2008 ගෝලීය මූල්‍ය බිඳවැටීම

මෙහි පහත පලවන්නේ මිචිගන් ප්‍රාන්තයේ ඈන් ආබර්හි දී ජනවාරි 5-6 දිනවල පවත්වන ලද සසප ජාතික සමුලුවට එහි ජාතික ලේකම් ඩේවිඩ් නෝර්ත් ඉදිරිපත් කල වාර්තාවයි. මෙම වාර්තාව 2008 ජනවාරි 11දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

(1) 2008 වසර, ලෝක ධනේශ්වර පද්ධතියේ  ආර්ථික හා දේශපාලන අර්බුදය සැලකිය යුතු උත්සන්න වීමකින් අංගලක්ෂිත වනු ඇත. ලෝක මූල්‍ය වෙලඳපොලවල කලබැගෑනිය සන්ධිමය සිද්ධියකට වඩා, දැනටමත් ජාත්‍යන්තර දේශපාලනය අස්ථාවර කරන ප්‍රගාඪ පද්ධතිමය වියවුලක ප්‍රකාශනයයි. සැම විටකම සිදුවන පරිදි ප්‍රථමයෙන්ම බිඳීයන්නේ අධිරාජ්‍යවාදී භූ දේශපාලනික දම්වැලේ දුබලම පුරුක් ය. පකිස්ථානයේ බෙනාසීර් භූටෝ ඝාතනය, කොංගෝවේ හා කෙන්යාවේ සිවිල් යුද්ධ පැනනැඟීම, කොසෝවෝව වටා බෝල්කන් ප්‍රදේශවල ආතතීන් අලුත්වීම, ලෝක දේශපාලනයේ උග්‍රවන පිපිරුම් සහගත තත්වය පෙන්නුම් කරයි.

(2) ගෝලීය ධනවාදයේ නියත හා ආපසු කැරකිය නොහැකි විජයග්‍රහනයේ සලකුන ලෙස හුවා දැක්වුනු සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් 16 වසරකට පසුව, ලෝක ධනවාදය මස්මඩුවක්ව පවතී. අවමුඛ (මට්ටම් කිහිපයකින් යලි යලිත් දිග් ගස්සා, පොලී ඉහල දමන ලද) උකස්කරයන්හි සමපේක්ෂන ආයෝජනයන් මඟින් අසීමිතව පුම්බන ලද එක්සත් ජනපදයේ නිවාස වෙලඳපොල බුබුල පුපුරා යාමේ ප්‍රතිඵලය වී ඇත්තේ ලොව පුරා ජාත්‍යන්තර බැංකු හා අනෙකුත් මූල්‍යායතන ගනනාවකට ඩොලර් බිලියන සියගනනක පාඩු සිදුවීමයි. අවමුඛ උකස්කරයන් “සුරැකීමේ”, ඒවායේ සැකකටයුතු ස්වභාවය සැඟවීමේ හා ආයතන විශාල සංඛ්‍යාවක් අතර අවදානම විසුරුවා හැරීමේ කටයුත්ත සඳහා ව්‍යුහාත්මක ආයෝජන වාහකයන් (එස්අයිවී), සමාන්තර උකස් සහිත නයගැතිකම් (සීඩීඕ) වැනි මූල්‍ය උපකරනයන් හනා කලතා ගත් අවරස අවිස්වාස හොද්දක් සොයාගෙන තිබේ. මෙහි විපාකය වනාහී ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයකි. ධනවාදයේ ඇංග්ලෝඇමරිකානු පද්ධතියෙහි ශක්‍යතාවය හා නීතියුක්තභාවය ම ප්‍රශ්නයට භාජනය කල එක් විචාරකයෙක් මෙසේ පැවසී ය: “21 වන සියවසේ මූල්‍යකරන නව පන්නයන් දැන් වාෂ්පවී ගොස් තිබේ. පසුගිය වසරේ සිදුවීම් මෘග ආකාරයකින් පෙන්නුම් කලේ, අවදානම විසුරුවා හැරීම මූල්‍ය කම්පනයන් විසිරුවා හරිනු වෙනුවට ඒවා තව තවත් පලල් ලෙස පතුරුවා හැරීමට දායක වන බවය.” ද ෆිනෑන්ෂල් ටයිම්ස් (2008 ජනවාරි 2)

(3) වත්මන් ආර්ථික තත්වය අතිශයින්ම බැරෑරුම්ය යන්න වනාහී තතුදත් ධනේශ්වර විචාරකයන් අතර තවදුරටත් විවාදයට ලක්වන කරුනක් නොවේ. තවමත් දරන-හරිමින් ඇති අර්බුදයේ ප්‍රතිවිපාක පිලිබඳ නිවැරදි අනාවැකි පලකිරීමට තරම්, මූල්‍ය අලාභයන් ද ඇමරිකානු හා ලෝක ආර්ථිකයේ පුලුල් අංශ කෙරෙහි ඒවා බලපාන ප්‍රමානය ද ගැන හරිහැටි තොරතුරු නොමැති බව ඔවුන් අතර වඩාත් අවංක හා තීක්ෂන පුද්ගලයෝ පිලිගනිති. 2007 ගිම්හානයේ හටගත් “නය” ලෝක ධනවාදී ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට ප්‍රධාන තර්ජනයක්ව පවතියි. අය කර ගත නොහැකි අලාභ ලෙස ඩොලර් බිලියන ගනන් වත්කම් කපාහැරීමට මූල්‍ය ආයතනවලට සිදුවීමත් සමඟ ඔවුනතර එකිනෙකාගේ නය ගෙවීමේ ශක්‍යතාවය පිලිබඳ අන්‍යෝන්‍ය විශ්වාසයට ගැඹුරින්ම වල කැපී තිබේ. තවද, නිවාස බුබුල නිර්මානය කල ජාතියේම තවත් නය දීමේ භාවිතා එක්සත් ජනපද ආර්ථිකයේ අනෙකුත් අංශවල ද ක්‍රියාත්මක කර ඇති බව පුලුල් ව පිලිගැනේ. එක්සත් ජනපදයේ ආර්ථික වැටීමෙන් ව්‍යාපාරික නය දීම්වල නොසැලකිලිමත් බව හෙලිදරව්වේය යන බිය එන්ට එන්ටම වැඩිවෙමින් තිබේ. මෙම දහනශීලී තත්වය හමුවේ, නිවාස මිල ගනන් කඩාවැටීම ඇමෙරිකානු ආර්ථිකය මත පොදුවේ ඇතිකල බලපෑම යම් ආකාරයකින් දරාගත හැකිවේය යි මුලින් පැවති අපේක්ෂා වේගයෙන් පහව යමින් තිබේ. “ඇමෙරිකාව 2008 ට ඇතුල්වී තිබෙන්නේ ලෝකයේ විශාලම ආර්ථිකය වන එරට, නය හැකිලීම, නිවාස මිල ලුහුටා යාම හා ඉහල තෙල් මිල ගනන් හමුවේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීමේ අරගලයක වන අතර, 2000-01 අන්තර් ජාල බිඳවැටීමේ පටන් කිසිදු අදියරකදී අවපාතයක් පිලිබඳව නොපැවති තරම් විශාල අන්තරායකට මුහුන දෙමින්ය”යි 2008 ජනවාරි 2 දින නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කලේය.

(4) තවත්  ප්‍රමුඛ ආර්ථික අධ්‍යයනයක් මෙසේ නිගමනය කලේ ය. “නය මිරිකී යාම හා සම්බන්ධ සෑම කරුනක් ම සලකා බලන කල්හි වත්මන් අර්බුදය දැනටමත් නූතන සමයේ හටගත් අන් කිසිදු අර්බුදයකට ද වඩා වඩා බැරෑරුම් එකක් ය යන්න ගැන පුලුල් එකඟතාවක් පවතින බව පෙනීයයි. අදූරදර්ශී නය දීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන බැංකු හා ඒවායේ මූල්‍යායතන තවමත් දිනපතාම පාහේ දැවැන්ත පාඩු ප්‍රකාශයට පත් කරති. නිවාස මිල පහත වැටෙමින් තිබේ. එය තවදුරටත් පිරිහී යාහැකි යයි පොදු පිලිගැනීමක්ද පවතී. විශේෂයෙන්ම තවත් බොහෝ අඩු වරප්‍රසාදිත නයකරුවන් ‘පොලිය පමනක් ගෙවීමට නියමිත’ යයි සාවද්‍යව නම් කරනු ලබන එහෙත් තමන් මුලදී ගෙවූ අනුපාත ඉදිරි වසරේ දී ඉහල නැංවෙන නය මුදල්වලට යටව තව තවත් තෙරපීමට ලක් වනු ඇත. (Strategic Analysis, මූලෝපායික විමර්ශන, 2007 නොවැම්බර්, බාර්ඩ් විද්‍යාලයේ ලෙවී ආයතනය පි.9 )

(5) එක්සත් ජනපදයේ ආර්ථික අර්බුදයකට සෘජු හා ක්ෂනික ගෝලීය ඇඟවුම් තිබේ. “එක්සත් ජනපදයෙන් පිටවෙන “විෂබීජ පැතිරයාමේ” ප්‍රතිඵලයක් ලෙස බටහිර යුරෝපයේ හා ජපානයේ දේශීය ඉල්ලුම ප්‍රපාතයට වැටීමේ අවදානමක් දැන් මතුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. (World Economic Outlook, ලෝක ආර්ථික දැක්ම, 2007 ඔක්තෝබර්, පි.9 ) එසේම ගෝලීය මූල්‍ය වෙලඳපොලවල කලබැගෑනිය නැඟීඑන වෙලඳපොලවල් කරා මූල්‍ය ගලනය අඩාල කර දේශීය වෙලඳපොලවල ගැටලු අවුලුවාලිය හැකි බවද, .......ආසියාවේ හා ලතින් ඇමරිකාවේ වර්ධනය, දියුනු ආර්ථිකයන්හි ඉල්ලුමේ සමස්ත වර්ධනය පහත වැටීම පිටස්තර තත්වයන් කෙරේ ඇති කරන බලපෑමට ඒවා හසුවිය හැකි බවද එමඟින් සංකල්පනය කෙරේ. ”(එම, පි.19 )

(6) එක්සත් ජනපදය තුල නිවාස කර්මාන්තයේ අර්බුදය වනාහි ප්‍රථම කොට හා අන් සියල්ලටමත් වඩා කම්කරු හා මධ්‍යම පන්තික පවුල් මිලියන ගනනකට සමාජ ව්‍යසනයකි. ඉදිරි දෙවසර තුල අඩුම තරමින් පවුල් දශ ලක්ෂයක් උගස් සින්න වීම නිසා සිය නිවාස අහිමි වන තත්වයකට පත් වනු ඇතැයි ගනන් බලා තිබේ. තවත් දශලක්ෂ ගනනක් සින්නවීමේ ක්ෂනික තර්ජනයකට මුහුන නොපෑවද අර්බුදයෙන් බරපතල දුෂ්කරතාවන්ට පත්වනු ඇත. රටේ බොහෝ ප්‍රදේශවල නිවාස මිල ගනන් සියයට 25ක් හෝ ඊටත් වැඩි ප්‍රමානයකින් පහත වැටෙතැයි ගනන් බලා ඇත. මෙවන් පරිමානයක පහත වැටීමක් කම්කරු පන්තික පවුල්වල අයවැය කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කරනු සහතික ය. නිවාස උගස්කර ගත් නය ද කම්කරු හා මධ්‍යම පන්තික පවුල්වල වැටුප් හා වේතනවලට අමතර ආදායමක් ලෙස තීරනාත්මක අතිරේක ක්‍රියාකලාපයක් ඉටු කර ඇති බව ප්‍රසිද්ධ කාරනයකි. මෙම නය ලමුන්ගේ අධ්‍යාපන වියදම් ද, වෛද්‍ය ප්‍රතිකාර හා අනෙකුත් දැවෙන අවශ්‍යතාවන් ද සඳහා යොදා ගැනුනි. මෙම අතිරේක ආදායම මිලියන ගනනාවකට තවදුරටත් නොලැබී යනු ඇත.

(7) දශක තුන හමාරක් තිස්සේ වැටුප් එකතැන පල්වීම නිසා තමන්ට කරගැසීමට සිදුව තිබූ ආර්ථික බරබද්දල්වලට මුහුන පෑම සඳහා ඇමරිකානු කම්කරු ජනතාවට තිබුනු ප්‍රධානම මාර්ගයක් නිවාස මිල පහත වැටීම නිසා නැති වී ගියේය. වයස 30 ගනන්වල පිරිමි කම්කරුවෙක් දැන් ලබන්නේ ඔහු 1978 දී ලැබූ ආදායමට වඩා සියයට 12 ක් අඩුවෙන් ය. වැටුප් අගය වැටීමට මුහුනදීම සඳහා යොදාගනු ලැබූ “පිරිමැසුම් යාන්ත්‍රනයන්” ගෙන් සිදුවී ඇත්තේ කම්කරු බලකාය තුලට ස්ත්‍රීන් විශාල වශයෙන් ඇතුලුවීම, (1970 දී සියයට 38 ක්වූ එය අද වන විට සියයට 70කි) සහ වාර්ෂික වැඩ කාලයට සති දෙකකින් වැඩිකිරීම බව හිටපු කම්කරු ලේකම්වරයෙක් වන රොබට් රීච් සඳහන් කරයි. සාමාන්‍ය යුරෝපීයයෙකුට වඩා ඇමරිකානුවෙක් වසරකට පැය 350ක් වැඩිපුර වැඩ කරයි. 21 වන සියවස එලඹීමත් සමඟ, මුදලට වැඩ කිරීමේ ශාරීරික හැකියාවේ සීමාන්තයට පැමින සිටි කම්කරුවෝ, සිය නිවාස උකසට තබා ගත් නය මත වැඩි වැඩියෙන් යැපීමට පටන් ගත්හ. ආදායම හා අවශ්‍යතාව අතර එන්ට එන්ටම පුලුල් වන පරතරය පියවාගැනීම සඳහා තිබූ ඒ මාර්ගය අතුරුදහන්ව ඇති අතර මූල්‍ය අගාධයකට ඇදවැටීමේ ඉරනමට මිලියන ගනනක් මුහුනදී සිටිති. දැනට මත් 2007 මුල් අර්ධය වන විටත් එක්සත් ජනපදයේ පුද්ගල බංකොලොත්වීම් සියයට 48 කින් ඉහල නැඟ තිබේ. මේ ශීත සෘතුවේදී නිවාස උනුසුම් කිරීමේ වියදම් පියවා ගැනීම සඳහා කම්කරුවන් මිලියන 27 කට සරලව ම නය ගැනීමට සිදුවීම දක්වන්නේ මූල්‍යමය වශයෙන් කම්කරුවන් වැටී සිටින පාතාලයයි. නිවාස උගසට තබා නය ගැනීම මෙන්ම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය ද ගැටලු සහගත වී තිබේ. පවත්නා ආර්ථික යථාර්තයට මුහුන දී කටයුතු කිරීමේ සාම්ප්‍රදායික හා පුද්ගලවාදී සියලු මාර්ග ඇහිරී යද්දී කම්කරු පන්තියට ආරක්ෂා වීගත හැකි එකම මාර්ගය ලෙස ධනේශ්වර පද්ධතියට එරෙහිව සාමුහික හා සවිඤ්ඤානක සමාජ හා දේශපාලන අරගලයක් කරා යොමුවීමට බල කෙරෙනු ඇත.

(8) කම්කරු පන්ති අරගලයේ විප්ලවකාරී ස්වභාවය හා ප්‍රතිවිපාක තීරනය වන්නේ අන් කුමකටත් වඩා ගෝලීය ධනේශ්වර පද්ධතියේ අර්බුදයෙහි වෛෂයික ස්වභාවය මඟින් ය. මුලින් සඳහන් කල පරිදි පැතිර යන්නේ පද්ධතිමය අර්බුදයකි. දැවැන්ත මූල්‍ය සමපේක්ෂනය මඟින් පැන නංවා ඇති බුබුල පුපුරා යාම දශකයක් තුල තෙවෙනි වරටත් ලෝක ආර්ථිකය දෙදරුම්කවා ඇත. 1997 ගිම්හානයේ හටගත් නැඟෙනහිර ආසියානු මූල්‍ය අර්බුදය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, දකුනු කොරියාව, පිලිපීනය හා සිංගප්පූරු ආර්ථිකයන් වෙලාගෙන, ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් ඇවිලවීමේ අද්දරට ම පැමිනියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විවිධ රටවල් විසින් නය පැහැරහැරීම් මාලාවක් වලක්වා ලීම සඳහා ඩොලර් බිලියන ගනන් අරමුදල් යෙදවා, එමඟින් මෙම තත්වය වලක්වා ගත්තේ ය. ආසියානු අර්බුදයේ නපුරු විපාකවලට එක්සත් ජනපද ව්‍යාපාර වස්තු වෙලඳපොල විවෘතව පැවති අයුරු වෝල් වීදියේ කලබැගෑනිය මඟින් ප්‍රකාශයට පත්විය. 1997 ඔක්තෝබර් 27 දින තුල පමනක් ඩව් ජෝන්ස් කොටස් මිල දර්ශකය ඒකක 554කින් හෙවත් සියයට 7.2 න් වැටුනේ ආසියානු මූල්‍ය වෙලඳපොලවල කලබැගෑනියට ප්‍රතිචාර වශයෙනි. ඉන් පසුව වෝල් වීදිය ස්ථායී කිරීමට විශේෂයෙන්ම අඩු පොලී අනුපාතික මඟින් ගත් පියවර, 1990 ගනන් මැද වැඩෙන්ට පටන් ගත් ආයෝජන බුබුල තවදුරටත් පුම්බා ලීය. 2000 වන විට “අහේතුක බව ප්‍රීත්‍යොන්මාදයක්” මගින් අංගලක්ෂනය කැරුනු “ ඩොට්කොම් විද්‍යුත් තාක්ෂන” උන්මාදය පවත්වාගත නොහැකි එකක් බව ඕනෑවටත් වඩා පැහැදිලි විය. බුබුල පුපුරා යාමෙන් පසුව පැමිනි කඩාවැටීම දශකය තුල ප්‍රථම අවපාතයට තුඩු දුන්නේය. නැවතත් ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ප්‍රතිචාරය වූයේ දශක ගනනාවක් තුල පහල ම මට්ටම්වලට පොලී අනුපාතිකය පිරිහෙලීමත් ආර්ථිකය තුලට මුදල් කන්දරාවක් මුදා හැර ඩොට්කොම් බුබුලේ පිපිරීම පාලනය කර ගැනීමට උපයෝගී කර ගත් මාර්ග එක්සත් ජනපද නිවාස වෙලඳපොලෙහි සමපේක්ෂන උන්මාදයට කරලිය සැකසීමය.

නිවාස වෙලඳපොල තුල පැවති සමපේක්ෂනයේ උග්‍ර ස්වභාවය පුලුල්ව හඳුනාගෙන තිබුනු නමුදු, එහි ස්වභාවය කෙතරම් අඩමාන වුවත් යලි අවපාතයකට ඇද වැටීම වලක්වා ගැනීම සඳහා එය නැතිව බැරි බව මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදකයෝ විශ්වාස කලහ. ලෙවී ආර්ථික ආයතනය සඳහන් කල පරිදි, “2001 න් පසුව එක්සත් ජනපද ආර්ථිකයේ අඛන්ඩ වර්ධනය විශාල වශයෙන් පදනම්ව පැවැති පුද්ගල වියදම් ඉහල නැඟීමට කෙලින්ම හෝ වක්‍රව හේතුවූයේ නිවාස වෙලඳපොලෙහි උමතු පුපුරා යාමයි.”(මූලෝපායික විමර්ශන, 2007 නොවැම්බර්, පි. 7 )

(9) සමපේක්ෂනාත්මක බුබුලු පැන නැංවීමට තුඩු දුන් මෙම නිරන්තර ප්‍රවනතාවය හිස එසවූයේ ලෝක ධනේශ්වර පද්ධතියේ වර්ධනයෙහි ගැඹුරට මුල් බැස තිබුනාවූ ඇමරිකානු ධනවාදයේ ගෝලීය තත්වයේ ඓතිහාසික පරිහානිය ද, ඒ සමඟ විශේෂයෙන්ම බැඳී තිබුනු ප්‍රතිඝතිතාවන් ද තුලිනි. එක්සත් ජනපදය පදනම් කරගත් කර්මාන්තයෙහි ලාභදායිබවේ දිගුකාලීන පරිහානිය විසින්, ආයෝජනවලට ඉහල ප්‍රතිලාභ අපේක්ෂාවෙන් විකල්ප ලාභ මූලාශ්‍ර සෙවීම කරා ඇමෙරිකානු මූල්‍යායතන දුවවන ලදී. පසුගිය 30 වසරේ ඇමරිකානු පාලක ප්‍රභූව සිය පැවැත්ම උදෙසා යොදා ගත් ක්‍රමවේදය අංගලක්ෂිත වූයේ ධන සමුච්චයේ ක්‍රියාවලිය වඩ වඩාත් ප්‍රෘථුල ලෙස කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියෙන් වෙන්කර ගැනීම තුලය. පසුව කී ක්‍රියාවලිය සඳහා පාලක ප්‍රභූව උද්යෝගයක් දැක්වී නම් ඒ පුද්ගලිකව ධනය රැස් කිරීමේ ඉතා ඉහල මට්ටම් සඳහා ඔවුන් තුල පැවති ඉල්ලුම සපුරාලීමට සෑහෙන තරම් වූ විශාල ලාභ අනුපාතිකයක් අත්කර ගැනීමේ හැකියාව සහතික කරන ලාභ ශ්‍රම සැපයුමක් පැවතියේ නම් පමනි.

(10) ඇමරිකානු පාලක ප්‍රභූවේ පරපුටු ස්වභාවය එහි ආන්තික මිලිටරි උත්සන්නිය සමඟ වෙන් කල නොහැකි ලෙස බැඳී පවතී. සැප්. 11 සිදුවීම් නිමිත්ත ලෙස ගසාකන ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධ, අවසාන විග්‍රහයේදී, එක්සත් ජනපදයේ අධිපතිවාදී ගෝලීය තත්වය පවත්වා ගැනීම සඳහා ඇමරිකානු පාලක පන්තිය දරන උත්සාහය තුලින් වැඩී අවේය. බුෂ් පරිපාලනය 2002 දී ප්‍රකාශයට පත්කල “පූර්ව භංග යුද්ධ” ධර්මය දිගින් දිගට ම පවත්වාගෙන යයි. චිරකාලීන නැතහොත් අලුත්, පසමිතුරන් එල්ල කර ඇති භූ දේශපාලනික හා ආර්ථික අභියෝගයන්ට මුහුන දිය හැක්කේ මිලිටරි බලය යොදාගැනීම තුලින් පමනි. ඉරාකයේදී ලත් පරාජයන් හමුවේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනික අභිලාෂයන් පහව ගොස් නැත. ඒ වෙනුවට ඉන් සිදුව ඇත්තේ එහි බලය යෙදවීම සඳහා නව පෙලඹවීම් නිර්මානය කිරීමයි. ඉරාකය තුල ඇමරිකානු තත්වය අඩමාන වත්වත් ම ඉරානයට එරෙහි තර්ජන තවතවත් උත්සන්න කෙරේ.

(11) ඉරාක යුද්ධය සම්බන්ධයෙන් සලකන විට එරට ප්‍රචන්ඩ ක්‍රියාවල සුලු හෝ අඩුවීමක් ඇතිව තිබේ නම් එහි අර්ථය යුද්ධයේ නිමාව කරා සමීපවීම නොවේ; බුෂ්ගේ “තල්ලුව” සාර්ථකව ඇති බවක් හෝ නොවේ. එක්තරා දුරකට සාහසිකත්වයේ තාවකාලික අඩුවීම පෙන්වන්නේ ආක්‍රමනයේ ම කොටසක් ලෙස ජනාවාස ප්‍රදේශ තුල කරගෙන ගොස් තිබෙන “ජනවාර්ගික සුද්දයේ” ප්‍රමානය කොතරම් ද යන්නයි. දැනට මත් ඉරාකයට විඳින්නට සිදුව තිබෙන දැවැන්ත ජීවිත හානි ද මේ කෙරෙහි බලපා තිබේ. එහෙත් එක්සත් ජනපද ආක්‍රමනයේ ප්‍රතිඵලය වී ඇත්තේ කලාපය හා රට තුල සමාජ හා දේශපාලන ප්‍රතිවිරෝධයන් ඉමහත් ලෙස තීව්ර වීමයි. තුර්කිය හා ඉරාක කුර්දිවරුන් අතර වර්ධනය වන ගැටුම් ඕනෑ ම මොහොතක මහා පරිමාන යුද්ධයකට හැරීමේ තර්ජනය මතුකරයි. කුමන මිම්මක් අනුව බැලුවත්, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලගතු යුද විරෝධී ව්‍යාපාරයක වර්ධනය හැරෙන්නට නුදුරු අනාගතයේදී එක්සත් ජනපද හමුදා ඉවත් කිරීමක් පිලිබඳ කුමන හෝ බලාපොරොත්තුවක් තිබිය නොහැකිය. ‘කරන්ට්’ හිස්ටරි සඟරාවේ මෑත ලිපියක් තුල ලේඛක නීර් රොසන් නිරීක්ෂනය කල පරිදි, “එක්සත් ජනපදයේ තල්ලුව වනාහි හුදෙක් ඉරාක ගැටලුව මීලඟ පාලනාධිකාරය වෙත තබා යාමේ මඟක් පමනි. එහෙත් සත්‍යය නම් ඇමරිකන් භටයන් කිසිවිටෙකත් ඉරාකය හැර නොයනු ඇති බවය. අල් අසාඩ් හා ටකාඩුම් වැනි අන්බාර් ප්‍රාන්තයේ විශාල කඳවුරු නිමවා ඇත්තේ කාලාන්තරයක් පැවතීමටය. එක් මැරීන් නිලධාරියෙකු මා හට පැවසූ පරිදි ‘කාලයක් රැඳීසිටීමට ය’ ඉඳහිට මෝටාර් ප්‍රහාරයන්ට ලක් වන නමුදු කිසි සේත් බිඳහෙලිය නොහැකි, පාලු කාන්තාරයේ ස්ථානගත කර ඇති මෙම කඳවුරු දශක ගනනාවක් පවතිනු ඇත.”(2007 දෙසැ. පි. 413 )

(12) ඉරාකය ආක්‍රමනය කල තැන් සිට, ගතවූ පස් වසර තුල එක්සත් ජනපදයේ මූලෝපායික තත්වය පිරිහීමට පත්ව තිබේ. විශේෂයෙන්ම ගෝලීය ආධිපත්‍ය පිලිබඳ ව්‍යාපෘතිය සඳහා අත්‍යාවශ්‍ය යයි වොෂින්ටනය විසින් සලකනු ලබන, මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය සම්බන්ධයෙන් එක්සත් ජනපදය වඩාත් අභියෝගාත්මක වාතාවරනයකට මුහුනදී සිටියි. කලාපය තුල රුසියානු බලපෑම යලි හිස එසවීම මෙන්ම චීනයේ හා ඉන්දියාවේ නොකඩවා සිදුවන ආර්ථික ප්‍රසාරනය එක්සත් ජනපදය තම අධිරාජ්‍ය විජිගීෂාවන්ට සැබෑ බාධකයක් ලෙස වටහාගෙන තිබේ.

(13) ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයන් හමුවේ, චීනය පිලිබඳ ප්‍රශ්නය එන්න එන්නම වඩවඩාත් උග්‍ර ලෙස මතුවේ. වඩවඩාත් විවෘත මිලිටරි ස්වරූපයක් ගනු ඇති චීන ආර්ථික ශක්තියේ අනූන වර්ධනය, එක්සත් ජනපදයේ ගෝලීය උත්සුකයන්ට නොපෑහෙන්නේ යයි පුලුල්ව තහවුරු වී ඇත. ඇෆ්රිකොම් නමින් මෑතකදී ගොඩනංවන ලද නව අප්‍රිකානු මිලිටරි මධ්‍යස්ථානය වනාහී එම මහාද්වීපය තුල එක දිගට ප්‍රසාරනය වන චීන බලපෑමට දැක්වූ සෘජු ප්‍රතිචාරයකි. එහෙත් නැඟෙනහිර ආසියාවේ අධිකාරය සඳහා චීනය හා එක්සත් ජනපදය අතර ඇති ගැටුම වඩාත් සමීප හා දැඩි ආතතියක් අන්තර්ගත කර ගනු ඇත. විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ක්‍රිස්ටෝපර් ලේනි ලියාඇති පරිදි “ඇමරිකානු ප්‍රමුඛත්වය පවත්වාගැනීම සඳහා උපකරනයක් ලෙස ප්‍රචන්ඩත්වය පිලිබඳ තර්කනය එක්සත් ජනපද මහා මූලෝපායේ අන්තර්ගතව ඇති බැවින්, නැගෙනහිර ආසියාවේ දැනට ඇති එක්සත් ජනපද ආධිපත්‍යය තවදුරටත් පවත්වාගෙන යාමට ඇමරිකාව උත්සාහ කරන්නේ නම්, චීන ඇමරිකානු ගැටුමක් නොවැලැක්විය හැකිය. පිරිහෙන අධිපතියෙකු ‘ලදරුවාගේ ගෙල තොටිල්ලේදී ම මිරිකා දැමීම’ - එනම් අධිපතියා තවමත් මිලිටරිමය ප්‍රමුඛත්වය දරන අතරතුර නැඟඑන ප්‍රතිවාදියා අඩපන කිරීමේ ප්‍රහාර එල්ල කිරීම - සෑමවිටම පොලඹවන සුලු මූලෝපායික විකල්පයක් ලෙස පැවතී ඇත.”(Current History, කරන්ට් හිස්ටරි, 2008 ජනවාරි, පිටු 16-17)

(14) යුද්ධය දෙසට වන තල්ලුව අමරිකානු ධනේශ්වරයේ ගෝලීය භූ දේශපාලනික උත්සුකයන් හා විජිගීෂාවන් තුලින් නොකඩවා පැන නඟින්නකි; එසේම එය රට තුල එන්ට එන්ටම දුස්සාධ්‍ය වන්නාවූ සමාජ සම්බන්ධතාවන්ගේ විපාකයකි. පසුගිය දශක තුන පුරා ආර්ථික අසමානතාවයේ මට්ටම් අස්ථායීකර ලෙස වැඩී ඒම, නිල දේශපාලන මතුපිටට යටින් හා මාධ්‍යයන්ගේ අවසරය සහිත ප්‍රසිද්ධ සාකච්ඡාවලට පිටින් ගොඩනැඟෙන අතිමහත් සමාජ ආතතීන් ප්‍රකාශයට පත්කරයි. සමාජ ආතතීන් රටතුල පන්ති ගැටුම් ආකාරයෙන් පැනනැඟීම වැලැක්වීමට පාලක පලැන්තීන් විසින් යොදාගන්නා දේශපාලන උපකරන අතුරෙන් වඩාත්ම වැදගත් වන්නේ අධිරාජ්‍යවාදී යුදවාදයයි.

(15) බාර්ඩ් විද්‍යාලයේ ලෙවී ආර්ථික ආයතනයෙහි එඩ්වර්ඩ් එන් වුල්ෆ් විසින් මෑතකදී කල අධ්‍යයන වාර්තාවකින් එක්සත් ජනපද සමාජ අසමානතාවේ ආන්තික මට්ටම් ගෙන හැර දක්වයි. ධනය බෙදීයාම හා ආදායමට සම්බන්ධ සංඛ්‍යා ලේඛන, සමාජ ස්ථරායනයේ අසාමාන්‍ය පරිමාව පෙන්නුම් කරයි. ජනගහනයේ ඉහල ම සියයට 1 එක්සත් ජනපද කුටුම්බයන් සතු ශුද්ධ වටිනාකමින් සියයට 34.3ක් ද, ඊලඟ සියයට 4 සියයට 24.6 ක් ද, ඊලඟ සියයට 5 සියයට 12.3 ක් ද හිමිකර ගනියි. සියල්ල සැලකිල්ලට ගත්කල ජනගහනයේ පොහොසත්ම සියයට 10 කුටුම්බයන් සතු ජාතික ධනයෙන් සියයට 71 පමන හිමිකර ගනියි. ඊලඟ සියයට 10 ට අයත් වන්නේ සියයට 13.4 ක් පමනි. ඇමරිකානු කුටුම්බයන්ගේ පහල ම සියයට 80 හිමිකම් කියන්නේ ධනයෙන් සියයට 15.3 කට පමනි. ජනගහනයේ තුන්වන පහෙන් පංගුවට ලැබෙන්නේ යාන්තම් සියයට 3.8 ක් පමනි. කුටුම්බයන්ගේ පහල ම සියයට 20 ධනයෙන් හිමිකරගන්නා පංගුව සියයට 0.2 කි.

(16) ගෘහ වටිනාකම ඇතුලත් නොවන ධනය සැලකිල්ලට ගත්කල්හි, පන්ති බෙදීම තවත් විෂම ය. කුටුම්බයන්ගේ ඉහල ම සියයට 1.0 එබඳු ධනයෙන් සියයට 42.2 ක් හිමිකර ගනියි. පහල ම සියයට 80 ට හිමිවන්නේ සියයට 7.5 ක ප්‍රමානයකි. ඉහල ම සියයට 10ට සියයට 80 කට කිට්ටු කොටසක් හිමිකම් කියයි. දුප්පත්ම සියයට 40 හිමිකම් කියන්නේ ගෘහ අගය රහිත ධනයෙන් සියයට -1.1කි.

(17) ආදායම් මිනුමට අනුව, ඉහල ම සියයට 1 මුලු ආදායමෙන් සියයට 20 හිමිකර ගනියි. ඉහල ම සියයට 10 සියයට 45 ක් ද, පහල ම සියයට 80 සියයට 41.4 ක් ද, ඉනුත් දුප්පත්ම සියයට 40 ආදායමෙන් යන්තම් සියයට 10.1 ද හිමිකර ගනියි.

(18) 80 සිට 60 ත්, 60 සිට 40 ත්, 40 සිට 20 ත් අතර වන කුටුම්බයන්ගේ මැද පහෙන් පංගු තුනේ මූල්‍ය තත්වයට සම්බන්ධ තවත් අතීශය සිත් කාවදින සංඛ්‍යා සටහනක් ඇත. ඔවුන් සතු පුද්ගලික වත්කම්වලින් සියයට 66.1 ක්ම සැදුම් ලද්දේ නිවාස වලිනි. ඔවුන්ගේ මුලු වත්කම්වලින් මූල්‍ය වත්කම් සියයට 8.5 ක් පමනි. ව්‍යාපාර කොටස්, සුරැකුම්, භාරකාර අරමුදල් වැනි ආයෝජන මෙවලම්වලට අයත් වන්නේ සියයට 4.2 කි. මෙම සංඛ්‍යාවලින් ඉතා මැනවින් විදහා දැක්වෙන්නේ මධ්‍යම පහෙන් පංගු තුන, නිවාස අගය හා නිවාස වෙලඳපොලේ පොදු තත්වය මත රැඳී සිටින තරමයි.

(19) මෙම කාරනය, කම්කරු හා මධ්‍යම පන්තියේ මෙම කොටස්වල නයගැති භාවයේ තියුනු ඉහල නැඟීමේ අර්ථභාරය තව දුරටත් අවධාරනය කරයි. වත්කම් අනුපාතයට අනුව මෙම කොටස්වල නයගැති භාවය 1983 දී සියයට 37.4 ක්ව පැවතුනි. 2004 වනවිට එය සියයට 61.6 ක් දක්වා ඉහල නැගුනි. 1983 දී ආදායමට අනුපාතිකව නයගැතිකම සියයට 66.9 ක්ව තිබුනි. 2004 දී එය සියයට 141.2 ක් දක්වා වැඩිවී තිබේ. 1983 දී මෙම පහෙන් පංගු තුන නිවාස උකස් තැබීමෙන් ගත් නය නිවාස වටිනාකම්වලින් සියයට 28.8 ක් විය. 2004 දී මෙය සියයට 47.6 ක් විය.

(20) අවසාන වශයෙන් තවත් එක් සංඛ්‍යා සටහනක් ගෙන හැර දක්වතොත් - වුල්ෆ්ට අනුව 2004 දී “කුටුම්බයන්හි පොහොසත්ම සියයට 1, නොපියවූ ව්‍යාපාර කොටස්, මූල්‍ය සුරැකුම්, භාරකාර අරමුදල් හා ව්‍යාපාර අගයන්ගේ මුලු වටිනාකමින් හරි අඩක් පමන හිමිකර ගති. පවුල්වල ඉහල ම සියයට 10 කන්ඩායමක් ලෙස ගත්විට, නිවාස නොවන නිශ්චල දේපල, ව්‍යාපාර අගයන්, භාරකාර අරමුදල්, බැඳුම්කර හා ව්‍යාපාර කොටස්වලින් සියයට 80 ත් 85 ත් අතර ප්‍රමානයකට හිමිකම් කියයි. තවද, කුටුම්බයන්ගෙන් සියයට 49 ක්, සෘජු හෝ වක්‍ර ලෙස අන්‍යෝන්‍ය අරමුදල්, භාරකාර අරමුදල් හෝ විවිධ විශ්‍රාම ගිනුම් තුලින් ව්‍යාපාර කොටස් හිමිකරගෙන සිටී. මේ අතර මෙම තොගවල මුලු අගයෙන් කුටුම්බයන්ගේ පොහොසත්ම සියයට 10 හිමිකරගත් සියයට 79, සෘජු ලෙස හිමිකර ගත් කොටස් හා අන්‍යෝන්‍ය අරමුදල්වල එහි පංගුව වන සියයට 85 ට වඩා අඩු වන්නේ මඳකින් පමනි. (“එක්සත් ජනපදය තුල කුටුම්බ සතු ධනය ඉහල නැගීමේ ප්‍රවනතා, ඉහල නඟින නයගැතිකම හා මධ්‍යම පන්තිය මිරිකී යාම,”2007 ජූනි, පි. 25)

(21) මෙම සංඛ්‍යා ලේඛනවල දේශපාලන ඇඟවීම් කවරේද? පසුගිය දශක තුන පුරා ඇමරිකානු සමාජයේ ඇතිව තිබෙන ආන්තික පන්ති බෙදීම විවෘත හා ප්‍රචන්ඩ පන්ති ගැටුමේ ලක්ෂය කරා වේගයෙන් ලඟාවෙමින් තිබෙන බවයි. වරප්‍රසාදිත ධනපති පාලනයේ අවශ්‍යතාවන් ක්‍රියාවට නැංවීමේ මෙවලම් ලෙස සේවය කර තිබෙන දේශපාලන පක්ෂ දෙක විසින් පරිපාලනය කැරුනු නහර වේලී අසංවේදී වූ ඇමරිකානු දේශපාලන පද්ධතිය, සැලකිය යුතු සමාජ වෙනසක් සඳහා වූ ජනතා ඉල්ලීම් කෙරෙහි ප්‍රගතිශීලී තබා කිසියම් වර්ගයක විශ්වාසජනක, ප්‍රතිචාරයක් හෝ දැක්වීමට ඓන්ද්‍රීයව ම අසමත් ව පවත්නා බවය. අවසාන විග්‍රහයේදී, ප්‍රතිසංස්කරනවාදී ආකාරයක සමාජ වෙනසක් සඳහා වුව කෙරෙන ඉල්ලීම, පාලක ප්‍රභූවේ ධනය හා සමාජ වරප්‍රසාද රැකගැනීම සඳහා වූ දරදඬු අධිෂ්ඨානය සමග ඝට්ටනය වේ.

(22) සසප හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ පරිදි, රිපබ්ලිකානුවන් මැතිවරනය සොරාගත් 2000 නියෝජනය කලේ, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පරිහානිගත වීමේ ඓතිහාසික සැතපුම් කනුවකි. මැතිවරන සොරකම පිලිගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය දැක්වූ සූදානම පෙන්නුම් කලේ, ඇමරිකානු ධනපති පන්තියේ කුමන සැලකිය යුතු කොටසක් හෝ සම්ප්‍රදායික ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රැක ගැනීමෙහි ලා අවධානය යොමුකරනු නැති බවය. මැතිවරනයෙන් පසුව සිදුවූ සියල්ලෙන් සනාථ වී ඇත්තේ එම නිගමනයයි. එම සැප්තැම්බර් 11 “ත්‍රස්තවාදයටයට එරෙහි යුද්ධයේ” (රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් යන දෙපක්ෂයම එකඟවූ අපරාධය) කඩතුරාව යටතේ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථාමය මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීම පෙන්නුම් කලේ පන්ති පාලනයේ ආඥාදායක රූපයන් සඳහා වූ සූදානම තවත් ඉහල නැංවීමේ සූදානමයි. මේ දේවල් කිසියම් නොමඟ යෑමක් නිසා සිදු නොවූ අතර, ඒවා පැනනැඟී ඇත්තේ සම්ප්‍රදායික ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ රූපාකාරයන් පවත්වාගෙන යෑමට තරයේම විසංවාදී වන්නාවූ ගැඹුරුවෙමින් පවත්නා සමාජ ධ්‍රැවාන්ත ගත වීම තුලිනි. හිට්ලර්ගේ ගෙස්ටාපෝව විසින් වධ දී තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියට යොදන ලද “verschärfte verhemung” නම් ජර්මන් පදවල ඉංග්‍රීසි පරිවර්තනය වූ , “enhanced interrogation”, (උග්‍ර කැරුනු ප්‍රශ්න කිරීම්) නම් පදය දැන් බුෂ් පාලනාධිකාරය විසින් යොදාගනු ලැබීම ම බරපතල අනතුරු හැඟවීමකි.

(23) අවසානයේදී ධනපති පක්ෂ දෙක විසින් නම් කරනු ලබන්නේ හා ජනාධිපති ලෙස තෝරා පත්කරගන්නේ කවුරුන් වුවත්, සමාජ හා දේශපාලන වර්ධනයේ තර්කනය ගමන් කරන්නේ පන්ති ගැටුම නොකඩවා උත්සන්න වීම දෙසට ය. තවද, කම්කරු පන්තියේ සමාජ තත්වයේ හා ජීවන කොන්දේසිවල දිග්ගැස්සුනු පරිහානිය ද, සමාජ ධනයේ එය සතු කොටස අඛන්ඩව පහත වැටීම ද, නිෂ්පාදන මාධ්‍ය හිමිකරගෙන සිටින හා පාලනය කරන අය විසින් සූරාකෑම නිර්දය ලෙස උග්‍ර කිරීම ද කම්කරු පන්තියේ දේශපාලන ගමන් මගේ හා පක්ෂපාතිත්වයේ ප්‍රගාඪ වෙනසකට සඳහා අඩිතාලම දැමෙනු ඇත. පසුගිය 30 වසර තුල ආර්ථික ජීවිතයේ ඇතිකල ඉමහත් වෙනස්කම් ඇමරිකානු කම්කරු පන්තියේ විඤ්ඤානය තුලට කාවද්දා තිබෙන ගැඹුරු අඩයාලම දැකීමට අසමත් හා දැකගැනීම ප්‍රතික්ෂේප කිරීමට පවා ඉදිරිපත්වන අය හෙලිදරව් කරන්නේ දිරිසුන් සංශයවාදය පමනක් නොව, ඉතිහාසය පිලිබඳ තම මුග්ධත්වයයි. සත්තකින්ම, පසුගිය 25 වසරේ විවෘත සමාජ හා පන්ති ගැටුම විරලවීම ඇමරිකානු ඉතිහාසයේ පොදු රටාව සමඟ තියුනු ලෙස නොසැසඳේ. එහෙත්, ජාතික හා සියල්ලටත් වඩා ජාත්‍යන්තර ආර්ථික හා දේශපාලන සන්තතීන්ගේ සංකීර්න හා සුවිශේෂීවූ අන්තර් ක්‍රියාකාරිත්වය තුල මුල්බැසගත් මෙම සමාජ නිහඬතාවයේ දිග් ගැස්සුනු කාලපරිච්ඡෙදය දැන් අවසානය කරා ලඟාවෙමින් පවතී. 2008 වසර තුල සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ න්‍යායික, දේශපාලනික හා සංවිධානාත්මක යන එහි සියලු අංශවල වැඩකටයුතු පන්ති අරගලය පැනනැඟීමෙන් මතුකෙරෙන අභියෝගයන්ට මුහුන දීම සඳහා සූදානම් කර ගැනීමයි.

(24) මෙම සූදානමේ තීරක මූලාංගයක් වන්නේ විප්ලවවාදී නැඟිටීම්වල අතීත අවධීන්හි පාඩම් විමර්ශනය කිරීමයි. ජාත්‍යන්තරවද, එක්සත් ජනපදය තුලද පුපුරනසුලු අරගලයන් මඟින් අංගලක්ෂිතවූ 1968 වසරේ, 40 වන සංවත්සරය 2008 ට යෙදී තිබේ. 1968 සිදුවීම් ජාත්‍යන්තර විප්ලවවාදී අරගලයේ ද එක්සත් ජනපදය තුල තීව්ර පන්ති ගැටුමේ ද දිග්ගැස්සුනු කාල පරිච්ඡෙදයකට මුල පිරීය. 1968 දේශපාලන පිපිරීම් පලමුව මහා ආර්ථික පිපිරීම පූර්වාපේක්ෂා කල අතර පසුව ලෝක ආර්ථික අර්බුදයේ උග්‍රවන පීඩනයේ පසුබිම් කර ගෙන වර්ධනය විය. 1967 නොවැම්බරයේ බ්‍රිතාන්‍ය පවුම අවප්‍රමානය කිරීම සමග 1968 යුරෝපීය රන්    වෙලඳපොල අස්ථාවර වීම, පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ ජාත්‍යන්තර ධනවාදී ක්‍රමය ප්‍රති නිර්මාන කිරීමේ හා එක්සත් ජනපදයේ අධිකාරී ක්‍රියා කලාපයේ පදනමව පැවති බ්‍රෙට්න්වුඩ්ස් පද්ධතිය 1971 දී බිඳවැටීම පූර්වාපේක්ෂා කර තිබුනි.

(25) 1968 වසරේ ප්‍රධාන සිදුවීම් කෙටියෙන් විමසා බලමු. ජනවාරි අග උතුරු වියට්නාමය එහි ඓතිහාසික “ටෙට් ප්‍රහාරය” දියත් කල අතර, එමගින් එක්සත් ජනපදය යුද්ධය ජයගනිමින් සිටින බවට ජොන්සන් පරිපාලනයේ හා පෙන්ටගනයේ කියාපෑම් තරයේම අපකීර්තියට පත් කලේය. ආරක්ෂක ලේකම් රොබට් මැක්නමරා ඉල්ලා අස්විය. එක්සත් ජනපද පරිපාලනය ඇතුලත එහි වියට්නාම් ප්‍රතිපත්තිය මුල්කරගෙන කටුක අරගලයක් පුපුරා ගියේය. එම මාසයේම, උග්‍ර ස්ටැලින්වාදියෙකු වූ ඇන්ටොනින් නොවොට්නි චෙකොස්ලොවේකියාවේ අගමැතිකමෙන් නෙරපා හැර ඒ වෙනුවට ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් පත්කරන ලද අතර “ප්‍රාග්හි වසන්තය” නමින් ප්‍රසිද්ධ ක්‍රියාවලියකට මුල පිරුනි. පෙබරවාරියේ නිව් හැම්ප්ෂයර් ප්‍රාථමික වටයේදී ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් සුලු ඡන්ද ප්‍රමානයකින් සෙනේට් සභික ඉයුජින් මැකාර්ති පරාජය කල ද එම ප්‍රතිඵලය අර්ථ දක්වනු ලැබුවේ බලයේ සිටින ජනාධිපති ලැබූ විශාල දේශපාලන පරාජයක් ලෙසය. ඩිමොක්‍රැටික් පක්ෂයේ නාමයෝජනාවේදී ජොන්සන් අභියෝගයට ලක් කරන බව සෙනේට් සභික රොබට් කෙනඩි මාර්තුවේදී නිවේදනය කලේය. දෙසතියකට පසුව උතුරු වියට්නාමය සමඟ සාම සාකච්ඡාවලට එලඹෙන බව ද හා තමා යලි පත්වීම සඳහා නාම යෝජනා ඉදිරිපත් නොකරන බව ද ජනාධිපති ජොන්සන් නිවේදනය කලේය. අප්‍රේල් 4 වන දින මාර්ටින් ලූතර් කිං මෙම්ෆිස්හිදී ඝාතනය කරන ලද අතර එක්සත් ජනපදය පුරා කැරලි පැනනැංගේ ය. මැයි මාසයේදී පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය විරෝධතා ප්‍රචන්ඩ ලෙස මැඬීමත් සමග පැනනැගි, ප්‍රන්ස කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනය ඩිගෝල් ආන්ඩුව පක්ෂාඝාත කරමින් රට සමාජ විප්ලවයේ අද්දරටම ගෙන ආවේය. ජූනි 5 වන දින ලොස් ඇන්ජලීස් හිදී රොබට් කෙනඩි ඝාතනය කෙරිනි. අගෝස්තුවේ චිකාගෝහි ඩිමොක්‍රටික් සමුලුව යුද විරෝධතා කරුවන් විසින් වටලනු ලැබූ අතර නගරාධිපති රිචඩ් ඩැලී පොලීසිය යොදවා එය ප්‍රචන්ඩ ලෙස මැඬීමට උත්සාහ කලේය. එම සතියේ ම සෝවියට් යුද ටැංකි චෙකොස්ලොවේකියාවට ඇතුලු වෙමින් දැඩි මතධාරී ස්ටැලින්වාදී පාලනය යලිත් තහවුරු කලේය. නොවැම්බරයේදී රිචඩ් නික්සන් ජනාධිපති ලෙස තේරී පත්විය.

(26) 1968 සිදුවීම් සලකුනු කලේ දශකයකට ආසන්න කාලයක් පැවති ගෝලීය පන්ති අරගලයේ දැවැන්ත ඉල්පීමක ආරම්භය පමනි. සෑම මහාද්වීපයකම න්‍යාය පත්‍රයේ තිබුනේ ජනතා අරගලයෝ ය. එම අවධියේ වඩාත්ම වැදගත් ලක්ෂනය වූයේ අඩු දියුනු මෙන්ම දියුනු ධනේශ්වර රටවලද විප්ලවවාදී ව්‍යාපාර සමාන්තරව වර්ධනය වීමයි. බොලිවියාව, චිලී, ආර්ජන්ටිනාව, ඉතාලිය, ප්‍රන්සය, බි්‍රතාන්‍ය, පෘතුගාලය, ග්‍රීසිය හා ස්පාඤ්ඤය තුල විප්ලවවාදී නොවේ නම් පූර්ව විප්ලවවාදී තත්වයන් පැන නැඟුනි. එම අවධියේ එක්සත් ජනපදය තුල සමාජ අරගලයන්හි ප්‍රමුඛ බලවේගය වූයේ කම්කරු පන්තිය මිස ශිෂ්‍යයන් නොවේ. 1967 හා 1979 අතර කාලය තුල 1973 හා 1976 වසර හැරෙන්නට ප්‍රධාන වැඩ වර්ජනවලට සම්බන්ධ වූ කම්කරුවන් සංඛ්‍යාව කිසි විටෙකත් මිලියනයකට වඩා අඩු වූයේ නැත. 1970 හා 71 වැඩ වර්ජනවලට සම්බන්ධ වූ කම්කරුවන් සංඛ්‍යාව පිලිවෙලින් මිලියන 2.4 හා 2.5 විය. බි්‍රතාන්‍යයේදී 1973-1974 පතල් කම්කරු වැඩ වර්ජනය එඞ්වඞ් හීත්ගේ කොන්සවේටිව් ආන්ඩුවට ඉල්ලා අස්වීමට බල කලේය.

(27) මහත් කැලඹිලි සහිත සමාජ අරගලයන්ගේ මෙම අවධිය තුල ධනේශ්වර පද්ධතිය සුරැකිව පැවතුනේ කවර හේතුසාධක නිසාද? දේශපාලන පෙරමුනේදී ධනවාදය ආරක්ෂාවූ ප්‍රධානම කාරනය සොයාගත යුත්තේ, කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල කඩාකප්පල් කිරීමට තමන් සතුවූ සියලු බලය යෙදූ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු, පක්ෂ, හා වෘත්තීය සමිති නිලධරයේ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති තුලිනි. තවද, 1950 ගනන් හා 1960 ගනන් මුල හතරවන ජාත්‍යන්තරයෙන් කැඩී ගිය පැබ්ලෝවාදී පක්ෂ හා සංවිධාන, ස්ටැලින්වාදයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ද්‍රෝහිත්වය වසංකර ජනතා අරගල වඳ දේශපාලන විරෝධතාවන් තුලට හරවා යවමින් විනාශකාරී ක්‍රියාකලාපයක් ඉටුකර තිබුනි. මෙම ව්‍යාපෘතියේදී පැබ්ලෝවාදීහු, කම්කරු පන්තිය කෙරෙහි පිලිකුල, ඉතිහාසයේ පාඩම් ගැන නොතැකීම, මාක්ස්වාදී න්‍යාය කෙරෙහි දැක්වූ සතුරුකම හා ට්‍රොට්ස්කිවාදය පිලිබඳ කටුක වෛරය යන පැහැදිලි අංගලක්ෂන ගැබ්කරගත් ඊනියා නව වාමාංශයේ සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන වැඩ කලහ.

(28) මෙම බලවේගයන්ගේ දේශපාලන ද්‍රෝහයට ආධාරක වූයේ ඒ වන විටත් ඇමරිකානු ධනවාදය සතුවූ අධිපති ලෝක තත්වය ප්‍රධාන කොට ගත්, සැලකිය යුතු වෛෂයික සාධකවේ. රත්රන් අවුන්සය ඩොලර් 35 කට මාරු කලහැකි හුවමාරු අනුපාතය, ලෝක ධනේශ්වර ආර්ථිකයේ කඩඇනය ලෙස ක්‍රියාත්මක විය.

එහෙත් දේශපාලන හා ආර්ථික වශයෙන්, 2008 වසරේ ලෝකය 40 වසරකට පෙර පැවති ලෝකයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. ලෝකයේ ප්‍රධාන නය දෙන්නා බෙහෙවින්ම නයකාර ජාතිය බවට පත්ව තිබේ. එක්සත් ජනපද ඩොලරය ලෝක, සංචිත මුදලක් ලෙස සකල විශ්වාසනීයත්වයම නැතිභංගකරගෙන ඇති අතර, ජාත්‍යන්තර වෙලඳපොලවල් තුල එහි අගය බ්‍රෙට්න්වුඞ්ස් අවධියේ තිබුනායින් අංශුවකට ඇද වැටී ඇත. නොවැලැක්විය හැකි පරිදි සිදුවන්නට යන දෙයක් වන ඉයුරෝව මගින් හෝ ජාත්‍යන්තර මුදල් පොකුරක් මගින් ඩොලරය විස්ථාපනය වීම සනාථ කරනු ඇත්තේ දැනටමත් පෙනෙන්ට ඇති පරිදි ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආධිපත්‍යයේ යුගය අවසානයකට පැමින තිබෙන බව ම වේ. තවද, “භූගෝලීයකරනය” නමින් හඳුන්වන ක්‍රියාවලීන්ට යටින් වැටී ඇති අසාමාන්‍ය තාක්ෂනික වෙනස්කම් ප්‍රගාඪ විප්ලවකාරී ඇඟවුම් ගැබ්කර ගනී. පසුගිය දශක තුන ජාත්‍යන්තර කම්කරු පන්ති බලවේගයන්ගේ ලෝක පරිමාන ප්‍රසාරනයක් අත්දැක ඇත. දුප්පත්කම හා සූරාකෑම අවසන්කර මනුෂ්‍ය වර්ගයාගේ අවශ්‍යතාවන් සඳහා සේවය කිරීමේ කාර්යය වෙත සවිඥානකව යොමුවන්නා වූ සමාජවාදී රේඛා මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ ලා කම්කරු පන්තිය සතු සමාජ බලය හා ශක්‍යතාවය ලෝක ඉතිහාසයේ කවර කලෙකටත් වඩා අද බලගතුව පවතී.

(29) හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමඟ සහයෝගී වන සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්ති අරගලයන් යලි පැනනඟින බව සහතිකෙන්ම අපේක්ෂා කරයි. ධනේශ්වර පද්ධතියේ වෛෂයික අර්බුදය ඇමරිකානු මෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තියේ පිබිදීම සඳහා ප්‍රේරනය සපයන බව අපි ඒත්තු ගෙන සිටිමු. එහෙත් එලඹෙන පිබිදීම සමාජවාදී විඤ්ඤානය වර්ධනය කිරීමේ ගැටලු ඉබේ විසඳාලන්නේ නැත.

(30) මෑත මාසවල කම්කරු පන්තියේ මූලික අරගල පෙන්නුම්කර ඇති පරිදි, අර්බුදය පිලිබඳ වෛෂයික විප්ලවවාදී ඇඟවුම් හා දේශපාලන විඤ්ඤානයේ වත්මන් මට්ටම අතර ඇත්තේ ඉමහත් ආගාධයකි. වෛෂයික කොන්දේසි කම්කරු පන්තිය අරගලයට යොමුකරනවාක් මෙන්ම, විඤ්ඤානයේ දැවැන්ත පිම්මක් සඳහා පසුබිම ද සකසයි. කම්කරු පන්තියේ දේශපාලන විඤ්ඤානය නැංවීමේ හා, දැන් දුර්වලවී නමුදු ධනපති පාලනයේ අන්තරායකාරී මෙන්ම අත්‍යාවශ්‍ය මුක්කුවක් ලෙස තවදුරටත් පවත්නා නිලධරයේ ප්‍රතිගාමී බලපෑම ජය ගැනීමේ ලා පක්ෂය මඟින් කලයුතු අරගලයේ පරිමාව අඩුතක්සේරු කිරීම වැරැද්දක් වනු ඇත. කම්කරු පන්තිය අවමංගත කිරීමටත් ධනේශ්වරයේ “ප්‍රගතිශීලී” කොටස්වලට එය යටත් කර තබාගැනීමටත් නිරන්තරව වෑයම් කරන නිමක්නැති සුලු ධනපති “රැඩිකල් ” ප්‍රවනතාවන් විසින් ඉටුකරනු ලබන ක්‍රියා කලාපය ද නොතකා හල නොහැකිය. කම්කරු පන්තියේ මෙම සියලු විවිධ දේශපාලන ඒජන්සිවල බලපෑම ජයගත හැක්කේ, අතීත විප්ලවවාදී අරගලයන්ගේ මූලෝපායික අත්දැකීම් උකහා ගැනීමට හා ලෝක ධනවාදයේ වර්ධනය වන අර්බුදයේ ඇඟවීම් වටහාගැනීමට සටන් වැදීමෙන් පමනි.

(31) 2008 වසර තුල සමාජවාදී සමානතා පක්ෂය, කම්කරු පන්තිය තුල මෙන්ම තරුනයන් අතර ද දේශපාලනිකව අභිලාෂමත් ව්‍යායාමයක් ක්‍රියාත්මක කරනු ඇත. මෙම දේශපාලන ව්‍යායාමය පහත සඳහන් පියවර ඇතුලත් කර ගෙන ඇත.

(අ) ඇමරිකා එක්සත් ජනපදයේ හැකිතාක් වැඩි ප්‍රාන්ත ගනනක් තුල, තමන්ගේ ම අපේක්ෂකයන් සහිතව සසප ය 2008 ජනාධිපතිවරනයේ ක්‍රියාත්මක වෙයි. මෙම ව්‍යායාමයේ අරමුන වනු ඇත්තේ, කම්කරු පන්තියේ දේශපාලන විඤ්ඤානය හා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය පිලිබඳ අවබෝධය වර්ධනය කිරීම, කම්කරු පන්තිය ධනපති පන්තියේ පක්ෂවලින් බිඳී වෙන්වීම වේගවත් කිරීම, දුප්පත්කමට, සූරාකෑමට හා සියලු වර්ගයේ සමාජ අසමානතාවට, එරෙහිව සටන්වැදීම, ඇමරිකානු අධිරාජ්‍යවාදයට හා මිලිටරිවාදයට විරුද්ධ කඳවුර ගොඩනැඟීම හා සමාජවාදි සමානතා පක්ෂයට නව බලවේගයන් බඳවාගැනීම ය.

(ආ) ජාත්‍යාන්තර කමිටුවේ අපගේ දේශපාලන සම චින්තකයන් සමඟ එක්ව ලෝක සමාජවාදී වෙබ් අඩවිය වර්ධනය කිරීම. මෙයට, වෙබ් අඩවියේ පාඨ්‍යතාව (කියවාගැනීමේ හැකියාව) වැඩිදියුනු කිරීම ට යොමු වූ නව සැකැස්මක් ද, නූතන අන්තර් ජාල තාක්ෂනය වඩාත් කාර්යක්ෂමව පාවිච්චි කිරීමේ හැකියාව ඉහලටම නැංවීම ද ඇතුලත් ය. ලෝසවෙඅ එහි දේශපාලන, සංස්කෘතික හා න්‍යායික අන්තර්ගතය ශක්තිමත් කරන කර්තෘ මන්ඩල වෙනස්කම් ද ඇතුලත් කරගෙන ඇත. මෙම සියලු වෙනස්කම්වල අරමුන වනාහී සමාජවාදී චින්තනයේ හා ක්‍රියාවේ උපකරනයක් ලෙස වෙබ් අඩවියේ දේශපාලන බලපෑම හා පාඨක සංඛ්‍යාව ප්‍රසාරනය කිරීමයි.

(ඇ) සසප සමඟ ඒකාබද්ධ ශිෂ්‍ය-තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි IYSE) එක්සත් ජනපදය පුරා විශ්වවිද්‍යයාලවල තම වැඩ කටයුතු පුලුල් කරනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ අපගේ දේශපාලන සම චින්තකයන් සමඟ ඒකාබද්ධ උත්සාහයකින් අප සසජාශිී ය ලෝකය පුරා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දේශපාලන එකමුතුකම හා සහයෝගිතාව සඳහා සටන් වදින අව්‍යාජ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ලෙස ගොඩනඟන්නෙමු.

(32) 2008 වසර තුල පක්ෂයේ වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා මෙම වාර්තාවේ ඉදිරි දර්ශන සැකිල්ල මත පදනම්ව සටන් වදින ලෙස අප සියලු සසප සාමාජිකයන්ගෙන් ඉල්ලමු. ඒ සමඟ ම සසපයේ සමස්ත සාමාජිකත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ද ඉල්ලා සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ද සමස්ත ලෝකයේ ද ධනවාදයේ දේශපාලන හා ආර්ථික අර්බුදය එලඹී පවත්නා හදිසිභාවය වටහා ගනිමින් සමාජවාදය උදෙසා සටනට අප සමග එක්වන ලෙසයි. 

Loading