ශ්‍රී ලංකාව: ජයග්‍රාහී කථාව වැඩ කරන ජනතාව මත නව ප්‍රහාර ඇඟවුම්‌ කරයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ටීටීඊ එරෙහිව හමුදාව ලත් ජයග්‍රහනය නිල වශයෙන් නිවේදනය කරමින්, ඊයේ පාර්ලිමේන්තුවේදී කථාවක් පැවැත්වීය. රාජපක්ෂ නරුම ලෙස ප්‍රකාශ කලේ හමුදාව “ත්‍රස්තවාදී” එල්ටීටීඊ වෙතින් දෙමල ජනතාව “මුදාගත්” බව වුවත්, සිංහල, දෙමල, මුස්ලිම් යන සියලු වැඩකරන ජනතාවට ඔහු උරුම කර දුන්නේ මරනය, විනාශය හා කාලකන්නිකමයි.

සිවිල් වැසියන් රැක බලාගැනීම හා “යටත්වූ සතුරාට පවා ගරුකිරීම” පිලිබඳව රාජපක්ෂ කථාකල නමුත්, එල්ටීටීඊ සටන්කරුවන් රැඳී සිටි අවසන් බිම්කඩ වෙත හමුදාව, සඳුදා දිනයේ සිදුකල ආක්‍රමනය අමු අමුවේ මිනී මැරීමක් විය. තමන්ගේ තුවක්කු නිහඬ කිරීමේ සූදානම එල්ටීටීඊ නිවේදනය කර තිබුන ද, ආන්ඩුව කල්තියාම එහි ඉහල නායකත්වය මුලිනුපුටා දැමීමේ තීන්දුව ගෙන තිබුනි.

සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා, නෝර්වේ රාජ්‍යය හරහා ඉරිදා කල සටන් අත්හිටුවීමේ එල්ටීටීඊ යෝජනාව, නිකම්ම පැත්තකට දැමුනි. විදේශ අමාත්‍යාංශ ලේකම් පාලිත කොහොන මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කලේය. “ආන්ඩුවේ ආස්ථානය පැහැදිලිය. නෝර්වේ රට තවදුරටත් පහසුකම් සපයන්නෙක් නොවේ. එල්ටීටීඊ අවි බිම තැබීමට ඉදිරිපත් වූයේ මඳක් ප්‍රමාදවී ය.” සඳුදා උදෑසන හමුදාව එල්ටීටීඊ ඉහල නායකයන් ද ඇතුලුව 300 කට අධික මිනිසුන් මරා දැමීය.

රටේ සියලු හමුදා නායකයන් පාර්ලිමේන්තුවේ රැස්ව සිටි අතර, රාජපක්ෂගේ කථාවෙන් වැඩිකොටස කැපකරනු ලැබුවේ සන්නද්ධ හමුදාවන් හුවා දැක්වීමටත්, සිය ආන්ඩුවේ යුද අපරාධ වසංකිරීමට හා යුද්ධය, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” ලෙස නීතියුක්ත කිරීමටය. හමුදාවල ජයග්‍රහනය ගැන උදම්අනමින් ඔහු ප්‍රකාශ කලේ, ඔවුන්ගේ වීරත්වය “ත්‍රස්තවාදය අතුගා දැමීමේ අරගලයක යෙදී සිටින සමස්ත ලෝකයට ම” ආදර්ශයක් වනු ඇති බවයි.

එල්ටීටීඊ “දැවැන්ත ජාත්‍යන්තර සංවිධානයක්” ලෙස පූම්බාලමින් රාජපක්ෂ මෙසේ කියා සිටියේ ය.

“එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් යොදාගත් කුරිරු මිලිටරි ක්‍රමෝපායන්ට මුහුනපෑහැකි යුද්ධයේ පාසැලක් ලෝකයේ නොතිබූනි. සියදිවි නසාගන්නා මිනීමරු කබා, රේඩාර් මඟහැරිය හැකි සැහැල්ලු ගුවන් යානා, සියදිවි නසාගන්නා කුඩා බෝට්ටු, බිම් බෝම්බ හා ක්ලේමෝ බෝම්බවල සංකලනයකට මුහුන දිය හැකි මිලිටරි විද්‍යාවක් ලෝකයේ දක්නට ලැබී නැත.” යුද්ධය ගෙනගියේ “ත්‍රස්තවාදය” මුලිනුපුටා දැමීම සඳහා නොව, සිංහල ප්‍රභූ පැලැන්තියේ බලය හා වරප්‍රසාද රැකගැනීමට වීම ඇත්ත යථාර්තයයි. සිංහල සිවිල් වැසියන්ට පහරදීම මෙන්ම දෙමල විරුද්ධවාදීන් රුදුරු ලෙස මැඬීමේ එල්ටීටීඊ බෙදුම්වාදී ක්‍රියාමාර්ගය, නිසැකව ම වාර්ගික බෙදීම් ගැඹුරු කර කොලඹ සංස්ථාපිතයේ අතීශයින්ම ප්‍රතිගාමී කොටස් ශක්තිමත් කලේය. එහෙත් යුද්ධයේ වගකීම කෙලින්ම රැඳී ඇත්තේ, කම්කරුවන් බෙදීමටත්, සිය පාලනය ඔසවා තැබීමටත් දෙමල විරෝධී සිංහල ස්වෝත්තමවාදය ගසාකා ඇති බලයට පත් ආන්ඩු මතය. ගරිල්ලා හමුදාවකට වැඩි නොවූ එල්ටීටීඊ පරදා ජයග්‍රහනය අත්කර ගත්තේ, සංඛ්‍යාව අතින් ද යුද ආම්පන්න අතින් ද මිලිටරිය සතුව පැවැති සුපිරි අධිකාරය ලේවැකි අයුරින් යොදා ගැනීමෙන් හා රටේ දෙමල සුලුතරය ත්‍රස්ත කර හා එල්ටීටීඊ සටන්කරුවන් අඹරා දැමීමෙනි. රාජපක්ෂ හමුදා සෙබලුන් “වීරයන්” ලෙස ද ඔවුන්ගේ මවුවරු, පියවරු හා බිරින්දෑවරුන්ගේ කැපවීම ද හුවාදැක්වූ නමුදු, ආර්ථික අගහිඟකම්වලට මුහුනපා සිටීමේ තත්වය ගසාකමින් හමුදාවට බඳවාගත් තරුනයන් ආරක්ෂිත වැටි පිටුපස පැවති එල්ටීටීඊ හමුදා වලලු වෙත එල්ල කල, හමුදාවේ පෙරමුනු ප්‍රහාරවලට බිලිදීමේ දී,ආන්ඩුවට හා හමුදා නායකයන්ට ඔවුන් කෙරෙහි මඳ හෝ අනුකම්පාවක් පැවතුනේ නැත.

රාජපක්ෂගේ කථාවෙන් පැහැදිලිව ම අරමුනු කලේ වාර්ගික මනෝගතීන් ඇවිස්සීම ය. දිවයිනේ වසර 2500ක බෞද්ධ හා සිංහල රජවරුන් 182ක ගේ ශ්‍රේෂ්ඨ අතීත පුරාවෘතය ඔහු සිහිපත් කලේය. කථාව ඇරඹීමටත් පෙර ජාතික රූපවාහිනිය ඔහු ගෙනහැර දැක්වූයේ රට එක්සේසත් කල වත්මන් නායකයා ලෙස ය. එසේ පින්තාරු කිරීම තුල සත්‍යයේ එක් මූලාශ්‍රයක් ගැබ්ව තිබේ. එනම්, දේශපාලන-මිලිටරි කල්ලියක් විසින් ලබාදෙන පිටුබලය සහිතව රාජපක්ෂ ක්‍රියාකරමින් සිටින්නේ නීත්‍යානුකූල පාලනය හා පාර්ලිමේන්තුව කෙරෙහි සතුරු ආකල්පයක් දරන ඒකාධිපතියෙකු ලෙසට ය යන්නයි.

මහජන උද්දාමයක් පිලිබඳ මිත්‍යාව නිර්මානය කිරීමට සෑම උත්සාහයක්ම දරනු ලැබේ. දිවයින පුරා සෑම පාසැලකට ම ජනාධිපතිගේ කථාව ඇසීම සඳහා පහසුකම් සපයන ලෙසට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුනි. තවත් පියවරක් ඉදිරියට යමින් සමහර විදුහල්පතිවරු ජාතික කොඩි අතැතිව පාසැල් භූමිය තුල පෙලපාලි දැක්වීම සඳහා සිසුන් උනන්දු කලහ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කම්කරුවන්ට ඔවුන්ගේ සේවා ස්ථාන තුල සිට කථාව ඇසීමට ඉඩ සලසන ලෙසට චක්‍රලේඛයක් නිකුත් කලේය. ජයග්‍රහනය සැමරීම සඳහා අද ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ප්‍රකාශ කලේය.

සැබවින්ම, සිංහල අන්තවාදීන් විසින් පැවැත්වූ පෙලපාලි හැරෙන්නට, වැඩකරන ජනතාවගේ පුලුල් කොටස්, 70,000කට වඩා ජීවිත බිලිගත් හා සමස්ත පරම්පරාවකගේ ම ජීවිත විනාශයට පත්කල යුද්ධය කෙරෙහි කිසිදු උද්යෝගයක් පෙන්නුම් කලේ නැත.

බොහෝ මිනිසුන් යුද්ධය අවසන් වීමේන් සිය ජීවිත යහපත් වේය යන බලාපොරොත්තුවෙන් සැනසුම් සුසුම් හෙලුව ද ආන්ඩුව කෙරෙහි පලකලේ මඳ විශ්වාසයකි.

දෙමල ජනතාව අතර පවතින්නේ මිලිටරි ජයග්‍රහනය එදිරිවාදිකම් හා නොපනත්කම් උග්‍රවීමට තුඩුදෙනු ඇතැයි යන සාධාරන බියකි.

“විමුක්තකරගත්” දෙමල ජනතාවට උදව් කිරීම හා “උතුරේ වසන්තය” නිර්මානය කිරීම පිලිබඳ රාජපක්ෂගේ පොරොන්දු මුලුමනින්ම නරුම ස්වභාවයක් ගනියි. උතුරේ වන්නිකරයේ පුලුල් භූමිභාගයක් ජනශුන්‍යව හා මුඩු බිමක් බවට පත්ව තිබේ. ලක්ෂ තුනකට ආසන්න දෙමල වැසියන් ට සලකනු ලබන්නේ යුද සිරකරුවන් ලෙස වන අතර ඔවුන් පිලිකුල් සහගත, පිරී ඉතිරී ගිය රැඳවුම් කඳවුරු තුලට ගාල්කරනු ලැබ තිබේ. වසර ආරම්භයේ පටන් බෙහෝවිට හමුදාවේ ඉවක් බවක් නැති බෝම්බ දැමීම් නිසා 8,000ක් දෙනා මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සැලකේ.

දෙමල ජනතාවට අවම සහන පිරිනැමෙන, යුද්ධයට “දේශපාලන විසඳාුමක්” සඳහා ආන්ඩුව වෙත ජාත්‍යන්තර බලපෑම් එල්ල වී පවතියි. එහෙත් රාජපක්ෂ “අපගේ ම දෙමල ජනතාව හොඳින් රැකබලා ගන්නා ලෙස ඉල්ලන බොහෝ යෝජනා, විවිධ රටවලින් හා ආයතන වෙතින් ඉදිරිපත්ව ඇතැයි” සඳහන් කරමින් ඒවා ඉවත දැමීය. පරාජයට පත්වූවන් ගැන වග බලාගැනීම පිලිබඳව ශ්‍රී ලංකාව “මනා පූර්වාදර්ශයන් සහිත රටක්” වන්නේ යයි ද ඔහු පැවසීය.

මිලිටරි විසඳුම අවසන් විසඳුම නොවන්නේ යයි පිලිගන්නා අතර ම රාපක්ෂ, එක එල්ලේ කියා සිටියේ “දේශපාලන විසඳුමක් ලෙස බන්දේසියක තබා ඉදිරිපත් කරන ලියවිල්ලක් අවසන් විසඳුම නොවිය හැකිය යන්න ද අප සිහි තබාගත යුතුය” යනුවෙනි.

මොනම නිල ලියවිල්ලක් හෝ බැහැර කිරීම මඟින් ජනාධිපති අඟවා සිටින්නේ, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස ස්ථාපිත කර ඇති ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පරිපාලන පද්ධතිය තුලට රිංගවා ඇති දෙමල විරෝධී හා පක්ෂග්‍රාහී බොහෝ ආකෘතීන්හි, වෙනස්කම් සිදු නොවනු ඇති බවයි.

දේශපාලන සංස්ථාපිතය හා රාජ්‍ය පර්යාය, විශේෂයෙන්ම මිලිටරිය තුල සිටින සිංහල අන්තවාදීන්ට, රාජපක්ෂ නය ගැතිය. සුලු ජාතීන්ගේ දුක්ගැනවිලි වලට විසඳුම් සපයන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරන යෝජනා කිරීම සඳහා සර්වපාක්ෂික නියෝජිත සමුලුවක් ජනාධිපති විසින් පිහිටුවන ලද්දේ වසර දෙක හමාරකට පෙර ය. එය කිසිදු එකඟතාවයකට නොපැමින සැසිවාර 144ක් පවත්වා තිබේ. ප්‍රධාන කොටම ඊට හේතු වූයේ රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික හෙල උරුමය හා ජාතික නිදහස් පෙරමුන වැනි ඔහුගේ ජාත්‍යෝත්තමවාදී හවුල්කරුවන්, මොනම ආකාර හෝ ප්‍රජාතන්ත්‍රවාදී සහන දෙමල ජනතාවට පිරිනැමීමට දක්වන දැඩි විරුද්ධත්වයයි.

රාජපක්ෂගේ කථාවෙහි වඩාත් කැපී පෙනෙන කරුන නම් යුද්ධයේ අවසානය “ජාතිය ගොඩනැඟීමේ” නව යුගයක ආරම්භය වන බවට කල ඔහුගේ ප්‍රකාශයයි.

ඔහු මෙසේ ද කියා සිටියේ ය. “කාලය අප ඉදිරියේ නව අභියෝගයක් මතුකර තිබේ. එය නම් මාතෘභූමිය ගොඩනැගීමේ අභියෝගයයි. මෙතැන් පටන් සියලු දෙනා එම අභියෝගයටත් මුහුන දිය හැකි පරිදි වෙනසක් ඇති කර ගැනිම අවශ්‍යවේ. මම පලමු අභියෝගය භාරගත් ආකාරයට ම මෙම අභියෝගය ද භාර ගන්නෙමි.”ආන්ඩුව හා මහා ව්‍යාපාරිකයන්, ගෝලීය පසුබෑම හමුවේ උග්‍රකෙරී ඇති යුද වියදම් මඟින් රට තුල ගැඹුරු ආර්ථික අර්බුදයක් නිර්මානය කර තිබෙන බව හොඳින්ම වටහාගෙන සිටියි. “ජාතිය ගොඩනැගීමෙහි” සරල අර්ථය වන්නේ වැඩකරන ජනතාව මත අලුතෙන් දැඩි ආර්ථික බර පැටවිය යුතුය යන්නයි. දැනටමත් ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එය ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.9 නය මුදල වෙනුවෙන් වැටුප් වැඩිවීම් හා රාජ්‍ය අංශයට අලුතෙන් බඳවාගැනීම් අත්හිටුවා සහනාධාර කපාහැර ඇත.

යුද්ධය සඳහා කම්කරුවන් කැපකල යුතු යයි නිර්දේශ කල ආකාරයට ම රාජපක්ෂ දැන්, කම්කරුවන් “ජාතිය ගොඩනැඟීමේ” නව අභියෝගයට “මුහුන දිය යුතු” බව කියා සිටියි. එම මිලිටරිවාදී ඌරුව ම මෙම නව කර්තව්‍ය සඳහා ද යොදාගන්නවා ඇත. ඔහු ප්‍රකාශ කලේ, ජයග්‍රහනය අයත්වන්නේ ජාතික ධජය වටා එක්රොක්වූ ද සිය පුතුන් යුද්ධය සඳහා කැපකලාවූ ද “සිය රට ගැන මිස තම බඩ ගැන කල්පනා නොකලාවූ ද” මිනිසුන්ට බවයි.

“අපගේ ශබ්දකෝෂයෙන් සුලු ජාතීන් යන වචනය ඉවත් කල” බව නිවේදනය කරමින් රාජපක්ෂ මෙසේ පැවසීය. මෙම රටෙහි ඇත්තේ මිනිසුන් දෙවර්ගයක් පමනකි. එක් මිනිස්සු කොට්ඨාශයක් මේ රටට ආදරය කරති. සුලු කන්ඩායමක් පමනක් වන අනෙක් මිනිස්සු සැදුම්ලද්දේ ඔවුන් උපන් බිමට ආදරය නොකරන්නන් ගෙනි. රටට ආදරය නොකරන්නෝ දැන් සුලු කන්ඩායමකි.” මෙම වචන වලට ඇත්තේ එක් තේරුමකි. ඒ, තම බඩ පිරෙන්නට සෑහෙන තරම් ආහාර නැතැයි මැසිවිලි නඟන හෝ “ජාතිය ගොඩනැඟීමේ” නාමයෙන් තව තවත් කැපකරන ලෙසට කෙරෙන ඉල්ලීම්වලට විරුද්ධව හඬ නඟන ඕනෑම අයෙක් දේශ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසෙන බවයි. රාජපක්ෂගේ ප්‍රකාශ ඉස්මතු කර දක්වන්නේ ඔහු කථාකල “මිනිස්සු දෙවර්ගය” වනාහි ජීවිතයේ මූලික අවශ්‍යතා පිලිබඳව ලතවීමට කිසිම හේතුවක් නැති ඔහු නියෝජනය කරන ධනපති පැලැන්තිය හා වේල පිරිමසා ගැනීමේ අරගලයක නිතිපතා යෙදී සිටින අතිමහත් බහුතරය පිලිබඳ කාරනයයි.

රාජපක්ෂ ආන්ඩුව සිය “ආර්ථික යුද්ධය”, එල්ටීටීඊයට හා දෙමල සිවිල් වැසියන්ට එරෙහි සිය ප්‍රහාරයේදී අනුගමනය කර ඇති නිර්ධය භාවයට කිසිසේත් ම නොඅඩු ආකාරයකින් ගෙනයනු ඇතැයි සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවයි. පසුගිය තෙවසර පුරා රාජපක්ෂ හෝ ඔහු යුද්ධය ගෙනයන ආකාරය විවේචනය කරනු ලැබූවන් තර්ජනයට, හිතුවක්කාරී ලෙස රඳවා තැබීමට හෝ “අතුරුදහන් කිරීමට” ලක්ව තිබේ. වෘත්තීය සමිති නිලධරයේ හා “ වමේ” පක්ෂවල බයාදුකම ද ප්‍රයෝජනයට ගනිමින් රාජපක්ෂ හා ඔහුගේ ඇමතිවරු, වැඩවර්ජනය කරන කම්කරුවන් “කොටි ත්‍රස්තවාදීන්ට” උදව්දෙන්නේ යයි හෙලාදැක තිබේ.

කම්කරුවන්, තරුනයන්, සිසුන් හා බුද්ධිමතුන් ව්‍යාපාරික පැලැන්තියේ ආසක්තයන් මත ගෙනඑන මෙම නව “ආර්ථික යුද්ධය” ප්‍රතික්ෂේප කල යුතු අතර තමන්ගේ ම මූලික අයිතීන්, ආසක්තයන් හා බලාපොරොත්තු වෙනුවෙන් සටන් වැදීම සඳහා දේශපාලන ප්‍රති ප්‍රහාරයක් සංවිධානය කල යුතු ය.

එය කල හැකි වන්නේ ධනේශ්වර පන්තියේ කොල්ලකාරී ඉල්ලීම් වලට එරෙහිව, ශ්‍රී ලංකාව තුල ද කලාපය පුරා ද වැඩකරන ජනතාව එක්සත් කරන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක්‍රියාමාර්ගයක පදනම මත පමනි. එම ඉදිරිදර්ශනය සඳහා සටන්වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

[මෙය 2009 මැයි 20 වැනි දින Sri Lanka: Victory speech signals new assault on working people යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading