Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

විකොස, කවිප හා ජාතික ප‍්‍රශ්නය

22-1 ජාතික ප‍්‍රශ්නය පිලිබඳව විකොස ආස්ථානය ආරම්භයේ පටන් ම පදනම්ව තිබුනේ, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුලින් වර්ධනය කරන ලද කම්කරු පන්ති ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මතය. පන්ති පදනමක් මත කම්කරුවන් එක්සත් කිරීමේ විධික‍්‍රමයක් ලෙස, සියලූ වර්ගයේ ජාතිකවාදයට, වර්ගවාදයට හා ජාතිභේදවාදයට එරෙහිව පක්ෂය ස්ථිරසාරව සටන් වැදුනේය. එන්ට එන්ටම විවෘත රූපයෙන් ක්‍රියාත්මක වූ දෙමල ජනතාවට එරෙහි ආන්ඩුවේ නිල වාර්ගික වෙනස්කම් කිරීම්වලට ධෛර්ය සම්පන්න ලෙස විරුද්ධත්වය දැක්වූ පක්ෂය, දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂා කලේය. 1970 තරම් මුල් කාලයේ දී විකොස, දිවයිනේ උතුරට යවා තිබුන හමුදා ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටි අතර යුද්ධයේ අවධිය පුරාම එම ඉල්ලීම අඛන්ඩව පෙරට ගෙන ගියේය. දෙමල ධනපති පක්ෂ හැර 1972 ව්‍යවස්ථාවට විරුද්ධ වූයේ විකොස පමනි. රජයේ මුද්‍රනාල වෘත්තීය සමිතියේ විකොස කන්ඩායම, ව්‍යවස්ථාවට එරෙහිව සමිතිය හමුවේ යෝජනාවක් ඉදිරිපත්කර සම්මත කල විට ලසසප නිලධරයෝ පක්ෂ ආධාරකරුවන්ට විරුද්ධව දඩයමක් දියත් කලහ.

22-2 දෙමල තරුනයින් අතර වැඩෙන පෙරලිකාරිත්වය මධ්‍යයේ විකොස, 1972 ජූනි මාසයේදී මෙසේ ප‍්‍රකාශ කලේය. “මාක්ස්වාදීන් වන අපි, දෙමල ජාතියේ ස්වයංනීර්න අයිතිය පිලිගන්නෙමු. ඒ සමග ම, මෙම අයිතිය දිනාගත හැක්කේ එම අයිතිය පිලිගන්නා හා සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා සිංහල හා දෙමල කම්කරුවන් බලමුලූ ගැන්වීමෙන් පමනක් බව ද අපි අවධාරනය කරමු.” [53] ජාතික ප‍්‍රශ්නය පිලිබඳ ලෙනින්ගේ ලේඛන අනුව යමින්, විකොස, වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් පෙනී නොසිටි නමුත් ඒ සඳහා දෙමල ජනතාවට පවතින අයිතිය ආරක්ෂා කලේය. එම ප‍්‍රතිපත්තියෙන් අපේක්ෂා කලේ දෙමල ධනපති දේශපාලඥයින්ගේ දෙපිටකාට්ටුකම හෙලිදරව් කරමින් ශ‍්‍රී ලංකාව හා සමස්ත ඉන්දු උපමහාද්වීපය සඳහා සමාජවාදී ඉදිරි දර්ශනයකට දෙමල කම්කරුවන් හා තරුනයින් දිනාගැනීමය.

22-3 කෙසේ වුවත් 1972 ජාත්‍යන්තර කමිටු රැස්වීමක දී එස්එල්එල් නායකත්වය, විකොස ආස්ථානයට එකහෙලා විරුද්ධ විය. ස්වයං නීර්නය සඳහා දෙමල ජනතාවට ඇති අයිතියට සහාය දීම මගින් දිවයින කපා වෙන් කිරීමේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට උදව් කෙරෙන බවට බන්ඩා තර්ක කලේය. 1971 නැගෙනහිර පකිස්ථානයේ ඉන්දීය හමුදා මැදිහත් වීමට ඔහු සහාය පලකල අයුරින්ම විකොස ආස්ථානය කෙරෙහි බන්ඩාගේ විරුද්ධත්වය පදනම් වූයේ, 1947-48 කාලයේ දකුනු ආසියාව තුල අධිරාජ්‍යවාදීන් විසින් ඇටවූ ඊනියා නිදහස් ජාතික රාජ්‍යයන්ගේ සුජාත භාවය පිලිගැනීම මතය. බාලසූරිය පසුව පැහැදිලි කල අයුරු: “කවිප ආස්ථානය අනිවාර්යයෙන්ම ගමන් කරන්නේ, ජාතික ධනේශ්වරයට හා ඒ තුලින් අධිරාජ්‍යවාදයට මුලුමනින් ම යටත්වීම කරාය. මක්නිසා ද යත්, එහි න්‍යාය මුලුමනින්ම පදනම්ව ඇත්තේ මෙම ධනේශ්වර රාජ්‍ය එලෙසින්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත නිසාය. මෙම රාජ්‍ය ව්‍යුහයන්, කිසිදු ව්‍යතිරේකයකින් තොරව, එක් ජාතිකත්වයක ආධිපත්‍යය මත පදනම් වන බැවින් -- ඒවායේ ධනේශ්වරය අධිරාජ්‍යවාදය සමග සන්ධානගතව සිටින, අනෙකුත් ජාතිකත්වයන් යටත් කොට තබාගැනීම සඳහා රුදුරු ලෙස බලය යොදාගන්නා තතු යටතේ -- මෙම රාජ්‍ය ව්‍යුහයන් ආරක්ෂා කිරීම වනාහි අධිරාජ්‍යවාදය ම ආරක්ෂා කිරීම වන්නේය.” [54]

22-4 එම අදියරේදී දෙමල අරගලය ආරම්භක රූපයෙන් පැවතුනු තත්වය හමුවේ, විකොස, අකැමැත්තෙන් වුවත් එස්එල්එල් නායකත්වයේ අත්දැකීම්වලට හා දේශපාලන අධිකාරයට හිස නැමීය. විකොස ස්ථිරසාර ලෙස දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් අරක්ෂා කිරීමටත් සිංහල හා දෙමල කම්කරුවන් එක්සත් කිරීමටත් එක දිගට සටන් වැදුනු අතර එහෙත් 1970 ගනන්වල වැඩි හරියක් පුරා එය වැඩ කලේ වැදගත් උපායික අවියකින් තොරව ය යන කාරනය එයට විශාල බාධාවක් විය. මා ඕවාදීන්ගේ වැඩෙන ආනුභාවයට එරෙහිව සටන් කිරීමට පක්ෂයට සිදු විය. “සන්නද්ධ අරගලය” දිරිගන්වමින් මා ඕවාදීන් කල ප‍්‍රකාශ, පෙරලිකාරී වූ දෙමල තරුනයින් ටීයූඑල්එෆ්හි ගාන්ධිවාදී ක‍්‍රමෝපායන් කෙරෙහි දැක්වූ සතුරු භාවය සමග අන්තර්ඡේදනය විය. ජවිපෙ මෙන්ම මාඕවාදීහු ද ට්‍රොට්ස්කිවාදය හෙලා දැකීම සඳහා, බන්ඩාරනායක ආන්ඩුව තුල ලැග සිටි ලසසප ඇමතිවරුන්ගේ ද්‍රෝහිත්වයට ඇඟිල්ල දිගු කලහ. කෙසේවෙතත් 1977ට පෙරාතුව, මෙම කන්ඩායම් ඉතා අඩු දේශපාලන වැදගත්කමක් දැරූ අතර පන්ති පදනමකින් සිංහල හා දෙමල කම්කරුවන්ගේ සහයෝගය දිනාගනිමින් ඉදිරියට ගිය කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරය තුල මුලුමනින්ම පසෙකට තල්ලුවී තිබුනි.

22-5 1979 දී දෙමල ජාතික විමුක්ති අරගලය ජාත්‍යන්තර ප‍්‍රමුඛත්වයක් අත්කර ගනිද්දී, කවිපය අංශක 180ක කරනමක් ගැසීය. කවිපය ශ‍්‍රී ලංකාවේ ජාතික ප‍්‍රශ්නයේ වැදගත්කම නොතකාහල බව පිලිගනිමින් බන්ඩා, විකොසෙන් සමාව අයැදින ලිපියක් පක්ෂය වෙත එවීය. එහෙත් කවිපය, ප‍්‍රමාද වී දෙමල ජනතාවගේ ස්වයංනීර්න අයිතිය පිලිගැනීමට හේතුව එම ලිපියෙන් හෝ ඉන් පසුව හෝ පැහැදිලි කලේ නැත. ශ‍්‍රී ලංකාව පිලිබඳ නව පිලිවෙත කවිපයේ පූර්ව පිලිවෙතට වඩා නොනවතින විප්ලවයේ න්‍යාය මත පදනම් වූයේ ද නොවේ. දෙමල ජාතික විමුක්ති අරගලයට දැක්වූ විරුද්ධත්වයක සිට කවිපය, එය අවිවේචනාත්මකව බදා ගැනීම කරා මාරු විය. කවිපයේ හදිසි වෙනස, 1974 දී තෝනට් සමග භේද වීමෙන් පසුව එහි පන්ති අක්ෂයේ සිදු වූ මාරුව සමග ගැට ගැසී තිබුනි. ධනේශ්වරයේ නව ජාත්‍යන්තර ප‍්‍රති ප‍්‍රහාරය සමග බැඳුනු නව දේශපාලන ගැටලුවලට කවිපය මුහුන දුන් කල, 1976 පටන් එය සහාය පතා හැරුනේ අනෙකුත් පන්ති බලවේගයන් වෙතය. එනම්, බ්‍රිතාන්‍යයේ ලේබර් හා වෘත්තීය සමිති නිලධරය ද මැද පෙරදිග අරාබි ධනේශ්වර තන්ත‍්‍රයන් ද වෙත ය.

22-6 අරාබි ධනේශ්වරය සමග එහි මූලධර්ම විරහිත සම්බන්ධතාවන්ට සමාන්තරව කවිප, වඩා ප‍්‍රමුඛ සන්නද්ධ දෙමල කන්ඬායම් අතරින් එකක් වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සමග සබඳතා ගොඩනගා ගත්තේය. අනෙක් සංවිධාන අතර, දෙමල ඊලම් විමුක්ති සංවිධානය (ටෙලෝ), දෙමල මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්), හා ඊලම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්) විය. එක් අංශයකින් හෝ තවෙකකින්, මේ සියලු සංවිධාන, ස්ටැලින්වාදයේ හා මාඕ වාදයේ ආනුභාවයට ලක්ව තිබූ අතර, ටීයූඑල්එෆ් මෙන්ම, ඔවුන් ප‍්‍රකාශ කලේ, තමන්ගේ අරමුන සමාජවාදී දෙමල ඊලමක් බවය. කවිප එල්ටීටීඊයේ ඊනියා න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් හරහා එයට සහයෝගය දෙමින්, “ජාතික විමුක්තිය” පිලිබඳ ධනේශ්වර ක්‍රියාමාර්ගයකට වඩාත් බරසාර “සමාජවාදී” වහන්තරාවක් සම්පාදනය කලේය.

22-7 කවිප බාලසිංහම්ගේ “දෙමල ජාතික ප‍්‍රශ්නය පිලිබඳව” යන ලියවිල්ල ලේබර් රිවීව්හි පල කරමින් විකොස ද එයම කල යුතු යයි අවධාරනය කලේය. 1913 වසරේ ලෙනින්ගේ ජාතික ප‍්‍රශ්නය පිලිබඳ ලියවිලි බාලසිංහම්ගේ අතේදී කනපිට හැරිනි. කම්කරු පන්තිය සමාජවාදී ඉදිරිදර්ශනයක් වටා එක්සත් කිරීමේ උපායික මාධ්‍යයක් ලෙස සලකනවා වෙනුවට බාලසිංහම් තර්ක කලේ, ලෙනින්ට අනුව මාක්ස්වාදීන් දෙමල ධනේශ්වරයේ බෙදුම්වාදී අභිලාෂයන්හි අවිවේචනාත්මක ආධාර කරුවන් විය යුතු බවයි. නිර්ධන පන්ති විප්ලවවාදියෙකුගේ කර්තව්‍යය “එයට නායකත්වය දෙන්නේ ධනේශ්වරය වුවත් (දෙමල) අරගලයට සහාය දෙමින්, අරගලය ජාතික විමුක්තිය හා සමාජවාදී විප්ලවය කරා මෙහෙයවන මූලෝපායක් පිලිගැනීම” යයි ඔහු පැහැදිලි කලේය. කම්කරුවන් එක්සත් කිරීමේ හා ඔවුන් ධනේශ්වරයෙන් ස්වාධීනව බලමුලු ගැන්වීමේ කුමන අරගලයකින් හෝ තොර, බාලසිංහම්ගේ “සමාජවාදී විප්ලවය” පිලිබඳ සඳහන මුලුමනින් ම ආටෝපයක් පමනි. “සමාජවාදී දෙමල ඊලමක් කරා” යන හිසින් 1980 දී පල කල විවාදාත්මක ලිපියක් තුල එල්ටීටීඊය, කම්කරු පන්තිය වෙත කුමන හැරීමක් හෝ පැහැදිලි ලෙසම ප‍්‍රතික්ෂේප කලේ, මෙසේ ප‍්‍රකාශ කරමිනි: “කම්කරු පන්තියේ එක්සත්කම පිලිබඳ හා සමස්ත ශ‍්‍රී ලංකා විප්ලවයක් පිලිබඳ කුනුවූ දෘෂ්ටිවාදයෙන් දෙමල ජනතාව හෙම්බත්ව සිටියි. බහුතරයේ පීඩාකාරී ග‍්‍රහනය යටතේ සිටින ජාතික සුලුතරයක් පලමුව තමන්ගේ විමුක්තිය සඳහා සටන් වැදිය යුතුය.”

22-8 සිංහල හා දෙමල කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතාවන් වටා එක්සත් කිරීමට විකොස සම්මුති විරහිතව එක දිගට සටන් වැදුනි. පක්ෂය දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකීම සඳහා ද 1983 ජන හිංසනයන්ට එජාපයේ ඇති සම්බන්ධය හෙලිදරව් කිරීම සඳහා ද පුලුල් උද්ඝෝෂනවල නිරත විය. එහෙත් එල්ටීටීඊයට දුන් කවිපයේ අවිවේචනාත්මක සහයෝගය, එල්ටීටීඊයේ හා අනෙකුත් දෙමල සන්නද්ධ කන්ඩායම්වල දේශපාලනය විමසා බැලීමෙන් පක්ෂය වලක්වා ලූ අතර එමගින් එය දෙමල තරුනයි`න් අතර ඔවුන්ගේ බලපෑම ශක්තිමත් වීමට උදව්කාරක විය. විකොසට හා ජාත්‍යන්තර කමිටුවට, විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අත්දැකීම්වලට සම්බන්ධව, ජාතික ප‍්‍රශ්නය යලි විමසීම සඳහා අවස්ථාවක් සැලසුනේ කවිප සමග 1985-87 ඇතිවූ භේදයෙන් පසුව පමනි.

22-9 1983 දෙමල විරෝධී ජන හිංසනය ඉන්දියාව තුල, විශේෂයෙන්ම දකුනේ තමිල්නාඩු ප‍්‍රාන්තය තුල, ප‍්‍රතික්‍රියා මාලාවක්ම ජනනය කලේය. ඉන්දීය අගමැති ඉන්දිරා ගාන්ධි සාම සාකච්ඡා සඳහා කපුකම කිරීමට ඉදිරිපත් විය. ඒ සමග ම, ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග ගෙන ගිය සිය ගනුදෙනුවල දී කේවල් කිරීමේ ඉත්තන් ලෙස යොදා ගැනීමත් ඒවායේ වැඩ කටයුතු මත පාලනයක් තබා ගැනීමත් පිනිස, ඉන්දියාවේ ආන්ඩුව, විවිධ සන්නද්ධ දෙමල සංවිධානවලට, මිලිටරි පුහුනුව සඳහා රහසිගතව අවසර දුන්නේය. සියලූ දෙමල කන්ඩායම්, දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස ඉන්දියානු ධනේශ්වරය පිලිබඳ මිත්‍යාවන් වැපිරූ අතර, බංග්ලාදේශයේ කලාක් මෙන් වඩාත් සෘජු ඉන්දියානු මැදිහත්වීමක් දිරිමත් කලහ. ඉන්දියානු බුද්ධි අංශයේ නිරීක්ෂනය යටතේ දෙමල තරුනයින්ට “දේශපාලන පුහුනුව” ලබා දෙමින්, ස්ටැලින්වාදී පක්ෂ -- සීපීඅයි හා සීපීඑම් -- ඉන්දීය ආන්ඩුවේ කුටෝපායන්ට සෘජුව ම සම්බන්ධ විය. එකම විශේෂත්වය වූයේ එල්ටීටීඊය යි. එය වඩාත් සෘජු ලෙස දෙමල ධනේශ්වරයේ කඳවුර වෙත මාරු විය. එල්ටීටීඊය තමිල්නාඩුවේ මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් හා ඔහුගේ ධනපති සමස්ත ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුනේත‍්‍ර කලහම් (ඒඅයිඒඞීඑම්කේ* පක්ෂය සමග සමීප සබඳතා පවත්වා ගෙන ගියේය. ඔහු තමන්ගේ ම දේශපාලන ප‍්‍රතිරූපය නගා සිටුවීම පිනිස එල්ටීටීඊ සම්බන්ධතාවය ප‍්‍රයෝජනයට ගත්තේය. එල්ටීටීඊ සමග සිය සම්බන්ධතාවන්ට සිදු විය හැකි බාධාව පිලිබඳව උත්සුක වූ කවිප, තමිල්නාඩුවේ හා ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයක් වර්ධනය කිරීමේ විකොස ව්‍යායාමයට විරුද්ධ විය.

22-10 1983-85 කාලයේ දී කවිප, විකොස බලාත්කාරයෙන් හුදෙකලා කිරීමේ සිට, ජාත්‍යන්තර කමිටුවට එරෙහි එහි වඩා පුලූල් ප‍්‍රහාරයේ කොටසක් ලෙස, ශ‍්‍රී ලංකා ශාඛාව දේශපාලනිකව විනාශ කිරීමේ ප‍්‍රයත්නයන් වෙත හැරී ගත්තේය. 1983 ජූලි මාසයේ දෙමල විරෝධී ජන හිංසනයේ හිනිපෙත්තේදී නිව්ස් ලයින් පත‍්‍රය, බන්ඩා විසින් ලියන ලද ප‍්‍රකාශයක් පලකලේය. එහි මෙසේ සඳහන් විය. “පොලීසිය හා හමුදාව, අපගේ සහෝදරවරුන් මරා දැමීමටත් අපගේ මුද්‍රනාලය විනාශ කිරීමටත්, හදිසි නීතිය යටතේ ඔවුන්ට ලැබී ඇති අත්තනෝමතික හා අසීමිත බලතල පාවිච්චි කර තිබිය හැකිය, නැත්නම් එසේ කිරීමට ඉඩ ඇත.” පසුව ඒ ගැන ලිවූ කීර්ති බාලසූරිය, කවිප සාහසික නොතැකීම හෙලා දකිමින් මෙසේ පැහැදිලි කලේය. “අපගේ ආරක්ෂාව වෙනුවෙන් උද්ඝෝෂනයක් ගෙන යාමට ඔබ කිසිවක් ම කලේ නැත. ඒ අනුව එජාප ආන්ඩුවට ඔබ කල්තියා දුන් පනිවිඩය නම් අපගේ පක්ෂය කායිකව විනාශ කලත් ඔබ අප වෙනුවෙන් ඇඟිල්ලක්වත් ඔසවන්නේ නැති බවයි. එම කාලය පුරාම විකොස, තම ආරක්ෂාව සලසා ගනිමින් කම්කරු පන්තියේ ද තරුනයන්ගේ ද බොහෝ කොටස්වල ගෞරවය දිනා ගත්තේය. ඒ අප, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික හා දේශපාලන පදනම්වලින් කිසි විටෙකත් පසු නොබැස්ස බැවිනි. හීලි, බන්ඩා හා ස්ලෝටර්ගේ දේශපාලන ප‍්‍රකෝපකරනයන්හි නිරන්තර ඉලක්කයක් බවට අප පක්ෂය පත්වූයේ හරියට ම ඒ කාරනය නිසා ය.” [55]

22-11 එල්ටීටීඊය කෙරෙහි තම අවිවේචනාත්මක සහයෝගය පුද කරන අතර ම, විකොසෙන් කැඩී ගොස් සිංහල වර්ගවාදයේ පදනම් මත එයට පහර ගසන කන්ඩායමකගේ සේවය කවිප කිසිදු මනස්තාපයකින් තොරව ලබාගත්තේ ය. මෙම භ‍්‍රෂ්ඨයින් සමග සම්මුතියක් ඇති කර ගන්නා ලෙස කවිප, විකොසට බල කල අතර, එය සාර්ථක නොවීය. එහෙත් එම කන්ඩායමේ විසකුරු ඕපාදූප විකොසට වල කැපීම සඳහා දිගට ම යොදාගනු ලැබින. එවැනි “වාර්තා” මත පදනම් වෙමින් හීලි සහ බන්ඩා, 1985 පැවති ජාත්‍යන්තර කමිටුවේ 10 වන සමුලූවේදී විකොස ජාත්‍යන්තර කමිටුවෙන් නෙරපා හැරීමට යෝජනාවක් ගෙන ආවෝය. කවිප නායකයෝ ජාත්‍යන්තර කමිටුව විනාශ කිරීම දෙසට පැහැදිලිව ම හැරී සිටියහ.


[53]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 14 වෙලුම , අංක 1, 1987 මාර්තු 54 පි.

[54]

එම., 54-5 පි.

[55]

Fourth International (හතරවන ජාත්‍යන්තරය), 14 වෙලුම , අංක 2, 1987 ජූනි 111 පි.