ශ්‍රී ලංකාවේ මැතිවරනය: එක්සත්‌ සමාජවාදී පක්ෂයේ දෙමුහුනුවර

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැතිවරන උද්ඝෝෂනය අතරතුර දී සමහර විට පහත ප්‍රශ්නය මතු වෙයි: ජනාධිපති තනතුර සඳහා සමාජවාදී අපේක්ෂකයන් තිදෙනෙකු තරග වදින්නේ ඇයි? සසපයත් නව සමසමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) යන අනෙක් පක්ෂ දෙකත් අතර පවතින වෙනස්කම කුමක් ද? මූලධර්මය සහ ක්‍රියා මාර්ගය පිලිබඳ කාරනාවල දී තමන් සහ මෙම මධ්‍යම පන්තික, රැඩිකල් සංවිධාන අතර පවතින යා කල නොහෙන පන්ති අගාධය ගැන දශක ගනනාවක් තිස්සේ සසපය පැහැදිලි කර දී ඇත.

පාලක පන්තියේ සියලු කන්ඩායම්වලින් කම්කරු පන්තියේ දේශපාලනික ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සසපය ආරම්භයේ පටන් ම සටන් වැදී ඇත.

නසසපය සහ එසප හැම විට ම ක්‍රියා කර ඇත්තේ, ප්‍රධාන ධනපති පක්ෂ දෙකෙන් එකකට කම්කරුවන් යටත් කරන කොලඹ දේශපාලන සංස්ථාපිතයේ වාම අතවැස්සෙකු ලෙසිනි.

අතීතයේ දී, මෙම ගැටලු ප්‍රකාශයට පත් වී ඇත්තේ නොපැහැදිලිව විය හැකි ය. අද දින, ශ්‍රී ලාංකික ධනවාදයේ ගැඹුරු වන අර්බුදයේ කොන්දේසි යටතේ මෙම පැවති වාම රැඩිකල් පක්ෂ සහ ධනේශ්වර පක්ෂ අතර සම්බන්ධතා එලිපිට ප්‍රදර්ශනය වෙයි.

පසු ගිය සිකුරාදා, එසප නායක සිරිතුංග ජයසූරිය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ එහි මිත්‍රපාක්ෂික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ-මහජන පාර්ශවය (ශ්‍රීලනිප-ම) සමග මැද කොලඹ දී වේදිකාවක් ගොඩ නැගී ය. වත්මන් ජනාධිපතිවරනයේ දී, එජාපය සහ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි “පොදු අපේක්ෂකයෙකු” ලෙස සලකා හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දෙයි. ජයසූරිය වනාහි එසප ජනාධිපති අපේක්ෂකයා යි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දක්ෂිනාංශික දේශපාලනඥයන්ට ප්‍රශංසා කරමින් සහ ප්‍රතිප්‍රශංසා වැස්සෙහි තෙමෙමින් “සමාජවාදී” ජයසූරිය මෙම ප්‍රෝඩාකාරී “නිදහසේ වේදිකාවට” සහභාගි වීම මේ කිසිවකින් නතර කෙරුනේ නැත. එජාපයට සහ ශ්‍රීලනිප-ම ට හැඟෙනු හැකි පරිදි නම්, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට නැංවූ වාර්ගික යුද්ධය නිර්දය ලෙස කර ගෙන ගිය ෆොන්සේකා පිම්බීම සඳහා තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී අක්ත පත්‍ර පිරිනැමීමෙහි ලා ජයසූරිය වැදගත් සේවාවක් සිදු කර ඇත.

රැස්වීම කැඳවා තිබුනේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ පලමු සංවත්සරය සංකේතවත් කිරීමට බැවින් එය විශේෂයෙන් ම හාස්‍යජනක විය. ඔහු ඝාතනය කිරීම ආරක්ෂක හමුදාවේ මෙහෙයවීම නො වේ නම් සහාය සහිතව ක්‍රියා කරමින් ආන්ඩුවට හිතපක්ෂපාතී ඝාතක කල්ලි සිදු කල ඝාතන සිය ගනනකින් එකක් විය.

ජනාධිපතිවරන උද්ඝෝෂනය අතරතුර දී රාජපක්ෂ සහ ෆොන්සේකා කඳවුරු දෙක වික්‍රමතුංගගේ මරනය ගැන එකිනෙකාට චෝදනා කර ගෙන ඇත. සැබවින් ම නම්, ජනාධිපති රාජපක්ෂ සහ ජෙනරාල් ෆොන්සේකා යන දෙදෙනා ම මෙම ඝාතක කල්ලිවල අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ය.

එජාපය සහ එහි මිත්‍රපාක්ෂිකයෝ රාජපක්ෂට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ලෙස ජෙනරාල්ෆොන්සේකාට සලුපිලි ඇන්දවීමේ දුෂ්කර වෑයමක නියැලී සිටිති. රැස්වීමේ දී ඔවුන් හා එක් වී ජයසූරිය ඔවුන්ට අනුග්‍රහ දැක්වූයේ ය. ඔහු ෆොන්සේකා සම්බන්ධයෙන් නිහඬ වතක් පවත්වා ගෙන ගිය ද ෆොන්සේකාට අනුබල දෙන්නන්ට ප්‍රශංසා කිරීම ගැන ඔහුට කිසි පසුතැවිල්ලක් නො වී ය.

“ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු පිනිස සහ නීති විරෝධී මිනීමැරුම්වලට අවසන් තිත තබනු පිනිස” එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රීලනිප-ම නායක මංගල සමරවීර සමග එක්ව පසු ගිය වසරේ තමන් නිදහසේ වේදිකාව ගොඩ නැගීමට තීන්දු කලේ වික්‍රමතුංගගේ සොහොන පසෙක හිඳ ගෙන යැයි ඔහු පුරසාරම් දෙඩී ය. ඔහු මෙසේ පැවසී ය: “මේ නිදහසේ වේදිකාව පිහිටුවීමේ මේ අදහස යෝජනා කලේ මම ය කියන එක පිලිගැනීම ගැන මම ආඩම්බර වෙනවා.” ජයසූරියගේ පාරම් බෑම තවත් දිගට සිදු විය: “හොඳයි, එතැන ඉඳල අවුරුද්දක් ගත වෙච්ච අද දවස වෙන කොට අප සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට ගිහිල්ල නැද්ද! දේශපාලන පක්ෂවල අනාවෘත කන්ඩායමක් වෙනුවට නව ප්‍රභේදයක් හඳුන්වා දිය යුතු ය කියල මා යෝජනා කලා. දැන් ඒ අදහස ඉදිරියට ගිහිල්ල. අපගේ එක ම අරමුන වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ආරක්ෂා කරන එක යි.

ඒකට අප ජනාධිපති ඒකාධිපතිත්වය අවසන් කල යුතු යි. අප මේ තාක් දුරක් ආවේ දේශපාලනිකව මෙහෙයවපු පොලිස් ප්‍රචන්ඩත්වය සහ මර්දනය ඉදිරියේ.” පෙරමුන, “එකතු කරන්න බැරි තරමට විසම ය කියල බොහෝ දෙනා හිතපු සාමාජික බලවේග එක්කහු කරන්න සමත් වෙලා.” කවුරුන් බලයට ආවත් නිදහසේ වේදිකාව අඛන්ඩව පෙරට ගෙන යා යුතු බව කියමින් ඔහු සිය කතාව අවසන් කලේ ය.

සැබවින් ම එය අරුම පුදුම සන්ධානයකි “ පසු ගිය වසරේ නිදහසේ වේදිකාවට ද එක් වූ එසපයේ සහ නසසපයේ පරිපූර්න දේශපාලනික පරිහානිය පිලිබඳ වාචික සාක්ෂ්‍යයකි. වසර ගනනාවක් තිස්සේ තත්ත්වාරක්ෂකවාදී (කොන්සර්වැටිව්) සහ ධනේශ්වර එජාපය සමග සසඳන කල රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) “අඩු නපුර” යැයි කියමින් මෙම පක්ෂ දෙක ඊට සහාය දෙන්නට කම්කරුවන් දිරි ගැන්වී ය. දැන් ජයසූරිය, හිටපු “වැඩි නපුර” සමග සන්ධානයකට තමන් මුල පිරුවේ යැයි නිර්ලජ්ජිතව පුරසාරම් දොඩමින් එජාප “ප්‍රජාතන්ත්‍රවාදීන්” ගැන තුති ගී ගයමින් සිටියි! ෆොන්සේකා නමින් සඳහන් නොකල ද, අප්‍රකාශිත පනිවුඩය වන්නේ රාජපක්ෂගේ “ජනාධිපති ඒකාධිපතිත්වය” අවසන් කල හැකි උපාය ජෙනරාල්වරයා බව යි. එමෙන් ම, ජයසූරියට මැතිවරනයෙන් පසුව ද ඔවුන් සමග සම්බන්ධතා පවත්වා ගෙන යන්නට වුවමනා ය.

මෙම පිලිකුල උපදවන විකාර සහගත දේශපාලනික ව්‍යාජයට එකඟ වන්නට වැඩි සතුටකින් සිටි වික්‍රමසිංහට සහ සමරවීරට නම් අඩු ගනනේ ඒ මොහොතට වත් මේ සියල්ල සවන් පිනන සංගීතයක් වන්නට ඇත. වික්‍රමසිංහ මෙසේ ප්‍රකාශ කරමින් ජයසූරියට ගරු බුහුමන් දැක්වී ය: “මේ බලවේගය ගොඩ නැගීමේ දී මූලිකත්වය ගත්තේ ඔහු. අප ඔහු අනුගමනය කලා. අද අප බොහෝ දුර ගිහිං තියෙනවා.

මම සිරිතුංගට ආචාර කරනවා. ඝාතන නිසා අපි එලියට එන්න බයේ හිටියේ. එතකොට සිරිතුංග ඉස්සරහට ආවා. අපට වත්මන් ජනාධිපතිවරයාට අභියෝග කරන්න හැකියාව ලැබෙන්න ඒක මූලික උනා.” සැබවින් ම, 1980 ගනන්වල දී සිදු වූ ඝාතක කල්ලිවල ක්‍රියාකාරිත්වය ද ඇතුලු දීර්ඝ ප්‍රජාතන්ත්‍රවාද-විරෝධී මැරවරකම් පිලිබඳ ඉතිහාසයක් සහිත එජාපයට එසපයෙන් සහ නසසපයෙන් තොරව බොරු ප්‍රජාතන්ත්‍රවාදී වෙස් මූනක් දමා ගැනීම බෙහෙවින් දුෂ්කර වන්නට ඉඩ තිබින.

සමරවීර ද ඒ හා සමානව හැඟීම්බර විය. ඔහු මෙසේ කියා සිටියේ ය: “මේ වේදිකාව ඉදිරියට ම ගෙන යා යුතු යි.” එජාපය සමග පෙල ගැසීම සඳහා “දෘෂ්ටිමය වෙනස්කම්” පසෙක තැබීම ගැන ඔහු ජයසූරියට සහ නසසප නායක වික්‍රමබාහු කරුනාරත්නට ප්‍රශංසා කලේ ය. තවත් පියවරක් ඉදිරියට ගොස් රාජපක්ෂට එරෙහි විරුද්ධ පක්ෂ සන්ධානයට ම එක් වන්නට ජයසූරිය උනන්දු කරමින් සමරවීර මෙසේ පැවසී ය: “රජ පවුල ඤරාජපක්ෂ පාලනාධිකාරය% අවසන් කරන්න අප මේ බලවේගය මෙහෙයවිය යුතු යි.” පක්ෂපාතී සහ විශ්වාස කටයුතු මිත්‍රයෙකු ලෙස ජයසූරිය වග වර්නනා කිරීමෙන් පසුව ඔහු මෙසේ ප්‍රකාශ කලේ ය: “අවාසනාවට මා ඉන්නෙ ඔහුට ඡන්දය දෙන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි. මගේ පක්ෂය ෆොන්සේකාට සහාය දෙමිනු යි ඉන්නේ. කොහොම නමුත් මා මගේ දෙවන මනාපය සිරිතුංගට දෙන බව මම ප්‍රසිද්ධියේ කියනවා.” මෙතෙක්, එසප එලිපිට ෆොන්සේකාට සහාය දීම මග හැර ඇත. නමුත් මැතිවරනයේ දෙවන වටයක්පැවැත්වුව හොත් එය සිදු විය හැකි ය. තම පක්ෂය නිදහසේ වේදිකාව මත එජාපයත් සමග එක් වීම ඇතැම් විට අත්වැරැද්දක් විය හැකි යැයි පවා කියමින් නසසප නායක කරුනාරත්න වැරදි හරි ගස්සා ගනිමින් සහ අදහස් වෙනස් කර ගනිමින් සිටියි. කරුනාරත්නගේ පශ්චාත්තාපයෙන් කිසිවෙකු රැවටිය යුතු නැත. ගිනිය නොහැකි තරම් අවස්ථාවාදී සන්ධානයන්හි යෙදී ගත් ප්‍රවීනයෙකු වන ඔහුට, තමන්ගේ මෑත ම ව්‍යාපෘතිය කම්කරුවන් සහ තරුනයන් හමුවේ හෙලිදරව් වෙමින් පවතින බවත් දැන් එය ආ පස්සට කැරකෙන්නට පටන් ගෙන ඇති බවත් හැඟෙන බවට කිසි ම සැකයක් නැත.

වික්‍රමසිංහ සහ සමරවීර සමග ජයසූරිය නිදහසේ වේදිකාවේ දී කල අදහස් දැක්වීම් කම්කරුවන්ට සහ තරුනයන්ට ඉදිරිපත් කල එසප මැතිවරන වාගාලාපයට පැහැදිලි ලෙස ම වෙනස් ය. “ධනපති මස් වැද්දන්ට එරෙහිව සිරිතුංග ජයසූරියගේ අපේක්ෂකත්වයට සහාය දෙන්න!” යන මාතෘකාව යටතේ එසප මෑත ම නිකුත් කල ප්‍රකාශය, “තරගයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන ධනපති අපේක්ෂකයන් දෙදෙනා අතුරින් පොදු ජනයාට තෝරා ගැනීමක් කිරීමට කිසිදු ඉඩක් නැත.” රාජපක්ෂ තන්ත්‍රයේ අපරාධ හෙලා දැකීමෙන් පසුව එය මෙසේ කියයි: “ජෙනරාල් සරත් ෆොන්සේකා යුධවාදී ජාතිවාදීන් සහ නව ලිබරල්වාදී ධනපතියන් අතර දෝලනය වන “බට්ටකු” බවට පත්වී ඇත. ඔහු ඇත්ත වශයෙන්ම මේ බලවේගවල අතකොලුවකි.

ඔහුගේ මිලිටරි අභිමානයෙන් පොදු ජනතාවට කිසිදු සෙතක් නැත. රාජපක්ෂ පාලනය පසුගිය සිව්වසර තුල ගෙනගිය සියලු පාපකර්මයන්ට ඔහු ඉහලින්ම සම්මාදම් වී ඇත. එබැවින් රාජපක්ෂ වෙනුවට ෆොන්සේකාට ඡන්දය දීම ඉඟුරු දී මිරිස් ගන්නවා වැනි නිරර්ථක දෙයකි.” මේ සියල්ල පෙන්නුම් කරන්නේ, ජයසූරිය යනු දිවදෙකකින් කතා කරන, සියලු ධනේශ්වර දේශපාලනඥයන්ගේ දේශපාලන පරිචයන්හි ප්‍රමුඛ නිපුනයෙකු බව යි. ෆොන්සේකා “යුදවාදී ස්වෝත්තමවාදීන් සහ නව-ලිබරල් ධනපතියන්ගේ ඉත්තෙකු” වනු ඇතැයි එසප පවසන අතරතුරේ, ජයසූරිය පිටිකර පිරිමදිමින් ජනරාල්ට සහාය දෙන්නන් සමග පෙරලා අතුල් පහර දී ගැනීමක යෙදී ගෙන සිටී.

එවැනි අවස්ථාවාදී උපාමාරුවලින් කම්කරු පන්තියට නො වැලැක්විය හැකි විනාශකාරී ප්‍රතිවිපාක අත්ව ඇත.

ඡන්දයෙන් කවුරුන් දිනුවත් ඊලඟ ආන්ඩුව කම්කරු පන්තිය මත විනාශකාරී “ආර්ථික යුද්ධයක්” දියත් කරනු ඇති බවටත් මතු වන ඕනෑ ම විරුද්ධත්වයක් මැඩ ලීම සඳහා දශක ගනනාවක සිවිල් යුද්ධය අතරතුර දී ගොඩ නගා ගත් පොලිස් රාජ්‍ය යන්ත්‍රනය යොදා ගනු ඇති බවටත් අනතුරු අඟවන්නේ සසපය පමනකි. මෙම න්‍යාය පත්‍රය පැටවීමෙහි ලා යොදා ගත හැකි වඩා විශ්වාස කටයුතු මෙවලමක් ලෙස සලකා පාලක ප්‍රභූවේ බලගතු කොටස් ෆොන්සේකාට සහාය දෙමින් සිටී. නිදහසේ වේදිකාවට එක් වී එජාපය සහ එහි මිතුරන් “ප්‍රජාතන්ත්‍රවාදීන්” ලෙස හුවා දැක්වීම සඳහා උදව් කල එසප සහ නසසපය, එලෙසින් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ලෙස ගෙන හැර පාමින් සිටී. ජෙනරාල්වරයා ජනාධිපති තනතුර දිනා ගත හොත්, ඔහුගේ තන්ත්‍රය සහ කම්කරු පන්තියට එරෙහිව එය සිදු කරන අපරාධ සම්බන්ධයෙන් එසප ද නසසපය ද දේශපාලනිකව වගකිව යුතු ය.

මුල් ප්‍රශ්නයට ආපසු එන්නේ නම්, මෙම සංසිද්ධියෙන් අවධාරනය වන්නේ ජනාධිපති තනතුර සඳහා තරග වදින සමාජවාදී අපේක්ෂකයන් තිදෙනෙකු නැති බව යි, සිටින්නේ එක් තරගකරුවෙකු පමනක් බව යි. ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී මූලධර්ම මත කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සටන් වදිමින් සිටින එක ම අපේක්ෂකයා සසපයේ විජේ ඩයස් පමනකි. ඔහුගේ උද්ඝෝෂනයට සහාය දෙන ලෙස සසපය කම්කරුවන්ගෙන් සහ තරුනයන්ගෙන් ඉල්ලා සිටී.

[මෙය 2010 ජනවාරි 14 වැනි දින Sri Lankan election: The two faces of the United Socialist Party යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]

Loading