්මතාවේ’ ධජය යටතේ මෙම කන්ඩායමට එරෙහිව සටන් වදියි. ඔවුහු වරප‍්‍රසාදිත භාවයට එරෙහිව, සිමාරහිත බලතලවලට එරෙහිව, චීනය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සටන් කරති: විවේචනය කිරීමට හා එම විවේචන මත පිහිටා ක‍්‍රියාකිරීමට තිබෙන අයිතිය උදෙසා: විනිශ්චයකරුවන්ට, පොලිසියට හා ඇමතිවරුන්ට ඔවුන්ගේ පිලිවෙත් පිලිබඳව මහජනතාව සැබවින්ම සිතන්නේ කුමක් ද යන්න පැවසීම උදෙසා ද ඔවුන් තමන්ගේ ක‍්‍රියාමාර්ග නිවැරදි කර නොගන්නේ නම් ඔවුන් එලියට දැමීම උදෙසා ද තිබෙන අයිතියට ඔවුහු සටන් කරති.”[48] 1966 මා ඕ දියත් කල සංස්කෘතික විප්ලවය, සමානාත්මතාවය සමඟ හෝ ඒ අර්ථයෙන් සංස්කෘතිය හෝ නිර්ධන පන්තිය සමග මෙලොව සම්බන්ධයක් නැත. මා ඕ රතු හමුදාව බලමුලු ගන්වනු ලැබුවේ, චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය තුල ඔහුගේ කට්ටිවාදී අරගලයේ කොටසක් ලෙසිනි. වඩාත් කැපී පෙනෙන පරිදි ෂැන්හයිහි කැරලිකාරී නැගිටීමක් මතුව ඒමෙන් පෙන්නුම් කල පරිදි, කම්කරුවන් අරගලයට මැදිහත්වූ වහාම කම්කරු පන්තියේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් කෙරෙහි සෑම කල්හිම බියට පත්ව සිටි මා ඕ, විරෝධතා ව්‍යාපාරය මැඩීම පිනිස ඉක්මනින්ම මිලිටරිය වෙත හැරුනේ

19-5 හතරවන ජාත්‍යන්තරයේ 1968 පෙබරවාරි කලාපයේ කතුවැකිය තුල බන්ඩා, “වියට්නාම් විප්ලවය හා හතරවන ජාත්‍යන්තරය” යන හිසින්, වියට්නාමය තුල හෝචී මිං ගෙන යමින් සිටි “දිග්ගැස්සුන මහජන යුද්ධය” වර්නනා කරමින්, “අද දිනයේ ‘ගරිල්ලා අරගලයේ’ ප‍්‍රමුඛ නිපුනයා” ලෙස මා ඕට හුරේ දැමීය. මෙසේ මා ඕවාදයට ප‍්‍රශංසා කිරීමෙන් සිදුවන්නේ ආසියාව පුරා කම්කරුවන් හා තරුනයන් නොමග යැවීම පමනක් බව එස්එල්එල් වෙත ලිපියක් යවමින් ලංකාවේ විරෝධය කන්ඩායම පෙන්වා දුන්නේය. ඉන් පසුව පලකල හතරවන ජාත්‍යන්තරය සඟරාව තුල, එම කතුවැකියෙහි අඩංගු වන්නේ මයික් බන්ඩාගේ “පුද්ගලික අදහස” බව ප‍්‍රකාශ කරන කුඩා සටහනක්, ප‍්‍රකාශිත අදහස් පිලිබඳ කිසිදු විවේචනයකින් තොරව පලකරන ලදී. එස්එල්එල් බන්ඩාගේ මා ඕවාදී ගැති ආස්ථානයන්ට එසේම පැවතීමට ඉඩ හැරීමෙන් සලකුනු කලේ, එස්ඩබ්ලිව්පීයට එරෙහිව 1961-1963 අවධියේ නොනවතින විප්ලවයේ න්‍යාය මූලධර්මාත්මකව ආරක්ෂා කිරීමට කල අරගලයෙන් එය බැරෑරුම් ලෙස පසුබැසීමක් සහ පැබ්ලෝවාදීන් විසින් කැස්ට්‍රෝගේ, මා ඕගේ හා හෝචී මිංගේ “සන්නද්ධ අරගලය” උත්කර්ෂයට නැංවීමට අනුගත වීමකි.

19-6 නොනවතින විප්ලව න්‍යායෙන් එස්එල්එල් ඉවතට හැරීම, පසුගාමී ධනේශ්වර රටක් තුල පදනම් වූ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස විකොස දේශපාලන වැඩකටයුතු කෙරේ බැරෑරුම් බලපෑමක් ඇති කිරීමට නියමිත විය. 1971 ඉන්දු-පකිස්ථාන යුද්ධය මුල් කර ගෙන එස්එල්එල් හා විකොස අතර තියුනු මතභේද හටගත්තේය. බංග්ලාදේශ විමුක්ති අරගලයට සහයෝගය දැක්වීමේ නාමයෙන් නැගෙනහිර පකිස්ථානය තුලට ඉන්දියානු හමුදා මැදිහත්වීමට “විවේචනාත්මක සහාය” පලකරමින් එස්එල්එල් ප‍්‍රකාශනයක් නිකුත් කලේය. ඊට පටහැනිව විකොස ප‍්‍රකාශනය, මෙසේ සඳහන් කලේය: “කම්කරු පන්තියේ කටයුත්ත යුද වැදී සිටින ධනපති කොටස් එකකටවත් සහයෝගය දැක්වීම නොව, පන්ති සතුරාගේ කඳවුරේ ඇතිවන සෑම ගැටුමක් ම, උප මහාද්වීපයේ මිලියන ගනනක් පීඩිතයින්ගේ සමාජ හා ජාතික අපේක්ෂාවන් සාක්ෂාත් කලහැකි එකම මාවත වන සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැඟීම පිලිබඳ ඉදිරි දර්ශනයක් සහිතව, බලය අල්ලා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමයි.”[49]

19-7 “විවේචනාත්මක සහාය” පලකිරීමේ එස්එල්එල් ප‍්‍රකාශනය ගැන, තවමත් රාජ්‍ය මර්දනයේ කොන්දේසි යටතේ වැඩ කරමින් සිටි විකොස දැන ගත්තේ. ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට විරුද්ධව තමන්ගේ ප‍්‍රකාශනයෙන් සතියකට පසුවය. බාලසූරිය වහාම මෙසේ සඳහන් කරමින් ජාත්‍යන්තර කමිටුවේ ලේකම් ක්ලිෆ් ස්ලෝටර් වෙත ලිපියක් යැවීය. “බෙංගාලි ජනතාවගේ ජාතික විමුක්ති අරගලයට සහාය දීම හා සමාජවාදී පදනම් මත ඉන්දියාව ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ කිරීම, ඉන්දු-පකිස්ථාන යුද්ධයට විරුද්ධ නොවී කල නොහැකිය. ඉන්දියාව හා පකිස්ථානය ඇතුලතින් ම යුද්ධයට විරුද්ධ නොවී, ඉන්දියානු උප මහාද්වීපයේ බොහෝ ජාතීන්ගේ ස්වයං නිර්න අයිතිය ආරක්ෂා කල හැකි එකම මාවත වන ඒකාබද්ධ සමාජවාදී ඉන්දියාවක් පිලිබඳව කථාකිරීම මුලුමනින්ම විකාරයකි.” [50] ඉන්දියානු මිලිටරි මැදිහත්වීමට හේතුව හරියට ම, නැගෙනහිර හා බටහිර බෙංගාලය ඒකාබද්ධ කිරීමේ විප්ලවවාදී අරගලයක් මැඩ, 1947-48 වසරවල පිහිටුවන ලද ප‍්‍රතිගාමී රාජ්‍ය පද්ධතිය රැකගැනීම බව බාලසූරිය පෙන්වා දුන්නේය.

19-8 එස්එල්එල් ආස්ථානය කෙරෙහි විකොස දක්වන දැඩි විරුද්ධත්වය පල කිරීමෙන් පසුව බාලසූරිය, අති මූලිකව ම වැදගත් කාරනය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල දේශපාලන පැහැදිලිකම බව අවධාරනය කලේය. විකොස තමන්ගේ ප‍්‍රකාශනය ඉල්ලා අස් කරගත් බව පැහැදිලි කිරීමෙන් පසුව ඔහු මෙසේ ලිවීය. “ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය ආරක්ෂා කිරීම දුෂ්කර කාර්යයක් බව පැවසීම අවශ්‍ය නැත. එහෙත්, ජාත්‍යන්තරය ගොඩනැඟීම සඳහා සටන් නොකර අපට ජාතික ශාඛාවක් ගොඩනැඟිය නොහැකි තතු හමුවේ, ජාත්‍යන්තරය තුල පැහැදිලිකම අන් සියල්ලටමත් වඩා වැදගත් වේ. [51] කෙසේ වෙතත් මතුකර ඇති ප‍්‍රශ්න පිලිබඳව ජාත්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කරනවා වෙනුවට එස්එල්එල්, විකොස ලිපිය ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් ශාඛාවන් අතට පත්කලේ නැති අතර, වඩ වඩාත් විකොස හුදෙකලා කිරීමට හැරීගත්තේ ය.

19-9 ඉන්දු-පකිස්ථාන යුද්ධය වටා පැවති දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කිරීම එස්එල්එල් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීම, ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගයෙන් එම පක්ෂය පුලුල් ලෙස ඉවතට හැරීමේ කොටසක් විය. 1971 නොවැම්බරයේ දී එස්එල්එල්, ජාත්‍යන්තර කමිටුවේ අනෙක් එකම දිගුකාලීන ශාඛාව වූ ප‍්‍රන්ස ඕසීඅයි සමග තමන් භේද වු බව නිවේදනය කලේය. ඕසීඅයි හා එහි දේශපාලන පිලිවෙත මාධ්‍යමික යයි කරන ලද එස්එල්එල් ගුනාංගීකරනය නිවැරදි වුවත්, යටින් පැවති දේශපාලන ප‍්‍රශ්න පැහැදිලි කිරීමට එස්එල්එල් කිසිදු උත්සාහයක් නොගත් අතර, ඒ වෙනුවට අවධාරනය කලේ භේදය සිදුවූයේ “මාක්ස්වාදී න්‍යාය” මුල්කරගෙන බව ය. ඩේවිඩ් නොර්ත් පසුව මෙසේ ලිවීය. “1971 සරත් සෘතුවේ දී ඕසීඅයි සමග අපරීක්ෂාකාරීව භේද වීම ස්ලෝටර්ට මෙසේ තර්ක කිරීමට අවස්ථාව ලබා දුන්නේය: ‘බ්‍රිතාන්‍යයෙහි විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම පිලිබඳ අත්දැකීමෙන් ක‍්‍රියාමාර්ගය හා පිලිවෙත සම්බන්ධයෙන් එකඟතා ඇතිකර ගැනීමෙන් ඔබ්බට ඉතා ගැඹුරට යන පරිසමාප්ත හා දුෂ්කර අරගලයක් විඥානවාදී චින්තන ක‍්‍රම හා සටන් වදිනු වස් අවශ්‍ය වන බව ප‍්‍රදර්ශනය කෙරුනේය’.... කිසියම් ක‍්‍රියාමාර්ගයකින් මාක්ස්වාදී න්‍යාය ප‍්‍රකාශයට පත් වේ ද එබඳු න්‍යායකින් විප්ලවවාදී පක්ෂය ගොඩනැංවෙන බව ට්‍රොට්ස්කි සෑම විටම අවධාරනය කලේය. එහෙත් ස්ලෝටර් ක‍්‍රියාමාර්ගයට එරෙහිව න්‍යාය පිහිටුවමින් ට්‍රොට්ස්කිවාදී ක‍්‍රියාමාර්ගය සඳහා කල අරගලයෙන් ගොඩනගන ලද පක්ෂවල යුක්ති යුක්ත භාවයත් ශක්‍ය භාවයත් ප‍්‍රශ්නයට භාජනය කලේය.” [52]

19-10 1973 නොවැම්බරයේදී එස්එල්එල්, කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) බවට පරිවර්තනය කිරීම තුල එස්එල්එල්හි දේශපාලන පල්ලම් බැසීම ප‍්‍රකාශයට පත් වීමට නියමිත විය. කවිප පිහිටුවන ලද්දේ ජාත්‍යන්තර කමිටුව තුල කිසිදු සාකච්ඡ‍ාවකින් හා අවශ්‍ය කිසිදු ක‍්‍රියාමාර්ගික පැහැදිලි කමකින් තොරව, බ්‍රිතාන්‍ය තුල ටෝරි විරෝධී ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ ජාතික උපායාත්මක දිශානතියක පදනම මතය. පසුකාලීනව කවිප, බ්‍රිතාන්‍ය කම්කරු හා වෘත්තීය සමිති නිලධරයට අනුගතවීම, නොනවතින විප්ලවයේ න්‍යාය මුලුමනින්ම අතහැර දැමීමත් ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම පාවාදීමත් සමග එකට ගමන් ගත්තේය.


[47]

අප රක්නා උරුමය: දෙවන කොටස, කම්කරු මාවත ප‍්‍රකාශන, 593 පි.

[48]

අප රක්නා උරුමය: දෙවන කොටස, කම්කරු මාවත ප‍්‍රකාශන, 596 පි.

[49]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 14 වෙලුම , අංක 1, 1987 මාර්තු, 37 පි.

[50]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 14 වෙලුම, අංක 1, 1987 මාර්තු, 42 පි.

[51]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 14 වෙලුම, අංක 1, 1987 මාර්තු, 43 පි.

[52]

ඩේවිඩ් නොර්ත්, ජෙරී හීලි හා හතරවන ජාත්‍යන්තරය තුල ඔහුට හිමි තැන: කම්කරු මාවත ප‍්‍රකාශන, 30 පි.