Socialist Equality Party (Sri Lanka)
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ලෝක සමාජවාදී වෙබ් අඩවිය

32-1 1998 වසරේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පිහිටුවීම, ජාත්‍යන්තර කමිටුව හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනයෙහි ලා තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය. ලෝසවෙඅ ඉදිරියට ගෙනයාම සඳහා පරිගනක තාක්ෂනයේ විප්ලවකාරී වර්ධනයන්ගේ වාසිය අත්පත්කර ගැනීමටත් එහි ශාඛාවන්ගේ දේශපාලන වැඩකටයුතු දෛනික පදනමක සම්බන්ධීකරනය කිරීමටත් ජාත්‍යන්තර කමිටුවට හැකිවීම, 1985-86 කාලයේ කවිප සමග භේදයෙන් ඉක්බිත්තේ, එය අත්පත්කරගනු ලැබූ කි‍්‍රයාමාර්ගික පැහැදිලි කමේ හා එකමුතුවේ ඵලයකි. වෙබ් අඩවිය, ජාත්‍යන්තර කමිටුවට සිය පේ‍්‍රක්ෂකත්වය ඉමහත් ලෙස පුලුල් කර ගැනීමට අවකාශ සැලසුවා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියට, සිය අරගල ඒකාග‍්‍ර කොට ධනවාදය අහෝසි කිරීමට සමත් දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස ඒකාබද්ධ වීම සඳහා නව සැකිල්ලක් ද සම්පාදනය කලේය.

32-2 ලෝසවෙඅ හුදෙක් තාක්ෂනික හෝ සංවිධානාත්මක පියවරක් නොව, අතිමූලික දේශපාලන සංකල්ප ගනනාවක් තුල මුල්බැසගත් ආරම්භකත්වයකි. ජාත්‍යන්තර කමිටුවේ 18 වන සැසියේ දී ඩේවිඩ් නෝර්ත් මෙම පදනම් විස්තාරනය කලේය. “1). කම්කරු පන්තියේ දේශපාලන මූලෝපායේ හා උපායික සංවිධානයේ පදනම ලෙස ජාත්‍යන්තරවාදයේ ප‍්‍රමුඛත්වය මත ජාත්‍යන්තර කමිටුව යෙදූ අවධාරනය. 2). ප‍්‍රතිගාමී කම්කරු නිලධාරි තන්ත‍්‍රයන් විසින් කම්කරු පන්තිය තුල පවත්වාගෙන ගිය අධිකාරයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙනගිය අරගලයේ අශමනීය ස්වභාවය. 3) නව ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක අත්‍යවශ්‍ය බුද්ධිමය පමනක් නොව, “අධ්‍යාත්මික” ප‍්‍රස්තුතයක් ලෙස කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදී දේශපාලන සංස්කෘතියක පුනර්ජීවනය කෙරෙහි තැබූ අවධාරනය. මෙයයි, සමාජවාදී විප්ලවයේ අත්‍යවශ්‍ය බුද්ධිමය සාරය හා පූර්ව කොන්දේසිය. 4) ධනවාදයේ අර්බුදයේ, පන්ති අරගලයේ හා සමාජවාදී විප්ලවයේ වර්ධනය සම්බන්ධ සාංසිද්ධිකවාදයට හා දේශපාලන ඉරනම්වාදයට එරෙහි අරගලය.” [71]

32-3 ලෝසවෙඅ දියත් කිරීම, පුවත්පත් මුද්‍රනය කර බෙදාහැරීම කේන්ද්‍රිත කොට තිබුනු පක්ෂ භාවිතයේ පරන රූපයන් ගෙන් සැලකිය යුතු බිඳීමක් විය. වෙබ් අඩවිය ජාත්‍යන්තර කමිටුව එක් එක් ශාඛාවක් සාපේක්ෂව සීමිත පුවත්පත් සංඛ්‍යාවක් අලෙවි කිරීම හරහා ලද සංඛ්‍යාව ඉක්මවා ජාත්‍යන්තර පාඨකයක් වෙත නිතිපතා ලඟාවීම සඳහා ජාත්‍යන්තර කමිටුවට අවකාශ සැලසීය. වෙබ් අඩවිය දෛනිකව සම්පාදනය කිරීම, පෙර නොවූ විරූ පරිමානයකට ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවල වැඩ කටයුතු ඒකාග‍්‍ර කල අතර දේශපාලන හා න්‍යායික විශ්ලේෂනයට ප‍්‍රමුඛ අවධානයක් යෙදවීය. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, ලෝසවෙඅ මත පාදක සහයෝගීත්වය, විකොස-සසපට වසර ගනනාවක් තිස්සේ විඳින්නට සිදුව තිබුනු සාපේක්ෂ හුදෙකලාව, අවසන් කලේය.

32-4 පක්ෂ කි‍්‍රයාමාර්ගය වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදීම නිසා එල්ටීටීඊය විසින් රඳවා තැබූ සසප සාමාජිකයින් සිව් දෙනා නිදහස් කර ගැනීමට 1998 දී ශ‍්‍රී ලංකාවේ සසප හා ජාත්‍යන්තර කමිටුව ගෙනගිය පුලුල් උද්ඝෝෂනය, සෑම රටක් තුලම දේශපාලන අරගලයේ මෙවලමක් ලෙස වෙබ් අඩවියේ බලපෑම සනාථ කලේය. උතුරු ඇමරිකාවේ, ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ දෙමල විදේශගත ප‍්‍රජාව අතර මෙන්ම පොදුවේ ජාත්‍යන්තරව ගෙනගිය පුලුල් උද්ඝෝෂනයේ බලපෑම හමුවේ එල්ටීටීඊය, අවසානයේ දී සසප සාමාජිකයින් නිරුපද්‍රිතව නිදහස් කලේය.


[71]

The Historical and International Foundations of the Socialist Equality Party (Australia),(සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්, ඕස්ට්‍රේලියාව), මෙහ්රිංග් බුක්ස්, සිඩ්නි,2010, 146 පි.