2008 පෙබරවාරි 4 දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිල නිදහස ලබා 60 වසර සලකුනු කරයි. අද දින කොලඹට ආරක්ෂක විලංගු දමා උතුර බුර බුරා නැඟෙන සිවිල් යුද්ධයක වෙලා පවත්වනු ලබන නිල උත්සවය වනාහී යථා වශයෙන් ම යුද හරඹයකි; ශ්‍රී ලංකාවේ පාලක ස්ථරයන්හි පරිපූර්න දේශපාලන බංකොලොත් භාවය පිලිබඳ අක්ත පත්රයකි.
වාර්ගික ගැටුම්, දිනෙන් දින උග්රවන සමාජ කම්කටොලු හා ප්රජාතන්ත්ර විරෝධී පාලන ක්‍රම හැරෙන්නට නිදහසේ 60 වසර තුල වැඩ කරන සාමාන්‍ය ජනතාවට අත්වූ වෙන අන් කිසි දෙයක් නම් නැත්තේම ය.
දෙමල සුලුතරය මත සිංහල-බෞද්ධ ආධිපත්‍යය පවත්වා ගෙන යෑම අරමුනු කර ගත් යුද්ධයක් විසින් මෙම දිවයින ගතවූ අවුරුදු 60න් හරි අඩකට වැඩි කාලයක් පීඩාවට පත් කරනු ලබමින් පවතී. මෙම යුද්ධය විසින් 70,000ට අධික සංඛ්‍යාවක් මරනයට පත් කැරුනු අතර දශ ලක්ෂ ගනනක් උන්හිටිතැන් අහිමිව දිවයින තුල ද විදේශයන්හි ද අවතැන්ව සිටිති. රටේ විශාල ප්‍රදේශයක් විනාශයට පත්ව ඇති අතර සහෝදරයන් මරාගන්නා යුද්ධය සඳහා රටේ ආර්ථික සම්පත් කාබාසිනියා කරනු ලැබේ. ඊනියා නිදහස ලත් තැන් පටන් කම්කරු පන්තිය බෙදා පාලනය කිරීම සඳහා පාලක පන්තිය විසින් යොදාගත් වාර්ගික දේශපාලනය, සාම ගිවිසුමක් ඇති කර ගැනීමට දරන ලද සියලු උත්සාහයන් ම බිඳ දමා ඇත.
අද දින උත්සවවල මූලාසනය ගන්නා ජනාධිපති රාජපක්ෂට ඉදිරිපත් කිරීමට ඉතුරුව ඇත්තේ ජාතිකවාදී පම්පෝරි පමනි. මසකට පෙර 2002 සටන් විරාමය නිල වශයෙන් ඉරා දැමූ ඔහුගේ ආන්ඩුව දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව අවසානය තෙක් යුද්ධය ගෙන යන බව ප්‍රකාශ කර තිබේ. යම් ලෙසකින් ඔහු තම සමීපතම මිලිටරි අරමුන සාක්ෂාත් කර ගත්තත්, දශක ගනනාවක දෙමල විරෝධී නොපනත් කම් මඟින් පැනනංවන ලද වාර්ගික ආතතීන්ට විසඳුම් ඔහු සතුව නැත.
වැඩෙන සමාජ අතෘප්තිය හා ගැඹුරුවන ආර්ථික අර්බුදයට ප්‍රතිචාර ලෙස රාජපක්ෂ 2006 දී කලේ රට යලි යුද්ධයට ඇද දැමීම ය. ඔහුට පෙර පත්වූවන් මෙන්ම රාජපක්ෂ ද වාර්ගික වෛරය ඇවිස්සීම සඳහා ද ජන විරෝධය මැඬීමට කුරිරු හදිසි නීති බලතල යොදා ගැනීම යුක්ති සහගත කිරීම සඳහා ද යුද්ධය යොදාගෙන ඇත. වැඩ වර්ජනය කරන කම්කරුවන් ද, විරෝධය පාන ගොවීන් ද, මාධ්‍ය විවේචකයන් ද යන සියලු දෙනා “කොටි” හිතවාදීන් හෝ ත්රස්තවාදීන් ලෙස හංවඩු ගසනු ලබති. මිලිටරිය සමඟ සහයෝගීව කටයුතු කරන රහසිගත මිනීමරු කල්ලි විසින් සියගනන් ජනයාව ඝාතනය කර හෝ අතුරුදහන් කර ඇත.
ජනගහනයෙන් බහුතරයකගේ ජීවන කොන්දේසි දැරිය නොහැකි තැනකට පත්ව ඇත.
රාජපක්ෂ දැවැන්ත ලෙස ඉහල දමා ඇති යුද වියදම් සහ වැඩිවන තෙල් මිල දැන් රටේ උද්ධමනය සියයට 26 දක්වා වැඩි කොට තිබේ. අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන් සාමාන්‍ය ජනතාවට අතගසාගත නොහැකි මට්ටම්වලට ඉහල දමා ඇත. වැඩි කල අය බදු ද රාජ්‍ය අංශයේ රැකියා හා සේවා කප්පාදුව ද ජනයා තව තවත් අමාරුවට ඇද දමා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ද ලෝකය පුරාම ද පැතිර යන ආර්ථික පසුබෑම දිවයිනේ ආර්ථික ගැටලු තවදුරටත් උග්‍ර කරන අතර සමාජ හා දේශපාලන පිපිරීමක් සඳහා වේදිකාව සකසයි.
පසුගිය හැට වසරේ වාර්තාව ශ්‍රී ලංකාවේ පාලක පන්තියට විරුද්ධ චෝදනා පත්‍රයක් බඳුය. තමන්ම නිර්මානය කර ගත් විනාශයෙන් ගොඩයාමේ මාවතක් සොයාගැනීමට පාලක පන්තියේ දේශපාලන නියෝජිතයන්ට බැරි වී තිබේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ශෝචනීය ලෙස සනාථ කර ඇත්තේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ මූලධර්මාත්මක සත්‍යය යි - එනම්, නොවිසඳුනු ප්රජාතන්ත්රීය හා සමාජ කර්තව්‍යන් කිසිවක් විසඳීමට ධනේශ්වර වර්ධනය කල් පසුවූ රටවල ධනපති පන්තිඓන්ද්රීයව ම අපොහොසත්ය යන්නයි. කොලඹ ආන්ඩුව ජනතාවට ඉතිරි කර ඇති එකම අනාගතය නම් යුද්ධය, මර්දනය හා එන්ට එන්ටම පුලුල් වන සමාජ අසමානතාවයි.
ශ්‍රී ලංකාව වනාහී ආසියාවේ අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ විවිධාකාර පශ්චාත් යටත් විජිත ව්‍යාපෘතීන්ගේ අසාර්ථකත්වය පිලිබඳ එක් තියුනු නිදසුනක් පමනි. 1947 ඉන්දියානු උප මහාද්වීපය බෙදීමේ ප්රතිගාමී නිර්මිතයන් වන ඉන්දියාව හා පකිස්ථානය යන දෙරට දැනටමත් යුද්ධ තුනකට පැටලී තිබේ. “ලෝකයේ ලොකුම ප්රජාතන්ත්රවාදයේ ආශ්චර්යය” ගැන පම්පෝරි ගසන තුච්ඡ ඉන්දියානු දේශපාලඥයන් වාඩිවී සිටින්නේ දුගීභාවයේ ගැලී සිටින මිලියන 400 ක ජනතාවගෙන් සැදුම් ලත් ගැහෙන කාල බෝම්බයක් මතය. විරෝධතා මැඬීම සඳහා පොලිස් රාජ්‍ය ක්රමෝපායන් යොදාගැනීමට ඔවුහු පසුබට නොවෙති. දැනට මිලිටරිය මත පදනම්වූ පකිස්ථානු, බංග්ලාදේශ හා බුරුම පාලන තන්ත්රයන් විදහාදක්වන්නේ ස්වකීය රටවල් තුල පුපුරන සුලු සමාජ, දේශපාලන හා ආර්ථික ප්රතිවිරෝධයන් සමනය කිරීමේ අන් කිසිදු මාධ්‍යයක් මෙම රටවල පාලක පැලැන්තීන් අත නොමැති වීමේ කාරනය යි.
ශ්‍රී ලංකාව තුලත් කලාපය පුරාත් පැනනැඟී ඇති වර්තමාන අපාරයට සමාජවාදී හා ජාත්‍යාන්තරවාදී ක්‍රියාමාර්ගයක පදනම මත විසඳුමක් සැපයිය හැකි එකම සමාජ බලවේගය නම් කම්කරු පන්තිය යි.
එහෙත් සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේ පසුගිය 60 වසරේ ඓතිහාසික ශේෂ පත්‍රයක් සකසා ගැනීමේ පදනම මත පමනි. පසුකාලයකදී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) බවට පත්වූ ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) ට්‍රොට්ස්කිවාදීන් ඉහල ම පන්ති විඤ්ඤානයෙන් යුක්ත කම්කරු ස්ථරයන්ගේ පක්ෂපාතිත්වය දිනා ගත් රටක්වන ලංකාව සම්බන්ධයෙන් මෙය අන් සියල්ලටත් වඩා අදාල වේ. ලසසප පරිහානියේ දේශපාලන පාඩම් ලංකාවේ පමනක් නොව ආසියාවේ ද, ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට ඉමහත් වැදගත්කමක් දරා සිටී.
1964 දී ලසසප නායකයන් සිරිමා බන්ඩාරනායක මැතිනියගේ ධනපති ආන්ඩුවට ඇතුල්වෙමින් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම පාවාදීම අන්තිමේදී 1983 සිවිල් යුද්ධය පැනනැඟීමට තුඩුදුන් ශ්‍රී ලංකා ධනේශ්වරයේ වාර්ගික දේශපාලන ආධිපත්‍යට ඉඩ සලසා දුනි.
නිදහස - සැබෑ ද? බොරු ද? රාජපක්ෂ අද දින නිර්ලජ්ජිතව මිලිටරිවාදය ප්‍රදර්ශනය කරන ගෝල්ෆේස් පිටිය මීට 60 වසරකට පෙර 1948 පෙබරවාරි මස ඊට බෙහෙවින් වෙනස්වූ රැ ලියක් දැකගති. ලංඩන්හි බ්‍රිතාන්‍ය යටත් විජිත කාර්යාලයේ දොරගුලු ලා ගෙන කෙටුම්පත් කරනු ලැබූ ප්‍රෝඩාකාරී නිදහස ප්‍රතික්ෂේප කල ට්‍රොට්ස්කිවාදී බීඑල්පීඅයි සංවිධානය විසින් පවත්වන ලද එම රැ ලියට බලමුලු ගැන්වුනු සිංහල, දෙමල, මුස්ලිම් කම්කරුවන් 50,000 ක් දෙනා අව්‍යාජ නිදහස හා සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙනයාමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැඟීමේ සිය අධිෂ්ඨානය ප්‍රදර්ශනය කලෝය.
ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ ගැඹුරු වැටහීම මත පදනම් වූ බීඑල්පීඅයි නායක කොල්වින් ආර් ද සිල්වා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට බලය පැවරීම පිලිබඳව දුර දක්නා විශ්ලේෂනයක් ඉදිරිපත් කලේය. එම විශ්ලේෂනය යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ ඇටැවුනු පශ්චාත් යටත් විජිත පාලන තන්ත්රයන් සියල්ලට ම පාහේ පුලුල්ව අදාල වන්නේය.
“නිදහස සැබෑවක් ද, ව්‍යාජයක් ද” යන ශීර්ෂය යටතේ කල මෙම ප්රකාශයේදී සිල්වා මෙසේ පැහැදිලි කලේය: “ලංකාව (ශ්‍රී ලංකාව) තුල සිදුව ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සෘජු පාලන ක්රමෝපායන්ගේ සිට වක්‍ර පාලන ක්රමෝපායන් කරා මාරුවකි. සාරය වශයෙන් ගත්කල මෙම මාරුව යටත් විජිත තත්වයේ සිට නිදහසේ තත්වය කරා වන කුමන හෝ සංක්රමනයකට අදාල වන්නේ නොවේ. ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ඉෂ්ට කිරීමේ කර්තව්‍යය ලංකාවේ දේශීය සූරාකන පන්තීන් වෙත මනා සමීපස්ථ බවකින් මුලුමනින්ම පවරා දී තිබේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පසුබිමට මාරුවී ඇතුවා මිස කිසිදු අර්ථයකින් බලය අත්හැර දමා නැත.” ග්ලෝස්ටර් ආදිපාදවරයාගෙන් නිදහසේ නිල වරපත්රය ලබාගන්නා නිල උත්සවයට සහභාගීවන ලෙස ආයාචනය කරන ලිපියක් ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක බීඑල්පීඅයි නායකයන්ට යැවීය.
බීඑල්පීඅයි නිදහසට විරුද්ධවීම මඟින් මතුකර තිබෙන අන්තරායන් ගැන ඔහු සැලකිලිමත්ව සිටියේය. දෙවන ලෝක යුද සමයේ යටත්විජිත විරෝධී අරගලය අත හැර දැමීමට විරුද්ධ වූ නිසා ද බ්‍රිතාන්‍ය යුද විරෝධී ව්‍යායාමය සඳහා කම්කරු පන්තියේ අවශ්‍යතාවන් යටත් කිරීම ප්‍රතික්ෂේප කල හෙයින් ද බීඑල්පීඅයි හි කීර්තිය වැඩී ගොස් තිබුනි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (ශ්‍රීලකොප) මෙන් නොව, බීඑල්පීඅයි දෙවන ලෝක යුද්ධය වනාහි ලෝක ආධිපත්‍ය සඳහා පොර වැදී සිටින ප්‍රතිවාදී අධිරාජ්‍යවාදී බලවතුන් කල්ලි දෙකක් අතර ගැටුමක් බව අවධාරනය කරමින්, යුද්ධය ෆැසිස්ට්වාදයට එරෙහිව “ප්රජාතන්ත්රවාදය” සඳහා සටනක්ය යන කියාපෑම ප්‍රතික්ෂේප කලේය.
1945 දී බීඑල්පීඅයි තහනම් කර එහි නායකයන් සිරගතකොට තිබිය දී ලංකාවේ කම්කරු පන්තිය තුල ප්රමුඛ බලවේගය ලෙස එම පක්ෂය මතුව ආවේය. එය 1946 හා 1947 මහා වැඩ වර්ජන මෙහෙයවූ අතර 1947මැතිවරනයේදී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන් පාර්ලිමේන්තු බහුතරයක් දිනා නොගත් නමුදු, සේනානායකගේ එක්සත් ජාතික පක්ෂයට (එජාප) විවිධ සුලු පක්ෂ සමඟ හවුලකට යාමට සිදු කිරීමට තරම් ඔවුහු ප්‍රබල වූහ. සටන්කාමී කම්කරු පන්තියකට මුහුනපා සිටි එජාපය ආරම්භයේ පටන් ම ජාතිභේදවාදී වාර්ගික දේශපාලනයේ පිහිට පැතීය.
1948 දී සේනානායක ආන්ඩුව ඉටු කල මුල්ම කටයුත්තක් නම් පෙර සියවස තුල දිවයිනේ තේ හා රබර් වතුවල වැඩට දකුනු ඉන්දියාවෙන් ගෙනැවිත් සිටි මිලියනයකට වැඩි දෙමල කතාකරන වතු කම්කරුවන් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමයි; එක් පහරකින්ම ලංකාවේ ජනගහනයෙන් සියයට දහයකගේ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. මෙම වර්ගවාදී පියවරට බීඑල්පීඅයි ය විරුද්ධ විය. දිවයිනේ උතුරු හා නැඟෙනහිර දෙමල ජනතාව සියවස් ගනනාවක් ඈතට දිවයන ඉතිහාසයකට උරුමකම් කීවද මෙම වාර්ගික වෙනස්කම් කිරීම නොවරදවා ම ඔවුන් මතට ද පාත් කරනු ඇති බවට එමගින් අනතුරු ඇඟැවිනි.
1953 වසර තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය. එම වර්ෂයේ අගොස්තුවේදී ලසසප ය (1950 දී බීඑල්පීඅයි, ලසසප සමග ඒකාබද්ධ වී තිබුනි.) එක් දින හර්තාලයක් හෙවත් වැඩ වර්ජනද ඇතුලු පුලුල් විරෝධතාවක් කැඳවූ අතර එය මහජන නැඟිටීමක් බවට වර්ධනය වෙමින් ධනපති පාලනය අරටුවට ම සොලවාලීය. මිල වැඩිකිරීම් හා ශුභසාධන කප්පාදුවට එරෙහි විරෝධතාව දින තුනක් පුරා පැවතුනි. හර්තාලය සිංහල දෙමල මුස්ලිම් ඇතුලු සියලු ජනකොටස් අතර පුලුල් සහයෝගයක් දිනාගත්තා සේම ගම්බද ප්‍රදේශ කරා ද පැතිර ගියේය. කොලඹ වරායේ නවතා තිබූ බ්‍රිතාන්‍ය යුද නැවක අර්බුදකාරී රැ ස්වීමක් පැවැත්වූ එජාප ආන්ඩුවට ආර්ථික ප්‍රහාර බොහොමයක් අකුලාගැනීමට සිදු විය.
ශ්‍රී ලංකාවේ ධනේශ්වරය සසල කලා වූ මෙම අත්දැකීමෙන් එම පන්තිය නිශ්චිත දේශපාලන පාඩම් උකහා ගති. 1951 දී එජාපයෙන් කැඩීගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) පිහිටුවාගත් එස්.ඩබ්.අර්.ඩී.
බන්ඩාරනායක හර්තාලය අවසන්වීමත් සමග ම, දෙමල බස පසෙකලා දිවයිනේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයයි කියා සිටිමින් විවෘත සිංහල අධිපතිවාදී වැඩ පිලිවෙලක් ඉදිරිපත් කලේය. බන්ඩාරනායක දෙමල විරෝධී අගතීන් ඇවිස්සීමෙන් බලාපොරොත්තු වූයේ ලසසපයේ බලපෑම බිඳ දැමීමයි. ඔහු සිය “ සිංහල පමනක්” වර්ගවාදය “ජනසතු කිරීම්” පිලිබඳ පුහු සමාජවාදී වාගාලාප හා දුප්පතුන්ට සහන සැලසීමේ ප්රතිපත්තීන් සමඟ එකට ගලතා ගත්තේය.
1953 වසර ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ද තීරනාත්මක වසරක් විය.
නොවැම්බරයේදී අර්නස්ට් මැන්ඩෙල් හා මයිකල් පැබ්ලෝ මෙහෙයවූ අවස්ථාවාදී ප්රවනතාවට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගොඩ නගන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිකල, ධනේශ්වර පුනස්ථාපනයෙන් පසුව සමාජවාදය පිලිබඳ ගැඹුරෙන්ම සැක උපදවාගත් ඔවුහු රුසියානු විප්ලවයේ මූලික අත්දැකීම් ප්‍රතික්ෂේප කලහ.
කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලයක් හරහා බොල්ෂෙවිකයන්ගේ අත්දැකීම් යලිත් ජීවමාන කරමින් විප්ලවවාදී ව්‍යාපාරයේ නායකත්වය දිනාගැනීම හතරවන ජාත්‍යන්තරයේ පක්ෂවලට, කල නොහැකි වනු ඇතැයි පැබ්ලෝ හා මැන්ඩෙල් කියා සිටියහ. ඒ වෙනුවට ට්‍රොට්ස්කිවාදීන් කල යුත්තේ “ සැබෑ මහජන ව්‍යාපාරය තුලට” ගාල්වීම බව ද ඔවුහු කියා සිටියහ. යථාර්ථයේදී මෙහි තේරුම වූයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ පවත්නා ස්ටැලින්වාදී සමාජ ප්රජාතන්ත්රවාදී හා ධනේශ්වර ජාතිකවාදී නායකත්වයන්ට යටත් කිරීම ය.
භේදය සම්බන්ධයෙන් ලසසපය ගත් ආස්ථානය වනාහී ලංකාවේ කම්කරු පන්තිය කෙරෙහි ප්රගාඪ ප්‍රතිවිපාක ගැබ්කර ගත්තකි. ශ්‍රීලකොප ට එරෙහිව අරගලයක් ගෙනගොස් තිබුනු ලසසප නායකයෝ පැබ්ලෝ හා මැන්ඩෙල්ගේ ස්ටැලින්වාදයට පක්ෂ දිශානතිය කෙරෙහි විවේචනශීලී වූහ. එහෙත් හජාජාක ට බැඳීම ප්‍රතික්ෂේප කල ඔවුන් පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමඟ පෙල ගැසුනු අතර පැබ්ලෝවාදීහු ලසසපයේ පසුකාලීන දේශපාලන පසුබෑමට සිය අනුග්‍රාහී ආශිර්වාදය ලබාදුන්හ. “සැබෑ මහජන ව්‍යාපාරය” දෙසට යොමුවීම නම් සූත්‍රය ලංකාවේ දී නිශ්චිත අර්ථයක් දැරීය. එනම් බන්ඩාරනායකගේ ප්‍රෝඩාකාරී සමාජවාදයට එරෙහිව වෙහෙස නොබලා කෙරෙන දේශපාලන අරගලයක් වෙනුවට ලසසප නායකයන් ඔහුගේ වර්ගවාදී දේශපාලනයට අනුගත වීමය. ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම ආරක්ෂා කිරීම වෙනුවට වඩ වඩාත් පාර්ලිමේන්තු වන්දනාව ආදේශ කරගන්නා ලදී.
ලසසපයේ යටත්වීම හිටිහැටියේ සිදුවූවක් නොවේ. බන්ඩාරනායක බලයට ගෙන ආ 1956 මැතිවරනයේදී ලසසප ඔහුගේ “සිංහල පමනක්” ප්‍රතිපත්තියට විරුද්ධ ව සිංහල හා දෙමල සම රාජ්‍ය භාෂා දෙකක් විය යුතු බව කියා සිටියහ. සිංහල මැර කල්ලි මුදාහල වඩ වඩාත් දුෂ්ඨ ප්‍රහාරවලට එරෙහිව ලසසපය දෙමල ජනතාව ආරක්ෂා කලේය. ලසසපයේ සටන් පාඨය වූයේ “එක් භාෂාවක් නම්, රටවල් දෙකක්, භාෂා දෙකක් නම්, එක් රටක්” යන්නය. දෙමල විරෝධී වෙනස්කම් කිරීමේ බිහිසුනු ප්‍රති විපාක පෙර දුටු4 දුරදක්නා අර්ථභාරයක් ඒ තුල ගැබ් විය. කෙසේ වුවද පාර්ලිමේන්තු උපාමාරු කෙරෙහි ලසසපයේ නැඹුරුව හා 1956 මුල පටන් ම ඇරඹී තිබුනු ශ්රීලනිපය සමග වූ එහි නිතරග මැතිවරන ගිවිසුම්, බන්ඩාරනායකට වඩාත් තුරලුවීම පිලිබඳව සාක්ෂි දරයි.
මහා පාවාදීම පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ආධාර අනුබල සහිතව දශකයක් තිස්සේ දේශපාලන පරිහානිය කරා ගමන් කල ලසසපය එය කුලු ගැන්වූයේ 1964 දී බන්ඩාරනායකගේ වැන්දඹුවගේ හවුල් ආන්ඩුවට ඇතුල් වීමෙනි. තමන් ලද ඇමති පුටු සඳහා සමසමාජ නායකයන් ගෙවූ මිල වනාහී 1953 හර්තාලය යලිත් සිදු කිරීමේ තර්ජනය මතුකල “ඉල්ලීම් 21” වටා පැනනැගි කම්කරුවන්ගේ බලගතු පුපුරන සුලු ව්‍යාපාරය අත් හිටුවීම ය. නව ආන්ඩුව මාසයක් ඇතුල බිඳ වැටුන නමුත් ඒ කාලය තුලදී 300,000ක් පමන වතු කම්කරුවන් දකුනු ඉන්දියාවට ආපසු යැවීමට කොලඹ සහ නව දිල්ලිය අතර ඇති කර ගත් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට සහයෝගය දුන් ලසසපය එමගින් තම පාවාදීම කොතරම් දුරකට ගෙන යාමට සූදානම් දැයි ඒ වන විටත් පැහැදිලි කලේය. මෙය වනාහී 1948 දී දෙමල කම්කරුවන්ගේ පුරවැසි අයිතිය ආරක්ෂා කිරීමට නැගී සිටි ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පිලිවෙත මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමකි.
ශ්‍රීලනිප-ලසසප හවුල මුදුන්පත් වූයේ 1970 මැතිවරනයේ දී බලයට පත් වීමෙන් ඉක්බිතිව ය.
වැඩෙන ආර්ථික අස්ථාවරත්වයට මුහුන දීමත් සමග, එම ආන්ඩුව සිය මැතිවරන පොරොන්දු ඉරා දමා ලෝක බැංකුව විසින් නියමිත පටි තද කිරීමේ පියවර ආරම්භ කලේ ය. ධනපති ආන්ඩුවකට ලසසපය විවෘතව සම්බන්ධ වීම කම්කරු පන්තිය තුල ඉමහත් ව්‍යාකූලත්වයක් නිර්මානය කලේ ය. රැඩිකලීකරනය වී සිටි තරුනයන්ගෙන් කොටසක්, මාවෝවාදය, ගුවේරාවාදය සහ සිංහල ස්වෝත්තමවාදය අනාගත් දෘෂ්ටිවාදාත්මක විසකුරු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වැනි කල්ලි දිශාවට යොමු වූහ. බන්ඩාරනායක ආන්ඩුවේ ප්‍රථම ක්‍රියාවන්ගෙන් එකක් වූයේ 1971 ගම්බද සිංහල තරුනයන්ගේ සන්නද්ධ කැරැල්ල මගින්, ගරිල්ලාවාදය දිශාවට යොමු වූ ජවිපෙ ප්රාරම්භක අතිධාවනය දරුනු ලෙස මර්දනය කිරීම ය. දස දහසකට වැඩි පිරිසක් ඝාතනය කැරුනු අතර තවත් පහලොස් දහසක් ලංකාව පුරා පිහිටවූ සිර කඳවුරුවලට ගාල් කරන ලදහ.
ජවිපෙ අභියෝගයට ප්‍රතිචාර දැක්වීමේ දී, ආන්ඩුව වඩාත් තියුනු ලෙස සිංහල වර්ගවාදය දෙසට හැරී ගත්තේ ය; ලසසපය එහි පෙරමුනේ විය. 1972 අලුතෙන් නම් කෙරුන ‘ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජය’ සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට වගකීම කොල්වින් ආර් ද සිල්වා බාරගති. එම ව්‍යවස්ථාව සමාජවාදී හෝ ප්රජාතන්ත්රවාදී නොවී ය.
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී පාලනයේ ඉතුරු පහදු අහෝසි කරන බවක් කියාපාමින් සිංහල භාෂාව තනි නිල භාෂාව බවට පත් කිරීම සමඟ එක පෙලට බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස නිදන්ගත කල කොල්වින් ආර්. ද සිල්වා, ව්‍යවස්ථාව තුල දෙමල විරෝධී වෙනස්කම් නීතිගත කලේ ය. වැවිලි කර්මාන්ත ඇමති හැටියට කොල්වින් ආර් ද සිල්වා විශාල තේ වතු සිංහල කලමනාකරුවන් අතට පත් කල ඊනියා “ජනසතුකරනය” ට ද මූලිකත්වය ගත්තේ ය. සිරිමාශාස්ත්රී ගිවිසුමේ කොන්දේසි යටතේ දස දහස් ගනනක් දෙමල වතු කම්කරුවන් බලහත්කාරයෙන් ඉන්දියාවට පිටුවහල් කරන ලද අතර ඉඩම් සිංහල වගාකරුවන්ට පවරා දෙන ලදී. පිටුවහල් කිරීමට ඉලක්ක වූ කම්කරුවන්ට ජීවනෝපාය අහිමි කැරුනු වතුකරය තුල එ සමයේ පතිත ආර්ථික දුෂ්කරතා සුවිශේෂ කුරිරු බවක් දැරීය. කුසගින්න නිසා දුසිම් ගනන් මරනයට පත් වූහ.
බන්ඩාරනායක ආන්ඩුව විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාග “ප්‍රමිති ගත” කලේ ය. එය දෙමල ශිෂ්‍යයන්ට වෙනස්කම් කර සිංහල ශිෂ්‍යයන්ට ප්‍රමුඛත්වය දුන් පියවරකි. එම තීන්දුවෙන් කෝපයට පත් බොහෝ දෙමල තරුනයෝ ශ්‍රී ලංකා රාජ්‍යය තුල ඔවුන්ට අනාගතයක් නැතැයි නිගමනය කිරීමට පටන් ගත් අතර සිය අයිතීන් සඳහා සටන් කිරීමට එල්ටීටීඊයේ සහ සෙසු සන්නද්ධ කන්ඩායම්වල දෙමල බෙදුම්වාදය දෙසට යොමු කරනු ලැබූහ.
මුදල් ඇමති - ලසසප නායක ඇන්.ඇම්.
පෙරේරා - ගැඹුරුවන ආර්ථිකයට ප්‍රතිචාර දැක් වූයේ සලාක ක්‍රමය මගින් සමාජවාදය ක්‍රියාත්මක කරන බව හාස්‍යජනක ලෙස කියා පාමින් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල බත් කෑම තහනම් කරමිනි. සහල් සුලු ප්‍රමානයක් ප්‍රවාහනය කිරීම පවා සාපරාධී ක්‍රියාවක් ලෙස නම් කරන ලදී. ලෝක ආර්ථික කුනාටුවේ බලපෑමෙන් ආරක්ෂා කොට දිවයිනේ ධනපති ආර්ථිකය කලමනාකරනය කිරීමට ගත් මෙම උත්සාහය පලල්ව පැතුරුනු විරුද්ධත්වයක් ජනනය කොට වියයුතු පරිද්දෙන් ම අසාර්ථක විය. හවුල් ආන්ඩුවේ අවසානය සලකුනු කල 1976 මහා වැඩ වර්ජනය තුලින් කම්කරුවන්ගේ රාශිගත වෛරය පුපුරා ගියේ ය. 1977 මැතිවරනයෙන් හයෙන් පහක පාර්ලිමේන්තු බහුතරයක් සහිතව බලයට පත් වූ එජාප ආන්ඩුව වහාම මහා’භිලාෂී නිදහස් වෙලඳ ප්රතිසංස්කරන ව්‍යාපෘතියක් දියත් කරමින් විදේශ ප්රාග්ධනයට ආර්ථිකය විවෘත කර දැමීය.25 වසරක යුද්ධය එමගින් ලිහා හරින ලද වෙලඳපොල බලවේග රටේ දේශපාලන අර්බුදය විසඳනවා වෙනුවට සමාජ විභේදනය ගැඹුරු කල අතර කැකෑරෙන අතෘප්තියක් පැනනැංවීය. එජාප නායක ජේ.ආර්. ජයවර්ධන ද තම පූර්වගාමීන් මෙන්ම මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූයේ වාර්ගික බෙදීම් ඇවිලවීම සහ ප්රජාතන්ත්ර විරෝධී උපක්‍රම මගිනි. මෙම ක්‍රියා මගින් පැනනැංවුනු පුද්ගලීකරනයට එරෙහි 1980 මහ වැඩ වර්ජනයට ආන්ඩුව ප්‍රතිචාර දැක්වූයේ 100,000ට වැඩි කම්කරුවන් තොගපිටින් රැකියාවලින් නෙරපා දැමීම මගිනි. ඒ සමග ම එජාපය විසින් උසිගන්වන ලද සිංහල මැර කන්ඩායම් දෙමල බෙදුම්වාදීන් සිදු කල හුදකලා ප්රහාරයන් උපයෝගි කරගනිමින් වාර්ගික හිංසනයන් ඇරැඹීය.
1981 දී කරන ලද විලෝපනය මගින් යලි සොයාගත නොහැකි දෙමල අත් පිටපත් සහ පොත්පත් ගිනි බත් කොට යාපනය පුස්තකාලය බිමට සමතලා කරන ලදී.
සිය ගනනක් මරා දැමුවා වූද දහස් ගනන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන විනාශ කලා වූද දීපව්‍යාප්ත දෙමල ජන විරෝධී භීෂනයක් 1983 ජුලියේ දී මුදා හැරිනි. එහි ප්‍රතිඵලය වුනේ සිවිල් යුද්ධය ඇවිලී යාම ය. යුද ගැටුම තමන්ගේ ම ආර්ථික උවමනාවන් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කල නමුදු ශතවර්ෂ කාලක් පුරා ම ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් ඔප්පු කර ඇත්තේ යුද්ධය අවසන් කිරීමට තමන් මුලුමනින්ම අමත්බව ය.
දෙමල සුලුතරයට කිසියම් හෝ සහනයක් දීමට එරෙහි දේශපාලන සංස්ථාපිතය තුල එකෙක් අනිකාට කර්කශ ලෙස දොස් පැවරීමට යොමු වන තතු තුල සාමකාමී එකඟතාවක් ඇති කර ගැනීමේ සියලු උත්සාහයන් බිඳ වැටී තිබේ. කම්කරුවන් භේද කිරීම සඳහා හැට වසරක් පුරා වාර්ගික දේශපාලන ආයුධය යොදා ගැනීම මගින් පෙන්නුම් කර ඇත්තේ රටේ සමස්ත පුරවැසියන්ගේ ම අති මූලික ප්රජාතන්ත්රීය අයිතීන් ලබා දීමට ධනේශ්වර දේශපාලන නියෝජිතයන්ට පවතින නොහැකියාව වේ.
ගැඹුරු ආර්ථික අර්බුදය මධ්‍යයේ 2000 දී ආන්ඩුව මුහුන දුන් මිලිටරි පරාජයන් මාලාවකින් පසුව යුද්ධය අවසන් කිරීමේ වඩාත් මෑත ම උත්සාහය දරන ලදී. ඇමරිකා එක්සත් ජනපදයට 2001 සැප්තැම්බර් 11 එල්ල කෙරුන ප්‍රහාරයෙන් පසුව, එල්ටීටීඊ “ ත්රස්තවාදීන්ට” සාකච්ඡා මේසයට ඒමට බල කිරීම සඳහා කාලය එලඹ ඇතැයි ශ්‍රී ලාංකික මහා ධනේශ්වරයේ කොටසක් නිගමනය කලහ. ශ්‍රීලනිප නායකත්වය දැරූ පාලක සභාගය එවැන්නකට විරුද්ධ වූ කල්හි නව මැතිවරනයක් කැඳවා භූගෝලීකෘත ආර්ථිකය තුලට දිවයින අන්තර්ග්රහනය කිරීමේ ද ඉන්දියාවේ පැනනගින උත්පාතයේ වාසිය ඩැහැ ගැනීමේ ද පලල් සැලැස්මක කොටසක් ලෙස සාම ගිවිසුමක් ඉදිරිපත් කල එජාප ආන්ඩුවක් බලයේ පිහිටුවී ය. කෙසේ නමුත්, පටන් ගැන්මෙදි ම 2002 සටන් විරාමය ශ්‍රීලනිප සහ ජවිපෙ වැනි සිංහල අන්තවාදී කන්ඩායම්වල ද මිලිටරි නිලධරයේ සහ රාජ්‍ය නිලධරයේ කොටසක ද විරුද්ධත්වයට පාත්‍ර විය. දශක හයක වර්ගවාදය සහ වසර 25ක යුද්ධය විසින්, නිර්මානය කර ඇති යුද්ධයෙන් වාසි ලබන බලගතු කන්ඩායම් කවර හෝ සම්මුතියක් ද්‍රෝහිකමක් ලෙස සලකති. සිංහල-බෞද්ධ ජාතිය පාවා දෙන බවට කෙරෙන කවර හෝ චෝදනාවකට සමස්ත කොලඹ සංස්ථාපිතයම බයාදු ය. එල්ටීටීඊය ප්රකුපිත කිරීමට ගනන් බැලුනු ක්‍රියාමාර්ගයක් මත 2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයට පත් වීම සටන් විරාමයේ ඉක්මන් අවසානය තීන්දු කලේ ය.
ජවිපෙ පරිනාමය පෙන්නුම් කරන්නේ ලසසප පාවාදීමෙන් පසු පැනනැගි විවිධ මධ්‍යම පන්තික රැ ඩිකල් ව්‍යාපාරවල දේශපාලනික බංකොලොත්කමේ තියුනු ප්රකාශනයකි. එය දැන් එහි අතීත සමාජවාදී අධිරාජ්‍ය විරෝධී වාචාල කතා අතහැර දමා දේශපාලන සංස්ථාපිතයට අන්තර්ග්රහනය වී ගනිමින් යුද්ධයේ දරුනුම සහකරුවා බවට පත්ව සිටී.
එල්ටීටීඊය වනාහී දෙමල ධනේශ්වරයේ අවශ්‍යතාවන් මිස දෙමල මහජනතාවගේ අවශ්‍යතාවයන් කවර දිනෙක වත් නියෝජනය නොකල සංවිධානයකි. 2000-2003 සාම සාකච්ඡාවල දී එහි ඉදිරිදර්ශනය වූයේ සිංහල සහ දෙමල ප්රභූවට ඒකාබද්ධව කම්කරු පන්තිය සූරාකෑමට ඉඩ සලසන බලය බෙදීමේ සැලැස්මකි. සාකච්ඡා බිඳ වැටීමත් සමග කොලඹ ආන්ඩුව “හරි මගට” ගැනීමට ප්‍රධාන බලවතුන්ට බෙලහීන යාඥා කරන තැනට එල්ටීටීඊය ඇද වැටී ඇත.
යුද්ධය සහ සමාජ අසමානතාවය අවසන් කරීමේ ක ි යාමාර්ගයක ්රි ් ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය 1948 දී කල පරිදි ම අද දින සමාජවාදී සමානතා පක්ෂය (සසප) ද ධනේශ්වර පාලක පන්තිය විසින් කරනු ලබන ජාතිකවාදය සහ මිලිටරිවාදය පිලිබඳ නිල අනුස්මරනය ප්‍රතික්ෂේප කරන ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටියි. එකල්හි හැට වසරකට පෙර ට්‍රොට්ස්කිවාදීහු මෙසේ අභියෝග කලහ: “එය (නිදහස) තුල රටේ මහජනතාවට උද්දාමවිය හැකි කවරක් හෝ තිබේ ද?... ඉහත ප්‍රශ්නයට සමස්ත ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂයේ (බීඑල්පීඅයි) පිලිතුර පැහැදිලි සහ නිසැක එකකි. ‘නැත!,’ මෙම ‘නව තත්වය’ තුල මහජනතාවට උද්යෝගිමත් වීමට කිසිවක් නැත”.
එකල බීඑල්පීඅයි සංවිධානය ලියූ දේවල් බොහෝ කලකට පසු අදදින සනාථ වී තිබේ.
යුද්ධය අවසන් කොට සහ වර්තමාන ව්‍යසනයෙන් ගොඩ ඒමට මාවතක් ඉදිරිපත් කල හැකි එකම පන්තිය වනාහී කම්කරු පන්තිය පමනක් බවසසප අවධාරනය කර සිටී. පාලක පන්තියේ ඒ හෝ මේ කොටසට කම්කරු පන්තියේ ඉරනම ගැටගසන්නවුන් විසින් කම්කරු පන්තිය ව්‍යසනයෙන් ව්‍යසනයට පත් කරනු ලැබ ඇත. සසප ප්‍රතික්ෂේප කරන තවත් දෙයක් නම් “ජාත්‍යන්තර ප්‍රජාව” කෙරෙහි විශ්වාසය තැබීමට කෙරෙන ඉල්ලීමයි. සියලු ම ප්‍රධාන බලවත්තු, විශේෂයෙන් ම ඇමරිකා එක්සත් ජනපදය, 2002 සටන් විරාමය ද වගවර්නනා කැරුනු “සාම ක්‍රියාවලිය” ද බිඳ වැටීම හීන් කෙඳිරියක් වත් නැතිව ම පිලිගෙන සිටිති. ඔවුන් උත්සුකවන්නේ ඔවුන්ගේ ම ආර්ථික සහ මූලෝපායාත්මක උවමනාවන් කලාපයපුරා පෙරට ගෙනයාම ය. ශ්‍රී ලංකාවේ මහජනතාවගේ යහපත ගැන මොනම උවමනාවක් වත් ඔවුන්ට නැත.
පසුගිය හැට වසරක පාඩම් වනාහී යුද්ධයට එරෙහි අරගලය සිංහල අධිපතිවාදය, දෙමල බෙදුම්වාදය යනාදී සකල රූපාකාරයකම ජාතිකවාදය සහ වර්ගවාදය ප්‍රතික්ෂේප කිරීම මත පදනම් විය යුතු බවයි.
කම්කරු පන්තිය භාෂාමය, ආගමික හෝ වාර්ගික පසුබිම නොතකා සකල වැඩ කරන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා අරගලයේ පෙරමුන ගත යුතු ය. මිලිටරිය උතුරු නැගෙනහිර අල්ලා ගෙන සිටීම වහාම සහ කොන්දේසි විරහිතව අවසන් කල යුතු යැයි ඉල්ලීම එහි ප්‍රථම පියවර ය.
මෙය එල්ටීටීඊයට ජය ලබා දීමක් යයි උඩුබුරුලන්නන්ට එරෙහිව, අප තහවුරු කර සිටින්නේ කොලඹ ආන්ඩුවේ සහ එල්ටීටීඊයේ මර්දනකාරී පාලනයට එරෙහි ඒකාබද්ධ අරගලයක් තුල සිංහල දෙමල මහජනතාව එකමුතු කිරීම සඳහා මෙය තීරනාත්මක බව ය.
සසප කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සහ ශ්‍රීලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා සටන්වදියි. දශක ගනනාවක් තිස්සේ කරන ලද වෙනස්පාඩු සහ ආගමික, වාර්ගික කුල සහ ලිංගික පීඩනය අහෝසි කිරීම සඳහා සැබෑ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් අපි කැඳවුම් කරමු.
ප්රජාතන්ත්රවාදී අයිතීන් සහතික කල හැක්කේ සමාජ අසමානතාවය අවසන් කිරීම මගින් පමනි. සමාජවාදී පිලිවෙතක් මත සමාජය ඉහල සිට පහලට ප්‍රතිව්‍යුහගත කල යුතු යැයි සසප අවධාරනය කරයි. කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන ධනය ධනපතීන් අතලොස්සකගේ ලාබ සඳහා නොව, සියලුදෙනාගේ ම දැවෙන සමාජ අවශ්‍යතාවයන් විසඳීම සඳහා යොදා ගත හැක්කේ එමගිනි.
ආරම්භයේ සිට ම “තනිරටේ සමාජවාදය” සම්බන්ධ ස්ටැලින්වාදී ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කල බීඑල්පීඅයි සංවිධානය ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමස්ත ඉන්දියානු ව්‍යාපාරයක් ගොඩනැගීම සිය අරමුන කර ගත්තේ ය.
අද දින ජාත්‍යන්තර ආර්ථිකය ද එය සමග ම ජාත්‍යන්තර කම්කරු පන්තිය ද පෙර නුවූ විරූ මට්ටමකට භූගෝල පරිමානව ඒකාග්රිත වී ඇත. එමගින් ජාතික ආර්ථික නියාමනයේ සකල වැඩපිලිවෙලවල් ම මුලුමනින් ම යල් පන්නනු ලැබ ඇත. මෙම කුඩා දිවයින තුල සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ පලල් ව්‍යාපාරයක කොටසක් ලෙස ම පමනි. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මිතුරන් සෙවිය යුත්තේ කොලඹ දේශපාලන සංස්ථාපිතය තුල නොව, කලාපය තුල සහ ලොව වටා සිටින කම්කරු පන්ති සහෝදරයන් සහ සහෝදරියන් අතර ය.
සමාජවාදී සමානතා පක්ෂය කලාපය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කිරීම උදෙසා දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා සටන් කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව ලෙස 1968 දී පිහිටුවනු ලැබූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සසපයේ පෙර ගමන්කරුවා විය. ලසසප පාවාදීම විසින් නිර්මානය කෙරුනාවූ බලගතු ව්‍යාකූලත්වය මැද්දෑවේ විකොස ජාත්‍යන්තර සමාජවාදී මූලධර්මවල පදනම මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් උදෙසා දුෂ්කර සහ දිග් ගැස්සුන දේශපාලන අරගලයක් ගෙන ගියේ ය.
අප හැර අන් කිසිදු පක්ෂයක් කාලයාගේ පරීක්ෂනය ඉදිරියේ කෙලින් සිට ගැනීමට සමත් ව නැති බව ආඩම්බරයෙන් සහ අනභියෝගීව කියා සිටීමට අපි සමත්වෙමු. අපගේ ක්‍රියාමාර්ගය සහ ඉදිරිදර්ශනය බැරෑරුම්ව අධ්‍යයනය කරන ලෙස ද ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය වන අප පක්ෂයට බැඳෙන ලෙස ද කම්කරුවන්, ශිෂ්‍යයන්, බුද්ධිමතුන් සහ ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.
[මෙය 2008 පෙබරවාරි 04 වැනි දින Sri Lankan independence: 60 years of communalism, social decay and war යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
